3. විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප

3. විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප වේ යන පදයෙහි -

1. නාම රූප විභාග සෙයින් ද

2. භවාදීන්හි පවත්නා ආකාරයෙන් ද

3. සංග්‍ර‍හ හෙයින් ද

4. ප්‍ර‍ත්‍යය නය හෙයින් ද, විනිශ්චය දත යුතු ය.

(1) නාමය ද + රූපය ද = නාම රූප නමි. අරමුණට අභිමුඛ වැ නැමෙන හෙයින් වේදනාදී ස්කන්ධත්‍ර‍ය නාම නමි.

සතර මහාභූත ද, සතර මහා භූත නිසා පවත්න සූවිසි (24) උපාදා රූප ද රූප නමි. මොවුන් ගේ විභාගය ස්කන්ධ නිර්දේශයෙහි[1] කියන ලදී. මෙසේ මෙහි පළමු කොට විභාග වශයෙන් නාම - රූපයන් ගේ විනිශ්චය දත යුතු යැ.

(2) භවාදීන්හි පැවැතීම් වශයෙන් මෙසේ යි.

නාමය එකම අසංඥ සත්ත්වාසය හැර සෙසු සියලු භව - යොනි - ගති - විඥානස්ථිති සත්වාවාසයන්හි වේ.

රූපය, කාම - රූප භව දෙක්හි ද, සිවු යෝනියෙහි ද, පස් ගතියෙහි ද, පළමු සතර විඥාන ස්ථිතියෙහි ද, අරූප සත්ත්වාවාසය හැර සෙසු සත්ත්වාවාස පසෙහි ද පවතී. මෙසේ පවත්නේ ද මේ නාම - රූප දෙක්හි අභාවක ගබහ සෙය්‍යකයනට ද, අණ්ඩජයනටද, ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි වස්තු - කාය - දශක වශයෙන් රූපයන් ගෙන් කලාප සන්තති දෙකක් හා අරූප ස්කන්‍ධ තුනක් ද පහළ වෙති. මෙසේ රූප ධර්ම විස්සක් (20) හා අරූප ධර්ම තුනක් දැයි තෙවිසි (23) ධර්ම කෙනෙක් විඥාන ප්‍ර‍ත්‍යයයෙන් වන නාම - රූපයෝ යැයි දත යුතු.

විශේෂ - අගභිත ගහණයෙන් එක රූප කලාපයකින් දෙක්හිම පවත්නා (ශුද්ධාෂ්ටකය හා ජිවිතින්‍ද්‍රිය යන) නවය හැර සෙසු රූප එකොළොස ය, නාම ධර්ම තුන දැයි තුදුස් (14) ධර්ම කෙනෙක් වෙති. සභාවකයනට භාව දසකය ද බහා තෙතිසක් (33) ද, අගහිත ගහණයෙන් (සමාන රූප අටළොසක්) (18) හැර) පසළොසක් (15) ද වේ.

ඕපපාතිකයන් අතුරෙන් බ්‍ර‍හ්ම කායිකයින් ගේ ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි චක්ඛු - සොත- වස්තු දශකයන් ගේ ද, ජීවිත නවකයා ගේ ද වශයෙන් රූපයෙහි සන්තති ශීර්ෂ සතරක් ද, අරූපස්කන්‍ධ තුනක් ද, පහළ වේ.

එහෙයින් විස්තර වශයෙන් ඔවුන්ගේ රූප-රූප වශයෙන් එකුන් සාලිස් (39) රූප හා අරූප ස්කන්ධ තුනදැයි දෙසාලිස් (42) ධර්ම කෙනෙක් විඥාන ප්‍ර‍ත්‍යයෙන් වන නාම - රූපයෝ යැයි දත යුතු. අගහිත ගහණයෙන් රූප කලාප සත්විස්සක් (27) හැර සතළොස් (17) ධර්ම කෙනෙක් වෙති.

