4. නාම - රූප ප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතන

4. නාම - රූප ප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතන වේ, මේ පදයෙහි

නම නම් කඳු [1]*තුනයැ - රූ නම් බු-වතෑදතු,+

එක් සෙස් කළ එනම්-රූ-පස වේ එවැනි ඔහුට මැ”

විස්තර:- ෂඩායතනයට ම ප්‍ර‍ත්‍යය වූ මේ නාම-රූප අතුරින් නාමය නම් වෙදනාදි ස්කන්‍ධ ත්‍ර‍ය යැ. රූප නම් ස්වසන්තතියෙහි ඇතුළත් සතර මහාභූත යැ. ෂඩ්වස්තු යැ. ජිවිතින්‍ද්‍රියයැයි මෙසේ නියමයෙන් යෙදෙන පරිද්දෙන් වේ.

මෙහි වේදනාදී ස්කන්‍ධත්‍ර‍ය යි කීයේ විඥානය - මෙයට පෙර නාම - රූපයනට ප්‍ර‍ත්‍යය භාවයෙන් කී හෙයිනි.

සතර මහාභූතයානට ද, ෂඩ්වස්තූනට ද, ජිවිතින්‍ද්‍රියට ද, සුදුසු සේ සහජාත - පුරෙජාත - ඉන්‍ද්‍රියාදි ප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතනයට ම එකාන්තයෙන් ප්‍ර‍ත්‍යය වන බව් සඳහා යි (ටීකාහි කී.)

(රූපායතනාදියට සහජාත නිශ්‍ර‍ය අනුපාලකාදි භාවය නැති හෙයින් මෙහි නො ගැනේ.)

විශේෂ:- ඒ නාම-රූප යනු නාම ද+රූප ද +නාම -රූප ද= නාම-රූප යැ යි, මෙසේ එකශෙෂ කරන ලදුයේ ෂෂ්ඨායතනද+ෂඩායතන ද=ෂඩායතනයැ යි මෙ සේ එක ශේෂ කරන ලද්දට ම ප්‍ර‍ත්‍යය වේය යි දතයුතු.

ඒ මෙ සේ යි:- අරූප භවයෙහි නාමය ෂෂ්ඨායතනය (මනායතනය) ට ප්‍ර‍ත්‍යය වේ. එහෙයින් ම විභඞ්ගයෙහි “නාම-පච්චයා ඡට්ඨායතනං[2] යි වදාළහ.

ප්‍ර‍ශ්නයෙකි:- නාම-රූපය ෂඩායතනයට ප්‍ර‍ත්‍යය වේය යි කෙසේ දත හැකි ද

පිළිතුර:- නාම-රූප ඇති කල්හි ම ෂඩායතන වන හෙයිනි.

ඒ එසේ මැයි:- ඒ ඒ නාම ද, රූප ද ඇති කල ඒ ඒ ආයතනය වේ. නැති කල නො වේ. යනු ව්‍යතිරෙකයෙන් කියන ලදී. ඒ ෂඩායතනයන් ගේ නාම-රූප ඇති කල වන සුලු බව ප්‍ර‍ත්‍යය නයෙහි ම මතු ප්‍ර‍කාශ වේ.

එහෙයින් :- “පිළිසඳැ පවත්හි ද -යමක් යමකට පස වෙද,

යම් ලෙසකිනුදු පස වෙද - පඬිහු එ මෙ සේ දතයුතු” මේ කියනුයේ එහ විස්තරය යි.

“නම්මැ අරූ බවේ-පිළිසඳැ පැවැතැ නමට මැ,

සත් අයුරින්, ස අයුරින් පස වෙ යටත් පිරිසෙයින්”

ඒ මෙ සේ යි:- ප්‍ර‍වෘත්තියෙන් පළමුවැ ප්‍ර‍තිසන්ධියෙහි යටත් පිරිසෙයින් සහජාතා - අඤ්ඤමඤ්ඤ -නිස්සය - සම්පයුත්ත - විපාක -අර්ථ-අවිගත ප්‍ර‍ත්‍යයයෙන් සත් පරිද්දෙකින් නාමය මනායතනයට ප්‍ර‍ත්‍යය වේ.

තවද මේ නාම අතුරින් කිසිවක් හෙතු ප්‍ර‍ත්‍යයයෙන් ද, කිසිවක් ආහාර ප්‍ර‍ත්‍යයයෙන් ද, මෙ සේ අන් අයුරින් ද, ප්‍ර‍ත්‍යය වේ. ඒ වශයෙන් උත්කර්‍ෂ අපකර්‍ෂය ද දතයුතු.

