12. ආසෙවන ප්‍ර‍ත්‍යය

කුසලාදිභාවයෙන් තම හට අනතුරුවැ උපදනා ස්වජාතීය ධර්‍මයනට තමාගේ ස්වභාවය ගෙන පුරුදුව බලවත් වීමට උපකාරක ධර්‍ම ආසේවන ප්‍ර‍ත්‍යය යැ. උද්ග්‍ර‍හණ කළ ග්‍ර‍න්‍ථාදීන් ගේ ධර්‍ම ආසේව ප්‍ර‍ත්‍යය යැ. ප්‍ර‍ථම ප්‍ර‍ථම උද්ග්‍ර‍හණ ශ්‍ර‍වණ ධාරණාදිය මෙනි. එය කුසල ජවන, අකුසල ජවන, ක්‍රියා ජවන යයි ත්‍රිවිධ වේ. (කුසල, අකුසල, ක්‍රියා ජවනයෝ ස්වජාතීය ජවනයන්ට ආසේවන ප්‍ර‍ත්‍යය වේ. විපාකයන් ගේ නිරුත්සාහය ශාන්ත භාවයෙන් ආසේවන ප්‍ර‍ත්‍යය නොවේ.)

“පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුසලා -පෙ- පුරිමා පුරිමා ක්‍රියාබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං ක්‍රියාබ්‍යාකතානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො[1]

‘අනන්තරාතීත පළමු - පළමු කුසල වන ජවන පසුවැ - පසුවැ උදපදනා කුසල ජවනයනට ආසේවන ප්‍ර‍ත්‍යය වේ. පළමු පළමු අකුසල් -පෙ- පළමු - පළමු උදපනා ක්‍රියා ජවන පසුවැ-පසුවැ උපදනා ක්‍රියා ජවනයට ආසෙවන ප්‍ර‍ත්‍යය වේ.’

විශේෂ:- සමාන ජාතික වූ ම පූර්‍ව - පූර්‍ව ජවන පසුවැ-පසුවැ උපදනා ජවනයට පරිභාවිත වාසනා වශයෙන් ආසෙවන ප්‍ර‍ත්‍යය වේ.

  1. ප:ප: පච්චය නිද්දෙස 6