2. සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං,

මෙහි විඤ්ඤාණය චක්ඛුවිඤ්ඤාණාදී වශයෙන් ෂඩ් විධ වේ.

එහි චක්ඛුවිඤ්ඤාණය, කුසල විපාකය, අකුසල විපාක යයි ද්විවිධ යැ.

සෝතඝාන-ජිව්හා-කාය විඤ්ඤාණ ද එසේම කුසල-අකුසල විපාක වශයෙන් බෙදේ.

මනෝ විඤ්ඤාණය කුසල-අකුසල විපාක මනෝධාතු (සම්පටිච්ඡන) දෙක යැ.

අහේතුක මනෝවිඤ්ඤාණ ධාතු (සන්තීරණ) තුන යැ.

සහේතුක කාමාවචර විපාක සිත් අට යැ.

රූපාවචර විපාක සිත් පස යැ.

අරූපාවචර විපාක සිත් සතර දැයි දෙවිසි (22) වැදෑරුම් වේ.

මෙසේ මේ ෂඩ් විඥානයෙන් දෙතිස් (32) සියලු ලෞකික විපාක විඥාන සංග්‍ර‍හ වේ.

විශේෂ:- ලෝකෝත්තර විපාක වට්ටකථාවට නො යෙදිය හෙයින් නො ගැනේ.

ප්‍ර‍ශ්නයෙකි:- මෙකී තාක් විපාක විඥානය සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් වේය යි කෙසේ දත හැකි ද

පිළිතුර:- කර්‍ම රැස් කිරීමක් නැති වැ විපාක නො වන හෙයිනි.

ඒ මෙසේ යි:- මේ දෙවිසි විඥානයම විපාක මැයි. හෙද කර්‍ම රැස් කිරීමක් නැති කල නො උපදනේ යි.

විශේෂ:- කර්‍ම රැස් කිරීමක් නැතිවැ විපාක උපදනේ නම් සියල්ලන්ට සියලු විපාක ඉපදුන මනා ය. බ්‍ර‍හ්මාත්මයෙහි සිටිය වුනට ඝ්‍රාණ විඥානයාදිය ද, කාමාවචර විපාකාදියදැයි මෙසේ ඒ ඒ විපාකයට අනවකාශස්ථානයෙහි සිටියවුනට ද, සියලු විපාක ලැබීම් වශයෙනි. එ සේ සියල්ලනට සියලු විපාක නූ පදනා හෙයින් සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් මේ විඥාන වේ යයි දතයුතු.

එසේ වන්නා කවර සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් කවර විඥාන වේද යත්?

කාමාවචර පුණ්‍යාභිසංස්කාර ප්‍ර‍ත්‍යයෙන් කුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදි පස ද, එක් මනෝධාතුවක් (කුසල විපාක සම්පටිච්ඡනය) ද, මනෝවිඥාන ධාතු (කුසල විපාක සන්තීරණ) දෙක ද, කාමාවචර මහා විපාක අට දැයි සොළොස් (16) විපාක වේ.

එයින් වදාළහ. “කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛු විඤ්ඤාණං උප්පන්නං හොති -පෙ- සොත-ඝාන-ජිව්හා-කායවිඤ්ඤාණං, විපාකා මනෝධාතු උප්පන්නා හොති. සොමනස්ස සහගතා මනො විඤ්ඤාණ ධාතු උප්පන්නා හොති, සොමනස්ස සහගතා මනොවිඤ්ඤාණ ධාතු උප්පන්නා හොති, උපෙක්ඛා සහගතා ඤාණසම්පයුත්තා, සොමනස්ස සහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙණ, සොමනස්සසහගතාඤාණවිප්පයුත්තා- සොමනස්සසහගතා- ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙණ, උපෙක්ඛාසහගතා ඤාණ සම්පයුත්තා- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙණ, උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්තා- උපෙක්ඛාසසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙණාති.[1]

‘කාමාවචර කුශල කර්‍ම කළ හෙයින්, රැස් කළ හෙයින් විපාක වූ චක්ඛුවිඤ්ඤාණය උපදී’ සොතවිඤ්ඤාණාදිය ද එසේ මැ යි. විපාක මනෝධාතු සඞ්ඛ්‍යාත සම්පටිච්ඡන චිත්තය ද, සොමනස්ස සහගත මනොවිඤ්ඤාණ ධාතුව (සොමනස්ස සහගත සන්තීරණය) ද උපදී. සොමනස්ස - ඤාණ සම්පයුත්ත අසඞ්ඛාර සසඞ්ඛාරාදිය ද මෙසේ මැ යි (සුගමයි.)

(උපචිතත්තා යන්නට ආසේවන ලද බැවිනැයි සමහරු අර්‍ථ කියැතිය ද ආසේවන නො ලද ප්‍ර‍ථම ජවනයට විපාක දානය නො පැමිණෙන බැවින් ඒ නො මැනැවි යි යනු ස සත්‍ය යි.)

රූපාවචර පුණ්‍යාභිසංස්කාර ප්‍ර‍ත්‍යයෙන් රූපාවචර විපාකස්ස ලැබේ. එයින් වදාළහ.

“තස්සෙවරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා, උපචිතත්තා, විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමජ්ඣානං -පෙ- පඤ්චමජ්ඣානං උපසම්පජ්ජ විහරති[2] ඒ රූපාවචර කුශල කර්‍මය කළ හෙයින්, රැස්කළ හෙයින් විපාක වූ -පෙ- පඨමජ්ඣාන සිත ද -පෙ- පඤ්චමජ්ඣාන සිත ද, සන්තානයෙහි ඉපදවීම් වශයෙන් පැමිණ වාසය කෙරේ’ මෙසේ පුණ්‍යාභී සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් එක්විසි (21) වැදෑරුම් විපාක විඥානය උපදී. අපුණ්‍යාභිසංස්කාර ප්‍ර‍ත්‍යයයෙන් අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදි පස ද, එකම මනෝධාතුව (සම්පටිච්ඡ) ද, මනොවිඤ්ඤාණ ධාතුව (සන්තීරණ) දැ යි මෙසේ සත් වැදෑරුම් විපාක විඤ්ඤාණය උපදී.

එයින් වදාළහ. “අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්තං හොති. සොත-ඝාන-ජිව්හා-කාය විඤ්ඤාණං විපාකා මනොධාතු විපාකා මනො විඤ්ඤාණධාතු උප්පන්නා හොති”[3] යි (අර්‍ථ පෙර කී සේ ය.)

ආනෙඤ්ජාභිසංස්කාර ප්‍ර‍ත්‍යයෙන් සතර අරූප විපාක වේ. එයින් වදාළහ. “තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා -පෙ- ආකාසානඤ්චායතන සඤ්ඤසහගතං -පෙ- විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නෙවසඤ්ඤා-නාසඤ්ඤායතන සඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහරතීති.[4]

‘ඒ අරූපාවචර කුශල කර්‍මය කළ හෙයින් රැස්කළ හෙයින්ම සර්‍වප්‍ර‍කාරයෙන් රූපසංඥාව ඉක්මවීමෙන් ආකාසනඤ්චායතන සහගත වූ විපාක විඤ්ඤාණය ද, විඤ්ඤාණයඤ්චායතන- ආකිඤ්චඤ්ඤායතන - නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙන් යුක්ත වූ සුඛ-දුඃඛ ප්‍ර‍හාණයෙන් -චතුර්‍ථධ්‍යානයනට පැමිණ වෙසේයැ’ යි කියායි.

(මෙසේ සතර අරූපාවචර විසින් චතුර්විධ විපාක විඥානය වේ. මෙහි ආකාශාදි ආලම්බන වශයෙන් නානාත්‍වය තබා චතුර්‍ථධ්‍යාන වේය යි කීහු.)

මෙසේ සංස්කාර ප්‍ර‍ත්‍යයයෙන් යම් විඥානයෙක් වේ නම් ඒ දැන විඥානයාගේ ප්‍ර‍වෘත්තිය ද දත යුතු. මේ සියලු විඥාන ප්‍ර‍වෘත්ති-ප්‍ර‍තිසන්‍ධි වශයෙන් දෙපරිද්දකින් වේ.

මොවුනතුරින් දෙපස් (10) විඤඤාණය, මනෝධාතු වය, සෝමනස්ස සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව (සොමනස්ස සන්තීරණ) ය, යන තෙළෙස (13) පඤ්චස්කන්‍ධය ඇති භවයෙහි සුදුසු සේ ප්‍ර‍වෘත්තියෙහි මැ පවතී. සෙසු එකුන්විස්ස (19) තුන් භවයෙහි සුදුසු බැවින් ප්‍ර‍වෘත්ති ප්‍ර‍තිසන්‍ධි දෙක්හි පවතී.

ඒ මෙසේයි:- කුසල විපාක වූ චක්ඛුවිඤ්ඤාණාදි පස, කුසල විපාකයෙන් හෝ අකුසල විපාකයෙන් ඉපිද ක්‍ර‍මයෙන් මිහි කිරීමට පැමිණි චක්‍ෂුරාදි ඉන්‍ද්‍රිය ඇත්තහුට ඒ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයනට හමුවූ ඉෂ්ට වූ හෝ ඉෂ්ට මධ්‍යස්ථ වූ හෝ රූපාදි ආලම්බනය අරභයා චක්‍ෂුරාදි ප්‍ර‍සාද ඇසුරු කොට දර්‍ශන -ශ්‍ර‍වණ- අඝ්‍රායණ- රසාස්වාදන - ස්පර්‍ශන කෘත්‍යයන් සිද්ධ කෙරෙමින් පවතී. අකුසල විපාක පස ද එසේ ම පවතී.

විශේෂ:- හුදෙක් අකුසල විපාකයනට අනිෂ්ට වූ හෝ අනිෂ්ට මධ්‍යස්ථ වූ හෝ අරමුණ වේ. මේ දසයම නියත වූ ද්වාරආලම්බන - වස්තු-ස්ථාන ඇත්තාහු. නියත කෘත්‍යය ඇත්තෝම වෙති. ඉක්බිති කුසල විපාක මනෝධාතුව (සම්පටිච්චන) ය ඔවුන්ගේම අරමුණ ඇරබැ හෘදය වස්තුව නිසා සම්පටිච්ඡන කෘත්‍යය සාධමින් පවතී.

අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදියට අනතුරුවැ අකුසල විපාක ද එසේ මැ යි. මේ මනෝධාතුව වනාහි අනියතද්වාරාලම්බනය නියත වස්තු හා ස්ථාන ද, නියත කෘත්‍යය ද ඇත්තේ වේ.