ප්‍ර‍තිසන්ධි ක්ෂණයෙහි විකාර රූප නැති, එහෙත් ලක්ෂණ රූප ඇත ද පරමාර්ථ හෙයින් ඔවුන් නො පිළිපන් හෙයින් ඔවුනුදු වර්ජනය කරනු සඳහා රූප - රූපයැ යි කීහ. ඵස්සාදිය සංස්කාර ස්කන්ධ හෙයින් එකක් සේ ගැනේ.

කාම භවයෙහි භාව සහිතවැ පරිපූර්ණ ආයතන ඇති වැ උපදනා සෙසු ඕපපාතිකයනට හෝ සංසේදජයනට හෝ ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි රූප කලාප සන්තති මූල සතරක් ද, අරූපස්කන්‍ධ තුනක් ද පහළ වේ.

විස්තර වශයෙන් රූප - රූපයෙන් චක්ඛු - සෝත - ඝාණ - ජිව්හා - කාය - භාව - වස්තු දශක වශයෙන් සත්තෑවක් (70) නාම - රූප ධර්ම විඥාන ප්‍ර‍ත්‍යයයෙන් වේ යයි දත යුතු. අග හිත ගහණයෙන් රූප සන්තති ශීර්ෂ සයකින් සුපනස් (54) ධර්මයන් හැර එකුන් විස්සක් (19) උත්කර්ෂ වශයෙන් ද, අපකර්ෂ වශයෙන් ඒ ඒ රූප කලාප විකල වූවන්ට ඒවායේ වශයෙන් පිරිහෙලමින් සංක්‍සේපයෙන් ද විස්තරයෙන් ද ප්‍ර‍තිසන්ධියෙහි විඥානප්‍ර‍ත්‍යයෙන් නාම - රූප සඞ්ඛ්‍යා දත යුතු.

විශේෂ - අරූපීනට අරූප ස්කන්ධ තුනම ද, අසංඥ සත්ත්වයනට රූපයෙන් ජිවිතින්‍ද්‍රිය නවකය පමණක් ද වේ.

මේ ප්‍ර‍තිසන්ධියෙහි ක්‍ර‍මය යැ.

ප්‍ර‍වෘත්තියෙහි (ප්‍ර‍තිසන්ධියෙහි පටන් චුතිය අතර කාලයෙහි) රූප පවත්නා සියලු තන්හි ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ ස්ථිතික්‍ෂණයෙහි ප්‍ර‍තිසන්ධි සිත හා පැවති තේජෝ ධාතුවෙන් (සෘතුවෙන්) උතුසමුට්ඨාන ශුද්ධාෂ්ටකය පහළ වේ.

විශේෂ - ප්‍ර‍තිසන්ධි සිත රූප නූපදවයි. ප්‍ර‍පාතයෙකැ වැටුණහු මෙරමාට පිහිට වීමට අපොහොසත් වන්නාක් මෙන් හෘදය වස්තුව දුර්වල හෙයින් රූප ඉපදවීමට එය පොහොසත් නොවේ. ප්‍ර‍තිසන්ධි සිතෙන් මත්තෙහි ප්‍ර‍ථම භවාඞ්ගයේ පටන් ඒ චිත්ත සමුට්ඨාන ශුද්ධාෂ්ටකය ද, ශබ්දය උපදනා කල්හි ප්‍ර‍තිසන්ධියෙන් මත්තෙහි පැවති සෘතුවෙන් ද, චිත්තයෙන් ද, ශබ්ද නවකය ද උපදී.

කබලීකාරාහාරය නිසා ජීවත් වන ගබ්භසෙය්‍යක සත්ත්වයන්ගේ ශරීරයෙහි

“මව බුදින බත්-පැන්-ඈ යම් බොජුනෙක් වෙද

මව් කුස හොත් එ බිලිඳා - එහිදී ඉන් යැපෙනුයේ” යි

කී හෙයින් මව අනුභව කළ ආහාරයෙන් අනුගත ශරීරයෙහි ආහාර සමුට්ඨාන ශුද්ධාෂ්ටකය උපදී.

