7. වේදනා ප්‍ර‍ත්‍යයයෙන් තෘෂ්ණාව

7. ‘වේදනා ප්‍ර‍ත්‍යයයෙන් තෘෂ්ණාව වේ’ යන්නෙහි:-

“රූ තණ[1] ඈ බෙයින් - මෙහි සතණෙක් දැක්වී

එකෙකී පැවැති අයුරින් - තුන් - තුන් බෙයින් දතුයේ”

විස්තර:- ‘සිටු පුතු ය, බමුණු පුතුය යි, පියා නමින් පුතා හඳුන්වන්නාක් මෙන් රූපතෘෂ්ණායැ-ශබ්ද තෘෂ්ණායැ-ගන්‍ධ තෘෂ්ණායැ - රසතෘෂ්ණායැ-ස්පර්‍ශතෘෂ්ණායැ-ධර්‍මතෘෂ්ණායැ යි අරමුණේ නමින් විභඞ්ගයෙහි ෂඩ්විධ තෘෂ්ණාවෙක් දක්වන ලදී. නැවැතැ ඒ තෘෂ්ණා අතුරින් එක එක (පැවැති ආකාරයෙන්) කාමාස්වාද වශයෙන් පවත්නා ආකාරයෙන් කාමතෘෂ්ණා යැ. ශාස්වත දෘෂ්ටි වශයෙන් පවත්නා ආකාරයෙන් භවතෘෂ්ණා යැ. උච්ඡෙද දෘෂ්ටි වශයෙන් පවත්නා ආකාරයෙන් විභවතෘෂ්ණායැ යි ත්‍රිවිධ වේ.

විශේෂ:- ඇසට අරමුණු වූ රූපාලම්බනය කාමාස්වාද වශයෙන් ආස්වාදනය කරමින් පවත්නා කල එය කාම තෘෂ්ණාව යැ. ඒ ආලම්බනයම සදාකාලික ය, ස්ථිරය යි ශාස්වතදෘෂ්ටි සහගත වූයේ භවතෘෂ්ණාව යැ. එයම උච්ඡේදයට - විනාශයට පැමිණේය යි මෙ සේ දෘෂ්ටි සහගත වූයේ විභව තෘෂ්ණාවයි.

මෙහි කාමතෘෂ්ණාව ලෝභ මූලික සිත් අටෙහි ද, භව - විභව තෘෂ්ණා එහි ම දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත සතරෙහි ද යෙදේ.

ශබ්ද තෘෂ්ණාදියෙහි දු මෙ සේ මැයි. මෙ සේ තෘෂ්ණාව අටළොස් (18) වැදෑරුම් වේ.

එය නැවැතැ අධ්‍යාත්ම රූපාදියෙහි අටළොස යැ. වාහ්‍ය රූපාදියෙහි අටළොසයැ යි සතිස් (36) වැදෑරුම් වේ. මෙසේ අතීත සතිස යැ, වර්‍තමාන සතිස යැ, අනාගත සතිසයැ යි අටෝරාසියක් (108) ක් තෘෂ්ණා වේ. එය සැකෙවින් රූපාදි ආලම්බන වශයෙන් සයෙක, කාමතෘෂ්ණාදි වශයෙන් තුනෙකැයි දතයුතු.

මේ ලෙව්හි සත්ත්‍වයෝ පුත්‍ර‍ ප්‍රේමයෙන් කිරීමට සත්කාර කරන්නා සේ රූපාදී අරමුණු නිසා උපදනා සැප වේදනාවෙහි ආස්වාදයෙන් රූපාදි අරමුණු ලබා දෙන චිත්‍ර‍කාරාදීනට ද, ගී කියන්නට ද, සුවඳ දෙන්නට ද, අරක්කැමියනට ද, රෙදිවියන්නට ද, රසායනාදි බෙහෙත් දෙන වෙදුනට ද, මහත් සත්කාර කෙරෙත්.

එහෙයින් මේ සියලු අටෝරාසියක් තෘෂ්ණාව වේදනාව නිසා වේය යි දතයුතු.

“විවා සුව විඳුම ම - මෙහි අදහස් කරනුයේ

එක අයුරෙකින් ඒ මේ - එහෙයින් තණට පස වේ.”

වේදනාව තෘෂ්ණාවට එකම උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(ආලම්බන ප්‍ර‍ත්‍යය තෙමේ උත්පාද්‍යමානයාහට ආලම්බන මාත්‍ර‍ය ම වෙයි. උපනිශ්‍ර‍යයෙහි ආලම්බනොපනිශ්‍ර‍ය සංගෘහීත ය, එහෙයින් මෙහි එක් අයුරින් වේය යි කීහු, යනු සත්‍යයි.)

“දුක්පත් සුව පතා - සුවපත් වැඩියක් පතා

මැදහත් බව් සත් බැවින් - සුවමැයැ යි ඒ පැවැසේ

“එයින් තුන් විඳුම මැ - තණට පස වනුයෙන් මෙහි

වෙයින් පසයෙන් තණයැ යි - ලෝ හිමියා වදහළේ”

“වෙයින් පස වතුදු - අනුසය කෙළෙස් නැතහොත්

තණ නො පවතිනුයෙන් ඒ - රහත්නට නොම වනුයේ”

දුක් ඇත්තෝ සුව පත යි, සුව ඇත්තෝ වැඩියක් පතයි, උපේක්‍ෂාව ශාන්ත හෙයින් සැපය යි කියන ලදී. එහෙයින් මේ සුඛ - දුඃඛ - උපේක්‍ෂා යන ත්‍රිවිධ වේදනාව ම තෘෂ්ණාවට ප්‍ර‍ත්‍යය වන හෙයින් වේදනා ප්‍ර‍ත්‍යය යෙන් තෘෂ්ණා වේය යි, බුදුහු වදාළහ. වේදනා ප්‍ර‍ත්‍යයවතුදු රහත්නට අනුසය නැති හෙයින් වේදනාව තෘෂ්ණාවට ප්‍ර‍ත්‍යය නො වේ. අනුසය නැතිවැ නො පවත්නා හෙයිනි.

වෙදනා ප්‍ර‍ත්‍යයෙන් තෘෂ්ණාව වේ යන්නෙහි විස්තර කථාවයි.

  1. තෘෂ්ණා