9. ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ’ යන්නෙහි
1. අන්‍ථති වශයෙන් ද
2. ධර්‍ම වශයෙන් ද
3. සාත්ථක වශයෙන් ද
4. භෙද වශයෙන් ද
5. සංග්‍රහ වශයෙන් ද
6. යම් උපාදානයෙක් යම් භවයකට ප්‍රත්‍යය වේ නම් ඒ වශයෙන් ද දතයුතු
1. අත්ථි වශයෙන් : “භවතීත = භවො” වේ නුයි භව නමි. මින් කර්‍ම භවය, උප්පත්ති භවය ය දෙක ම කියන ලදී.
ඉන් කර්‍ම භවය ඵලුපවාරයෙන් ද, උප්පත්ති භවය මුඛ්‍යාර්ථයෙන් ද වේ.
එයින් කීහ:- ‘භවො දුවිධෙන, අත්‍ථි කම්මභවො අත්‍ථි උපපත්ති භවො”[1] යි භවය දෙපරිදි වේ. කර්‍ම භවයෙකුදු ඇති, උපපත්ති භවයෙකුදු ඇති, එහි කර්‍මය මැ කර්‍ම භවයැ. උපපත්තිය මැ උපපත්ති භවයැ. මෙහි ‘උපපත්තිය වේය’ යි භව නම් වේ. (විපාකස්කන්‍ධයෝ යි) කර්‍මය විපාකස්කන්‍ධයනට කරුණු වන හෙයින් ඵලොපචාර වශයෙන් භව නම් වේ. “අත්තනො ඵලං කරෙතීති කම්මං” යි කීයේ එහෙයිනි.
නිදර්‍ශන:- බුද්ධොත්පාදය සැපයට කරුණු වන හෙයින් බුද්ධොත්පාදය “සුඛො බුද්ධානං උප්පාදො” යි කීවාක් මෙනි.
මෙසේ අත්‍ථි වශයෙන් විනිශ්චය දතයුතු.
(2) ධර්‍ම වශයෙන්
කර්‍ම භවය සැකෙවින් චේතනා හා චේතනා සම්ප්‍රයුක්ත අභිධ්‍යාදි ධර්‍මයෝ යි.
එයින් කීහ : “තත්‍ථි කතමො කම්මභවෝ පුඤ්ඤාහභිසංඛාරො. අපුඤ්ඤභිසංඛාරො. ආනෙඤ්ජාභිසංඛාරො. පරින්තභූමකො වා, මහාභූමකෙ වා, අයං වුච්චති කම්මභවෝ”[2] එහි කර්‍මභවය කිම? කාමාවචර භූමික වූ හෝ මහග්ගත භූමිත (රූපාවචර භූමික - අරූපාවචර භූමික) වූ හෝ පුඤ්ඤාභි - සංඛාරය ද, අපුඤ්ඤාභිසංඛාරය ද, අනෙඤ්ජාභිසංඛාරය ද, කර්‍ම භව නමි. “සබ්බං එවගාමි කම්මං කම්මභවො”1 සියලු භවගාමි කර්‍මය කර්‍ම භවය යි.
විස්තර : මෙහි පුඤ්ඤාභිසංඛාරය කාමාවචර කුසල චේතනා අට හා රූපාවචර පසදැයි තෙළෙස් (13) සිත්හි වූ චේතනා යි. අපුඤ්ඤාභිසඞ්ඛාර නම් දොළොස් (12) අකුසල චේතනායි. සතර අරූපාවචර කුසල් සිත්හි චේතනාව අනෙඤ්ජාභිසංඛාර නමි.
