1. අවිජ්ජා පච්චයා සඞ්ඛාරා

අවිද්‍යාව, මේ සූවිසි (24) ප්‍ර‍ත්‍යයන් අතුරින් අවිද්‍යාව

(1) පුණ්‍යාභිසංස්කාරයනට දෙපරිද්දෙකින් ද

(2) අපුණ්‍යාභිසංස්කාරයනට අනේකාකාරයෙන් ද

(3) ආ නෙඤ්ජාභිසංස්කාරයනට එක් ආකාරයෙකින් ද ප්‍ර‍ත්‍යය වේ. ඒ බව්:-

“පච්චයො හොති පුඤ්ඤානං - දුවිධා, නෙකධාපන

පරෙසං, පච්ඡිමානං සා -එකධා පච්චයො මතා”

යන්නෙන් හෙළි වෙයි.

විස්තර:- (1) පුණ්‍යාභිසංස්කාරයනට ආලම්බන ප්‍ර‍ත්‍යයයෙන් ද, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන්දැ යි දෙපරිද්දෙකින් ප්‍ර‍ත්‍යය වේ.

ඒ මෙසේ යි:- අවිද්‍යාව ක්‍ෂය ව්‍යය වශයෙන් සන්මර්‍ශනය කරන කල්හි කාමාවචර පුණ්‍යාභිසංස්කාරයනට ආලම්බන ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

අභිඥා චිත්තයෙන් සමොහ සිත් දැන ගන්නා කල රූපාවචර පුණ්‍යාභිසංස්කාරයනටද, ආලම්බන ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

අවිද්‍යාව ඉක්මවීම පිණිස දානාදී කාමාවචර පුණ්‍යක්‍රියා වස්තු පුරන්නට ද, උපනිශ්‍ර‍ය ප්‍රත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

අවිද්‍යාවෙන් මුළා වූ හෙයින් කාම-රූප භව සම්පත්තීන් පතා ඒ කාමාවචර-රූපාවචර පින් කරන්නහුට එසේ උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(2) අපුණ්‍යාභිසංස්කාරයනට අනේකාකාරයෙන් ප්‍ර‍ත්‍යය වන්නේ මෙසේ යි.

(i) අවිද්‍යාව අරමුණු කොට (රාග-දිට්ඨි-විචිකිච්ඡා-උද්ධච්ච දෝමනස්ස යන මොහු අවිද්‍යා සම්ප්‍ර‍යුක්තයහ) රාගාදීන් උපදනා කල්හි අවිද්‍යාව ආලම්බනප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(ii) රාගාදිය ගරුකොට ආස්වාදනය කරන කල්හි ආලම්බනාධිපති - ආලම්බනොපනිශ්‍ර‍ය වශයෙන් ප්‍ර‍ත්‍ය වේ.

(iii) අවිද්‍යාවෙන් මුළාව (ආදීනව නො දැන) ප්‍රාණවධාදිය කරන්නහුට උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ද, ද්විතීය ජවනාදියට අනන්තර - සමනන්තර - අනන්නතරොපනිශ්‍ර‍ය - ආසෙවන නත්‍ථි - විගත ප්‍ර‍ත්‍යයයෙන් ද,

(iv) යම්කිසි අකුසලයක් කරන්නහුට හේතු-සහජාත-අඤ්ඤමඤ්ඤ-නිස්සය-සම්ප්‍ර‍යුත්ත-අත්‍ථි-අවිගත ප්‍ර‍ත්‍යයයෙන්දැයි මෙසේ නොයෙක් ආකාරයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(v) ආනෙඤ්ජාභිසංස්කාරයනට, උපනිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයයෙන් එක් ආකාරයෙකින් ප්‍ර‍ත්‍යය වේ. ඒ උපනිශ්‍ර‍ය භාවය පුණ්‍යාභිසංස්කාරයෙහි සමතික්‍ර‍ම භව ප්‍රාර්ථනා වශයෙන් කී සෙයින් දතයුතු.

