8. නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය.

පිහිටීම ආධාරාකාරයෙන් උපකාරක ධර්‍මය නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යැ. ගස් ආදියට පොළොව මෙන් ද, චිත්‍ර‍කර්‍මාදියට වස්ත්‍රාදිය මෙන් ද, පෘථිවි ධාතුව සෙසු ධාතූන්ට ද, චක්‍ෂුරාදිය චක්‍ෂුර්විඥානාදියට ද, ආශ්‍රිත ස්කන්‍ධාදිය සෙසු ස්කන්‍ධාදියට ද නිශ්‍ර‍ය වේ.

ඒ නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය “චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං නිස්සයපච්චයෙන පච්චයො”[1] යනාදීන් සහජාත ප්‍ර‍ත්‍යය විෂයෙහි කී සෙයින් දත යුතුයි.

විශේෂ:- එහි සවන කොටස වෙනසි.

ඒ මෙසේයි:- “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා - සොත-ඝාණ-ජිව්හා-කායායතනං කායවිඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සයපච්චයෙන පච්චයො. යං රූපං නිස්සාය මනොධාතු ච මනො විඤ්ඤාණ ධාතුච වත්තන්ති තං රූපං මනොධාතුයා මනො විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සයපච්චයෙන පච්චයො1

“චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද, නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. සෝත - ඝාණ - ජිව්හා - කායායතන - කාය විඤ්ඤාණ ධාතුවට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයනට ද, නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. යම් (හෘදය) රූපයක් නිසා මනෝ ධාතු - මනෝවිඤ්ඤාණ ධාතු පවතී නම් ඒ රූපය මනෝධාතු - මනෝවිඤ්ඤාණ ධාතූන්ට ද, තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට ද, නිශ්‍ර‍යප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වේ. (එහි “රූපිනො ධම්මා- පෙ- කස්මිඤ්චිකාලෙ” යනාදි පාඨය වෙනුවට මෙහි මෙසේ යෙදේ.)

නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය (1) සහජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය

(2) පුරෙජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය යි ද්‍විවිධ වේ.

(1) සහජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය - සහජාත ප්‍ර‍ත්‍යය මෙනි.

(2) පුරෙජාත නිශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය පෙරැ ‘චක්ඛායතනං’ යනාදි පට්ඨාන පාඨයෙහි කී පරිදි තමාගෙන් පසුවැ උපදනා ධර්‍මයනට පිහිටීමට උපකාරවීම් ස්වභාවයයි.

  1. ප:ප: පච්චය නිද්දෙස 4