ලක්‍ෂණ - ආලම්බන වශයෙන් උපනිද්ධ්‍යායන (අරමුණු බැලීම්) අර්‍ථයෙන් උපකාරක වූ ද්විපඤ්චවිඥානයෙහි සුඛ - දුඃඛ - වේදනා ද්වය හැර සෙසු කුසලාදීභෙද වූ සිත්හි පවත්නා විතර්‍ක-විචාර-පීති-ඒකාග්‍රතා-සෞමනස්‍ය-දෞර්‍මනස්‍ය-උපෙක්‍ෂා යන සත් ධ්‍යානාඞ්ග ධ්‍යාන ප්‍රත්‍යය යැ.
විශේෂ :- ද්විපඤ්චවිඤ්ඤාණයෙහි වූ උපෙක්ඛා-එකග්ගතා ධ්‍යානාඞ්ග නොවේ.
“ඣානඞ්ගාතිඣානසම්පයුත්තකානං ච ධම්මානං තං සමුඨා නානං ච රූපානං ඣානපච්චයෙන පච්චයො”[1] විතර්‍කාදි ධ්‍යානාඞ්ග ඒ හා සම්ප්‍රයුක්ත ධර්‍මයනට හා තත් සමුත්‍ථාන රූපයනට ධ්‍යාන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යැ යි වදාළහ.
විස්තර:- තමා හා සම්ප්‍රයුක්ත චිත්ත-චෛතසික ධර්‍මයන් හා කර්‍මජ රූපයන් අනිත්‍යාදි ලක්‍ෂණයෙහි හා කසිණාදි ආලම්බනයෙහි මනාවැ නැංවීම ය, පිරිමැදීම ය, පිණවීම ය, වැඩීමය, මනා වැ පිහිටුවීම ය යන මොවුන් ගේ වශයෙන් පවත්නා විතර්‍කාදි ධර්‍ම හා සොමනස්ස-දොමනස්ස-උපෙක්ඛා වේදනා ද ධ්‍යාන ප්‍රත්‍යය යි. අරමුණු පිරිමැදීම් වශයෙන් ද පච්චනීක ධර්‍ම දැවීම් වශයෙන් ද මහග්ගත ලොකුත්තර සිත්හි යෙදේ.
ප්‍රශ්න වාරයෙහි:- “පටිසන්‍ධික්ඛණෙ විපාකාඛ්‍යාකතාහි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තානඤ්චරූපානං ඣානපච්චයෙන පච්චයො”[2] ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස (19) ය, චෛතසික පන්තිස (35) ය, යන මොවුන් හා සම්ප්‍රයුක්ත වූ විතර්‍කාදි පස සම්ප්‍රයුක්ත ස්කන්‍ධයනට හා කර්‍මජ රූපයනට ධ්‍යාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ යැයි ද වදාරන ලදී.