8. තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදාන

8. තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදාන වේ. යන්නෙහි

උපාදාන සතරෙකි, ඔහු

1. අර්‍ථ විශාලයෙන් ද,

2. උපාදාන ධර්‍මයන් ගේ සංක්‍ෂේප වශයෙන් ද‍

3. විස්තරයෙන් ද,

4. ක්‍ර‍ම වශයෙන් ද විස්තර කරනු ලැබේ.

කාමූපදාන යැ, දිඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදානයැ යි මෙහි සතර උපාදානය දතයුතු.

1. මේ අර්‍ථ විශාලය යැ. කාම නම් රූපාදී (ආලම්බන) වස්තු යැ. එය දැඩිව ගැනීම් වශනේ ආස්වාදනය කළ අධික තෘෂ්ණාව කාමූපාදානය යි. තවද කාමය ම උපාදාන වූයේ කාමූපාදානයයි, කී කල කැමති වන්නා උපාදානය යැ. (ඒ නම් කාමතෘෂ්ණාව යැ. ක්ලේශ කාමය කාමූපාදානය යි මේ දෙක්හිම උපාදාන ශබ්දය කර්‍තෘසාධනයැ දැඩිවැ ගන්නා උපාදානය යැ.) දැඩිව ගැනීම උපාදානය යි. මෙහි උප ශබ්දය “උපායාස” යනාදි යෙහි මෙන් දෘඪාර්‍ථයෙහි වැටේ. දැඩි ආයාසය උපායාසය යි. එසේ ම දිඨයම උපාදාන වූයේ දිඨූපාදානය යැ. තවද දිඨය දැඩිය ගනීනු යි හෝ දිඨූපාදානය යැ.

නිදර්‍ශන:- ආත්මය ද, ලෝකය ද, ශාස්වතයැ යි කී කල පළමු පැවැති දෘෂ්ටිය, පසුවැ-පසුවැ උපදනා දෘෂ්ටිය දැඩි කොට ගනී. “නත්‍ථි දින්නං” ‘දුන් දෙයට විපාක නැත’ යනාදි දශ වස්තුක නාස්තික දෘෂ්ටිය හෝ දිඨුපදාන නමි. ගෝශීල-ගෝව්‍ර‍තාදීන් බලවත් සේ ගැනීම සීලබ්බතූපාදානය යැ.

විශේෂ:- ගොශීලාදිය සමාදාන වශයෙන් ගැනීම සීල නම් වේ. එව අව්‍යතීක්‍ර‍ම වශයෙන් ව්‍ර‍ත නම් වේ. තවද ගෝ ආකාරයම සීලය යි. අතරතුර කරන ගෝ ක්‍රියා ව්‍ර‍තය යි, මේ ගොශීල-ව්‍ර‍තාදිය සහචරිත වූ දැඩි කොට ගැනම සීලබ්බතූපාදානය යි.

බලවත් සේ ආත්මය යි පැනවීමට ද, ගැනීමට ද, කරුණු වූ දෘෂ්ටිය අත්තවාදූපාදානය යි. ආත්මය යන වචන මාත්‍ර‍ය හෝ ඒ කරණ කොට දැඩිවැ ගන්නා හෙයින් හෝ ආත්මවාදෝපාදාන නම් වේ. උපාදානයන් ගේ අර්‍ථ විභාගය යි.

2. ධර්‍ම සංක්‍ෂේප වශයෙන් මෙ සේ යි.

කාමූපාදානය නම් “තත්‍ථ කතමං කාමූපාදානං, යො කාමෙසු කාමච්ඡන්‍දො, කාමාරාගො, කාමනන්‍දි, කාමතණ්හා, කාමසිනෙහො, කාමපරිළාහො, කාමමුච්ඡා, කාමාජ්ඣොසානං ඉදං වුච්චති කාමූපාදානං”[1] පඤ්චකාම විෂයයෙහි ඇලීම ය, කැමැතවීම් වශයෙන් රැඳීම ය. නන්දන (සතුටුවීම්) වශයෙන් කැමැතිවීම ය, ආසාකිරීම් වශයෙන් කැමැතිවීම ය, ස්නේහ කිරීමය ය, දැවීම ය, මුසපත් වීමය, ගැලීම ය, යන මේ කාමුපාදානයැ යි ආ හෙයින් සැකෙවින් තෘෂ්ණාව ගේ දෘඪත්‍වය යැ ඒ වූ කලී පළමු තෘෂ්ණාව ගේ උපනිශ්‍ර‍ය ලැබ දැඩි බවට පැමිණි පසු උපදනා තෘෂ්ණාව මැ යි.

