මේ පටිච්චසමුප්පාද දේශනායෙහි ශෝකාදිය අවසානයෙහි වදාළ හෙයින් “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යි මෙ සේ භව චක්‍රයේ ආදියෙිහ වදාළ අවිද්‍යාව ශොකාදීන් හට සිද්ධ වූවා වෙයි.
ජාතිය ශෝකාදියට පමණක් ප්‍රත්‍යය නො වේ. එ සේ ශෝකාදියට ප්‍රත්‍යය වීමෙන් ඒ ශෝකාදිය හා බැඳී සිටින අවිද්‍යාවට ද ජාතිය ප්‍රත්‍යය වේ.
එහෙයින් ම:-
“සෝ ඈ හෙයින‘විදු - වෙතැයි සිදුමුල නොම දත්,
[1]*කරු-විඳු නැතිමෙ බවසක - දොළොස් පරිදි සුන් බැවින්
අගමග දක්වා නිතින් - සබඳ නො සිඳ පවත්නේ”
ප්‍රශ්න:- මේ පටිච්චසමුප්පාද දේශනායෙහි ශොකාදියෙන් අවිද්‍යාව කෙසේ සිද්ධ වූවා ද,
පිළිතුර:- මෙහි සෝක - දෝමනස්ස - උපායසයෝ අවිද්‍යාව නැතිව නො පවතිත්. (අවිද්‍යාව සමගම පවතිත්) පරිදෙවය (වැළපීම) ද මුළා නො වූවහුට නො වේ. එහෙයින් පළමු ශෝකාදිය ඇති කල්හි කාමාශ්‍රව සමුදයයෙන් අවිද්‍යාව වේය යනු සිද්ධ යැ.
තව ද ක්‍රමයෙනි:- “ආසව සමුදයා අවිජ්ජා සමුදයො”[2] ආශ්‍රව සමුදයයෙන් අවිද්‍යා සමුදය වේ ය යි වදාළහ.
ඒ මෙ සේයි : වස්තුකාමයා ගේ වියෝගය ඇති කල්හි ශෝකය කාමාශ්‍රව සමුදයයෙන් වේ.
එයින් වදාළහ.
“තස්ස චෙ කාමයානස්ස - ඡන්‍දජාතස්ස ජනතුනො
තෙ කාමා පරිහායන්ති - සල්ල විද්‍ධොව රූප්පති”[3]
“වත්කම් පනත ඒ - සඳ ඇති සත් තමා ලද
ඒ වත්කම් පිරිහෙන කල - හුලකින් විදි ලෙස පෙළේ”
වස්තු කාමයෙහි ඇළුණු සිත් ඇති එ හෙයින්ම ක්ලේශ - කාම වශයෙන් උපන් ඡන්ධ ඇති ඒ සත්ත්වයා ගේ වස්තු කාම පිරිහෙන්නේ වී නම් හුලකින් විදියකු සේ ශොකාදියෙන් පෙළේ.
තවද “කාමතො ජායති සොකො” කාම හේතුවෙන් ශෝකය උපදනේ ය යි වදාළහ.
මේ සියලු ශෝකාදිය ඒ දිට්ඨි ආශ්‍රව සමුදයයෙනුදු වේ. එහෙයින් වදාළහ.
“තස්ස අහං රූපං මම රූපන්ති පරියුට්ඨට්ඨායිනො රූප විපරිණාමඤ්ඤථභාවා උප්පජ්ජන්ති සොකපරිදේව දුක්ඛ දොමනස්සුපායාසාති”[4] ‘මම රූපය වෙමි. මා ගේ රූපය යි දෘෂ්ටියෙන් නැගී සිටින්නා වූ ඒ පුද්ගලයා හට රූපයා ගේ ප්‍රකෘතිය හැරිම ය. අන් අයුරකින් වීම ය යනාදීන් සෝකපරිදේව - දුක්ඛ දොමනස්ස උපායාසයෝ උපදිත්.’
මෙ සේ දිට්ඨි - ආසව හේතුවෙන් උපදනා සේ භවාසව හේතු වෙන් ද සොකාදිය උපදී.
