පඤ්චවිධ සීල

පඤ්චවිධ සීල පිළිබඳ ප්‍ර‍ථම පඤ්චකයෙහි අර්‍ථ අනුපසම්පන්න සීලාදි වශයෙන් දත යුතු.

ප්‍ර‍ථම පඤචකය

1. පරියන්ත පාරිසුද්ධි 2. අපරීයන්ත පාරිසුද්ධි 3. පරිපූණ්ණ පාරිසුද්ධි,

4. අපරාමට්ඨ පාරිසුද්ධි 5. පටිප්පස්සද්‍ධි පාරිසුද්ධි සීල.

1. අනුපසම්පන්නයන්ගේ සීල ගණන් වශයෙන් මෙතෙකැ යි කෙළවර සහිත බැවින් පරියන්ත පාරිසුද්ධි සීල නම් වේ. වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කතමං රියන්ත පාරිසුද්‍ධි සීලං? අනුපසම්පත්තානං පරියන්ත සික්ඛාපදානං ඉදං පරියන්ත පාරිසුද්‍ධි සීලං”[1] පරියන්ත පාරිසුද්‍ධි සීලය කවරේ ද අනුපසම්පන්නයන්ගේ - සීමාසහිත ශික්‍ෂාපද ඇතියවුන්ගේ යම් ශීලයෙක් වේ ද, එය පරියන්ත පාරිසුද්‍ධි සීල නම් වේ, යනු භාවයි.

2. උපසම්පන්නයන්ගේ ශීල මෙතෙකැ යි කෙළවරක් නැති බැවින් අපරීයන්ත පාරිසුද්ධි සීල නම් වේ.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කතමං අපරියන්ත පාරිසුද්ධිසීලං? උපසම්පන්නානං අපරියන්ත සික්ඛාපදානං ඉදං පටිසම්භිදායෙහි අපරීයන්ත පාරිසුද්ධි සීලං”[2] යි. ‘අපරීයන්ත පාරිසුද්ධි සීලය කවරේ ද උපසම්පන්නයන්ගේ - සීමාසහිත ශික්‍ෂාපද ඇතියවුන්ගේ යම් ශීලයෙක් වේ ද, එය අපරියන්ත පාරිසුද්ධි සීල නම් වේ, යනු භාවයි.

මෙහි ඇසිය යුත්තෙක් ඇති.

“නවකොටි සහස්සානි-අසීතිං සතකොටියො

පඤ්ඤාසං සතසහස්සානි-ජත්තිංසා ච පුනාපරෙ

එතෙ සංවරවිනයා- සම්බුද්ධන පකාසිතා

පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා-සික්ඛා විනයසංවරෙ”[3]

යනු කී හෙයින් උපසම්පන්න සීල මෙතෙකැ යි පර්‍ය්‍යන්ත සහිත නො වේ ද කුමක් හෙයින් අපරියන්තය යි මෙහි දක්වන ලද්දේ ද ගණන් වශයෙන් එසේ පර්‍ය්‍යයන්ත සහිත වුව ද, නිරවශේෂ වශයෙන් සමාදන් වන බව හා ලාභ, යස, ඤති, අඞ්ග, ජීවිත වශයෙන් පර්‍ය්‍යන්ත රහිත බව ද සඳහා එසේ අපරියන්ත පාරිසුද්ධි යි කී නිසා දත යුතු.

(නව කෙළ දහස් එකසිය අසූ කෝටි පනස් ලක්‍ෂ සතායෙක් විනය පිටකයෙහි විස්තර වශයෙන් දක්වන ලද සංවර විනය සංඛ්‍යාත ශික්‍ෂාවෝ බුදුන් වහන්සේ විසින් වදාරන ලදහ යනු ගාථාවන්හි භාවයයි.)

මේ අපරියන්ත පාරිසුද්ධි සීලයට චීවරගුම්බකවාසි අම්බඛාදක මහාතිස්ස තෙරුන්ගේ ශීලය සාධක කළ යුතු. උන්වහන්සේ:-

“ධනං චජෙ යො පන අඞ්ගහෙතු

අඞ්ගං චජෙ ජීවිතං රක්ඛමානො

අඞ්ගං ධනං ජීවිතං චාපි සබ්බං

චජෙ නරො ධම්ම මනුස්සරන්නො”

යන මහාපුරුෂ චින්තාව සිහිකරමින් ජීවිතශංසයෙහි දු ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය නො කොටැ ඒ අපරියන්ත පාරිසුද්ධි සීලය මැ නිසා උපාසකයෙකුගේ පිට උඩ නංවා ගෙන යනු ලබන සේක රහත් බවට පැමිණිය හ.

