13. කර්‍ම ප්‍ර‍ත්‍යය

සිත මෙහෙයවීම් සඞ්ඛ්‍යාත ක්‍රියා (ආයූහන) භාවයෙන් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට උපකාර වූ චේතනාව කර්‍ම ප්‍ර‍ත්‍යය යැ.

විස්තර :- කාය විඥප්ති - වාක් විඥප්ති කාය-වාක් ප්‍ර‍යෝග යන් හඟවන්නා සේ චේතනාව ද (ආයූහන) පිළියෙල කිරීම් වශයෙන් සිත මෙහෙයවා එයින් ඒ චේතනාව උපන් ක්‍රියා භාවයෙන් විශිෂ්ට වූ සන්තානයෙහි සෙසු ප්‍ර‍ත්‍යය සමාගමයෙහි පවත්නා වූ විපාකයන්ට හා කර්‍මසමුත්‍ථාන රූපයන්ට ද ඒ සන්තානය විශේෂ වූ ක්‍රියා භාවයෙන් උපකාර වේ. ඒ ක්‍රියා භාවයා ගේ ප්‍ර‍වෘත්ති හෙයින් විපාකයන් ගේ හා කර්‍මසමුත්‍ථාන රූපයන්ගේ ප්‍ර‍වෘත්තිය අනිත් පරිද්දෙකින් නො වේ. සහජාත යනට ක්‍රියා භාවයෙන් උපකාර වේය යනු කියනුම කිම! (කායාඞ්ග- වාචාඞ්ග- චිත්තාඞ්ගයන් මෙහෙයවන්නාක් මෙන් පවත්නා චිත්ත ප්‍රයෝගය වූ චේතනාව කර්‍ම ප්‍ර‍ත්‍යයයි.)

ප්‍රභෙද. එය

(1) නානාක්‍ෂණික කර්‍ම ප්‍ර‍ත්‍යය.

(2) සමජාත කර්‍ම ප්‍ර‍ත්‍යය ද්විවිධ යැ

(1) “කුසලාකුසලං කම්ම විපාකානං ඛන්‍ධානං කටත්තා ච රූපානං කම්මප්පච්චයෙන පච්චයො.

(2) (සහජාතා) චෙතනා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කම්මප්පච්චයෙන පච්චයො[1]

(1) කුශලාකුශල (චේතනා) කර්‍මය, විපාකස්කන්‍ධයන්ට හා තත් සමුත්‍ථාන රූපයන්ට කර්‍මප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ. (මේ නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යයයි.)

(2) සහජාත චේතනාව තත් සම්ප්‍ර‍යුක්තයනට හා තත් සමුත්‍ථාන රූපයනට කර්‍මප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍ය වේ. (මේ සහජාත කර්‍මප්‍ර‍ත්‍යයයි.)

නිදර්‍ශන:- කලින් සකස් කළ සාලි බීජය මතු අඞ්කුරොත්පාදනයට උපකාර වන්නාක් මෙනි. (තමා පැවැති අවස්ථාවෙන් පසුවැ රූපා‘රූප ධර්‍මයන් උපදවන චේතනාව නානාක්‍ෂණික කර්‍මප්‍ර‍ත්‍යය යැ. තමා උපදනා කෙණෙහි ම රූපා‘රූප ධර්‍මයන් උපදවන චේතනාව සහජාත කර්‍මප්‍ර‍ත්‍යය යි.

  1. ප:ප: පච්චය නිද්දෙස 6