‘සොමනස්සසහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව කුසල විපාක මනොධාතුවට අනතුරුවැ ඒ මනොධාතුහුගේ ම අරමුණු අරැබෑ හෘදය වස්තුව නිසා සන්තීරණ කෘත්‍යය සිද්ධ කරමින් ද ෂඩ් ද්වාරයෙහි බලවත් අරමුණෙහි කාමාවචර සත්ත්‍වයින්ට බෙහෙවින් ලොභසම්ප්‍ර‍යුක්ත ජවන් අවසන්හි භවාඞ්ගවීථිය සිඳගෙන ජවනයෙන් ගත් අරමනෙහි තදාලම්බන වශයෙන් ද වරක් හෝ දෙවරක් හෝ පවතී, යයි මජ්ඣිම නිකායට්ඨකථාහි කියන ලදි.

අභිධර්‍ම අටුවාහි තදාරම්මණය දෙ වරක් ම උපදීය යි කියන ලදී.

විශේෂ:- මේ සිත ජවනයන් ගත් අරමුණ ගෙන පවත්නා හෙයින් තදාලම්බනයයි ද, ජවනයන් පිටිපස පවත්නා හෙයින් පිට්ඨිභයඞ්ගය යි ද නම් දෙකක් ලබයි.

මේ සිත ද අනියතද්‍වාරාලම්බන හා නියත වස්තු හා අනියත ස්ථාන - කෘත්‍යය ඇති සේයි.

මෙසේ තෙළෙස් (13) විඤ්ඤාණ පඤ්චවෝකාර භවයෙහි ප්‍ර‍වෘත්තියෙහි ම වේය යි දතයුතු.

සෙසු එකුන්විසි (19) විඤ්ඤාණ අතුරින් කිසිවක් තමහට සුදුසු ප්‍ර‍තිසන්‍ධික් ඇති කල්හි නො පවත්නේ නොවේ. (පවතී).

ප්‍ර‍වෘත්තියේහි කුසල-අකුසල විපාක අහේතුක මනෝ විඤ්ඤාණය ධාතු (සන්තීරණ) ද්‍වය ය, පඤ්චද්‍වාරයෙහි කුසල අකුසල මනොධාතු ද්‍වයයට අනතුරු වැ සන්තීරණ කෘත්‍යය ද, ෂඩ්ද්වාරයෙහි පෙර කී සේ තදාරම්මණ කෘත්‍යය ද, තමා දුන් පිළිසඳින් මත්තෙහි භවාඞේගාපචේඡදක චිතේතාත්පාදයක් නැතිකල භාවාඞ්ගකෘත්‍යය ද, අන්තයෙහි චුති කෘත්‍යයැදිය කෘත්‍ය සතරක් සිද්ධ කරමින් නියතවස්තුක වැ අනියතද්‍වාරාලම්බනස්ථාන- කෘත්‍යය ඇතිවැ පවතී.

කාමාවචර සහේතුක සිත් අට කී නයින්ම සදොරෙහි තදාරම්මණ කෘත්‍යය ද, තමා දුන් පිළිසඳින් මත්තෙහි භවාඞේගාපච්ඡෙදක චිත්තොත්පාදයක් නැතිකල භවාඞ්ගකෘත්‍යය ද, කෙළවර චුතිකෘත්‍යය දැයි මේ තුන් කෘත්‍යයක් සාධමින් නියත වස්තුකවැ අනියතද්‍වාර - ආලම්බන-කෘත්‍යය ඇතිවැ පවතී.

රූපාවචර පස හා අරූපාවචර සතර ද තමා දුන් පිළිසඳින් මත්තෙහි භවඞ්ගුපච්ඡෙදක චිත්තොත්පාදයක් නැති කල්හි භවාඞ්ගකෘත්‍ය ද, අවසන චුති කෘත්‍යය යි දෙකිසක් සාධමින් පවතී. ඔවුනතුරින් රූපාවචර පස නියත වස්තු ආලම්බන හා අනියතස්ථාන කෘත්‍යය. අරූපාවචර සතර නියත අවස්තුකය, නියතාලම්බනය, අනියතස්ථානහා කෘත්‍යය ඇතිවැ පවතීය යි, මෙසේ දෙතිස් (32) වැදෑරුම් විඥානය ප්‍ර‍වෘත්තියෙහි ද සංස්කාර නිසා පවතී.

ඒ ප්‍ර‍වෘත්තියෙහි දෙතිස් (32) විපාක විඤ්ඤාණයනට ඒ ඒ පුණ්‍යාභි සංස්කාරාදිය නා නා ක්‍ෂණික කර්‍ම ප්‍ර‍ත්‍යයෙන් ද, ප්‍ර‍කෘතොපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යෙන් ද ප්‍ර‍ත්‍යය වේ.

මෙසේ ප්‍ර‍වෘත්තියෙහි විඥානය දක්වා ප්‍ර‍තිසන්‍ධියෙහි ද දක්වන්නාහු “සෙසු එකුන් විසි (19) විඤ්ඤාණ අතුරින් කිසිවක් තමහට සුදුසු ප්‍ර‍තිසන්‍ධියක් නොදී නො පවතී” යයි පෙර කී වචනය ඉතා සැකෙවින් කී හෙයින් නො දත හැක්ක. එහි විස්තරය දැක්වීම සඳහා,

(1) ප්‍ර‍තිසන්‍ධි කෙතෙක් ද

(2) ප්‍ර‍තිසන්‍ධි සිත් කෙතෙක් ද

(3) කවර සිතකින් කවර භවයෙකැ ප්‍ර‍තිසන්‍ධි වේ ද

(4) ප්‍ර‍තිසන්‍ධියට අරමුණු කුමක් ද යන මේ ප්‍ර‍ශ්න විසඳිය යුතු ය.

(1) අසඤ්ඤසත්ත පටිසත්‍ධිය ද සමග පටිසන්‍ධි විස්සෙකි. (20)

(2) පටිසන්‍ධි සිත් එකුන් විස්සෙකි (19) ඒ පෙරැ සේ යැ.

විශේෂ:- ප්‍ර‍තිසන්‍ධි කෙතෙක් ද, ප්‍ර‍තිසන්‍ධි සිත් කෙතෙක් දැයි දෙවරක් විචාළේ (භවයෙන් භවය ගැලපීම ප්‍ර‍තිසන්‍ධි යැ) එය අචිත්තකව ද වන හෙයිනි.

(3) අකුසල විපාක මනොවිඤඤාණ ධාතුවෙන් (උපෙක්ඛා සහගත සන්තීරණයෙන්) සතර අපායෙහි පිළිසිඳ දේ.

කුසල විපාක (අහෙතුක) මනෝවිඤ්ඤාණ ධාතුවෙන් මිනිස් ලොව ජාත්‍යන්ධාදීන් ගේ උපත වෙයි. ජාත්‍යන්‍ධ -ජාත බධිර-ජාති උම්මත්තක -ජාති ඒ ළමූග-නපුංසක ද, ආදි ශබ්දයෙන් මම්මනද ගැනේය යි ඇතැමෙක් කියති. ඇතැම් අහේතුක සත්ත්‍ව කෙනෙක් අවිකල ඉන්‍ද්‍රිය වැ මඳක් විචාරණ ස්වභාව ඇති වෙත්ය යි එබන්දන් ද ආදී ශබ්දයෙන් සංග්‍ර‍හ වේය යි කෙනෙක් කියත්.

සහේතුක කාමාවචර විපාක අටෙන් කාමාවචර දෙවියන්ගේ ද මිනිස් ලොව පැනැතියනගේ ද පිළිසිඳ වේ.

රූපාවදර විපාක පස රූපාවචර බ්‍ර‍හ්ම ලෝකයෙහි ද

අරූපාවචර විපාක සතර අරූපාවචර ලෝකයෙහි ද පිළිසිඳ දේ. (ඒ ඒ භවයෙහි පිළිසිඳ දෙන සිතම අයට සුදුසු පිළිසිඳ යැ)

(4) සැකෙවින් පිළිසිඳට අතීතාලම්බනය -පච්චුප්පන්නාලම්බනය-නවත්තබ්බාලම්බනයැ යි ආලම්බන තුනකි.

අසංඥ ප්‍රතිසන්‍ධියට ආලම්බනයෙක් නැති.

විඤ්ඤාණඤ්චායතන - නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්‍ර‍තිසන්‍ධියට අතීතා-ලම්බනයම වේ. දස කාමාවචරයනට අතීත හෝ වර්‍තමාන හෝ අරමුණු වේ. සෙසු රූපාවචර ප්‍ර‍තිසන්‍ධීනට හා ප්‍ර‍ථම තෘතීය ආරූප්‍ය ප්‍ර‍තිසන්‍ධිනට නවත්තබ්බාලම්බනය අරමුණු වේ.

මෙසේ තුන් අරමුණෙහි පවත්නා ප්‍ර‍තිසන්‍ධි සිත් අතීතාලම්බන වූ හෝ නවත්තබ්බාලම්බනය වූ හෝ චුතියට අනතුරුවැ මැ පවතී.

විශේෂ:- පච්චුපන්නාලම්බන සිත් නැති.

එහෙයින් අතීත - නවත්තබ්බාලම්බන වශයෙන් දෙයාකාර අරමුණු අතුරින් එක්තරා එකක් අරමුණු කොට ඇති චුතියට අනතුරුවැ අතීත-පච්චුප්පන්න-නවත්තබ්බ අරමුණු අතුරින් එක්තරා එකක් අරමුණු කොට ඇති ප්‍ර‍තිසන්‍ධියෙහි සුගති-දුගති වශයෙන් පවත්නා ආකාරය දත යුතු.

ඒ මෙසේ යි:- (1) කාමසුගතියෙහි සිටි පව්කම් කොට මර ඇඳ හොත්තහුට ඒ පව්කම් හෝ කර්‍මනිමිති හෝ මනොද්‍වාරයෙහි හමුවීමට යේ. ඒ අරමුණු කොට නිපන් තදාලම්බන අවසන් කොට ඇති ජවන වීථියට අනතුරුවැ භවාඞ්ගවිෂය අරමුණු කොට චුතිචිත්තය උපදනේ යි. ඒ නිරුද්ධ වූ කෙණෙහි එයට අනතුරුවැමැ ඒ ජවනවීථියට හමු වූ කර්‍ම හෝ කර්‍ම නිමිත්ත හෝ අරභයා මාර්‍ගයෙන් නො සිඳී කෙලෙස් බලයෙන් නමනලද දුර්‍ගති පර්‍ය්‍යාපන්න ප්‍ර‍තිසන්‍ධි චිත්තය උපදී.

මේ අතීතාලම්බන චුතියට අනතුරුවැ අතීතාලම්බන ප්‍ර‍තිසන්‍ධිය යැ.

