(3) යම් සංක්ලේශ ධර්‍මකෙනෙක් යම් නුවණකින් ප්‍රහාණය කළ යුතු වෙත් නම් ඒ සංක්ලේශයන් ගේ ප්‍රහාණය ද වේ.
ඒ මෙසේ යි:- මේ චතුර්විධ මාර්‍ගඥාන අතුරින් යම් මාර්‍ග ඥානයකින් ප්‍රහාණය කළ යුතු නම් ඔවුන් ගේ ප්‍රහාණය දතයුතු. ඒ ධර්‍මයෝ වනාහි යෙදෙන පරිද්දෙන් බඳින අර්‍ථයෙන් සංයෝජන යැ, කෙලෙසීම් අර්‍ථයෙන් ක්ලේශ යැ, මසුරු ස්වභාවයෙන් මච්ඡරිය යැ, විපරීත භාවයෙන් විපල්ලාස යැ, ගැට ගැසීම් අර්‍ථයෙන් ග්‍රන්‍ථ යැ, අයුතු ගතිය යන අර්‍ථයෙන් අගති යැ, වැගිරෙන අර්‍ථයෙන් ආසව යැ, යටපත් කොට නසන අර්‍ථයෙන් ඕඝ යැ යොදන අර්‍ථයෙන් යෝග යැ සගමොක් මඟ වසන අර්‍ථයෙන් නීවරණ යැ, ධර්‍ම ස්වභාවය ඉක්මවා අනෙකක් ගැනීම් අර්‍ථයෙන් පරමාස යැ, දැඩිවැ ගැනීම් අර්‍ථයෙන් උපාදාන යැ, අප්‍රහීණවැ සන්තානයෙහි නැවැතැ - නැවැත හොවින අර්‍ථයෙන් අනුසය යැ, කිලිටි කරන අර්‍ථයෙන් මල යැ, යන මොවුන් ද අකුශල කර්‍මපථයන් ද අකුශල චිත්තෝපාද සංඛ්‍යාත ධර්‍මයන් ද යෙදෙන යෙදෙන පරිද්දෙන් ප්‍රහාණය කරන්නා හූ වෙත්.
විස්තර:- එහි සංයෝජන, මෙලෝ - පරලෝ ස්කන්‍ධයන් ද ඵලය හා කර්‍මය ද, දුක හා සත්ත්‍වයන් ද, එකට බඳින බැවින් රූප රාගාදි දශ ධර්‍මයෝ සංයෝජනය නම් වෙති. යම්තාක් මේ රූපරාගාදිය පවතී නම් ඒතාක් මේ ස්කන්‍ධ යැ, ඵල යැ දුඃඛ යැ, යන මොවුන් ගේ අවිච්ඡේදය වේ. ඔවුනතුරිනුදු රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාය යන හේ පස රූපා‘රූප භවයෙහි හෝ තෘතිය මාර්‍ගොත්පත්තියෙන් මතුයෙහි හෝ නිපදනා ස්කන්‍ධයන් සංයෝජනය කරන හෙයින් උද්ධම්භාගිය සංයෝජනයැ යි ද; සක්කායදිට්ඨි විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝය යන මොහු රූපා‘රූප භවයෙන් යට හෝ, තෘතීය මාර්ගයෙන් යට නිපදනා ස්කන්‍ධාදිය හා බඳින හෙයින් අධොබාගිය සංයෝජනයැ යි ද කියනු ලැබේ.
කිලෙස, තමා මැ කිලිටි වන හෙයින් ද, සම්ප්‍රයුක්ත ධර්‍ම කලිටි කරන හෙයින් ද, ලෝභයැ, දෝසයැ, මෝහයැ, මානයැ, දිට්ඨියැ, විචිකිච්ඡායැ, ථීනයැ, උද්‍ධච්චයැ, අහිරිකයැ, අනොත්තප්ප යැ යන මේ දශ ධර්‍මයෝ ක්ලේශ ධර්‍ම නම් වෙති.
මිච්ඡත්ත, වරදවා විපරිත අදහසින් පවත්නා හෙයින් මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා වචන, මිථ්‍යා කර්‍මාන්ත, මිථ්‍යා ආජීව, මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා ස්මෘති, මිථ්‍යා සමාධි යන අෂ්ට ධර්‍ම මිථ්‍යාභාවයෙන් යුක්ත හෙයින් මිච්ඡත්ත නමි. මිථ්‍යා විමුත්ති මිථ්‍යා ඥාන හෝ සමග දශයෙක් ද වේ.
ලෝක ධර්‍ම, ස්කන්‍ධයන් ගේ පැවැත්ම ඇති කලැ අනුපරම ධර්‍මකත්‍වයෙන් (පින් - පව් විසින් අනෙක් ලෝක ධර්‍ම නො සිඳින හෙයින්) ලාභ යැ, අලාභ යැ, අයස යැ, යස යැ, නින්දා යැ, ප්‍රශංසා යැ, සුඛ යැ, දුක්ඛයැ යන මේ අට දෙනයි.
(මෙහි කාරණොපචාරයෙන් ලාභාදි වස්තුක අනුනය තෘෂ්ණාව ගේ ද, අලාභාදි වස්තුක ප්‍රතිඝයා ගේ ද මේ ලෝක ධර්‍ම ග්‍රහණයෙන් ගැනීම කරන ලදැ යි දත යුතු.)
මච්ඡරිය, ආවාස, මච්ඡරිය, කුලමච්ඡරිය, ලාභ මච්ඡරිය, ධම්ම මච්ඡරිය, වණ්ණ මච්ඡරිය යි ආවාසාදිය අනුන් හා සාධාරණ බව නො ඉවසනාකාරයෙන් පැවති මාතසර්‍ය්‍ය පස යි.
විපල්ලාස, අනිත්‍ය-දුඃඛ-අනාත්ම-අශුභ වස්තූන්හි මැ නිත්‍යසුඛ-ආත්ම-ශුභ වශයෙන් පැවැති සංඥා - චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාසයෝ තිදෙනා යි.
ග්‍රන්‍ථ, නාම-රූප කායයන් භවයෙන් භවයෙහි ගැටගසන අභිධ්‍යාදි සතර යැ. එනම් අභිජඣා-ව්‍යාපාද-සීලබ්බත පරාමාස-ඉදංසච්චාභිනිවෙස කායග්‍රන්‍ථයෝ සතර දෙනා යි.
අගති, ඡන්‍ද යැ - දෝස යැ - මෝහ යැ - භය යැ යන සතරින් යෙදී නො කටයුතු කිරීම හා කටයුතු නො කිරීමයි. මෙය ආර්‍ය්‍යයන් විසින් නො යා යුතු හෙයින් අගති නම් වේ.
ආශ්‍රව, අරමුණු හෙයින් ගෝත්‍රභූ දක්වා ද, භවාග්‍රය දක්වා ද, වහනය වන හෙයින් හෝ, සංවරණය නො කළ චක්‍ෂුරාදි ද්වාරයෙන් කළ සිදුරු වලින් ජලය සේ වහනය වන හෙයින් නිති වැගිරීම් අර්‍ථයෙන් හෝ සසර දුක වහනය වන හෙයින් හෝ කාමරාග - භවරාග - මිථ්‍යාදෘෂ්ටි - අවිද්‍යා යන මොවුනට මේ නමෙකි.
ඕඝ, භව සාගරයට ඇද හෙළන අර්‍ථයෙන් හා එතර වීමට දුෂ්කර අර්‍ථයෙන් ඔවුහු ම ඕඝය වැනිනු යි ඕඝ නම් වෙති.
නීවරණ, ආලම්බන වියෝගයට හා දුඃඛ වියෝගයට (අවකාශ) නො දෙන හෙයින් ඔවුහු ම යෝග නම් වෙති.
නීවරණ, කුශල චිත්තය විශේෂයෙන් ධ්‍යාන චිත්තය ආදියෙහි වැළැක්ම ආවරණ යැ, ක්ලේශ වාසනයට පමුණුවා වැලැක්වීම නීවරණ යැ, බිත්ති කවුළු ආදියෙන් මෙන් වැසීම ප්‍රතිච්ඡාදනය යි. කුශලාදීන් පිරිසිඳ දැක්ක නොදී පැවැත්ම මෙහි නීවරණයයි. ඒ වනාහි කාමච්ඡන්දාදි පඤ්චකය යි.
පරාමාස, කායාදි ඒ ඒ ධර්‍මයා ගේ අශුභාදි ස්වභාවය ඉක්ම පරවශයෙන් (ශුභාදි වශයෙන්) නැති සැටියක් දැඩිකොට ගැනීම් ආකාරයෙන් පවත්නා හෙයින් මිථ්‍යාදෘෂ්ටිය පරාමාස නම් වේ.
උපදාන, සර්‍වාකාරයෙන් පටිච්ච සමුප්පාද නිර්දේශයෙහි කියන ලද කාමූපදානාදී සතරයි.
අනුසය, බලවත්වැ ම උපන් බැවින් ස්ථිරාර්‍ථයෙන් කාමරාගනුස්ස, පටිඝ-මාන-දිට්ඨි-විචිකිච්ඡා-භවරාග-අවිජ්ජානුසය යැ යන මේ සතයි. (මොවුන් බලවත් බවට පැමිණි හෙයින්) නැවැතැ නැවැතැ කාමරාගාදීන් ගේ උත්පත්තියට හේතු භාවයෙන් අනුවැ ශයනය කරන හෙයින් අනුසය නම් වේ.
මල, තෙල් අඳුන් කල්කයක් මෙන් තමාත් කිලිටු බැවින් ද, මෙරමාත් අශුද්‍ධ කරන හෙයින් ද, ලෝභ, දෝස, මෝහ යන තුන මල නමි.
අකුසල කම්මපථ, අකුශල කර්‍ම භාවයෙන් ද, දුගතියට මාර්‍ග භාවයෙන් ද, පානාතිපාත- අදින්නාදාන- කාමෙසුමිච්ඡාචාර- මුසාවාද- පිසුනාවාචා- ඵරුසාවාචා- සම්ඵප්පලාප- අභිධ්‍යා- ව්‍යාපාද- මිථ්‍යාදෘෂ්ටි යන දශය අකුශල කර්‍මපථ නම් වේ.
අකුශල චිත්තොත්පාද- ලෝභ මූලික අකුසල සිත් අට යැ, දෝස මූලික දෙක යැ, මෝහ මූලික දෙකයැ යි මේ දොළසයි. මෙසේ මේ සංයෝජනාදී ධර්‍මයන් මේ සතර මාර්‍ග ඥාන ධර්‍මයෝ යෙදෙන යෙදෙන පරිදි ප්‍රහාණය කරන්නෝ වෙති.
ඒ මෙසේයි:- (පළමුව) සංයෝජනයන් අතුරෙහි සක්කායදිට්ඨි- විචිකිච්ඡා- සීලබ්බතපරාමාස ද, අපායට පමුණුවන සුලු කාමරාග - ප්‍රතිඝදැ යි මේ පඤ්ච ධර්‍මයෝ ප්‍රථම මාර්‍ග ඥානයෙන් (සෝවාන් මග නැණින්) නැසිය යුතු වෙත්.
ඖදාරික වූ සෙසු කාමරාග ප්‍රතිඝයෝ - ද්‍විතීය ශකෘදාගාමී මාර්‍ගයෙන් වධ්‍ය වෙති. සූක්‍ෂම කාමරාග - ප්‍රතිඝයෝ තෘතීය අනාගාමි මාර්‍ගයෙන් වධ්‍ය වෙති. රූපරාගාදි පස්දෙන චතුර්‍ථ අර්‍හත් මාර්‍ගඥානයෙන් වධ්‍ය වෙත්.
