ද්‍විතීය මාර්ගඥානය

විශේෂ:- මේ මාර්‍ග ඥානයට අනතුරුවැ එම මාර්‍ගඥානයා ගේ විපාක වූ ඵලසිත් දෙක තුනෙක් උපදී. තවද සතර ලෝකෝත්තර කුශල (මාර්‍ග) යන් අනතුරු විපාක ඇති හෙයින් ම “සමාධිමානන්තරිකඤ්ඤමාහු[1] මාර්ගය තමා ගේ පැවැත්මට අනතුරුවැ ම ඵල උපදවන හෙයින් ආනන්තරික සමාධිය යි කීහු’ යනු ද,

දන්‍ධං ආනනතරිකං - පාපුණාති ආසවනාං ඛයාය” ‘ආශ්‍ර‍වයන් ගේ ක්‍ෂය පිණිස ලස්වැ අනතුරු ඵල දෙන මගට පැමිණේ’ යනු ද එයින් කියන ලදී.

මතභේද:- ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් ‘මාර්ගඥානයට අනතුරුවැ ඵල සිත් එකෙක් - දෙකෙක් - සතරෙක් හෝ උපදීය යි කියති. ඒ නො ගත යුතු යි. අනුලෝමයා ගේ ආසේවනයෙන් කෙළවරැ ගෝත්‍ර‍භූ ඤාණය උපදී. එහෙයින් යටත් පිරිසෙයින් අනුලෝම සිත් දෙකක් විය යුතු ය. එකක් ආසේවනය ප්‍ර‍ත්‍යය නො ලබන හෙයිනි. ඒකාවර්‍ජනවීථි තොමෝ ජවන සිත් සතක් පරම කොට ඇත්තී ය.

මෙහි අභිප්‍රාය:- එක් අනුලොම සිතක් වුවහොත් ආසේවන ප්‍ර‍ත්‍යය නො ලබන හෙයින් එක් අනුලෝමයක් නො වේ. යටත්පිරිසෙයින් අනුලෝම සිත් දෙකක් වත් විය යුතු හෙයින් තුන්වැනුවැ ගෝත්‍ර‍භූ වේ. සතරවනුව මාර්ග වේ. එසේ වන්නා තව සිත් තුනකට ආයු ඇති හෙයින් ඵල සිත් තුනක් පමණක් උපදී, (සතරෙක් නූපදී ආයු නැති හෙයිනි) යමෙකුට අනුලෝම සිත් තුනක් වී නම් ඔහුට සතරවනුව ගෝත්‍ර‍භූ සිත ද, පස්වනුවැ මාර්ග සිත ද වේ. ඵලසිත් දෙකෙක් වේ. ඵලසිත් දෙකෙක් හෝ තුනෙක් වේ යයි කීයේ එහෙයිනි.

තවද මතාන්තරයෙකි:- යමකුට අනුලෝම සිත් සතරෙක් වේ නම් ඔහුට පස්වනුවැ ගෝත්‍ර‍භූ සිත ද, ‘සවැනුවැ මාර්ග සිතද’ වේ. එක් ඵල සිතෙක් වේය යි කියති. එය සාර විසින් නො ගත යුතු යි.

(අර්‍ථණා වීථියෙහි සතර වනුවැ හෝ පස් වනුවැ හෝ අර්‍පනා වේ. ඉන් ඔබ්බෙහි නො වේ. ‘භවාඞ්ගයට ආසන්න හෙයිනැ’ යි කී හෙයිනි. ඵල සිත් දෙකක් ඉපදීමට අවකාශ තිබිය යුතු හෙයින් අනුලෝම සිත් තුනකට වඩා නූපදී.) මෙතෙකින් ශ්‍රෝතාපන්ති ඵලස්ථවුයේ දෙවන ආර්‍ය්‍යපුද්ගලයා වෙයි. දිව්‍ය - රාජ්‍ය - චක්‍ර‍වර්‍තතිරාජ්‍යාදිය ලැබීමෙන් ඉතා ප්‍ර‍මාදවූයේ නමුදු සත් වරක් දෙවියන් අතරැ ද, මනුෂ්‍යයන් අතරැ ද දිවැ ඇවිද දුක් කෙළවර කිරීමට සමර්‍ථ වේ.

ඵලචිත්තාවසානයෙහි ඒ ආර්‍ය්‍යයා ගේ සිත භවාඞ්ග වේ. ඉක්බිති භවාඞ්ගය සිඳී මාර්ගප්‍ර‍ත්‍යවේක්‍ෂා පිණිස මනෝද්වාරාවර්‍ජන සිත උපදී. එය නිරුද්ධ වූ කලැ පිළිවෙලින් මාර්ග ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන ජවන් සතෙක් උපදී. නැවැතැ භවාඞ්ග වේ. පෙර සේ ම නැවැතත් ඵල ප්‍ර‍ත්‍යවේක්‍ෂා ජවන් සතක් දැ යි මෙසේ මාර්ගය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. ඵලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. ප්‍ර‍හීණ කෙලෙස් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. අවශේෂ කෙලෙස් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. නිවන ද ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ.

