ස්කන්ධයට අනතුරු වැ ආයතනයෝ දක්වනු ලැබෙති.
1. චක්ඛායතනය,
2. රූපායතනය,
3. සෝතායතනය,
4. සද්දායතනය,
5. ඝාණායතනය,
6. ගන්‍ධායතනය,
7. ජිව්හායතනය,
8. රසායතනය,
9. කායායතනය,
10. ඵොට්ඨබ්බායතනය,
11. මනායතනය,
12. ධම්මායතනයැ යි
ආයතන දොළොසෙකි. එහි එකක් පාසා (1) අර්‍ථය, (2) ලක්‍ෂණය, (3) අනූන - අනධිකතාය, (4) ක්‍රමය, (5) සංක්‍ෂෙපවිස්තරය, (6) දතයුතු බව ය යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය දත යුතුයි.
(1) මෙහි අර්‍ථ වශයෙන්
i. විශේෂ අර්‍ථය
ii.සාමාන්‍ය අර්‍ථය යි දෙකෙකි.
එහි i විශේෂ අර්‍ථ වශයෙන්, රූපාලම්බනරසය, ආස්වාදනය කරනුයේ චක්ඛු නමි. (සම-විෂමත්වය ප්‍රකාශ කෙරෙයි, යන අර්‍ථයි) වර්‍ණ විශේෂ ප්‍රකාශ කෙරේනුයි රූප නමි. (වර්‍ණයා ගේ විකාරයට පැමිණෙමින් සිත්හි පවත්නා කැමැත්ත ප්‍රකාශ කෙරෙයි යන අර්‍ථයි.)
අසුනුයේ ශ්‍රෝත්‍රයැ, උසුරුවනු ලබනුයේ ශබ්ද යැ. ශ්‍රෝත්‍ර විඥානයෙන් දතයුතු වූයේ යන අර්‍ථයි.) ආඝ්‍රාණය කරනුයේ ඝ්‍රාණයැ. ප්‍රකාශ කරනු ලබනුයේ ගන්‍ධයයි. (තමා පිහිටි වස්තුව ප්‍රකාශ කෙරෙයි යන අර්‍ථයි. ජීවිතය (පැවැත්මට උපකාර වූ රසය) කැඳවානුයි ජිව්හා නම. සත්ත්‍වයේ ආස්වාදනය කෙරේත්නුයි රස නමි. පාප ධර්‍මයන් ගේ ඉපදීමට ස්ථාන වේනුයි කාය නමි. (ආය නම් උත්පත්ති දේශයයි) ස්පර්‍ශ කරනුයේ ඵොට්ටබ්බ නමි. (අරමුණු) දැනගන්නේ මන නමි. තමා ගේ (ස්වභාවය ලක්‍ෂණය ධාරානයි ධම්ම නමි. මේ එකක් පාසා විශේෂාර්‍ථ යි.
ii අවිශෙෂයෙන් චිත්ත - චෛතසිකයන් තම තමා අයත් කෘත්‍යය පිණිස උත්සාහවත් කරවන හෙයින් ද, චිත්ත චෛතසිකයන් විස්තර කරන හෙයින් ද, දික් වූ සංසාර දුක්ඛයට පමුණුවන හෙයින් ද, ආයතනය යි දත යුතු ය.
විස්තර :- චක්‍ෂුරාදි ද්වාරයෙහි ද, රූපාදි ආලම්බනයෙහි ද, (ඒ ඒ ද්වාරාලම්බනයන්හි) උපදනා චිත්ත - චෛතසික ධර්‍මයෝ, තම තමා අයත් අනුභවනාදි කෘත්‍යයෙන් උත්සාහ කෙරෙති. නැගී සිටිති. ගැටෙති. ව්‍යායාම කෙරෙත්ය යි කී නියායි.
ඒ ඒ ද්වාර ආලම්බනයෙහි උපදින්නවූ චිත්ත-චෛතසික ධර්‍මයන්, මේ චක්‍ෂුරාදි ‘ආයතනයෝ විස්තර කෙරෙත්ය’ යි කීසේය යි දතයුතු.
