මේ අනුලෝමඤාණයෙන් මතුයෙහි වූ ගෝත්‍රභූඤාණය වේ. එය මාර්‍ගය ආවර්‍ජනා කරන ස්ථානයෙහි වූ හෙයින් ප්‍රතිපදාඥාන දර්‍ශනවිශුද්ධිය ද, ඥානදර්‍ශනවිශුද්‍ධිය ද නො බෙජේ.
(එහෙයින්ම එය විඤ්ඤාණ ධාතුන්ට විෂය දක්වන (දර්‍ශනාදිකෘත්‍යය කරන) ක්‍රියාමනෝධාතුව මෙන් මාර්‍ගයට ආවර්‍ජන ස්ථානීය යි කියන ලදි. (සන්‍ය යි.)
සවන සත්වන විශුද්ධීන්ගේ මධ්‍යයෙහි අබ්බොහාරික ම වේ. (උභය විශුද්‍ධි ලක්‍ෂණ නැති හෙයිනි.)
එහෙත් වුට්ඨානගාමිනී විදර්‍ශනාව ගේ අවසානය වූ විදර්‍ශනාශ්‍රොතස් හි පතිත වූ හෙයින් විදර්‍ශනායැ යි ගණයට යේ.
ශ්‍රෝතාපත්තිමාර්ගය, ශකෘදාගාමිමාර්ගය, අනාගාමි මාර්ගය, අර්‍භහත් මාර්ගය යන මේ සතර මාර්‍ගයෙහි ඥානය ඤාණදස්සන විසුද්‍ධි නම් වේ.
විස්තර:- ඔවුනතුරින් ප්‍රථම මාර්ගඤාණය සම්පාදනය කරනු කැමැති යෝගීහු විසින් කළමනා අන්කිසිවෙක් නැති. හුදෙක් ඔහු විසින් කළමනා දෑ අනුලෝමය අවසන් කොට ඇති විදර්‍ශනා උපදවන්නේ කෙළේම වේ. මෙසේ උපන් අනුලෝම ඥානය ඇති ඒ යෝගීහු ගේ පරිකර්‍ම, උපචාර, අනුලෝම යන අනුලෝමඤාණ තුනින් තමා බලයට සුදුසු සේ මහත් මහත් සත්‍යය වසා සිටි මෝහාන්‍ධකාරය අන්තර්ධාන කළ කල්හි සියලු සංස්කාර ගතයෙහි සිත නො යව යි. සියලු සංස්කාරයෙහි සිත නො සිටී, නො ඇලේ, නො රැඳේ, නො ලැගේ, නො බැඳේ, නෙළුම් පතැ හුණු දියත්තක් මෙන් හැකිලේ. පැකිලේ, පෙරැලේ, සියලු සංස්කාර නිමිත්තාලම්බනයෝ ද සියලු විපාක ප්‍රවෘත්ති ආලම්බනයෝ ද පළිබෝධ හෙයින් වැටහෙත්. ඒ යෝගීහට ඒ සියලු නිමිත්තාරම්මණයන් හා පවත්තාරම්මණයන් හා පළිබෝධ හෙයින් වැටහුණු කල්හි අනුලෝමඤාණය ආසෙවන විසින් උපන් අනතුරුවැ අනිමිත්ත වූ (සංස්කාර නිමිති නැති) සංස්කාර ප්‍රවෘත්ති නැති, සංස්කාරයන් වියුක්ත වූ, සංස්කාර විරෝධ වූ නිරෝධ වූ නිවන අරමුණු කෙරෙමින්, පෘථග්ජන ගෝත්‍රය, පෘථග්ජන සංඛ්‍යාව පෘථග්ජන භූමිය ඉක්මවන්නා වූ, ආර්‍ය්‍ය ගෝත්‍රයට, ආර්‍ය්‍ය සංඛ්‍යාවට, ආර්‍ය්‍ය භූමියට පමුණුවන නිර්‍වාණලම්බනයෙහි ප්‍රථමාජිනය වූ ප්‍රථමාභෝගය වූ, ප්‍රථම සමන්නාහාරය වූ මාර්ගයට අනන්තර- සමනන්තර- ආසෙවන- උපනිස්සය- නත්‍ථි- විගත යන සයාකාරයෙන් ප්‍රත්‍යය බව සිද්ධ කෙරෙමින් සිඛාප්‍රාප්ත වූ (විදර්‍ශනාව ගේ මස්තකය වූ) පෙරලා නො එන (එක් වරක් ම උපදනා) ගොත්‍රභූ (චිත්තය) ඥානය උපදී.
