‘ජරාව දුකයැ’ යි වදාළ මෙහි ජරාව සඞ්ඛත ලක්‍ෂණය වූ අප්‍රකට ජරාව ය, දත් වැටීම්, කෙස් පැසීම් ආදි වශයෙන් සම්මත වූ සන්තියෙහි හෙවත් රූපා රූප ධර්‍ම පරම්පරායෙහි එක් භවයෙකැ ඇතුළත් ස්කන්‍ධයන් ගේ පුරාණ බව වූ ප්‍රකට ජරාවයයි දෙවැදෑරුම් වේ.
මේ දුඃඛ නිර්දේශයෙහි ඉන් ප්‍රකට ජරාව අභිප්‍රේත යැ. මේ ජරාව ස්කන්‍ධයන් ගේ පුරාණ බව ලක්‍ෂණය යැ. මරණය කරා පැමිණවීම එහි කෘත්‍යය යැ. වැටෙන ආකාරය යෞවනය නැසීමයි. සංස්කාර දුක් බැවින් හා දුකට කාරණ වන බැවින්ද දුක් වන්නේ ය.
ඒ මෙසේයි:- අඟ පසඟ ළිහිල් බව, ඉන්‍ද්‍රියයන් ගේ විකාර බව, විරූපි බව, තරුණ බව නැසීම, බලය බැසීම, සිහිනුවණ නැසීම, අනුන් පරිභව කිරීම යනාදි නොයෙක් කරුණින් කායික චෛතසික දුකක් උපදී නම් එයට හේතුව ජරාවයි.
එයින් වදාළහ.
(12) අඞ්ගානං සිථිලී භාවා - ඉන්‍ද්‍රියානං විකාරෙතො
යොබ්බනස්ස විනාසෙන - බලස්ස උපඝාතතො
(13) විප්පවාසා සතාදීනං - පුතතදාරෙහි අත්තනො
අප්පසාදනියතොචෙව - භීයොබාලත්තපත්තියා
(14) පප්පොති දුක්ඛං යං මච්චො - කායිකං මානසං තථා
සබ්බමෙතං ජරාහෙතු - යස්මා තස්මා ජරා දුඛා2
(12) අඟ පසඟ අවසග - බැවින් ඉඳුරන් විකරින්3
යොවුන් සිරි නැසීමෙන් - සිරුරු බල වැනැසීමෙන්
(13) සිහිනුවණ වියොවින් - සිය අඹු දරු නෑසියන්
පිළිකුල් කරනුයෙන් හා - නිවට බවට පැමුණුමෙන්
(14) කයින් - මනසින් යම් - දුකක් ලබතොත් මිනිසා
එ සියල්ල දිරුම් හේනෙන් - එබැවින් ජරා දුක මැයි
මේ ජරායෙහි විනිසයි.