විස්තර:- ඒ සෝවාන්තෙමේ ‘මම මේ මගින් ඒකාන්තයෙන් ආමි යි’ මාර්ගය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. අනතුරු වැ ‘මා විසින් මේ අනුසස් ලබන ලදැ යි’ ඵලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. අනතුරුවැ ‘මාගේ මෙනම් කෙලේ පහවීය යි’ පහ වූ කෙලෙස් ප්‍ර‍‍්‍යවේක්‍ෂා කෙරේ. ඉක්බිති ‘මේ කෙලෙස් ඉතිරිවීය යි’ මේ ධර්‍මය ආලම්බන කිරීමෙන් ප්‍ර‍තිවේධ කරන ලදැයි ‘අමෘත වූ නිර්‍වාණය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙරේ. මෙසේ සෝවාන් ආර්‍ය්‍යායාහට ප්‍ර‍ත්‍යවේක්‍ෂා පසෙක් වේ. සෝවාන් වූවහට මෙන් සකෘදාගාමි - අනාගාමීන්ට ද ප්‍ර‍ත්‍යවේක්‍ෂා පස - පස වේ. රහත්හට වනාහි අවශිෂ්ට ක්ලේශයන් ගේ ප්‍ර‍ත්‍යවේක්‍ෂාවෙක් නැති. මෙසේ එකුන්විසි (19) ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙනෙක් වෙති.

මේ උත්කෘෂ්ට පරිච්ඡේදයෙනි.

විශේෂ:- ප්‍ර‍හීණ - අවශිෂ්ට ක්ලේශ ප්‍ර‍ත්‍යවේක්‍ෂණය ශෛක්‍ෂයන්ට වන්නේත් වෙයි නොවෙන්නේත් වෙයි.

ඒ එසේමැයි:- ඒ අභාවයෙන් ම මහානාම ශාක්‍යතෙමේ සමහර කලෙකැ ම සිත ලෝභ ධර්‍මයන් වැළඳ ගෙන සිටිනා බැවින් භාග්‍යවතුන් වහන්සේ! කවර ධර්‍මයෙක් මාගේ සන්තාන යෙහි අප්‍ර‍හීණදැ යි” බුදුන් වෙතින් විචාළේ යි. මෙසේ මෙහිලා සියලු සූත්‍ර‍ය[2] විස්තර හෙයින් දතයුතු.

මෙසේ පස්විකා සෝවාන් ආර්‍ය්‍ය තෙමේ ඒ ආසන්නයේ ම හිඳ හෝ අන් කලෙක හෝ කාමරාග - ව්‍යාපාද තුනී කිරීමෙන් දෙවෙනි ශ්‍රාමණ්‍යඵල ප්‍ර‍තිලාභය පිණිස යෝග කෙරේ. ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍ර‍ද්ධාදි පඤ්චෙන්‍ද්‍රියයන් ද, ශ්‍ර‍ද්ධාදි බලයන් ද, ස්මෘත්‍යාදී බෝධ්‍යඞ්ගයන් ද රැස්කොට රූප වේදනා - සංඥා - සංස්කාර - විඥානයැ යන භේද ඇති සංස්කාරගතය අනිත්‍ය ය, දුඃඛ යැ, අනාත්මයැ යි නුවණින් පරිමාර්දනය කෙරේ. නැවැතැ-නැවත පරිවර්‍තනය කෙරේ. උදය - ව්‍යයානු - දර්‍ශනයෙහි පටන් විදර්‍ශනා වීථියට බසී. මෙසේ පිළිපන් ඔහුට පෙරැ උදය - ව්‍යය ඥානාදිය උපන් සේ කී නයින් ම සංස්කාරෝපේක්‍ෂාව ගේ අවසානයෙහි එක් ආවර්‍ජනයෙන් අනුලෝම - ගොත්‍ර‍භූ ඤාණයන් උපන් කලැ ගෝත්‍ර‍භූ ඤාණයට අනතුරුවැ ශකෘදාගාමි මාර්ගය උපදී. ඒ ශකෘදාගාමි මාර්‍ග සමප්‍ර‍යුක්ත ඥානය සකෘදාගාමිමග්ග ඤාණ නම් වේ.

ද්‍විතීය මාර්ගඥානය නිමි.

  1. ඛු:පා: 4

  2. සං:නි: සොතාපත්තිසංයුත්ත 1037