(හස්තපාදාදි ශරීරාඞ්ග හේතුයෙන් ධනය දෙන්නේ ය. ජීවිතය රක්නේ ශරීරාඞ්ග දෙන්නේ ය. ධර්‍මය සිහිකරන්නේ අඞ්ග ධන ජීවිත යන සියල්ල දෙන්නේ ය යනු ගාථාවේ භාවය යි.)

අම්බඛාදක මහාතිස්ස තෙරුන්වහන්සේ

ලක්දිව චීවර ගුම්බකවාසී අම්බඛාදක මහාතිස්ස නම් ස්ථවිර කෙනෙක් වූහ. උන්වහන්සේ එක් දුර්භික්‍ෂ කාලයෙක දිර්‍ඝ මාර්‍ගයක වඩනා සේක් පිඬු පිණිස එක් ගමකට පිවිසි සේක. එහි දී උන්වහන්සේට භික්‍ෂාව නො ලැබුණේ ය. ක්ලාන්ත වූ උන්වහන්සේ ඵලිත වූ එක් අඹ ගසක් යට සිහිල් සෙවනේ වැතිරි හොත් සේක. වැටී තැබු අඹ පිළිගන්නට කෙනෙක් නො වූ හෙයින් වළඳන්නට අවකාශ නැත. නො පිළිගත් දේ වැළඳීම ආපත්තිකර බැවිනි.

මේ වේලාවෙහි එක් උපාසකයෙකේ එහි පැමිණැ එසේ ක්ලාන්ත වැ වැටී තෙරුන්වහන්සේ දැකැ අඹ පැන් මිරිකා පෙවූයේ ය. එයිනු දු උන්වහන්සේ සුවපත් නො වූහ. ඉක්බිති උපාසකයාණෝ උන්වහන්සේ පිට උඩ නංවාගෙන සිය ගමට ගෙනැ ගියහ. අතරමඟ දී උන්වහන්සේ සිහිසන් ලැබැ තමහට මැ අවවාද දෙන සේක්.

“න පිතා නපි තෙ මාතා - න ඤාති නපි බන්‍ධවො,

කරොතෙ තාදිසං කිච්චං - සීලවන්තස්ස කාරණං.”

‘මේ තගේ පියා ද නො වේ. මව් ද නො වේ. නෑ ද නො වේ. බන්‍ධු ද නො වේ. සීලවත් බව හේතු කොට ගෙන මැ මේසා කෘත්‍යයක් කෙරේ’ යයි සිතා එහි මැ යමින් විදර්‍ශන වඩා රහත් වූහ.

කියන ලද මැ යි.

“සංවෙගං ජනයිත්‍වාන-සම්මසීත්‍වාන යොනිසො,

තස්ස පිට්ඨිගතො සන්තො- අරහත්තං අපාපුණි.”

‘සංවේග උපදවා නුවණින් සන්මර්‍ශනය කොටැ ඔහුගේ පිට උඩ යන්නේ මැ රහත් බවට පැමිණියේ ය, යනු භාවයි.

3. කල්‍යාණ පෘථග්ජනයන්ගේ යම් ශීලයෙක් ඔප් නැඟු දෑ රඟ මිණි රුවනක් මෙන්, මනා වැ පිරියම් කළ ස්වණියක් මෙන් උපසම්පදායෙහි පටන් ඉතා පිරිසිදු ද, අකුසලයක් කරනු තබා සිතනු පමණ මලයකිනුදු විරහිත ද, රහත් බවට මැ කාරණ වේ ද ඒ එබඳු ශීලය පරිපුණ්ණාපාරිසුද්ධි සීලය යි කියනු ලැබේ.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි- “කතමං පරිපුණ්ණ පාරිසුද්ධිසීලං? පුථුජ්ජන කල්‍යාණකානං කුසලධම්ම යුත්තානං සෙක්ඛ පරියන්තෙ පරිපූර කාරීනං කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛානං පරිච්චත්ත-ජීවිතානං ඉදං පරීපුණ්ණා පාරිසුද්ධි සිලං”[4] පරීපුණ්ණ පාරිසුද්ධි සීලය කවරේ ද කල්‍යාණ පෘථග්ජන-යන්ගේ විදර්‍ශනාචාරයෙහි යෙදී ගත් - සෙඛපරියන්තයෙහි පරිපූරකාරී විශේෂාධිගමයෙහි විනා කාය ජීවිත දෙක්හි අපේක්‍ෂා අහිත- ඒ පිණිස මැ හළ ජීවිත අතියවුන්ගේ යම් ශීලයෙක් වේද එය පරිණ්ණාපාරිසුද්ධි සීල නම් වේ, යනු භාව යි. (“නාමරූප පරිච්ඡේදයෙහි පටන් කුශල ධර්‍ම සමාදානයෙහි හෝ පටන් ගෝත්‍ර‍භුව දක්වා ප්‍ර‍වෘත්ත කුශල ධර්‍ම ප්‍ර‍බන්‍ධය ශෛක්‍ෂධර්‍මයෙහි පැහැරැ සිටි හෙයින් සේඛපරියන්ත නමි නොහොත් ශෛක්‍ෂ ධර්‍මයන් පශ්චිමානත කොටැ ඇති වූ ශෛක්‍ෂකල්ප වූ ලෞකික ත්‍රිවිධ ශික්‍ෂාවෝ සේඛපරියන්ත නම් වෙත්” යනු පැරකුම්බා සන්න යි.)