සෙසු අවිපාක නාමය යටත් පිරිසෙයින් යට කී ප්‍ර‍ත්‍යයයන් අතුරින් විපාක ප්‍ර‍ත්‍යය හැර ෂට්ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

විශේෂ:- මේ අවිපාක නාම අතුරින් අලොභ - අදොස - අමොහ - සඞ්ඛ්‍යාත කිසි නාමයෙන් හේතු ප්‍ර‍ත්‍යයෙන් ද, ස්පර්‍ශ-වෙදනාදි කිසි නාමයෙක් ආහාර ප්‍ර‍ත්‍යයෙන් ද, යන මේ ආකාරයෙන් අන් අයුරකිනුදු ප්‍ර‍ත්‍යය වේ. ඒ හේතු ප්‍ර‍ත්‍යාදීන් ගේ වශයෙන් උත්කර්‍ෂ - අපකර්‍ෂය දත යුතු.

විස්තර:- පෙර කී ප්‍ර‍ත්‍යය භාවයෙන් අමොහ්‍ය හෙතු ප්‍ර‍ත්‍යවැ අෂ්ටධා ප්‍ර‍ත්‍යය භාවය ද, ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය වීමෙන් නවධාප්‍ර‍ත්‍යය භාවය ද, මාර්‍ග ප්‍ර‍ත්‍යය වීමෙන් දසධා ප්‍ර‍ත්‍යය භාවයදැ යි උත්කර්‍ෂ ද, ඔවුන් එකිනෙක පිරිහීමෙන් අපකර්‍ෂය ද දතයුතු. මෙහි හේතු-ඉන්ද්‍රිය-මාර්‍ග ප්‍ර‍ත්‍යය වනුයේ අමෝහයම ය. සෙස්ස ද මෙසේ ද යෙදිය යුතු. මේ ප්‍ර‍තිසන්ධියෙහි ය. ප්‍ර‍වෘත්තියෙහි ද විපාකයා ගේ සහජාතාදී වශයෙන් ප්‍ර‍ත්‍යය භේදය පෙර කී සේ ම උත්කර්‍ෂ-අපකර්‍ෂයෙන් වේ. අවිපාකයෙහි ද හෙතු ප්‍ර‍ත්‍යය ආහාර ප්‍ර‍ත්‍යය වශයෙන් උත්කර්‍ෂ ද, ඔවුන්ගේ ම පිරිහීමෙන් අපකර්‍ෂ ද දතයුතු.

“සෙසු බවෙ පිළිස‍ඳෙහි - නම් මනසට පෙරැ සේ,

සත් අයුරින්, සෙස්නට - ස අයුරින් පස වනුයේ.”

අරූප භවයෙන් අන්‍ය පඤ්චවොකාර භවයෙහි ද ඒ විපාක නාමය හෘදය වස්තු සහායවැ මනායතනයට යට කී සේ අවකර්‍ෂ-යෙන් සත් පරිද්දෙකින් ද ප්‍ර‍ත්‍යය වේ. සෙසු චක්ඛායතනාදියට සතර මහාභූත සහායවැ සහජාත-නිස්සය-විපාක-විප්පයුත්ත-අත්ථි-අවිගත වශයෙන් සයාකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ. සෙස්ස පෙර කී සේ දතයුතු.

“පවත්හිඳු පෙරැ සේ - පස වෙ විවා-විවාහට

අවිවා-අවිවා වනට - ස පරිද්දෙකින් පස වේ”

විස්තර:- පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍තිසන්ධියෙහි මෙන් ප්‍ර‍වෘත්තියෙහි ද විපාක නාමය විපාක වූ මනායතනයට යටත් පිරිසෙයින් සත් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. එසේ ම, විපාක නාමය සෙසු චක්‍ෂුරාදි පඤ්චායතනයට - සතර මහාභූත සහායවැ සහජාත - නිස්සය - විපාක - විප්පයුත්ත - අත්ථි - අවිගත වශයෙන් සය ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

විශේෂ:- මේ විපාක නාමයන් අතුරින් ඇතැම් විපාකයෙක් හේතු ප්‍ර‍ත්‍යය වශයෙන් ද, ඇතැමෙක් ආහාර ආහාර ප්‍ර‍ත්‍යය වශයෙන් දැයි මෙසේ අන් අයුරිනුදු ප්‍ර‍ත්‍යය වේ. ඒ වශයෙන් උත්කර්‍ෂ - අපකර්‍ෂ භාවය දත යුතු යි.

“එහි මැ සෙසු සක් ඈ - පසට විවා පැවැත්මෙහි

පස වේ සිවු අයුරකින් - අවිවා නමුදු මෙ ලෙසේ”

ඒ පඤ්චවොකාර භවයෙහි ම ප්‍ර‍වෘත්තියෙහි චක්ඛායතනාදී පඤ්චායතනයට චක්‍ෂුඃප්‍ර‍සාදාදී වස්තූන් නිශ්‍ර‍ය කොට පැවැත්තා වූ ද විපාක නාමය පච්ඡාඡාත - විප්පයුත්ත - අත්ථි - අවිගත යන සතර ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ. මේ විපාක නාමය මෙන් අවිපාක නාමය ද එසේම ප්‍ර‍කාශ කරන ලදී. එහෙයින් කුශල-අකුශල-ක්‍රියා වශයෙන් ත්‍රිවිධ වූ ඒ නාමය ද, ඒ චක්ඛාදී පඤ්චවිධ ආයතනයට සතර ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේය යි දතයුතු.