විශෙෂ: මෙ සේ පරිත්ත භූමකය, මහග්ගත භූමකය යි කීමෙන් ඒ චෙතනාවන්ගේ ම විපාක ස්වරූපය කියන ලදී. සියලු භවගාමී කර්‍මය යි කීමෙන් ඒ චේතනා සම්ප්‍රයුක්ත අභිධ්‍යාදිය ආවය ගාමී හෙයින් ඔවුන් ගේ කර්‍මත්‍වය කියන ලදී. එහෙයින්ම කර්‍මභව පර්‍ය්‍යපන්ත බව පර්‍ය්‍යා යෙන් කීයේ වෙයි. නිෂ්පර්‍ය්‍යාය (මුඛ්‍යාර්ථ) යෙන් චෙතනාව ම කර්‍ම භවය යි.
කර්‍මයෙන් නිපන් ස්කන්‍ධයෝ උපපත්ති භව නම. ප්‍රභේදයෙන් වනාහි ඒ නව වැදෑරුම් වේ.
ඒ මෙ සේ යි:- තත්‍ථ කතමො උපපත්තිභවො, කාමභවො, රූපභවෝ, අරූපභවො, සඤ්ඤාභවො, අසඤ්ඤාභවො, නෙවසඤ්ඤානාසඤ්ඤාභවො, එකවොකාරභවො චතුවොකාර භවො, පඤ්චවොකාරභවො අයං වුච්චති උපපත්තිභවො”[3] එහි උපපත්ති භවය කවරේ ද එකොළොස් (11) කාමාවචර භවය, සොළොස් (16) රූප භවය, සතර අරූප භවය, (අසඤ්ඤසත්තය) අසඤ්ඤ භවය, (නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) නෙවසඤ්ඤානාසඤ්ඤාභවය (සෙසු එකුන් තිස) (29) සඤ්ඤ භවය යි. (අසඤ්ඤසත්ත සඞ්ඛ්‍යාත) එකවොකාර භවය (පඤ්චස්කන්ධ යුක්ත සෙසු කාම-රූප භව) පඤ්චවොකාර භවය. (වොකාර නම් ස්කන්ධ යැ) මෙ සේ භවය තුන්-තුන් වශයෙන් වෛනෙය අධ්‍යාශය අනුවැ බෙදන ලදුවත් ඒ තුන් කොටසට ඇතුළත් වනුයේ එකම භූමි යැ.
තව ද මේවායේ භවයයැ යි ගැනෙනුයේ ඒ ඒ භූමීන්හි උපදනා උපාදාන ස්කන්ධයෝ යි. ඒ අවීචියෙහි පටන් පරනිර්මිත වශවර්තිය තෙක් වූ කාම භූමි ය.
රූප රාගයෙන් යුත් බ්‍රහ්මපාරිසද්‍යයෙහි පටන් අකනිඪකයෙන් පරිච්ඡින්න වූ උපාදාන ස්කන්‍ධ රූප භව යැ. අරූප තෘෂ්ණායෙන් ගන්නා ලද ආකාසනඤ්චාවතනයෙහි පටන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් පිරිසිඳින ලද උපාදින්නස්කන්ධ අරූප භවයැ. සංඥාවත්හි ගේ හෝ සංඥා ඇති භවය (කාම භව හා අසඤ්ඤසත්තය හැර සෙසු රූප භව ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනය හැර සෙසු අරූපභව ද) සඤ්ඤා භව නමි.
සඤ්ඤා නැත්තහු ගේ හෝ සඤ්ඤා නැති භවය අසඤ්ඤ භව නමි. ඖදාරික සංඥාව නැති බැවින් ද සූක්‍ෂම සංඥා ඇති බැවින් ද නෙවසඤ්ඤානාසඤ්ඤා භව නමි. එක ම රූපස්කන්ධයක් ඇති භවය ඒකවොකාර භව යැ. චතු - පඤ්චවොකාර එසේ මැ යි. නාමස්කන්ධ සතර ඇත්තේ චතුවොකාර භව යැ. පඤ්චස්කන්ධය ම ඇත්තේ පඤ්චවොකාර භවය යි. මෙ සේ ධර්‍ම වශයෙන් විනිශ්චය දතයුතු.