මහාසඞ්ඝ රක්ඛිත, භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත තෙරවරුන්ගේ සීල මෙහි ලා සාධක කළ යුතුයි.

මහාසඞ්ඝරක්ඛිත තෙරුන්වහන්සේ

සැටවස් ඉක් මැ ගිය මහාසඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ අවසාන කාලයෙහි මරණ මඤ්චකයෙහි හොත් සේක. භික්‍ෂු සඞ්ඝයා “ඔබ වහන්සේ අධිගත ලොකොත්තර ධර්‍ම ඇති සේක් දැ” යි උන්වහන්සේ විචාළහ. “මට ලොකොත්තර ධර්‍ම නැතැ”යි උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ඒ ඇසු උන්වහන්සේගේ උපස්ථායක ළදරු භික්‍ෂු කියන්නේ, ‘ස්වාමීනි නුඹවහන්සේ පිරිනිව් සේකැ’යි හාත්පස දොලොස් යොත්තක මහජනයා රැස්වූ හ. නුඹවහන්සේ ගේ පෘථග්ජන කාලක්‍රියායෙන් මහත් විපිළිසරයෙක් වන්නේ ය”යි කීයේ ය. “ඇවැත්නි මම මෙතේ බුදුන් දැක්කැටියේ විදර්‍ශනා නො වැඩුයෙමි. එසේ නම් මා වඩා හිඳුවා අවකාශයක් දෙව්” යයි උන්වහන්සේ කී සේක. උපස්ථායක භික්‍ෂු උන්වහන්සේ වඩා හිඳුවා පිටත නික්මුණේ ය. නික්මෙන්නා මැ තෙරුන්වහන්සේ රහත් බවට පැමිණ අසුරු ගැසීමෙන් සං:ා කළ සේක. සඞ්ඝයා එහි රැස් වැ “ස්වාමීනි මේ සා මරණ මොහොතෙහි ලෝකෝත්තර ගුණ ඉපදවීමෙහි ඔබ වහන්සේ දුෂ්කරයක් කළ සේකැ”යි කීහ. “ඇවැත්නි දුෂ්කර නම් මා මේ ඇසිල්ලෙහි රහත් වීම නො වේ. මම තොපට මා කළ දුෂ්කරය කියන්නෙමි. ඇවැත්නි මම පැවිදි වූ කාලයෙහි පටන් මතක නැති වැ- නො දැනැ කළ දෙයක් සිහි නොකරමි. දුෂ්කර නම් ඒය”යි කී සේක.

භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්වහන්සේ

උන්වහන්සේගේ බෑණුණු වූ සංඝරක්ඛිත තෙරුන් වහන්සේ ද පණස් වස් කාලයෙහි එසේ මැ රහත් වූහු.

“අප්පස්සුතොපි චෙ හොති-සීලෙසු අසමාහිතො

උභයෙන නං ගරහන්ති-සිලතො ච සුතෙන ච.”[5]

‘යමෙක් ඉදින් අල්පශ්‍රැත ද- හෙවත් උගත් ධර්‍ම නැත්තේ ද, ශීලයෙහි දු මනා කොටැ නො පිහිටියේ ද ඔහුට ශීලයෙන් ද, ශ්‍රැතයෙන් ද යන දෙකින් මැ විඥයෝ ගර්‍හා කෙරෙත්;

“අප්පස්සු තොපි චෙ හොති - සීලෙසු සුසමාහිතො

සීලතො නං පසංසන්ති - නාස්ස සම්පජ්ජතෙ සුතං

‘ඉදින් යමෙක් අල්පශ්‍රැත ද, ශීලයෙහි මනා වැ පිහිටියේ ද විඥයෝ ඔහුට ශීලයෙන් පසසත්. ශ්‍රැතයෙන් ඔහුට ප්‍ර‍ශංසාවෙක් නැත්.

“බහුස්සසුතොපි චෙ හොති-සීලෙසු අසමාහිතො;

සීලතො නං ගරහනම් -නාස්ස සම්පජ්ජතෙ සුතං”[6]

‘ඉදින් යමෙක් බහුශ්‍රැත ද, හෙවත් ඇසූ පිරූ බොහෝ ධර්‍ම ඇත්තේ ද, සීලයෙහි මනා වැ නො පිහිටියේ ද ඔහුට විඥයෝ ශීලයෙන් ගරහත්. ඔහුගේ ශ්‍රැතය ද තමහට හෝ අන්‍යයන්ට හෝ සැප නො එළවයි.

