7. අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය

ඔවුනොවුන් ගේ නිපැත්මට හා පැවැත්මට උපස්තම්භක භාවයෙන් උපකාර වන ධර්‍ම අඤ්ඤමඤ්ඤ ප්‍ර‍ත්‍යය යි. ඔවුනොවුන්ට උපස්තම්භක වන්නා වූ ත්‍රිදණ්ඩ මෙනි. (මුල කොන් මඳක් ඈත් කොට අග කොටස් එකිනෙකට හේත්තු වන සේ තුබූ දඬු තුන නො පෙරලී සිටීමට ඔවුනොවුන්ට උපකාර වන්නා සේ ය.) තමාහට උපකාර වන්නාහට උපකාර වීම මෙහි ලක්‍ෂණය යි.

විශේෂ:- අන්‍යොන්‍ය වශයෙන් උපකාර වන ධර්‍මයෝ ඒ ධර්‍මයනට සහජාත වශයෙන් ද උපකා වෙති. එහෙත් සහජාත වශයෙන් උපකාර වන ඇතැම් ධර්‍මයෝ ඒ ධර්‍මයනට අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය නො වෙති.

මේ අරූපස්කන්‍ධාදි වශයෙන් ත්‍රිවිධ වේ.

(1) “චත්තාරො ඛන්‍ධා අරූපිනො අඤ්ඤමඤ්ඤ පච්චයෙන පච්චයො. (2) චත්තාරො මහාභුතා අඤ්ඤමඤ්ඤං (3) ඔක්කන්තික්ඛණෙ නාම-රූපං අඤ්ඤමඤ්ඤපච්චයන පච්චයො”[1]

(1) සතර නාම ස්කන්‍ධ ඔවුනොවුන්ට ප්‍ර‍ත්‍යය වේ.

(2) සතර මහාභූත ඔවුනොවුන්ට ද,

(3) ප්‍ර‍තිසන්ධි ක්‍ෂණයෙහි සතර නාම ස්කන්‍ධ හා හෘදය වස්තු රූපය ඔවුනොවුන්ට ද ප්‍ර‍ත්‍යය වෙති.

විශේෂ:- මෙහි අඤ්ඤමඤ්ඤ යන දෙකින් ප්‍ර‍ත්‍යය හා ප්‍ර‍ත්‍යයාත්පන්නය ද යන දෙක කියැ වෙ. (අඤ්ඤං අඤ්ඤං= අඤ්ඤමඤ්ඤං මකාරය සන්‍ධියෙනි)

  1. ප:ප: පච්චය නිද්දේස 4