ක්ලේශයන් අතුරෙන් දිට්ඨි - විචිකිච්ඡා දෙදෙන ප්‍රථම මාර්ග ඥාන වධ්‍යයහ. ද්වේෂය තෘතීය මාර්ගඥාන වධ්‍යයැ. ලෝභ - මෝහ - මාන - උද්ධච්ච - අහිරික - අනොත්තප්ප යන මොහු චතුර්ථ මාර්ගඥාන වධ්‍යයහ.
මිච්ඡත්ත ධර්‍මයන් අතුරින් දිට්ඨි - මුසාවාද - මිථ්‍යාකර්‍මාන්ත මිථ්‍යා ආජීව යන මොහු ප්‍රථම මාර්ගඥාන වධ්‍යයහ. මිච්ඡා සඞ්කප්ප- පිසුනාවාචා - ඵරුසාවාචා යන මොහු අනාගාමි මාර්‍ගඥාන වධ්‍යයෝ යි.
විශේෂ:- මෙහි වාචා නම් චේතනා යි.
සම්ඵප්‍රලාපයැ, මිථ්‍යාව්‍යායාමයැ, මිථ්‍යා ස්මෘතියැ, මිථ්‍යා සමාධියැ, මිථ්‍යාවිමුක්තියැ, මිථ්‍යා ඥානයැ යන මොහු චතුර්ථ මාර්ගඥාන වධ්‍යයහ.
ලෝක ධර්‍ම අතුරින් ප්‍රතිඝය, තෘතීව මාර්‍ගඥාන වධ්‍යයැ. අනුනය සඞ්ඛ්‍යාත තෘෂ්ණාව චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයැ, යශසෙහි ද, ප්‍රශංසායෙහි අනුනය චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයැ යි සමහරු කියති. ලෝභාදියෙහි ද, සුඛයෙහි ද අනුනය කාමරාගශ්‍රිත හෙයින් තෘතීය මාර්ගඥාන වධ්‍යයැ යි කියත්. මාත්සර්‍ය්‍යය ප්‍රථම මාර්ගඥාන වධ්‍යයි.
විපර්‍ය්‍යාස අතුරින් අනිත්‍යයෙහි නිත්‍ය යැ, අනාත්මයෙහි ආත්මයැ යි ද සංඥා විපර්‍ය්‍යාස- චිත්ත විපර්‍ය්‍යාස- දෘෂ්ටි විපර්‍ය්‍යාස- යෝ ද, දුඃඛයෙහි සුඛයැ, අශුභයෙහි ශුභයැ යි ද දෘෂ්ටිවිපර්‍ය්‍යාස ද යන මොහු ප්‍රථම මාර්ගඥාන වධ්‍යයහ. අශුභයෙහි ශුභය යන සංඥා-චිත්ත විපර්‍ය්‍යාසයෝ තෘතීය මාර්‍ගඥාව වධ්‍යයහ. දුඃඛයෙහි සුඛය යි සංඥා-චිත්ත විපර්‍ය්‍යාසයෝ චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයහ.
ග්‍රන්ථ අතුරින් සීලබ්බතපරාමාස- ඉදංසච්චභිනිසෙ- කාය ග්‍රන්ථයෝ ප්‍රථම මාර්ගඥාන වධ්‍යයහ. ව්‍යාපාදකය- ග්‍රන්ථය තෘතීය මාර්ගඥානව වධයය. අභිධ්‍යාකාය ග්‍රන්ථය චතුර්‍ථ මාර්ගඥාන වධ්‍ය යි.
අගතීහු ප්‍රථම මාර්ගඥාන වධ්‍යයහ.
විශේෂ:- ඡන්‍ද්‍රදිය මතු මාර්‍ගයෙන් ප්‍රහීණවතුදු තන්මුලක අකර්තව්‍ය කරණය ද කර්තව්‍යයා ගේ අකරණය ද අපාය ගමනීය හෙයිනි.
ආශ්‍රවයන් අතුරින් දිට්ඨාසවය, ප්‍රථම මාර්ගඥාන වධ්‍යය. කාමාශ්‍රවය තෘතීය මාර්ග ඥාන වධ්‍යයැ. භවාශ්‍රව අවිද්‍යාශ්‍රවයෝ චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයහ. ඕඝ-යෝගයන්හි ද මෙසේමැ යි.
නීවරණ අතුරින් විචිකිච්ඡා නීවරණය ප්‍රථම මාර්ගඥාන වධ්‍යයැ. කාමච්ඡන්‍ද-ව්‍යාපාද- කුක්කුච්ච යන තිදෙන තෘතීය මාර්ගඥානය වධ්‍යයහ. ථීන-මිද්ධ-උද්ධච්චයෝ චතුර්‍ථ මාර්ගඥානය වධ්‍යයහ.
විශේෂ:- කෘත‘කෘත දුශ්චරිත-දුචරිතානුශෝචන වූ කුක්කුච්චය තෘතීය මාර්ගඥානයෙන් ද, ඖදාරික කුක්කුච්චය ප්‍රථම මාර්ගඥානයෙන්ද වධ්‍යයි.
මිථ්‍යා දෘෂ්ටි වූ පරාමාසය ප්‍රථම මාර්ගඥාන වධ්‍යයි.
උපාදාන අතුරින් සියලු ලෞකික ධර්‍ම ම වස්තුකාම වශයෙන් කාමය යි. ආගත වැනි රූපරාග-අරූපරාග ද කාමුපාදානයෙහි වැටේ. එහෙයින් ඒ උපාදානය චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයැ. සෙසු දිට්ඨි- සීලබ්බත- අත්තවාද උපාදාන තුන ප්‍රථම මාර්ගඥාන වධ්‍යයි.
අනුශය අතුරින් දිට්ඨි- විචිකිච්ඡානුසය දෙක ප්‍රථම මාර්ග ඥාන වධ්‍යයැ. කාමරාග- ප්‍රතිඝානුසස දෙක තෘතීය මාර්ග ඥාන වධ්‍යයැ. මාන-භව-අවිද්‍යානුශය තුන චතුර්‍ථ මාර්ග ඥාන වධ්‍යයි.
මල අතුරින් දෝස මලය තෘතීය මාර්ගඥාන වධ්‍යයැ. සෙසු ලෝභ- මෝහ මල දෙක චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයි. අකුශල කර්‍මපථ අතුරින් ප්‍රාණඝාත-අදත්තාදාන-කාම මිථ්‍යාචාර-මෘෂාවාද- මිථ්‍යාදෘෂ්ටි යන මොහු ප්‍රථම මාර්ග ඥාන වධ්‍යයහ. පිසුනාවාචා- ඵරුසාවාචා- සම්ඵප්‍රලාප- අභිධයා දෙදෙන චතුර්‍ථ මාර්ගඥාන වධ්‍යයහ.
අකුශල චිත්තොත්පාද අතුරින් දිට්ඨිගත සම්පයුත්ත සතර යැ, විචිකිච්ඡාසම්පයුත්ත සිතය යන පස ප්‍රථම මාර්ග ඥාන වධ්‍යයැ. ප්‍රතිඝසම්ප්‍රයුක්තදෙසිත තෘතීය මාර්ගඥාන වධ්‍ය යි.
විශේෂ:- ප්‍රතිඝයා ගේ ඖදාරික ය ද්‍විතීය මාර්‍ගවධ්‍ය බව් යට කී සේ යි. මෙහි චිත්තොත්පාද ග්‍රහණයෙන් මක්ඛ- පලාස - මායා- සාඨෙය්‍ය- පමාද- ථම්හ- සාරම්හාදිය සංගෘහීතය යනු ටීකායි.
සෙසු දිට්ඨි විප්පයුත්ත සතර යැ, උද්ධච්චසම්පයුත්ත සිතදැ යි යක පස් චතුර්‍ථ මාර්ගඥානන වධ්‍යයි.
මෙසේ යම්මැ අකුශල ධර්‍මයෙක් යම් ආර්යමාර්‍ග ඥානයෙකින් වඳ කළ යුතු නම් ඒ අකුශල ධර්‍මය ඒ මාර්‍ගඥානයෙන් ප්‍රහාණය කළ යුතුයි. එහෙයින් මේ සංයෝනාදිය මේ මාර්ග ඥානයෝ යෙදෙන යෙදෙන සේ ප්‍රහාණය කරන්නාහුයැ යි කීහ.
ප්‍රශ්නයෙකි:- මේ මාර්‍ගඥානයෝ අතීත-අනාගත සංයෝජනාදී ධර්‍ම පහ කෙරෙද් ද නැතහොත් වර්‍තමානයන් පහ කෙරෙද් ද,
පිළිතුර:- අතීතයන් නිරුද්ධ වූ හෙයින් අතීත අකුශල ප්‍රහාණය නිෂ්ඵල වේ. අනාගතයන් නූපන් හෙයින් එහි ව්‍යායාමය ද නිෂ්ඵල යැ, ප්‍රහාතව්‍යයන් ඇති කල ප්‍රහාණය අසම්භව වන හෙයින් ද, ව්‍යායාමය සමග ප්‍රහාතව්‍ය ක්ලේශයන් එක් වැ පවත්නා හෙයින් මාර්‍ග භාවනාව සකිලිටු වන හෙයින් ද, ප්‍රත්‍යුත්පන්නයන් ගේ ද ප්‍රහාණය නො වේ.
නිදර්‍ශන:- ආලොක- අන්‍ධකාර දෙක එක්වැ පවත්නා කලැ ආලෝකය නො පවත්නා හෙයින් නිෂ්ඵල වන්නාක් මෙනි.
මතභේදයෙක්:- ‘චිත්ත විප්‍රයුක්ත සංස්කාර ඇත’ යනු සංස්කාර වාදීන් ගේ මති මාත්‍රයෙකි. එබන්දක් නැති. එහෙයින් චිත්තවිප්‍රයුක්ත සංස්කාරාදීන් ගේ විප්‍රයුක්ත සංස්කාරයන් මෙන් කෙලෙසුන් ගේ විප්‍රයුක්ත බව හෝ වේ.
ඒ එසේමැ යි:- චිත්ත විප්‍රයුක්ත වූ ප්‍රත්‍යුත්පන්න ක්ලේශයන් නම් නැත. (අරූප ධර්‍මයෝ එකවස්තුකදාදී භාවයෙන් පවත්නා ක්‍ෂණ මාත්‍රවැ පර්‍ය්‍යා පන්නයෝ ප්‍රත්‍යුත්පන්න නම් වෙති. ඔහු කෙසේ චිත්තය හා විප්‍රයුක්ත වෙද්දී එහෙයින් ක්ලේශයන් ගේ විප්‍රයුක්තතා නැත යනු භාව යි.)
මේ අස්ථාන චෝදනාවක් නො වේ. පාළියෙහි ම එන හෙයිනි.
