ආයතන කථාවට අනතුරු වැ ධාතු කථාව දක්වනු ලැබේ.
මෙහි 1. චක්ඛු ධාතු, 2. රූප ධාතු, 3. චක්ඛු විඤ්ඤාණ ධාතු,
4. සොත ධාතු, 5. සද්ද ධාතු, 6. සොත විඤ්ඤාණ ධාතු,
7. ඝාණ ධාතු, 8. ගන්‍ධ ධාතු, 9. ඝාණ විඤ්ඤාණ ධාතු,
10. ජිව්හා ධාතු, 11. රස ධාතු, 12. ජිව්හා විඤ්ඤාණ ධාතු,
13. කාය ධාතු, 14. ඵොට්ඨබ්බ ධාතු, 15. කාය විඤ්ඤාණ ධාතු,
16. මනො ධාතු, 17. ධම්ම ධාතු, 18. මනො විඤ්ඤාණ ධාතුය යි ධාතූහු
අටළොසෙකි.
මෙහි (1) අර්ථ වශයෙන් ද, (2) ලක්‍ෂණාදීන් වශයෙන් ද, (3) ක්‍රම වශයෙන් ද,
(4) තාවත් ප්‍රමාණ වශයෙන් ද,
(5) සංඛ්‍යා වශයෙන් ද, (6) ප්‍රත්‍ය වශයෙන් ද, (7) දතයුතු බැවින් ද විනිශ්චය දත යුතු ය.
1. අර්‍ථ වශයෙන් මෙසේයි :- අරමුණු රස විඳින්නේ, හෙවත් රූපාලම්බනය ප්‍රකට කොට දක්නේ චක්ඛු නම. (ළෙහි වන් බව) ප්‍රකට කරන්නේ රූප නම. ඒ චක්ඛුහු ගේ විඤ්ඤාණය = චක්ඛු විඤ්ඤාණය යැ. මේ ආදි ක්‍රමයෙන් චක්ඛු ආදීන්ගේ විශේෂාර්‍ථ වශයෙන් විනිශ්චය දත යුතු ය. (රූප, ආලෝක, මනසිකාරාදීහු චක්‍ෂුර්විඥානයා ගේ උපැත්මටට හේතු වුව ද, චක්ඛුව අසාධාරණ හේතු වශයෙන් දක්වන ලදී. සෝතාදි සෙස්සෙහි ද මෙසේ මැයි.
අවිශේෂ අර්‍ථ (සාමාන්‍ය) වශයෙන් වනාහි :- (i) “මෙසේ මෙසේ තා විසින් පැවැතිය යුතුය” යි විනියෝග කරන්නාක් මෙන් උපදවන්නෙනෙුයි හෝ (කර්‍තෘකාරක හෙයිනි) (ii) (සත්ත්‍වයන් විසින්) ධරනු ලැබේනුයි හෝ (කර්‍මකාරක හෙයිනි) (iii) දුක්ඛයා ගේ විධානයනුයි හෝ (භාවකාරක හෙයිනි.) (iv) මේ කරණකො ගෙන සංසාර දුක්ඛය විධාන කරනු ලැබේනුයි හෝ, (කරණකාරක හෙයිනි) (v) මෙහි සංසාර දුක්ඛය පිහිටුවනු ලැබේනුයි හෝ (ආධාර කාරක හෙයිනි.) ධාතු නම් වේ.
විස්තර :- (i) ස්වර්ණ - රජතාදීන්ටට බීජය වූ ශෛලාදි ධාතුන් සුවර්‍ණ රජතාදිය උපදවන්නාක් මෙන් ලෞකික වූ ධාතූහු, (කාරණ වීම් වශයෙන් පිරිසිඳන ලදු වැ) නොයෙක් ආකාර වූ සසර දුක උපදවති.
(ii) බර උසුලන්නවුන් විසින් උසුලනු ලබන බර මෙන්, සත්ත්‍වයන් විසින් චක්‍ෂුරාදි ධාතුහු උසුලනු ලබත් යැ යන අර්‍ථයි.
(iii) මේ ධාතුන් වශයෙහි නො පවත්නා හෙයින් දුක් ඉපයීම් මාත්‍රයෙක් මැයි.