එයින් වදාළහ :- යෙපි තෙ දෙවා දීඝායුතා වණ්ණවන්තො සුඛ බහුලා උච්චෙසු විමානෙසු විරං දීඝමද්‍ධානං තිට්ඨාන්ති, තෙලි තථාගතස්ස ධම්මදෙසනං සුත්‍වා භයං සන්තාසං සංවෙගාමපජ්ජන්ති”[5] ‘දීර්‍ඝායුෂ්ක වර්‍ණවත් සුව පහුල දෙවියෝ උස්වූ දිව්‍ය විමානයන්හි බොහෝ කලක් සිටියාහු ද, ඔවුහු ද තථාගතයන් වහන්සේ ගේ ධර්‍ම දේශනාව අසා බියට තැති ගැනීමට සංවේගයට පැමිණෙති. පස් පෙර නිමිති දැක මරණ බියෙන් තැතිගත් දෙවියනට මෙනි.
භවාශ්‍රව හේතුවෙන් මෙන් අවිද්‍යාශ්‍රව හේතු කොට ද මේ ශොකාදිය උපදී.
එහෙයින් වදාළහ:- “සෙ ඛො සො භික්ඛවේ බාලො දිට්ඨෙව ධම්මෙ තිවිධං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතීති”[6] ‘මහණෙනි! ඒ අඥාන තෙමේ අවිද්‍යාව හෙතුකොට ගෙන එයට අනුකූල කථා ඇසීම, කම්කටොලු දැකීම, මරණ කාලයෙහි එළඹ සිටි පාපකර්‍මය සිහි කිරීම නිදාන කොට ඇති ශොකිදි වූ දුක් විඳි’ යයි කියායි.
මෙ සේ ආශ්‍රව සමුදායයෙන් උපාදාන මේ ශොකාදිය අවිද්‍යාවට හේතු වූ ආශ්‍රවයන් සිද්ධ කෙරේ. ආශ්‍රව සිද්ධ කල්හි ප්‍රත්‍යය භාවයෙන් වන හෙයින් අවිද්‍යාව සිද්ධ වේය යි දත යුතු. ප්‍රත්‍යය ඇති කල්හි වන හෙයින් අවිද්‍යාව සිද්ධ කල්හි නැවැතැ ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන වේ’ යයි මෙ සේ හේතු-ඵල පරම්පරාව ගේ අවසානයෙක් නැත්තේ ය. එහෙයින් හේතු-ඵල පරම්පරා සම්බන්‍ධයෙන් පවත්නා වූ දොළොස් අංගයක් ඇති භව චක්‍රය නොදත් ආදි ඇත්තේ යැ යනු සිද්ධ යි.
ප්‍රශ්නයෙකි:- එසේ වන්නා “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ” ය යි මේ මූල මාත්‍ර කථනය විරුද්ධ නො වේ ද
පිළිතුර:- මේ ආදි භවය කීමෙන් නො වේ. ප්‍රධාන ධර්‍මය කීමෙකි.
විස්තර:- කර්‍ම-ක්ලේශ-විපාක යන ත්‍රිවිධ වෘත්තයට ම අවිද්‍යාව ප්‍රධාන යැ. සර්‍පයකු ගේ හිස ගැනීමෙන් අන්‍ය වූ ද සර්‍ප ශරීරය ගැනීම් මෙනි. සෙසු කෙලෙස් වට හා කර්‍ම වට ද බාලයා හාත්පසින් පෙළයි. අවිද්‍යාව සිඳපී කල සෙසු කම්ම-කිලෙස -විපාකවට්ටයෝ ද සිඳෙත්. සර්‍ප ශීර්‍ෂච්ඡෙදනයෙන් වෙළා සිටි බාහුවේ මිදීම වන්නාක් මෙනි.