(2) අනිකකුට මරණාසන්නයෙහි යට කී සේ අකුශල කර්‍මයෙන් නරක ආදියෙහි ගිනිදැල් වර්‍ණ ආදි දුගති නිමිනි මනොද්‍වාරයට එළඹ සිටි. අනතුරු වැ දෙවරක් භවාඞ්ගය ඉපිද නිරුද්‍ධ වූ කල ඒ අරමුණ අරැබැ එක් ආවර්‍ජන සිතක් ද, මරණයට ආසන්න බැවින් මඳ වූ වේග ඇති හෙයින් ජවන් පසක් ද, තදාරම්මන දෙකක් දැයි වීථි සිත් තුනක් උපදී. අනතුරු වැ භවාංග විෂය අරමුණු කොට එක් චුති සිතක් උපදී. මෙතෙකින් එකොළොස් (11) චිත්තක්‍ෂණයක් ඉක්මියේ වෙයි. අනතුරු වැ චිත්තක්‍ෂණ පසක් ආයු ශේෂ වූ එම ආලම්බනයෙහි ම පටිසන්‍ධි චිත්තය උපදී.

මේ අතීතාලම්බන චුතියට අනතුරුවැ ප්‍ර‍ත්‍යුත්පන්නා ලම්බන ප්‍ර‍තිසන්‍ධිය යැ.

(3) අනිකකුට මැරෙනකල පඤ්චද්‍වාරයන් අතුරින් එක් වාරයෙකැ රාගාදී ක්ලේශයනට හේතු වූ අනිෂ්ට රූපාදී අරමුණක් හමුවීමට යේ. ඒහට පිළිවෙළින් උපන් වොත්‍ථපනයා ගේ අවසන්හි මරණය ආසන්න බැවින් මඳ වූ වේග ඇති හෙයින් ජවන් පසක් හා තදාරම්මණ දෙකක් උපදී. අනතුරුවැ භවාඞ්ග විෂය අරමුණු කොට එක් චුති සිතෙක් වේ. මෙතෙකින් භවාඞ්ග දෙකෙක, පඤ්චද්‍වාරාවර්‍ජනය, චක්ඛුවිඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය, වොත්‍ථපනය, ජවන් පසය, තදාරම්මණ දෙක ය, චුති සිතැයැ යි පසළොස් (15) චිත්තක්‍ෂණයෙක් ඉක්මියේ වේ. අනතුරු වැ එක් චිත්තක්‍ෂණයෙකැ ආයු ශේෂ වූ එම ආලම්බනයෙහි ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

මෙද අතීතාලම්බන චුතියට අනතුරුවැ පච්චුප්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය යැ.

මේ වූ කලී අතීතාලම්බන සුගති චුතියට අනතුරු වැ අතීත පච්චුප්පන්නාලම්බන දුගති ප්‍ර‍තිසන්‍ධිය පවත්නා ආකාරය යැ.

(4) ‘දුගතියෙහි සිටි මරණාසන්න කාලයෙහි රැස් කරන ලද නිවැරැදි කර්‍ම ඇත්තහුට පෙරැ කී සේ ඒ නිවරද කර්‍මය හෝ කර්‍ම නිමිත්ත හෝ මනෝද්වාරයෙහි අරමුණු බවට පැමිණේ’ යයි මෙසේ අකුශල පක්‍ෂයෙහි කුශල පක්‍ෂය බහා සියල්ල පෙරැ කීසේ දත යුතු යි.

මේ අතීතාලම්බන දුගති චුතියට අනතුරුවැ (කර්‍ම නිමිත්ත වශයෙන්) අතීත වූ ද (මාතෘකුක්‍ෂි ආදි වශයෙන්) පච්චුප්පන්නාලම්බනවූ ද සුගති ප්‍ර‍තිසන්‍ධිය පවත්නා ආකාරය යැ.

(5) සුගතියෙහි සිට රැස්කළ නිවරද කර්‍ම ඇත්තහුට “තානිස්ස තස්මිං සමයෙ ඔලම්බන්තීති” ඒ කර්‍ම ඔහුට ඒ ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි වැටහේයයි’ වදාළ හෙයින් මරණ මඤ්චකයෙහි හොත්තහුට රැස්කළ පරිදි කුශල කර්‍මය හෝ කර්‍ම නිමිත්ත හෝ මනෝද්‍වාරයෙහි ආපාථගත වේ. හෙද රැස්කළ කාමාවචර නිවරද කර්‍ම ඇත්තහුට මැයි.

එහෙත් රැස්කළ මහද්ගත කර්‍ම ඇත්තහුට කර්‍ම නිමිත්තම අරමුණු වේ. ඒ කර්‍මනිමිත්ත අරමුණු කොට නිපන් තදාලම්බන අවසන් කොට ඇත්තා වූ හෝ ශුද්ධ වූ ජවන වීථියට හෝ අනතුරුවැ භවාඞ්ගවිෂය අරමුණු කොට චුති සිත උපදී.

එය නිරුද්ධ වූ පසු ඒ ආපාථගත කර්‍මය හෝ කර්‍ම නිමිත්ත හෝ අරභයා නො සිඳිනාලද කෙලෙස් බලයෙන් නමනලද සුගති පර්‍ය්‍යාපන්න ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

මේ අතීතාලම්බන චුතියට අනතුරුව අතීතාලම්බන වූ හෝ (කසිණ නිමිත්තාදී වශයෙන්) නො කියහැකි වූ හෝ අරමුණු ඇති ප්‍ර‍තිසන්‍ධිය යැ.

(6) අනිකකුට මරණසාන්න කාලයෙහි කාමාවචර කුශලකර්‍ම වශයෙන් මනුෂ්‍යලෝකයෙහි මාතෘකුක්‍ෂි වර්‍ණාදි වශයෙන් හෝ සදෙව් ලොවැ උයන්-විමන්-කප්රුක් ආදී වර්‍ණ වශයෙන් හෝ සුගතිනිමිත්ත මනෝද්වාරයට මුවීමට පැමිණේ. ඔහුට දුගති නිමිත්තෙහි කී සෙයින් ම චුති සිතට අනතුරුවැ ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

මේ අතීතාලම්බන චුතියට අනතුරු වැ පච්චුප්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය යි.

(7) අනිකකුට මරණ කාලයෙහි නෑයෝ‍්, ‘දරුව! මේ ඔබ පිණිස බුද්ධ පූජා කෙරේ. සිත පහදව යි’ කියා මල් දම් කොඩි ආදි වශයෙන් රූපාලම්බනයක් හෝ, ධර්‍මශ්‍ර‍වණ-තූර්‍ය්‍යවාදනාදි වශයෙන් ශබ්දාලම්බනයක් හෝ, සුවඳ-දුම් ආදි වශයෙන් ගන්‍ධාලම්බනයක් හෝ, ‘දරුව මේ රස විඳුව තා පිණිස පිදිය යුතු දැයි යි’ කියා මී පැණි ආදි වශයෙන් රසාලම්බනයක් හෝ, ‘දරුව! මේ ස්පර්‍ශ කරව තා පිණිස පිදිය යුතු දැයි’ යි චීනපට-සොමාරපට ඇදි ස්පර්‍ශාලම්බනයක් හෝ පඤ්චද්වාරයට එළවද්ද ඕහට එසේ අපාථගත වූ ඒ රූපාදී ආලම්බනයෙහි පිළිවෙළින් උපන් වොත්‍ථපනයා ගේ අවසන්හි මරණයා ගේ ආසන්න භාවයෙන් මඳ වූ වේග ඇති හෙයින් ජවන් පසක් හා තදාලම්බන දෙකක් උපදී. ඉක්බිති භවාඞ්ග විෂය ආලම්බන කොට එක් චුති සිතක් ද වේ අවසන්හි ඒ එක් චිත්තක්‍ෂණයක් පවත්නා ආලම්බනයෙහි ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

මේ අතීතාලම්බන චුතියට අනතුරුවැ ප්‍ර‍ත්‍යුත්පන්නලම්බන ප්‍ර‍තිසන්‍ධිය යි.

(8) අනෙක් පඨවි කසිණ ධ්‍යානාදී වශයෙන් ලැබූ මහද්ගත ධ්‍යාන ඇති සුගතියෙහි සිටියහුට මරණාසන්න කාලයෙහි කාමාවචර කුශල කර්‍මය, කර්‍ම නිමිත්තය, ගති නිමිත්තය යන මොවුන් අතුරින් එකක් හෝ පඨවි කසිණාදී නිමිති ඇති මහද්ගත සිතක් හෝ මනෝද්‍වාරයෙහි ආපාථගත වේ.

චක්ඛු-සෝතයන් අතුරින් එකෙකැ කුශලොත්පත්තියට නිමිති වූ බුද්‍ධදර්‍ශන, ධර්‍මශ්‍ර‍වණාදී ප්‍ර‍නීතාලම්බනයක් හෝ හමුවීමට යේ ඔහුට පිළිවෙළින් උපන් වොත්‍ථපනාවසානයෙහි මරණයට ආසන්න බැවින් මඳ වූ වේග ඇති හෙයින් ජවන පසක් උපදී.

විශේෂ:- මහද්ගත ගතිකයනට තදාලම්බන නූපදී. එහෙයින් ජවනානන්තරවැම භවාඞ්ග විෂය අරමුණු කොට එක් චුති සිතක් උපදී. එයට අනතුරුවැ කාමාවචර මහද්ගත සුගතීන් අතුරින් එක්තරා සුගතියෙකැ ඇතුළත් එළඹ සිටි ආලම්බන අතුරින් එක්තරා අරමුණක ප්‍ර‍තිසන්‍ධි සිත උපදී.

මේ නවක්තව්‍යාලම්බන සුගති චුතියට අනතුරුවැ අතීත-ප්‍ර‍ත්‍යුත්පන්න නවක්තව්‍යාලම්බනයන් අතුරින් එක්තරා අරමුණක් ඇති ප්‍ර‍තිසන්‍ධිය යි.

විස්තර:- නවක්තව්‍යාලම්බන (පඨවිකසිණාදි) රූපාවචර චුතියෙන් කර්‍ම-කර්‍මනිමිත්තාලම්බන වහයෙන් කාමාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ. ගතිනිමිත්ත හා චක්ඛු සොතද්‍වාර ආලම්බන වශයෙන් ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික කාමාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ.

පඨවිකසිණාදි වශයෙන් නවක්තව්‍යාලම්බනික රූපාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ. කිසුණු ඉගුළු අහස්හි විඥානාපගමයෙන් නවක්තව්‍යාලම්බන අරූපාවචර ප්‍ර‍තිසන්‍ධි වේ. ආකාසානඤ්චායතන-ආකිඤ්චඤ්ඤායතන වශයෙන් අතීතාලම්බන අරූපාවචර ප්‍ර‍තිසන්‍ධි වේ.

විශේෂ:- අරූපාවචර චුතියට අනන්තර වූ රූපාවචර ප්‍ර‍තිසන්‍ධි නැති. මේ අනුසාරයෙන් අරූප චුතියට ද අනතුරුව ප්‍ර‍තිසන්‍ධි දත යුතුය.

මේ අතීතනවක්තව්‍යාලම්බන සුගති චුතියට අනතුරුවැ අතීත නවක්තව්‍යාප්‍ර‍ත්‍යුත්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය පවත්නා ආකාරය යි.