“බහුපස්සුතොපි චෙ හොති-සීලෙසු සුසමාහිතො;

උභයෙන නං පසංසන්ති - සීලතො ච සුතෙනව”

‘ඉදින් යමෙක් බහුශ්‍රැත ද, ශීලයෙහි දු මනා වැ පිහිටියේ ද ඔහුට විඥයෝ ශීලයෙන් ද, ශ්‍රැතයෙන් ද යන දෙකින් මැ පසසිත්.

බහුස්සුතං ධම්මධරං - සප්පඤ්ඤං බුද්ධසාවකං

නෙක්ඛං ජම්බොනදස්සෙව- කො තං නින්‍දිතුමරහති

දෙවාපි නං පසංසන්තී-බ්‍ර‍හ්මුනා පි පසංසිතො.[7]

බහුශ්‍රැත වූ ධර්‍මධර වූ ප්‍ර‍ඥාසම්පන්න ඒ බුද්ධ ශ්‍රාවකයාට ජාම්බොනද නම් රන් නිකකට මෙන් කවරෙක් නින්දා කරන්නට සමර්‍ථ ද, දෙවියෝ ද ඔහුට ප්‍ර‍සංසා කරති. හෙතෙමේ බ්‍ර‍හ්මයා විසිනුදු පසස්නා ලද්දේ වෙයි.

4. ශෛක්‍ෂයන්ගේ ශීලය දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන ලද බැවින් අපරාමට්ඨ පාරිසුද්ධිසීලය යි කියනු ලැබේ.

පටිසම්භිදායෙහි:- “කතමං අපරාමට්ඨ පාරිසුද්ධිසීලං? සෙත්තන්තං සෙකඛානං ඉදං අපරාමට්ඨ පාරිසුද්ධිසීලං”[8] අපරාමට්ඨ පාරිසුද්ධි සීලය කවරේ ද සප්තශෛක්‍ෂයන්ගේ යම් ශීලයෙක් වේ ද එය අපරාමට්ඨ පාරිසුද්ධි සීල නම් වේ ය”යි කීහ.

පුථුජ්ජනයන්ගේ හෝ භව වශයෙන් අපරාමට්ඨ සීලය අපරාමට්ඨ පාරිසුද්ධි සීලය යි දත යුතුයි.

කුටුම්භිය පුත්තතිස්ස තෙරුන්ගේ සීලය මෙනි.

කුටුම්බිය පුත්තතිස්ස තෙරුන්වහන්සේ

සැවැත් නුවර තිසස් නම් කෙළෙඹි පුත්‍රයෙක් සතළිස් කෙළක් ධනය හැරැ පියා පැවිදි වැ අරණ්‍යයෙහි විසී ය. උන්වහන්සේගේ සහෝදරයාගේ භාර්‍ය්‍යාව උන්වහන්සේ මරනු සඳහා සොරුන් මෙහෙයුවා ය. සොරු ගොස් උන්වහන්සේ පිරිවරා ගත්හ. “තෙපි කුමට අවුදැ”යි විචාරා “නුඹ වහන්සේ මරනු සඳහාය”යි කී කල්හි “කුමක් පිණිස දැ”යි අසා “ධනය සඳහාය”යි කී කල්හි “ඇපයක් ගෙන අද එක රැයට මා නොමරා හරනු හැකි දැ”යි ඇසූ සේක. “නුඹ වහන්සේට මෙහි ඇපවන්නේ කවරෙක් දැ”යි ඔව්හු කීවේය. තෙරුන්වහන්සේ මහත් ගලක් ගෙන තමන්වහන්සේගේ ඌරු ඇට බිඳැ ගෙනැ “මේ ඇපය මඳ දැ”යි විචාළ සේක. සොරු නිසැක වැ සක්මන් කෙළවර ගිනිමැල ගසාගෙන හොත්හ. තෙරුන්වහන්සේ ඉවසීමෙන් වේදනාව මැඩැ පවත්වා ස්වකීය පරිශුද්ධි ශීලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන සේක් ප්‍රීති ප්‍රමෝද්‍යය උපදවා විදර්‍ශනා වඩා අරුනොද්ගමයෙහි රහත් බවට පැමිණි සේක. එබඳු ශීලය නිසා රහත් බවට පැමිණෙන්නට කැමැති සේක් තමා මරනු සඳහා පැමිණි චෛරීන්ට මෙසේ කී සේක.