(2) සාර්ථක වශයෙන්
මේ භව නිර්‍දෙශයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය කීවා සේ පෙර සංස්කාර නිර්‍දෙශයෙහි ද පුණ්‍යාභිසංස්කාරාදිය ම කියන ලදී. එසේ වන්නා පෙර කී “අවිජ්ජා පච්චයා සංඛාර” යන්නෙන් පූර්‍ව සංස්කාර නිර්‍දෙශයෙහි අතීත භවයෙහි කර්‍ම වශයෙන් මේ භවයෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍යය හෙයින් සංස්කාර කියන ලදි.
මේ “උපාදාන පච්චයා භවො” යන්නෙන් කියන ලද සංස්කාර වර්‍තමාන භවයෙහි කර්‍ම වශයෙන් ආයති භවයෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍යය වන බැවින් නැවැත සංස්කාරයන් කීම සාර්ථක මැයි.
විශේෂ:- පෙර කී තන්හි “තත්‍ථි කතමො පුඤ්ඤාහි සංඛාරො කුසලා චේතනා කාමාවචරා”[4] යනාදීන් කුසල චේතනාදී වශයෙන් කියන ලදී. මෙහි ‘සියලු භවගාමී කර්‍මය යි’ කී හෙයින් චේතනා සම්ප්‍රයුක්ත අභිධ්‍යාදීහු ද ගැනෙති.
තවද පෙරැ ‘විඥානයට ප්‍රත්‍යය වූ ම කර්‍මය සංඛාරය’ යි කියන ලදී. දැන් අසංඥ භවයෙහි උපදනා කර්‍මය ද භවයැ යි කියන ලදී. බෙහෙවින් කුමට යැ? පෙරැ පුණ්‍යාභිසංස්කාරාදිය ම වූ කුශලාකුශල ධර්‍ම කියන ලදී. මෙහි උත්පත්ති භවය ද සංග්‍රහ වන හෙයින් කුශලාකුශල අව්‍යාකෘත ධර්‍මයෝ කියන ලදහ. එහෙයින් සර්‍වප්‍රකාරයෙන් මේ නැවැත කීම සාර්ථක මැයි.
මෙසේ සාර්ථක වශයෙන් විනිශ්චය දතයුතු.
(3) හෙද හෙයින්
උපාදාන ප්‍රත්‍යයයෙන් වන්නා වූ භවයාගේ භෙද වශයෙන් ද, මෙ සේ යි: කාමුපාදාන ප්‍රත්‍යයයෙන් කාම භවයෙහි උපදවන්නා වූ නිපදවන කර්‍මයක් කරනු ලැබේ නම් එය කර්‍ම භව නමි. එයින් නිපදවන ලද ස්කන්ධ උප්පත්ති භවය යි. රූප-අරූප භවයන්හි ද මෙ සේ මැ යි.
විශේෂ:- කාමුපාදාන ප්‍රත්‍යයයෙන් උපදවන යම් කර්‍මයක් කෙරේ නම් එය කර්‍ම භව යැ. එයින් නිපන් ස්කන්ධ උප්පත්ති භවය යි. ඒ කාම භවයෙහි ඇතුළත් සංඥා භව යැ, පඤ්චවොකාර භව යැ යන දෙකක් ද, ඒ රූප භවයෙහි ම ඇතුළත් වූ සඤ්ඤා භව අසඤ්ඤ භව - එක වොකාර භව - පඤ්ච වොකාර භව - යන මොවුන් ද (අරූප) කර්‍ම භව යැ, උප්පත්ති භවයැ යි අරූප භව දෙකක් ද එහි ම සඤ්ඤ භව -නෙවසඤ්ඤානාසඤ්ඤා භවචතුවොකාර භව යන මොවුන් ද, ඇතුළත් වූ භවයන් සමග කාම භව දෙක යැ, රූප භව දෙක යැ, අරූප භව දෙකයැ යි භවයෝ සදෙනෙක් වෙති.