තවද, නො දත හැකි අක්-මුල් ඇති මේ සසර පැවැත්තාවූ, ඉතාම දික්වූ සසර දුක නොනවත්නාතාක් (නැවත නූපදනා සේ නිරුද්‍ධ නොවන තාක්) ගෙන යන්නවුන් මෙන් පවත්වත් නුයි කී නියායි.
මේ සියලු ධර්‍මයෝ උත්සාහ කරන හෙයින් ද, චිත්ත-චෛතසික ධර්‍මයන් විස්තර කරන හෙයින් ද, මතු මතු ගෙනයන හෙයින් ද, ආයතනය, ආයතනය යි කියනු ලැබෙති.
තවද, නිවාසස්ථානය, පිහිටීමට ආධාරස්ථානය, රැස්වන ස්ථානය, හටගන්නා ස්ථානය, කාරණය යන අර්‍ථයෙන් ද ආයතන නම් වේය යි දතයුතු.
ඒ මෙසේයි :- ‘ඊශ්වරායතනය’ වාසුදේවායතනය, යනාදීන්හි ලෙව්හි වාසස්ථානය ආයතනය යි කියයි. සුවර්‍ණායතනය, රජතායතනය යනාදීන්හි ආකරය ආයතනය යි කියයි.
“මනොරමෙ ආයතනෙ - සේවන්තිතං විහද්ධගමා”යි මහරහත් නමැති පක්‍ෂීන්ගෙන් ගැවසීගත් ශාලවනොද්‍යානයකට බඳු සර්‍වඥ ශාසනයෙහි, ආර්‍ය්‍ය සංඝ සඞ්ඛ්‍යාත පක්‍ෂිසමූහයා තථාගත නමැති වෘක්‍ෂරාජයා සෙවුනාහු ය’ යන මෙහි රැස්වන ස්ථානය, ආයතනය යි කියනු ලැබේ.
“දක්‍ෂිණ පථය ගවයන් ගේ ආයතනය යනාදීන්හි හටගත් දේශය ආයතනය යි කියනු ලැබේ. “තත්‍රතත්‍රෙව සක්ඛි භබ්බතං පාපුණාති සතිසති ආයතනෙ”[1] “සෘද්ධිවිධඥානාදි අභිඥාවට සුදුසු (ප්‍රාර්‍ථනාවක්) අධිකාරයක් ඇතිකල්හි, ඒ ඒ සෘද්ධිවිධඥානාදි වූ ස්ථානයෙහි මැ සාක්‍ෂියට සුදුසු බවට පැමිණේ” යනාදීන්හි කාරණ ආයතනය යි කියනු ලැබේ.
චක්‍ෂුරාදීන්හි පැවති ඒ ඒ චිත්ත-චෛතසික ධර්‍මයෝ, චක්‍ෂුරාදීන් හා සම්බන්ධ පැවැතුම් ඇති හෙයින්, වාසය කරන්නවුන් මෙන් වෙත්නුයි, චක්ඛු ආදිය ඒ චිත්ත-චෛතසික ධර්‍මයන්ට නිවාසස්ථානය වේ. චක්‍ෂුරාදීන්හි ඒ චිත්ත-චෛතසික ආකීණි හෙයින් ද, චක්‍ෂුරාදිය ඇසුරු කරන හෙයින් ද, ඒ රූපාදිය ආලම්බන කොට ඇති හෙයින් ද, චක්‍ෂුරාදිය ඒ චිත්ත-චෛතසිකයන්ට ආකර ද වේ.