(iv) (කාරණ වූ) මේ චක්ඛාදීන් කරණකොට ගෙන සත්ත්‍වයන් විසින් සසර දුක ගළපනු ලැබේ.
(v) එසේ ගළපන ලද්දා වූ ඒ සසර දුක ඒ චක්‍ෂුරාදි විෂයයෙහි පිහිටුවනු ලැබේ. (මේ යට දැක්වූ සංක්‍ෂේපය ගේ ඒ ඒ කාරක සම්බන්ධ විස්තරයයි.)
මෙසේ චක්‍ෂුරාදි ධාතූන් අතුරින් එක් එක් ස්වභාව ධර්‍මයක් ලැබෙන - ලැබෙන පරිද්දෙන් විද්ධති = උපදවයි; ධීයතෙ = ධරනු ලැබේ. යනාදි අර්‍ථ වශයෙන් ධාතු යයි කියනු ලැබේ.
තවද:- තීර්‍ථකයින් ගේ ආත්මය පරමාර්‍ථ වශයෙන් නැත්තාක් මෙන්, මේ ධාතූහු පරමාර්‍ථ වශයෙන් නැත්තාහු නොවෙති. මේ චක්‍ෂුරාදීහු තමා ගේ ස්වභාව ධරන හෙයින් ධාතු නම් වෙති.
තවද:- ලෙව්හි විසිතුරු හිරියල් - මනොසීලාදි ශෛලාවයව ධාතුයයි කියන්නා සේ, මේ චක්‍ෂුරාදීහු ද ශෛලාවයට ධාතුන් වැනි හෙයින් ධාතු නම් වෙති. මේ අටළොස් ධාතුහුම ඤාණඤෙය්‍ය ධර්‍මයන් ගේ අවයව වන හෙයින් විචිත්‍රයෝ යි.
යම්සේ ශරීරය යි කියන ලද මේ පුඤ්ජයා ගේ අවයව වූ ඔවුනොවුන්ට විසභාග ලක්‍ෂණයෙන් පිරිසිඳින ලද රස ශ්‍රොණිතාදියේ ධාතු යන නාමය වේ ද, පඤ්චස්කන්ධය යි කියන ලද මේ ආත්ම භාවයා ගේ (කොටස් වූ) අවයවයන් ගේ ද ‘ධාතු’ යන ව්‍යවහාරය දතයුතුයි.
මේ චක්‍ෂුරාදීන් එකිනෙකට අසමාන ස්වභාව විසින් පිරිසිඳින ලද්දාවුන් හෙයිනි. (රසාදි සප්ත ධාතූන්හි නිරූඪ වූ ‘ධාතු ශබ්දය චක්‍ෂුරාදීන්හි ද සදෘශෝපචාර වශයෙන් යෙදේ.)
තවද අර්‍ථයෙකි :- මේ ධාතු යනු නිර්ජීව මාත්‍රයට මැ නමෙකි. එහෙයින් “ඡධාතුරො අයං භික්ඛු පුරිසො”[1] ‘මහණ! මේ පුරුෂ තෙමේ ෂඩ් ධාතු මාත්‍රයක් ඇත්තේය’යි වදාළහ. එහෙයින් මැ නිඃසත්ත්‍ව - නිර්ජීවාර්‍ථයෙන් (චක්ඛුව තං ධාතුව = චක්ඛු ධාතු) ‘චක්ඛු වූයේත්, ධාතු වූයේත් හේම නුයි චක්ඛු ධාතු නම්, සෙස්සෙහි ද මෙසේ මැයි. (මනොවිඤ්ඤාණඤ්චතං ධාතුව = මනො විඤ්ඤාණ ධාතු) ‘මනො විඤ්ඤාණය වූයේත්, ධාතු වූයේත් හේම නුයි මනො විඤ්ඤාණ ධාතු නමි, මෙසේ මෙහි අර්ථ වශයෙන් විනිශ්චය දතයුතුයි.
(2) ලක්‍ෂණාදි වශයෙන්, ඒ චක්ඛු ආදීන් ගේ ලක්‍ෂණාදිය ස්කන්ධනිර්‍දෙශයේහි[2] කී පරිද්දෙන් දතයුතුය.