එසේ ම (කාමූපාදාන ප්‍රත්‍යයටෙව් භවය සයක් වන්නා සේ) දීඨූපාදාන - සීලබ්බතුපාදාන - අත්තවාදූපාදාන යන තුන් උපාදාන ප්‍රත්‍යය භෙදයෙන් අන්තර්‍ගත භවයන් හා සූවිසි (24) භව කෙනෙක් වෙති.
(5) සංග්‍රහ වශයෙන්:- කර්‍ම භවය උප්පත්ති භවය ද එක් කොට කාමූපාදාන ප්‍රත්‍යයයෙන් අන්තර්‍ගත භවයන් සමග එක් කාම භවයෙක, එසෙ ම එක් රූප භවයෙක, එක් අරූප භවයෙකැ යි භව තුනෙකි. සෙසු උපාදාන ප්‍රත්‍යයෙනුදු එසේ ම තුන් - තුන් භවයෝයැ යි මෙ සේ උපාදාන ප්‍රත්‍යයයෙන් සංග්‍රහ හෙයින් අන්තර්‍ගත භවයන් සමග භව දොළසෙකි. (12) තව ද උපාදාන වශයෙන් භෙද නො කොට උපාදාන ප්‍රත්‍යයයෙන් වූ කාම භවයට පමුණුවන කර්‍මය කර්‍ම භවයැ. එයින් නිපන් ස්කන්‍ධ උපපත්ති භව යැ. රූප-අරූප භවයෙහි දු මෙම නය යි.
මෙ සේ උපාදාන ප්‍රත්‍යයයෙන් අන්තර්‍ගත භවයන් සමග කාම භව දෙක යැ. රූප භව දෙක යැ, අරූප භව දෙකයැ යි අනෙක් ආකාරයකින් සංග්‍රහ කිරීමෙන් භව සයෙකි.
තවද කර්‍ම භව උපපත්ති භව භෙදය නො ගෙන අන්තර්‍ගත භවයන් සමග කාම-රූප-අරූපයැ යි භව තුනෙක් වේ.
එසේ ම කාම භවාදී භේදය නො ගෙන කර්‍ම භව - උප්පත්ති භව වශයෙන් භව දෙකෙක් වේ.
කර්‍මභව- උප්පත්තිභව භේදය ද නො ගෙන උපාදාන ප්‍රත්‍යය යෙන් භවයැ යි කී භව වශයෙන් එකෙක් වේ. මෙ සේ උපාදාන ප්‍රත්‍යයයෙන් භවයා ගේ සංග්‍රහ වශයෙන් විනිශ්චය දතයුතු.
6. “යං යස්ස පච්චයො හොති චෙව” යි යම් උපාදානයෙක් යම් භවයකට ප්‍රත්‍යය වේ නම් එයනුදු විනිශ්චය දතයුතු.
ප්‍රශ්න:- කවර උපාදානයෙක් කවර භවයකට ප්‍රත්‍යය වේ ද
පිළිතුරු:- යම්කිසි උපාදානයක් යම්කිසි කුශලයනට හෝ අකුශලයකට හෝ ප්‍රත්‍යය වේ මැයි.
ඒ මෙසේ යි:- පුහුදුන් තෙමේ උමතුවකු මෙනි. හෙතෙමේ මේ යුතු යැ. මේ අයුතුයැ යි නො විචාරා යම්කිසි උපාදානයක ගේ වශයෙන් යම්කිසි භවයක් පතා කාමාවචරාදි යම්කිසි කර්‍මයක් කෙරේ මැයි.
මතභෙද:- ‘ගෝසීල - අජසීල - කුක්කුර සීලාදී ශීල - ව්‍රත සමාදානයෙන් ගෙරින් - එළුවන් - බල්ලන් සමග උපදිතැ යි ද එහෙයින් ඔවුනට ධ්‍යාන නැතැ යි ද ශීල-ව්‍රතොපාදානයෙන් රූප-අරූප භව නො වේය, යි සමහර ආචාර්‍ය්‍යවරයෝ යෙති ඔවුන් ගේ වචනය නො ගත යුතුයි.