ඕපපාතිකියනට සියල්ලට පළමු තමා මුව වැකුණු කෙළ ගලන කල ආහාර සමුඨාන ශුද්ධාෂ්ටකය උපදී.

මෙසේ මේ ආහාර සමුඨාන ශුද්ධාෂ්ටකය (සෘතු-චිත්ත-සමුඨාන අෂ්ටක දෙක ය) උත්කර්‍ෂ හෙයින් සෘතු-චිත්ත සමුඨාන අෂ්ටක දෙක ය) උත්කර්‍ෂ හෙයින් සෘතු-චිත්ත සමුට්ඨාන ශබ්ද නවක දෙකදැ යි සවිසි (26) රූපයෙක් වේ.

පෙර කර්‍ම සමුට්ඨාන රූප කලාප දෙකෙහි සිට කලාප සත දක්වා එක-එක චිත්තයාගේ තුන් - තුන් ලක්‍ෂණයෙහි උපදනා කියන ලද සැත්තෑ (70) කොටස හා මෙහි කී චිත්ත සමුට්ඨාන, උතු සමුට්ඨාන දෙ කොටසෙහි වූ සවිසි (26) කොටස දැයි සයානූ (96) වැදෑරුම් රූපය ද, එහි වූ අරූපස්කන්ධ තුන දැයි සංක්‍ෂෙපයෙන් නවානූ (99) ධර්‍ම ද, ශබ්දය අනියත හෙයින් ඒ දෙ කොටස හැර සත්අනූ (97) ධර්‍ම ද, යෙදෙන යෙදෙන පරිද්දෙන් සියලු සත්ත්වයන් ගේ විඥාන ප්‍ර‍ත්‍යයෙන් වන නාම-රූප යයි දත යුතු.

නිදන්නාවූ ද, ප්‍ර‍මාදවන්නාවූ ද, කන්නාවූද, බොන්නාවූ ද, ඒ සත්නට දහවල් ද රෑ ද මේ සත් අනූ (97) නාම-රූප ධර්‍මයේ විඥාන ප්‍ර‍ත්‍යයයෙන් පවතිත්.

ඔවුනට ඒ විඥානය ප්‍ර‍ත්‍යය වන බව මත්තෙහි වර්‍ණනා කරමු.

මෙකී ඒ කර්‍මජ රූප සියලු භව-යොනි-ගති-විඤ්ඤාණඨිති-සත්තාවාසයන්හි සියලු රූපයනට පළමු පිහිටන්නේ නමුදු තිසමුඨානික රූපයෙන් උවතඹ නො ලදහොත් බොහෝ කලක් පැවතීමට පොහොසත් නො වේ. ඒ තිසමුඨානික රූප ද කර්‍මජ රූපයෙන් උවතඹ නොලැබ පැවැත්මට නො හැකි වේ.

ඒකාන්තයෙන් වාතයෙන් පහරන ලදුවත් සිවු දිගට විහිදුවා අග එක් තැන් කොට තැබූ බට දඬු මිටි සතරක් සේ ද, රළ වේගයෙන් පහල මහ මුහුදෙහි එක් තැනෙක පිහිටි බුන් නැවක් සේ ද ඔවුනොවුන් පිහිට ලැබම මේ කර්‍මාදි චතු සමුඨානික රූප කලාපයෝ නො වැටී පිහිටා වර්‍ෂයක් හෝ දෙවර්‍ෂයක් හෝ -පෙ ශත (100) වර්‍ෂයක් හෝ ඒ සත්ත්‍වයින් ගේ ආයුඃක්‍ෂය හෝ පුණ්‍යක්‍ෂය හෝ වනතාක් පවතිත්.

මෙ සේ භවාදීන්හි පැවැතීම් වශයෙන් ද විනිශ්චය දතයුතු.

(3) සංග්‍ර‍හ වශයෙන්:- අරූප භවයෙහි ප්‍ර‍වෘත්ති-ප්‍ර‍තිසන්ධි දෙක්හි ද, පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍වෘත්තියෙහි ද (දෙපස් (10) විඤ්ඤාණ හා රහතුන්ගේ චුති චිත්තය ද, රූප නො උපදවන හෙයින්) සෙසු විඥාන ප්‍ර‍ත්‍යයයෙන් සම්ප්‍ර‍යුක්ත නාමය වේ.