එයින් වදාළහ:- “අවිජ්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සංඛාරනිරොධො”[7] ‘අවිද්‍යාව නිරවශේෂ කොට නිරුද්ධ කිරීමෙන් සංස්කාරයන් ගේ නිරොධය වේ. යනාදිය මෙ සේ අවිද්‍යාව තමා සතන්හි ඉපදවීම් වශයෙන් ගත්තාහට සංසාර බන්‍ධනය ද එය නිරවශේෂයෙන් මුදන්නාහට සංසාර විමොක්‍ෂය ද වන හෙයින් ඒ ත්‍රිවිධ වෘත්තයට ප්‍රධාන ධර්‍මය කීමය මේ. එය මූල ධර්‍මය කීම නො වේ. මෙ සේ මේ භව චක්‍රය නො දන්නා ලද ආදි ඇත්තේය යි දතයුතු.
ප්‍රශ්න:- මේ භව චක්‍රය කරන්නෙක් හෝ විඳින්නෙක් හෝ නැත්තේ ද.
පිළිතුර:- අවිද්‍යාද කාරණයෙන් සංස්කාරාදීන් ගේ පැවැත්ම වන හෙයින් ඒ අවිද්‍යාදියෙන් අන්‍ය වූ බ්‍රහ්ම - මහා බ්‍රහ්ම - ශ්‍රෙෂ්ඨ - සඤ්ජිත - ප්‍රජාපති ආදී ලෝක නිර්‍මාතෘයැ යි තර්‍කයෙන් කල්පනා කොට ගන්නා ලද සංසාරය කරන්නෙක් හෝ හිතාහිත දෑ කියන්නා වූ සුව දුක් විඳින මේ මාගේ ආත්මයැ යි සලකන ලද ආත්මයෙන් හෝ නො වෙයි. මෙසේ කාරකවෙදක රහිතය යි දතයුතු.
මෙහි අවිද්‍යාව ඉපිද නස්නා සුලු බැවින් නිත්‍ය භාවයෙන් ද, කෙලෙසන බැවින් හා කෙලෙසෙන ධර්‍මයනට ආලම්බන හෙයින් ශුභ භාවයෙන්, උදය-වය දෙක්හි පෙළෙන හෙයින් සුඛ භාවයෙන් ද, ප්‍රත්‍යය ප්‍රතිබද්ධ පැවැතුම් ඇති හෙයින් ආත්ම භාවයෙන් ද ශූන්‍ය යැ. සංස්කාරාදි අඞ්ග ද එසේ ම ශුන්‍ය යි.
තවද අවිද්‍යාව ආත්මය නො වේ. ආත්මය පිළිබැඳි ද නො වේ. ආත්මයෙහි නො වේ. ආත්මය ඇත්තක් නො වේ. සංස්කාරාදි අඞ්ග ද එසේ මැ යි. එහෙයින් මේ භව චක්‍රය අවිද්‍යාදි ද්වාදශාඞ්ගයන් ගේ ශුන්‍යත්වයෙන් ද්වාදශවිධ ශූන්‍යතායෙන් ශුන්‍යය යි මෙ සේ දතයුතු.
(ධූවාදි චතුර්විධ ශුන්‍යතාව ද, ආත්ම ශුන්‍යතාදි චතුර්විධ ශුන්‍යතාව ද, එකකින් එකක් කොට ගෙන ද්වාදශාඞ්ග ගත ශුන්‍යතාවෝ ද්‍වාදශවිධ වෙත්නු යි “ද්‍වාදසවිධ සුඤ්ඤතා සුඤ්ඤං” යැ යි යොදනු යනු සන්‍ය යි.)
තවද:-
“අවිදු-තණ දෙමුල යැ - ඉකුත් ඈ තුන් කල් වේ.
දෙක - අට - දෙකැයි බව සක - දොළොසඟ කෙමෙන් දන්නේ”
ඒ භව චක්‍රයේ අවිද්‍යාය - තෘෂ්ණායැ යි ධර්‍ම දෙකක් මූල යැයි දතයුතු.
