4-5 අනන්තර ප්‍ර‍ත්‍යය, සමනන්තර ප්‍ර‍ත්‍යය

star_outline

අතුරු නැති සේ උපකාරක ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ. මනාකොට අතුරු නැති බැවින් උපකාරක ධර්‍ම සමනන්තර ප්‍ර‍ත්‍ය යි. මේ ප්‍ර‍ත්‍යය ද්වයයෙන් අත්‍ථානන්තරභාවය අනන්තර ප්‍ර‍ත්‍යය යැ.

කාලානන්තරභාවය සමනන්තර ප්‍ර‍ත්‍යය යනාදීන් බොහෝ විස්තර කෙරෙති. එ අසාර යැ. මේ වූ කල චිත්ත නියමය ම හේතු භාවයෙන් කියන ලදී.

චක්ඛු විඤ්ඤාණ අනන්තර මනොධාතු[1] = චක්ඛු විඤ්ඤාණයට අනන්තර වූ මනෝධාතු යැ. මනෝධාතු අනන්තරා මනොවිඤ්ඤාණ ධාතු1 = මනොධාතුවට අනන්තර වැ මනොවිඤ්ඤාණ ධාතු යැ යි යනාදියෙහි යම් චිත්ත නියමයෙක් වේ. නම් එය ඒ ඒ පූර්‍ව පූර්‍ව අනන්තරයෝපාද චිත්ත නියමය අනුව වේ. අන් පරිද්දෙකින් නොවේ එහෙයින් තම - තමාහට අනතුරුව සුදුසු චිතේතත්පාද ඉපදවීමේ සමර්‍ථ වූ ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ. යමක් අනන්තර ප්‍ර‍ත්‍යය වේ නම් එය සමනන්තර ප්‍ර‍ත්‍යයැ යි. මේ ප්‍ර‍ත්‍යයද්‍වයෙහි ව්‍යඤ්ජන මාත්‍ර‍ය වෙනසි. උපචය -සන්තති දුකයෙහි මෙන් ද, අධීවචන - නිරුත්ති දුක යෙහි මන් දැ යි කියා යි. (උපචය -සන්තති පදයන්ගේ ද, අධි වචන - නිරුත්ති පදයන්ගේ ද අර්‍ථ එකෙක් මැයි) අර්‍ථ වශයෙන් වෙනසෙක් නැති.

පෙර කී සේ පූර්‍ව-පශ්චිම චිත්තයන් ගේ අතුරෙක් නැත්මනු යි අනන්තර නම් වේ. සටහනක් නැති බැවින් මනාව අතුරක් නැත්තේ සමනන්තර නම් වේ. යට සඳහන් පරිදි අත්‍ථානන්තර භාවය අනන්තර ප්‍ර‍ත්‍යය යි කාලාන්තර භාවය සමනන්තර ප්‍ර‍ත්‍යයැයි දකී රේවතස්ථවිර මතය නිරස්ත කරනුවෝ.

“නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසලං ඵලසමාපත්තියා සමනන්තර පච්චයො”[2] නිරෝධ සමාපත්තියෙන් නැගිටිනන්හුට ඒ නිරෝධ සමාපත්තියට පූර්‍වයෙහි වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල චිත්තය නිරෝධයෙන් නැගිටීමේදී උපදනා අනාගාමි ඵල චිත්තයට හෝ අර්හත් ඵල චිත්තයට සමනන්තර ප්‍ර‍ත්‍යයෛන් ප්‍ර‍ත්‍යය වේ ය යි වදාළ සේක.

යම්කිසි අන්‍යධර්‍මයකට අතරට පැමිණීමට අවකාශ නො තබා තමාට අනතුරුවැ ම උපදනා පරිදි දෙවන චිත්තයට උපකාර වන ධර්‍ම සමනන්තර ප්‍ර‍ත්‍යය යැ.

පෙර කී නිරෝධ සමාපත්තියන් නැගිටින්නහු ගේ සත් දවසකට පෙ නිරුද්ධ වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය නිරෝධයෙන් නැගිටීමේදී දී උපදනා ඵල චිත්තයට රූප සර්තතීන්ගෙන් අතරක් ඇති වීම නිසා ද, කාලයෙන් අතරක් ඇතිවීම නිසාද සමනන්තර ප්‍ර‍ත්‍යය නොවේ ය යනු රේවත ස්ථවිර මතය යි. එය පෙර කී පට්ඨාන පාඨය දක්වා බැහැර කෙරෙති.

(තව ද මල් පිපෙන රුකක් කඩ රෙද්දෙකින් වෙලු කල වෙලුම නිසා නො පිපෙතත් ඒ ඉවත් කළ කල මල් පිපෙන්නා සේ භාවනා බලයෙන් වැළකූ හෙයින් උපදිනු සමර්‍ථ වූ චිත්තය නූපදිතත් එය නැවැත්වූ කෙණෙහි උපදනා හෙයින් ධර්‍මයන් ගේ ප්‍ර‍වෘත්ති මාත්‍ර‍ය ම නිසා කාලය ම ගැනෙන හෙයින් නිරෝධයෙන් නැගෙන්නහු ගේ නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය හා ඵල සමාපත්ති අතර අරූප ධර්‍මයන් ගේ පැවැත්මක් නැති හෙයින් කාලානන්තර භාවය නො වේ.)

රූප ධර්‍ම ප්‍ර‍වෘත්තිය අරූප ධර්‍මයනට භින්න සන්තාන හෙයින් අර්‍ථානන්තර භාවය ද නොවේ. ඒක සන්තතියෙහි පූර්‍ව පශ්චිමයන් මධ්‍යයෙහි පවත්නා තත් සන්තති පර්‍ය්‍යාපන්න වූ යේ ම අනන්තර වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන ඵල සමාපත්තීන් මධ්‍යයෙහි එබඳු අතරක් නැති හෙයින් ජවනානන්තර ජවනය මෙන් ද, භවඞ්ගානන්තර භවාඞ්ගය මෙන් ද, ඔවුන් ගේ අනන්තර භාවය සිද්ධ යැ. අසඤ්ඤසත්ත ප්‍ර‍තිසන්‍ධි- චූතීන් පිළිබඳ වැ ද මෙසේ මැ යි. (ටීකාහි මේ පිළිබඳ මනා විස්තරයෙකි.) මෙසේ කාලයෙන් හෝ රූපයෙන් අනන්තර සමනන්තර ප්‍ර‍ත්‍යය භාවයට බාධාවක් නැති බව් දත යුතු.)

හුදෙක් ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍ම තමාගෙන් වෙන් කරන අන්තර ධර්‍මයක් ඇති නොවන සේ උපකාරක ධර්‍මය අනන්තර ප්‍ර‍ත්‍යය යැ.

ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයන් තමා හා ඒකී භාවයට පැමිණියා සේ මනාකොට අතුරු නැති වැ ඉපදීමේ සමර්‍ථ බව සමනන්තර ප්‍ර‍ත්‍යය යි.

  1. ප:ප: පච්චය නිද්දෙස 2

  2. ප:ප: තිකපඨාන 97