“හෙතු ච සො පච්චයො ච” සුප්‍රතිෂ්ඨිත භාවයෙන් හේතු නමුදු - උපකාර භාවයෙන් ප්‍රත්‍යය නමුදු වේ යයි හේතුප්‍රත්‍යය නමි.
විශේෂ:- මෙසේ කී කල අධිපතිප්‍රත්‍යයාදි බවට පැමිණි හේතුහු ගේ ද ගැනීම වන හෙයින් ඒ වළකනු සඳහා “හෙතුහුත්‍වා පච්චයෝ” ‘හේතු වී ප්‍රත්‍යය වීම ය’ යි කී. එසේ කී කල ද ඒ දෝෂයම වන හෙයින් “හේතු භාවෙන පච්චයො” ‘හේතු-භාවයෙන් ප්‍රත්‍යය වීමය’ යි කියන ලදී. (ආලම්බන ප්‍රත්‍යාදියෙහි ද ප්‍රත්‍යය භාවය මෙසේ මැයි.)
විස්තර:- මෙහි හේතු යනු - වචනාවයවය, කාරණ්‍ය, මූලය යන මොවුනට ව්‍යවහාර වේ. (ප්‍රතිඥා- හේතු යනාදීන්හි නෛය්‍යායිකයෝ සාධතාවයවය හේතුය යි ය කියති. ප්‍රතිඥා- හේතු- උදහරණ- උපනය- නිගමනයැ යි අනුමානර්‍ථ ප්‍රතීතිය සඳහා පඤ්චාවයවයක් ගැනේ. හේතුව ද මින් එකෙකි.) ශාසනයෙහි “යෙ ධම්මා හෙතුප්පභවා”[1] යනාදීන්හි කාරණයෙහි වේ.
“තයො කුසල හෙතු තයො අකුසල හෙතු”[2] යනාදීන් මූලය හේතු යයි ගැනේ. එය මේ “හෙතු පච්චයො” යන්නෙහි අභිප්‍රේත යැ. මූල ශබ්දය මෙන් හේතු ශබ්දය ද පිහිටීම අර්‍ථය කියා. (භූමියෙහි පිහිටා උඩට ඕජාව අදනා මුලින් වෘක්‍ෂය ස්ථිරවැ වැ සිටීම හා වැඩීම වන්නා සේ කර්‍ම නිදාන වූ හේතුවින් කර්‍මය ස්ථිරවැ පිහිටුවා ඵලය වැඩීමට පමුණුවන හෙයින් හේතු නමි.)
පච්චය යන්නෙහි මේ වචනාර්‍ථය: “පටිච්ච එතසමා එතීති”1 ඒ නිසා එයින් ඵලය හටගනීනුයි. ප්‍රත්‍යය නමි.
බැහැර නො කොට එක්වැ ම පවතීය යන අර්‍ථයි.
එයින් කීහ:- අටුවාහි “යො හි ධම්මො යං ධම්මං අපච්චක්ඛාය තිට්ඨති වා උප්පජ්ජති වා සො තස්ස පච්චයො”[3] යි යම් උපකාරක ධර්‍මයක් යම් ඵල ධර්‍මයක් නො හැර සිටි නම් හෝ උපදී නම් හෝ ඒ හේතු ධර්‍මය ඒ ඵල ධර්‍මයට ප්‍රත්‍යය යි කියා යැ.
ලක්‍ෂණ වශයෙන් වනාහි උපකාර කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ප්‍රත්‍යය යැ. එහෙයින් ම යම් ධර්‍මයක් යම් ඵල ධර්‍මයක ගේ පැවැත්මට හෝ නිපැත්මට උපකාර වේ නම් ඒ උපකාරක ධර්‍මය ඒ ඵල ධර්‍මයට ප්‍රත්‍යය වේ යයි කියනු ලැබේ.