චක්‍ෂුරාදිය ඒ ඒ චිත්ත-චෛතසිකයන් ගේ සමෝසරණ ස්ථානය ද වේ. ඒ ඒ වස්ත්‍ර-ද්වාර-ආලම්බන වශයෙන් රැස්වන ස්ථාන හෙයින් චිත්ත-චෛතසික ධර්‍මයෝ, රැස්වන්නවුන් මෙන් හටගන්නාහු වෙති. ඒ චක්‍ෂුරාදීන් නිශ්‍රය බැවින් ද, රූපාදය ආලම්බන බැවින් ද, ඔවුන් විෂයයෙහි මැ උපදනා හෙයින් චක්‍ෂුරාදිය ඒ චිත්ත-චෛතසිකයනට උත්පත්ති දේශය ද වේ. ඒ චක්‍ෂුරාදීන් නැති කල්හි ඒ චිත්ත-චෛතසික ධර්‍මයන් නූපදනා හෙයින් චක්‍ෂුරාදිය චිත්ත-චෛතසික ධර්‍මයනට කාරණ වේ.
මෙසේ නිවාසස්ථානාර්‍ථයෙන් ද, ආකරාර්‍ථයෙන් ද, සමොසරණස්ථානාර්‍ථයෙන් ද, හටගත් ප්‍රදේශාර්‍ථයෙන් ද, (හෙත්‍වර්‍ථයෙන් ද) කාරණාර්‍ථයෙන් ද, යන මෙතෙක් කරුණින් මේ ධර්‍මයෝ ආයතනය, ආයතනය යි කියනු ලැබෙත්. එහෙයින් කියන ලද අර්‍ථයෙන් චක්ඛු නමුදු ආයතන නමුදු ඒ ම නුයි. චක්ඛායතනය -පෙ- ධම්ම නමුදු, ආයතන නමුදු හේ ම නුයි ධම්මායතනයයි මෙසේ අර්‍ථ වශයෙන් විනිශ්චය දතයුතු.
(2) ලක්‍ෂණ වශයෙන්, චක්‍ෂුරාදීන් ගේ ලක්‍ෂණ වශයෙන් ද විනිශ්චය දතමනායැ. එය ස්කන්ධ නිර්‍දෙශයෙහි කී නයින් දතයුතු.
(3) තාවත් ප්‍රමාණ වශයෙන්, (එපමණ බැවින්) චක්‍ෂුරාදිය ද, ඔවුන් අයත් ස්වභාව ධරන හෙයින් ධර්‍මායතනය යැ.
ප්‍රශ්න :- එසේවන්නා ‘ධර්‍මායතනයැ යි’ නො වදාරා, ද්වාදශායතනයැ යි වදාළේ කවර හෙයින් ද?
පිළිතුර :- ෂඩ් විඥානකායයන් ගේ හටගැනීමට කාරණවූ ද්වාර ආලම්බනයන් පිරිසිඳ දැක්වීම සඳහා ද්වාදශායතනයක් වදාළහ.
ඒ එසේමැයි :- චක්ඛුවිඤ්ඤාණ වීථියෙහි ඇතුළත් වූ විඥාන-කායයාගේ හෙවත් සසම්ප්‍රයුක්ත චිත්තයාගේ හටගැනීමට චක්ඛායතනය මැ ද්වාරය වේ. රූපායතනය මැ ආලම්බනය වේ. එසේම සෙසු ද්වාරාලම්බනයෝ ද, පිළිවෙළින් සෝතවිඤ්ඤාණාදියට උත්පත්ති ද්වාර හා, ආලම්බන වෙති.
සවැනි මනොවිඤ්ඤාණ වීථියට ඇතුළත් වූ විඥානකායයාගේ හෙවත් සසම්ප්‍රයුක්ත භවාඞ්ග චිත්තයා ගේ චලනය වී සිඳෙන මනායතනයා ගේ ඒක දේශයක් ම, මනෝවිඥානයා ගේ හටගැනීමට ද්වාර වේ. චක්ඛුවිඤ්ඤාණාදීන් හා අසාධාරණ වූ ධර්‍මායතනය ම එයට ආලම්බන වන්නේ ය. භවාඞ්ග චිත්තය චලනය වශයෙන් පැවැති කල්හි ආවර්‍ජනය පවත්නා හෙයින් ද නොවූ කල නොපවත්නා හෙයින් ද මෙසේ කීයේ වේ.