නිෂ්කර්‍ෂය:- මෙසේ ආලම්බන වශයෙන් ඒකවිධ වූ කාමාවචර සුගති චුතියෙන් ද්විවිධ දුර්‍ගති ප්‍ර‍තිසන්‍ධිය යැ.

දුගති චුතියෙන් විවිධ සුගති ප්‍ර‍තිසන්‍ධිය යැ.

කාමාවචර සුගති චුතියෙන් (විවිධ-එකවිධ) ද්විප්‍ර‍කාර වූ ම කාම-රූප-අරූප ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පඤ්චවිධ සුගති ප්‍ර‍තිසන්‍ධිය යැ.

රූපාවචර චුතියෙන් එසේ ම පඤ්චවිධ වූ ප්‍ර‍තිසන්‍ධිය යැ.

ද්‍විවිධ ආරුප්ප චුතියෙන් වෙන් වෙන් වැ දෙකක් දෙකක් වූ කාම-ආරූප්‍ය ප්‍ර‍තිසන්‍ධි වශයෙන් අටවැදෑරුම් ප්‍ර‍තිසන්‍ධිය යැ යන මොහු දක්වන ලදහ.

දුගතියෙහි සිටි පව්කම් කළහුට වනාහි පෙර කි සේ ඒ පාපකර්‍මය හෝ කර්‍මනිමිත්ත හෝ ගතිනිමිත්ත හෝ මනෝද්වාරයෙහි හෝ පඤ්චද්‍වාරයෙහි අකුසල් ඉපැත්මට හේතු වූ අරමුණ ආපාථගත වේ. එකල ඕහට පිළිවෙළින් චුති චිත්තාවසානයෙහි දුර්‍ගති පර්‍ය්‍යාපන්න ප්‍ර‍තිසන්‍ධි චිත්තය ඒ ආලම්බන අතුරින් යම් කිසි ආලම්බනයෙකැ උපදී.

මේ අතීතාලම්බන දුර්‍ගති චුතියට අනතුරුවැ අතීත ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බන ප්‍ර‍තිසන්‍ධිය පවත්නා සැටි යැ.

විශේෂ:- ඒකවිධ දුර්‍ගති චුතියෙන් ද්‍විවිධ දුර්‍ගති ප්‍ර‍තිසන්‍ධිය දක්වනු සඳහා යැ මේ කීයේ.

මෙ තෙකින් එකුන් විසි (19) වැදෑරුම් වූ මැ විපාක විඥානයාගේ ප්‍ර‍තිසන්‍ධි වශයෙන් පැවැත්ම දක්වන ලදී.

මෙසේ කාමාවචර සුගති චුතියට අනතුරුවැ දුර්‍ගති ප්‍ර‍තිසන්‍ධි දෙකෙක.

දුගති චුතියට අනතුරුව සුගති ප්‍ර‍තිසන්‍ධි දෙකෙක.

කාමාවචර සුගති චුතියට අනතුරුවැ කාම-රූප-අරූප ප්‍ර‍තිසන්‍ධි පසෙක.

රූපාවචර චුතියට අනතුරුවැ සුගති ප්‍ර‍තිසන්‍ධි පසෙක.

ද්‍විවිධ අරූප චුතියට අනතුරුව කාම-අරූප ප්‍ර‍තිසන්‍ධි අටෙක.

දුගති චුතියට අනතුරුවැ දුගති ප්‍ර‍තිසන්‍ධි දෙකෙකැයි ප්‍ර‍තිසන්‍ධි සූවිස්සෙක් (24) වේ.

“පිළිසිඳ පවත්නේ - කැමිනි* දෙපරිදි වන්නේ

රූ මුසු ඈ බෙයින්+ ඒ - දෙපරිදි ඈ බෙයින් වේ.”

ඒ මෙසේයි:- මේ එකුන් විසි වැදෑරුම් විපාක විඥානය ප්‍ර‍තිසන්‍ධියෙහි පවත්නේ කර්‍මයෙන් දෙපරිද්දෙකින් පවතී.

විස්තර:- මේ විපාක විඥානය උපදවන තමහට සුදුසු සේ පවත්නා කර්‍මය නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යයයෙන් ද, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් දැයි දෙපරිද්දෙනි.

එයින් වදාළහ. “කාමාවචරස්ස කුසලසස කම්මස්ස කතත්තා”[5] යනාදීන් නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යයෙන් ද,

කුසලාකුසලං කම්මං විපාකස්ස උපනිස්සය පච්චයෙන පච්චයො[6] උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ද කීහ.

මෙසේ පවත්නා ඒ විපාක විඥානයා ගේ රූප මිශ්‍රාදී භේදයෙන් ද්‍විප්‍ර‍කාරාදි භේදය ද දත යුතු.

ඒ මෙසේ යි:- ප්‍ර‍තිසන්‍ධි වශයෙන් එක් ආකාරයකින් පවත්නා මේ විපාක විඥානය (නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වූ) රූපය හා මිශ්‍ර‍-අමිශ්‍ර‍ භේදයෙන් ද්විවිධ වේ. කාම භව - රූප භව - අරූප භව භේදයෙන් ත්‍රිවිධ වේ.

අණ්ඩජ - ජලාබුජ - සංසේදජ - ඕපපාතික යෝනි වශයෙන් චතුර්විධ වේ.

ගති වශයෙන් පඤ්චවිධ වේ

විඥානස්ථිති වශයෙන් සප්තවිධ වේ

සත්ත්‍වාවාස වශයෙන් අෂ්ටවිධ වේ. (මෙහි අසංඥ සත්ත්‍වය නැති.)

තවද

“මුසු බව බෙයින් දෙවෙ* සබවුදු+ ඉන් දෙකෙක් වේ.

මුසු බව හා අඩුයෙන් - දසක දෙකෙක් තුනෙක් හෝ”

විස්තර:- රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධි විඥානය භාව භෙදයෙන් විවිධ වේ.

මේ මිශ්‍ර‍-අමිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධි විඥානයන් අතුරින් අරූපභවය හැර සෙසු තන්හි රූපය හා මිශ්‍ර‍ වූ ප්‍ර‍තිසන්‍ධි විඥානය උපදී. හෙදරූප භවයෙහි ස්ත්‍රී-පුරුෂ ඉන්‍ද්‍රිය නම්වූ භාව රූප නැතිවැ උපදනා හෙයින් ද, කාම භවයෙහි ජාති නපුංසක ප්‍ර‍තිසන්‍ධිය හැර සෙසු තන්හි ස්ත්‍රී-පුරුෂ භාව සහිතවැ උපදනා හෙයින් ද සභාවයැ, අභාවයැයි ද්‍විවිධ වේ.

එහි භාවරූප සහිත ප්‍ර‍තිසන්‍ධිය ද්විවිධ වේ.

ඒ මෙසේ යි:- ඒ සභාවක ප්‍ර‍තිසන්‍ධියෙහි ද ස්ත්‍රිභාවය පුරුෂ භාවය යන මොවනතුරින් එක්තරා භාව රූපයක් හා මිශ්‍ර‍ව ඉපදීම් වශයෙනි.

ඒ රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධිය හා ඔමක හෙයින් දශක දෙකෙක් හෝ තුනෙක් වේ. පෙර කී මිශ්‍ර‍-අමිශ්‍ර‍ ද්‍විකයෙහි පළමු කී රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධි විඥානය ඒ හා උපදනා වස්තුකාය දශක වශයෙන් දශක දෙකක් හෝ වස්තු-කාය භව දශක වශයෙන් තුනක් හෝ අඩු වශයෙන් උපදී.

විශේෂ:- මේ ද්විවිධ - ත්‍රිවිධ දශකයන් හැර අනෙක් රූප පිරිහීමෙක් නැති, මෙයට අඩු වූ රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධියෙක් නැති, මෙසේ ඒ (ඔමක) යටත් පිරිසෙයින් රූප මිශ්‍ර‍ ප්‍ර‍තිසන්‍ධිය, අණ්ඩජ-ජලාබුජ යෝනීන්හි එදවස් උපන් එළුපැටවකු ගේ රෝමයෙකින් නඟාගත් (තලතෙල්) පහන් ගිතෙල් බිඳක් පමණ වූ කලල රූපය නමින් උපදී. එයිදු යෝනීන් ගේ ගතිවශයෙන් සම්භව (හටගන්නා භාව රූප) භේදය දතයුතු.

නිරයද බුමුටු* හැර -අන් දෙවියනට මුල කී,

තුන් යොන්++[7] නො වේ සෙසු තුන්-ගතියෙහි සිවු යොන මැවේ.

එහි යෝනි වශයෙන් සම්භව භේදය මෙසේ යි.

නරකයෙහි ද, භූම්‍යස්ථ දෙවියන් හැර සෙසු දෙවියන් විෂයෙහි ද, පළමු කී අණ්ඩජාදි ත්‍රිවිධ යෝනිහූ නො වෙති, එහි ඕපපාතිකයෝ මැ වෙති. එසේ ම නිජ්ඣාමතණ්හික ප්‍රේත විෂයයෙහි ද, පළමු කී ත්‍රිවිධ යෝනීහු නො වෙති. එහිදු ඕපපාතිකයෝ ම වෙති. සෙසු තීර්‍ය්‍යක් ප්‍රේත-මනුෂ්‍ය යන ගති තුනෙහි ද, පෙර කී භූමාටු දෙවියන් විෂයයෙහි ද, අණ්ඩජාදී සිවු යෝනීහු මැ වෙති.

එහිද,

“රූ බිමැ රූ තිසෙක- නෙවෙක-දෙයොන‘ග* උකටින්+[8]

සම සැත්තෑ (70) රූවේ- අඩුවෙන් තිසෙක් (30) හෝ වේ

ඕපපාතික යෝනු වූ රූපාවචර බ්‍ර‍හ්ම විෂයෙහි චක්ඛු-සෝත-වස්තු- දශක වශයෙන් කර්‍මජ රූප තිසෙක (30) ජීවිත නවක කලාප වශයෙන් නවයෙක් දැකිය ප්‍ර‍තිසන්‍ධි විඥානය සමග රූප එකුන්සාලිසෙක් (41) උපදී. ඒ රූපි බ්‍ර‍හ්මයන් හැර සෙසු සංසෙදජ ඕපපාතික-යෝනීන්හි උඩත්පිරිසෙයින් චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය-වත්‍ථු-භාව දසක වශයෙන් සැත්තෑවෙක් (70) වේ. (යටත් පිරිසෙයින් කාය-භාව-වත්‍ථු දහක තුන වේ.) ඒ සැත්තෑව දෙවියන් විෂයෙහි නිත්‍යයෙන් වේ. ඒ චක්ඛු ආදි දශකයෙහි වණ්ණ-ගන්‍ධ-රස-ඕජා-පඨවි-ආපෝ-තේජෝ-වායෝ-චක්ඛු-ජීවිත යන මේ දසයක් වූ රූප පුඤජය චක්ඛු දසක (10) නම් වේ. සෙසු දසක ද මෙසේ මැයි.