විස්තර:- (පූර්‍වාන්තයෙන්) අතීත ස්කන්‍ධ කොඨාසයෙන් ප්‍රත්‍යුත්පන්න විපාකය එළවන හෙයින් අවිද්‍යාව මූලය වේ. වේදනාව අවසානය යැ. (අපරාන්තය) අනාගත ස්කන්ධ කොට්ඨාසය හා ගළපන හෙයින් තෘෂ්ණාව මූලය වේ. ජරා මරණ අවසාන ය වේ යැ යි මෙ සේ මූල වශයෙන් භව චක්‍රය ද්‍විවිධ වේ.
විශේෂ:- මෙහි අවිද්‍යා මූල භව චක්‍රය දිට්ඨි චරිතයා ගේ වශයෙන් වදාරන ලදී. පසුවැ කී තෘෂ්ණා මූල භව චක්‍රය තෘෂ්ණා චරිතයා ගේ වශයෙන් වදාරන ලදී.
ඒ මෙසේ යි:- දෘෂ්ටි චරිතයන්ට අවිද්‍යාව ද, තෘෂ්ණා චරිතයන්ට තෘෂ්ණාව ද සසර පැවැත්ම කරයි.
තවද උච්ඡෙද දෘෂ්ටිය නිරවශේෂයෙන් ප්‍රහාණය කිරීම පිණිස අවිද්‍යාමූලක පළමුවන භව චක්‍රය වදාළහ. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දතයුතු විඥානාදී ප්‍රත්‍යුත්පන්න ඵල ධර්‍මයන් ගේ හැටගැන්මෙන් (අප්‍රත්‍යක්‍ෂ වූ) අවිද්‍යාදි හේතුන් ගේ නො සිඳ පැවැත්ම ප්‍රකාශ කරන හෙයිනි.
උපන්නා වූ විඥානාදීන් ගේ ජරා-මරණ ප්‍රකාශ කරන හෙයින් ශාස්වත දෘෂ්ටිය නිරවශේෂයෙන් ප්‍රහීණ කිරීම සඳහා තෘෂ්ණා මූලක දෙවන භව චක්‍රය වදාරන ලදි.
තවද ක්‍රමයෙකි:- ගබ්භසෙය්‍යක සත්ත්වයන් ගේ වශයෙන් පළමුවන අවිද්‍යාමූලක භව චක්‍රය වදාරන ලදී. “සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං” යනාදීන් ධර්‍මයන් ගේ පිළිවෙළ නො ඉක්ම පැවැත්ම දක්වන හෙයිනි.
“උපාදාන පච්චයා භවො, භව පච්චයා ජාති” යනාදීන් උපපත්ති ස්කන්‍ධයන් එකවට පහළවීම දක්වන හෙයින් ඕපපාතික සත්ත්වයන් ගේ වශයෙන් පසුවැ කී තෘෂ්ණා මූලකය වදාරණ ලදී.
ඒ භව චක්‍රයා ගේ අතීත - වර්‍තමාන - අනාගතය යි කාල තුනෙක් වේ. ඒ කාල අතුරින් පෙළෙහි ස්වරූපයෙන් ආ පරිද්දෙන් අවිද්‍යාය, සංස්කාරය යන අඞ්ග දෙක අතීත කාලික යැ. විඥානය මුල් කොට භවය අවසාන කොට ඇති අඞ්ග අට වර්‍තමාන කාලික යැ. ජාතිය, ජරා මරණ යන අඞ්ග දෙක අනාගත කාලික යැ යි දතයුතු.
“*හේ-පල, හේ පෙරටු - තෙ සඳ**[8] සිවු බේ සඟහැති
***විසියුරැ අරැති බව සක - තිවට බෙමේ නො නැවැතී”
තවද:- සඞ්ඛාර‘(පටිසන්‍ධි) විඤ්ඤාණ අතරැ එක් හේතු-ඵල සන්‍ධියෙකි. වෙදනා‘තෘෂ්ණා අතරැ එක් ඵල-හේතු සන්‍ධියෙකි. භව‘ජාති අතරැ එක් හේතු-ඵල සන්‍ධියෙකැ යි මෙ සේ මේ භව චක්‍රය හේතු පූර්‍වක, ඵල පූර්‍වක, හේතු පූර්‍වක, වශයෙන් ත්‍රිසන්‍ධියෙක් ඇතැයි දත යුතු.