මතභෙදයෙකි:- අඳුරෙහි බඩු සෙවීම පිණිස සොරා ගේ අත දිගු කිරීම මෙන් නො ලද විෂය පැතීම තෘෂ්ණා නමැ යි ද, ඒ සොරා ගේ ම බඩු ගැනීම මෙන් හමු වූ අරමුණු ගැනීම උපාදානය යැ යි ද කිසි කෙනෙක් කියති.

තෘෂ්ණාව විෂයාභිකාංක්‍ෂා භාවයෙන් අල්පෙච්ඡ භාවයට ප්‍ර‍තිපක්‍ෂ යැ. තෘෂ්ණා දෘඪත්වයට පැමිණි අත්‍රිච්ඡතාව හෙයින් උපාදානය සන්තුෂ්ටියට ප්‍ර‍තිපක්‍ෂ යැ. එසේ ම තෘෂ්ණාව අප්‍රාප්ත විෂය ප්‍රාර්‍ථනය හෙයින් පර්‍යෙෂණා දුඃඛ මූල යැ. උපාදාන ය සම්ප්‍රාප්ත විෂය ග්‍ර‍හණය හෙයින් ආරක්ෂා දුඃඛ මූලයැ යි යෙති.

විශේෂ:- සෙසු උපාදාන සැකෙවින් දෘෂ්ටිමාත්‍ර‍ය මැයි.

(3) විස්තර වශයෙන් :- පෙරැ කී සේ රූපාදීන් පිළිබඳ අටෝරාසියක් (108) භෙදගත තෘෂ්ණාව ගේ දැඩි බව කාමුපාදානය යැ.

දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය දිට්ඨූපාදානය යැ.

එයින් වදාළහ. “තත්ථ කතමං දිට්ඨූපාදානං, නත්‍ථි දින්නං, නත්‍ථියිඨං, නත්‍ථිහුතං -පෙ- සච්ඡකත්‍වා පවෙදෙන්ති. යා එව රූපාදිට්ඨි, විපරියෙසගාහො ඉදං වුච්චති දිට්ඨූපාදානං”[2] යි

(1) දුන් දෙයෙහි විපාක නැත,

(2) මහායාගාදියෙහි ඵළ නැත,

(3) ආමන්ත්‍ර‍ණය කොට දීමෙහි ද, ආගන්තුක වශයෙන් පැමිණිය වුනට දීමෙහි ද, මඞ්ගල ක්‍රියා පිළිබඳ වූ දීමනාවෙහි ද විපාක නැත.

(4) දශ කුශල කර්‍මපථ, අකුශල කර්‍මපථ වශයෙන් පැවැති සූකෘත දුෂ්කෘත කර්‍මයන් ගේ ඵල විපාක නැත. (මේ සෙ ම පෙරැ කී දානාදීන්හි ද, ආනිසංස ඵල හා විපාක ඵල නැතැයි කීවා වේ.)

(5) පරලොව සිටියනට මෙ ලොව නැත.

(6) මෙ ලොව සිටියනට පරලොව නැත.

(එහිම උච්ඡේද වන හෙයින් පරලොව සිටියහුට මෙ ලොව ඊමෙක් නැත.)

(7-8) මව්-පියනට කළ මනා නො කළ මනා උවටැන් හා පීඩා ආදියෙහි ඵල නැත.

(9) පළමු භවයෙන් චුතවැ දෙ වන භවයෙහි උපදනා සත්ත්‍වකෙනෙක් නැත.

(10) අනුලෝම ධර්‍මනුධර්‍ම ප්‍ර‍තිපත්තියට පිළිපන් හෙයින් සම්‍යක්ගත වූ සම්‍යක් ප්‍ර‍තිපන්න වූ ධාර්මික ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ නැත.

(මෙ ලෝ පරලෝ තුමූම විශිෂ්ට ඥානයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් දැන ප්‍ර‍කාශ කිරීමට සමර්‍ථ වූ සර්‍වඥ බුදුවරයෝ නැතැයි කියායි) මෙ සේ යම්බඳු දෘෂ්ටියක් (විපරීත ග්‍ර‍හණයක්) ඇත්නම් ඒ දිට්ඨූපාදානය යි.