ප්‍ර‍ශ්නයෙකි:- මේ හුදු අවිද්‍යාව සංස්කරණයනට ප්‍ර‍ත්‍යය වේ ද නැතහොත් එයට සහකාරී අන්‍ය ප්‍ර‍ත්‍යයෝත් වෙද්ද

හුදෙක් අවිද්‍යාවම සංස්කාරයනට ප්‍ර‍ත්‍යය වේ ය යි කීකල ඒකකාරණ වාදය වේ. (තවද අන්‍ය ප්‍ර‍ත්‍යයෝත් වෙත් නම් කුමක් හෙයින් අවිජ්ජා පච්චයා සඞ්ඛාරා යි එකම කාරණයක් නිර්‍දෙශ කිරීම යෙදේ ද)

පිළිතුර:- නො යෙදෙන්නේ නොවේ. කවර හෙයින් ද

“එකං න එකතො ඉධ - නානෙකමනෙකතොපි නො එකං

ඵලමත්‍ථි අත්‍ථිපන -එකහෙතුඵල දීපනෙ අත්‍ථො” යි

මෙහි එක ඵලයෙක් එක හේතුවකින් නො වේ.

අනේක ඵල එක හේතුවකින් නො වේ. එක ඵලයෙක් අනේක හේතුන්ගෙන් නො වේ. අනේකඵල අනේක හේතුන්ගෙන් ම වේ. එහෙත් එක හේතුවකට ඵල එකක් දැක්වීමේ ප්‍රයෝජනයෙක් ඇත්තේ ය.

ඒ මෙසේ යි: සෘතු-බීජ -සලිල ආදි අනේක කාරණයෙන් නොයෙක් රූප - ගන්‍ධ - රසාදි අඞ්කුර සඞ්ඛ්‍යාත අනේක ඵල උපදී. එහෙත් “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං”[1] යනාදීන් එක එක හේතු-ඵල දැක්වීමේ ප්‍රයෝජනයෙක් ඇත්.

විස්තර:- බුදුහු දේශනා විලාශ වශයෙන් හෝ - වෛනෙය්‍ය පුද්ගලාධ්‍යාශය වශයෙන් හෝ (ඒ දෙකින් ම හෝ)

(1) කිසි තැනෙක ප්‍ර‍ධාන බැවින්ද,

(2) කිසි තැනෙක ප්‍ර‍කට බැවින් ද,

(3) කිසි තැනෙක අසාධාරණ බැවින් ද, එකම හේතුවක් හෝ ඵලයක් හෝ වදාරති.

(1) නිදර්‍ශන:- “ඵස්සපච්චයා වේදනා” යන තන්හි ප්‍ර‍ධාන හෙයින් එකම හේතුවක් හා ඵලයක් වදාරති.

ඒ මෙ සේ යි:- ස්පර්‍ශයට නිසි වේදනාව නියම කරන හෙයින් ඵස්සය වේදනාවේ ප්‍රධාන හේතු ව ය. එසේම වේදනා ස්පර්‍ශයෙන් නියම කරන හෙයින් වේදනාව ස්පර්‍ශයේ ප්‍ර‍ධාන ඵලය යැ.

“සුඛ වෙනියං හි (භික්ඛවේ) ඵස්සං පටිච්ච උප්පජ්ජතිසුඛා වේදනා”[2] ‘සුඛවේදනීය ස්පර්‍ශය නිසා සුඛවේදනා උපදී’ යනු පූර්‍වපක්‍ෂයට නිදර්‍ශන යැ.

“චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං තිණ්ණං සංගතිඵස්සො ඵස්ස පච්චයා වෙදනා”1 ‘චක්‍ෂු: ප්‍ර‍සාධරූපාලම්බනයන් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. ඒ චක්ඛුප්පසාද රූපාලම්බන- චක්ඛුවිඤ්ඤාණ තුන නිසා ඵස්සය වේ. ස්පර්‍ශ ප්‍ර‍ත්‍යයෙන් වේදනා වේ. මෙසේ අන්‍ය ප්‍ර‍ත්‍යය සාමාන්‍යයෙනුදු ස්පර්‍ශ ප්‍ර‍ත්‍යයෙන් වේදනා සනිටුහන් වන හෙයින් ද ද්විතීය පක්‍ෂයට නිදර්‍ශන වේ. (මෙසේ කාරණ -ඵලවිශේෂයෙන් හෝ ඵල - කාරණ විශේෂයෙන් හෝ නිශ්චය වේය යි කියන ලදි.)

