(2) සඞ්ඛාරා, පුණ්‍යාභිසංස්කාරාදි තුනය, කායසංස්කාරාදි තුන දැයි මෙසේ පෙර සංක්‍ෂෙපයෙන් කී සය සංස්කාර යැ.
විස්තර:- මෙහි පුණ්‍යාභිසංස්කාරය දාන සීල - භාවනාදි දශ පුණ්‍ය ක්‍රියා වස්තු වශයෙන් පැවැති කාමාවචර කුසල චේතනා අටය භාවනා වශයෙන් ම පැවැති රූපාවචර කුසල චේතනා පස දැයි තෙළෙස් (13) චේතනාවෝ යි.
ප්‍රාණඝාතාදි දශ අකුශල වස්තු වශයෙන් පැවැති දොළොස් (12) අකුසල් චේතනාවෝ අපුණ්‍යාභිසංස්කාර නමි.
ආනෙඤ්ජාභිසංස්කාර නම් එසේම භාවනා වශයෙන්ම පැවැති සතර අරූපාවචර කුසල චේතනාවෝ යි. මේ ත්‍රිවිධ සංස්කාරයෝ එකුන්තිස් (29) චේතනාවෝ යි.
විශේෂ:- (පුඤ්ඤාභිසඞ්ඛාර) ස්වසන්තානය අපුණ්‍ය ඵලයෙන් හා දුඃඛ සංකේලශයන්ගෙන් පවිත්‍ර කරන හෙයින් පුණ්‍ය නමි.
තවද ඒ පුණ්‍යය කරන්නහු ගේ අද්‍ධ්‍යාශය සම්පූර්ණ කිරීම් අර්‍ථයෙන් හෝ පූජ්‍යත්‍වය නිපදවානු යි හෝ පුණ්‍ය නමි. ඒ පුණ්‍යයම තමා ගේ ඵලය (සතර නාමස්කන්‍ධ හා කර්‍මජ රූප) සකස් කෙරේනුයි පුණ්‍යාභිසංස්කාර යැ.
එයට ප්‍රතිපක්‍ෂ වූයේ අපුණ්‍යාභිසංස්කාර නමි.
සමාධි ප්‍රතිපක්‍ෂ වූ පඤ්චනීවරණයන්ගෙන් ඉතා දුර බැවින් නො සැලෙන හෙයින් අනිඤ්ජන නම. ඒ අනිඤ්ජන භාවය සකස් කෙරේනුයි ආනෙඤ්ජාභිසංස්කාර නම් වේ.
සෙසු කාය සඞ්ඛාරාදි තුනෙහි - කායද්වාරයෙහි පැවැති චේතනාව කායසංස්කාර යැ.
වචීසඞ්ඛාර - චිත්තසඞ්ඛාර ද මෙසේ මැ යි.
මේත්‍රිකය කර්‍ම රැස් කරන්නා වූ කෙණෙහි පුණ්‍යාභිසංස්කාරාදීන්ගේ ද්වාර වශයෙන් හට ගැනීම දක්වනු සඳහා වදාරන ලදි.
විස්තර කාය විඥප්තිය උපදවා කායද්‍වාරයෙහි පැවැති කාමාවචර කුසල චේතනා අට ය, අකුසල චේතනා දොළස දැ යි සම වීසති (20) චේතනාවෝ කායසඞ්ඛාර ය.
ඒ චේතනාවෝ ම වාක් විඥප්තිය උපදවා වාක්ද්‍වාරයෙහි පැවැත්තාහු වචීසඞ්ඛාරයි.
විශේෂ:- අභිඥා චේතනාව මත්තෙහි විපාක විඥානයට ප්‍රත්‍යය නො වන හෙයින්- මේ කායසඞ්ඛාර - වචී සඞ්ඛාර විෂයෙහි පුරාණ අටුවාචාරීන් නො ගන්නා ලදී. (එහෙත් ඒ අභිඥා චේතනාව ද කුශල ධර්‍මයට හා විපාක ධර්‍මයට ඇතුළත් වේ.)
