2. ආලම්බන ප්‍ර‍ත්‍යය

චිත්ත - චෛතසික ධර්‍මයනට ආලම්බන කළ යුතු (එල්විය යුතු) බැවින් උපකාරක ධර්‍මය ආලම්බන ප්‍ර‍ත්‍යය යැ.

“රූපායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා = පෙ= යං යං ධම්මං ආරබ්භ යෙ - යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චෙතසිකා ධම්මා. තෙ -තෙ ධම්ම තෙසං -තෙසං ධම්මානං ආරම්මණ පච්චයෙන පච්චයො”[1] රූපායතනය චක්ඛු විඤ්ඤාණයට ද -පෙ- රූපාදී යම් යම් ධර්‍මයක් අරමුණු කොට චිත්ත - චෛතසික යම-යම් ධර්‍ම කෙනෙක් උපදිත් නම් ඒ ඒ (ආලම්බන) ධර්‍ම ඒ ඒ චිත්ත-චෛතසික ධර්‍මයන්ට ආලම්බන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ය යි අවසන් කළ හෙයින් රූපාදි භේදයෙන් ෂඩ්විධ වූ සඞ්ඛත අසඞ්ඛත - පඤ්ඤත්ති යන ධර්‍මයන් අතුරෙන් ආලම්බන ප්‍ර‍ත්‍යය නො වන ධර්‍මයෙක් නැති.

නිදර්‍ශන:- දුර්‍වල පුරුෂයකු දණ්ඩක් හෝ රෙද්දක් හෝ එල්බ නැගිටින්නා සේ ද, සිටින්නා සේ ද චිත්ත - චෛතසික ධර්‍මයෝ රූපාදි අරමුණෙකැ එල්බ උපදින්නාහුද, සිටින්නා හු වෙති. එහෙයින් චිත්ත - චෛතසිකයනට අරමුණු වූ සියලු ධර්‍ම ම ආලම්බන ප්‍ර‍ත්‍යය වේ ය යි යුතු යි.

  1. ප:ප: පච්චය නිද්දෙස 1