අසංඥ සත්ත්‍වයෙහි ප්‍ර‍තිසන්ධි - ප්‍ර‍වෘත්ති දෙක්හි ම කර්‍ම-විඥාන ප්‍ර‍ත්‍යයෙන් රූපය ම වේ. පඤ්චවොකාර භවයෙහිදු ප්‍ර‍වෘත්තියෙහි විඥාන ප්‍ර‍ත්‍යයෙන් රූපයම වේ. පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍වෘත්ති ප්‍ර‍තිසන්ධි දෙක්හි ම විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප දෙකම ද වේ. ඒ සියල්ල නාමය ද, රූපය ද, නාම-රූප දෙක ද නාම රූපයැ යි මෙසේ එක දේශයකින් ස්වරූප එකශෙෂ කොට විඥාන ප්‍ර‍ත්‍යයයෙන් නාම-රූප වේය යි දතයුතු.

ප්‍ර‍ශ්නයෙකි: අසංඥ සත්ත්‍වයෙහි විඥානයක් නැති හෙයින් ‘විඥාන ප්‍ර‍ත්‍යයයෙන් රූප වේය’ යනු අයුක්ත වේ ද.

පිළිතුර:- ඒ අයුතු නො වේ.

කවර හෙයින් ද

“නම්-රූ දෙකට හේ*[2]-විනැණෙක් වෙද ඒ මෙහි

විවා-අවිවා දෙ බෙයින් - කිවෙන් මේ මෙහි යුතු මැයි”

“නාම-රූපයට හේතු වූ මේ විඥානය විපාක විඥානය, අවිපාක විඥානයැ යි දෙ පරිද්දෙකින් දන්නා ලදී. එහෙත් මේ අසංඥ සත්ත්‍වයෙහි කර්‍ම සමුත්‍ථාන හෙයින් පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍වෘත්ත වූ අභිසංස්කාර විඥාන ප්‍ර‍ත්‍යයයෙන් රූපය වේ. එසේම පඤ්චවොකාරයෙහි ප්‍ර‍වෘත්තියෙහි කුශල - අකුශල - ක්‍රියා චිත්තක්‍ෂණයෙහි ද කර්‍ම සමුත්‍ථාන රූපය වේය, යනු යුක්ත මැයි.

මෙසේ සංග්‍ර‍හ වශයෙන් විනිශ්චය දතයුතු.

(4) පත්‍යය නය වශයෙන්

(i) විපාක විඥානය නාමයට නව ආකාරයකින්පත්‍යය වේ.

(ii) ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි වස්තුරූපයට නව ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

(iii) සෙසු රූපයට අට ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

(iv) අභිසංස්කාර විඥානය කර්‍මජ රූපයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

(v) සෙසු භවාඞ්ගයෙහි පටන් සියලු විඥානය ඒ ඒ නාම රූපයට සුදුසු සුදුසු පරිදි පත්‍යය වේ.

විස්තර:- (i) ප්‍ර‍තිසන්ධියෙහි හෝ ප්‍ර‍වෘත්තියෙහි හෝ විපාක සඞ්ඛ්‍යාත යම් නාමයක් රූප මිශ්‍ර වූ හෝ මිශ්‍ර නොවූ හෝ විපාක නාමයට ප්‍ර‍තිසන්ධිකවූ හේ තදන්‍යවූ හෝ විපාක විඤ්ඤාණය සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - සම්පයුත්ත - විපාක - ආහාර - ඉන්ද්‍රිය - අර්ථ - අවිගත වශයෙන් නව ආකාරයෙකින් පත්‍යය වේ.

(ii) වස්තු රූපයට ප්‍ර‍තිසන්ධියෙහි සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - විපාක - ආහාර - ඉන්ද්‍රිය - විප්පයුත්ත - අර්ථ - අවිගත වශයෙන් නව ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ.

