18. මාර්‍ග ප්‍ර‍ත්‍යය

කුශල පක්‍ෂයෙන් හෝ අකුශල පක්‍ෂයෙන් හෝ තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් සුගති - දුගති - නිර්‍වාණයන්ට අභිමුඛ කිරෟීම් වශයෙන් උපකාර වන්නා වූ ධර්‍ම මාර්‍ග ප්‍ර‍ත්‍යය යි.

ඔහු සම්මාදිට්ඨි ආදී අට හා මිච්ඡාදිට්ඨි ආදී සතර දැ යි දොළොසෙකි. (12) “මග්ගඞ්ගානි මග්ගසම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානාං ච රූපානං මග්ගපච්චයෙන පච්චයො[1]

‘එකී මාර්‍ගඞ්ග මාර්‍ගසම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට හා තත් සමුත්‍ථාන රූපයනට ද මාර්‍ග ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ’ යැ යි එයින් වදාළහ.

මෙහි මාර්‍ග සම්ප්‍ර‍යුක්ත ධර්‍ම නම් සහේතුක සිත් එක් සැත්තෑව (71) ය, චෛතසික දෙපනසය (52) යන මොහු ය, තත් සමුත්‍ථාන රූප නම් එම මාර්‍ගඞ්ග සම්ප්‍ර‍යුක්ත සහේතුක චිත්තජ රූපය, සහේතුක ප්‍ර‍තිසන්‍ධි කර්‍මජ රූපය යන මොහු ය.

මාර්‍ගාඞ්ග නම්:- පඤ්ඤා - විතක්ක - විරතිත්තය - විරිය - සති - එකග්ගතා - දිට්ඨි යන චෛතසික නවය යි.

ප්‍ර‍ශ්න වාරයෙහි:- “පටිසන්‍ධික්ඛණෙ විපාකාභ්‍යාකතානි මග්ගඞ්ගානි තං සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තානාං ච රූපානං මග්ගපච්චයෙන පච්චයො[2]

‘ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත වූ මාර්‍ගාඞ්ග සම්පයුක්ත ස්කන්‍ධයට හා කර්‍මජ රූපයනට මාර්‍ග ප්‍ර‍ත්‍යයයෙන් ප්‍ර‍ත්‍යය වේ.’

විශේෂ:- ප්‍ර‍ත්‍යය වාරයෙහි කී “තිං සමුට්ඨානානං රූපානං” යන්නෙන් ම කටත්තා රූපානං යන්නෙන් කී අර්‍ථය දක්වන ලදී. එහෙත් මෙහි ස්වරූපයෙන් ගැනීම සඳහා කියන ලදී. පෙර කී ධ්‍යාන ප්‍ර‍ත්‍යය හා මේ මාර්‍ග ප්‍ර‍ත්‍යය දෙපස් (10) විඤ්ඤාණයෙහි හා අහේතුක චිත්තයෙන්හි නො ලැබේය යි දත යුතු.

  1. ප:ප: පච්චය නිද්දෙස 6

  2. ප:ප: පච්චය නිද්දෙස 6