(2) “සෙමහසමුට්ඨානා ආබාධා” යන තන්හි ප්‍ර‍කට බැවින් එකමහේතුව දැක්වී.

විස්තර :- ව්‍යාධිය කර්‍මය නැතිවැ නො වෙතත් කර්‍ම ආහාර-සෘතු ආදි අප්‍ර‍කට හේතු හෙයින් සෙමට ප්‍ර‍තිකාර කිරීමෙන් රෝගය සංසිඳෙන හෙයින් ප්‍ර‍කට හේතුව ගෙන වදාළහ.

(3) “යෙ කෙචි භික්ඛවෙ අකුසලා ධම්මා සබ්බෙ තෙ අයොනිසො මනසිකාරමූලකා” ‘මහණෙනි! යම් අකුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියල්ල අයෝනිසොමනසිකාරය මුල් කොට ඇත්තාහයි’ අසාධාරණ හෙයින් එකම හේතුව වදාළහ.

වස්තු ආලම්බනාදිය කුසල්-අකුසල් දෙකටම සාධාරණ වුවද, අයෝනිසෝමනසිකාරය අකුසලයට අසාධාරණ හේතු යැ.

මෙසේ සෙස් වස්තු-ආලම්බන සහජාත ධර්‍මාදි සංස්කාරයනට හේතු ඇත ද “සංයොජනීයෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සා දානුපස්සිනො තණ්හා පවඩ්ඪති තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවො” සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාද වශයෙන් බලන්නහුට (අවිද්‍යා බලයෙන් ආදීනව නො පැනෙන හෙයින්) තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදාන වේ. උපාදාන ප්‍ර‍ත්‍යයයෙන් කර්‍ම භව (සංස්කාර) වේ යයි ද “අවිජ්ජා සමුදයා ආසව සමුදයො” අවිද්‍යාව ඇති හෙයින් ආසව වේ’ යයි ද වදාළ හෙයින් සෙසු තෘෂ්ණාදී හේතු ඇත ද සංස්කාරයනට අවිද්‍යාවම ප්‍ර‍ධාන හේතුවයි.

“අවීද්‍වා භික්ඛවෙ අවිජ්ජාගතො පුඤ්ඤාගතො පුඤ්ඤාභිසංඛාරම්පි අභිසඞ්ඛරොති”[3] ‘මහණෙනි! අඥානතෙමේ අවිද්‍යාවට පැමිණියේ පුණ්‍යාභිසංස්කාර ද රැස් කෙරේ’ යයි වදාළ හෙයින් ප්‍ර‍කට හේතු බැවින් ද (අඥානයා අකුසල් කෙරෙයි දන්නා ලබනුව කළ බැවින් යනු සන්‍යයි) දක්වන ලදැ යි දත යුතු. ක්‍ෂීණාශ්‍ර‍වයනට අවිද්‍යා නැති හෙයින් සංස්කාර නූපදී. සෙස්සනට අවිද්‍යාව ඇති හෙයින්ම ත්‍රිවිධ සංස්කාරම උපදනා හෙයින් අවිද්‍යාව සංස්කාරයනට අසාධාරණ හේතුවයි.

මෙසේ “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදී හැම තන්හි ප්‍ර‍තීත්‍ය සමූත්පාදයෙහි ප්‍ර‍ධාන හෙයින් ද, ප්‍ර‍කට හෙයින් ද, අසාධාරණ හේතු හෙයින් ද, එකි එකී හේතු ඵලයන් දැක්වීම බොධනෙය්‍යයන්ගේ (වශයෙන්) ධර්‍මාවබෝධ සඞ්ඛ්‍යාත ප්‍රයෝජනය සඳහා යැ.

ප්‍ර‍ශ්නයෙකි:- (මෙ සේ වන්නා) එකාන්තයෙන් අනිෂ්ට ඵල දායක වූ සාවද්‍ය වූ අවිද්‍යාව පුණ්‍ය - ආනෙඤ්ජාභිසංස්කාරයනට ප්‍ර‍ත්‍යය භාවය කෙසේ යෙදේ ද, ‘කොසඹ බිජුවටින් උක් නූපදිනු?