පච්චය - හේතු - කාරණ - නිදාන - සම්භව - පභව යනාදි ශබ්දයෝ අර්‍ථයෙන් එකෙක් මැයි. වචනයෙන් මතු වෙනසි.
මෙසේ මූලාර්‍ථයෙන් හේතු ය, උපකාරර්‍ථයෙන් ප්‍රත්‍යයැ යි සුප්‍රතිෂ්ඨාර්ථයෙන් උපකාරක වූ ධර්‍ම ශක්තිය හේතු ප්‍රත්‍යය යි. සැකෙවින් කියයි.
මතාන්තරයෙකි:- (1) සාලි බීජාදිය හැල් ආදි ඒ ඒ ද්‍රව්‍යයන් ගේ හැල් ආදී භාවය සිදු කරන්නා සේ ද, නිල් මැණික් ආදිය ද නීලවර්‍ණාදිය ද නීල ප්‍රභාආදිය සිදු කරන්නා සේ ද, හේතු ප්‍රත්‍යය තමා හා සම්ප්‍රයුක්ත ධර්‍මයනට සුදුසු සේ කුසලාදි භාවය සිද්ධ කෙරේ ය යි රේවතාචාර්‍ය්‍යයෝ කියති.
විචාරණය:- හේතු ප්‍රත්‍යය කුසලාදී භාවය සිද්ධ කෙරේ නම් කුසල් - අකුසල් හේතු ඒ හේතුවෙන් නිපන් අරූපායගේ කුසලාකුසල භාවය සිදු කිරීමට සමර්‍ථ නො වේ. එසේම අව්‍යාකෘත හේතුව ද අව්‍යාකෘත හේතුවෙන් නිපන් රූපයා ගේ අව්‍යාකෘත භාවය සිදු කිරීමට සමර්‍ථ නො වේ. එහෙත් ඔවුන්ට හේතු ප්‍රත්‍යය නො වන්නේ නො වෙයි. (හේතු ප්‍රත්‍යය වේමැ යි) එහෙයින් වදාළහ. “හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චයෙන පච්චයො”[4] ලොභා ‘ලොභාදි හේතූහු ඒ හේතු සම්ප්‍රයුක්ත චිත්ත චෛතසික ධර්‍මයනට හා එයින් නිපන් රූපයනට ද හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙති’ යි කියායි.
අහේතුක (විපාක-ක්‍රියා) චිත්තයන් ගේ හා රූප ධර්‍මයන්ගේ ඒ අව්‍යාකෘත භාවය සිදු කරන හේතු නැත ද ස්වභාවයෙන් ම අව්‍යාකෘත භාවය සිද්ධ යැ.
කරුණු මෙසේ හෙයින් සහේතුකයන්ගේ ද, කුසලාදිභාවය හේතු ප්‍රතිබද්ධ නො වැ යෝනිසො මනසිකාරාදි ප්‍රතිබද්ධයැ යි දත යුතුය.
ඒ මෙසේ වදාළහ:- “යොනිසො භික්ඛ වෙ මනසිකරොතො අනුප්පන්තා චෙව කුසලා ධම්මා උප්පජ්ජනි උප්පන්නා ච කුසලා ධම්මා අභිවඩ්ඪන්තී”[5] නුවණින් මෙනෙහි කරන්නා හට නූපන් කුසල් උපදී උපන් කුසල් වැඩේ ය යි කියා යි.
මෙසේ කුසලාදීභාවය (සම්ප්‍රයුක්ත හේතූන් නිසා නො වැ) යෝනිසො මනසිකාරය ප්‍රතිබද්ධ බව් ස්ඵුට යැ.
(මේ කුසල භාවය මෙන් ම අකුසල-අව්‍යාකෘත භාවය ද, හේතු ප්‍රතිබද්ධ නො වන බව හෙයින් මැ සිද්ධ යි.)