(3) ක්‍රම වශයෙන්, මේ ධාතු නිර්දේශයෙහි ද, පෙර ආයතන නිර්දේශයෙහි[3] කීසේ, උත්පත්ති ක්‍රමාදිය අතුරින් දේශනා ක්‍රමය මැ යෙදේ. මෙද වනාහි හේතු - ඵලධර්‍මයන් ගේ පටිපාටිය නිශ්චය කිරීම් වශයෙන් වදාළ සේක.
ඒ මෙසේයි :- චක්ඛුධාතු-රූපධාතු යන මේ දෙකම හේතු නම්, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ඵලයයි. මේ නයින් ශ්‍රොත්‍රධාත්‍වාදි සියලු තන්හි ක්‍රම වශයෙන් විනිශ්චය දතයුතුය.
(4) තාවත් ප්‍රමාණ වශයෙන්, ඒ ඒ සූත්‍ර - අභිධර්‍ම දේශනාවන්හි ‘අභා ධාතු ය, සුභා ධාතු ය, ආකාසානඤ්චායතන ධාතු ය, විඤ්ඤාණඤ්චායතන ධාතු ය, ආකිඤ්චඤ්ඤායතන ධාතු ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු ය, සඤ්ඤාවෙදයීත නිරොධ ධාතු ය, කාම ධාතු ය, නෙක්ඛම්ම ධාතු ය, ව්‍යාපාද ධාතු ය, විහිංසා ධාතු ය, අව්‍යාපාද ධාතු ය, අවිහිංසා ධාතු ය, සුඛ ධාතු ය, දුක්ඛ ධාතු ය, සොමනස්ස ධාතු ය, දොමනස්ස ධාතු ය, උපෙක්ඛා ධාතු ය, අවිජ්ජා ධාතු ය, ආරම්භ ධාතු ය නික්කම ධාතු ය, පරක්කම ධාතු ය, හීන ධාතු ය, මජ්ඣිම ධාතු ය, පණිත ධාතු ය, පඨවි ධාතු ය, ආපෝ ධාතු ය, තේජෝ ධාතු ය, වායෝ ධාතු ය, ආකාස ධාතු ය, විඤ්ඤාණ ධාතු ය, සඞ්ඛත ධාතු ය, අනෙක ධාතු නනා ධාතු ලෝකය, යි මේ ආදි අන්‍ය වූ ධාතුහුද දක්නා ලැබෙති.
ප්‍රශ්නයෙකි :- මෙසේ ඇති කල්හි මේ සියලු පන්තිස් (35) ධාතුන් ගේ වශයෙන් නො පිරිසිඳ, අටළොස් (18) ධාතුයයි මේ ප්‍රමාණය ම කරන ලද්දේ කවර හෙයින් ද?
පිළිතුර :- ස්වභාවයෙන් (පරමාර්ථ වශයෙන්) පවත්නා ආභාදි සියලු ධාතු ඒ අටළොස් (18) ධාතූන්හි ඇතුළත් වන හෙයිනි.
විස්තර :- චන්‍ද්‍රාභාදි ආභා ධාතුව රූප ධාතුවක් මැයි. (සුභ නිමිත්ත සඞ්ඛ්‍යාත) සුභා ධාතුව රූපාදි ආලම්බන පිළිබඳ යැ. කවර හෙයින් ද යත් :- සුභ නිමිත්ත වන හෙයිනි. සුභාධාතු නම් සුභ නිමිත්ත මැයි. හෙද රූපධාත්‍වාදීන් විනිර්මුක්ත වූවක් නැත්මැයි.