පිළිතුර:- ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයනට විරුද්ධ වූද, අවිරුද්ධ වූද, සදෘශ වූද, අසදෘශවූ ද ප්‍ර‍ත්‍යයය සිද්ධ වේ. ඒ ප්‍ර‍ත්‍යය සමූත්පන්න ධර්‍මයෝ විපාකයෝ ම නො වෙත්.

මෙසේ වන හෙයින් කෙසේ නො යෙදේ ද යෙදේ මැයි. හුදකේ ප්‍ර‍තීත්‍යසමුත්පන්න ධර්‍මයනට ප්‍ර‍තීත්‍යසමුත්පාද ධර්‍මයන් ගේ ධර්‍මතාව විචිත්‍ර‍ හෙයින් නියම නැති.

විස්තර:- ස්වභාව ධර්‍මයන්ගේ ස්ථිතිය, ස්වභාවය, කෘත්‍යය යනාදියට විරුද්ධ වූද අවිරුද්ධ වූද, ප්‍ර‍ත්‍යය ලෝකයෙහි සිද්ධ යැ.

ඒ මෙසේ යි:- පූර්‍ව චිත්තය පශ්චිම චිත්තයට ස්ථාන විරුද්ධ ප්‍ර‍ත්‍යය යි. (දෙ සිතක් එකවර නො පවත්නා හෙයිනි.) පූර්‍වශිල්පාදී ශික්‍ෂණය පසුවැ පවත්නා ශිල්පාදී ක්‍රියාවනට ස්ථාන විරුද්ධ යැ.

ආරූප්‍ය වූ කර්‍මය කර්‍මජ රූපයනට ස්වභාව විරුද්ධ ප්‍ර‍ත්‍යය යි. (කර්‍මය ආයූහන ස්වභාව යැ. රූපය රූප්පන ස්වභාව යැ. කර්‍මය සාලම්බන ස්වභාව යැ විපාකය අනාලම්බන ස්වභාව යැ) මධුර ස්වභාව ඇති ක්‍ෂීරාදිය අම්බිලස්වභාව වූ දධි ආදියට (ඔවුනොවුනට) ස්වභාව විරුද්ධ ප්‍ර‍ත්‍යය යි.

ආලෝකය චක්‍ෂුරවිඥානයයනට කෘත්‍ය වශයෙන් විරුද්ධ ප්‍ර‍ත්‍යය යැ. (ආලොකයට) අවභාශන කෘත්‍යය ඇති බැවින් හා චක්‍ෂුර්විඥානයට විජානන කෘත්‍යය ඇති හෙයිනි.) ගුළාදිය ආසවාදියට කෘත්‍ය වශයෙන් විරුද්‍ධ ප්‍ර‍ත්‍යය යැ. (සකුරු ආදීන්හි පරිශ්‍ර‍ම දුරු කරන කෘත්‍යය ඇතත් ඉන් පෙරන ආස්වාදියැ මදන කෘත්‍යය ඇති හෙයිනි.)

චක්‍ෂුරූපාදීහු චක්‍ෂුර්විඥානයට ස්ථාන හෙයින් අවිරුද්‍ධ ප්‍ර‍ත්‍යය යැ. (චක්ඛුප්පසාද - රූපාලම්බනාදිය ඇති කල්හි චක්‍ෂුර්විඥානය උපදනා හෙයිනි.)

පූර්‍වජවන පශ්චිම ජවනයට ස්වභාවයෙන් හා කෘත්‍යයේ අවිරුද්‍ධ ප්‍ර‍ත්‍යය යැ. (පූර්‍ව ජවනය හා පශ්චිම ජවනය ද, ඒක ස්වභාවය හා අනන්තර ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වන හෙයින් කෘත්‍යයෙන් සමවැ පවත්නා හෙයිනි.)

විරුද්ධ-අවිරුද්ධ ප්‍ර‍ත්‍යයන් මෙන් ම සදෘශ අසදෘශ ප්‍ර‍ත්‍යය ද වේ.

ඒ මෙසේයි:- සදෘශ වූ ම සෘතු ආහාර සඞ්ඛ්‍යාත රූපය රූපයට ප්‍රත්‍යය වේ. (හැල් වී ආදිය හැල් කරල් ආදියට ප්‍ර‍ත්‍යය වේ.)