“උභො පාදානි බින්‍දිත්‍වා - සංයමිස්සාමි වො අහං,

අට්ටියාමි හරායාමි - සරාගමරණං අහං”

“මම දෙපා බිඳැ ගෙනැ මඳ කලක් මා හරින්නට ගිවිස්වමි. මම මගේ සරාගමරණයට පිළිකුල් කරමි’ ලජ්ජා කරමි” යනු ගාථාවේ භාවයයි.

තවද එක්තරා මහතෙර කෙනෙක් ඉතා ගිලන් වැ සියතින් අහර වළඳන්නට පවා අසමර්‍ථ වැ සිය මලමූයෙහි මැ ඔබ මොබ පෙරලෙන්නේ ය. ඒ දුටු ළදරු භික්‍ෂු නමෙක් “ඛේදයෙකි! ජීවිතසංස්කාර දුක්ය”යි කීහ. එවිට මහතෙරුන් වහන්සේ ඇවැත්නි! මම දැන් මැරෙන්නෙම් ස්වර්‍ග සැප ලබමි’ මට එහි සැකයෙක් නැත. එතකුදු වුවත් මේ ශීලය බිඳැ ගෙන ලබන සැප නම් ශික්‍ෂා ප්‍ර‍ත්‍යාඛ්‍යෘනය කොටැ ලබන ගිහි බව බඳුය”යි කියා “ශීලය සමග මැ මැරෙන්නෙමි”යි එහි මැ හොත් සේක් ඒ රෝගය මැ සමමර්‍ශනය කරමින් රහත් බවට පැමිණැ මෙසේ ප්‍ර‍කාශ කළ සේක.

“ඵුට්ඨස්ස මේ අඤ්ඤතරෙන ව්‍යාධිනා

රොගෙන බාළහං දුඛිතස්ස රුප්පතො,

පරිසුස්සති ඛිප්පමිදං කලෙබරං

පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං

අජඤ්ඤං ජඤ්ඤසංඛාතං - අසුචිං සුචිසම්මතං

නානාකුණප පරිපූරං - ජඤ්ඤරූපං අපස්සතො.

ධීරත්‍ථු මං ආතුරං පූතිකායං

දුග්ගන්‍ධියං අසූචිං ව්‍යාධි ධම්මං,

යත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා

හාපෙන්ති මග්ගං සුගතූපපත්තියා”

‘එක්තරා ව්‍යාධියෙකින් වැටුණු වේදනාව කරණ කොටැ අතිශයින් දුඃඛිත වූ විකාරයට පත් මාගේ මේ ශරීරය හිරුරැසින් තැවුණු - පස්හි මලක් මෙන් හාත්පසින් වියලෙන්නේ ය.

අමනෝඥ වූ අඥ නයන් විසින් මනෝඥය යි ගන්නා ලද, අපිරිසිදු වූ පිරිසිදුයයි සම්මත නොයෙක් කුණපයෙන් පිරුණු, නුවණැසින් නොබලන්නා හට මනෝඥ රූපයක් සේ වැටහෙන -

ආතුර වූ, දුර්‍ගන්‍ධ වූ, අසුචි වූ, ව්‍යාධි ස්වභාව වූ මේ පූතිකායට නින්‍දා වේවා. (තවත් කෙබඳු වූ පූතිකායකට ද යත්?) යම් පූතිකායයෙක්හි රාග වශයෙන් ප්‍ර‍මාදයට පැමිණි විශේෂයෙන් මුසපත් වූ, සත්‍වයෝ ස්වර්ගෝත්පත්තියට හේතු වූ මාර්‍ගය, (ශීලය) පිරිහෙළා ගනිත් ද, එබඳු පූතිකායට නින්‍දා වේවා” යනු ගාථාවන්ගේ භාවයයි.

5. රහතන්ගේ පසේබුදුන්ගේ සම්මාසම්බුදුන්ගේ ශීලය සියලු කෙලෙස් විඩා සංසිඳීමෙන් පිරිසිදු වන බැවින් පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලය යි කියනු ලැබේ.

වදාළේ මැයි :- පටිසම්භිදායෙහි : කතමං පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලං? තථාගතසාවකානං ඛීණාසවානං පච්චෙකබුද්ධානං තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං ඉදං පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලං”[9] යි අර්‍ථ සුගම යි.

ප්‍ර‍ථම පඤ්චකය නිමියේ ය.