තවද කුශල විපාක චිත්තයට අරමුණු වූ රූපාලම්බනාදිය මැ සුභාධාතු නම් වේ. ඒ කුශල විපාක චිත්තයට ආලම්බන වූ හෙයින් ම සුභාධාතුව රූපාදි ආලම්බන මාත්‍රයක් ම වේ. ආකාසානඤ්චායතන ධාතු ආදියෙහි චිත්තය මනොවිඤ්ඤාණ ධාතුම ය. සෙසු සහජාත ධර්‍ම ධර්‍මධාතු නම. සඤ්ඤා වෙදයිත නිරොධ ධාතුව වනාහි (ස්වභාව වශයෙන්) පරමාර්‍ථ වශයෙන් නැති. එය මනොවිඤ්ඤාණ ධාතු, ධම්ම ධාතූන් ගේ නිරුද්ධකිරීම් මාත්‍රයෙක් ම ය.
කාම ධාතුව, ධර්‍ම ධාතු මාත්‍රයෙක් ම වේ. එයින් කීහ. “තත්‍ථ කතමා කාම ධාතු, කාම පටිසංයුතෙතා තක්තො චිතත්කො - මිච්ඡාසංකප්පො”[4] යි එහි කාම ධාතු නම් කාම ප්‍රතිසංයුක්ත වූ තර්‍කය, විතර්‍කය, මිථයා සංකල්පය.
තවද :- අටළොස් ධාතුව කාම ධාතු යැ. යටින් අවීචිය හිම්කොට උඩින් පරනිර්මිත වසවර්‍තතිය ඇතුළත් කොට මේ අතරෙහි පවත්නා, මේ අතර හැසිරෙන්නා වූ, මේ අතර ඇතුළත් වූ ස්කන්ධ-ධාතු-ආයතන-රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥාන යන මේ කාම ධාතු යැ.
නෙක්ඛම්ම ධාතුව, ධර්‍ම ධාතුව මැයි. තවද ‘සියලු කුශල ධර්‍ම නෙක්ඛම්ම ධාතු ම යැ’1 යි වදාළ හෙයින්, මනෝවිඤ්ඤාණ ධාතුව ද නෙක්ඛම්ම ධාතුව මැයි.
ව්‍යාපාද - විහිංසා, අව්‍යාපාද - අවිහිංසා, සුඛ - දුක්ඛ - සොමනස්ස - දොමනස්ස - උපෙක්ඛා, අවිජ්ජා - ආරම්භනික්කම - පරක්කම ධාතු ද ධර්‍ම ධාතුවෙහි මැ ඇතුළත් වේ. හීන-මධ්‍යම-ප්‍රණිත ධාතුහු අටළොස් ධාතු මාත්‍රය මැයි.
ඒ මෙසේයි :- හීනවූ චක්‍ෂුරාදිය හීන ධාතු නම. මධ්‍යම ප්‍රණිත චක්‍ෂුරාදිය මධ්‍යම-ප්‍රණිත ධාතු නම් වේ. මුඛ්‍ය වශයෙන් අකුශල මනොවිඤ්ඤාණ ධාතු-ධර්‍ම ධාතූහු හීන ධාතු නම්හ. ලෞකික කුශල - අව්‍යාකෘත දෙක ද, චක්‍ෂුර් ධාතු ආදිය ද, මධ්‍යම ධාතු නම. ලෝකෝත්තර ධර්‍ම ධාතු - මනොවිඤ්ඤාණ ධාතු ප්‍රණිත ධාතු නම.
පඨවි-තේජෝ-වායෝ ධාතුහු ඵොට්ඨබ්බ ධාතුමැයි. ආකාස ධාතු-ආපෝ ධාතු දෙක ධම්ම ධාතු මැයි. විඤ්ඤාණ ධාතුව චක්ඛු විඤ්ඤාණාදි සප්ත විඥාන ධාතූන් ගේ සංග්‍රහයෙක් මැයි. සතළොස් (17) ධාතු ද ධර්‍මධාතුහු ගේ ඒක දේශයක් ද, සඞ්ඛත ධාතු නම. අසඞ්ඛත ධාතුව වනාහි ධර්‍ම ධාතුවේ ඒක දේශයෙක් මැයි. අනේක ධාතු - නානා ධාතු ලෝකය වනාහි අටළොස් ධාතුන් ගේ ප්‍රභේද මාත්‍රයෙක් මැයි.
මෙසේ පරමාර්‍ථ වශයෙන් වද්‍යමාන වූ සියලු ධාතුන් අටළොස් ධාතූන්හි ඇතුළත් බැවින්, අටළොසක් ම වදාළහ.