විශේෂ:- සෝත-ඝාණ-ජිව්හා-කාය-හදය-භාව රූප මතු වෙනසී.

යටත්පිරිසෙයින්, ජාත්‍යන්‍ධ-බධිර-අඝාණක-නපුංසක යන මොවුනට ජිව්හා-කාය-වත්‍ථු දශක වශයෙන් රූප තිසෙක් (30) උපදී.

උත්කර්ෂ-අපකර්‍ෂයන්ගේ අතුරෙහි සුදුසු සේ විකල්පය දතයුතු. (මේ පිළිබඳ ටීකායෙහි මතාන්තර ඇතුළු විස්තරයෙක් එයි) මේ යටත් පිරිසෙයින් කී අර්ථය පාළිය හා යෙදෙන සේ ගළපා දත යුතු.

“කාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්සවි එකාදසායත නාති පාතුභවන්ති, කස්සවි දසායතනානි- කස්සවි අපරානිපි දසායතනානි- කස්සවි නවායතනානි- තස්සවි සත්තා-යතනානි[9] ‘කාමභවයෙහි සංසෙදජ ඕපපාතිකයනට පරිපූණායතන වශයෙන් (ශබ්දවර්ජිත) ඒකාදස ආතනයෙකි. අන්‍ධයාහට දක්ඛායතන වර්ජිත දස ආයතනයෙකි. බිහිරාට සෝතායතන වර්ජිත දස ආයතනයෙකි. අන්‍ධ බධිරයාට චක්ඛු-සෝත ආයතන වර්ජිත නව ආයතනයෙකි, ගබ්භසෙය්‍යකයනට රූප-ගන්‍ධ-රස-කාය-ඵොට්ඨබ්බ-මන-ධම්මායතන වශයෙන් සප්ත ආයතනයෙකැයි කියන ලදි.

විශේෂ:- “අඝාණකො ඔපපාතිකො නාම නත්‍ථි”[10] ‘ආඝාණක ඔපපාතිකයෙන් නැතැයි’ කී හෙයින් හා පෙර කී ධම්ම හදය විභඞ්ගපාඨයෙහි “අට්ඨායතනානි පාතුභවන්ති” යි නො කී හෙයින් ද එය ස්ථිර යි.

එසේ වේ නම් එහි “කස්සවි අපරානිපිදසායතනානි පාතු භවන්තී” යි ඝ්‍රාණවර්ජිත ඔපපාතිකයා සඳහා කිවමනා ය, එසේම ‘කස්සවි අඨායතනානි පාතු භවන්ති”යි චක්ඛු. සෝත ඝාණ විකල වූ වහු සඳහා කියයුතු වේ.

එසේම, අන්‍ධා‘ඝාණක- බධිරාඝාණකයන් සඳහා “කස්සවි අපරානිපි නවායතනානි පාතු භවන්ති” යි දෙවරක් කිවයුතු වේ.

තවද මෙහි ‘යටත්පිරිසෙයින්’ යි කීයේ සතර අපායෙහි සංසේදජයන් පිණිසය යනු මහ අටුවා මතය යි. (සංසෙදජඋපපාදුක මිනිස්සු වනාහි පරිපූර්‍ණායතන ඇතියෝ මැ වෙති යනු සන්‍යයි.)

එහෙයින් අපායෙහි ජාත්‍යාන්‍ධයාහට රූපකලාප සයෙක (6)

ජාති බධිරයාහට ” ” (6)

ජාති අඝ්‍රාණකයාහට ” ” (6)

ජාති නපුංසකයාහට ” ” (6)

ජාත්‍යන්‍ධ-බධිරයාහට ” පසෙක (5)

ජාත්‍යන්‍ධ-ආඝ්‍රාණකයාහට ” ” (5)

ජාති බධිරාඝ්‍රාණකයාහට ” ” (5)

ජාත්‍යන්‍ධ- බධිරාඝ්‍රාණකයාහට ” සතරෙක (4)

ජාත්‍යන්‍ධ - බධිරනපුංසකයාහට ” ” (4)

යි ද දතයුතු.

මෙසේ නැවත ද,

චුති පිළිසඳුන් බඳ - කඳ‘රමුණු ගතිහෙ වෙයින්*[11]

පී වැතැකි විසැරියෙන්+ - සම විසම බව් දන්නෙ”

විස්තර:- මිශ්‍ර‍-අමිශ්‍ර‍ භේදයෙන් විවිධ වූ ප්‍ර‍තිසන්‍ධිය පිළිබඳ අනතුරුවැ ඉපිද නිරුද්ධ වූ චුතියෙක් වී නම් ඒ චුති - ප්‍ර‍තිසන්ධීන් ගේ මේ ස්කන්‍ධ-ආලම්බනාධීන් හා භෙද-අභෙද විශේෂය මෙසේ දතයුතු යනු අර්‍ථයි.

කෙසේද, කිසිකලෙක චතුස්කන්‍ධ ආරූප්ප චුතියට අනතුරුවැ චතුස්කන්‍ධ වූ ම අරමුණු හෙයිනුදු අභින්නවූ ප්‍ර‍තිසන්‍ධිය වේ.

(ඒ ඇරූතලයෙන් සැවැ එහිම උපදනවුන් සඳහා මේ කී)

විශේෂ:- අරූපභවයෙන් සැවැ යට - යට අරූතලයෙහි හෝ රූපාවචරයෙහි හෝ නූපදී. මතු අරූතලයෙහි ද කාම භවයෙහි ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධිකව ද උපදී.

කිසිකලෙක (අමහග්ගත බහිද්ධාරම්මණ) ප්‍ර‍ථම - තෘතීයා රූප්‍ය චුතියට අනතුරුවැ (මහග්ගත අජ්ඣත්තාරම්මණ) ද්විතීය චතුර්‍ථාරූප්‍ය ප්‍ර‍තිසන්‍ධිය වේ. මේ අරූප භූමියෙහි ක්‍ර‍මය යැ.

කිසිකලෙක චතුස්කන්‍ධ වූ ආරූප්‍ය චුතියට අනතුරුවැ පඤ්චස්කන්‍ධ වූ කාමාවචර ප්‍ර‍තිසන්‍ධිය වේ.

කිසිකලෙක පඤ්චස්කන්‍ධ වූ කාමාවචර චුතියට ද, රූපාවචර චුතියට ද අනතුරුවැ චතුස්කන්‍ධ වූ ආරූප්‍ය ප්‍ර‍තිසන්‍ධිය වේ.

ඇතැම් කාමසුගති චුතියට අනතුරුවැ ඇතැම් දුගති පටිසන්‍ධි වේ.

අහේතුක චුතියට අනතුරුවැ සහේතුක ප්‍ර‍තිසන්‍ධි වේ.

දුහේතුක චුතියෙන් ත්‍රිහේතුක ප්‍ර‍තිසන්‍ධි වේ.

උපෙක්ඛා සහගත ද චුතියෙන් සෝමනස්ස සහගත පටිසන්‍ධි වේ.

අප්‍රීතික චුතියෙන් සප්‍රීතික ප්‍ර‍තිසන්‍ධි වේ.

අවිතර්‍ක චුතියෙන් සවිතර්‍ක ප්‍ර‍තිසන්‍ධි වේ.

අවිචාර චුතියෙන් සවිචාර ප්‍ර‍තිසන්‍ධි වේ.

අවිතර්‍ක-අවිචාර චුතියෙන් සවිතර්‍ක - සවිචාර ප්‍ර‍තිසන්ධිය වේ යැයි ඒ ඒ කීවානට විපරිත වශයෙන් යෙදෙන යෙදෙන පරිදි යෙදිය යුතු.

(විස්තර සුගමයි, මේ චුතියට අනතුරුවැ ප්‍ර‍තිසන්‍ධි ස්කන්‍ධ ආලම්බන- ගති - හේතු-වේදනා-පීති-විතක්ක-විචාර භේදයෙන් වන සේ කී)

“මෙසේ ලද පසැති මෙ දම් මත බවතුරු*[12] යේ

හේ ඉන් බවතුරු නොයේ - නො වේ ඉනුදු අහේනෙන්”

“මෙසේ මේ ලබන ලද ප්‍ර‍ත්‍යය ඇති මේ රූපා‘රූප ධර්‍මමාත්‍ර‍ය භාවාන්තරගත වේ. ප්‍ර‍තිසන්‍ධි විඥානය ඒ පූර්‍ව භවයෙන් භවාන්තර සංක්‍ර‍මනය නො වේ. ඒ අතීත භවයෙන් හේතුවක් නැතිවැ පහළ වන්නේ ද නොවේ.”

විස්තර:- මේ කී සේ ලබන ලද අවිද්‍යාදී ප්‍ර‍ත්‍යය ඇති (මේ ප්‍ර‍තිසන්‍ධි විඥානය) රූපා‘රූප ධර්‍මමාත්‍ර‍ය ඉපදීම් වශයෙන් භවාන්තර ගත වේ. බාහිර පරිකල්පිත (ආත්මයෙක් නැති) සත්ත්‍වයෙක් හෝ ජීවයෙක් හෝ භවාන්තරගත වේ. ඒ විඥානයා ගේ ද අතීත භවයෙහි මේ භවයට සංක්‍ර‍මණයෙක් නැති. අතීත භවයෙහි හේතුවක් නැතිවැ මේ භවයෙහි පහළ වීමෙකුදු නැති. (මෙය මනුෂ්‍ය චුතියෙන් හා ප්‍ර‍තිසන්‍ධියෙන් ප්‍ර‍කට කෙරේ.)

ඒ මෙසේ යි:- අතීත භවයෙහි ක්‍ෂය වූ ආයුසංස්කාර ඇතිවැ හෝ තමා ගේ හෝ මෙරමාගේ හෝ උපක්‍ර‍මයෙකින් ආසන්න මරණ ඇතියහු ගේ සියලු අඞ්ගප්‍ර‍ත්‍යඞ්ග බන්‍ධනයන් සිඳුනා මාරණාන්තික වේදනා නමැති ශස්ත්‍ර‍ ප්‍ර‍හාරයන් නො ඉවසිය හැක්කාහු ගේ සිරුර අව්වෙහි බහාලු අලුත් තල්පතක් සේ ක්‍ර‍මයෙන් වියළෙන කල චක්‍සුරාදි ඉන්‍ද්‍රියයන් නිරුද්‍ධවැ ගිය කල්හි කායින්‍ද්‍රිය, මනින්‍ද්‍රියයන් හෘදයවස්තු ප්‍රදේශ මාත්‍රයෙහි පිහිටි කල්හි එකෙණෙහි ශේෂ හෘදය වස්තුව ඇසුරු කළ විඥානය, මාතෘඝාතකාදී ගරුකර්‍මය, නැවත නැවත සමාසේවිත ආචීණීකර්‍මය, ආසන්නකර්‍මය පූර්‍ව භවයෙහි කරන ලද අපරාපරියවෙද්‍ය වශයෙන් එළඹ සිටි කටත්තකර්‍මය යන මොවුන් අතුරින් එකක් ලබනලද අවිද්‍යාදී අවශේෂ ප්‍ර‍ත්‍යය ඇති සඞ්ඛාර සඞ්ඛ්‍යාත කර්‍මය හෝ ඒ කර්‍මය විසින් එළවන ලද කර්‍මනිමිත්තය, ගතිනිමිත්තයැ යි කියන ලද විෂය අරභයා පවතී. (අතීතයෙහි කල්ප කෝටි ශතසහශ්‍ර‍ මස්තකයෙහිදු කර්‍මයෝ විපාක කාලයෙහි අවුත් කර්‍මය හෝ කර්‍ම නිමිත්තයන්වැ වැටහෙති යනු සන්‍යයි.)