තව ද සන්‍ධීන් ගේ මුල-අග පිරිසිඳීමෙන් සංග්‍රහ සතරෙක් වේ.
ඒ මෙසේ යි:-
අවිජ්ජා-සඞ්ඛාර එක් සංක්‍ෂේපයෙක.
විඤ්ඤාණ - නාම -රූප - සළායතනට - ඵස්ස - වෙදනා දෙවෙනි සංක්‍ෂෙපය යැ.
තෘෂ්ණා - උපාදාන - භව තෙවෙනි සංක්‍ෂේපය යැ.
ජාති-ජරා-මරණ සතර වන සංක්‍ෂෙපය යි මෙ සේ මේ භව චක්‍රය සංක්‍ෂේප සතරක් ඇත්තේ ය යි දත යුත්තේ යි.
“අයු කල හේ පසෙති - දැන් කල පල පසෙක් වේ,
දැන් කල්හි ද හේ පසෙකි - මතු කල පල පසෙක් වේ”
මේ විසි ආකාර අර හේතු කොට විසි වැදෑරුම් අර ඇත්තේ ය යි දත යුතු.
විස්තර:- ඒ ගීයෙහි අතීතයෙහි හේතු පස යැ යි කීයේ පෙළෙහි කී අවිද්‍යා-සංස්කාර, යන මේ හේතු ධර්‍ම දෙක ද, (ඒ අවිද්‍යායෙන් යුක්ත වූ අඥාන තෙමේ තෘෂ්ණා වශයෙන් ආලම්බනයෙහි පිපාසිත වේ. තෘෂ්ණාවෙන් පෙළුණේ දැඩි වූ තෘෂ්ණා දෘෂ්ටීන් ගැනීම කෙරේ. ඕහට උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ. එහෙයින්) තෘෂ්ණා-උපාදාන-භව යන තුන ද ගැනීමෙනි.
එයින් වදාළහ. “පුරිම කම්මභවවස්මිං මොහො අවිජ්ජා, ආයූහනා සංඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා, භවොති ඉමෙ පඤ්චධම්මා පුරිමකම්මභවස්මිං ඉධ පටිසන්‍ධියා පච්චයා”[9] ‘පෙරැ ජාතියෙහ කළ කර්‍ම භවයෙහි (ඉකුත් ජාතියෙහි කර්‍ම කරන කල්හි) දුඃඛාදි චතුරාර්‍ය්‍ය සත්‍යය නො දැනීමෙන් මුළාවූයේ කර්‍ම කෙරේ නම් එය අවිද්‍යාව යැ. දානාදී ක්‍රියාවන් සකස් කොට කරන්නා වූ චේතනාව සංස්කාර යැ.
ආලම්බන හෙයින් ඇලීම තෘෂ්ණාව යැ. අරමුණ දැඩි කොට ගැනීම උපාදාන යැ. පරිත්‍යාගාදී වශයෙන් පවත්නා චේතනාව භව යැ යන මේ පඤ්ච ධර්‍මයෝ පූර්‍ව භවය ඇති කල්හි මෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යයවෙති.
එහි පූර්‍ව කර්‍ම භවයෙහි යනු පූර්‍ව ආත්ම භාවයෙහි වූ පූර්‍ව කර්‍ම භවයෙහි නොහොත් පූර්‍ව ආත්ම භවයෙහි වූ කර්‍ම භවය ඇති කල්හි (ඉකුත් ජාතියෙහි කර්‍ම කරන කල්හි) යැ යනු යි.
මෝහය අවිද්‍යාව යැ. = දුඃඛාදි චතුරාර්‍ය්‍ය සත්‍යය, නො දැනීම වශයෙන් ආලම්බන ප්‍රතිච්ඡාදන කරන මුලාවෙන් යුක්ත වැ යම් කර්‍මයක් කෙරේ නම් ඒ මුළාව අවිද්‍යාව යි.