ඒ වූ කලී නො සිඳින ලද අවිද්‍යා -තෘෂ්ණා ඇති සන්තානයෙහි ව්‍යාපාර සහිත වැ හටගත් හෙයින් අභිඥා චේතනාව ගේ කුසල බව හා විපාක දෙන ස්වභාවය ඇති බව කියන ලදී. විපාක උපදවන බැවින් නොවේ. විපාක උපදවන්නේ නම් රූපාවචර විපාක ම ඉපදවිය යුතු. අන්‍ය භූමියෙකැ කර්‍මයක් අන්‍ය භූමියෙකැ විපාක නො උපදවන හෙයිනි. ධම්මසඞ්ඝණී චිත්තුප්පාද කාණ්ඩයෙහි ‘රූපාවචර විපාකය කර්‍ම සදෘශාලම්බනයම ගන්නේ ය’ යි කියන ලදී. රූපාවචර විපාකය කාමාවචර අරමුණක් නොගන්නේ යි. අභිඥා චේතනාව කාමාවචරාදි අරමුණු ගන්නේම වේ. එසේ හෙයින් විපාක නො දෙන්නේ යි.
කසිණායෙහි උපදවන ලද චතුර්‍ථද්‍ධ්‍යාන සමාපත්තියේ ආනිසංසය මේ අභිඥාව යැ.
එයින් වදාළහ:- “සො එවං සමාහිතෙ චිත්තෙ”[1] යනාදිය මෙසේ සමාධි ඵලය වූ අභිඥා චේතනාව ඵලයක් (විපාකයක්) නො දේ. අභිඥා චේතනාව (විපාක) විඥානයට ප්‍රත්‍යය නො වන්නා සේ උද්ධච්ච චේතනාවට ද විපාක විඥානයට ප්‍රත්‍යය නො වේ. එහෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන හෙයින් සම (20) විසි චේතනායැ යි කියන ලදී.
කාය විඥප්ති - වාක් - විඥප්ති නූපදවා මනෝද්වාරයෙහි උපන් (29) එකුන්තිස් චේතනාවෝ ම චිත්තසඞ්ඛාර ය.
මෙසේ මේ කාය-වචී-චිත්තසඞ්ඛාර යන ත්‍රිකය ද, පුඤ්ඤාභිසඞ්ඛාරාදි ත්‍රිකයෙහි ම ඇතුළත් වේ ය යි අර්‍ථ වශයෙන් ම පුණ්‍යාභිසංස්කාරාදියට අවිද්‍යාව ප්‍රත්‍යය වන බව දත යුතු.
විස්තර:- අෂ්ටකාමාවචර කුශල චේතනා කාය දුශ්චරිතයෙන් වළකින්න හුට කායසඞ්ඛාර වේ. වාක් දුශ්චරිතයෙන් වළකින්නාහුට වචීසඞ්ඛාර වේ. මනොද්වාරයෙහි උපදනා ඒ අට හා රූපාවචර ධ්‍යාන පස දැ යි යන තෙලෙස් (13) චේතනා චිත්තසඞ්ඛාර වේ. මේ සියල්ල පුඤ්ඤාභිසඞ්ඛාර ද, චිත්තසඞ්ඛාර ද වේ.
ද්‍වාදස (12) අකුසල චේතනාවෝ කායද්‍වාරයෙහි පැවැත්තාහු කායසඞ්ඛාර යැ. වචීද්වාරයෙහි පැවැත්තාහු වචීසඞ්ඛාර යැ. මනෝද්වාරයෙහි පැවැත්තාහු චිත්තසඞ්ඛාර යි.
ආනෙඤ්ජාභිසංඛාර චිත්තසංඛාර මැ යි.
මෙසේ ද්‍විතීය ත්‍රිකය පූර්‍ව ත්‍රිකයෙහි ද ඇතුළත් වේ.
ප්‍රශ්නයෙකි:- මේ ධර්‍ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් වේ ය යි කෙසේ දත හැකි ද
පිළිතුර :- අවිද්‍යාව ඇති කල්හිම සංස්කාර වන හෙයින්
ඒ මෙසේ මැයි:- අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ.
විස්තර:- යමකු ගේ දුඃඛාදියෙහි (අවිද්‍යා සඞ්ඛ්‍යාත) නො දැනීම පහ නො වූයේ ද, දුක්ඛාදියෙහි ද, පුබ්බන්තාදියෙහි ද අඥාන බැවිනි. සංස්කාර දුඃඛය සුඛ සංඥාවෙන් ගෙන එයට ම හේතු වූ ත්‍රිවිධ වූ ම සංස්කාරයන් උපදව යි.
සමුදය නො දැනීමෙන් ද දුක්ඛය හේතු වූ තෘෂ්ණාව පිරිවර කොට ඇති, සුඛ්‍ය, (සුභය යනාදීන්) සකස් කරන ලද සංස්කාරයන් සැප හේතු ය යි හඟනේ උපදව යි.
