අවිද්‍යාව

මේ විස්තර ක්‍ර‍මය යැ.

(1) අවිද්‍යාව, සූත්‍රාන්තික ක්‍ර‍මයෙන් දුඃඛාදි සතර තන්හි නොදැනීම. “කතමා ච භික්ඛවෙ අවිජ්ජා දුක්ඛෙ අඤ්ඤාණං”[1] යනාදීන් එය වදාළයහ.

අභිධර්‍ම පර්‍ය්‍යායයෙන් වනාහි දුඃඛාදි සතර තන්හි හා පුබ්බන්තාදි සතර තන්හි දැ යි අට තන්හි නොදැනීම අවිද්‍යා යි වදාළහ. “තත්‍ථ කතමා අවිජ්ජා දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- දුක්ඛනිරෙධ ගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ - පුබ්බන්තාපරන්තෙ- ඉදප්පකච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං”[2] යී සූත්‍රාන්තික ක්‍ර‍මයෙන් සතර තැනෙක කී අවිද්‍යාව කෘත්‍ය වශයෙන් ද, ජාති වශයෙන් ද අට තැනෙක වදාළහ.

ඒ පාඨයෙහි නිරෝධ - මාර්‍ග යන ලෝකෝත්තර සත්‍ය ද්වයය තබා දුක්ඛය, සමුදයය, පුබ්බන්තාදිය ය යන සෙසු තන්හි ආලම්බන කිරීම් වශයෙන් ද අවිද්‍යාව උපදී. මෙසේ ඇති තන්හිදු ආලම්බන ස්වභාවය මුවහ කිරීම් වශයෙන් අවිද්‍යාව මෙහි අදහස් කරන ලදී.

ඒ එසේ මැ යි:- අසමූහතොත්පන්න වූ ඒ අවිද්‍යාව දුක්ඛ සත්‍යය මුවහ කොට සිටී. දුඃඛයා ගේ පීළනාදිය යථා ස්වභාවර්‍ථය (ප්‍ර‍ත්‍යක්‍ෂසේ) ප්‍ර‍තිවේධ කිරීමට නො දේ.

එසේම සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්‍ග සත්‍යය, පූර්‍වාන්ත සංඛ්‍යාත අතීත ස්කන්‍ධ පඤ්චකය, අපරාන්ත සංඛ්‍යාත අනාගත ස්කන්‍ධ පඤ්චාකය, පූර්‍වාන්තාපරාන්ත සංඛ්‍යාත අතීත අනාගත ස්කන්‍ධ පඤ්චකය, නොහොත් පූර්‍වාන්ත අපරාන්තයන් ගේ අන්ත සංඛ්‍යාත වර්‍තමාන ස්කන්‍ධ පඤ්චකය ද ඉදප්පච්චයතා සංඛ්‍යාත ප්‍ර‍ත්‍යය ධර්‍ම හා ප්‍ර‍තීත්‍ය සමුත්පන්න ධර්‍ම ද මුවහ කොට සිටී. (ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීමට නොදේ.)

මේ අවිද්‍යාව යැ මේ සංස්කාර යැ යි ප්‍ර‍ත්‍යක්‍ෂ කොට යාථාවසරස ලක්‍ෂණයෙන් (ලක්‍ෂණ- කෘත්‍ය වශයෙන්) ප්‍ර‍තිවේධ කිරීමට නොදේ.

(අවිද්‍යාව දුක්ඛාදීන් ආලම්බන කිරීම් වශයෙන් පවතී. යම් සේ නිරෝධ මාර්‍ගයෙන් ආලම්බන කිරීමට අසමර්‍ථ වැ ඔවුන් දක්නා කැමැත්තවුන්ට තත් ප්‍ර‍තිච්ඡාදක වශයෙන් අනිරෝධ මාර්‍ගයෙහි නිරෝධ- මාර්‍ග ග්‍ර‍හණ කරණ වශයෙන් පවත්නී මාර්‍ග නිරෝධයන් යථාවසරස වසයෙන් ප්‍ර‍තිවේධ කරන්නට නොදේද එසේම දුඃඛාදියෙහිදු තත් ස්වභාවච්ඡාදන වශයෙන් පවත්නීය යි ද දත යුතුයි, යනු සත්‍යයි.)

  1. සං: නි: නිදානවග්ග 154

  2. වි:ප: සුත්තන්තභාජනිය 105