රූප-අරූප ධර්‍මයනට උපස්තම්භක භාවයෙන් (රුකුල් දීමෙන්) උපකාරක කබලීකාරය, ඵස්සය, මනොසඤ්චේතනාය, විඤ්ඤාණය යන සතර ආහාර ප්‍රත්‍යය යැ (රූප - අරූප වශයෙන් ආහාර දෙකොටසෙකි.)
විශේෂ:- ජනකත්‍වය ඇත ද අරූපාහාරයන්ගේ ද, ආහාරජ රූප සමුට්ඨාපක රූපාහාරයන්ගේ ද, උපස්තම්භකත්‍වය වේ. ජනකත්‍වය නැති කල්හි දු චතුසමුට්ඨානික රූපොපස්තම්භක රූපයාගේද, උපස්තම්භකත්‍වය වේ. එහෙත් උපස්තම්භකත්වය නැති කල්හි ආරයන් ගේ ජනකත්‍වය නැත්නුයි උපස්තම්භකත්‍වය ප්‍රධානයි.
තවද:- ‘ආහාර ද උපදනේ ම අවිච්ඡේද විසින් උපස්තම්භනය කෙරෙමින් ම උපදීනුයි’ උපස්තම්භක බවම ආහාර බවම යැයි උපස්තම්භක අර්‍ථයෙන් යැයි කීහු.
“කබලීකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො. අරූපිනො ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුඨානානඤ්ච රූපානං ආහාරපච්චයෙන පච්චයො”[1] කබලිඞ්කාරාහාර සඞ්ඛ්‍යාත (ඕජාව) රූපාහාරය මෙම කයට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. අරූපි ආහාර තත් සම්ප්‍රයුක්ත අරූපි ධර්‍මයනට ද එයින් උපදනා (චිත්තජ) රූපයනට ද, ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.’
විශේෂ:- “පටිසන්‍ධික්ඛණෙ විපාකාඛ්‍යාකතා ආහාරා තං සම්පයුත්තකානං ඛන්‍ධාං කටත්තා ච රූපානං ආහාර පච්චයෙන පච්චයො”1 ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි විපාක-අඛ්‍යාකත ආහාර (අරූපි ආහාර) සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට ද, තමන් හා උපදනා කර්‍මජ රූපයන්ට ද, ආහාර ප්‍රත්‍යය වේ. මෙහි රූපාහාරය රූප ධර්‍මයන්ට ද ආහාර ප්‍රත්‍යය වේ. එය ද චිත්ත සමුඨාන රූපයනට පමණක් නොව ඇතැම් කලෙක කර්‍මජ රූපයනට ද ප්‍රත්‍යය යන බව ප්‍රශ්න වාරයෙහි වදාළහ.
හැල් බීජයෙන් නැගෙන අංකුරය පෘථිවි -අප්-රසාදිය ලැබීමෙන් වැඩෙන්නා සේ කර්‍මයෙන් උපදනා රූපයෝ සෘතු - ආහර ප්‍රත්‍යය ලැබී පවත්නෝ (වැඩෙන්නෝ) වෙති.
විස්තර:- (කබලීකාරාහාරය) තමා පිහිටි රූප කලාපයෙහි අන්‍ය රූපයන්ට ද, අන්‍ය රූප කලාපයන්ට ද ප්‍රත්‍යය වන චතුසමුට්ඨානික ඕජාව වූ කබලිඞ්කාරාහාරය චතුසමුට්ඨානික රූප පුඤ්ජය වූ මේ කයට උපස්තම්භක වීම් වශයෙන් අවිච්ඡින්න ප්‍රවෘත්තියට උපකාර වේ. ඵස්ස-මනොසඤ්චෙතනා-විඤ්ඤාණ යන රූපාහාර තුන එකුන් අනූ (89) චිත්තය. දෙපනස් (52) චෛතසිකය යන සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට හා චිත්තජ රූපය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපය යන මොවුන්ට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ.
විශේෂ:- මෙහි කබලිඞ්කාරාහාරය නමින් බාහිර ඕජවා හා චතුසමුට්ඨානික ඕජාවම ගැනේ. එහෙත් කැබෙලිකොට අනුභව කළ ආහාරය ම ආහාර ප්‍රතයය වීමට සමර්‍ථ වේ. බාහිර ඕජාව එයට සමර්‍ථ නො වේ. එහෙයින් මෙහි ආහාරය යි නො කියා විශේෂයෙන් කබලිඞ්කාරාහාරය යි වදාළහ.
රූපාහාරයෙහි ජනක- උපස්තම්භක යන ශක්ති දෙක ම ඇත්තේ යැ. බාහිර ඕජාව ආහාරජ රූපයනට ජනක ප්‍රත්‍යය වේ. එය කර්‍මජ-චිත්තජ-සෘතුජ රූපයනට උපස්තම්භක වේ. ඒ ත්‍රිජ රූපයන්හි ඕජාව චතුසමුඨානික රූපයනට උපස්තම්භක වේ. නොහොත් එක් කලාපයෙකැ ඕජාවට ඒ කලාපයේ රූපයන්ට ජනක ප්‍රත්‍යය වේ. අන්‍ය රූප කලාපයන්ට උපස්තම්භක ප්‍රත්‍යය වේ.
-
ප:ප: පඤ්හවාර 6 ↑