ශීල-ව්‍ර‍තයන් ගෙන් ශුද්ධිය වේයැ යි පරාමාර්‍ශ ග්‍ර‍හණය ශීලව්‍රතොපාදානය යි.

එයින් වදාළහ. “තත්‍ථ කතමං සීලබ්බතූපාදනං, සීලෙන සුද්ධි, වතෙන, සුද්‍ධි, සීලබ්බතෙන සුද්‍ධිති යා එවරූපා දිට්ඨි - පෙ - විපරීයෙසාගාහො ඉදං වුච්චති සීලබ්බතුපාදානං”[3] එහි සීලබ්බතුපාදානය කවරේද, ශීලයෙන් ශුද්ධිය, ව්‍ර‍තයෙන් ශුද්ධිය යි යම් විපරීත ගැනීමෙක් වේ නම් එය ශීලව්‍ර‍තොපාදානය යි.’

විංශති (20) වස්තුක ස්වකාය දෘෂ්ටිය ආත්මවාදොපාදා නමි එයින් වදාළහ. “තත්‍ථ කතමං අත්තවාදූපාදානං ඉධ අස්සුතවා පුථුජ්ජනො -පෙ- සප්පුරිස ධම්මෙ අවිනීතො -පෙ- අත්තතො සමනු පස්සති -පෙ- විපරීයෙසගාහො ඉදං වුච්චති අත්තවාදුපාදානං”1 ‘එහි ආත්මවාදොපාදානය කිම? මේ ලෝකයෙහි ආගම අධිගම රහිත හෙයින් අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ -පෙ- සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුණේ රූපය ආත්මය යි ගනී, -පෙ- එබඳු විපර්‍ය්‍යාස ග්‍ර‍හණය ආත්මවාදොපාදාන ග්‍ර‍හණය නමි. (මේ පිළිබඳ විස්තර මජ්ඣිම නිකාය මූල පර්‍ය්‍යාය සූත්‍ර‍, ධම්මසඞ්ගණී අටුවාවන්හි[4] දතයුතු)

මේ ධර්‍ම සංක්‍ෂේප විස්තරය යි.

4. ක්‍ර‍ම වශයෙන්,

මෙහි ක්‍ර‍මය

(i) උත්පත්ති ක්‍ර‍මය

(ii) ප්‍ර‍හාණ ක්‍ර‍මය

(iii) දේශනා ක්‍ර‍මය යි ත්‍රිවිධ යැ. “නැති හෙයින් නො දන්නා ලද අග ඇති සංසාරයෙහි මොහු ගේ පළමු උපතය යි” නැති හෙයින් ක්ලේශයන් ගේ (නිශ්පර්‍ය්‍යාය වශයෙන්) මුඛ්‍ය හෙයින් උත්පත්ති ක්‍ර‍මයක් නැති. පර්‍ය්‍යායයෙන් වනාහි බෙහෙවින් එක් අත්බැවෙකැ ආත්ම දෘෂ්ටිය පෙරටු කොට ඇති ශාස්වත - උච්ඡේද දෘෂ්ටි වශයෙන් අභිනිවෙශය (ගැනීම) වේ.

අනතුරුවැ ‘මේ ආත්මය ශාස්වතයැ, යි ගන්නාහට ආත්ම - විශුද්ධිය පිණිස ශීල - ව්‍රතොපාදානය වේ. ‘මේ ආත්මය උච්ඡේද වේය’ යි ගන්නා පරලොව අපෙක්‍ෂා නැත්තාහට කාමූපාදානය උපදී.

මෙසේ පළමු ආත්මවාදොපාදානය ද අනතුරුවැ දිට්ඨි - සීලබ්බත - කාමූපාදාන ද වේ. මේ එක් අත්බැවෙකැ ඔවුන් ගේ උත්පත්ති ක්‍ර‍මය යි.

විශේෂ:- ප්‍ර‍කෘති - අණු - ආදීන් ගේ ශාස්වතග්‍රාහ පූර්‍වඞ්ගම කොට ඇත්තාවූ ද, ශරීරයා ගේ උච්ඡේදග්‍රාහ පූර්‍වඞ්ගම කොට ඇත්තාවූ ද, ඒ ශාස්වත - උච්ඡේද ග්‍ර‍හණයට ස්වාමී වූ ශාස්වත වූ හෝ උච්ඡේද වූ හෝ කිසියම් ආත්මයක් ඇතැයි එබඳු ආත්ම ග්‍රාහකයෙක් වන්නේය යි කිසි කලෙක මෙහි බෙහෙවින් යැ යි කියන ලදි. මේ ආත්ම දෘෂ්ටිය අර්‍ථ වශයෙන් ස්කන්‍ධ ආලම්බන කොට ඇත්තේ ම දතයුතු. භවරාග ජවන විථිය සියල්ලට පළමු පවත්නා නමුදු පිළිසිඳ ගත්තහුට භව නිකාන්තිය පවත්නා බැවින් ද, ඒ භව රාගය තෘෂ්ණා දෘඨත්‍වය නො වේ ය යි සිතා කාමූපාදානය සියල්ලට පළමු උපදීය යි නො කීහ.