එයින් කීහ:- කථං බහිද්ධා වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා ගොත්‍රභූ ඤාණං? උප්පාදං- අභිභුය්‍යතීති ගොත්‍රභූ. පවත්තං උපායාසං අභිභුය්‍යතීති ගොත්‍රභූ බහිද්‍ධා සංඛාර නිමිත්තං අභිභ්‍යයතීති ගොත්‍රභූ, අනුප්පාදං පක්ඛන්‍දතීති ගොත්‍රභූ, අප්පවත්තං -පෙ- අනුපායාසං නිරොධ නිබ්බාණං පක්ඛන්‍දතීති ගොත්‍රභූ. උප්පාදං අභිභූයිත්‍ථා අනුප්පාදං පක්ඛන්‍දතීති ගොත්‍රභූ”[1]
‘අසංඛත ධාතුවෙන් පිටත්හි සංස්කාරයෙන් වුට්ඨානය වූ විවට්ටනයෙහි (නිපදවන්නහු ගේ) ප්‍රඥාව කෙසේ ගෝත්‍රභූ ඤාණය වේ දැ
උත්පාදය මඩිනු යි ගෝත්‍රභූ නමි. ප්‍රවෘත්තිය - දැඩි ආයාසය මඩිනු යි ගොත්‍රභූ නමි. අසංඛත ධාතුවෙන් පිටත සංස්කාර නිමිති මඩීනුයි ද, අනුත්පාද (නිර්‍වාණ) යට වදීනුයි ද ගෝත්‍රභූ නමි. සංස්කාරයන් ගේ නො පැවැත්ම- උපයාස නැති සංස්කාර නිරෝධය වූ නිර්‍වාණයට වදීනු යි ගෝත්‍රභූ නමි.’ (සියල්ල විස්තර කළ යුතු යි.)
ඒ පාඨයෙහි එක ආවර්‍ජනයෙක් එක් ජවන වීථියෙහි පවත්නා අනුලෝම - ගෝත්‍රභූ ඤාණයන් ගේ නන් අරමුණෙහි පවත්නා ආකාර දැක්වීමෙහි මේ උපමාවෙකි.
‘මහ ඇළක් පැන එතෙර පිහිටනු කැමැති පුරුෂයෙක් වහා දිව ඇළ මෙතෙර සිට වෘක්‍ෂ ශාඛයෙහි බැඳි එල්බෙන රැහැනක් හෝ යටක් ගෙන උඩින් පැන පර තීරයට නිම්න- ප්‍රවණ- ප්‍රාග්භාර වූ කය ඇති වැ පර තීරයේ මතු භාගයට පැමිණ ඒ රැහැන හෝ යට හෝ හැරපියා වෙවුලමින් පරතෙර පතිතවැ සෙමෙන් පිහිට යි.