නිරෝධ සත්‍යයෙහි හා මාර්‍ග සත්‍යයෙහි නො දැනීම හේතු කොට දුඃඛ නිරොධය නො වූ ‘බ්‍රහ්ම ලෝකාදි ගති විෂයෙහි දුඃඛ නිරෝධය වන්නේ ය’ යි සංඥායෙන් දුඃඛ නිරෝධයට මාර්‍ග නො වූ අනේක පසු බන්‍ධන හිංසා ඇති වාජපෙය්‍යාදි යාග ද, අමරත්‍වය පිණිස පඤ්චතපනාදි දුෂ්කර ක්‍රියා ද, දුඃඛ නිරෝධයට හේතු යයි ගෙන ත්‍රිවිධ වූ ම සංස්කාර උපදවයි.
තවද හේ අර්හන් මාර්‍ග ඥානයෙන් (චතුස්සත්‍යය අවබෝධ කිරීමෙන්) අවිද්‍යාව ප්‍රහීණ නො කළ හෙයින් විශේෂයෙන් ජාති ජරා-රෝග-මරණාදි අනේක ආදී නවයෛනේ මිශ්‍ර වූ කුසල ඵල සඞ්ඛ්‍යාත දුඃඛය දුකයැ යි නා දැන එයට පැමිණීම පිණිස කාය - වාක් - චිත්ත සංස්කාර ප්‍රභේද ඇති පුණ්‍යාභිසංස්කා රැස් කරයි. දිව්‍යාප්සා කැමැත්තෙන් මරු ප්‍රපාතයකට පැනීම මෙනි. (අප්සරාවන් ලැබීමට කාරණ නොවූ පර්‍වතයෙන් හීම කරන්නා සේ සංස්කාර දුඃඛ වූ බැවින් සුවයට කාරණ නො වූ පින් කෙරේ. ජාත්‍යාදීන් ප්‍රපාත දුඃඛ ජනක හෙයින් පුණ්‍යාභිසංස්කාර මරු ප්‍රපාත සදෘශත්‍ව කියන ලදී.)
සැපය යි සම්මත ඒ කුසල ලවයාගේ අන්තයෙහි (චුතියෙහි) බලවත් පීඩා උපදවන විපරිණාම දුඃඛ බව ද, ස්වල්ප වූ ආස්වාද බව ද නොදන්නේ පලඟැටියා පහන් සිළුවෙහි ගැටීම මෙන් ද, මී පැණියෙහි ගිජු වූවකු මී වැකුණු කඩු මුවහත ලෙවීම මෙන් ද විපරිනාම දුඃඛ ස්වභාවය කොට ඇති පුණ්‍යාභිසංස්කාරය රැස් කෙරේ.
සංසන්‍දනය:- දිව්‍යාප්සරා කැමැත්තෙන් පර්‍වත මුදුනෙන් පැනීම කාමාවචර කුසලයන් හා ද, පලඟැටියා පහන් සිළුවට පැනීම හා මී පැණි වැකුණු කඩු මුවහත ලෙවීම රූපාවචර කුසලයන් හා ද ගළපා අර්‍ථ ගත යුතු.
අනිෂ්ට විපාක ඇති පස්කම් සෙවීම් ආදියෙහි ආදීනව නො දැන සැපය යි වරරදවා ගැනීමෙන් හා කෙලෙසුන් ගෙන් මැඩීමෙන් ළදරුවා ගූථ ක්‍රීඩා කරන්නා සේ ද, කිපී විෂ කෑමෙහි ආදීනව නො සලකා මියනු කැමැතිවැ විෂ කන්නාක් මෙන් ද, කාමාතුර බැවින් හා ද්‍විෂාතුර බැවින් පාණාතිපාතාදියෙහි ආදීනව නො සලකා දොළොස් අකුසල සඞ්ඛ්‍යාත අපුණ්‍යාභි සංස්කාර රැස් කෙරේ.
සංසන්‍දනය:- ලෝභමූලික අකුසලයට ගූථකීළනය ද, ද්වේෂ මූලික අකුසලයනට විෂ ඛාදනය ද, උපමාන වශයෙන් ගතයුතු.