අදෘශ්‍ය වූ රූපය අරූපයට (නාමයට) ප්‍ර‍ත්‍යය වේ. අරූපය ද රූපයට ප්‍ර‍ත්‍යය වේ. ගව ලොම් හා පැරැණි එළු ලොම් හී තණට ද, ගව අඟ බට චලට ද, දී-තලපිටි සකුරු එක් කොට ලුයේ භූ තෘණයට ප්‍ර‍ත්‍යය වේ. (භූතෘණ යනු වෙණු යනු සන්‍යයි.) (සුවඳ තණ විශේෂය යනු දීපිකා යි.)

ආදි ශබ්දයෙන් සෙවෙල් ඌරු හැල් වලට ද, කොටලු දෙන අශ්වයනට ද, ප්‍ර‍ත්‍යය වේ.

(විරුද්‍ධා‘විරුධ ප්‍ර‍ත්‍යය යනු විරුද්‍ධ-අවිරුද්‍ධ එකී එකී ප්‍ර‍ත්‍යය ගෙන කීහ. සදෘශා‘සදෘශ ප්‍ර‍ත්‍ය යනු එක් වැනි නො එක් වැනි විසින් රැස් කොට ගෙන කීහ යනු සන්න යි.)

මෙසේ අපට චිත්තාදි ධර්‍මයනට පූර්‍ව චිත්තාදිය විරුද්‍ධ අවිරුද්‍ධ, සදෘශ-අසදෘශ ප්‍ර‍ත්‍යය වන හෙයින් ඒ අපර චිත්තාදී ප්‍ර‍ත්‍යය සමුත්පන්න ධර්‍මයෝ පූර්‍ව චිත්තාදී ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ විපාකම නොවෙති. (විපාක ද වෙති. අවිපාක ද වෙත්.)

(එසේ දුඃඛවිපාක වූ අවිද්‍යාව ගේ අදුඃඛ විපාක ඇති පුඤ්ඤආනෙඤ්ජාහි සංස්කාරයනට ප්‍ර‍ත්‍යයත්‍වය නො යෙදෙන්නේ නො වේ.)

කරුණු මෙසේ හෙයින් අවිද්‍යාව ගේ විපාකත්‍වය නො වතුදු අවිද්‍යාව සාවද්‍ය බැවින් තත් විරුද්‍ධ නො වූ ද, තත්සදෘශ වූ ද අපුණ්‍යාභි සංස්කාරයටම ප්‍ර‍ත්‍යය වෙයි. සෙස්සවුනට ප්‍ර‍ත්‍යය නො වෙයි යන මේ ප්‍ර‍සඞ්ගය වළකනු පිණිස විරුද්‍ධාදී පූර්‍වොක්ත විස්තරය කියන ලදී.

තවද මේ අවිද්‍යාව විපාක වශයෙන් ඒකාන්ත අනිෂ්ට ඵල ඇත්තේ ස්වභාව වශයෙන් සාවද්‍ය වන හෙයින් මේ සියලු පුණ්‍යාභිසංස්කාරාදියට සුදුසු පරිදි ස්ථාන-කෘත්‍ය ස්වභාව-විරුද්‍ධ - අරවිරුද්‍ධ ප්‍ර‍ත්‍යය වශයෙන් ද, සදෘශ අසදෘශ්‍ය වශයෙන් ද, ප්‍ර‍ත්‍යය වේ ය යි දතයුතු.

නිර්ණය:- අවිද්‍යාව, පූණ්‍ය ආනෙඤ්ජාභිසංස්කාරයනට ස්ථානාදීන් විරුද්‍ධ ප්‍ර‍ත්‍යය වේ. පුණ්‍යාභිසංස්කාරයනට සදෘශ්‍ය ප්‍ර‍ත්‍යය වේ. සෙස්සනට අසදෘශ ප්‍ර‍ත්‍යය වේ. ‘අවිද්‍යාව ගේ ඒ ප්‍ර‍ත්‍යය ස්වභාවය ද, දුඃඛාදියෙහි නො දැනීම් සඞ්ඛ්‍යාත ඒ අඥාන ස්වභාවය ප්‍ර‍ගීන නො වූ තැනැත්තේ දුඃඛාදියෙහි හා පූර්‍වාන්තයෙහි ද, අඥාන බැවින් සංසාර දුඃඛය සුඛය යන සංඥාවෙන් ගෙන ඒ සංසාර දුකට හේතු ත්‍රිවිධ සංස්කාරයෙන්ම රැස් කෙරේ’ යනාදි ක්‍ර‍මයෙන් කියන ලද්දේ මැයි.