තවද ක්‍රමයෙකි:- ආලම්බන විජානන ලක්‍ෂණ වූ විඥානයෙහි ජීව සංඥා ඇති පුද්ගලයන් ගේ සංඥා විපර්‍ය්‍යාශය නැසීම පිණිස ද, අටළොසක් ම වදාළහ.
ඒ එසේමැයි :- විජානන ස්වභාව වූ විඥානයෙහි ජීව සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ඒ සත්ත්‍වයනට චක්ඛු-සෝත-ඝාණ-ජිව්හා-කාය-මනො-මනොවිඤ්ඤාණ යන ධාතූන් ගේ භේදයෙන් ඒ විඥානයා ගේ අනේකත්‍වය ද, චක්‍ෂුඃප්‍රසාදය, රූපාලම්බනය ආදි වූ ප්‍රත්‍යයන් අයත් පැවැතුම් ඇති බැවින් අනිත්‍ය බවද, ප්‍රකාශ කොට දීර්‍ඝ කාලයක් මුළුල්ලේ සන්තානයෙහි පැවැති ජීව සංඥාව සමූල ඝාතනය කරනු කැමැති භාග්‍යවතුන් වහන්සේ අටළොස් ධාතූහු වදාළහ.
බෙහෙවින් කියනු කිම? වෛනේයයන් ගේ අදහස් වශයෙන් ද අටළොසක් ම වදාළහ.
නාති සඛෙප නාති විස්තාර වූ මේ දේශනාවෙන්, යම් සත්ත්‍වයෙක් විනයනය කරනු කැමැතිවූහු නම්, ඔවුන් (විනයනය කරනු කැමැති ජනයන්) ගේ අදහස් වශයෙන් ම අටළොසක් ම වදාළහ.
“සඞ්ඛෙපවිත්‍ථාරනයෙන තථා තථා හි
ධම්මං පකාසයති ඵස යථා යථා‘සස
සද්ධම්මතෙජවිහතං විලයංඛණෙන
වෙනෙය්‍ය සත්තහදයෙසු තමො පයාතී”
‘ඒ බුදුහු යම් යම් පරිද්දෙන් සදහම් තෙදින් වෛනෙය ජනයන් ගේ චිත්ත සන්තානයෙහි මෝහාන්ධකාරය ඇසිල්ලෙකින් විනාශයට පැමිණේ නම් ඔවුනට ඒ ඒ සංඛෙප-විස්තාර නයින් ධර්‍මය දෙසන සේක.
මෙසේ තාවත් ප්‍රමාණයෙන් විනිශ්චය දතයුතු.
(5) සක්‍ඛ්ඛ්‍යා වශයෙන් චක්ඛුධාතුව ශ්‍රෝත්‍ර ධාතු ආදියට පළමුවැ ජාති වශයෙන් චක්ඛුප්පසාද වශයෙන් එකම ධර්‍මයෙකැයි ව්‍යවහාරයට යේ. ශ්‍රෝත්‍ර-ඝ්‍රාණ-ජිව්හා-කාය-රූප-ශබ්ද-ගන්‍ධ-රස-ධාතුහු ද එසේ ම ශ්‍රෝත්‍රප්‍රසාදාදි වශයෙන් එකම ධර්‍මයෙකැ යි ව්‍යවහාරයට යෙති.
ඵොට්ඨබ්බධාතුව වනාහි පෘථිවි - තේජස් - වායු වශයෙන් ධර්‍ම තුනෙකැයි ව්‍යවහාරයට යේ.
චක්ඛුවිඤ්ඤාණධාතුව, කුසල විපාක-අකුශල විපාක වශයෙන් ධර්‍ම දෙකෙකැ යි ව්‍යවහාරයට යේ. සොත - ඝාණ - ජිව්හා - කාය විඤ්ඤාණධාතු ද එසේම කුසලා‘කුසල විපාක වශයෙන් ධර්‍ම දෙකෙකැ යි ගණයට යේ. මනෝධාතුව වනාහි පඤ්චද්‍වාරාවජ්ජනය, කුසලා‘කුසල විපාක සම්පටිච්ඡනය යන මොවුන් ගේ වශයෙන් ධර්‍ම තුනෙකැයි ව්‍යවහාරයට යේ.