ගති නිමිත්ත නම් උපදනා ස්ථානයෙහි යම් කිසි වර්‍ණයෙකි. මෙසේ පවත්නා ඒ විඥානය තෘෂ්ණා-අවිද්‍යා අප්‍ර‍හීණ බැවින් අවිද්‍යාවෙන් මුවහකළ ආදීනම ඇති ඒ කර්‍මාදී විෂයෙහි අතෘෂ්ණාව ප්‍ර‍තිසන්‍ධි ස්ථානයට අභිමුඛකොට නමයි. චුති චිත්තයට ආසන්න ජවන් සිතෙහි පැවැති චේතනාව හෝ සහජාත ඵස්සාදි චෛතසික හෝ ප්‍ර‍තිසන්‍ධියට ස්ථානවූ කර්‍මාදි විෂයෙහි විඥානය බහාලන්නාක් මෙන් වේ. ඒ ප්‍ර‍තිසන්‍ධි විඥානය චුති-ප්‍ර‍තිසන්‍ධි තදාසන්න විඥානයන්ගේ සන්තති වශයෙන් (පෙළගැසීම් වශයෙන්) පමුණුවන ලද එකත්‍ව ඇත්තේ තෘෂ්ණාව විසින් නමනු ලබන්නේ සංස්කාරයන් විසින් බහාලනු ලබන්නේ මෙතෙර ගසක බඳනා ලද රැහැනක එල්බ සිටි තැන හැර ඇළ ඉක්ම එතෙර පිහිටන පුරුෂයකු සේ පළමු භවයෙහි පැවැති නිශ්‍ර‍ය වස්තු රූපය පඤ්චවෝකාර භව වශයෙන් ආස්වාදනය කරමින් හෝ චතු වෝකාර භව වශයෙන් ආස්වාදනය නො කෙරෙමින් හෝ ආලම්බනාදී ප්‍ර‍ත්‍යය ශක්තීන් හේතු කොට ගෙන පවතී.

මෙහි පූර්‍ව චිත්තය මේ භවයෙන් ගිළිහෙන හෙයින් චුතිය යි ද, පශ්චිම චිත්තය අන්‍ය භවයක් හා ගළපන හෙයින් ප්‍ර‍තිසන්‍ධිය කියනු ලැබේ.

ඒ ප්‍ර‍තිසන්‍ධි චිත්තය පූර්‍ව භවයෙන් මෙහි පැමිණියේ නො වෙයි. පූර්‍ව භවයේ ප්‍ර‍තිසන්‍ධි ජනක කර්‍මය මරණාසන්න ජවන් සිත් හා සම්පයූක්ත සංස්කාරය නැමීම් වශයෙන් පැවැති තෘෂ්ණාවය කර්‍මනිමිත්තාදි විෂයය යන හේතූන්ගෙන් තොරවැ පහල නොවූයේ යයි දතයුතු-

(විස්තර:- මෙසේ තෘෂ්ණාවෙන් නැමීමය යනාදීන් නැමීමය, බහාලීමය, පූර්‍වනිශ්‍ර‍ය හැරීමය, අපර නිශ්‍ර‍ය ගැනීම ය, නිශ්‍ර‍ය රහිත නො පැවැත්මය යන මොහු සන්තති වශයෙන් එකම විඤ්ඤාණයාගේ අවස්ථා භේදයෝ යි. මෙයින් “තදෙවිදං විඤ්ඤාණං සන්‍ධාවති සංසරති අනඤ්ඤං[13] යි ‘ඒ මේ එකම විඤ්ඤාණය භවයෙන් භවයට දුවයි, සැරිසරයි, අනෙකක් නොවේය යි” පැවති ශාස්වතවාදය බැහැර කෙරේ.

මෙහි උපමාන උපමේය සංසන්‍දනය

මෙතෙර ගසෙහි බැඳි අත්ත මෙන් පූර්වභව (ආත්ම භාව) ය පිළිබඳ කර්මාදි ආලම්බන දත යුතු. පුරුෂයා මෙන් විඤ්ඤාණය ද, ඔහුගේ ඇළ ඉක්මවන රිසිය සේ තෘෂ්ණාව ද, ඇළ ඉක්මවන ප්‍රයෝගය සේ බහාලන චේතනාදිය සංස්කාරය ද, ඒ පුරුෂයා එතෙර පොළොවෙහි පිහිටන්නේ එතෙර රුක්හි බැඳි රැහැන් ආදියක් ගන්නා සේ පඤ්චවොකාර භවය ද, නො ගන්නා සේ වතුවෝකාර භවය ද, ස්වකීය බලයෙන් පොළොවෙහි පිහිටන්නා සේ ආලම්බන සම්පයුක්ත ධර්මයෙන්ම පැවැත්ම ද දත යුතු. මේ දෙ සිත් අතුරින් පළමු සිත චුතවන හෙයින් චුති නමි. පසු සිත අන්‍ය භවය ගළපන හෙයින් පටිසන්‍ධි නමි. පටිසන්‍ධි සිත පූර්ව භවයෙන් මේ භවයට ආයේ නොවේ. ඒ පූර්‍ව භවයෙහි (කර්‍ම) චුත ආසන්න ජවය චිත්තයෙහි වූ සඞ්ඛාරය නමින් තෘෂ්ණාය, කර්මනිමිත්තාදි විෂයය ද යන හේතු නැතිව පහළ වූයේ ද නො වේ.

“සිත් පරපුරමුත් - එකත් තනත්*[14] නො වන බවැ

පිළිගොස - පහන් ඈනන් - නිදසුන් වෙතියි දන්නේ”

තවද මේ ප්‍ර‍තිසන්‍ධි විඤ්ඤාණය පූර්ව භවයෙන් මේ භවයට නො ඊමෙහිද, ඉකුත් භවයෙහි පැවති හේතූන් නිසා උපන් බව්හි ද, ප්‍රීතිඝෝෂා - ප්‍ර‍දීප - මුද්‍රා ප්‍ර‍තිබිම්බ යන මේ ආකාර ධර්මයෝ නිදර්ශන වෙති’

මෙසේ ප්‍ර‍තිරාවය, ප්‍ර‍දීපය, මුද්‍රාවය, ඡායාව යන මොවුහු ශබ්දාදි හේතුන්ය නිසා පවතිත්.

ඒ එසේ මැයි:- ප්‍ර‍තිරාවය ශබ්දය නිසාද, ප්‍ර‍දීපය අන්‍ය ආලෝකයක් නිසාද, මුද්‍රාව සීල් එක නිසා ද, ප්‍ර‍තිරූපය ආදර්ශාදිය අභිමුඛවීම නිසා ද තුබූතන්හි තිබියදීම වේ.

මොවුන් ගේ ප්‍ර‍ත්‍යය - ප්‍ර‍ත්‍යයොත්පන්න භාවය ඇති කල්හි සන්තානබද්ධ භාවයට ප්‍ර‍කට නොවේ. ඔවුන් ඒකත්‍ව නානාත්‍ව භාවය පරාමර්‍ශනය නො කොට අතීත භවයෙන් අනාගමනය හා අතීත භවයෙහි වූ හේතුවෙන් උපන් බව මෙයින් ප්‍ර‍කට කෙරේ. ශබ්දය බැහැර අනුනාදය පවත්නා තැනට නො ගොස් එය පැවැත්මට හේතු වන්නේ ය. ශබ්දයට පෙරැ ප්‍ර‍තිරාවය නො වූ හෙයිනි. මෙසේ ම මේ ප්‍ර‍තිසන්‍ධි චින්තනය ද පූර්‍වභවයෙන් මේ භවයට ආයේ ද නොවේ. පූර්‍ව භවයෙහි හේතුන් විනා උපදනේ ද නොවේ.

මේ චුති - ප්‍ර‍තිසන්‍ධි සිත් හි ද, පරම්පරා සම්බන්ධයෙහි ද ඒකත්වයෙකුදු නැති.

පරම්පරා සම්බන්ධය ඇති හෙයින් නානාත්‍වයෙකුදු නැති.

නිදර්ශන :- පරම්පරා සම්බන්ධයෙහි ඒකාන්තයෙන් ඒකත්වයෙක් වේ නම් කිරෙන් දී හට නො ගනී, එසේ ම ඒකාන්ත නානාත්වය වේ නම් දී, කිරි අයත් නොවේ. (ක්‍ෂීර ස්වාමියාට දී අයත් නොවේ) බීජ-අඞ්කුරාදි හේතු හා හේතු සමුත්පන්න ධර්මයන්හි ද මෙසේ මැයි, මෙසේ පවත්නා සියලු ලෝක ව්‍යවහාරය අප්‍ර‍සිද්ධ වේ. හෙද අනිෂ්ට ය, එහෙයින් සියලු ලෝක ව්‍යවහාරය අසිද්ධ වේ. හෙච අනිෂ්ටය, එහෙයින් මේ සන්තාන බද්ධ හේතු හේතු සමුත්පන්නයන් ගේ ඒකාන්ත එකත්‍වය හෝ නානාත්‍වය නො ගත යුතු.

විශේෂ : මෙහි ඒකාන්ත ඒකත්‍වවාදය ප්‍ර‍තික්‍ෂේප කළ හෙයින් “සයං කතං සුඛ දුක්ඛං” සුව දුක් තෙමේ ම කෙළේය” යන ශාස්වත ග්‍ර‍හණය ප්‍ර‍තිෂෙධ කෙරේ.

එකාන්ත නානාත්‍වය ප්‍ර‍තිෂේධ කළ හෙයින් “පරං කතං සුඛ දුක්ඛං” මෙරමා සුවදුක් කෙළේය’ යන උච්ඡෙද දෘෂ්ටිය ද “අඤ්ඤො කරොති අඤ්ඤෙ පටිසංවෙදෙති” අනෙකෙක් කෙරේ අනෙකක් විපාක විඳී’ යන මේ දෘෂ්ටිය ද වළකා එයින් කෘත ප්‍ර‍නාශය හා අකෘතාගමනය ද නිවෘත්ත වේ.

හේතූ :- හේතුසමුත්පන්න වචනයෙන් අධිව්වසමුප්පන්න වාදය වළකා, මෙයින් ම නියතිස්වභාවවාදය ද නිරස්ත යැ.