(iii) වස්තු රූපය හැර සෙසු රූපයට මේ නවවිධ පත්‍යයයන් අතුරින් අඤ්ඤමඤ්ඤ ප්‍ර‍ත්‍යය හැර සෙසු අට ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(iv) අහිසංස්කාර විඤ්ඤාණය අසංඥ සත්ත්‍ව රූපයට හෝ පඤ්චවොකාර භවයෙහි කර්‍ම රූපයට හෝ සුත්‍රාන්තික පර්‍ය්‍යායයෙන් උපනිඃශ්‍ර‍ය වශයෙන් එක ආකාරයකින්ම ප්‍ර‍ත්‍යය වේ.

(v) අවශේෂවූ ප්‍ර‍ථම භවාඞ්ගයෙහි පටන් සියලු විඥානය ඒ ඒ නාම - රූපයට සුදුසු පරිද්දෙන් ප්‍ර‍ත්‍යය වේ යයි දතයුතු.

විශේෂ:- විස්තර වශයෙන් ඒ විඥානයා ගේ ප්‍ර‍ත්‍යය නය දක්වන කල සියලුම පඨාන කථාව විස්තර කළ යුතු වන බැවින් එය ආරම්භ නො කරමු.

ප්‍ර‍ශ්නයෙකි:- ‘ඒ විඤ්ඤාණ පච්චයා නාම රූපං’ යන වචනයෙහි ප්‍ර‍තිසන්ධියෙහි වන නාම-රූප විඥාන ප්‍ර‍ත්‍යයයෙන් වේය යි කෙසේ දන්නේ ද

පිළිතුර:- අභිධර්‍ම පාළි නය විසිනුදු යුක්ති විසිනුදු දතයුතු යි.

ඒ මෙසේ යි:- අභිධර්‍ම පෙළෙහි “චිත්තානු පරිවත්ති නො ධම්මා[3] ‘චිත්තය අනුවැ පවත්නා ධර්‍මය’ යනාදි බහු ප්‍ර‍කාරයෙන් වෙදනාදීන්ට විඥානය ප්‍ර‍ත්‍යය වේය යි සිද්ධ යැ.

යුක්ති වශයෙන් වනාහි මෙහි දක්නාලද චිත්තජ රූපයෙන් නො දක්නාලද ප්‍ර‍තිසන්ධි කර්‍මජරූපයට විඥානය ප්‍ර‍ත්‍යය වේය යි සිද්ධ ය.

ඒ එසේ මැයි:- සිත පහන් කල ද නො පහන් කල ද එයට අනුරූප වූ රූප උපදනාහු දක්නා ලැබෙති. දක්නා ලද හෙයින් නො දක්නා ලද්දාවූ ද පතිසන්ධි රූපයට විඥානය ප්‍ර‍ත්‍යය වේය යි දතයුතුයි.

යුක්ති හෙයින් සාධකයෙකින් එය ස්ථිර කෙරේ. චිත්ත සමුඨාන රූපයට විඥානය ප්‍ර‍ත්‍යය වන්නාක් මෙන් කර්‍ම සමුත්‍ථාන රූපයට විඥානයා ගේ ප්‍ර‍ත්‍යය භාවය පඨානයෙහි මෙසේ ආයේ යැ.

අඛ්‍යාකතො ධම්මො - පෙ -තයො ඛන්‍ධා[4] යනාදි විසිනි. (විස්තර බෙහෙවැ.)

මෙ සේ ප්‍ර‍ත්‍යය නය වශයෙනුදු මෙහි විනිශ්චය දතයුතු.

මේ විඥාන ප්‍ර‍ත්‍යයයෙන් නාම රූප - වේ” යනුනෙහි විස්තර කථාවයි.

  1. සි:වි: 14 නිර්දේශය

  2. හෙතු විපාක අවිපාක

  3. ධ:ස: නිකෙඛපඛණ්ඩ 193

  4. ප:ප: පඤ්හවාර 98