(ii) ප්‍ර‍හාණ ක්‍ර‍මය, සතර උපාදාන අතුරින් සොතාපත්ති මාර්‍ගයෙන් ප්‍ර‍හීණ වන හෙයින් දිට්ඨුපාදානාදි තුන පළමු ප්‍ර‍හීණ වේ. අර්‍හන්මාර්‍ගවධ්‍ය හෙයින් කාමුපාදානය පසුවැ ප්‍ර‍හීණ වේ.

විශේෂ:- තෘෂ්ණා යැ, කාමුපාදානයැ යි විභාග නො කළ කල මේ සියලුම තෘෂ්ණාව කාමුපාදානය යි දතයුතු. විභාග කළ කල්හිදු කාම රාගයෙන් භින්න වූ දෘඪත්‍වයට පැමිණි තෘෂ්ණාව කාමුපාදානය යි. එය අර්‍හන්මාර්‍ගවධ්‍යය යි කීහ.

(iii) දේශනා ක්‍ර‍මය, මහා විෂය වන බැවින් ද, ප්‍ර‍කට හෙයින් ද, කාමුපාදානය පළමුව වදාළහ.

ඒ මෙසේ යි: ලෝභමූලික සිත් අටෙහි යෙදී පැවැත්මෙන් ද, ප්‍ර‍කට බැවින් ද, මේ චතුරුපාදානයන් අතුරින් කාමුපාදානය පළමුවැ වදාළහ.

(සිත් සතරෙක පවත්නා බැවින්) සෙසු තුන පසුවැ වදාළහ ලොකයා බෙහෙවින් පඤ්චකාමයෙහි ඇලෙන හෙයින් කාමුපාදානය ප්‍ර‍කට යැ. සෙසු උපාදාන එසේ ප්‍ර‍කට නොවේ. කාමුපාදාන ඇත්තේ ද වස්තුකාමය ලැබීම සඳහා සැප-දුක් කර්‍මයෙන් වේය යි නො ගෙන දිඨමඞ්ගලාදිය වශයෙන් පවත්නා කොතුහල මඞ්ගලාදිය බොහෝ කොට ඇත්තේ වේ. ඒ කාමුපාදානය ඇත්තහුට පසුවැ දිඨූපාදානය වේය යි සෙස්ස පසුව කීහ.

ඒ දිඨූපාදානය ද සීලබ්බත -අත්තවාද වශයෙන් විවිධ වේ. ඔවුනතුරින් ගො ක්‍රියා - කුක්කුර ක්‍රියාදිය දැක ද දතහැකි හෙයින් සීලබ්බතුපාදානය පළමුවැ වදාළහ. සූක්‍ෂම හෙයින් අන්තවාදුපාදානය පසුවැ වදාළහ. මේ මොවුන් ගේ දේශනා ක්‍ර‍මය යැ.

ඔවුනතුරින් කාමුපාදානයට තෘෂ්ණා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වශයෙන් එක් අයුරින් ද, තෘෂ්ණාවෙන් අභිනන්දිත විෂයෙහි උපදනා හෙයින් සෙසු තුනට සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - සම්පයුත්ත - අත්‍ථි - අවිගත - හෙතු වශයෙන් සත් පරිද්දෙකින් හෝ උපනිශ්‍ර‍ය ද සමග අට අයුරෙකින් ද ප්‍ර‍ත්‍යය වේ.

විශේෂ:- උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වන කල හජාත ප්‍ර‍ත්‍යය නො වේ.

මේ ‘තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදාන වේ’ යන්නෙහි විස්තර කථාවයි.

  1. ධ:ස: නිකෙඛපඛණ්ඩ 194

  2. ධ:ස: නිකේඛපඛණ්ඩ 194

  3. ධ:ස: නිකේඛපඛණ්ඩ 195

  4. අ:සාලිනී නිකේඛප 322