10. ‘භව ප්‍රත්‍යයයෙන් ජාති වේ’ යනාදීන්හි ජාති ආදීන් ගේ විනිශ්චය සත්‍ය නිර්‍දෙශයෙහි කී නයින් දත යුතුයි. ආදි ශබ්දයෙන් ජරා-මරණාදි සියල්ල සංග්‍රහ කරන ලදී.
විශේෂ:- මෙහි භව යන්නෙන් කර්‍ම භවය අභිප්‍රේත යැ. ජාතියට ප්‍රත්‍යය වන්නේ එය යැ. උපපත්ති භවය නො වේ. ඒ කර්‍ම භවය ද කර්‍ම ප්‍රත්‍යය, උපනිශ්‍රය ප්‍රත්‍යය යන දෙ ආකාරෙකින් ප්‍රත්‍යය වේ.
ප්‍රශ්නයෙකි:- භවය ජාතියට ප්‍රත්‍යය වේයැ යි කෙසේ දත හැකි ද,
පිළිතුර:- බාහ්‍ය ප්‍රත්‍යයන් ගේ සමත්‍වය ඇති කල්හි ද හීන -ප්‍රණීතතාදී භේදය දක්නා ලැබෙන හෙයිනි.
විස්තර:- පීතෘ - මාතෘන් ගේ ශුක්‍ර - ශ්‍රොණිතාදී වාහ්‍ය ප්‍රත්‍යයන් ගේ සමත්‍වය ඇති කල්හි ද යමක (නිඹුල්) දරුවන් ගේ ද හීන - ප්‍රණිතතාදි විශේෂ පැනේ. හෙද හැම කල්හි ම හැම සත්ත්‍වයන් ගේම එක සේ නො වන හෙයිනි. හෙද අහෙතුක නො වේ. තවද ඒ හීන - ප්‍රණීතතා විශේෂය උපදවන්නා වූ සත්ත්‍වයන් ගේ අධ්‍යාත්ම සන්තානයෙහි අනෙක් කාරණයක් නැති හෙයින් කර්‍ම භවය ම හේතු කොට ඇත්තේ ය.
එයින් වදාළහ : “කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණිත්තාය”[1] ‘කර්‍මය සත්ත්‍වයන් හීන ප්‍රණිතතාදි භාවයෙන් බෙදා යැ’යි කියායි. එහෙයින් භවය (කර්‍මය) ජාතියට ප්‍රත්‍යය වේය යි දත යුතු යි.
තවද ජාතිය නැති කල්හි ජරා - මරණ හෝ ශෝකාදි ධර්‍ම හෝ නො වන හෙයින් ද, ජාතිය ඇති කල්හි ම ජරා-මරණ දුකින් පහර ලද බාල ජනයාහට ජරා-මරණ හා සම්බන්ධ වූ හෝ ඤාති ව්‍යසනාදි ඒ ඒ දුඃඛ ධර්‍මයෙන් පහර ලද්දාහුට ජරා-මරණ ප්‍රතිබද්ධ නො වූ හෝ ශෝකාදිය වන බැවින් ද ජාතිය ශෝකාදියට ද ප්‍රත්‍යය වේ ය යි දත යුතු.
මේ ජාතිය උපනිශ්‍රය ප්‍රත්‍යයයෙන් (ලෙශයෙන්) එකම ප්‍රකාරයකින් ම ප්‍රත්‍යය වේ.
විශෙෂ:- මේ උපනිශ්‍රය ප්‍රත්‍යය, ප්‍රත්‍යයන් ගේ මහා ප්‍රදේශය යි.
මේ ‘භව ප්‍රත්‍යයයෙන් ජාති වේ’ යන්නෙහි විස්තර කථාවයි.
-
ම:නි: උපරිපණ්ණාසක 214 ↑