ද්විතිය පඤ්චකය

1. පහාණ 2. වෙරමණී, 3. චෙතනා, 4. සංවර, 5. අවීතික්කම සීල

1. “හිරි ඔත්තප්ප කරුණා අලොභාදී ප්‍ර‍ධාන වූ යම් කුශල චිත්තොත්පාදයෙකින් ප්‍රාණඝාත ප්‍ර‍හාණය කරනු ලැබේ ද ඒ ප්‍රාණඝාත ප්‍ර‍හාණය ශීලනාර්ථයෙන් ප්‍රහාණ ශීල නම් වේ”‍ අදින්නාදානාදිය පිළිබඳ වැ ද මෙසේ ය. මෙහි වනාහි ප්‍ර‍හාණය යි ප්‍රාණඝාතාදිය නොකරැ හැරීම විනා (අමුතු) විශේෂ ධර්‍මයෙක් නැත. ප්‍රාණඝාතාදිය නො කැරැ හැරීම ඒ ඒ කුශල ධර්‍මයන්ට පිහිටවන අර්‍ථයෙන් උපධාරණ වෙයි. (ඒ එසේ මැ යි :- ප්‍රාණඝාත ප්‍ර‍හාණය මෛත්‍රී ආදි කුශල ධර්‍මයන්ට ප්‍ර‍තිෂ්ඨය. අදත්තාදාන ප්‍ර‍හාණය ත්‍යාගාදි කුශල ධර්‍මයන්ට ප්‍ර‍තිෂ්ඨායි) ප්‍රාණඝාතාදිය කිරීම චිත්තසන්තානයාගේ කම්පනයට හේතු වේ. ඒ නොකිරීම් එසේ චිත්තකම්පනය නොකරන හෙයින් සමාධාන නම් වෙයි. මෙසේ හෙයින් යට දැක්වුණු උපධාරණ - සමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් ප්‍ර‍හාණය ශීලය යි කියන ලද බැව් සැලකිය යුතුයි.

2. එසේ මැ ප්‍රාණඝාතාදියෙන් වැළැක්ම වේරමණී සීල නම් වේ.

3. ප්‍රාණඝාතාදියට ප්‍ර‍තිපක්‍ෂ වූ චේතනාව චේතනා සීල නම් වේ.

4. ප්‍රාණඝාතාදියෙන් සංවර වීම - ප්‍රාණඝාතාදිය සිද්ධ විය හැකි මාර්‍ග වසාලීම සංවරසීල නම් වේ.

5. ප්‍රාණඝාතාදීන්ගේ අව්‍යතික්‍ර‍මණය - සමාදන් වැ ගත් ශික්‍ෂාපද බිඳැ නොලීම අවීතික්කම සීල නම් වේ. උපධාරණ සාමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් මේ විරමණ, චේතනා, සංවර, අවීතික්කම ද සීල වන සැටි යට කී නයෙන් දත යුතුයි.

මේ පහාණාදි පඤ්චවිධ සීලය පටිසම්භිදායෙහි[10] විස්තර කරන ලදී. එහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.

“පාණාතිපාත ප්‍ර‍හාණය පහාණ සීලය යි. පාණාතිපාත විරමණය වෙරමණී සීලය යි. පාණාතිපාතයට විරුද්‍ධ වූ චේතනාව චෙතනා සීලය යි. පාණාතිපාත සංචරණය සංවර සීලය යි. පාණාතිපාත අව්‍යතික්‍ර‍මය අවිතික්කම සීලය යි.

අදින්නාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මොවුන් පිළිබඳ පහාණ, විරමණ, චෙතනා, සංවර, අවීතික්කම පහාණාදි සීල යි.

නෙක්ඛම්මයෙන් කාමච්ඡන්‍දයාගේ ද, අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ද, ආලොකසඤ්ඤායෙන් ථීනමිද්‍ධයාගේ ද, අවික්ඛෙපයෙන් උද්ධච්චයාගේ ද, ධම්මවවත්‍ථානයෙන් විචිකිච්ඡාවෙගේ ද, ඤාණයෙන් අවිජ්ජාවගේ ද, පාමොජ්ජයෙන් අරතියෙගේ ද, ප්‍ර‍ථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ද, දුතියජ්ඣානයෙන් විතර්‍කවිචාරයන්ගේ ද, තතියජ්ඣානයෙන් ප්‍රීතියගේ ද, චතුත්‍ථජ්ඣානයෙන් සුඛදුක්ඛයන්ගේද, ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසඤ්ඤා පටිඝසඤ්ඤා නනත්තසඤ්ඤාවන්ගේ ද, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතන සඤ්ඤාවගේ ද, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවගේ ද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවගේ ද, අනිච්චානුපස්සනායෙන් නිචච්සඤ්ඤාවගේ ද, දුක්ඛානු පස්සනායෙන් සුඛසඤ්ඤාවගේ ද, අනත්තානුපස්සනායෙන් අත්තසඤ්ඤාවගේ ද, නිබ්බිදානුපස්සනායෙන් නන්‍දියගේ ද, විරාගානුපස්සනායෙන් රාගයාගේ ද, නිරොධානු පස්සනායෙන් තෘෂ්ණාවගේ ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයාගේ ද, ඛයානුපස්සනායෙන් ඝනසඤ්ඤාවගේ ද, වයානුපස්සනායෙන් ආයූහනයාගේ ද, විපරිනාමානුපස්සනායෙන් ධුවසඤ්ඤාවගේ ද, අනිමිත්තානුපස්සනායෙන් නිමිත්තයාගේ ද, අප්පණිහිතානුපස්සනායෙන් පණිධියගේ ද, සුඤ්ඤතානුපස්සනායෙන් අභිනිවේසයාගේ ද, අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් සාරාදානාභිනිවේසයාගේද, යථාභුතඤාණ දස්සනයෙන් සම්මොහාභිනිවේසයාගේ ද, ආදීනවානු පස්සනායෙන් ආලයාභිනිවේසයාගේ ද, පටිසඞ්ඛාධම්මානුපස්සනායෙන් අප්පටිසඞ්ඛාවගේ ද, විවට්ටානුපස්සනායෙන් සංයොගාභි නිවේසයාගේ ද, සොතාපත්තිමග්ගයෙන් දෘෂ්ටිය හා සහජ වශයෙන් එක් වැ සිටි කෙලේශයන්ගේ ද, සකදාගාමිමග්ගයෙන් ඔලාරික කෙලේශයන්ගේ ද, අනාගාමි මාර්‍ගයෙන් අණුපහගත කෙලේශයන්ගේ ද, අර්‍හත් මාර්‍ගයෙන් සකල කෙලේශයන්ගේ ද ප්‍ර‍හාණය පහාණ සීලය යි. විරමණය වෙරමණි සීලය යි. චේතනා චෙතනා සීලය යි. සංවරණය සංවර සීලය යි. අව්‍යතික්‍ර‍මය අවිතික්කම සීලය යි.

