5. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ වේ යන මෙහි :-
‘සක් පැහැසුම්* ඈ - සැකෙවින් ස පහසෙක් වේ.
සකර පසින් විනැණ සේ - විතරින් එ වේ දෙතිසෙක්”
ඒ මෙ සේ යි:- සැකෙවින් ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ වේ යන මෙහි චක්ඛුසම්ඵස්සය, සොතසම්ඵස්සය, ඝාණසමථස්සය, ජිව්හාසම්ඵස්සය, කායසම්ඵස්සය, මනොසම්ඵස්සය යි මෙ සේ ඵස්සයෝ ස දෙනෙක් ම වෙති.
විස්තර වශයෙන් චක්ඛුසම්ඵස්සාදී කුසල විපාක පස ච, අකුසල විපාක පසදැ යි දසයෙක් වේ. සෙසු දෙ විසි (22) ලෞකික විපාක සම්ප්‍රයුක්ත වූ දෙවිසි ඵස්සයදැ යි මෙසේ සඞ්ඛාර ප්‍රත්‍යයයෙන් කී විඥානය මෙන් දෙතිසෙක් (32) වේ.
මෙසේ දෙතිස් ඵස්සයට ප්‍රත්‍යය වූ මේ ෂඩායතන අතුරින්
“මනස හා අද ඇති* - අයතුන් සදෙන සක් ඈ,
රිසියෙන් බැහැරි සය හා - අද ඇති සය නැණැතියෝ”
(1) ඒ ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේය” යන මේ පදයෙහි ඇතැම් (මහා විහාර වැසි) ආචාර්‍ය්‍ය කෙනෙක්
“මේ උපාසින්න කථා ප්‍රවෘත්තියැ යි (තෘෂ්ණා - දෘෂ්ටියෙන් යුක්ත කර්‍මයෙන් තමා ගේ ඵලභාවයෙන් ගන්නා ලද වෘත්ත දුඃඛය පිළිබඳ කථාවයැ යි) මෙහි ස්වසන්තතියෙහි ඇතුළත් වූ ම ප්‍රත්‍යය ද, ප්‍රත්‍යය සමුත්පන්නය ද ගනිති.
විස්තර:- “සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං යී” කී පරිදි කර්‍ම යෙන් නිපන් විඤ්ඤාණයැ - නාම - රූපයැ - සළායතනයැ - ඵස්සයැ - වෙදනායැ යන ප්‍රත්‍යය ද, ප්‍රත්‍යයසමුත්පන්නය ද එකම සන්තතියෙහි ඇතුළත් විපාකය යි කැමති වෙති. එසේවන්නා “ඡඨා යතන පච්චයා ඵස්සො”[1] යී අභිධර්‍ම භාජනියෙහි පෙළ අනුවැ අරූප භවයෙහි ඡඨායතනය ද, පඤ්චවොකාර භවයෙහි ෂඩායතනය ද එක්කොට “ඡඨායතනංච සළායතනංච = සළායතනං” යී එකදේශයකින් ස්වරූප ඒකශේෂ කොට සවැනි වූ මනායතනය සමග අධ්‍යාත්ම චක්‍ෂුරාදි ආයතන ෂඩායතනය යි කැමති වෙති, එහෙයින් ම පෙර කී සේ “ඡඨායතනං ච+සළායතනං ච=සළායතනං” යී ව්‍යවහාර වේ. ඒ අනුව “කර්‍මයෙන් නො නිපන් (අනුපාදින්නක) රූපාදී බාහිරායතන සය ද, ඵස්සයට අරමුණු වේය යි ද, ඒවා චක්ඛාදිය මෙන් ස්වසන්තතියෙහි ඇතුළත් කර්‍මක්ලේශ නිමිත්තෙන් පැවැත්මෙන් ඵස්සයට ප්‍රත්‍යය නො වේයැ”යි ද මේ ආචාර්‍ය්‍ය වාදයෙහි නො ගැනේ.
(2) දෙවන ආචාර්ය වාදයෙහි:- “ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයම ස්වසන්තියෙහි ඇතුළත් වේය යි ද, ප්‍රත්‍යය ධර්‍මය භින්නසන්තතියෙහි වේය යි ද කියා, යම් යම් ආයතනයෙක් ඵස්සයට ප්‍රත්‍යය වේ නම් ඒ සියලු ආයතනයම ගෙන බාහිර වූ රූපාදී ආයතන ද ඇතුළත් කොට ඒ මනායතනය ද, බාහිර වූ රූපායතනාදිය සමග ඒ අධ්‍යාත්මවූ ෂඩායතනයම සළායතනයැ යි කැමති වෙති. හෙද “ඡඨායතනංච+සළායතනංච+සළායතනංච=සළායතනං” යී සවන මනායතනය ද, අධ්‍යාත්මායාතන සය ද, බාහිරායතන සයදැ යි මේ ඡඨායතන+සළායතන+සළායතන ශබ්දයන් එකශෙෂ කළ කල සළායතනයැ යි කියාම ව්‍යවහාර යට සේ යැයි කැමති වෙති.