ආයූහන චෙතනා සංස්කාර යැ = ඒ කුශල - අකුශල කර්‍ම කරන්නහු ගේ යම් පූර්‍ව - පූර්‍ව චේතනාවෙක් වේ නම් එය ආයුහන සංස්කාර නමි.
ඒ මෙ සේ යි: ‘දනක් දෙමි යි සිතක් උපදවා මසක් මුළුල්ලෙහි හෝ අවුරුද්දක් මුළුල්ලෙහි දානොපකරණ පිළියෙල කරන්නා හට උපන් පූර්‍ව චේතනා යි.
එසේ ප්‍රතිග්‍රාහකයන් අතෙහි දාන වස්තුව පිහිටුවන්නහුට උපදනා චෙතනාව ම කර්‍ම භව නමැ යි කියනු ලැබේ.
තවද එක ආවර්‍ජන සිතක් ඇති චිත්ත වීථියක ප්‍රථම ජවන් සයෙහි චේතනාවෝ අයූහන සංස්කාරයහ. සත්වැනි ජවනයෙහි වූ චෙතනා බව නම් වේ.
එසේ පැවති යම් කිසි චෙතනාවක් හෝ භව නමි. තත් සම්ප්‍රයුක්ත ස්පර්‍ශාදී චෛතසික හෝ අභිධ්‍යාදිය හෝ ආයූහන සංස්කාර නමි. (මේ පටිසම්භිදා පාළියෙහි ආ සේ යැ.)
ඇලීම තෘෂ්ණා යැ. = කර්‍මයක් කරන්නකුට ඒ කර්‍මයා ගේ ඵලය වූ උත්පත්ති භවයෙහි යම් ආසාවක්-ප්‍රාර්ථනාවක් වේ නම් එය තෘෂ්ණාව යි. (චාතුර්‍මහාරාජිකාදි දෙවියෝ ‘දීර්‍ඝායුෂ්කහ’ ‘සුඛ බහුලය හ’ යනාදිය ඇසීමෙන් උපදනා තෘෂ්ණාව උත්පත්ති භව ප්‍රාර්ථනාව යි.)
දැඩිව ගැනීම උපාදාන යැ. = කර්‍ම භවයට ප්‍රත්‍ය වූ (මෙ නම් කර්‍මයක් කොට අසුවල් නම් තැන කාම සේවනය කරමි. උච්ඡේදයට පැමිණෙන්නෙමි. මේ ආදි නයින් පැවති) අරමුණ දැඩි කොට පරාමර්‍ශනය කිරීමෙක්, අරමුණ දැඩි කොට ගැනීමෙන්, දෘෂ්ටි වශයෙන් දැඩි කොට ගැනීමෙක් වේ නම් ඒ උපාදානය යි.
චේතනා භවයැ = පෙර සඞ්ඛාර ලක්‍ෂණයෙහි ත්‍රිවිධ අර්ථ විකල්පයෙහිම කියන ලද ආයුහනයා ගේ අවසානයෙහි වදාළ චේතනාව භව නම් වේ යැයි මෙ සේ අර්ථ දත යුතු යි.
ඉදානි ඵල පඤ්චකං = දැන් ඵල පසෙකැ. විඤ්ඤාණයෙහි පටන් වේදනාව අවසන් කොට පෙළෙහි ම ආ ඵල පස යි.
ඒ මෙසේ යි:- “ඉධ පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාම-රූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා ඉති ඉමෙ පඤ්ච ධම්මා ඉධූප්පත්ති භවස්මිං පුරෙ කතස්ස කම්මස්ස පච්චයා”[10] ‘මේ භවයෙහි ප්‍රතිසන්‍ධි ය විඥාන යැ. මවු කුසට වදනාවක් මෙන් වීම නාම-රූපයැ, ප්‍රසාදය ආයතන යැ, ස්පර්‍ශය ඵස්ස යැ, අරමුණු රස විඳීම වේදනා යැ. මෙ සේ මේ පඤ්චධර්‍මය මේ ප්‍රත්‍යුත්පන්න භවයෙහි (පෙර භවයෙහි කළ කර්‍මයා ගේ) ප්‍රත්‍යයයෙන් වේ.