මෙසේ ෂඩ් විඥාන කායයා ගේ උත්පත්තියට ද්වාර-ආලම්බන බෙදා දැක්වීම් වශයෙන් දොළොස් (12) ආයතනයන් දැක්වූහ.
මෙසේ මේ ආයතන කථාවෙහි (අනූන-අනධික භාවයෙන්) තාවත් ප්‍රමාණ වශයෙන් විභාග දතයුතු.
(4) ක්‍රම වශයෙන් - මෙහි ද පෙර ස්කන්ධ කථාවෙහි කී උත්පත්ති ක්‍රමාදීන් අතුරින් දේශනා ක්‍රමය මැ යෙදෙන්නේ ය.
විශේෂ :- චක්ඛායතනාදීන් ගේ උත්පත්ති ක්‍රමාදියෙහි විශේෂ ඇති. අධ්‍යාත්මික ෂඩායතනයන් අතුරිනුදු දැකීම් හා හැපීම් සහිත රූපාලම්බනය අරමුණු කොට පවත්නා චක්ඛායතනය ප්‍රකට හෛයින් පළමුවැ වදාළහ. අනතුරුවැ දැකීම් රහිත ගැටීම් සහිත ශබ්දායතනාදිය අරමුණු කොට පවත්නා සෝතායතනාදිය වදාළහ. දර්‍ශනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය ධර්‍මයනට හේතු භාවයෙන් බොහෝ උපකාර හෙයින්, අධ්‍යාත්මිකායතන අතුරින් චක්ඛායතන-සෝතායතන දෙක පළමුවැ වදාළහ. එයට අනතුරු වැ ඝාණාදි ආයතන තුන වදාළහ. චක්ඛාදි පඤ්චායතනයන් මැ ගෝචරයන් (ආලම්බනයන්) විෂය කොට ඇති හෙයින් මනායතනය අන්තයෙහි වදාළහ.
චක්ඛායතනාදීන්ට ගෝචර බැවින් වනාහි ඒ ඒ අධ්‍යාත්මිකායතනයනට අනතුරු වැ බාහිරායතන අතුරින් රූපායතනාදිය පිළිවෙළින් වදාළහ. වැලිදු ‘චක්ඛුවිඤ්ඤාණාදීන් ගේ හටගැනීම් හේතූන් නියම කිරීම් වශයෙන් මේ ආයතනයන් ගේ ක්‍රමය වදාළහයි, දතයුතුයි.
ඒ මෙසේ යි:- ‘චක්ඛුංචපටිචච රූපෙච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනං පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනොවිඤ්ඤාණං’[2] යි මෙසේ ක්‍රම වශයෙන් විනිශ්චය දතයුතුයි.
(5) සංක්‍ෂේප විස්තර වශයෙන් :- සංක්‍ෂේප වශයෙන් වනාහි මනායතනය හා ධම්මායතනය ඒක දේශයෙක් ද, නාමයෙහි සංග්‍රහ වේ. පිළිවෙළින් අන්‍ය ආයතනයෝ රූපයෙහි සංගෘහීත වෙත්. මෙසේ ද්වාදශායතනය මැ නාම - රූප මාත්‍රයක් ම වේ.
විස්තාර වශයෙන් අධ්‍යාත්මික ආයතන අතුරින් ප්‍රථම වූ චක්ඛායතනය ජාති (ස්වභාව) වශයෙන් චක්‍ෂුඃප්‍රසාද මාත්‍රය මැයි. ප්‍රත්‍යය ගති නිකාය-පුද්ගල යන මොවුන් ගේ වශයෙන් අනන්ත භේද වේ.
ප්‍රත්‍යය (ප්‍රත්‍යය නම්) කුශලා‘කුශලාදි කර්‍ම හා ඒ ඒ කර්‍මයනට සහකාරී කාරණ වූ අභ්‍යයන්තර - බාහිර ප්‍රත්‍යය යැ. ඔහු නානාවිධ වෙති.