සංස්කාර දුඃඛ- විපරීණාම දුඃඛ ස්වභාවය නිසිසේ අවබෝධ නො කිරීමෙන් සතර අරූපාවචර කුසල සංඛ්‍යාත ආනෙඤ්ජාහි සංස්කාරය ද උපදවයි.
මංමුළා වූවකු පිශාච නගරයකට අභිමුඛ මාර්‍ගයෙහි යන්නාක් මෙනි. යක්‍ෂයන් මැවූ පුරයෙහි කාම ගුණ සමෘද්ධියෙන් සුඛය යන විපර්යාසයට හේතුභාවය මෙන් උත්පාද - ව්‍යය අති දීර්‍ඝ සන්තාන බැවින් නොපෙන්න්නා වූ විපරිණාම ඇති සංස්කාර දුඃඛ වූ ආරුප්ප විපාකයා ගේ නිත්‍යාදි විපර්‍ය්‍යාසයට හේතුත්‍වය ඇති හෙයින් ආනෙඤ්ජභිසංස්කාරය පිශාච නගරාභිමුඛ ගමනට සදෘශ කොට යෙදී.
මෙසේ අවිද්‍යාව ඇති හෙයින්ම සංස්කාර වීම ද, අවිද්‍යා අභාවයෙහි නො වීම ද වන හෙයින් මේ සංස්කාරයෝ අවිද්‍යාවෙන් වෙති යි දතයුතු.
එහෙයින් වදාරන ලදී.
“අවිද්‍වා භික්ඛවෙ අවිජ්ජාගතො පුඤ්ඤාභිසංඛාරාම්පි අභිසංඛාරොති. අපුඤ්ඤාභිසංඛාරම්පි අභිසංඛරොති ආනෙඤ්ජාභිසංඛරම්පි අභිසංඛරොති. යතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීනා විජ්ජා උප්පන්නා සෝ අවිජ්ජා විරාගා විජ්ජුප්පාදා නොව පුඤ්ඤාභි සංඛාරං අභිසඞ්ඛරොති”1 නුවණ නැති අප්‍රහීණ අවිද්‍යාවෙන් යුක්ත වූයේ පුණ්‍යාභිසංස්කාර ද රැස් කෙරේ. -පෙ- යම් හෙයකින් භික්‍ෂූහු ගේ අවිද්‍ය විරාගයෙන් විද්‍යා උත්පාදියෙන් පුණ්‍යාභිසංස්කාර රැස් නොකරයි’ කියායි.
වේවා! අවිද්‍යාව සංස්කාරයනට ප්‍රත්‍යය වන බව් පිළිගනිමු. එහෙත් පුණ්‍යාභිසංස්කාරාදී කවර සංස්කාරයකට අවිද්‍යාව කෙසේ ප්‍රත්‍යය වේදැයි කිය යුතු යැ.
විස්තර:- පුණ්‍යාභිසංස්කාරාදි නොයෙක් සංස්කාර වෙති. අවිද්‍යාව එකෙක්ම ය. එහෙත් සියලු සංස්කාරයනට අවිද්‍යාව එක ආකාරයකින්ම ප්‍රත්‍යය නො වේ. එහෙයින් මේ සංස්කාරයනට මෙසේ ප්‍රත්‍යය වේයයි කිවමනායි. ඒ සඳහා මේ සියලු ප්‍රත්‍යයන් පිළිබඳ ප්‍රත්‍යය ස්වභාවය මෙහිලා දැක්වේ.
භගවත් බුදුහු වනාහි
1. හෙතු පච්චය 13. කම්ම පච්චය
2. ආරම්මණ පච්චය 14. විපාක පච්චය
3. අධිපති පච්චය 15. ආහාර පච්චය
4. අනන්තර පච්චය 16. ඉන්‍ද්‍රිය පච්චය
5. සමනන්තර පච්චය 17. ඣාන පච්චය
6. සහජාත පච්චය 18. මග්ග පච්චය
7. අඤ්ඤමඤ්ඤ පච්චය 19. සම්පයුත්ත පච්චය
8. නිස්සය පච්චය 20. විප්පයුත්ත පච්චය
9. උපනිස්සය පච්චය 21. අත්‍ථි පච්චය
10. පුරෙජාත පච්චය 22. නත්‍ථි පච්චය
11. පච්ඡා ජාත පච්චය 23. විගත පච්චය
12. ආසෙවන පච්චය 24. අවිගත පච්චය[2] යි
මෙසේ සූවිසි ප්‍රත්‍යයක් වදාළහ.