එහි - ප්‍රතිසන්‍ධි විඥානය = ඉක්ම ගිය අනතුරු භවය හා වර්‍තමාන භවය ගැළපීම් වශයෙන් උපන් බැවින් යම් සිතක් පටිසන්‍ධිය යි කියා නම් ඒ සිත යැ මෙහි විඤ්ඤාණ නම්.
මව් කුසට වදනාක් මෙන් වීම = මවුකුස පිළිසිඳ ගන්නා විගස රූප‘රූප ධර්‍මයන් අවුත් පිවිසෙන්නාක් මෙන් වීම නාම-රූප නමි.
ප්‍රසාදය ආයතන යැ = යනු චක්‍ෂුරාදි පඤ්චායතන වශයෙන් කියන ලදී.
ස්පර්‍ශය ඵස්ස යැ = අරමුණ හැපෙමින් උපදනා ස්වභාවය ස්පර්‍ශ නමි.
අරමුණු රස විඳීම වේදනා යැ = ප්‍රතිසන්‍ධි විඥානය සමග හෝ ෂඩායතන ප්‍රත්‍යය කොට ඇති ස්පර්‍ශය සමග හෝ උපන්නා වූ විපාක වෙදනාව (වේදයිතය) මෙහි වෙදනා ය යන අර්ථයි.
ඉදානි හෙතෙවො පඤ්ච = දැන් හේතු පස නම් තෘෂ්ණාදි පස යැ.
තණ්හා-උපාදාන-භව යැ යි පෙළහි ස්වරූපයෙන් ම ආහ. එහෙත් (කර්‍ම) භවය ගත් කළ එහි පූර්‍ව භාගය වූ සංස්කාර (චෙතනා) හෝ තත් සම්ප්‍රයුක්ත ස්පර්‍ශාදී සංස්කාර හෝ ගන්නා ලැබේ.
තණ්හා-උපාදාන ග්‍රහණයෙන් ඒ තෘෂ්ණා-උපාදාන හා සම්ප්‍රයුක්ත වූ (යම් අවිද්‍යාවකින් මුළා වූවෙක් කුශල අකුශල කර්‍ම කෙරේ නම් ඒ) අවිද්‍යාව ගන්නා මැ යි. මෙ සේ වර්‍තමාන හේතු පස වේ.
එයින් වදාළහ : “ඉධ පරිපක්කත්තා අයතනානං මොහො අවිජ්ජා, අයූහනා සංඛාරා නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භාවො, ඉති ඉමෙ පඤ්චධම්මා ඉධ කම්මභවස්මිං ආයතිං පටිසන්‍ධියා පච්චයා”[11] මේ භවයෙහි ආයතන මුහුකුරා ගිය හෙයින් මුළාවීම අවිද්‍යාව යැ. පූර්‍වභාග චෙතනා සංස්කාර යැ. කැමති වීම තෘෂ්ණා යැ. අරමුණු දැඩි කොට ගැනීම උපාදාන යැ. පරිත්‍යාගාදි චෙතනාව භව යැ. මෙසේ මේ පඤ්ච ධර්‍මයෝ මේ කර්‍ම භවයෙහි මතු ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙති.
ඒ පාඨයෙහි - “මේ භවයෙහි ආයතන මුහුකුරා ගිය හෙයින් (බාලයා ගේ චිත්ත ප්‍රවෘත්තිය භවාඞ්ග බහුල වැ පවත්නා හෙයින් භවාන්තර ජනක කර්‍මයුහනයට සමර්‍ථ නො වන හෙයින්) මුහුකුරා ගිය චක්ඛාදී ආයතන ඇත්තහු ගේ කුශලා‘කුශල කර්‍ම කරන කාලයෙහි පැවැති මුළාව (අවිද්‍යාව) දක්වන ලදී. සෙස්ස ප්‍රසිද්‍ධ අර්ථ ඇති සේ යි.