මෙබඳු සිල් චිත්තයාගේ අවිප්පටිසාරය (විපිළිසර නො වන බව) පිණිස වන්නේ ය. අවිප්පටිසාරය ප්‍රමෝදය පිණිස වන්නේ ය. ප්‍රමෝදය ප්‍රිතිය පිණිස වන්නේ ය. ප්‍රීතිය පස්සද්‍ධිය (සංසිදීම) පිණිස වන්නේ ය. පස්සද්ධිය සොමනස්සය පිණිස වන්නේ ය. සොමනස්සය සමාධි ආසේවනය පිණිස-සමාධි වෘද්‍ධිය පිණිස-සමාධිා නැවත වැඩීම පිණිස-සද්ධින්‍ද්‍රියාදි නිෂ්පත්ති පිණිස-සමාධි පරිෂ්කාර පිණිස-සමාධි පරිවාර පිණිස-සමාධි පරිපූර්ණ පිණිස වන්නේ ය. එකාන්ත නිර්‍වෙදය පිණිස-විරාගය පිණිස-නිරෝධය පිණිස-ව්‍යාපසමය පිණිස-අභිඥා පිණිස-සම්බොධා පිණිස-නිර්‍වාණ පිණිස වන්නේ යි[11] (විස්තර කරත් හොත් ඉතා අධික හෙයින් සංක්‍ෂෙප කරන ලදී.)

ද්විතීය පඤ්චකය නිමියේ ය

සිල් නම් කිම? කවර අර්‍ථයෙකින් “සීල” යයි කියනු ලැබේ ද? සීලයාගේ ලක්ෂණ රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? සීලයෙහි ආනිසංස කිම? ශීලය කීවැදෑරුම් ද? යන ප්‍ර‍ශ්න විසඳා නිම කරන ලද්දේ යි.

සීලය කිලිටි වන්නේ කෙසේ ද සීලය පිරිසිදු වන්නේ කෙසේ ද? යන ප්‍ර‍ශ්න දැන් විසඳනු ලැබේ.

ශීලය ඛණ්ඩවීමෙන්, ඡිද්‍ර‍ වීමෙන්, සබල වීමෙන්, කල්මාෂ වීමෙන් කිලිටි වේ. අඛණ්ඩ, අච්ඡිද්‍ර‍, අසබල, කල්මාෂයෙන් පිරිසිදු වේ.

ශීලය ඛණ්ඩ, ඡිද්‍ර‍, සබල, කල්මාෂ වන්නේ කවර හේතුවලින් ද ලාභ, යස, ඤාති, අඞ්ග, ජීවිත අපේක්ෂා කොට සීල සමාදානයෙන් හා සප්තවිධ මෛථුන සංයොගයෙන් ද යන මෙයිනි.