ප්‍ර‍ශ්නයෙකි :- මෙසේ නො ගොස්ම ඉපදු ම ඇතිකලැ මේ මිනිසත් බවෙහි පැවති ස්කන්‍ධ නිරුද්ධ වූ බැවින් ඵලයට ප්‍ර‍ත්‍යය වූ කර්මය ද ඒ ඵලය උපදනා තැනට නො යන හෙයින්ද, කර්මය කළ තැනැත්තහු කෙරෙන් අනෙකක් හට ඒ ඵලය වන්නේ නොවේ ද, ඵලය අනුභව කරන්නකු නැති කල්හි ඒ ඵලය කවකුහට වේද, එහෙයින් මේ විධානය නො මැනවි නොවේද.

පිළිතුර :- “පරපුර නිපන් පල - අන්හට අනෙකින් නොවැ,

බිජුවට සකස් කළ සේ - මෙ අරුතට නිදසුන් වේ.”

විස්තර - එක් සන්තතියෙකැ කර්මය නිපන් පෙළෙහි ම උපදනා ඵලය ඒ එකම සන්තතියෙහි නියමයෙන් ම ඒකත්‍වය ද, නානාත්‍වය ද වැළකූ හෙයින් කර්මය සකස් කළහු කෙරෙන් අනෙකක්හට විපාකය වේ යයි හෝ ඒ කර්මයෙන් අන්‍ය හේතුවකින් (අනෙකකු කළ කර්මයක් හේතු කොට ගෙන) ඒ විපාකය වේ යයි හෝ කිවයුතු නො වේ. මේ අදහසට අඹ බිජු ආදිය චතු මධුරාදියෙහි යොදා කළ සංස්කාරය (සක් කිරීම) සාධක ය.

නිදර්ශන :- චතුමධුරයෙහි ලා සකස් කළ අඹ බිජුවට සෘතුජ රූප පරම්පරාවෙහි ලබන ලද ඵල විශේෂ ඇතිවැ කාලාන්තරයෙකින් ආම්‍රාදි ඵල උපදනේ අන්‍ය බීජයන් ගේ ඵල නූපදනේ යි. ඒ බිජුවට ද, ඒ සකස් කිරීම් ද, ඵල ස්ථානයට ද නො පැමිණේ.

උපමාන - උපමෙය සංසන්‍දනය :- සකස් කළ බීජයන් මෙන් කර්මය කළ සත්ත්වයා ද, සකස් කිරීම මෙන් කර්මය ද, බීජයා ගේ අඞ්කුරාදි පරපුර මෙන් සත්ත්වයා ගේ ප්‍ර‍තිසන්ධි විඥානාදි සන්තතිය ද, එයින් හටගත් ඵලයා ගේ බිහිරි බව ඒ සකස් කිරීමෙන් වවාක් මෙන් කර්මය කළා වූ සත්ත්වයා ගේ ම ඒ කර්මයෙන් විපාකය ඉපදීම ද දත යුතු.

අනෙකකුදු ඇති :- ළදරු කල පුහුණු කල ශිල්පශාස්ත්‍රාදිය ද, යෙදූ ඖෂධාදිය ද, කාලාන්තරයෙහි වැඩුණු කල ද එම වෘද්ධ ශරීරයෙහි ඵල දීම ද මෙයට සාධක යැ. ළදරු සිරුරෙහි කළ ශිල්පාභ්‍යාස - ඖෂධ ප්‍රයෝග වෘද්ධ ශරීරයට සන්තති පර්‍ය්‍යපන්න හෙයින් පිහිටන්නේ යි නීරොග බව් සාධන්නේ යි. ඒ විද්‍යාභ්‍යාසාදිය නැති හෙයින් කල නො පිහිටන හෙයින් අන්‍ය හේතුවකිනුදු නො වන්නේ යි. මෙ සේ නාම - රූප සන්තති වශයෙන් පවත්නා ප්‍ර‍තිසන්ධි සඞ්ඛ්‍යාත ඵලයන් කර්ම රැස්කළ සන්තතියටම මුත් අනෙකකට නොවේ. එසේ ම සකස් කළ කර්ම හේතුවෙන් ම මුත් අනෙක් හේතුවකිනුදු නො වේ. අන්‍යසන්තානගත කර්ම හේතුවකිනුදු නොවේ.

තවද ප්‍ර‍ශ්නයෙකි :- ඵල අනුභව කරන්නෙකු නැතිකළ ඵලය කවරෙකුට වේ ද?

(විපාක විඳින්නකු නැති කල විපාකය කවරෙකුට වේ ද යනු ආසය යි.)

පිළිතුර :- “පල ඉපදුණු මතින් - බුදුනෙකැයි බැවහර වේ.

පල හටගැනුමෙන් ම රුකැ - පල ගනිතැයි කියන වැනි”

විස්තර :- රුකයයි ව්‍යවහාරයට කාරණ වූ (රුක නම් වූ) රූපධර්මයන්ගේ එක් අවයවයක් වූ ගෙඩිය හට ගැනීමෙන් ගස් පලගනිය යි කියන්නා සේ දිව්‍ය මනුෂ්‍ය නම් වූ ස්කන්ධයන් ගේ එක දේශයක් වූ අනුභව කිරීම නම් වූ සුවදුක් විපාකය (ඵලය ඉපැද්දීමෙන් ම දෙවියෙක් හෝ මිනිසෙක් හෝ සැප වළඳයි සැපතට පැමිණෙයි. දුකට පැමිණේයැයි කියනු ලැබේ.)

(මෙසේ මේ ස්කන්ධ සන්තතියෙහි කුසල - අකුසල චේතනා උත්පත්තියක්අ ැති කල පින් පව් කෙරේය යි කර්තෘව්‍යවහාරය ද ඒවායේ ඵලෝත්පත්තිය 6විපාක) ත් ඇති කළ එම සන්තානය සැප දුක් විඳීය යි උපභුඤ්ජක ව්‍යවහාරය ද, වන හෙයින් මේ සන්තානයෙහි අනුභව කරන්නා වූ අන් කිසිවකු ගෙන් අර්ථයෙක් නැති)

ප්‍ර‍ශ්නයෙකි :- මෙසේ වන්නා මේ සංස්කාරයෝ විද්‍යමාන වූවෝ ම ඵලයට ප්‍ර‍ත්‍යය වෙද්දී ද අවිද්‍යාමාන වූ වෝ ඵලයට ප්‍ර‍ත්‍යය වෙද්ද

පිළිතුර :- විද්‍යමාන වූවෝ ඵලයට ප්‍ර‍ත්‍ය වෙත් නම් ඒ සංස්කාරයන් ගේ වර්තමානක්‍ෂණයෙහි ම විපාක විය යුතු ය. අවිද්‍යාමානවූවෝ ඵලයට පැමිණ ප්‍ර‍ත්‍යය වෙත් නම් කර්මය කිරීමට පෙර ද විපාක විය යුතු ය. පසුව ද විපාක විය යුතු. නිතරම ද විය යුතු. එහෙයින් (ඕ හට මෙසේ පිළිතුරු දිය යුතු)

“කෙළෙන් මේ පස වේ - නිතර පල දෙනු නොද වේ

ඇප වී ණය ගැනුම මෙහි - නිදසුන් ලෙසින් දන්නේ”

විස්තර :- මේ සංස්කාර කළ හෙයින් තම - තමාගේ ඵලයට ප්‍ර‍ත්‍යය වනු විනා විද්‍යාමාන බැවින් හෝ අවිද්‍යාමාන බැවින් හෝ නොවේ.

එයින් වදාළහ, “කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිත්තතා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති”[15] ‘කාමාවචර කුශල කර්මය කළ හෙයින් රැස්කළ හෙයින් විපාකය වූ චක්ඛුවිඤ්ඤාණය උපන්නේ වේ’ යනාදියයි ඒ සංස්කාර තමහට සුදුසු ඵලයට ප්‍ර‍ත්‍ය වැ නැවත ඵල උපදව්නනේ නොවේ, දෙන ලද විපාක ඇති හෙයිනි.

මේ අර්ථය හැඟවීමට මේ ඇපවීම් ආදිය නිදර්න වේ යයි දත යුතු.

ඒ මෙසේ යි:- ලෙව්හි යම්කිසිවෙක් යම් කිසි වස්තුවක් ඒ වෙනුවට දීම සඳහා ඇප වී බඩුවක් හෝ ගනී, ණයක් හෝ ගනී, ඔහුගේ ඒ ක්‍රියා මාත්‍ර‍ය ම ඒ වස්තු දීම සඳහා ප්‍ර‍ත්‍යය වේ. හුදෙක් ඒ ඇපවීම් ආදී ක්‍රියාව විද්‍යාමාන බව හෝ අවිද්‍යාමාන බව හෝ කරුණු නොවේ, ඒ ණය ගෙවීම් ආදියෙන් මත්තෙහි ණය දරන්නේ ද නොවේ. ණය ගෙවීම් ආදිය කළ හෙයිනි.

මෙ සේ කළ හෙයින් ම සංස්කාරයෝ තමා ගේ ඵලයට ප්‍ර‍ත්‍යය වෙති, සුදුසු සේ විපාක දානයෙන් පසු මතුයෙහි ද විපාක දෙන්නෝ නො වෙති. මෙතෙකින් රූප මිශ්‍ර‍-අමිශ්‍ර‍ වශයෙන් දෙපරිද්දෙකින් පවත්නා ප්‍ර‍තිසන්ධි විඥානයා ගේ සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් පැවැත්ම දක්වන ලදී.

දැන් ඒ දෙතිස් විපාක විඥානයා ගේ මුළාව දුරු කිරීම පිණිස මේ කියා,

“පිළිසිඳ හා පවත්*[16] විසින් බව - යොන් ඈහී

සකර යමකට යම් සේ - පසවෙද එසේ දන්නේ”

(මෙහි භව තුනෙකි, යෝනි සතරෙක, ගති පසෙකි, විඤ්ඤාණඨිති සතෙකි, සත්තාවාස නවයෙකි)

මේ භවාදියෙහි මේ සංස්කාර ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද, යම් විපාක විඥානයකට ප්‍ර‍ත්‍ය වේ නම් යම් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ නම් ඒ එසේ දත යුතු යැ යන අර්ථයයි.

කෙසේ ද යත් :- පළමුවැ පුණ්‍යාභිසංස්කාරයන් අතුරින් අට කාමාවචර චේතනා භේදය වූ පුණ්‍යාභිසංස්කාර නොවෙනස්වැ ‘ත්‍රිහේතුක කර්ම ත්‍රිහේතුක විපාක දේ’ යනාදි ක්‍ර‍මයෙන් සාමාන්‍යයෙන් කාම සුගති භවයෙහි නව විපාක විඤ්ඤාණයට ප්‍ර‍තිසන්ධි කාලයෙහි නානාක්‍ෂණික කර්මප්‍ර‍ත්‍යයෙන් ද, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන්දැයි දෙපරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ.