මෝහ මූලික දෙසිතෙහි මෝහය අන්‍ය හේතුවක් හා නො යෙදී හුදකලාව යෙදුනු හෙයින් ඒ මෝහයාගේ අකුසල භාවයස්වයං සිද්ධ වූවා සේ හේතූන්ගේන් (අන්‍ය) ඒ හේතූන් හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන්ගේ කුසලාදීන් භාවය ස්වයංසිද්ධ නො වැ හේතු ප්රතිබද්ධ වේ යයි තවද ආචාර්‍ය්‍ය මතයෙකි. ඒ නො යෙදේ.
කවකර හෙයින්ද යත්:-
කුසලාදීන් හා සම්ප්‍රයුක්ත හේතූන් ගේ ස්වභාවයෙන් ම කුසලාදීභාවය වේ නම්, සෙසු සම්ප්‍රයුක්ත ධර්‍මයන් ගේ කුසලාදී භාවය ද හේතු ප්රතිබද්ධ වේ නම්, අලෝභය කුසල් හෝ වෙයි. අව්‍යාකෘත හෝ වෙයි. එහෙත් අලෝභය ස්වභාවයෙන් කුසල් වී නම් කුසල ස්වභාවයෙන් අව්‍යාකෘත නො වේ. අලෝභ ස්වභාවය අද්වේෂ ස්වභාවයෙන් නොවන්නාක් මෙනි.
මෙසේ හේතූහු කුසල-අව්‍යාකෘත ද්විස්වභාවය වන හෙයින් එසේ ම ද්‍විස්වභාව වූ ශ්‍රද්ධාදි සම්ප්‍රයුක්ත ධර්‍මයන් ගේ හේතුන් පිළිබඳ වූ කුසලාදීභාවය සිද්ධ කරන අන්‍ය ධර්‍මයන් සොයන්නා සේ (ස්වභාවයෙන් කුසලාදී නොවන හෙයින්.) හේතූන් ගේ ද කුසලාදී භාවය සිද්ධ කරන අන්‍ය ධර්‍මයක් සෙවිය යුතු ය.
(එසේ නොයන කල හේතූන් කෙරෙහි මෙන්ම සම්ප්‍රයුක්තයන් කෙරෙහි ද කුසලාදීභාවය යෝනිසො මනසිකාර ප්‍රතිබද්ධ ය. හේතු ප්‍රතිබද්ධ නොවේ යනු අභිප්‍රාය වෙයි.)
නිගමනය:- මෙසේ හේතූන් කුසලාදීභාවය සිද්ධ කිරීම් වශයෙන් මූලාර්ථය නො ගෙන, අරමුණෙහි සුප්‍රතිෂ්ඨිත භාව සාධන වශයෙන් මූලාර්ථය ගත් කළ කිසිදු විරෝධයක් නොවේ.
ඒ මෙසේ මැයි : ලබන ලද හේතු ප්‍රත්‍යය ඇති ධර්‍මයෝ මනා වැ පිහිටි මුල් ඇති වෘක්‍ෂයක් මෙන් ද ස්ථිර වූවාහු සුප්‍රතිෂ්ඨිත වෙති.
අහේතුකයෝ ‘නිලබීජකාදි’ නම් ඇති සෙවෙල් මෙන් සුප්‍රතිෂ්ඨිත නොවෙත්. (තිලබීජක-නම් සියිනිනිලි යනු සන්‍යයි.)
මෙසේ පොළොව යටට ඇදුණු මුල් ගසෙහි සෙසු කොටස් ස්ථිර වැ සිටීමට උපකාර වන්නා සේ ආලම්බනයෙහි කා වැදී තමා හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් සුස්ථිරවැ පිහිටීමට උපකාර වන ලෝභාදි ධර්‍මයෝ හේතු ප්‍රත්‍යය නම් වෙති.
(ලොභාදියෙහි ඇති අරමුණෙහි නො සැලී පිහිටන ස්වභාවය හේතු ශක්තිය යි කියනු ලැබේ.)