ගති, නිරය ආදි පඤ්ච ගතීන් ගේ වශයෙන් ද නානාවිධය.
නිකාය ඇත්-අස්-ආදිවූ ද, ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි වූ ද, ප්‍රභේදය නිකාය භේදය යි.
එක් එක් සත්ත්‍වයකු ගේ වශයෙන් පුද්ගල භේදය වේ.
සෝතායතනාදි සතර දෙන ද (එසේම චක්ඛායතනය මෙන්මැ.) නානා භේද ඇත්තාහ. මනායතනය, කුශල-අකුශල-විපාක-ක්‍රියා වශයෙන් එකුන් අනූවක් (89) ප්‍රභේද ඇති එක්සිය එක්විස්සක් (121) ප්‍රභේද ඇත්තේ හෝ වේ.
චක්ඛුවත්‍ථු ආදී වස්තු ප්‍රභේදයන් හා දුක්ඛාපටිපදාදි ප්‍රතිපදා ප්‍රභේදයන් ද අනන්ත ප්‍රභේද ඇත්තේ යි.
මෙහි වස්තු න්ම චක්‍ෂුර්‍වස්තු ආදිය යැ. ඔවුන් ගේ වශයෙන් විඤ්ඤාණය අනන්ත ප්‍රභේද වේ.
ප්‍රතිපදා නම් දුක්ඛාපටිපදාදියයි. ආදි ශබ්දයෙන් ධ්‍යාන, අධිපති, භූමි, ආලම්බන ආදිය ගැනේ. ඔවුන් ගේ වශයෙන් ද මනායතනය අනේක විධයි.
රූප, ශබ්ද, ගන්‍ධ, රසායතනයෝ ද, සභාග විසභාග ප්‍රථ්‍යායාදීන් ගේ වශයෙන් නානා ප්‍රභේදයහ. නීලවර්‍ණය නීලවර්‍ණයට සභාග යැ. පීතාදිය එයට විසභාග යැ. කර්‍මාදිය ප්‍රත්‍යයයේ යි. සෙසු භේද යට කී සේයි.
ඵොට්ඨබ්බායතනය, පඨවි, තේජෝ, වායෝ ධාතූන්ගේ වශයෙන් ත්‍රිවිධ ය. ප්‍රත්‍යයාදීන් ගේ ප්‍රභේදයෙන් අනේකවිධයි.
ධම්මායතනය, වේදනා-සංඥා-සංස්කාර ස්කන්ධ ත්‍රයය’ සූක්‍ෂ්ම රූප, නිර්‍වාණ යන එකුන් සැත්තෑ (69) වක් ධර්‍මයන් ගේ (i) ස්වභාව භේදයෙන් හා (ii) නානා ප්‍රභේද හෙයින් අනේක විධයි.
(i) මෙහි සුඛ-දුක්ඛ-උපෙක්ඛා වේදනාදිය ස්වභාව භේදයයි.
(ii) චක්ඛු සම්ඵස්සජ වේදනා, සෝතසම්ඵස්සජ වේදනාදිය නානාත්‍ව භේදයයි.
මෙසේ සංක්‍ෂේප විස්තර විසින් ප්‍රභේද දතයුතුයි.
(6) දතයුතු බව වශයෙන් මෙසේයි:- සියලු සංස්කාර වූ ආයතනයෝ, යමකින් නො ආ බැවින් හා නො හික්මෙන බැවින් ද, දතයුත්තාහ. ඒ ආයතනයෝ, උත්පාදක්‍ෂණයෙන් පූර්‍වයෙහි යම්කිසි තැනෙකින් එන්නාහුද, නොවෙති. භඞ්ගාක්‍ෂණයෙන් මත්තෙහි යම්කිසි තැනකට යන්නාහු ද නොවෙත්. එහෙයින් මැ ඔවුහු උත්පාදක්‍ෂණයෙන් පූර්‍වයෙහි නො දත හැකි ස්වභාව ඇත්තාහුය. විනාශයෙන් මතුයෙහි නැසෙන ස්වභාව ඇත්තාහ. එකී පූර්‍වාන්ත-අපරාන්ත දෙකට මධ්‍යයෙහි වූ දැන් පවත්නා ක්‍ෂණයෙහි හේතූන් හා සම්බන්ධ පැවතුම් ඇති බැවින් කිසිවකු ගේ වශයට නොපැමිණ පවත්නාහ. එහෙයින් (විද්‍යාමාන ක්‍ෂණයෙහිද ස්වල්ප කාලයක් පවත්නා බැවින් හා, අනිත්‍ය-දුඃඛ විපරිණාම ස්වභාව ඇති හෙයින්) කිසිවකු ගේ අදහසක් අනුවැ නොපවත්නාහ.
