4. සංඥා ස්කන්ධය

“යංකිඤ්චි සඤ්ජන නලක්ඛණං සබ්බංතං එකතො කත්‍වා සඤ්ඤාක්කන්‍ධො වෙදිතබ්බො”යි ‘යම්කිසි හැඳිනීම් ලක්‍ෂණයෙක් වේ නම් ඒ සියල්ල පිඬු කොට සංඥා ස්කන්ධය දත යුතුයයි, කී හෙයින් දැන් වේදනා ස්කන්ධයට අනතුරුවැ සංඥා ස්කන්ධය කියනු ලැබේ.

“සඤ්ජානාති සඤ්ජානාති ඛො ආවුසො තස්මා සඤ්ඤාති වුච්චති”[1] යි ‘නීල පීතාදි අරමුණ සලකුණු කොට නැවත නැවත හැඳිනීමෙක් වේ නම් එය සංඥා නමින් කියනු ලැබේය’යි එහෙයින් වදාළහ. ඒ සංඥාව ද හැඳිනීම් ලක්‍ෂණ (ස්වභාව) යෙන් ඒකවිධ වුව ද, ජාති වශයෙන් කුශලය, අකුශලය, අව්‍යාකෘත යයි ත්‍රිවිධ වේ.

ඔවුනතුරින් කුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ කුශල සංඥාය, අකුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ අකුසල සංඥාය, අව්‍යාකෘත විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ අව්‍යාකෘථ සංඥායි. ‘සංඥායෙන් වෙන් වූ විඥානයෙක් නම් නැත්තේය’යි කී හෙයින් සංඥාව සියලු චිත්තයෙහි මැ යෙදේ. එහෙයින් විඤ්ඤාන භේද යම් පමණ නම් සංඥා භේදය එපමණ මැ වේ.

විශේෂ :- වේනාව සර්‍වචිත්ත සාධාරණ වුව ද, ‘මෙසේ නොකියන ලද්දේ’ එය භේද වශයෙන් තුනක් හෝ පසක් වන හෙයින් ඒ එක එක භේදයෙන් යුක්ත වූ විඥානය අන්‍ය භේදයන් හා නොසැසඳෙන හෙයිනි.

මේ සංඥාව, විඥානය හා සමාන ප්‍රභේද ඇත්තේ වුව ද ලක්‍ෂණාදි වශයෙන් සියලු සංඥාම අරමුණු ලකුණු කිරීම් ලක්‍ෂණයැ ය. පළමු කළ සලකුණෙන් පසුව හැඳින ගැනීමට නිමිත්ත වීම් කෘත්‍යය යැ. (දැව ආදිය සැසිය යුතු තැන් පළමු කළ ලකුණින් පසුව හැඳිනගන්නාක් මෙනි.) පළමු ගන්නාලද නිමිතිහුගේ වශයෙන් දැඩිකොට ගැනීම වැටහෙන ආකාරය යැ. (ඇතා ගේ ඒ ඒ අවයව ගත් අන්‍ධයන් ඇතා ඒ ඒ අවයව බඳුය යි හැඳින ගන්නා සේ) එළඹ සිටි සේ අරමුණු ගැනීම ආසන්න කාරණය යි. තෘණ පුරුෂයන් (කුඹුරු රැකීමට කළ පඹයන්) දැක ‘මුව ආදීහු’ කුඹුරු රක්නා පුරුෂයන් මෙනැ යි ගන්නා සංඥාව මෙනි.

මේ සංඥා ස්කන්ධයේ විස්තර කථාව යි.

  1. ම:නි: මූලපණ්ණාසක 296