මේ තවද ක්‍ර‍මයෙකි.

“චුතූපපාතෙ සංසාරෙ - සඞ්ඛාරානඤ්ච ලක්ඛණෙ

යො පටිච්ච සමුප්පන්න-ධම්මෙසු ච විමුය්හති

අභිසඞ්ඛරොත සො එතෙ-සඞ්ඛාරෙ තිවිධෙ යතො

අවිජ්ජාපච්චයො තෙසං - තිවිධානං අයං තතො”

(1) ‘චුතියෙහිද උප්පත්තියෙහි ද, සංසාරයෙහි ද, සංස්කාරයන් ගේ ලක්‍ෂණයේ ද ප්‍ර‍තීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි ද මුළාවන තැනැත්තේ මේ ත්‍රිවිධ සංස්කාරයන් රැස්කරන හෙයින් ඒ ත්‍රිවිධ සංස්කාරයනටම මේ අවිද්‍යාව ප්‍ර‍ත්‍යය වේ.”

ප්‍ර‍ශ්න:- මේවායේ මුළා වූයේ කෙසේ ත්‍රිවිද සංස්කාර රැස් කෙරේද,

පිළිතුර (1) චුතියෙහි මුළාවූයේ ‘සියලු භවයෙහි ස්කන්‍ධයන් ගේ භේදය මරණය’යි චුතිය තතු සේ නො ගෙන ‘සත්ත්‍වයා මැරෙයි, සත්ත්‍වයා අන්‍ය දේහයකට සංක්‍ර‍මණයවේ යයි’ යනාදීන් විකල්පනය කෙරේ.

(2) උප්පත්තියෙහි මුළා වූයේ ඒ ඒ භවයෙහි ස්කන්‍ධයන්ගේ ප්‍ර‍ථම ප්‍රාදුර්‍භාවය උත්පත්තිය යි නො ගෙන සත්ත්‍වයා උපදී ‘සත්ත්‍වයා ජීණි ශරීරය හැර දමා පරලොව අභිනව ශරීර ප්‍රාදුර්‍භාවය (උත්පත්තිය) ලබායැයි’ විකල්පනය කෙරේ.

(දිරු වස්ත්‍ර‍ය හැර පියා අලුත් වස්ත්‍ර‍යක් ගන්නා සේ මිනිසා මෙහි දිරු ශරීරය හැර පියා සැප කැමැතිවැ අලුත් ආත්මයක් ගනී[4] යයි ඒ සඳහා කී)

(3) සංසාරයෙහි මුළා වූයේ

“ඛන්‍ධානංච පටිපාටි - ධාතු ආයතනානච

අබ්බොවජින්නං වත්තමානං - සංසාරොති පවුච්චති

“ස්කන්‍ධ - ධාතු - ආයතනයන් ගේ නො සිඳෙන සේ පවත්නා පටිපාටිය සංසාරය යි’ කියනු ලැබේ යැයි මෙසේ වර්ණිත සංසාරය ඒ වූ පරිදි නො ගෙන මේ සත්ත්‍වයා මේ ලෝකයෙන් පරලොව යයි පරලොවින් මෙ ලොව ඒ යයි ආදීන් කල්පනා කරයි.

(4) සංස්කාරයන් ගේ ලක්‍ෂණයෙහි මුළාවූයේ රූපාදීන් ගේ රූප්පනාදී ස්වභාවය, ඵස්සාදීන් ගේ ඵුසනාදී ස්වභාවය යන ස්වලක්‍ෂණය ද, අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණය ද නො ගෙන සංස්කාරයන් ආත්ම වශයෙන් ද, ආත්ම ප්‍ර‍තිබද්ධ වශයෙන් ද, නිත්‍ය -සුඛ - ශුභ වශයෙන් ද විකල්පනය කෙරේ.