ඒ මෙසේ යි:- (යචායං කිලෙසෙ පජහති) අතීතෙ කිලෙස පජහති. අනාගතෙ කිලෙසෙ පජහති. පච්චුප්පන්නෙ කිලෙස පජහති”[1] ‘යමෙක් කෙලෙස් පහකෙරේ නම් හෙතෙමේ අතීත කෙලෙස් පහ කෙරේ ද අනාගත කෙලෙස් පහ කෙරේ ද, ප්‍රත්‍යුත්පන්න කෙලෙස් පහ කෙරේ ද, මෙසේ කියා නැවත “හඤ්චි අතීතෙ කිලෙසෙ පජහති. අත්‍ථංගතං අත්‍ථංගමෙති. අතීතං ය නත්‍ථි තං පජහති.”1 ‘ඉදින් අනාගත කෙලෙස් ප්‍රහීණ කෙරේ නම් නූපන් කෙලෙස් ප්‍රහීණ කෙරේ. හට නො ගත් කෙලෙස් ප්‍රහීණ කෙරේ අනුත්පන්න කෙලෙස් ප්‍රහීණ කෙරේ. පහළ නොවූ කෙලෙස් ප්‍රහීණ කෙරේ. අනාගත වූ යමක් නැත්නම් ඒ නැත්තක් ප්‍රහීණ කෙරේය යි, කියා “න අනාගතෙ කිලෙසෙපජහති”1 ‘අනාගත කෙලෙස් ප්‍රහීණ නො කෙරේය යි’ ප්‍රතික්‍ෂේප කරන ලදි. එසේම “හඤ්චී පච්චුප්පන්තෙ කිලෙසෙ පජහති තෙනහි රත්තො රාගං පජහති. දුට්ඨො දොසං - මූළ්හො මොහං- විනිබද්ධො මානං- පරාමට්ඨො දිඨිං- වික්ඛෙපගතො උද්‍ධච්චං - අනිට්ඨං ගතො විචිකිච්ඡා- ථාමගතො අනුසයං පජහති. කණ්හාසුක්කධම්මා යුගනන්‍ධා වත්තන්ති. සංකිලෙසිකා මග්ගභාවනා හොති”1 ‘ඉදින් ප්‍රත්‍යුත්පන්න කෙලෙස් ප්‍රහාණය කෙරේ නම් රාගයෙන් රත්වූයේ ම රාගය පහ කෙරේ. ද්වේෂයෙන් දූෂිත වූයේ ද්වේෂය පහ කෙරේ. මෝහයෙන් මුළාවූයේ මෝහය දුරු කෙරේ. මානයෙන් දැඩි සිත් ඇත්තේ මානය දුරු කෙරේ. මිථ්‍යාභිනිවෙශ ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිය දුරු කෙරේ. වික්‍ෂෙප වූයේ උද්ධච්චය දුරු කෙරේ. නිශ්චයට නො පැමිණියේ විචිකිච්ඡාව දුරු කෙරේ. (කෘෂ්ණ - ශුකල) කුශල- අකුශල ධර්‍මයෝ යුගලවැ බැඳි එක්වැ පවතිත්. මාර්‍ගභාවනාව සකිලුටු වේ’ ය යි කියා.
‘න අතීතෙ කිලෙස පජහති. න අනාගතෙ- නං පච්චුප්පන්තෙ කිලෙස පජහති” අතීත කෙලෙස් පහ නො කෙරේ. අනාගත කෙලෙස්- ප්‍රත්‍යුත්පන්න කෙලෙස් පහ නො කෙරේ. ය යි සියල්ල ප්‍රතික්‍ෂේප කොට “තෙනහි නත්‍ථි මග්ගභාවනා නත්‍ථි ඵලසච්ඡිකිරියා නත්‍ථි කිලෙසප්පහා නං නත්ථි ධම්මාභිසමයො”1 ‘එසේ වන්නා හා මාර්‍ග භාවනා නැති. ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමෙක් නැති. ක්ලේශ ප්‍රහාණයෙක් නැති. ධර්‍මාවබෝධයෙක් නැති යි’ අවසන්හි “නහි නත්‍ථි මග්ගභාවනා -පෙ- නහි නත්‍ථි ධම්මභි සමයොති”[2] ‘මාර්‍ග භාවනා නැත්තේ නො වෙයි. -පෙ- ධර්‍මාවබෝධය නැත්තේ නො වෙයි.’ කියා සතර තන්හි කළ ප්‍රතික්‍ෂේපය, ප්‍රතික්‍ෂේප කර යි. ක්ලේශ ප්‍රහාණය ඇති බව ප්‍රතිඥා කොට හෙත් කුමක් මෙන්දැ යි විචාළ කලැ මේ කියන ලදි.
නිදර්‍ශනයෙකි:- මේතාක් ගෙඩි හට නො ගත් තරුණ රුකෙක් වේ. එය පුරුෂයෙක් මුලින් සිඳී නම් ඒ ගසෙහි ඒ හට නො ගත් ඵල නූපන්නාහු ම නූපදිති. හට නො ගත්තාහු හට නොගනිති. පහළ නො වූවෝ ම පහළ නොවෙත්. එසේම (ඵල හට නො ගත් රුකක් මුලින් සිඳිකල මතු නූපදීමට නුසුදුසු වූ සිඳීමෙන් ම නූපන් ඵල නැසුණවුන් වන්නා සේ) මාර්‍ගභාවනාව නො කළ කල ඉපදීමට සුදුසු කෙලෙස් මාර්‍ගභාවනාවෙන් නූපදින හෙයින් ප්‍රහීණ නම් වේ. කෙලෙස් ඉපදීමට උත්පත්තිය ම හේතු වේ. උත්පත්තිය ප්‍රත්‍යය වේ. ඒ උත්පත්තියෙහි ආදීනව දැක (අනුත්පාදයෙහි) නිර්‍වාණයෙහි සිත පිවිසේ. එසේ නිවනෙහි සිත පිවිසි හෙයින් ඉපදීම හේතු කොට වන්නා වූ කෙලෙස් නූපදනවුන් ම නූපදනා හෙයින් ප්‍රහීණ නම් වේ. පහළ නුවුවෝ ම පහළ නො වෙති. මෙසේ හේතු නිරෝධයෙන් දුඃඛ නිරෝධය වේ.
උපාදානස්කන්‍ධයන් ගේ පැවැත්ම කෙලෙස් ඉපදීමට හේතු වේ. -පෙ- සංස්කාර නිමිත්ත කෙලෙස් ඉපදීමට හේතු වේ. ආයුහනය කෙලෙස් ඉපදීමට හේතු වේ. අනායුහනයෙහි (නිර්‍වාණයෙහි) සිත පිවිසි බැවින් පින් පව් රැස් කිරීම් හේතුවෙන් උපදනා කෙලෙස් වේ නම් ඒ හට නො ගත් කෙලෙස් ම හට නො ගනී. පහළ නො වූ කෙලෙස් ම පහළ නො වේ. මෙසේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වේ.
මෙසේ වන්නා හා මාර්‍ග භාවනා ඇති. ඵල ප්‍රතිවේධය ද ඇති. ක්ලේශ ප්‍රහාණය ද ඇති. ධර්‍මාවබෝධය ඇති. (මේ පරවාදීහට පිළිතුරු යැ.)
ප්‍රශ්න:- “අජාතායෙව න ජායන්ති” යන්නෙන් කුමක් දැක්වී ද
පිළිතුර:- භූමින් ගේ වශයෙන් ලැබූ කෙලෙස් පහ කිරීම දක්වන ලදී.
විස්තර:- භූමි නම් විදර්‍ශනා ප්‍රඥාවට අරමුණ වූ උපාදානස්කන්‍ධ පඤ්චකය යි. පැවැත්මට ස්ථාන වශයෙන් ලැබූ ක්ලේශ භූමිලද්ධ නමි.
ප්‍රශ්න:- ඒ භූමිලද්ධයෝ, අතීත - අනාගතයේ ද නැතහොත් වර්‍තමානයේ ද
පිළිතුර:- ඒ ක්ලේශයෝ භූමිලබේධාත්පන්නයෝ ම ය. වර්‍තමානාදි උත්පන්නයනට විධුර (ප්‍රතිපක්‍ෂ) හෙයිනි.
විස්තර:- උත්පන්න ධර්‍මය තෙමේ (1) වර්‍තමාන උත්පන්නය, (2) භුත්‍වාපගත (ඇතිවැ - නැතිවී) උත්පන්නය, (3) අවාකාශකෘත උත්පන්නය (4) භුමිලබ්ධ උත්පන්නය යන මොවුන්ගේ වශයෙන් අනේක විධ යැ.
ඔවුන් අතුරින් (1) උත්පාද - ජරා - භඞ්ගයෙන් යුතු වූ සියලු නාම-රූප වර්‍තමාන උත්පනනයැ.
(2) ආලම්බන රස අනුභව කොට නිරුද්ධ වූ අනුභූත්‍වාපගත නම් වූ කුසල් අකුසල් ද උත්පාදාදී ක්‍ෂණත්‍රයයට පැමිණ නිරුද්‍ධ වූ කුශලාකුශලයෙන් පිටත් සෙසු සඞ්ඛතය ද භූත්‍වාපගතොත්පන්න නම් වේ.
(3) යානිස්ස තානි පුබ්බෙකතානි කම්මානි ‘ඔහු පෙර කරන ලද කර්‍ම’ යනාදීන් කී කර්‍මය අතිතවූයේම අනෙක් විපාකයන් ප්‍රතිබාහණය කොට තමා ගේ විපාකයට අවකාශ කොට සිටින හෙයින් එසේ කරන ලද අවකාශ ඇති විපාකය ද මෙසේ අවකාශ කළ කල්හි ඒකාන්තයෙන් උපදනා හෙයින් අවකාශකෘත උත්පන්න යැ.
විස්තර:- විපාක දීමට අවකාශ කිරීම් වශයෙන් උපදවන ලද අතීත කර්‍මය ද, එයින් උපදනට සිටි අනාගත විපාකය ද ඔකාසකතුප්පන්නය යි.
(4) ඒ ඒ භූමියෙහි (මනුෂ්‍ය-දිව්‍යාදි ආත්මභාව සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි) නො නසන ලද අකුශලය භුමිලබ්ධොත්පන්න නමි. අසමුහත හෙයින් ම නැතැ යි නො කිය හැකි බැවිනි.
මේ භූමි ලද්ධයෙහි භූමිය කිම? භූමි ලද්ධය කිමැ යි උපදනා සැකය පසිඳුනා සඳහා භුමි නම් විදර්‍ශනාවට අරමුණු වූ පඤ්චස්කන්‍ධයැ. ඒ පඤ්චස්කන්‍ධයෙහි උපදනට සුදුසු කෙලෙස් සමූහය භුමි ලද්ධ නමි. ඒ භුමි ලද්ධය ද අරමුණට කිරීම් වශයෙන් නො වේ. අරමුණු කිරීම් වශයෙන් වනාහි සියලු අතීත-අනාගත ස්කන්‍ධයන් අරමුණු කොට කෙලෙස් උපදී. රහතුන් ගේ පරිඥාත ස්කන්‍ධයන් අරභයා ක්ලේශ උපදී. මහාකාත්‍යාන, උත්පලවර්‍ණා ආදීන් ගේ ස්කන්‍ධයන් අරභයා සොරය්‍ය සිටු, නන්‍දමානවක ආදීන්ට කෙලෙස් උපන්නා සේ යැ. අන්‍ය සන්තානගත ක්ලේශ ජාතය අන්‍ය සන්තානයෙකැ අරමුණු කිරීම් මාත්‍රයෙකින් භූමි ලද්ධ වන්නේ නම්, පර සන්තතිපතිත ඒ ක්ලේශ ජාතය අප්‍රහෙය බැවින් කිසිවෙක් භව මූල්‍ය පජහලය නො කරන්නේ යි.
වස්තු (උත්පත්තිස්ථාන) වශයෙන් භුමිලද්ධය යි දත යුතු.
යම් යම් භවයෙකැ හෝ සන්තානයෙකැ හෝ පරිඥාත භූමි වශයෙන් අපරිඥාත ස්කන්‍ධයෝ උපදිත් නම් ඒ ඒ භවයෙහි හෝ සන්තානයෙහි හෝ ඉපදීමෙහි පටන් ඒ ස්කන්‍ධ විෂයෙහි සසර මුල් කෙලෙස් රැස් අප්‍රහීණ බැවින් අනුශයිත වේ.