නිර්‍ණය:- සියලු උපාදානයෙන් සියලු භවය වේ යයි ගතයුතු. පෙර කී භෙද ප්‍රත්‍යය වන හෙයින් රූප-අරූප භවයන්හි උපැත්ම ද විය හැක්ක.
විස්තර :- මේ ලෝකයෙහි අනුශ්‍රව (=ඇසීම්) වශයෙන් හෝ මිනිස් ලොව කාමය සමෘද්ධය දෙව්ලොව එයට වැඩියෙන් සමෘද්ධ තරයැ යි මෙ සේ දුටු දැය අනුවැ සිතීමෙන් හෝ මේ කම නම් මිනිස් ලොව ක්‍ෂත්‍රිය මහාසාර කුලාදියෙහි ද, කාමාවචර සදෙව් ලෙව්හි ද, සමෘද්ධය යි සිතා ඒ ලැබීම පිණිස අසද්ධර්‍මයන් (පුරාණ - භාරත - රාමයනාදිය) ඇසීම් ආදියෙන් රවටන ලදුවැ මේ කර්‍මයෙන් කාම සමෘද්ධ වේය යි සිතා කාමූපදාන වශයෙන් කාය දුශ්චරිතාදිය හෝ කෙරේ ද හෙතෙම දුසිරිත් පිරීමෙන් අපායයෙහි උපදී.
තවද මේ ලෙව්හිදී ලැබෙන කාමයන් (රාජ්‍ය සම්පත් ආදී වස්තුන්) පතමින් ලැබූ වස්තුව හෝ රැකීමට කාමුපාදාන වශයෙන් කාය දුශ්චරිතාදිය කෙරේ හෙතෙම ඒ දුසිරිත් පිරීමෙන් අපායයෙහි උපදී. ඔහු ගේ එහි ඉපදීමට හේතු වූ ඒ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් නිපන් ස්කන්‍ධ උපපත්ති භවය යි. සඤ්ඤා භව - පඤ්චවොකාර භවය ද එයට ම ඇතුළති.
අනෙක් සද්ධර්‍ම ශ්‍රවණාදීන් වඩනා ලද නුවණ ඇතිවැ මේ කර්‍මයෙන් කාම සමෘද්ධ වේයැ යි සිතා කාමූපාදාන වශයෙන් කාය සුචරිතවාදිය කර යි, හෙතෙම එසේ සුචරිත පිරීමෙන් දෙව් ලොව හෝ මිනිස් ලොව හෝ උපදී. ඔහු ගේ එහි ඉපදීමට හේතු වූ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් නිපන් ස්කන්‍ධ උපපත්ති භවය යි. සඤ්ඤා භව - පඤ්චවොකාර භවයෝ ද, එයට ම ඇතුළත් වෙති. මෙ සේ කාමූපාදානය සුගති - දුර්‍ගති වශයෙන් ප්‍රභේද සහිත සඤ්ඤා භව - පඤ්චවොකාර භව වහයෙන් ඒක දෙශයකින් ඇතුළත් භවයන් සහිත කාම භවයට ප්‍රත්‍යය වේ.
අනෙකෙක් රූප-අරූප භවයන්හි ඒ කාම භවයට වඩා (කාමය) සමෘඬතරයැ යි අසා හෝ අනියමින් සලකා හෝ රූප-අරූප සමාපත්ති උපදවා ඒ සමාපත්ති බලයෙන් රූප-අරූප බ්‍රහ්ම ලෝකයන්හි උපදී. ඔහුට එහි ඉපදීමට හේතුවූ කර්‍මය කර්‍ම භව යැ. එහි උපන් ස්කන්ධ උපපත්ති භවය යි. සඤ්ඤා භව - අසඤ්ඤාභව - නෙවසඤ්ඤානාසඤ්ඤාභව - එක වොකාර භව - චතුවොකාරභව - පඤ්චවොකාරභවයෝ ද එහිම ඇතුළත් වෙති. මෙ සේ කාමූපාදානය ප්‍රභේද සහිත වූ සඤ්ඤා භවාදී වශයෙන් අන්තර්‍ගත භවයන් සහිත වූ රූප අරූප භවයනට ද ප්‍රත්‍යය වේ.