ඒ එසේ මැ යි:-

සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක ආදියෙහි හෝ අන්තයෙහි හෝ ශික්‍ෂාපදයෙක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය කෙළවරර කැඩී ගිය වස්ත්‍ර‍යක් මෙන් වූයේ ඛණ්ඩශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක මධ්‍යයෙහි ශික්‍ෂාපදයෙක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය මැද සිදුරු වූ වස්ත්‍ර‍යක් මෙන් වූයේ ඡිද්‍ර‍ශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක පිළිවෙළින් ශික්‍ෂාපද දෙකක් තුනක් යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය පිට හෝ කුස හෝ නැඟි කලු රතු ආදි විසභාග වර්‍ණයෙන් යුත් (කබර) දෙනක මෙන් වූයේ සබල - (කබර) ශීල නම් වේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්තිස්කන්‍ධයෙක අතර අතර ශික්‍ෂාපද යමකු විසින් බිඳැපියන ලද්දේ ද, ඔහුගේ ශීලය අතර- අතර විසභාග පැහැ ඇති තිත් දෙනක් මන් වූයේ කල්මාෂ ශීල නම් වේ. මෙසේ ශීලය ඛණ්ඩාදි වන්නේ ලාභාදි හේතුයෙන් ගත් ශීලය ඒ ලාභාදිය ලත් කල බිඳැ ලීමෙනි. (සප්තාපත්තිස්කන්‍ධ නම් : පාරාජික, සඞ්ඝාදිසෙස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට, දුබ්භාසිත යන මේ යි.)

සප්තවිධ මෛථුන සංයෝගයෙනුදු ශීලය ඛණ්ඩ, ඡිද්‍ර‍, සබල, කල්මාෂ වන බව යට කියන ලදි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර‍ය මෙසේ ය.

1. “ඉධ බ්‍රාහ්මණ එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා සම්මා බ්‍ර‍හ්මචාරී පටිඡානමානො නහෙව ඛො මාතු ගාමෙන සද්‍ධිං වයං වයසමාපත්තිං සමාපජ්ජති, අපිච ඛො මාතුගාමස්ස උච්ඡාදනං නහාපනං සම්බාහනං සාදියති, සො තදස්සාදෙති, තන්නිකාමෙති, තෙන ච චිත්තිං ආපජ්ජති, ඉදම්පි ඛො බ්‍රාහ්මණ බ්‍ර‍හ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සචලම්පි කම්මාසම්පි. අයං වුච්චති බ්‍රාහ්මණ අපරිසුද්ධං බ්‍ර‍හ්මචරියං චරති. සංයුත්තො මෙථූනෙන සංයොගෙන. න පරිමුච්චති ජාතියා ජරා මරණෙන -පෙ-- න පරිමුච්චති දුක්ඛස්මා ති වදාමි.

2. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පි-සාදියති. අපි ච ඛො මාතු ගාමෙන සද්‍ධිං සඤ්ජග්ඝති, සංකීලති, සංකෙළායති, සො තදස්සාදෙති - වදාමි.

3. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න - සංකෙළායති. අපි ච ඛො මාතු ගාමස්ස චක්ඛුං උපනිජ්ඣායති. පෙක්ඛති - සො - වදාමි.

4. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පෙක්ඛති. අපි ච ඛො මාතුගාමස්ස සද්දං සුණාති තිරොකුඩ්ඩා වා තිරොපාකාරාවා හසන්තියා වා භණන්තියා වා ගායන්තියා වා රොදන්තියාවා සො - වදාමි.

5. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- -න - රොදන්තියා වා අපිච ඛො යා නිස්ස තානි පුබ්බෙ මාතුගාමෙන සද්‍ධිං හසිත ලපිත කීළිතා නි, තානි අනුස්සරති. සො තදස්සා දෙති ---පෙ--- වදාමි.

6. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න අනුස්සරති. අපිච ඛො පස්සති ගහපති වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි පමප්පිතං සමඞ්හිභූතං පරිචාරයමානං සො තදස්සාදෙති ---පෙ--- වදාමි.

7. පුන ච පරං බ්‍රාහ්මණ ඉධෙකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ---පෙ--- න පරිචාරයමානං. අපිච ඛො අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍ර‍හ්මචරියං චරති. ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍ර‍හ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා ති. සො තදස්සා දෙති ---- පෙ ---- ඉදං පි බ්‍රාහ්මණ බ්‍ර‍හ්මචරියස්ස ඛණ්ඩම්පි ඡිද්දම්පි සබලම්පි කම්මාසම්පීති”[12]

මෙහි සංක්‍ෂිපත භාවය මෙසේ යි.

  1. පටි:ම:ඤාණකථා 41

  2. ස:පකායිනි 142

  3. ස:පකායිනි 142

  4. පිටි:ම: ඤාණකථා 41

  5. අ:නි: චතුක්කනිපාත 190

  6. අ:නි: චතුක්කනිපාත 190

  7. අ:නි: චතුක්කනිපාත 190

  8. පටි:ම: ඤාණකථා 41

  9. පටි:ම: ඤාණකථා 41

  10. පිටි:ම: ඤාණකථා 45

  11. පටි: ම: ඤාණකථා 44-45

  12. අ:නි: සත්තකනිපාත 651