මෙසේ රූපයට පළමු නාමය ම ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද යම් යම් ආයතනයකට ප්‍ර‍ත්‍යය වේ නම් ඒ ආකාරයෙන් දතයුතු.

“මෙ අරූ බවෙහි රූ-අයතුන්*[3] එකක්හට වත්

එකතින් පස නො වේ මැයි, - පස්කඳ ඇති බවෙහි නම්

රු‘වතුරින් වත් රූ - පිළිසිඳැ මනට සපරිදි,

සිව්බූ පසට සිව් විදි - සඳැ පවතහිදු පස වේ”

විස්තර:- රූප අතුරින් වස්තුරූපය ප්‍ර‍තිසන්ධියෙහි සවැනිවූ මනායතනයට සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විප්පයුත්ත - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යයයෙන් සය ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

සතර මහභූත අවිශෙෂයෙන් ප්‍ර‍තිසන්‍ධි - ප්‍ර‍වෘත්ති දෙක්හි ම උපදනා ඒ ඒ ආයතනයන් ගේ වශයෙන් චක්ඛාවතනාදී ඒ ඒ ආයතනයට සහජාත - නිස්සය - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යයයෙන් සිවු ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ.

(ප්‍ර‍තිසන්‍ධියෙහි අණ්ඩජ - ජලාබුජයනට පඤ්චායතන අතුරින් කායායතනයට ද, සෙස්සවුනට යථායොගයෙන් සෙසු ආයතනයනට ද ප්‍ර‍ත්‍යය වේ.)

“මේ පසට තෙවිදි දිව් - පස වේ අහර පැවැතෙහි,

පස මැ මනසට සපිරිදි - වත් රූ එයට පස් විඳි”

විස්තර:- චක්ඛාදී පඤ්චප්‍ර‍සාදයනට ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද, රූප ජිවිතෙන්‍ද්‍රියය අත්ථි - අවිගත - ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය වශයෙන් තුන් පරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ. ආහාර රූපය ද, අත්ථි - අවිගත - ආහාර වශයෙන් තුන් පරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ.

ඒ වනාහි ආහාරය නිසා ජීවත්වන සත්ත්‍වයින් ගේ ශරීරයෙහි ඔජාව පැතිරී ගිය කල්හි ප්‍ර‍වෘත්තියෙහි මැයි, ප්‍ර‍තිසන්ධියෙහි ප්‍ර‍ත්‍යය නො වේ. චක්ඛායතනාදී ඒ පඤ්චායතන (සවැනි මනායතනට) චක්ඛු - සොත - ඝාණ - ජිව්හා - කාය විඤ්ඤාණ සඞ්ඛ්‍යාත මනායතනයට නිස්සය - පුරෙජාත - ඉන්‍ද්‍රි - විප්පයුත්ත - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යය වහයෙන් සයාකාරයකින් ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නො වේ.

විශේෂ:- පඤ්චවිඤ්ඤාණය හැර මනායතනයට වස්තු රූපය නිඃශ්‍ර‍ය පුරෙජාත - විප්‍ර‍යුක්ත - අසති - අවිගත වශයෙන් පස් ආකාරයකින් ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නො වේ. මෙ සේ රූපයම ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද, යම් යම් ආයතනයකට යම් යම් අයුරකින් ප්‍ර‍ත්‍යය මේ නම් එසේ දතයුතු.

“නම් රූ දෙක‘තුරින් - යමක් යමකට යම් සේ

පස වෙද හේ දෙතන්හි මැ - පඬිහු නිසි සේ දතයුතු”

ඒ මෙ සේ යි :- ප්‍ර‍තිසන්ධියෙහි පඤ්චවොකාර භවයෙහි වෙදනා -සඤ්ඤා - සඞ්ඛාර යන ස්කන්‍ධ තුන හා හෘදය වස්තු රූපයදැ යි කියන ලද නාම-රූපය, මනායතනයට සහජාත-අඤ්ඤමඤ්ඤ - නිස්සය -විපාක - සම්පයුත්ත - විප්පයුත්ත - අත්ථි - අවිගත ප්‍ර‍ත්‍යයාදීන් වේය යි දත යුතු. මේ මෙහි ලෙශ මාත්‍රයෙකි.

විශේෂ:- කී නයින්ම යොදා ගත හැකි හෙයින් මෙහි විස්තර නො දැක්වී.

මේ ‘නාම-රූප ප්‍ර‍ත්‍යයයෙන් ෂඩායතනය වේ’ යන්නෙහි විස්තර කථාවයි.

  1. *වෙදනා - සඤ්ඤා සඞ්ඛාර + භූත වස්තු ආදිය

  2. වි:ප: පච්චයාකාර විභඞ්ග 111

  3. *ආයතන