14. විපාක ප්‍ර‍ත්‍යය

නිරුත්සාහ ශාන්ත භාවයෙන් එබඳු වූ ම සන්සුන් බවට උපකාර වන්නා වූ ධර්‍ම සමූහය විපාක ප්‍ර‍ත්‍යය යැ.

විශේෂ:- චිත්ත චෛතසිකයන් ගේ ශාන්ත භාවය ක්ලේශ ප්‍ර‍හාණයෙන් ද, වේග මන්‍ද භාවයෙන් ද වේ. ධ්‍යාන ලාභීන් ගේ හා ආර්‍ය්‍යයන්ගේ සිත් ක්ලේශ ප්‍ර‍හාණයෙන් ශාන්ත වේ. විපාක චිත්තයන් ගේ ශාන්ත භාවය වේග මන්‍දභාවෙයන් වේ. ‘නිරුත්සාහක ශාන්ත භාවයෙනැ’ යි කීයේ එහෙයිනි.

තවද:- ඒ විපාක ප්‍ර‍ත්‍යය ප්‍ර‍වෘත්ති කාලයෙහි විපාක චිත්තයෙන් උපදනා රූපයන්ට ද, ප්‍ර‍තිසන්‍ධියෙහි කර්‍මජ රූපයන්ට ද, ප්‍ර‍තිසන්‍ධි -ප්‍ර‍වෘත්ති දෙකෙහිම තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට ද ප්‍ර‍ත්‍යය වේ.

විපාකාබ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්තසමුඨානානං ච රූපානං විපාකපච්චයෙනපච්චයො -පෙ- පටිසන්‍ධික්ඛණෙ විපාකාඛ්‍යාකතො එකො ඛන්‍ධො තිණ්ණන්නං ඛන්‍ධානං කටත්තා ච රූපාවං, තයො ඛන්‍ධා එකස්ස ඛන්‍ධස්ස ද්‍වෙ ඛන්‍ධා ද්‍වින්තං ඛන්‍ධානං කටත්තා ච රූපානං විපාක පච්චයෛන පච්චයො. ඛන්‍ධා වත්‍ථුස්ස විපාකපච්චයෙන පච්චයො[1]

‘විපාක අව්‍යාකෘත වූ කඑම නාම ස්කන්‍ධයෙක් සහජාත වූ නාම ස්කන්‍ධ තුනට ද, විපාක චිත්තයෙන් හටගත් රූපයන්ට ද, විපාක ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ. -පෙ- ප්‍ර‍තිසන්‍ධි ක්‍ෂණයෙහි විපාක අව්‍යාකෘත වූ එක් නාම ස්කන්‍ධයෙන් සහජාත තුන් නාම ස්කන්‍ධයනට හා ප්‍ර‍තිසන්‍ධි කර්‍මජ රූපයනට ද, තුන් නාම ස්කන්‍ධ එක් නාමස්කන්‍ධයකට ද නාමස්කන්‍ධ දෙකක් නාම ස්කන්‍ධ දෙකකට ද, කර්‍මජ රූපයනට ද, විපාක ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. පඤ්චවොකාර භවයෙහි ප්‍ර‍තිසන්‍ධි නාම ස්කන්‍ධ හෘදය වස්තු රූපයට ද විපාක ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ.

  1. ප:ප: පඤ්හවාර 111