ඒ ක්ලේශ ජාතය ප්‍රහීණ නො කළ හෙයින් භුමිලද්ධය යි දතයුතු. ඒ ස්කන්‍ධ විෂයෙහි අප්‍රහීණාර්‍ථයෙන් අනුශයිත කෙලෙස්හු වෙද් ද ඒ පුද්ගලයා ගේ ඒ ස්කන්‍ධයෝ ඒ කෙලෙසුන්ට වස්තුවෙති. අනුන් සන්තක වූ ස්කන්‍ධයෝ වස්තු නො වෙති. අතීත ස්කන්‍ධ විෂයෙහි ද අප්‍රහීණ වූ අනුශයිත ක්ලේශයනට අතීත ස්කන්‍ධයෝ ම වස්තු වෙති. ප්‍රත්‍යුත්පන්න (වර්‍තමාන) ස්කන්‍ධයෝ වස්තු නො වෙති. අනාගතාදියෙහි ද මෙසේමැ යි. එසේම කාමාවචර ස්කන්‍ධ විෂයෙහි අප්‍රහීණ අනුශයිත ක්ලේශයනට කාමාවචර ස්කන්‍ධ යෝ ම වස්තු වෙති. රූපාවචර- අරූපාවචර ස්කන්‍ධයෝ වස්තු නො වෙත්. රූපාවචර අරූපාවචර ස්කන්‍ධ විෂයෙහි ද මෙම නය යි.
සෝවාන් ආදීන් අතුරෙහි යම් යම් ආර්‍ය්‍ය පුද්ගලයකු ගේ ස්කන්‍ධ විෂයෙහි ඒ ඒ වට්ටමුල අනුශය ක්ලේශ ජාතය ඒ ඒ මගින් ප්‍රහීණ වූයේ නම් ඒ ඒ ආර්‍ය්‍යපුද්ගලයාගේ ඒ ඒ ස්කන්‍ධ ප්‍රහීණ වූ ඒ ඒ වට්ටමුල ක්ලේශයනට වස්තු නො වන හෙයින් භුමිය යන ව්‍යවහාරය නො ලබයි.
සර්‍වප්‍රකාරයෙන් පුහුදුන් ගේ වට්ටමූල කෙලෙස් අප්‍රහීණ බැවින් කරනු ලබන චෙතනා - චෛතසික භේද ඇති යම්කිසි කර්‍මයක් කුසල් හෝ අකුසල් වේ. මෙසේ අප්‍රහීණ අනුශය ඇති හෙයින් ඒ පුහුදුන්හට කර්‍ම ක්ලේශ ප්‍රත්‍යයෙන් සංසාර වෘත්තය පවතී. ඒ පුහුදුන් ගේ ඒ වට්ටමූලය රූපස්කන්‍ධයෙහි ම වේ. වේදනා ස්කන්‍ධාදියෙහි නො වේය යි ද, විඥානස්කන්‍ධයෙහි ම හෝ, රූපස්කන්‍ධායෙහි නො වෙයි කියා හෝ නො කිය යුතු යි. අවිශේෂයෙන් පඤ්චස්කන්‍ධයෙහි ම අනුශයිත හෙයිනි.
නිදර්‍ශන:- ගසෙකැ පෘථිවි ආදී රස මෙනි. මහා රුකක් පොළෝ තෙලෙහි පිහිටා පෘථිවි රසය ද, ආපෝ රසය ද, මුල- කඳ- සාඛා- කුඩා සාඛා- වෙළෙප්- ළපලු- පත්‍ර- මල්- පල යන මොවුන් ගේ වැඩී අහස් කුස පුරා කල්පාවසානය දක්වා බීජ පරම්පරාවෙන් රුක් පරපුර ගටමින් සිටි කලැ ඒ පඨවි රසාදිය මුලෙහිම ය, කඳ ආදියෙහි නො වේය යි හෝ ඵලයෙහි ම ය. මුලාදියෙහි නො වේය යි හෝ නො කිය යුතු යි.
කවර හෙයින් ද යත්:- අවිශේෂයෙන් සියලු මුල් ආදියෙහි අනුගත හෙයිනැ යි දතයුතු.
යම් සේ ඒ රුකෙහි මල්-කොළ ආදියෙහි කළකිරුණු යම්කිසි පුරුෂයෙක් සතර දිසායෙහි මඩුකටු නම් විෂ කටු ගසාද එකල ඒ ගස විෂයෙන් ස්පර්‍ශ කරන ලදුවැ පෘථිවි රස ආපොරසයන් ක්‍ෂය වූ හෙයින් නො උපදනා ස්වභාවයට පැමිණ නැවැතැ රුක් පරපුර ඉපදවීමට අපොහොසතක් වන්නා සේ ස්කන්‍ධ ප්‍රවෘත්තියෙහි කළකිරුණු කුලපුත්‍ර තෙමේ ඒ රුකෙහි සතර අතින් විෂකටු යෙදීම මෙන් තමා සතන්හි සතර මාර්‍ග භාවනා ආරම්භ කරයි. එකල ඒ පුරුෂයා ගේ ස්කන්‍ධ පරපුර ඒ සතර මාර්ග නැමැති විෂ ස්පර්‍ශයෙන් සසරවට මුල් වූ අනුෂය ක්ලේශයන් ප්‍රහීණ වූ හෙයින් ක්‍රියාභාව මාත්‍රයට පැමිණි කාය කර්‍මාදි සියලු කර්‍මප්‍රභෙද ඇතිවැ මත්තෙහි නැවැතැ (භවය) නො උපදවන සුලු බවට පැමිණ භවාන්තර සන්තතිය ඉපදවීමට අපොහොසත් වේ. හුදෙක් අවසාන චුති චිත්ත නිරෝධයෙන් දර නැති ගින්න මෙන් ප්‍රහීණ උපාදාන ඇත්තේ කිසිවක් නො ගන්නේ පිරිනිවේ. මෙසේ භූමියෙහි හා භුමි ලද්ධයෙහි විශේෂය දතුයුතු.
තවද සමුදාචාරය, ආරම්මණාධිග්ගහිතයැ, අවික්ඛමහිතයැ, අසමුහතයැ යන මොවුන් ගේ වශයෙන් උත්පන්නය චතුර්විධ යි.
ඔවුනතුරින් වර්‍තමාන උත්පන්නය සමුදාචාර උත්පන්න නමි. චක්‍ෂුරාදියට අරමුණු හමු වූ කල්හි පූර්‍වභාගයේ ප්‍රවෘත්ත ජවන වාරයෙහි නො උපදනා වූ ක්ලේශ ජාතය අරමුණු දැඩිකොට ගත් හෙයින් ම මෑත භාගයෙහි නියමයෙන් උපදනා බවින් ආරම්මණාධිග්ගහිත උප්පන්නය යි කියනු ලැබේ.
නිදර්‍ශන:- කැලණිගම පිඬු පිණිස හැසුරුණු මහාතිස්ස තෙරුන්ට විෂභාග රූප දර්‍ශනයෙන් උපන් ක්ලේශ ජාතය මෙනි. (මහාතිස්ස තෙරණුවෝ දවල් නිමිත්ත ග්‍රහණය කළ අරමුණෙහි රාත්‍රියෙහි බලවත්වැ උපන් කෙලෙස් විෂ්කම්භනය කොට රහත්වූහ.)
සමථ - විදර්‍ශනා භාවනා දෙක අතුරින් එකකින් නො මැඩි කෙලෙස් රැස් චිත්තසන්තතියට නො නැගි නමුදු ක්ලේශොත්පත්තිය වළක්වන හේතුවක් නැති හෙයින් අවික්ඛම්හිතුප්පන්න නම් වේ.
සමථ - විදර්‍ශනා වශයෙන් විෂ්කම්භනය කළ කෙලෙස් ද ආර්‍ය්‍යමාර්‍ගයෙන් නො නැසු හෙයින් (උපදනා ස්වභාවය නො ඉක්ම වූ හෙයින්) අසමුහතුපන්නය යි කියනු ලැබේ.
නිදර්‍ශන:- අහසින් යන අට සමවත් ලද තෙරුන්ට මල් පිපි රුක් ඇති උයනෙකැ මල් නෙලමින් මිහිරි හඬින් ගායනා කරන මාගමක ගේ ගීත ශබ්දය ඇදීමෙකින් උපන් ක්ලේශ ජාතය මෙනි.
ආරම්මණාධිග්ගහිතුප්පන්න යැ, අවික්ඛමහිතුප්පන යැ, අසමුහතුප්පනන්නයැ යන ත්‍රිවිධ උත්පන්නය ම භුමිලබෙධාත්පන්නයෙන් ම එකට සංග්‍රහ වේයයි දතයුතු.
මෙසේ උක්ත ප්‍රභේද ඇති මේ උත්පන්නයෙහි වර්‍තමානයැ, භුත්‍වාපගතයැ, අවකාශකෘතයැ, සමුදාචාරයැ යි කියන ලද චතුර්විධ උත්පන්නය මාර්‍ග වධ්‍ය නො වන හෙයින් සතර මඟ නුවණ අතුරින් කිසියම් නුවණෙකින් පහ කළ යුතු නො වේ.
‘භුමිලද්ධයැ, ආරම්මණාධිග්ගහීතයැ, අවික්ඛම්හිත යැ, අසමුහත යැයි කියන ලද ඒ චතුර්විධ උත්පන්නයා ගේ ඒ උත්පන්න භාවය විනාශ කරමින් ඒ ඒ ලෞකික - ලෝකෝත්තර ඥාන උපදින හෙයින් සියල්ල ප්‍රහාතව්‍ය වේය යි’ මෙසේ මෙහි යම් මාර්‍ගඥානයකින් යම් ක්ලේශයක් ප්‍රහාතව්‍ය නම් ඔවුන් ගේ ප්‍රහාණය ද දතයුතු.
ඒ මාර්‍ගාවබෝධකාලයෙහි පරිඥා - ප්‍රහාණාදි වශයෙන් කියන ලද කෘත්‍යය ද, අවිපරීත ස්වභාවයෙන් දතයුතු.
ඒ මෙසේයි:- චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කරන කාලයෙහි මේ සතර ඤාණයන් අතුරින් එක් ඤාණයක ගේ පරිඤ්ඤාපහාන - සච්ඡිකිරියා - භාවනාය යි කියන ලද මේ සතර-සතර කෘත්‍යය තතු සේ දතයුතුයි.
පැරැණියෝ ඒ මෙසේ කීහ: පහන ඉදිරි පසු නොවී එකවට වැටිය දැවීමයැ, අඳුරු දුරු කිරීමයැ, ආලෝකය පැතිරවීමයැ, තෙල් ක්‍ෂය කිරීමයැ යන කෘත්‍ය සතරක් කරන්නා සේ, මාර්ගඥානය ද පෙර පසු නොවී එක ක්‍ෂණයෙහි දුක පරිඤ්ඤාභිසමය (පිරිසිඳ දැනීම්) වශයෙන් ද, සමුදය ප්‍රහාණභිසමය වශයෙන්ද, මාර්ගය භාවනාභිසමය වශයෙන් ද, නිර්වාණය ප්‍රත්‍යක්‍ෂාභිසමය වශයෙන් ද අවබෝධ කෙරේ.
නිර්ණය - ‘නිර්‍වාණය අරමුණු කොට චතුරාර්‍ය්‍ය සත්‍යයට ම පැමිණේ. චතුරාර්‍ය්‍ය සත්‍යය ම දකී. චතුරාර්‍ය්‍ය සත්‍යය ම ප්‍රතිවෙධ කෙරේය යි’ මෙයින් කියන ලදි.
“යො භික්ඛවෙ දුක්ඛං පස්සති, දුක්ඛ සමුදයම්පි සො පස්සති. දුක්ඛ නිරොධම්පි සො පස්සති, දුක්ඛානිරොධගාමිනී පටිපදම්පි සො පස්සති”[3] ‘මහණෙනි! දුක දන්නා මහණ තෙමේ දුඃඛසමුදය ද, දුඃඛනිරෝධය ද, දුඃඛනිරෝධගාමිනිප්‍රතිපදාව ද දන්නේය’යි එයින් වදාළහ.