අනෙකෙක් මේ ආත්මය දැන් පවත්නා කාමාවචර භවයෙහි හෝ රූප-අරූප භවයන් අතුරින් එක්තරා එකෙකැ හෝ උච්ඡේදයට පැමිණියේ සියලු වට දුක් උච්ඡේදයට (විනාශයට) පැමිණීම වශයෙන් මනා කොට උච්ඡේද වේයැ’ යි උච්ඡේද දෘෂ්ටිය ගෙන එයට පමුණුවන කර්‍ම කෙරේ. ඔහු ගේ ඒ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් උපන් ස්කන්ධ උපපත්ති භවය යි. සඤ්ඤාභවාදිය පෙර කී සේ එයට ම ඇතුළති.
මෙසේ දිට්ඨි - උපාදානය (ප්‍රභේද සහිත) සඤ්ඤා භවාදී අන්තර්‍ගත භවයන් සහිත කාම-රූප-අරූප යන ත්‍රිවිධ භවයට ම ප්‍රත්‍යය වේ.
විශේෂ:- මේ උච්ඡේද දෘෂ්ටියෙහි ඇතුළත් දශ වස්තුක මිථ්‍යා දෘෂ්ටීන් අතුරින් කාම භවයෙහි ‘නත්‍ථිදින්නං’ ‘නත්‍ථි-යිට්ඨා’ යන උච්ඡෙද වාද දෙක ද, රූප භවයෙහි ‘නත්‍ථි හුතං’ යන තෘතීය උච්ඡෙද වාදය ද, අරූප භවයෙහි සෙසු සප්තවිධ උච්ඡෙද වාද ද යන මොවුන් ගේ වශයෙන් උච්ඡෙද දෘෂ්ටිය වේ.
අනෙකෙක් : මේ ආත්මය දැන් පවත්නා ‘මේ කාමාවචර සම්පත්ති භවයෙහි හෝ රූප-අරූප භවයන් අතුරින් එකෙකැ හෝ සුවපත් වේයැ, යි පහවූ දාහ ඇති වේය’යි ආත්මවාද වශයෙන් දැඩිවැ ගෙනැ ඒ භවයනට පමුණුවන කර්‍ම කෙරේ. ඔහුගේ ඒ කර්‍මය කර්‍ම භව යැ. එයින් නිපන් ස්කන්‍ධ උපපත්ති භවය යි, සඤ්ඤා භවාදිය ද එයට ම ඇතුළති.
මෙ සේ අත්තවාදූපාදානය සප්‍රභේද අන්තර්‍ගගත භව සහිත ත්‍රිවිධ භවයට ප්‍රත්‍යය වේ.
විස්තර:- මෙහි ‘කාමාවචර සම්පත්ති භවයෙහිය’ යි කියන ලද්දේ ප්‍රථම දෘෂ්ටධර්‍ම නිර්‍වණවාද වශයෙනි. සෙස්ස ඉතිරි දෘෂ්ටධර්‍ම නිර්‍වණවාද වශයෙන් කියන ලදී.
විශේෂ:- පෙළෙහි රූපාවචර ධ්‍යාන වශයෙන් මැ මතුයෙහි සතර දිට්ඨධම්ම නිබ්බාන වාදයෝ ආහ. එතෙකුදු වුවත් දෘෂ්ටි ගතිකයා යම් කිසිවක් ගෙන යම්කිසි ප්‍රකාරයකින් අභිනිවෙශ (=දෘෂ්ටි වශයෙන් ගැනීම) කෙරේ යැ යි. අරූපභව ග්‍රහණය කරන ලදී.
