5. අඞ්ග ව්‍යවස්ථාන වශයෙන්

මේ ප්‍ර‍තීත්‍යසමුත්පාදයෙහි “අඞ්ග දොළසකැයි” කී හෙයින් ශෝකාදී වෙන් වැ ගතහොත් අඞ්ගාධිකවන හෙයින් ඒ ශෝකාදී අඞ්ගභාවයෙන් නො කියන ලදී. එහෙත් එය භවචක්‍ර‍යා ගේ අවිච්ඡේද ප්‍ර‍වෘත්තිය සඳහා කියන ලදී.

ඒ එසේ මැයි:- ජරා මරණයෙන් පහරන ලද බාලයාට ම ඒ ශෝකාදිය උපදී. “අස්සුතවා භික්ඛවෙ පුථුජ්ජනො කායිකාය දුක්ඛාය වෙදනාය ඵුඪො සමානො සොචති. කිලමති. පරිදෙවති. උරත්තාලිං කන්‍දති. සම්මොහං ආපජ්ජතීති[1]

‘මහණෙනි, ආගම අධිගම නොදන්නා පෘථග්ජනයා කායික වූ දුඃඛ වේදනාවෙන් ස්පර්‍ශ වූයේ සොවී, වෙහෙසේ. හඬයි, ළෙහි අත්සපා හඬයි. මුළාවට පැමිණේ. ඔවුන් ගේ යම්තාක් පැවැත්ම වේ නම් ඒ තාක් අවිද්‍යාව වේ. නැවත ද අවිද්‍යාවෙන් සංස්කාර වේය’ යි මෙසේ භවචක්‍ර‍යා ගේ සම්බන්‍ධය වේ. එහෙයින් ඒ ශෝකාදීන් ජරා මරණයන් හා එක්රාශීකොට පටිචච් සමුප්පාද අඞ්ග දොළසෙක්ම ය යි දත යුතු.

විශේෂ:- ජරාමරණයෙන් ම ශෝකාදිය ඒකසංක්‍ෂෙප කළ හෙයින් ශෝකාදීන්ට ද ජාති ප්‍ර‍ත්‍යය භාවය යෙදේ. එහෙත් ශෝකාදියට ජරා-මරණ ප්‍ර‍ත්‍යය භාවයෙන් ගැනේ නම් අවිද්‍යාව හා ඒකසංක්‍ෂෙප කටයුතු වේ. ද්වාදශාඞ්ග වීම සඳහා යැ.

‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ හා ශෝකාදිය ද වේ’ යන මෙහි ජරා මරණ ශෝකාදීන් අතුරෙන් ජරා-මරණ ඓකාන්තික අඞ්ග භාවයෙන් ගන්නා ලදි.

එතෙකුදු වුවත් ශෝකාදිය රූපභවාදියෙහි නැත්නුයි. අනෛකාන්තික යැ හුදෙක් ඵල වශයෙන් අවිද්‍යාව ගෙනහැර පෑම පිණිස ගන්නා ලදි. එයින් අනාගතයෙහි ජාතිය ඇති කලක්හි මතුයෙහි ප්‍ර‍තිසන්‍ධියට හේතු වූ අවිද්‍යාව දක්වන ලදනුයි භවචක්‍ර‍යාගේ අවිච්ඡේද ප්‍ර‍වෘත්තිය දැක්විණැයි දතයුතු.

තවද මතයෙකි- ජරා මරණ ද ශෝකාදියට ප්‍ර‍ත්‍යය නො වූයේ නම් අඞ්ග දොළස නොපිරෙන හෙයින් ජරා මරණ ද ශෝකාදියට ප්‍ර‍ත්‍යය වේ.

එසේ වන්නා “ජරා මරණ පච්චයා සොකාදයො සම්භවන්ති” යි නො වදාරා “ජාති පච්චයා ජරා -මරණං සොකාදියෝ ච සම්භවන්තී[2] යි වදාළේ කවර හෙයින්ද

අන්‍ය වූ හේතූන් ගෙන් ශෝකාදිය උපදනාහෙයින් හුදෙක් ජාති ප්‍ර‍ත්‍යය භාවය ම වදාළහ. මේ මෙහි සංක්‍ෂේප කථාව යැ.

මේ අඞ්ග ව්‍යවස්ථා වශයෙන් විනිශ්චය යි.

  1. සං:නි: වෙදනාසංයුත්තක 678

  2. ම:ව: අභිසම්බොධි කථා 1