මේ ක්‍රමයෙන් දුඃඛසමුදය දක්නේ දුක ද දකී යනාදී සියල්ල නය විසින් දතයුතු.
තවද “මග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං, දුක්ඛ සමුදයෙපෙතං ඤාණං, දුක්ඛානිරොධො පෙතං ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනියාපටිපදායපෙතං ඤානං”[4] ‘මාර්‍ගසමංගීහු ගේ යම් ඤාණයෙක් වේ නම් ඒ ඤාණය දුඃඛයෙහි ද වේ. දුක්ඛ සමුදයෙහි ද වේ. දුඃඛනිරොධයෙහි ද වේ. දුඃඛ නිරොධ ගාමිණී ප්‍රතිපදායෙහි ද වේ ය’ යි මෙසේ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ප්‍රතිවේධය කාලාන්තරයෙකින් නොවැ එකවට ම වේ යයි දක්වන ලදි.
උපමාන උපමේය සංසන්‍දනය:- පහන වැටිය දවන්නා සේ මාර්ගඥානය දුක පිරිසිඳ දැන ගනී. අඳුරු නසන්නා සේ සමුදය ප්‍රහාණය කෙරේ. එළිය පතුරුවන්නා සේ සහජාතාදි ප්‍රත්‍යය ඇති බැවින් සම්මා සඞ්කප්පාදි මාර්ගය වඩයි. තෙල් දවන්නා සේ කෙලෙස් ක්‍ෂය කරන නිර්‍වාණය අවබෝධ කෙරේය යි දතයුතු.
තවද ක්‍රමයෙකි:- ඉර උදාවන්නේ ම පෙර පසු නොවී සිවු කිසක් කරයි. රූප ගතයන් ප්‍රකාශ කරයි. අඳුරු නසයි. එළිය පතුරුවයි. සීතල සංසිඳුවයි. එසේම මාර්ගඥානය ද දුක පිරිසිඳ දැනගනී. සමුදය පහ කෙරේ. සම්‍යක් සංකල්පාදී මාර්ගය වඩයි. නිර්‍වාණය (ප්‍රත්‍යක්‍ෂ) අවබෝධ කෙරේ.
සංසන්‍දනය:- හිරු රූප දක්වන්නා සේ මාර්ගඥානය දුක පිරිසිඳ දනී. අඳුරු නසන්නා සේ සමුදය පහකෙරේ. එළිය දක්වන්නා සේ සහජාතාදි ප්‍රත්‍යය භාවයෙන් මාර්ගය වඩයි. සීතල සංසිඳුවන්නා සේ කෙලෙස් සංසිඳුවන නිවන අවබෝධ කෙරේය යි දතයුතු.
තවද:- නැව පෙර පසු නොවී එකවට මෙතෙර හැරීමයැ, සැඩ පහර සිඳීමයැ, බඩු ඉසිලීමයැ, පරතෙරට පැමිණීමයැ යි සිවු කිසක් කරන්නා සේ මාර්ගඥානය ද සිවු කිසක් කෙරේ.
සංසන්‍දන:- නැව මෙතෙර දුරු කරන්නා සේ මාර්ගඥානය දුක පිරිසිඳී. නැව සැඩ පහර සිඳින්නා සේ මාර්ගඥානය සමුදය නසයි. නැව බඩු උසුලන්නා සේ සහජාතාදි ප්‍රත්‍යය භාවයෙන් මාර්ගය වඩයි. පරතෙරට පැමිණෙන්නා සේ නිවන ප්‍රත්‍යක්‍ෂ කරයි.
මෙසේ සත්‍යාවබෝධ කාලයෙහි එකවට සතර කෘත්‍යය වශයෙන් පවත්නා ඤාණය ඇති ඒ මාර්ගයට සොළොස් ආකාරයකින් පීළනාදි අවිපරිත ස්වභාවයෙන් එකවට චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රතිවේධ වේ.
ඒ මෙසේයි:- “කථං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි සොළසහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි, දුක්ඛස්ස පීළනට්ඨො, සඞ්ඛතඨො, සන්තාපට්ඨො, විපරිණාමට්ඨො, තථට්ඨො, සමුදයස්ස ආහුහනට්ඨො, නිදානඨො, සංයොගඨො, පළිබොධඨො, තථඨො, නිරොධස්ස නිස්සරණට්ඨො, විවෙකට්ඨො, අසඞ්ඛතට්ඨො, අමතට්ඨො, තථට්ඨො, මග්ගස්ස නියානඨො, හෙතඨො, දස්සනඨො, ආධිපත්‍යෙයට්ඨො තථට්ඨො. ඉමෙහි සොළසහාකාරෙහි තථඨෙන චත්තාරි සච්චානි එකසංගහිතානි යං එකසංගහිත තං එකත්තං යං එකත්තං තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතිති චත්තාරි සච්චානි එකපටිවෙධානි”[5] ‘චතුරාර්‍ය්‍ය සත්‍යය අවිපරීතාර්‍ථයෙන් කෙසේ එක ප්‍රතිවේධ වේ ද සොළොස් (16) අයුරෙකින් චතුරාර්‍ය්‍ය සත්‍යය එකකින් අවබෝධ වේ. දුකෙහි පෙළීම් අර්‍ථයැ, සංඛතාර්‍ථ යැ, තැවීම් අර්‍ථ යැ, පෙරළීම අර්‍ථ යැ, තථාර්‍ථ යි. සමුදයෙහි රැස්කිරීම් අර්‍ථ යැ, නිදානාර්‍ථ යැ, සංයොගාර්‍ථ යැ, පලිබොධාර්‍ථ යැ, තථාර්‍ථ යි. නිරොධයෙහි (සසරින්) නික්මවන අර්‍ථ යැ, විවෙකාර්‍ථ යැ, අසඞ්ඛතාර්‍ථ යැ, අමෘතාර්ථ යැ, තථාර්‍ථ යි. මාර්ගයෙහි (සසරින්) ගෙන යන අර්‍ථ යැ, හේත්‍වර්‍ථ යැ, දර්ශනාර්ථ යැ, අධිපතිභාවාර්ථ යැ, තථාර්‍ථ යි. මේ සොළොස් අයුරින් අවිපරීතාර්‍ථයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය එකකින් සංගෘහිත වේය යි’ කියායි.
විශේෂ:- මෙහි එකකින් සංග්‍රහ වීම නම් තථාර්‍ථ විසිනි. තථාර්‍ථ නම් අවිපරිතාර්‍ථය යි, සත්‍යාර්‍ථයයි, විද්‍යමාන වූ ස්වභාවාර්‍ථය යි.
විස්තර:- මාර්‍ගඥානය මුඛ්‍ය හෙයින් නිර්‍වාණය ම අරමුණු කෙරෙතුදු දුඃඛාදීන්හි අවිපරීත ස්වභාවය වූ සත්‍යාර්‍ථය වසාසිටි අවිද්‍යාව නසා ඒ සත්‍යාර්‍ථය තතු සේ අවබෝධ කෙරෙමින් පවතී. පසුවැ පීඩනාදි සොලොස් (16) සත්‍යාර්‍ථ ආර්‍ය්‍යයන් වහන්සේට හස්තාමලකයක් සේ ඇති සේ වැටහේ.
ප්‍රශ්නයෙකි:- දුඃඛාදීන්ට අනෙකුදු රෝග ගණ්ඩාදි අර්‍ථ ඇත ද කුමක් හෙයින් පීඩනාදි සතරක්ම කීයේ ද,
පිළිතුර:- සමුදයාදි සත්‍යාන්තර දර්‍ශන වශයෙන් ප්‍රකාශවන හෙයිනි.
විස්තර:- දුඃඛාදි සතරෙහි ස්වභාවයෙන් යම් ආකාරයෙක් ප්‍රකාශ වේ නම් ඒ පීඩනාදිය සතරක් ම වේය යි සොළසෙක්ම (16) කියන ලදී. සෙස්ස නො කියන ලදී.
විස්තර:- “තත්‍ථ කතමං දුක්ඛෙඤානං දුක්ඛං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජනනා”[6] ‘එහි දුක පිළිබඳව ඤානය නම් කිම? දුක අරභයා යම් ප්‍රඥාවක් උපදීද, යනාදී නයින් එකී-එකී සත්‍යාලම්බන වශයෙනුදු සත්‍යඥානය වදාරන ලදි.
තවද, “යො භික්ඛවෙ දුක්ඛං පස්සති සමුදයම්පිසො පස්සති” ‘මහණෙනි! යමෙක් දුක දකී යනාදි නයින් ඒක නිරෝධ සත්‍යය අරමුණු කොට සෙසු සත්‍යයන් කෙරෙහිදු කෘත්‍යය නිෂ්පත්ති වශයෙනුදු සත්‍යඥානය වදාරන ලදි.
මෙසේ පාළියෙහි වෙන් වෙන්වැ සත්‍යය අරමුණු කිරීම් වශයෙන් ද, කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් ද සත්‍යඥානය වදාරන ලදි.
ඒ දර්‍ශනද්‍වයය අතුරින් යම් කලෙක එකි එකී සත්‍යයක් අරමුණු කෙරෙන් නම් එකල, ස්වභාවයෙන් පීඩන ලක්‍ෂණ වූ දුඃඛයාගේ සංඛතාර්‍ථය ආයුහන ස්වභාව වූ සමුදයින් රැස්කරන ලද හෙයින් ද, සකස් කරන ලද හෙයින් ද, පිඩු කරන ලද හෙයින් ද සමුදය දර්‍ශනයෙන් ප්‍රකට වේ.
මාර්ගය ක්ලේශයන් ගේ තැවීම පහකරන හෙයින්ද, කෙලෙස් දාහ නැති බැවින් ඉතා සිහිල් හෙයින් මාර්ග දර්‍ශනයෙන් දුඃඛයාගේ සන්තාපාර්‍ථය ප්‍රකාශ වේ.
(ආයුෂ්මත් නන්‍ද ස්ථවිරයන්ට අප්සරාවන් දැකීමෙන් සුන්දරිය ගේ අනභිරූප බව වැටහීම මෙනි.)
අවිපරිණාම ස්වභාවය ඇති නිරෝධය (නිර්‍වාණය) දැක්මෙන් දුඃඛයා ගේ විපරිනාමාර්‍ථය (පෙරළෙන ස්වභාවය) ප්‍රකාශ වේ.
එසේම ස්වභාවයෙන් ආයූහන ලක්‍ෂණ ඇත්තා වූ සමුදයා ගේ නිදානාර්‍ථය දුඃඛ දර්‍ශනයෙන් ප්‍රකාශ වේ. (නො සැප භෝජනයෙන් උපන ව්‍යාධිය දැකීමෙන් භෝජනයා ගේ ව්‍යාධියට නිදාන බව වැටහීම මෙනි.)
සංයෝගයක් නැති නිර්‍වාණය ද දැකීමෙන් සංයොගාර්‍ථය ප්‍රකට වේ. නිර්‍ය්‍යාණ වූ මාර්‍ගය දැකීමෙන් පලිබොධාර්‍ථය ප්‍රකාශ වේ.
එසේම නිස්සරණ ලක්‍ෂණ නිරෝධයා ගේ විවෙකාර්‍ථය අවිවේක වූ සමුදය දර්‍ශනයෙන් ප්‍රකට වේ. මාර්ග දර්‍ශනයෙන් අසඞ්ඛතාර්‍ථය ප්‍රකාශ වේ.