ධර්‍ම ධාතුව වනාහි, වේදනා-සඤ්ඤා-සඞ්ඛාර යන ත්‍රිවිධ අරූපස්කන්ධ යැ. ෂෝඩශවිධ (16) සුඛුම රූපයැ, අසඞ්ඛත ධාතුයැ, යන මොවුන් ගේ වශයෙන් විංශනි (20) ධර්‍මයෙකැයි ව්‍යවහාරයට යේ.
මනෝවිඤ්ඤාණ ධාතුව කුශල යැ. අකුශල යැ. අවශේශ අව්‍යාකෘත චිත්ත යැ යන මොවුන් ගේ වශයෙන් සසැත්තෑ (76) ධර්‍මයෙකැ යි ව්‍යවහාරයට යේ.
මෙසේ අටළොස් ධාතූන් ගේ සඞ්ඛ්‍යා වශයෙන් විනිශ්චය දතයුතු.
(6) ප්‍රත්‍යය වශයෙන් මෙසේයි: චක්ඛුධාතුව චක්ඛුවිඤ්ඤාණ ධාතුවට, විප්පයුත්ත-පුරෙජාත-අත්‍ථි-අවිගත-නිස්සය-ඉන්‍ද්‍රිය යන ෂට් ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.
රූප ධාතුව, චක්ඛුවිඤ්ඤාණ ධාතුවට, පූරෙජාත - අත්‍ථි - අවිගත - ආරම්මණ යන ප්‍රත්‍යයන් ගේ වශයෙන් සිවු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.
සෝතවිඤ්ඤාණ ධාතු ආදියට, සෝතධාතු - සද්දධාතු - ආදිය ද මෙසේ ම ප්‍රත්‍යය වේ. මේ චක්ඛුවිඤ්ඤාණාදි පසට පඤ්චද්වාරාවජ්ජන සඞ්ඛ්‍යාත ආවර්‍ජන මනෝධාතුව, අනන්තර - සමනන්තර - නත්‍ථි - විගත - අනන්තරූප නිස්සය වශයෙන් පස් ආකාරයෙකින් ප්‍රත්‍යය වේ.
සමපටිච්ඡන මනෝධාතුවට, චක්ඛුවිඤ්ඤාණාදි මේ පස මැ අන්තරාදි පස් ආකාරයෙන් ප්‍රත්‍යය වේ. සමපටිච්ඡන මනෝ ධාතුව, සන්තීරණ මනෝ විඤ්ඤාණ ධාතුවට ද, සන්තීරණ මනෝවිඤ්ඤාණ ධාතුව වොත්‍ථපන මනෝවිඤ්ඤාණ ධාතුවට ද, වොත්‍ථපන මනොවිඤ්ඤාණ ධාතුව ජවන මනොවිඤ්ඤාණ ධාතුවට ද පෙර කී පස් ආකාරයෙන් ප්‍රත්‍යය වේ.
මුලින් වූ ජවන මනෝවිඤ්ඤාණ ධාතුව අනතුරු අනතුරු ජවන මනෝවිඤ්ඤාණ ධාතුවට යට කී පස් ආකාරයෙන් හා ආසේවන ප්‍රත්‍යයයෙන්දැ යි යන සය ආකාරයෙන් ප්‍රත්‍යය වේ.
මේ පඤ්චද්වාරයෙහි ප්‍රත්‍යය ක්‍රමය යි.
මනොද්වාරයෙහි වනාහි භවඞ්ග මනොවිඤ්ඤාණ ධාතුව ආවර්‍ජන මනොවිඤ්ඤාණ ධාතුවට ද, ආවර්‍ජන මනොවිඤඤාණ ධාතුව, ජවන මනොවිඤ්ඤාණ ධාතුවට ද පෙර කී පඤ්චවිධ ප්‍රත්‍යයෙන් මැ ප්‍රත්‍යය වේ.