මෙසේ කිසිවකින් නො එන හෙයින් ද, නො නික්මෙන හෙයින් ද, විනිශ්චය දතයුතුයි.
අනතුරුව නිරීහ (චඤ්චල වීම් රහිත හටගැනීම් කෘත්‍ය වශයෙන් හා, අව්‍යාපාර (නිරුත්සාහ) වශයෙන් මෙසේයි. චක්ඛායතන-රූපාලම්බනාදියට අප ගේ එක්වීමෙන්, විඥානය උපන්නේ නම් මැනැවැයි මෙබඳු අදහසෙක් නොවේ. ඒ චක්ඛායතන-රූපාලම්බනාදීහු විඥානය උපදවනු පිණිස ද්වාර වශයෙන් හෝ, වස්තු වශයෙන් හෝ, ආලම්බන වශයෙන් හෝ උත්සාහ නො කරන්නාහු ය. උත්සාහයට හෝ නො පැමිණෙති. චඤ්චලවීම සමග හටගන්නා වූ කෘත්‍යයන් ගේ වශයෙන් ඊහ නම් වෙයි. මෙසේ වේවයි සිතීම් වශයෙන් ක්‍රියා කිරීම ව්‍යාපාර නම් වේ.
වැලි චක්ඛායතන-රූපාලම්බනාදීන් ගේ සමවායයෙන් චක්ඛුවිඤ්ඤාණාදීන් ගේ හටගැනීම ස්වභාව ධර්‍මයෙන් මැ වේ. එහෙයින් මැ නිරුත්සාහයෙන් ද, අව්‍යාපාරයෙන් ද මේ ද්වාදශායතනයෝ දතයුත්තාහ. වැලිදු මේ අධ්‍යාත්මිකායතන සදෙන නිත්‍ය, සුඛ, සුභ, ආත්මය යන මෙයින් විරහිත හෙයින් මිනිසුන්ගෙන් සිස්වූ ගමක් මෙන් දතයුතු.
බාහිරායතන සදෙන අධයාත්මිකායතනයට අතිශයින් වෙහෙස කරන බැවින් ගම්පහරන සොරුන් මෙන් දතයුතු. “චක්ඛු භික්ඛවෙ හඤ්ඤති මනාපා‘මනාපෙහි රූපෙහි”[3] ‘මහණෙනි! චක්ඛායතන මනාප-අමනාප රූපයන් විසින් හිංසා කරනු ලැබේ” යනාදිය එයින් වදාළහ.
තවද අධ්‍යාත්මිකායතන සදෙන සර්‍පය, කිඹුල් ය, උකුසුය, සුනඛ ය, ගෘශාල ය, වඳුරු ය, යන ෂඩ් ප්‍රාණීන් මෙන් දැක්ක යුත්තාහ. බාහිරායතන සදෙන ඒ ප්‍රාණීන් ගේ සිත් ඇලවීමට සුදුසු වූ - තුඹසය, ඛිලය, ආකාසය, ඇතුළු ගමය, අමු සොහොනය, අරණ්‍යය යන ෂට් ගෝචර ස්ථානයන් මෙන් පිළිවෙළින් දැක්ක යුත්තාහ.
මේ දතයුතු බව වශයෙන් විනිශ්චයයි.
මේ ද්වාදශායතනයන් ගේ විස්තර කථාවයි.