21. අස්ති ප්‍ර‍ත්‍යය

star_outline

තමාගේ අස්තිත්‍වයෙන් (පැවැත්මෙන්) පවත්නා වූ ම ධර්‍මයනට උපස්තම්භක වීමෙන් උපකාරවන ධර්‍මය අස්ති ප්‍ර‍ත්‍යය යැ.

විශේෂ:- මෙහි උපස්තම්භක වීමෙනැ යි කීයේ “අත්‍ථි පාපං කම්මං කතං” “අත්‍ථ පුග්ගලෝ අත්තහිතාය පටිපන්තො”[1] යනාදියෙහි කී නිබ්බත්තිලක්ඛණ අත්‍ථි භාවය නිවාරණය සඳහා යැ. තවද ජනකත්‍වය ඇත ද උපස්තම්භකත්‍වය මෙහි අස්තිත්‍වය යි ගැනේ.

මෙහි අස්තිත්‍වය ද වස්තු - ආලම්බන - සහජාත - ආදීන්ට සාධාරණ වූ අස්තිත්‍වයෙන් උපකාරකත්‍වය යි දත යුතු.

එය අරූපස්කන්‍ධ -මහාභූත -නාමරූප -චිත්ත -චෛතසික -මහාභූත -ආයතන -වස්තුරූප වශයෙන් සත් ආකාරයකින් මාතෘකා තබන ලදී.

ඒ මෙසේ යි:- (1) “චත්තාරො ඛන්‍ධා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්‍ථි පච්චයෙන පච්චයො. (2) චත්තාරො මහාභූතා -පෙ- (3) ඔක්කන්තික්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤං, (4) චිත්තචෙතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං, (5) මහාභූතා උපාදා රූපානං, (6) චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා -පෙ- කායායතනං, රූපායතං -පෙ- ඵොට්ඨබ්බා- යතනං කායවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්‍ථි පච්චයෙන පච්චයො රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායාතනං මනොධාුයා තං සම්පයුත්තකානං ච ධම්මානං (7) යං රූපං නිස්සාය මනොධාතු ච මනො-විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනොධාතුයා ච මනොවිඤ්ඤාණ ධාතුයා ච තං සම්පයුත්තකානං ච ධම්මානං අත්‍ථි පච්චයෙන පච්චයො[2]

(1) සතර අරූපස්කන්‍ධ ඔවුනොවුන්ට අස්තිප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

(2) සතරමහාභූත ඔවුනොවුන්ට ද,

(3) අවක්‍රාන්ති ක්‍ෂණයෙහි නාම රූප ඔවුනොවුන්ට ද

(4) චිත්ත-චෛතසික ධර්‍ම චිත්ත සමුත්‍ථාන රූපයන්ට ද,

(5) මහාභූත උපාදාය රූපයන්ට ද,

(6) චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට ද, -පෙ- කායායතනය, රූපායතනය, -පෙ- ඵොට්ඨබ්බායතනය කාය විඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද, අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. රූපායතනය -පෙ- ඵොට්ඨබ්බායතනය මනොධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්මයනට ද,

(7) යම් රූපයක් නිසා මනෝධාතුව ද, මනොවිඤ්ඤාණ ධාතුව ද, පවතී නම් ඒ රූපය මනොධාතුවට ද, මනොවිඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද අස්තිප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.

මේ සත් ආකාර අස්ති ප්‍ර‍ත්‍යයන් අතුරෙන් (1) සිට (5) දක්වා සහජාත වශයෙන් ද,

(6) පුරෙජාත වශයෙන් ද,

(7) සහජාත-පුරෙජාත වශයෙන් ද අස්ති ප්‍ර‍ත්‍යය දක්වන ලදී.

මෙසේ මේ පාඨයෙහි සහජාත-පුරෙජාත වශයෙන් ම අස්ති ප්‍ර‍ත්‍යය දක්වන ලදී.

විශේෂ:- පච්ඡාජාත - ආහාර - ඉන්‍ද්‍රිය වශයෙනුදු අස්ති ප්‍ර‍ත්‍යය ලැබෙතුදු එය මෙහි නො වදාළහ. සාවශේෂ දේශනා හෙයිනි. එහෙත් හේතු දැක්වීම සඳහා ප්‍ර‍ශ්න වාරයෙහි වදාළ “සහජාතං, පුරෙජාතං, පච්ඡාජාතං, ආහාරං, ඉන්‍ද්‍රියං” ‘සහජාත යැ, පුරෙජාත යැ, පච්ඡාජාත යැ, ආහාර යැ, ඉන්‍ද්‍රියයැ’යි. නික්‍ෂේප කොට සහජාත විෂයෙහි “එකො ඛන්‍ධො තිණ්ණං ඛන්‍ධානං තං සමුට්ඨානානං ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො”[3] ‘එකම විඤ්ඤාණස්කන්‍ධය වේදනාදී සෙසු නාමස්කන්‍ධ තුනට ද, එයින් නිපදනා රූපයනට ද අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යනාදීන් දේශනා කරන ලදී. පුරෙජාත අස්ති ප්‍ර‍ත්‍යයෙහි “චක්ඛායතනං චක්ඛු විඤ්ඤාණධාතුයා”[4] යනාදීන් චක්ඛායතනාදීන් ගේ වශයෙන් නිර්‍දෙශකොට දක්වන ලදී. පච්ඡාජාත අත්‍ථි පච්චයෙහි පශ්වාජ්ජාත චිත්ත-චෛතසික ධර්‍මයන් පුරෙජාත මේ කායයට පච්ඡාජාත ප්‍ර‍ත්‍යය වශයෙන් නිර්‍දෙශ කරන ලදී. ආහාර ප්‍ර‍ත්‍යයෙහි “කබලීකාරො ආහාරො ඉමස්ස කායස්ස අත්‍ථි පච්චයෙන පච්චයො” කබලීකාරාහාරය මේ ශරීරයට අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ ය යි ද,

ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යයයෙහි “රූපජීවිතින්‍ද්‍රියං කටත්තා රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො”[5] ‘රූප ජීවිතින්‍ද්‍රිය කර්‍මජ රූපයනට අස්ති ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ’ ය යි නිර්‍දෙශ කරන ලදී.

විස්තර:- මේ ආහාර -ඉන්‍ද්‍රිය ප්‍ර‍ත්‍යය දෙක ප්‍ර‍ත්‍යය වන ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍මයන් ගේ සහජාතාදි වශයෙන් භේද නැති තවද මෙය කුසල -අකුසල -විපාක -ක්‍රියා රූප වශයෙන් ද පඤ්චවිධ වේ.

විශේෂ:- නිර්‍වාණය අස්ති ප්‍ර‍ත්‍යය නො වේ. කාල විමුක්ත හෙයින් හා නාස්තිත්‍වයක් නො ලැබෙන හෙයිනි. අස්ති ප්‍ර‍ත්‍යය වනුයේ ප්‍ර‍ත්‍යුත්පන්න භාවය නිසාම ප්‍ර‍ත්‍යයවන ධර්‍මයයි. (ටීකාගත විස්තරය බලනු) තවද අස්ති ප්‍ර‍ත්‍යය වන ධර්‍මයන් අතුරින් නාම ධර්ම- සහජාත -පච්ඡාජාත වශයෙන් ද, රූප සහජාත - පුරෙජාත වශයෙන් ද ප්‍ර‍ත්‍යය වේ.

  1. පූ:ප: මාතිකා 7

  2. ප:ප: පච්චයනිද්දෙශ 6

  3. ප:ප: පඤ්හවාර 116

  4. එම 117

  5. එම 118