ධම්මධාතුව වනාහි, සප්ත විඤ්ඤාණ ධාතුන්ට මැ සහජාත-අඤ්ඤමඤ්ඤ-නිස්සය-සම්පයුත්ත-අත්‍ථි-අවිගත ආදීන් ගේ වශයෙන් බහුප්‍රකාරයෙන් ප්‍රත්‍යය වේ.
(ආදි ශබ්දයෙන් මනෝවිඤ්ඤාණ ධාතුවම සුදුසු සේ හේතු - අධිපති - කර්‍ම - විපාක - ආහාර - ඉන්‍ද්‍රිය - ධ්‍යාන - මාර්‍ග ප්‍රත්‍යයන්ගෙන් සංග්‍රහ වේ.)
විශේෂ :- චක්ඛුධාතු ආදිය ද, ඇතැම් සූක්‍ෂ්ම රූප-නිර්‍වාණ ධාතු ආදි ධර්‍මධාතු ද ඇතැම් මනොවිඤ්ඤාණ ධාතූන්ට (ද්විපඤ්ච විඤ්ඤාණ ධාතුව හැර) ආරම්මණ ප්‍රත්‍යායාදියෙන් ප්‍රත්‍යය වේ. චක්ඛුවිඤ්ඤාණ ධාතු ආදියට හුදෙක් චක්ඛු-රූපාදිය පමණක් ප්‍රත්‍යය නොවේ. වැලි ආලෝක ආදිය ද ප්‍රත්‍යය වේ.
එයින් කීහ. පෙරැජරෝ:- චක්ඛුප්පසාද, රූපාලම්බන ආලෝක, මනසිකාරයන් (පඤ්චද්වාරාවජ්ජන) නිසා චක්ඛු විඤ්ඤාණ සිත උපදියැ යි.
ශ්‍රෝත්‍ර, ශබ්ද, ග්‍රෝත්‍රවිවර (අවකාශ) මනසිකාරයන් නිසා සෝතවිඤ්ඤාණ සිත උපදී. ඝ්‍රාණ, ගන්‍ධ, ගන්‍ධ එළවන සුළඟ, මනසිකාරයන් නිසා ඝාණවිඤ්ඤාණ සිත උපදී. ජිව්හා රස, (ආහාර තෙමන) ආප, මනසිකාරයන් නිසා ජිව්හා, විඤ්ඤාණ සිත උපදී. කාය, ස්පර්ශ, කායප්‍රසාදයට නිශ්‍රය පඨවි, මනසිකාරයන් නිසා කායවිඤ්ඤාණ සිත උපදී. භවාඞ්ග චිත්ත, ධර්‍මාලම්බන, මනසිකාර යන මොවුන් නිසා මනෝවිඤ්ඤාණ සිත උපදී. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වශයෙන් ප්‍රත්‍යය විභාගය, මතු පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙහි[5] පහළ වේ.
මෙසේ මේ ධාතු කථා නිර්‍දෙශයෙහි ප්‍රත්‍යය වශයෙන් විනිශ්චය දතයුතු.
(7) දතයුතු බැව් වශයෙන් සියලු ප්‍රත්‍යයෝත්පන්න ධාතූහු, පූර්‍වාන්ත - අපරාන්ත - සඞ්ඛ්‍යා - අතීත - අනාගත භාවයෙන් සිස් වූ හෙයින් ද, ධුව - සුභ - සුබ - ආත්මභාව ශුන්‍යතායෙන් ප්‍රත්‍යයන් අයත් පැවතුම් ඇති බැවින් ද, දැක්ක යුත්තාහ.
විශේෂ :- මේ අටළොස් ධාතු අතුරින් චක්ඛු ධාතුව බෙර ඇසක් මෙන් ද, රූප ධාතුව දණ්ඩක් මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ශබ්දය මෙන් ද දතයුතු යැ.
එසේම චක්ඛු ධාතුව ආදාසතලයක් මෙන්ද, රූප ධාතුව මුහුණක් මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව මුඛ නිමිත්ත මෙන් ද, දත යුතු යැ.
චක්ඛුධාතුව උක්දඬු-තලඇට මෙන් ද, රූප ධාතුව මතුයෙහි වූ දණ්ඩ මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ඉන් හටගන්නා ගිනි මෙන් ද දතයුතු.