(මේ යෝගියා විසින් අනවරාග්‍ර සංසාරයෙහි මාර්ගය නො දක්නා ලදි. ඒ ආර්‍ය්‍යමාර්‍ගය ද ප්‍රත්‍යය සහිත හෙයින් සඞ්ඛත නම් වේය යි අප්‍රත්‍ය වූ නිර්‍වාණ ධර්‍මයා ගේ අසඞ්ඛත භාවය ඉතාම ප්‍රකට වේ) දුක් දැකීමෙන් ඒ නිරෝධයා ගේ අමෘතාර්‍ථය ප්‍රකට වේ. (‘දුඃඛය විෂයැ, නිර්‍වාණය අමෘතයැ යි’ කියා යි.)
එසේම නිර්‍ය්‍යාණ (පැමිණවීම) ලක්‍ෂණ ඇති මාර්‍ගයා ගේ දැකීමෙන් ‘නිවණට පැමිණිමට මේ සමුදය (තෘෂ්ණාව) හේතු නො වේ. මේ ආර්‍ය්‍ය මාර්‍ගය හේතු වේය යි’ හේත්‍වර්‍ථය ප්‍රකට වේ. නිරෝධ දර්‍ශනයෙන් දර්‍ශනාර්‍ථය ප්‍රකට වේ. (අතිශයින් සියුම් වූ රූපයන් දක්නහුට මාගේ ඇස එකාන්තයෙන් ප්‍රසන්නය යි ඇසෙහි විප්‍රසන්න භාවය මෙනි. නොයෙක් රෝගාතුර කෘපණයන් (දුඃඛිතයන්) දැකීමෙන් ඉසුරුමත් ජනයා ගේ උදාර බව ප්‍රකට වන්නා සේ දුක දැකීමෙන් එයට ප්‍රතිපක්‍ෂ වූ අධිපති අර්‍ථය ප්‍රකට වේය යි මෙසේ සේ සත්‍යාර්‍ථ අතුරින් එක එකක් පීළන ආයුහන - නිස්සරණ - නිය්‍යානාර්‍ථ වශයෙන් ස්වලක්‍ෂණයෙන් ද, ඉතිරි සඞ්ඛතාර්‍ථදි තුන් තුන් අර්‍ථයන් ප්‍රකාශ (ආලම්බන) වන හෙයින් ද, එකි එකී සත්‍යයෙක්හි සතර-සතර අර්‍ථ කියන ලදි.
විස්තර:- දුඃඛයෙහි සංඛාර්‍ත යැ සන්තාපාර්‍ථ යැ විපරිණමාර්ථ යැ යන තුනද; සමුදයයෙහි නිදානාර්ථ යැ, සංයොගාර්ථයැ, පලිබොධාර්ථ යැ යන තුනද, නිරෝධයෙහි විවේකාර්ථ යැ, අසංඛතාර්ථ යැ, අමෘතාර්ථ යැ යන තුනද; මාර්ගයෙහි හේත්‍වර්ථ යැ, දර්ශනාර්ථ යැ, අධිපතිභාවාර්ථ යැ යන තුනදැ යි පෙර කී සේ මේ සොළොස් (16) අර්ථයෝ ප්‍රකට වෙති.
මාර්ග ක්‍ෂණයෙහි මෙකී සියලු අර්ථයෝ ම දුඃඛාදීන් විෂයෙහි සිවු (4) කෘත්‍යයක් ඇති එකම ඥානයෙන් ප්‍රතිවෙධයට යෙති.
මතාන්තර:- ‘චතුස්සත්‍යයන් නානා ක්‍ෂණයෙහි නානා ඥානයෙන් ප්‍රතිවේධ කෙරෙතැ යි’ කියන්නවුනට පිළිතුරු වශයෙන් අභිධර්‍මයෙහි කථාවස්තුප්‍රකරණයෙහි (මොග්ගලි පුත්තතිස්ස මහතෙරුන් වහන්සේ විසින්) වදාරණ ලදි. (ටීකාහි)
පරිඥාදි සතර කෘත්‍යය අතුරින්; පරිඥාව ද, ප්‍රහාණය ද, ප්‍රතිවේධය ද ත්‍රිවිධ වේ. භාවනා ද්විවිධ වේ.
ඒ මෙසේයි:- ඤාත පරිඤ්ඤාය තීරණ පරිඤ්ඤාය, පහාන පරිඤ්ඤාය, යි පරිඤ්ඤා ත්‍රිවිධ වේ. එහි “අභිඤ්ඤා පඤ්ඤා ඤාතඨෙන ඤාණං” අභිඥප්‍රඥාව දන්නා ලදය යන අර්ථයෙන් ඤාණ නම් වේය යි’ මෙසේ උදෙසා “යෙ යෙ ධම්මා අභිඤ්ඤාතා හොන්ති තෙ නෙ ධම්මා ඤාතාහොන්ති”[7] යි. යම් යම් ධර්‍මයක් අවබෝධ කරන ලද නම් ඒ ඒ ධර්‍මයෝ දන්නා ලදහයි’ මෙසේ සැකෙවින් ද,
සබ්බං භික්ඛවෙ අභිඤ්ඤෙය්‍යං, කිඤ්ච භික්ඛවෙ සබ්බං අභිඤ්ඤෙය්‍යං චක්ඛුං භික්ඛවෙ අභිඤ්ඤෙය්‍යං”[8] මහණෙනි! සියල්ල අවබෝධ කටයුතු යි. කවර සියල්ලක් අවබෝධ කටයුතු ද ‘මහණෙනි! චක්‍ෂුඃප්‍රසාදය අවබෝධ කටයුතු යි, සේ ආදී නයින් විස්තර වශයෙන් වදාරන ලද්දි ඤාත පරිඤ්ඤා නම.
ඒ ඤාත පරිඤ්ඤාන ගේ ප්‍රත්‍යය සහිත නාම-රූප විශේෂයෙන් දැනීම පරිඥාන්තරයට විෂය නො වන ආවේණික භූමිය යි. “පරිඤ්ඤා පඤ්ඤා තීරණඨෙණ ඤාණං”[9] පරිඤ්ඤා ප්‍රඥාව තිරණාර්ථයෙන් ඥානය යි.’ මෙසේ උදෙසා “යෙ යෙ ධම්මා පරිඤ්ඤාතා හොන්ති. තෙ තෙ ධම්මා තීරිතා හොන්ති”[10] ‘යම් යම් ධර්‍ම කෙනෙක් පරිඥාන වෙත් නම් ඒ ඒ ධර්‍මයෝ තීරණය කරන ලද්දෝ වෙත්ය යි’ මෙසේ සැකෙවින් වදාරා “සබ්බං භික්ඛවෙ පරිඤ්ඤෙය්‍යං කිඤ්ච භික්ඛවෙ සබ්බං පරිඤ්ඤෙය්‍යං චක්ඛුං භික්ඛවෙ පරිඤ්ඤෙය්‍යං”[11] මහණෙනි! සියල්ල පරිඤ්ඤෙය්‍ය යැ, මහණෙනි පරිඤ්ඤෙය්‍ය සියල් කවරේද මහණෙනි! චක්‍ෂුඃප්‍රසාදය පරිඤ්ඤෙය්‍ය යැ, යනාදි නයින් විස්තර හෙයින් වදාරණ ලද්දී තීරණ පරිඤ්ඤා නම. ඒ චක්‍ෂුශකාදි කලාප සන්මර්‍ශනයෙහි පටන් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි තීරණය කිරීම් වශයෙන් පවත්නා තීරණ ප්‍රඥාවට අනුලෝම ඥානය දක්වා ආවෙණික භූමිය යි.
“පහාණෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙන ඤාණං”[12] ප්‍රහාණ ප්‍රඥාව කෙලෙස් බැහැර කරන හෙයින් ඤාණයයි’ මෙසේ උදෙසා “යෙ යෙ ධම්මා පහීණා හොන්ති තෙ තෙ ධම්මා පරිච්චත්තා හොන්ති”[13] යම් යම් ක්ලේශ ධර්‍ම කෙනෙක් ප්‍රහීණ වෙත් නම් ඒ ඒ ක්ලේශ ධර්‍මයෝ බැහැර කරන ලදහ’යි මෙසේ විස්තර වහයෙන් කියන ලද ‘අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ප්‍රහාණය කෙරේ’ යනාදී ක්‍රමයෙන් පැවැත්නී පහාන පරිඤ්ඤා නම. භඞ්ගානුපස්සනාවෙහි පටන් මාර්‍ගඥානය දක්වා ඒ පහාණ පරිඤ්ඤාවට භූමිය යි.
(නිෂ්පර්‍ය්‍යායෙන් පහාණ පරිඤ්ඤාවම මාර්ග ඥානය වේය යි මාර්‍ගඥාන භූමියයි කීහ නු ටීකායි.)
මේ අභිසමය කාල කෘත්‍ය විචාරණයෙහි ලා මේ ප්‍රහාණ පරිශ්‍රම අදහස් කරන ලදී.
තවද ඤාත- තීරණ- පරිඤ්ඤාවන් ද, පහාණ පරිඤ්ඤාව පිණිස ම පවත්නා හෙයින්, ‘යම් ධර්‍මයක් ප්‍රහාණය කෙරේ නම් ඒ ධර්‍මය ම ඒ කෘත්‍යයෙන් දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේය යි’ මෙසේ පරිඥා ත්‍රයය ම මේ පර්‍ය්‍යායයෙන් මාර්‍ගඥානයා ගේ කෘත්‍යය යි දත යුතු යි.
පරිඤ්ඤා මෙන් ප්‍රහාණය ද ත්‍රිවිධ වේ. විෂ්කම්භණ තදඞ්ග- සමුච්ඡෙද ප්‍රහාණ වශයෙනි. ඒ ප්‍රහාණයන් අතුරින් සෙවෙල් සහිත දියෙහි බහාලු කළයෙන් සෙවෙල් දුරුවීම මෙන් ඒ ඒ ලෞකික සමාධියෙක් නීවරණාදි විරුද්ධ ධර්‍මයන් විෂ්කම්භනය වීම වීෂ්කම්භණ ප්‍රහාණයයි.
පෙළෙහි “විෂ්කම්භනප්පහාණං ච නීවරණානං පඨමංජ්ඣා නං භාවයතො”[14] ‘ප්‍රථම ධ්‍යානය වඩන පුද්ගලයා ගේ නීවරණ ප්‍රහාණය වේය’යි මෙසේ ධ්‍යාන බලයෙන් නීවරණයන් ගේ විෂ්කම්භණය (ඔබාලීම්) කියන ලද්දේ ප්‍රකට බැවිනි.
ඒ එසේමැ යි:- නීවරණයෝ වනාහි ධ්‍යානයට පූර්‍ව භාගයෙහි ද, පසු භාගයෙහි ද වහා සිත නො මඩනාහු වෙති.
විස්තර:- ධ්‍යානයා ගේ පූර්‍වභාගය නම් ධ්‍යානය ලැබීම පිණිස පූර්‍වභාග ප්‍රතිපත්තිය යි. පශ්චාද්භාගය නම් ධ්‍යානය ලැබ අන්‍ය කෘත්‍යයෙකැ යෙදීම යි.
විශේෂ:- විතර්‍ක- විචාර- ප්‍රීති- සුඛ- රූප සංඥාදිය ද්විතීය ධ්‍යානාදියට ප්‍රතිපක්‍ෂ යැ. ද්විතීය ධ්‍යානාදියට සමවදනා කෙණෙහි ම දුරු වේ. ද්විතීය ධ්‍යානාදියට පැමිණි කෙණෙහි ම නීවරණයෝ විෂ්කම්භණය වෙති. එහෙයින් නීවරණයන් ගේ විෂ්කම්භණය ප්‍රකට යි.
