‘පඤ්ඤාභාවනාවෙහි ආනිසංස කවරේදැ යි’ පෙර කී වචනයට මේ කියම්හ. මේ ප්‍රඥාභාවනාව ශ්‍රාවක පාරමිඥානාදි අනේක ශත ආනිසංස ඇත්තී වෙයි. එහෙයින් එහි ආනිසංස දීර්‍ඝ කාලයෙකිනුදු කියා නිමකළ නො හේ. සැකෙවින්.
සක්කායදිට්ඨි ආදී නොයෙක් කෙලෙස් නැසීම යැ,
ආර්‍ය්‍ය ඵල රස අනුභව කිරීම යැ,
නිරෝධසමාපත්තියට සමවැදීමට සමර්ථ බව යැ,
ආහුන්‍යෙහාවාදී සිද්ධියදැ යි මේ අනුසස් දතයුතුයි.
ඒ ප්‍රඥාභාවනානිසංස වාරයෙහි නාම-රූප පරිච්ඡේදයෙහි පටන් කී සක්කායදිට්ඨි ආදීන් ගේ වශයෙන් නානාවිධ ක්ලේශයන් දුරු කිරීම ලෞකික ප්‍රඥාභාවනානිසංසය යි. ආර්‍ය්‍යමාර්ගක්‍ෂණයෙහි සංයෝජනාදි නානාවිධ ක්ලේශයන් ගේ නැසීම ලෝකෝත්තර ප්‍රඥාභාවනාවේ ආනිසංසය යි දතයුතු.
“භිමවෙගානුපතිතා - අසනීච සිලුච්චයෙ
වායුවෙගසමුද්ධුතො - අරඤ්ඤාමිව පාවකො
අන්‍ධකාරං විය රවි - සතෙජුජ්ජලමණ්ඩලො
දීඝරත්තානුපතිනං - සබ්බානත්‍ථවිධායකං
කිලෙසජාලං පඤ්ඤාභි -විද්ධංසයති භාවිතා
සන්‍දිඨිකමතොපඤ්ඤා - ආනිසංසමිමං ඉධ”
“බිහිසුණු වෙයින් හුණු - හේනක් සේ ගල් පව්වෙකැ
සැඬ සුළඟින් පැතිරැ ගත් - ළැවගත් මහා අරනෙව්
සිය තෙද රැස් මඩුලු - සරාහිරු ගනඳුර සේ
බෝ කල් අනුවැ පැවැතුණු - සියල් අනතුරු සැලසු
වඩන ලද නුවණින් - කෙලෙස් රැස් වනසනුයෙන්
දිචුමන්හිම පසක් වූ - මේ අනුසසැ යි දන්නේ”
හුදෙක් කෙලෙස් නැසීම මතු නොවැ ආර්‍ය්‍යඵලරසානුභවය ද ප්‍රඥාභාවනාවේ ආනිසංසය යි. සෝවාන් ආදි ශ්‍රාමණ්‍යඵලය ආර්‍ය්‍ය මාර්‍ගයෙහි ඵල හෙයින් ආර්‍ය්‍යඵල නමි. මාර්‍ගවීථියෙහි ද, ඵලසමාපත්තියෙන් ප්‍රවෘත්ති කාලයෙහිදැ යි ඒ ආර්‍ය්‍යඵලරසානුභාවය ද්විප්‍රකාර වේ. ඔවුනතුරින් මාර්‍ග වීථියෙහි ආර්‍ය්‍යඵලයාගේ ප්‍රවෘත්තිය දක්වන ලදි.
මතාන්තර:- සංයෝජන ප්‍රහාණය විනා ආර්‍ය්‍යමාර්‍ගයෙහි අන්‍ය ඵලයක් නැතැයි අන්‍ධකයෝ යෙති. ඔවුන් හඟවනු පිණිස මේ සූත්‍රය දැක්විය යුතු.
“කථං පයොගපටිප්පස්සද්‍ධි පඤ්ඤා ඵලෙඤාණං සොතාපත්ති මග්ගක්ඛණෙ දස්සනඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා වුඨාති. තදනුවන්තික කිලොසෙහි ච ඛන්‍ධෙහි ච වුඨාති. බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුඨාති තං පයොගපටිප්පස්සද්‍ධත්තා උප්පජ්ජති සම්මාදිට්ඨි මග්ගස්සෙතං ඵලං”[1] ‘පයොග පටිප්පස්සද්‍ධිය (යොගාර්‍ය්‍යමාර්‍ග නිමිත්තෙන් කෙලෙස් සංසිඳුවන ප්‍රඥාව) ඵලයෙහි ඤාණය වන්නේ කෙසේද:- සෝවාන් මාර්ගක්‍ෂණයෙන් නිවන් දක්නා අර්ථයෙන් සම්මාදිට්ඨිය මිථ්‍යාදෘෂ්ටියෙන් නැගී සිටියි. ඒ මිථ්‍යාදෘෂ්ටියට සම්ප්‍රයෝග වශයෙන් ද, උපනිශ්‍රය වශයෙන් ද, අනුවර්‍තක කෙලෙසුන් කෙරෙන් ද, ස්කන්‍ධයන් ගෙන් ද නැඟී සිටී. බාහිර වූ සර්‍වනිමිත්තයන් ගෙන් ද නැගේ. ප්‍රතිප්‍රශ්‍රබ්ධිය (ඒ මාර්‍ගයා ගේ ප්‍රයෝගය සංසිඳුවන) හෙයින් මාර්ගයෙහි මෙන් ඵලයෙහි ද සම්‍යක් දෘෂ්ටි (සඞ්ඛ්‍යාත ප්‍රඥාව) උපදී, මේ ආර්‍ය්‍යමාර්ගයේ ඵලය යි. සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි නිවන් අරමුණය නැංවීම් අර්ථයෙන් සම්මාසඞ්කප්ප ද සෙසු මාර්‍ගයන් ද විස්තර කළ යුතු යි.
“චත්තාරො අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි ඉමෙ ධම්මා අප්පමාණාරම්මණා, මහග්ගතො ධම්මො අප්පමානස්ස ධම්මස්ස අනන්තර පච්චයෙන පච්චයො”[2]
‘සතර ආර්‍ය්‍යමාර්ග ද, සතර ශ්‍රාමණඵල ද යන මේ ධර්‍මයෝ අප්‍රමාණාලම්බණයහ. (අප්‍රමාණ වූ නිර්‍වාණය අරමුණු කොට ඇති හෙයිනි.) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන (මහග්ගතධර්‍ම) ය. නිරෝධයෙන් නැගිටින කලැ අනාගාමි, අර්හත් (ආර්‍ය්‍ය) ඵලය (අප්‍රමාණ ධර්‍මය) ට අනන්තරප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ, මේ ආදී සූත්‍ර ද ආර්‍ය්‍යඵල ස්වභාව ධර්‍ම වශයෙන් ඇති බව්හි සාධක යි.