(මෙහි අජ්ඣත්තායතන ෂට්කය ස්වසන්තති පර්‍ය්‍යපන්න කර්‍මයෙන් නිර්‍වෘත්තවූයේ එබඳු සංග්‍රහයකට ප්‍රත්‍යය වෙයි. රූපාදීහු වනාහි පිටත්හි අනුපාදින්නවූවාහු ස්පර්‍ශයට ආලම්බන වෙත් නමුදු චක්‍ෂුරාදීන් මෙන් ස්වන්තති පර්‍ය්‍යපන්ත කර්‍මක්ලේශ නිමිත්තයෙන් ප්‍රවෘත්තවැ ස්පර්‍ශයට ප්‍රත්‍යය නො වෙත් නුයි ප්‍රථමාචාර්‍ය්‍යවාදයෙහි අගෘහීතයහ. ද්‍විතීයාචාර්‍ය්‍යවාදයෙහි වනාහි යම් යම් ප්‍රකාරයකිනුදු ප්‍රත්‍යය භාවයක් ඇති කල්හි දුරුකරන්ට නො පිළිවන්හු යි ගෘහීතයයි දතයුතු යනු සන්‍යයි.)
ප්‍රශ්නයෙකි:- සියලු ආයතනයන් ගෙන් එක් ස්පර්‍ශයෙක් හෝ එක ආයතනයකින් සියලු ස්පර්‍ශ හෝ නොවේ. එසේ වන්නා “සළායතන පච්චයා ඵස්සො” යී එකවචනය කෙසේ යෙදේ ද
පිළිතුරු:- අනෙකායතනයෙන් එක් ඵස්සයක් හෝ එක ආයතනයෙකින් සියලු ඵස්ස හෝ නො වේ, නොයෙක් ආයතනයන් ගෙන් එක ඵස්සයෙක් වේ.
ඒ මෙ සේ යි:- චක්ඛු සම්ඵස්සය චක්ඛායතනයෙන් ද, රූපායතනයෙන් ද, චක්ඛු විඤ්ඤාණසඞ්ඛ්‍යාත මනායතනයෙන් ද, ඒ හා යෙදුණු සෙසු චෛතසික සඞ්ඛාත ධර්‍මායතනයෙන් ද උපදී. සෙසු සොත සම්ඵස්සාදිය ද එසේ සුදුසු සේම යෙදිය යුතු.
මෙසේ,
“එක ම පැහැසුම*[2] නන් - අයුරින් කෙරෙන් වේයැ යි,
පැහැසුම එක බසින් මෙහි - දෙසුවෝ එතතු දතුවෝ”
යි කීහ. “සළායතන පච්චයා ඵස්සො” යන මේ එකවචනයෙන් නිර්‍දෙශය නොයෙක් ආයතනයෙන් එක් ඵස්සයෙක් වේය යි දක්වනු පිණිස බුදුහු වදාළහ.
ආයතනයන් අතුරින් -
“එයින් සක් ඈ පස - සවිදි, මනස එක් විවා
නවවිදි වේ, බැහැරි සය - පස බැව්හි යුතු සේ වී”
විස්තර:- චක්ඛායතනාදී පස චක්ඛුසම්ඵස්සාදී පස්වැදෑරුම් ඵස්සයට, නිස්සය - පුරෙජාත - ඉන්ද්‍රිය - විප්පයුත්ත - අත්ථි - අවිගත වශයෙන් සය ආකාරයෙකින් ප්‍රත්‍යය වේ.
එකම විපාක මනායතනය කුසල විපාකාදී අනේක භෙද ඇතිවැ මනොසම්ඵස්සයට, සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විපාක - ආහාර - ඉන්‍ද්‍රිය - සම්පයුත්ත - අත්ථි - අවිගත වශයෙන් නවප්‍රකාරයෙකින් ප්‍රත්‍ය වේ.
තවද බාහිර ආයතනයන් අතුරින් රූපායතනය චක්ඛුසම්ඵස්සයට ආරම්මණ - පුරෙජාත - අත්ථි - අවිගත වශයෙන් සතර ආකාරයෙන් ද, ශබ්දායතනාදිය සොතසම්ඵස්සාදියට ද එසේ ම සතර - සතර ආකාරයෙන් ද ප්‍රත්‍යය වේ.
මනොසම්ඵස්සයට වනාහි ඒ රූපායතනාදිය ද, ධර්‍මායතනය ද, ප්‍රත්‍යුත්පන්න ධර්‍මායතනයට ඇතුළත් රූප ද, ආලම්බන ප්‍රත්‍යය මාත්‍රයෙන් ම ප්‍රත්‍යය වේ.
මේ ‘ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ’ යන්නෙහි විස්තර කථාවයි.