‘අයතිං ඵල පඤ්චකං’ මතු භවයෙහි ඵල පසෙකි = විඤ්ඤාණාදි පස යි. ඒවා ජාති ශබ්ද ග්‍රහණයෙන් ම ගන්නා ලදී. වැලි ජරා-මරණය නම් ඒ විඤ්ඤාණාදීන් ගේ ජරාව හා මරණය යි.
එයින් වදාළහ:- “අයතිං පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාම-රූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනාති ඉමෙ පඤ්චධම්මා ආයතිං උප්පත්ති භවස්මිං ඉධ කතස්ස කම්මස්ස පච්චයා”[12]
‘මතු භවයෙහි ප්‍රතිසන්ධිය විඤ්ඤාණ යැ, මවු-කුසල බැස ගැන්ම නාම-රූප යැ, ප්‍රසාදය ආයතන යැ, ස්පර්‍ශය ඵස්ස යැ, අරමුණු රස විඳීම වෙදනා යැ යන මේ පඤ්ච ධර්‍මයෝ අනාගත උත්පත්ති භවයෙහි මේ අත් බැව්හි කරන ලද කර්‍මයා ගේ ප්‍රත්‍යයෙන් වෙති. මෙ සේ මේ භව චක්‍රය විංශති (20) ආකාර ඇත්තේ වේ. මෙහි පූර්‍ව භවයෙහි පඤ්ච කර්‍ම සම්භාරය හ. වර්‍තමාන භවයෙහි පඤ්ච විපාක ධර්‍මය හ. වර්‍තමාන කාලයෙහි පඤ්ච කර්‍ම සම්භාරය හ. අනාගත කාලයෙහි පඤ්ච විපාක ධර්‍මය හ යි ධර්‍මයෝ දශ දෙනෙක් කර්‍මය හ. දශ දෙනෙක් විපාකය හ යි මෙ සේ ස්ථාන ද්වයයෙක් හි කර්‍මය කර්‍ම වෘත්ත ය. ස්ථාන ද්‍වය යෙක්හි විපාකය වෘත්ත ය. කර්‍ම සංක්‍ෂේපය, විසාක සංක්‍ෂෙපය, කර්‍ම භවය, විපාක භවය ය. කර්‍ම ප්‍රවර්‍තය, විපාක ප්‍රවර්‍තය කර්‍ම සන්තතිය, විපාක සන්තතිය. ක්‍රියා ය, ක්‍රියා ඵලය යි කියා ය.
විස්තර:- කර්‍මය ම විපාක සම්භරණය (=වැඩීම) කරවන හෙයින් කර්‍ම සම්භාර නමි.
සඞ්ඛාර - භව (සඞ්ඛ්‍යාත) කර්‍ම යැ. එයට උපකාරක අවිජ්ජා-තණ්හා-උපාදාන කර්‍ම සම්භාරය යැ.
ප්‍රතිසන්‍ධි දායක භවය කර්‍ම නමි. එයට උපකාරක ආයූහන සඞ්ඛාර වූ අවිද්‍යාදිය කර්‍ම සම්භාරය යි මෙ සේ කර්‍මය ද, කර්‍ම-සම්භාරයා ද කර්‍ම සම්භාරය යි එක ශේෂ වශයෙන් හෝ කර්‍ම සම්භාර ග්‍රහණය දත යුතු යි.
අවිද්‍යාදිය කර්‍මයනට සහාය බැවින්ද කර්‍ම සදෘශනු යි හෝ කර්‍මයට උපකාරනු යි කර්‍මය යි කියනු ලැබේ.
අවිද්‍යාදිය හා විඥානාදිය ද කර්‍මය. විපාකය, කර්‍ම විපාක යැ යි මෙ සේ සංක්‍ෂේප කරනු ලැබේනුයි හෝ සංක්‍ෂේප නමි. සංක්‍ෂේප භාව සාමාන්‍යයෙන් හෝ එක වචන වී ය යි දතයුතු.
තවද සංක්‍ෂේප ශබ්දය භාගාධිවන හෙයින් කර්‍ම භාගය හෝ කර්‍ම සංක්‍ෂේප නමි. (මේ ටීකාගත විස්තර ය)