රාත්‍රියෙහි මනාව දැල් වූ පහනකින් අන්‍ධකාරය දුරු වන්නා සේ විදර්‍ශනාවට අවයව වූ ඒ ඒ ඤාණයෙන් ක්ලේශයන් ගේ ප්‍රහීණ කිරීම තදඞ්ගප්‍රහාණයයි. ප්‍රදීපයෙන් අන්‍ධකාර මෙනැයි කී උපමායෙන් තදඞ්ග වශයෙන් ක්ලේශ ප්‍රහාණය ප්‍රතිපක්‍ෂ ධර්‍ම ප්‍රහාණය යි.
ඝටයෙන් සේවාල ප්‍රහාණය මෙන් විෂ්කම්භණ ප්‍රහාණය නීවරණයන් ගේ ප්‍රවෘත්ති මාත්‍රය වැළකීම යි. එහෙයින් ම ද්විතීය- ධ්‍යානාදියෙහි විතර්‍කාදි ප්‍රහාණය පිළිබඳවැ ඒ නිදර්ශනය මනාවැ යෙදේ.
තවද සීලවිසුද්ධි ආදියෙනුදු තදඞ්ග ප්‍රහාණය මෙසේමැ යි.
විස්තර:- නාම-රූප පරිච්ඡේදයෙන් පළමු කොට සත්කාය-දෘෂ්ටිය ප්‍රහීණ වේ. ප්‍රත්‍යය පරිග්‍රහයෙන් අහේතුකදෘෂ්ටි, විෂම හේතුදෘෂ්ටීන් ගේ ද, සොළොස් (16) වැදෑරුම් කාඞ්ක්‍ෂා මලයන් ගේ ද ප්‍රහාණය වේ. කලාප සන්මර්‍ශනයෙන් මම යැ මාගේ යැයි සමූහ වශයෙන් ගැනීම ද ප්‍රහීණ වේ. මාර්‍ග-අමාර්‍ග ව්‍යවස්ථානයෙන් උච්ඡෙද දෘෂ්ටිය ප්‍රහීණ වේ. ස්කන්‍ධයන් ගේ ව්‍යය දර්‍ශනයෙන් ශාස්වත දෘෂ්ටිය ද, භයතුපට්ඨාන ඤාණයෙන් භය සහිත පඤ්චස්කන්‍ධයෙහි අභය සංඥාව ද, ආදීනවානුදර්‍ශනයෙන් පඤ්චස්කන්‍ධයෙහි ආස්වාද වශයෙන් පැවති සංඥාව ද, නිබ්බිදානුපස්සනාවෙන් වෘත්තයෙහි ඇලීම් සංඥාව ද, මුඤ්චිතුකම්‍යතා ඥානයෙන් නො මිදෙනු කැමති බව ද, පටිසඞ්ඛාන ඤාණයෙන් ප්‍රතිසඞ්ඛ්‍යානයට ප්‍රතිපක්‍ෂ මෝහය ද, සඞ්ඛාරුපෙක්ඛා ඤාණයෙන් අනුපේක්‍ෂණයෙන් වන නිත්‍යග්‍රාහය ද, අනුලොම ඥානයෙන් මාර්‍ගසත්‍යාධිගමයට විලෝම වූ නිත්‍යාදිග්‍රාහයා ද ප්‍රහාණය වේ.
තවද අටළොස් (18) මහා විදර්‍ශනාවන් අතුරින් අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ද, දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාව ද, අනත්තානුපස්සනාවෙන් ආත්ම සංඥාව ද, නිබ්බිදානුපස්සනාවෙන් නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ද, විරාගානුපස්සනාවෙන් රාගය ද, නිරොධානුපස්සනාවෙන් සමුදය ද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් දෘඪ ග්‍රාහය ද, ඛයානුපස්සනාවෙන් ඝන සංඥාව ද, වයානුපස්සනාවෙන් රැස්කිරීම ද, විපරිණාමානුපස්සනාවෙන් ධුව (ස්ථිර) සංඥාව ද, අනිමිත්තානුපස්සනාවෙන් නිත්‍ය නිමත්ත ද, අප්පණිහිතානුපස්සනාවෙන් සුඛ ප්‍රණිධිය ද, සුඤ්ඤතානුපස්සනාවෙන් ආත්ම ඇතැයි යන අභිනිවේශය ද, (දෘඪග්‍රාහය ද) අධිපඤ්ඤාධම්මවිපස්සාවෙන් සාර වශයෙන් දැඩි කොට ගැනීම ද, යථාභූතඥානදර්‍ශනයෙන් අතිශය මොහාභිනිවෙශය ද, ආදීනවානුපස්සනාවෙන් ආලය වශයෙන් දැඩි කොට ගැනීම ද, පටිසංඛානුපස්සනාවෙන් අප්‍රතිසඞ්ඛ්‍යානය ද, විවච්චානුපස්සනාවෙන් (නිර්‍වාණදර්‍ශනයෙන්) සංයොගෝභිනිවේශය ද ප්‍රහීණ වේ. මේ සියල්ල ම තදඞ්ගප්‍රහාණය මැ යි.
විශේෂ:- ඒ අටළාස් (18) මහා විදර්‍ශනා අතුරින් අනිච්චානුපස්සනාදී සප්ත අනුපස්සනාවන් ගෙන් නිත්‍ය සංඥාදීන් ගේ ප්‍රහාණය වන අයුරු භඞ්ගානුපස්සනායෙහි කියන ලද මැයි.
තවද ඛයානුපස්සනා නම්, ඝන විනිභොර්‍ග කොට ක්‍ෂයාර්‍ථයෙන් අනිත්‍යයැයි මෙසේ ස්කන්‍ධයන් ගේ ක්‍ෂයය බලන්නහුගේ ඥානය යි. ඒ ඥානයෙන් ඝන සංඥාව ප්‍රහීණ වේ.
වයානුපස්සනා නම්, දිට්ඨ ආරම්මණය අනුව යෑමෙන් දිට්ඨ අදිට්ඨ අරමුණු දෙක මම ක්‍ෂණ භඞ්ග වශයෙන් ඒක ව්‍යවස්ථා කිරීම ද, නිරෝධයෙහි අධිමුක්ත බව ද, සංස්කාරයන් ගේ නිරෝධය දැක එයින් මිදෙනු කැමැති අදහස් ඇති බව ද යන ව්‍යය ලක්‍ෂණ විදර්‍ශනායි. මෙසේ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ද, අනුමාන වශයෙන් ද, සංස්කාරයන් ගේ භඞ්ගය දැක භඞ්ග නම් වූ එම නිරෝධයෙහි ම මිදීම් වශයෙන් අදහස් ඇති බැවින් ඒ අධිමුක්ති ඥානයෙන් අභිසංස්කාරයා ගේ ප්‍රහාණය වේ.
ඒ මෙසේයි:- යමක් පිණිස රැස් කරන්නෝ නම් ඒ සංස්කාරයෝ මෙසේ ක්‍ෂය වෙත් ය යි බලන්නාහට රැස් කිරීමට සිත නො නැමේ.
විපරිණාමානුපස්සනා නම්, යට කී රූප සප්තකාදීන් ගේ වශයෙන් ආදාන - නික්ඛේපාදි ඒ ඒ පරිච්ඡේද ඉක්ම අන්‍යාකාර ප්‍රවෘත්ති දැක්වීම යි. නොහොත් උපන් සත්ත්‍වයන් ගේ ජරාවෙන් ද, මරණයෙන්දැ යි දෙයාකාරයකින් විපරිණාම දැක්වීමයි. එයින් ස්ථිර භාවයෙන් ගැනීම ප්‍රහීණ වේ.
අනිමිත්තානුපස්සනා නම්, අනිත්‍යානුදර්‍ශනය මැයි. එයින් නිත්‍ය නිමිත්ත ප්‍රහීණ වේ.
අප්පණිහිතානුපස්සනා නම්, දුඃඛානුදර්‍ශනය මැයි. එයින් සුඛ ප්‍රණිධිය (සුඛ ප්‍රාර්ථනාව) ප්‍රහාණය වේ.
සුඤ්ඤතානුපස්සනා නම්, අනාත්මානු දර්‍ශනය මැයි. එයින් ආත්මයක් ඇතැයි අභිනිවෙශය (දෘඪග්‍රාහය) ප්‍රහීණ වේ.
අධිපඤ්ඤාධම්ම විපස්සනා නම්, රූපාදි අරමුණු දැකීම ද, ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ද, භඞ්ගය දැකීම ද, ශුන්‍ය වශයෙන් වැටහීම ද, නොහොත් ශුන්‍යතාව ද, එළඹ සිටි සිහිය ද අධිඤ්ඤා විපස්සනා යි. මෙසේ කී රූපාදි අරමුණු දැන ඒ අරමුණෙහි ද, ඒ අරමුණු කොට පවත්නා සිතෙහි ද භඞ්ගය දැක සංස්කාරයෝ බිඳෙති. සංස්කාරයන්ගේම මරණය වේ. අන්‍ය වූ කිසි සත්ත්‍ව පුද්ගලාදියෙක් නැතැ යි භඞ්ග විසින් ශුන්‍යතාව ගෙන පවත්නා විදර්ශනාව අධිපඤ්ඤාධම්මවිපස්සනා නමැ යි කියනු ලැබේ.
ඒ අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් නිත්‍ය සාරයක් නැති බව ද, ආත්ම සාරයක් නැති බව ද මොනවට දක්නා ලද හෙයින් සාරාදානාභිවේශය (දැඩිකොට ගැනීම) ප්‍රහාණය වේ.
යථාභූතඤාණදස්සනය නම්, ප්‍රත්‍යය සහිත නාම-රූප පරිග්‍රහයයි. ඒ ඥාන දර්‍ශනයෙන් “මම අතීත කාලයෙහි වූ යේ ද” යනාදී වශයෙන් පැවැති සොළොස් (16) වැදෑරුම් වූ ද, “ඊශ්වරයකුගෙන් ලෝකය හට ගැනේ” යනාදීන් පැවතියා වූ ද සම්මෝමාභිනිවේශය ප්‍රහාණය වේ.
ආදිනවානුපස්සනා නම්, භයතුපට්ඨාන වශයෙන් උපන් සියලු භවාදීන්හි ආදීනව දක්නා නුවණයි. එයින් ඇලිය යුතු කිසිවක් නො පැනේය යි ආලයාභිනිවේශය ප්‍රහීණ වේ.
පටිසඞ්ඛානුපස්සනා නම්, භවයෙන් මිදීමට කරන උපාය පටිසඞ්ඛා ඤාණය යි. එයින් අප්පටිසඞ්ඛා නම් වූ මෝහය ප්‍රහීණ වේ.
විවට්ටානුපස්සනා නම්, සඞ්ඛාරුපෙක්ඛා ඤාණය හා අනුලොම ඤාණය යි.
ඒ මෙසේ යැ:- එකලැ ඒ යෝගීහු ගේ සිත මඳක් නැමුණු පියුම් පතෙකැ දියත්තක් සේ සියලු සංස්කාරයෙන් හැකිළෙයි. පෙරළෙ යි. නැවැතැ පෙරළේ යි කියන ලදි. එහෙයින් ඒ නුවණින් සංයෝගාභිනිවේශය ප්‍රහීණ වේ. කාමසංයොගාදි ක්ලේශාභිනිවෙශය - ක්ලේශ ප්‍රවෘත්තිය ප්‍රහීණ වේ යන අර්‍ථයි.
මෙසේ විස්තර වශයෙන් තදඞ්ග ප්‍රහාණය දතයුතුයි. පාළියෙහි තදඞ්ග ප්‍රහාණය නම් - නිර්‍වෙධභාගීය විදර්‍ශනා සමාධිය වඩන්නාහු ගේ මිථ්‍යා දෘෂ්ටිය තදඞ්ග වශයෙන් ප්‍රහීණ වේය යි සැකෙවින් කියන ලදි.