(5) ප්‍ර‍තීත්‍ය සමුත්පන්න ධර්‍මයෙහි මුළාවූයේ,

‘අවිද්‍යාදී ප්‍ර‍ත්‍යයයෙන් සංස්කාරාදීන් ගේ ප්‍ර‍වෘත්තිය නො ගෙන (කපිලාදීන් මෙන්) ආත්මය දනී’ යයි ද, (කණාදාදීන් මෙන්) ආත්මය ස්වභාවයෙන් නො දනිතත් බුද්ධි ගුණයෙන් යුක්ත වූ කල දනීය යි ද, පරලොව සැප දුක් විඳින්නේ කුසල්-අකුසල් තෙමේ ම කරයි අනුන් ලබා ද කරවායැ යි ද (අන්‍යයෙක් නොවේ යයි) ගනී.

ප්‍ර‍තිසන්‍ධියෙහි උපදින්නේ ම ද්විඅනුකාදිය ඉපදවීම් වශයෙන් ද, ඊශ්වරාදීන් ගේ ඊප්සාවශයෙන් ද, ‘කලලාදීභාවයෙන් ශරීර සම්පාදනය කරන්නාහු ඉන්‍ද්‍රියයන් සම්පාදනය කෙරෙත් යයි ද, ‘ඒ ආත්ම නම් වූ සත්ත්‍වතෙමේ චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයෙන් යුක්ත වූයේ ස්පර්‍ශ කෙරේ. විදියි, ආසා කෙරෙයි, ගනියි, භවයෙන් භවය ගළපයි. හෙතෙමේ නැවැත භවාන්තර ගත, වේ යයි කියාද, සියලු සත්ත්වයෝ නො සිඳිය හැකි වූ වන් සේ පෙර පසු නියමය අනුවැ හටගැනීම් සඞ්ඛ්‍යාත මනුෂ්‍ය-දිව්‍ය බ්‍ර‍හ්ම ගති වශයෙන් ජාති වශයෙන් පිළිවෙළින් නියතයෙන් පිරිනැමෙති’යි ද විකල්පනය කෙරේ[5] අවිද්‍යාවෙන් මුළාවූ ඒ පුද්ගලයා මෙසේ විකල්පනය කෙරෙමින්, පොළොවෙහි හැසිරෙන අන්‍ධයකු, මගට ද, නො මගටද, ගොඩට ද, වළට ද, සම බිමට ද, විසම බිටම ද, පැමිණෙන්නා සේ පුණ්‍යාභිසංස්කාර ද, අපුන්‍යාභිසංස්කාර ද, ආනෙඤ්ජාභිසංස්කාර ද රැස් කෙරේ.

එහෙයින් කියන ලදී

(1) යථාපිනාම ජව්චන්‍ධො - නරො අපරිනායකො

එකදා යාති මග්ගෙන - කුම්මග්ගෙනාපි එකදා

(2) සංසාරෙ සංසරං බාලො - තථා අපරිනායකො

කරොති එකදා පුඤ්ඤං - අපුඤ්ඤම්පි ච එකදා

(3) යදා ච ඤත්‍වා සො ධම්මං - සච්චාති අභිසමෙස්සති

තදා අවිජ්ජුපසමා - උපසන්තො චරිස්සති

(1) තමා අත ගෙන මඟ - දක්වන නියමුවකු නැති,

දෑ - අඳ මග ද නො මගද - කලින් කල හැසිරෙන සේ

(2) මෙ සසර සැරිසරන - නියමුවකු නැති අඳී බල්,

කලින් කල පින් පව් - කරනුයෙ තතු නො දැනුමෙන්

(3) අහස් දැන තතු සේ සිවුසස් පිළිවිඳ යෙහෙන්

අවිදු මුලු සුන් කැරුමෙන් - උපසම සිරින් හැසිරේ.

මේ “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යන්නෙහි විස්තර කථාවයි.

  1. ම:ව: පඨම බොධි කථා 1

  2. සං:නි: නිදාන ව: 196

  3. සං: නිදානවග්ග 205

  4. භගවත් ගීතාහි 2 අධ්‍යාය. “වස්ත්‍රාණි ජීණිනානි” යනාදී ශෛලාක ආශ්‍රයෙනි.

  5. මේ මක්ඛලිගොසාලවාදයය