චක්ඛුධාතුව ගිනිගානා දණ්ඩමෙන් ද, රූපධාතුව යන්ත්‍ර - චක්‍ර - යෂ්ටීන් මෙන් ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව උක්පැණි තලතෙල් සේ ද දතයුතු.
චක්ඛුධාතුව ගිනිගානා දණ්ඩමෙන් ද, රූපධාතුව මතුයෙහි වූ දණ්ඩ මෙන්ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව ඉන් හටගන්නා ගිනි මෙන් ද දතයුතු.
සෝතධාතු ආදීන්හි ද, මේ ක්‍රමය මැයි.
මනෝධාතුව වනාහි ලැබෙන සැටියෙන් චක්ඛුවිඤ්ඤාණ ධාතු ආදීන්ට පඤ්චද්‍වාරාවජ්ජන මනෝධාතුව පෙරටුව යන්නාක් මෙන් ද, සම්පටිච්ඡන මනොධාතුව පසුව යන්නාක් මෙන් ද, දැක්ක යුතු ය. ධර්‍ම ධාතුවෙහි වෙදනාස්කන්ධය හුලක් මෙන් ද, රුජාවක් මෙන් ද, සංඥා, සංස්කාර, ස්කන්ධයෝ, වේදනා සල්ලයෙන් හටගත් රුජායෙන් ආතුර වූ රෝගියකු මෙන් ද, දත යුතුය.
තවද පෘථග්ජනයන්ගේ සංඥාව ආසා සඞ්ඛ්‍යාත දුක උපදවන හෙයින් සිස් මිටක් මෙන් ද, විපරීත වූ ආලම්බන සඞ්ඛ්‍යාත නිමිත්ත ගන්නා හෙයින් වල්මුවකු මෙන් ද, (පඹයා මිනිසෙකැයි වරදවා ගන්නා හෙයිනි) සංස්කාරයන් ප්‍රතිසන්‍ධියෙහි ඇද බහාලන හෙයින් අඟුරු වළෙක හෙලාලන පුරුෂයන් මෙන් ද, ජාති දුක ලුහුබඳනා හෙයින්, රාජ පුරුෂයන ලුහුබඳනා ලද සොරුන් මෙන් ද, සියලු අනර්‍ථ එළවන්නා වූ ස්කන්ධ පරම්පරාවට හේතුවන හෙයින් විෂ වෘක්ෂ බීජයන් මෙන් ද, රූපස්කන්ධය නානාවිධ උපද්‍රවයට නිමිති වන හෙයින් උරචක්‍රමාලාවක් මෙන් ද දත යුතු ය.
අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණය වනාහි අමෘත වශයෙන් ද ශාන්ත වශයෙන් ද, නිර්‍භය වශයෙන් ද දත යුතු යි.
කුමක් හෙයින් ද යත්? සියලු අනර්‍ථය එළවන්නා වූ ජාත්‍යාදි විෂය ධර්‍මයන්ට ප්‍රතිපක්ෂ හෙයිනි.
මනෝවිඤ්ඤාණ ධාතුව, අරමුණෙහි නියමයක් නැති හෙයින් වල් වඳුරකු මෙන් ද, දමනය නො කළ හැකි හෙයින් කුළු අසකු මෙන් ද, තමා කැමති අරමුණෙහි හෙන හෙයින් අහසෙහි ලූ දඬු කඩක් මෙන් ද, ලෝභ - ද්වේෂ - මෝහාදි නානා ප්‍රකාර ක්ලේශ නමැති වේෂයෙන් යෙදෙන හෙයින් රඟමඬලෙක නළුවකු මෙන් ද දැක්ක යුතු ය.
මේ ධාතූන් ගේ විස්තර කථාවයි.
සාධු ජනයන් ගේ ප්‍රමෝදය පිණිස කළ “විශුද්ධි මාර්‍ගයෙහි”
ප්‍රඥාභාවනාධිකාරයෙහි, ආයතන-ධාතු නිර්‍දෙශ නම්
පසළොස් වන පරිච්ඡේද යි.