මෙසේ මේ යෝගාවචරතෙමේත් භව- යොනි- ගති- ස්ථිති- නිවාසයන්ගේ පරතෙර වූ නිවණෙහි පිහිටනු කැමැත්තේ උදයව්‍යායනුදර්‍ශනාදි වේගයෙන් දිවැ ආත්මභාව නමැති වෘක්‍ෂ ශාඛායෙහි ල්වන ලද රූප නමැති රැහැන හෝ දණ්ඩක් හෝ වේදනාදීන් අතුරින් එක් වේදනාදි නැමැති දණ්ඩක් හෝ අනිත්‍යයැ යි හෝ දුක් යැ යි හෝ අනාත්මයැ යි හෝ අනුලොම ආවර්‍ජනයෙන් ගෙන ඒ නො හැරැම ප්‍රථම අනුලෝම චිත්තයෙන් උඩ නැගී දෙවෙනි අනුලෝම චිත්තයෙන් පරතීරයට නිම්න- ප්‍රවණ- ප්‍රාග්භාර සිත් ඇතිවැ තුන්වන අනුලෝම චිත්තයෙන් පර තීරයේ මතුභාගයට පැමිණියාක් මෙන් දැන් පැමිණිය යුතු නිවනට ආසන්නව ඒ තුන්වන අනුලොම චිත්ත නිරෝධයෙන් ඒ සංස්කාරලම්බනය හැරැපියා ගෝත්‍රභූ සිතින් විසංඛාර වූ, පරතීර වූ නිර්‍වාණයෙහි පතිත වේ. එක් වරක් ම ලද අරමුණෙහි ආසේවන නො ළද බැවින් වෙවුලන ඒ පුරුෂයා සේ පළමු කොට සුප්‍රතිෂඨිත නො වේ. ඉක්බිති මගනුවණින් පිහිටන්නේ වේ.
විශේෂ:- මෙහි අනුලෝමඤාණය සත්‍යය මුවහ කරන කෙලෙස් අඳුර දුරු කරන්නට පොහොසත් වේ. නිර්‍වාණය අරමුණු කිරීමට නො පොහොසති. ගෝත්‍රභූඤාණය නිර්‍වාණය අරමුණු කිරීමට පොහොසති. සත්‍යය මුවහ කරන තමස දුරු කරන්නට නො පොහොසති.
මේ එහිලා උපමාවෙකි:- එක් ඇස් ඇති පුරුෂයෙක් තක්‍ෂත්‍ර හා චන්‍ද්‍රයා ගේ යෝගයන් දැනගනිමි යි රාත්‍රි භාගයෙහි නික්ම සඳ දක්නා පිණිස උඩ බැලී. ඕහට වලායේන් වැසුණු හෙයින් සඳ නො පැණිනි. එවේලෙහි එක් වාතයෙන් නැග ඝන-ඝන වලාපටලයක් පහ කළේ ය. අනෙක් වාතයෙන් නැගී මධ්‍යම වලා පටලයක් පහකළේ ය. අනේක වාතයේක නැඟී සියුම් වලාහකයනුදු පහ කෙළේය. ඉක්බිති ඒ පුරුෂයා පහ වූ වලා ඇති අහසෙහි සඳ දැක නක්‍ෂත්‍ර යෝගය දකී.
එහි තුන් වලාහකයක් මෙන් සත්‍යය මුවා කරන ස්ථුල මධ්‍යම සූක්‍ෂම-ක්ලේශාන්‍ධකාරය දත යුතු. තුන් වාතයක් මෙන් තුන් අනුලොම චිත්තයෝ ද, ඇස් ඇති පුරුෂයා සේ ගෝත්‍රභූ ඤාණය ද, සඳ මෙන් නිවණ ද, එකී එකී වාතයෙන් යථා ක්‍රමයෙන් වලාහක විධමනය මෙන් එකි - එකී අනුලොම චිත්තයා ගේ සත්‍යය ප්‍රතිච්ඡාදක ක්ලේශාන්‍ධකාරය දුරු කිරීම ද, වලා පහ වූ අහසෙහි ඒ පුරුෂයා ගේ පිරිසිදු සඳ දැකීම මෙන් සත්‍යය ප්‍රතිච්ඡාදක මෝහාන්‍ධකාරය නැසුණු කල ගොත්‍රභූ ඤාණයා ගේ (විශුද්ධ) නිර්වාණ දර්‍ශනය ද දතයුතු.