අකුණෙන් හෙණ පහරක් ලද රුකක් මෙන් ආර්‍ය්‍යමාර්‍ග ඥානයෙන් සංයෝජනාදි ධර්‍මයන් නැවැත නො පවත්නා සේ ප්‍රහීණ වීම සමුච්ඡෙද ප්‍රහාණය නම් වේ. ඒ සඳහා “ක්‍ෂයගාමීනම් ලෝකෝත්තර මාර්‍ගය වඩන යෝගීහට සමුච්ඡෙද ප්‍රහාණය වේ”[15] ය යි කියන ලදී.
මෙසේ මේ ත්‍රිවිධ ප්‍රහාණයන් අතුරින් සමුච්ඡෙද ප්‍රහාණයම මේ ඥානදර්‍ශන විශුද්ධියෙහි නොහොත් අභිසමය කාලයෙහි අධිප්‍රේත යි.
තවද ඒ යෝගීහට මාර්‍ගයට පූර්‍වභාගයෙහි තදඞ්ග විෂ්කම්භණ ප්‍රහාණයෝ ද, ඒ සමුච්ඡෙද ප්‍රහාණය ප්‍රයෝජන කොට පවත්නාහු යි. එහෙයින් ප්‍රහාණත්‍රය ම මේ ක්‍රමයෙන් මාර්ගඥානයා ගේ කෘත්‍යය යි දතයුතු.
නිදර්‍ශන:- සතුරු රජකු නසා රාජ්‍යයට පැමිණි රජකු විසින් රාජ්‍යයට පැමිණීමට පෙරැ කරන ලද පසල්දනවු මැඩීම ආදිය ද රජහු විසින් ම කරන ලදැයි කියන්නාක් මෙනි.
විශේෂ:- සාක්‍ෂාත් කිරීම ද, ලෞකික සාක්‍ෂාත් කිරීම යැ, ලෝකෝත්තර සාක්‍ෂාත් කිරීම යැ යි දෙ පරිද්දෙකින් භින්නවූයේ ද ලෝකෝත්තර සාක්‍ෂාත් කිරීම දර්‍ශන-භාවනා විසින් දෙපරිදි වන බැවින් සාක්‍ෂාත් කාරණය ත්‍රිවිධම වේ.
ඒ මෙසේයි:- එහි ‘ප්‍රථමධ්‍යානය ලැබුවෙමි, වසඟ කෙළෙමි, ඒ මා විසින් සාක්‍ෂාත් කරන ලදැයි’ යි යනාදීන් ආ සේ ප්‍රථම ධ්‍යානාදිය ස්පර්‍ශ කිරීම ලෞකික සාක්‍ෂාත් කිරීම යි.
විශේෂ:- (ඵුසනා) ස්පර්‍ශ කිරීම නම් අධිගම කොට ‘මෙය මා විසින් අධිගතය යි’ ප්‍රත්‍යක්‍ෂයෙන් ආලම්බන කිරීම සඞ්ඛ්‍යාත ඤාණයෙන් ස්පර්‍ශ කිරීම යි. (මින් අනුමානයෙන් ආලම්බනය කිරීම වළකා)
මේ සඳහාම “සච්ඡිකිරියා පඤ්ඤා ඵුසනට්ඨෙන ඤාණං”[16] ‘සාක්‍ෂාත් කිරීමේ ප්‍රඥාව ස්පර්‍ශ කිරීම් අර්‍ථයෙන් ඥානය යි’ උදෙසා “යෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති තෙ නෙ ධම්මා ඵස්සිතා හොන්ති”1 ‘යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කරන ලදහු නම් ඒ ඒ ධර්‍මයෝ ස්පර්‍ශ කරන ලදහ’ යි සාක්‍ෂාත් ක්‍රියා නිර්‍දෙශයෙහි කියන ලදි.
තවද මා සතන්හි නුපදවාද යම් යම් ධර්‍ම කෙනෙක් හුදෙක් අපර ප්‍රත්‍යය ඇති ඤාණයෙන් දන්නා ලද්දාහු නම් ඒ ධර්‍මයෝ සාක්‍ෂාත් කෘතයහ. එහෙයින් “සබ්බං භික්ඛවෙ සච්ඡිකාතබ්බං කිඤ්ච භික්ඛවෙ සබ්බං සච්ඡිකාතබ්බං. චක්ඛුං භික්ඛවෙ සච්ඡිකාතබ්බං”[17] ‘මහණෙනි! සියල්ල සාක්‍ෂාත් කළ යුතු ය, යනාදීන් වදාරන ලදි.
තවද “රූපං පස්සන්තො සච්ඡිකරොති. වෙදනා -පෙ- විඤ්ඤාණං පස්සන්තො සච්ඡිකරොති. චක්ඛුං -පෙ- ජරා මරණං අමතොගධං නිබ්බානං පස්සන්තො සච්ඡිකරොති. යෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති, තෙ තෙ ධම්මා ඵස්සීතා හොන්ති”2 ‘රූපය දක්නේ ප්‍රත්‍යක්‍ෂ කෙරේ. වේදනාව -පෙ- විඤ්ඤාණය ද දක්නේ ප්‍රත්‍යක්‍ෂ කෙරේ. චක්‍ෂුව -පෙ- ජරා- මරණය, අමෘතයට අනගර්‍ගත වූ නිර්‍වාණය දක්නේ ප්‍රත්‍යක්‍ෂ කෙරේ. යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු නම් ඒ ඒ රූපාදි ධර්‍මයෝ ඥාන ස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරන ලද්දාහු වෙති’ යි අන්‍ය වූ ක්‍රමයෙකින් කියන ලදී.
ලෝකෝත්තර සාක්‍ෂාත් කිරීම, ප්‍රථම (සෝවාන්) මාර්‍ග ක්‍ෂණයෙහි නිවන් අවබෝධ කිරීම දර්‍ශන සාක්‍ෂාත් ක්‍රියා යැ. සෙසු ශකෘදාගාමි ආදී මාර්‍ග ක්‍ෂණයන්හි නිවන් අවබෝධ කිරීම භාවනා සාක්‍ෂාත් ක්‍රියා යි. ඒ දෙවැදෑරුම් සාක්‍ෂාත් ක්‍රියාවෝම මේ අභිසමය කාලයෙහි අදහස් කරන ලදහ.
(ගෝත්‍රභූ ඥානය එයට ද පළමු නිවන් දකී. අරමුණු කිරීම් වශයෙන් දුටුව ද, ක්ලේශ ප්‍රහාණාදි කර්‍තව්‍ය කෘත්‍යයන් නො කරන හෙයින් එය දර්‍ශනය යි නො කියන ලදි. යනු ටීකා යි.)
එහෙයින් දර්‍ශනමාර්‍ග - භාවනාමාර්‍ග වශයෙන් නිර්‍වාණය සාක්‍ෂාත් කිරීම මේ ලෞකික - ලෝකෝත්තර ඥානයා ගේ කෘත්‍යය යි දතයුතු.
(මෙයින් අමාර්‍ග වශයෙන් පැවති නිර්‍වාණය (ප්‍රත්‍යවේක්‍ෂා) සාක්‍ෂාත් කිරීම වළකයි යනු ටීකායි.)
“ද්‍වෙ භාවනා අභිමතා” යනු ලෞකික භාවනා යැ, ලෝකෝත්තර භාවනා යැ යි’ භාවනා දෙකෙන් ම අභිප්‍රේත යි. ඔවුනතුරින් ලෞකික- සීල- සමාධි ප්‍රඥාවන්ගේ ඉපදවීම ද, ඒ සීල- සමාධි- ප්‍රඥාවන්ගෙන් තමා සතන්හි පුරුදුවීම් විසින් පැවැති සන්තාන වාසනාව ද ලෞකික භාවනා යි.
(යම් පමණෙකින් ලෞකික වූ සීල භාවනා (කාය භාවනා) චිත්ත භාවනා- ප්‍රඥා භාවනාවෝ උපදවන ලද්දාහු ද එයින් ම සන්තානය ද පරිභාවිත යැ යනු ටීකායි.)
මෙහි ලෝකෝත්තර භාවනාව ම අභිප්‍රේතයි.
ලෝකෝත්තර වූ සීල- සමාධි- ප්‍රඥාවන් ගේ ඉපදවීම ද, ඒ සීලාදීන් ගෙන් පැවැති සන්තාන වාසනාව ද ලෝකෝත්තර භාවනා යි. මේ ඤාණ දස්සන විසුද්ධියෙහි ලා ඒ ලෝකෝත්තර භාවනාව අභිප්‍රේතයි. සිවුවැදෑරුම් වූ ඒ ලෝකෝත්තර මාර්‍ග ඥානය සම්මාවාචා- සම්මාකම්මන්ත- සම්මාආජීව- යන සීලය ද, සම්මාවායාම- සම්මාසති- සම්මාසමාධි යන සමාධිය ද උපදවයි. ඒ උපදවනුවේ සීලාදීන් සහජාතාදි ප්‍රත්‍යය හෙයිනි.
විශේෂ:- මෙහි ප්‍රඥාව තමාම නො උපදවන හෙයින් ආදි ශබ්දයෙහි ප්‍රඥාව (සම්මාදිට්ඨි - සම්මාසඞ්කප්ප) නො ගැනේ.
තවද මෙහි ඵලසීලාදීන් ගේ ගැනීම වේය යි ප්‍රඥාව ද ගැනීම යෙදේ. ඒ මාර්‍ග ඵලයෙන් සමුච්ඡෙද- පටිප්පස්සද්ධි වශයෙන් ක්ලේශ ප්‍රහාණයෙන් සමුච්ඡින්‍දන-පටිප්පස්සම්භන වශයෙන් පවත්නා ලෝකෝත්තර ශීලාදියෙන් ආර්‍ය්‍ය පුද්ගල තෙමේ තමා සන්තානය පරිභාවිත කෙරේනු යි ලෝකෝත්තර භාවනාව මේ මාර්ගඥානයේ කෘත්‍යය යි.
මෙසේ මාර්ගාවබොධකාලයෙහි පරිඥාදි වශයෙන් කියන ලද සියලු කෘත්‍යය තතු සේ දතයුතු.
මෙතෙකින් -
“සීලෙ පතිඨාය නරො සපඤ්ඤො- චිත්තං- පඤ්ඤාඤ්ච භාවයං” යි මෙසේ ස්වරූපයෙන් ආගත වූ ප්‍රඥාභාවනාව පිළිබඳ විධානය දැක්වීම පිණිස-
“මූලභූතා ද්වෙ විසුද්ධියො සම්පාදෙත්‍වා සරීරභූතා පඤ්ච විසුද්ධියො සම්පාදේන්තෙන භාවෙතබ්බ” යී ‘මුල් වූ සීලවිසුද්ධි චිත්තවිසුද්ධීන් සම්පාදනය කොට සරීර වූ දිට්ඨි - කාඞ්ඛාරවිතරණමග්ගමාග්ගඤාණ- පටිටපදාඤාණ- ඤාණ දස්සන පඤ්ච විසුද්ධීන් සම්පාදනය කරමින් වැඩිය යුතුයැ’යි විස්තර කරන ලදි.
විශේෂ:- මේ සප්ත. විශුද්ධිය අතුරින් සීලාදි විසුද්ධි සය ලෞකික යැ. ඤාණදස්සන විසුද්ධිය ලෝකෝත්තර යි. මෙතෙකින් “කථං භාවෙතබ්බං” ‘කෙසේ වැඩිය යුතුදැ’ යි විචාළ ප්‍රශ්නය විසඳන ලද්දේ වේ.
මෙසේ සුධීජනනයන් ගේ ප්‍රමොද්‍ය පිණිස කළ විශුද්ධි මාර්ගයෙහි
ප්‍රඥභාවනාධිකාරයෙහි ඥානදර්‍ශන විශුද්ධි නිර්දේශ නම්
දෙවිසිවන පරිච්ඡේදය සමාප්ත යි.