(2) වුට්ඨාන බලසමායෝගය - නිමිත්තයෙනුදු, ප්‍රවෘත්ත යෙනුදු නැගීම වුට්ඨාන නමි. සමථ - විදර්‍ශනා බලයෙන් සම්ප්‍රයුක්ත බව බලසමායෝග නමි. වුට්ඨානය ද, බලසමායෝගය ද, වුට්ඨාන - බලසමායෝගය නම් වේ.
විශේෂ:- ලෞකික විදර්‍ශනාව සංස්කාර නිමිත්ත අරමුණු කොට ඇති හෙයින් නිමිත්තෙන් නො නැගිටියි. ප්‍රවෘත්ති කාරණා වූ සමුදාය සමුච්ඡෙද නොකරන හෙයි් (නො සිඳින හෙයින්) විපාක ප්‍රවෘත්තියෙන් නො නැඟේ.
විස්තර:- එහි නිමිත්තයෙන් නැඟීම නම් සංස්කාර නිමිත්ත හැරෑ නිවන් අරමුණු කිරීම යි. පැවැත්මෙන් නැගීම නම් හේතු නිරෝධයෙන් ආයති විපාක ප්‍රවෘත්තිය නූපදනා ස්වභාවයට පැමිණවීම යි.
ගොත්‍රභූ ඤාණය - සමුදය ක්ලේශය නො සිඳින හෙයින් විපාක ප්‍රවෘත්තියෙන් නො නැගෙයි. එහෙත් නිර්‍වාණය අරමුණු කරන හෙයින් සංස්කාර නිමිත්තෙන් නැගෙන හෙයින් එතෙකින් නැගීම වේ. එහෙයින් “බහිද්ධාවුඨානවිවට්ටෙන පඤ්ඤා ගෝත්‍රභූ ඤාණං”[1] ‘බැහැර සංස්කාරයන් කෙරෙන් නැගීම ය යන පෙරැළීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූ ඤාණය’ යි කීහ.
එසේම උත්පාදයෙන් පෙරැළී අනුත්පාදය (නිර්‍වාණය) ට වදීනු යි’ ගෝත්‍රභූ නමි. මෙසේ සියල්ල දතයුතු.
මේ සතර මාර්‍ගඥානයෝ අනිමිත්තාලම්බනික (නිර්‍වාණලම්බන) හෙයින් සංස්කාර නිමිත්තෙන් නැගෙති. සමුදය සමුච්ඡෙද කරන හෙයින් විපාක ප්‍රවෘත්තියෙන් නැගෙත්නු යි දුභතොවුට්ඨාන (දෙකින් ම නගින්නාහු) නම් වෙත්.
එයින් වදාළහ:- “නිමිත්ත - ප්‍රවෘත්ති දෙකින් නැගිටීමෙන් පෙරළා හරින ප්‍රඥාව කෙසේ මාර්‍ගයෙහි ඥානය වේ ද සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි පරිඥ-ප්‍රහාණ-සාක්‍ෂාත්ක්‍රියා-භාවනා-අභිසමය වශයෙන් චතුස්සත්‍යය දර්‍ශනාර්‍ථයෙන් සම්‍යක්දෘෂ්ටියෙන් දෙසැට (62) මිථ්‍යාදෘෂ්ටියෙන් නැගේ. අපායගාමිනී බැවින් තදනුවර්‍තක වූ විචිකිච්ඡාදී ක්ලේශයන් කෙරෙන් මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් උපදනට සුදුසු ස්කන්‍ධයන් කෙරෙනුදු නැගේ. පිටත්හි සියලු සංස්කාර නිමිත්තයෙනුදු නැගේ. නිමිත්ත - ප්‍රවෘත්ති දෙකින් නැගිටීමෙන් පෙරළා හරින ප්‍රඥාව මාර්‍ගයෙහි ඥානය යි”[2] කියා යි.
සිත නිවනට නැංවීම අර්‍ථයෙන් සම්මාසඞ්කප්පය කාම සඞ්කල්පාදී ත්‍රිවිධ මිථ්‍යා සඞ්කල්පයෙන් නැගේ. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද, බැහැර වූ සියලු නිමිත්තයන් කෙරෙන් ද නැගේ. (යනාදිය මත්තෙහි ද එසේම යෙදිය යුතු.)
සම්ප්‍රයුක්ත ධර්‍මයන් මනා කොට නුවණින් ගැනීම් අර්‍ථයෙන් සම්‍යක් වචනය මුසාවාදාදී චාතුර්විධ වාග් දුශ්චරිතයෙන් නැගේ. සම්ප්‍රයුක්ත ධර්‍මයන් මොනවට නැගිටුවීම් අර්ථයෙන් සම්‍යක් කර්‍මාන්තය ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් ද, ආජීව පිරිසිදු කරන අර්ථයෙන් සම්‍යක් ආජීවය මිථ්‍යා ආජීවයෙන් ද, නගා සිටුවන අර්‍ථයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් ද, අරමුණු එළඹ සිටීම් අර්ථයෙන් සම්‍යක් සතිය මිථ්‍යා සතියෙන් ද, අවික්‍ෂිපතාර්‍ථයෙන් සම්‍යක් සමාධිය මිථ්‍යා සමාධියෙන් ද නගියි. තදනුවර්‍තක ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැගේ. බාහ්‍ය වූ සර්‍ව නිමිත්තයන් කෙරෙන් ද නැගේ. එහෙයින් “දුහතො වුට්ඨානවිවට්ටෙන පඤ්ඤා මග්ගෙඤාණං”[3] යි කියනු ලැබේ.
ශකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය -පෙ- අවික්ෂෙපාර්ථයෙන් සම්‍යක් සමාධිය, ඖදාරික කාමරාග සංයෝජන කෙරෙන් ද, පටිඝසංයෝජන කෙරෙන් ද, ඖදාරික කාමරාගානුසය කෙරෙන් ද පටිඝානුසය කෙරෙන් ද නගී.
අනාගාමී මාර්‍ගක්‍ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය -පෙ- අවික්ෂෙපාර්ථයෙන් සම්‍යක් සමාධිය අනුසහගත කාමරාග සංයෝජනයෙන් ද, පටිඝසංයෝජනයෙන් ද, අනුසහගත කාමරාගානුසයෙන් ද, අනුසහග පටිඝානුසයෙන් ද නැඟේ.
අර්‍භන් මාර්‍ගක්‍ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය -පෙ- අවික්ෂෙපාර්ථයෙන් සම්‍යක් සමාධිය -පෙ- රූපරාගායෙන් ද, අරූපරාගයෙන් ද, මානයෙන් ද, උද්ධච්චයෙන් ද, අවිද්‍යාවෙන් ද, භවරාගානුසයයෙන් ද, මානානුසයයෙන් ද, අවිජ්ජානුසයයෙන් ද, නැගේ.
තදනුවර්‍තක ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැගේ. බාහිර සියලු නිමිතීන් ගෙන් ද නැගේ. එහෙයින් “නිමිත්ත ප්‍රවෘත්ති දෙකින් නැගීමෙන් පෙරළා හරින ප්‍රඥාව මාර්‍ගයෙහි ඥානය යි කියනු ලැබේ.
ලෞකික අෂ්ට සමාපත්තීන් භාවනා කාලයෙහි සමාධි භාවනා හෙයින් සමථ බලය අධික වේ. අනිච්චානුපස්සනාදිය භාවනා කරන කාලයෙහි විදර්‍ශකා බලය අධික වේ. ආර්‍ය්‍යමාර්‍ග ක්‍ෂණයෙහි වනාහි ඒ ශමථ - විදර්‍ශනා ධර්‍මයෝ දෙදෙන සමවැ අන්‍යොන්‍යයන් වැළද ගන්නවුන් මෙන් පවතිත්. එහෙයින් මේ සතර ඤාණයෙහි ම සමථ-විදර්‍ශනාබල සමයෝගය වේ.
එයින් වදාළහ. “උද්ධච්ච සහගත කිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුඨහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධ ගොචරො. අවිජ්ජාසහගත කිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට්ඨහතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධ ගොචරා ඉති වුට්ඨානට්ඨෙන සමථ - විපස්සනා එකරසා හොන්ති යුගනන්‍ධා හොන්ති. අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති තෙ වුච්චතිවුට්ඨානට්ඨෙන සමථවිපස්සනා යුගනද්ධාභාවෙතීති”[4]
‘උද්ධච්චය ප්‍රධාන කොට ඇති ක්ලේශයන් කෙරෙන් ද උද්ධච්ච සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් කෙරෙන් ද නැගී සිටි යෝගීහු ගේ චිත්තයා ගේ එකාග්‍රතා ඇති, එහෙයින් ම අවික්‍ෂේප වූ සමාධිය නිවන් අරමුණු කොට පවතී. අවිද්‍යා ප්‍රධාන ක්ලේශයන් කෙරෙනුදු, අවිද්‍යා සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් කෙරෙනුදු නැගෙන්න හූ ගේ අනුදර්ශනාර්ථයෙන් පවත්නා විදර්‍ශනාව නිරෝධය අරමුණු කොට ඇත්තේ යැ. මෙසේ වුට්ඨානාර්‍ථයෙන් (නිමිත්තයෙන්ද, ප්‍රවෘත්තියෙන් ද නැගෙන හෙයින්) ශමථ - විදර්‍ශනා දෙදෙන එක කෘත්‍ය වෙති. යුගයෙහි බද්‍ධයන් සේ සමවෙති. ඔවුනොවුන් නො ඉක්මවත්. වුට්ඨානාර්‍ථයෙන් ශමථ-විදර්‍ශනා යුගනන්‍ධවැ වඩා යැ යි” එයින් කී.
මෙසේ මෙහි වුට්ඨානබල සමායෝගය දත යුතු යි.