විශේෂ:- තුන් වාතය සඳ මුවහ කොට සිටි වලාපටලයන් නැසීමට ම සමර්‍ථ වනු විනා සඳ දක්නට නො පොහොසත්වන්නා සේ තුන් අනුලොමඤාණයේ සත්‍යය වැසූ මොහාන්‍ධකාරය ම දුරු කිරීමට සමර්‍ථ වෙති. නිවන් දක්නට අසමර්‍ථ වෙත්. ඒ පුරුෂයා සඳ දැකීමට සමර්‍ථ වනු විනා වලා නැසීමට නො පොහොසත් වන්නා සේ ගෝත්‍රභූඥානය නිවන් දක්නට පොහොසත් වේ. කෙලෙස් අඳුර නැසීමට සමර්‍ථ නො වේ. එහෙයින් මේ ගොත්‍රභූ ඥානය මාර්‍ගයට ආවර්‍ජනය යි කියනු ලැබේ.
ඒ වූකලි ආවර්‍ජන නුවූයේ ම ආවර්‍ජන ස්ථානයෙහි සිට ‘මෙසේ උපදුව’ යි මාර්‍ගයට සංඥා දෙන්නක්හු මෙන් නිරුද්ධ වේ. මාර්‍ගය ද ඒ ගෝත්‍රභූ චිත්තය විසින් දුන් සංඥාව නො හැරැම අතුරක් නැති ප්‍රබන්‍ධ වශයෙන් ඒ ගෝත්‍රභූ ඥානය ලුහු බදිනු ලබන්නේ නො විදිවිරු නො පැළුවිරු ලොභස්කන්‍ධය ද ද්වේෂ ස්කන්‍ධය ද, මොහස්කන්‍ධය ද, විඳිමින් - පලමින් උපදනේ වේ.
එහි මේ උපමා යි:- එක් දුනුවායෙක් අට ඉස්බක් පමණ දුර සිට පුවරු සියයක් (100) තබවා වස්ත්‍රයකින් මුහුණ වසා බැඳ හීයක් හයා චක්‍ර යන්ත්‍රයෙහි සිටියේ ය. අන් පුරුෂයෙක් චක්‍රයන්ත්‍රව බවමා යම් වේලෙකැ දුනුවායාට පුවරු සියය අභිමුඛ වේ නම් එකලැ ඒ වක්‍රයෙහි දණ්ඩකින් සලකුණු දෙයි. දුනුවාය දඬුවෙන් කළ සලකුණු නො හැරැ හීය හැරැපියා පුවරු සියය විදී.
උපමාන - උපමේය සංසන්‍දනය මෙසේ යි:- එහි දඬු සලකුණ මෙන් ගොත්‍රභූ ඥානය ද, දුනුවායා මෙන් මාර්‍ග ඥානය ද, දුනු වායාගේ දුනු දඬුවෙන් කළ සංඥාව නො හැරැ පුවරු සියය (100) විදීම මෙන් මාර්ගඥානයට ගෝත්‍රභූ ඥානයෙන් දෙන ලද සංඥාව නො හැර නිවන් අරමුණු කොට පෙර නො විදී. පෙර නො පැළු ලෝභ- ද්වේෂ- මෝහ ස්කන්‍ධයන් පැළීම ද දතයුතු. හුදෙක් මේ මාර්ගය ලෝභස්කන්‍ධාදිය නිර්වේධය (පැළීම) මැ නො කෙරේ. මුල් නැති සසරවට දුක්මුහුද වියළ යි. සියලු අපාය දොර වස යි. සප්ත ආර්‍ය්‍ය ධනයට අභිමුඛ කෙරෙ යි. (අෂ්ඨඞ්ගික) මිථ්‍යාමාර්‍ගය හරි යි. සියලු (කෙලෙස්) සතුරු බිය සංසිඳුව යි. සම්‍යක් සම්බුද්ධයන් ගේ ඖරස පුත්‍රබවට පමුණුව යි.
අනෙක් නොයේක සිය ගණන් ආනිසංසයන් ගේ ප්‍රතිලාභය පිණිස වේ. මෙසේ අනේක ආනිසංස දායක වූ සෝවාන් මඟ හා සැපියුතු නුවණ සෝතාපත්තිමග්ගඤාණ නම් වේ.
ප්‍රථම මාර්ගඥානය නිමි.
-
ප:ම: ඤාණකථා 63 ↑