රූපාවචර කුසලචේතනා පස වූ පුණ්‍යාභිසංස්කාර රූප භවයෙහි ප්‍ර‍තිසන්ධි කාලයෙහි ම පඤ්චවිධ විපාක විඥානයට ඒ දෙපරිද්දෙන්ම ප්‍ර‍ත්‍යය වේ.

යට කී කාමාවචර පුණ්‍යාභිසංස්කාර සුගති කාමභවයෙහි උපේක්ඛාසහගත අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුව (උපේක්ඛා සහගත සන්තීරණ) හැර සත් අහේතුක විපාක විඥානයට නානාක්‍ෂණික කර්ම ප්‍ර‍ත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය නො වේ. හේම රූප භවයෙහි චක්ඛු - සෝත - සම්පටිච්ඡන - සන්තීරණ යන පස් විපාක විඥානයට එසේම ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නොවේ. දුගිතී කාම භවයෙහි අහේතුක විපාක විඤ්ඤාණ අට එසේ ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි ප්‍ර‍ත්‍යය නොවේ.

විස්තර - (එහි) නිරයෙහි මහමුගලන් තෙරුන් නරක චාරිකාදියෙහි සෘද්ධියෙන් වැසි වස්වා නිරෑ ගිනි නිවා මොහොතක් ධර්මදේශනා කරන කල්හි ඒ කාමාවචර පුණ්‍යාභිසංස්කාර අට පරිනත විපාකයට ප්‍ර‍ත්‍යය වේ. මහා සෘද්ධි ඇති නාග සුපර්ණාදි තිරිසනුන් හා ප්‍රේතයන් විෂයෙහි ද ඉෂ්ටාලම්බන ලැබේමය.

ඒ කාමාවචර පුණ්‍යාභිසංස්කාර අට කාම සුගතියෙහි සොළොස් (16) කුශල විපාක විඥානයට එකසේ ම ප්‍ර‍වෘත්ති ප්‍ර‍තිසන්ධි දෙක්හි ම ප්‍ර‍ත්‍යය වේ.

(විශේෂ - ප්‍ර‍තිසන්ධි විපාක නවයට ප්‍ර‍තිසන්ධියෙහි ද සියල්ලට ප්‍ර‍වෘත්තියෙහි ද ප්‍ර‍ත්‍යය වේ.)

සියලු කාමාවචර - රූපාවචර පුණ්‍යාභිසංස්කාර රූප භවයෙහි යට කී කාමාවචර පස ද, රූපාවචර පස ද යන) දස විපාක විඥානයට ප්‍ර‍වෘත්ති - ප්‍ර‍තිසන්ධි දෙක්හි ම ප්‍ර‍ත්‍යය වේ.

විශේෂ - කාමාවචර පස ප්‍ර‍වෘත්තියෙහි ද, රූපාවචර පස් ප්‍ර‍වෘත්ති - ප්‍ර‍තිසන්ධි දෙක්හිම ද ප්‍ර‍ත්‍යය වේ.)

දොළොස් අකුසල චේතනා වූ අපුණ්‍යාභිසංස්කාර කාම දුගති භවයෙහි එක් විපාක විඤ්ඤාණයකට ප්‍ර‍තිසන්ධියෙහි ද සයකට ප්‍ර‍වෘත්තියෙහි ද ප්‍ර‍ත්‍යය වේ.

උපෙක්ඛා සසහගත අකුසල විපාක සන්තීරණය හැර අනෙක් සයට ප්‍ර‍වෘත්තික්‍ෂණයේ ද්වාදශ අකුශලය ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි ප්‍ර‍ත්‍යය නොවේ.

සත් අකුසල විපාක විඥානයට ම ප්‍ර‍ත්‍යය වන බැවින් සදෙනෙකුට ප්‍ර‍වෘත්තියෙහිදු එකකට ප්‍ර‍වෘත්තියෙහි හා ප්‍ර‍තිසන්ධියෙහි ද ප්‍ර‍ත්‍යය වේ. කාම සුගති භවයෙහි එම අකුසල විපාක සතටම එසේම ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නොවේ.

රූප භවයෙහි චතුර්විධ (චක්ඛු සොත - සම්පටිච්ඡන සන්තීරණ) අකුසල විපාක විඥානයනට ප්‍ර‍වෘත්තියෙහි ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍තිසන්ධියෙහි නොවේ.

විශේෂ - ඒ වූ කලී රූප භවයෙහි අනිෂ්ට රූප දර්ශන ශබ්ද ශ්‍ර‍වණ නැති හෙයින් කාම භවයෙහි වේ. කාමාවචර දිව්‍ය ලෝකයෙහි ද අනිෂ්ට රූප ශබ්ද නැත. පූර්ව නිමිති වශයෙන් මලානික මල්මාලාදි අනිෂ්ටාලම්බන වශයෙන් කිසි කලෙක ලැබේ.

ආනෙඤ්ජාභිසංස්කාරය අරූප භවයෙහි සතර විපාක විඥානයට එසේම ප්‍ර‍වෘත්ති - ප්‍ර‍තිසන්ධියන්හි ප්‍ර‍ත්‍යය වේ.

මෙසේ සංස්කාර කාමාදි භවත්‍රයෙහි ප්‍ර‍තිසන්ධි - ප්‍ර‍වෘත්ති වශයෙන් යමකට ප්‍ර‍ත්‍යය වේ නම්, යම් සේ ප්‍ර‍ත්‍යය වේ නම් එසේ ද දත යුතු.

යෝනි ආදියෙහි පැවැත්ම ද මේ නයින් ම දත යුතු. මේ ලෙස මාත්‍රයෙකි, මොවුනතුරින් පුණ්‍යාභිසංස්කාර, කාම - රූප භවයන්හි පිළිසිඳ දී තමා සියලු විපාක උපදවයි.

එසේම අණ්ඩජාදි සතර යෝනියෙහි ද, දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි ද, සියලු කාම සුගති සඞ්ඛ්‍යාත නානත්ත කායා නානත්තසඤ්ඤිවිඥානස්ථිතියෙහි ද, ප්‍ර‍ථමධ්‍යානභූමි සඞ්ඛ්‍යාත නානාත්ත කායා එකත්ත සඤ්ඤ විඥානස්ථිතියෙහි ද, ද්විතීය ඥාන භූමි සඞ්ඛ්‍යාත එකත්තකායානානත්තසඤ්ඤි විඥානස්ථිතියෙහි ද, තෘතීයාධ්‍යාන භූමි හා වෙහප්ඵල සඞ්ඛ්‍යාත එකත්තකායා එකත්තසඤ්ඤා විඥානස්ථිතියෙහිදැයි සතර විඥාන ස්ථිතියෙහි ද, (අසංඥ සත්ත්‍වාවාසයෙහි වනාහි මේ පුණ්‍යාභි සංස්කාරය රූප මාත්‍ර‍ය ම සංස්කරණය කරන හෙයින්) සතර සත්ත්‍වාවාසයෙහිම ප්‍ර‍තිසන්‍ධි දී තමා ගේ සියලු විපාක දනවයි.

එහෙයින් මේ පුණ්‍යාභිසංස්කාරය භව දෙකෙහි ද, චතුර්‍යොනියෙහි ද, දෙගතියෙහි ද, සතර විඥාන ස්ථිතියෙහි ද, සතර සත්ත්‍වාවාසයෙහි ද විසි එක් (21) විපාක විඥානයනට නානාක්‍ෂණික කර්මප්‍රත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන්‍ හා ප්‍ර‍ත්‍යය වේ.

නිශ්චය - කාමාවචර - රූපාවචර විසින් එක් (21) කුශල විපාක විඥානයන් අතුරින් තුදුස් (14) දෙනෙකුන්ට ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති දෙක්හි ම ප්‍ර‍ත්‍යය වේ. සත් දෙනෙකුන්ට ප්‍ර‍වෘත්තියෙහි ම ප්‍ර‍ත්‍යය වේ.

අපුණ්‍යාභිසංස්කාරය, එකම (කාම) භවයෙහි ද, සතර යෝනියෙහි ද, නරක - තීර්‍ය්‍යයක් - ප්‍රේත, ගති තුනෙහි ද, ‘නානත්තකායා එකත්ත සඤ්ඤී’ යන එකම විඥාන ස්ථිතියෙහි ද එබඳු එකම සත්ත්‍වාසයෙහි ද ප්‍ර‍තිසන්ධි වශයෙන් විපාක දේ.

මෙසේ අපුණ්‍යාභි සංස්කාර මෙකී තාක් තන්හි සප්ත විඥානයනට ප්‍ර‍තිසන්ධි - ප්‍ර‍වෘත්තීන්හි නානාක්‍ෂණික කර්මප්‍ර‍ත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් හා ප්‍ර‍ත්‍යය වේ.

ආනෙඤ්ජාභිසංස්කාරය - එකම අරූප භවයෙහි එකම ඕපපාතික යෝනියෙහි ද, එකම දේවගතියෙහි ද, ආකාසානඤ්චායතනාදී විඥානස්ථිති තුනෙහි ද, ආකාසානඤ්චායතනාදී සතර සත්ත්‍වාවාසයෙහි ද ප්‍ර‍තිසන්ධි වශයෙන් විපාක දේ.

මෙසේ එකම භවයෙහි, එකම යෝනියෙහි, එකම ගතියෙහි, විඥාන ස්ථිති තුනෙහි, සතර සත්ත්‍වාවාසයෙහි, සතර විඥානයන්ට කර්ම ප්‍ර‍ත්‍යයෙන් හා උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් හා ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති දෙක්හි ප්‍ර‍ත්‍යය වේ.

“පිළිසඳ ද පැවැතුම් - විසිනා බව ඈහි මේ

සකර යමකට යම් සේ - පසවෙද එසේ දන්නේ”

මේ “සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” යන්නෙහි විස්තර කථාවයි.

  1. ධං:සං: චිත්තවිභත්ති 91

  2. එම 109

  3. එම 92

  4. ධ:සං: චිත්තවිභත්ති 91

  5. *කර්මයෙන්

    +භේදයෙන්

    ධ:සං: චිත්තවිභත්ති 82

  6. * දෙකෙක් වේ + භාවයෙනුදු

    ප:ප: පඤ්හවාර 105

  7. * භූමාටු ++යොනියෙහි

  8. *සංසෙදජ ඔපපාතික යොනි දෙකෙහි +උත්කෘෂ්ට වශයෙන්

  9. වි:ප: ධම්මභදය වි:302

  10. පර:දීපනි 2

  11. *ස්කන්‍ධ - ආලම්බන - ගති - හෙතු - වෙදනා +ප්‍රීති - විතර්‍ක-විචාරයෙන්

  12. *භවාන්තර

  13. ම:නි: මජ්ඣිමපණ්නාසක 250

  14. *එකත්‍ව - නානාත්‍ව

  15. ධ:ස: චිත්තවිභත්ති 82

  16. *ප්‍ර‍වෘත්ති