තවද අරූප ධ්‍යාන චතුර්ථ ධ්‍යානයෙහි සංග්‍රහ වන බැවින් හෝ අරූප භවය ගන්නා ලදී. (මේ ටීකාගත විස්තර යි.)
අනෙකෙක් මේ ශීල-ව්‍රත කාමාවචර මේ භවයෙහි හෝ රූප-අරූපභවයන් අතුරින් එක්තරා භවයෙකැ හෝ පුරන්නහුට සැප සම්පූර්ණ වීමට යේයැ යි ව්‍රතොපාදාන වශයෙන් එයට පැමිණීමට සුදුසු වූ කර්‍ම කෙරේ. ඔහු ගේ ඒ කර්‍මය කර්‍ම භව යැ. ඒ කර්‍මයෙන් නිපන් ස්කන්ධ උප්පත්ති භවය යි. සඤ්ඤාභවාදිය එයට ම ඇතුළත් වේ. මෙ සේ සීලබ්බතූපාදානය ප්‍රභේද සහිත සාන්තොගධ වූ තුන් භවයට ප්‍රත්‍යය වේ.
මෙහි පිළිවෙළින් නො කියා සීලබ්බතූපාදානය අන්තයෙහි කීම අන්තවාදුපාදානය මෙන් බෙහෙවින් සමුදාචාර නැති හෙයින් හෝ එය අත්තවාදූපාදාන නිමිත්තෙන් වන හෙයින් හෝ යි.
ප්‍රශ්නයෙකි:- මේ උපාදාන අතුරින් කවර උපාදනයෙක්, කවර භවයට, කෙසේ ප්‍රත්‍යය වේ ද
පිළිතුර:- “රුවාරූ බවයට - උවදන්*[5] උවනිසා පස+
**කමුබවයට එ සහදැ++ - ඈ නන් බෙයින් පස වේ”
විස්තර:- මේ කාමාදි චතුර්විධ උපාදානය රූප-අරූප භවයන්ට ද, කාම භවයෙහි (ඇතුළත් කර්‍ම භවයෙහි) කුශල - අකුශල කර්‍මයට ද, උපපත්ති භවයට ද, උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. කාම භවයෙහි තමා හා සම්ප්‍රයුක්ත අකුශල කර්‍ම භවයට සහජාත - අඤ්ඤමඤ්ඤා - නිස්සය - සම්පයුත්ත - අත්‍ථි - අවිගත - හෙතු ප්‍රත්‍යය ප්‍රභේදයෙන් සහජාතාදී වශයෙන් ප්‍රත්‍යය වේ.
විශේෂ:- හේතු ප්‍රත්‍යය ප්‍රභෙදයෙන්යැ යි කීමෙන් මාර්‍ග ප්‍රත්‍යය ද සංග්‍රහ වේයැ යි කියන ලදී.
ඒ මෙ සේ යි:- දිට්ඨි - උපාදානාදිය සහජාත වූ අකුශල කර්‍ම භවයට මාර්‍ග ප්‍රත්‍යය වන හෙයින් සහජාතාදි ප්‍රත්‍යය අතුරින් හේතු ප්‍රත්‍යය හැර මාර්‍ග ප්‍රත්‍යය ගෙන සත් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.
සියලු උපාදානයෝ ම අනන්තර වූ කර්‍ම භවයට අනන්තර සමනන්තර - අනන්තරූපනිස්සය - නත්‍ථි - විගත - ආසෙවන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති. අනන්තරයට උපනිශ්‍රය වශයෙන් ද ප්‍රත්‍යය වේ. විප්‍රයුක්තය හට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
මේ ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ’ යැයි කීමෙහි විස්තර යි.