3. වේදනා ස්කන්ධය

star_outline

“යංකිඤ්චි වෙදයිත ලක්ඛණං සබ්බන්තං එකතො කත්‍වා වෙදනාක්ඛන්‍ධො වෙදිතබ්බො”යි ‘යම්කිසි විඳීම් ලක්‍ෂණයෙක් වේ නම් ඒ සියල්ල එක්කොට සැලකීමෙන් වේදනාස්කන්ධය දතයුතුය’යි කී හෙයින් දැන් එය විස්තර කරනු ලැබේ. “වෙදියති වෙදියතීති ඛො ආවුසො තස්මා වෙදනාති වුච්චති”[1] යි කී හෙයින් මෙහි වේදයිත ලක්‍ෂණය නම් වේදනාවම ය. (වේද නම් වූ අනුභවාකාරයෙන් පැවැත්තේ වේදයිත ය.)

ඒ ආලම්බන රස අනුභව කිරීම් ලක්‍ෂණයෙන් ස්වභාවයෙන් ඒකවිධ වුව ද,

(1) කුසල

(2) අකුසල

(3) අඛ්‍යාකතය යි ජාති වශයෙන් ත්‍රිවිධ වේ. එහි කාමාවචර කුසලය, සොමනස්ස - උපෙක්ඛා - ඤාණ - සඞ්ඛාර භේදයෙන් අටවැදෑරුම් වේ. යනාදි පෙර කී සේ (1) කුසල විඤ්ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වූයේ කුසල වේදනා ය. (2) අකුසල විඤ්ඤාණය හා සම්ප්‍ර‍යුක්ත වූයේ අකුසල වේදනා ය. (3) විපාක - ක්‍රියාවන් හා සම්ප්‍ර‍යුක්ත වූයේ අඛ්‍යාකත වේදනා ය යි දතයුතු. වේදනාව සර්‍ව චිත්ත සාධාරණ බැවින් එකුන් අනූ (89) වැදෑරුම් වේ. සුඛ-දුක්ඛ-සොමනස්ස-දොමනස්ස-උපෙක්ඛා භේදයෙන් ස්වභාව වශයෙන් පස්වැදෑරුම් වේ.

එහි කුසල විපාක කාය විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූයේ සුඛ වේදනා ය. අකුසල විපාක කාය විඤ්ඤාණ සම්ප්‍ර‍යුක්ත වූයේ දුක්ඛ වේදනා ය. කාමාවචරයෙහි කුසල් සතර ය, සහේතුක විපාක සතර ය, එකම අහේතුක විපාක සන්තීරණය, සහේතුක ක්‍රියා සතර ය, එකම අහේතුක ක්‍රියාව ය, අකුසල සතර ය යන මෙතෙක් සිත් හා ද, රූපාවචරයෙහි පඤ්චමධ්‍යාන චිත්තය හැර සෙසු දොළොස් කුසල-විපාක ක්‍රියා හාද, (ධ්‍යානාඞ්ග සම්ප්‍ර‍යුක්ත ලෝකෝත්තර චිත්තය ද මාර්‍ග-ඵල වශයෙන් අට වැදෑරුම් වූ ධ්‍යාන භේදයෙන් ගෙන සම සතලිසක් (40) වේ. (අධ්‍යානික ලොකොත්තර නැති හෙයිනි) එහි පඤ්චමධ්‍යානික අට හැර සෙසු) දෙතිස් (කුසල-විපාක) මාර්‍ග-ඵල චිත්තයන් හා දැ යි මෙසේ සොමනස්ස දෙසැට (62) විඤ්ඤාණයන් හා සම්ප්‍ර‍යුක්ත වේ.

දොමනස්ස වේදනාව දොමනස්ස සහගත අකුසල විඤ්ඤාණ දෙක හා සම්ප්‍ර‍යුක්ත වේ.

උපේක්‍ෂා වේදනාව, සෙසු කාමාවචර කුසල සතර ය, සහේතුක විපාක සතර ය, අහේතුක විපාක දොළොස ය, සහේතුක ක්‍රියා සතර ය, අහේතුක ක්‍රියා දෙක ය, අකුසල සය ය, රූපාවචර පඤ්මධ්‍යාන තුන ය. (අරූපාවචර ද පඤ්මධ්‍යානයෙහි ඇතුළත් හෙයින්) අරූපාවචර දොළස ය. ලෝකෝත්තර අටයැයි පස්පනස් (55) විඤ්ඤාණයන් හා සම්ප්‍ර‍යුක්ත වේ.

ඔවුනතුරින් සුඛ වේදනාව ඉෂ්ට ඵොට්ඨබ්බය අනුභව කිරීම් ලක්‍ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් ගේ උපබ්‍රෑහණ (වැඩීම) රසය යැ. කය පිළිබඳ වූ ආස්වාදය වැටහෙන ආකාරය යැ. කාය ඉන්‍ද්‍රියය ආසන්න කාරණය යි. දුක්ඛ වේදනා අනිෂ්ඨ පොට්ඨබ්බය අනුභව කිරීම් ලක්ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මැළවීම් කෘත්‍යය යැ. කය පිළිබඳ පෙළීම වැටහෙන ආකාරය යැ. කාය ඉන්‍ද්‍රියය ආසන්න කාරණය යි.

සොමනස්ස වේදනාව ඉෂ්ටානුභවන ලක්‍ෂණය යැ. ස්වභාව වූ, හෝ පරිකල්ප වූ හෝ ඉෂ්ටාකාරයෙන් අරමුණු රස විඳීම් කෘත්‍යය යැ. චෛතසික ආස්වාදය වැටහෙන ආකාරය යැ. පස්සද්ධිය ආසන්න කාරණය යි.

දොමනස්ස අනිෂ්ටානුභවන ලක්‍ෂණය යැ. ලැබුණු පරිදි අනිෂ්ටාකාරයෙන් අරමුණු රස විඳීම් කෘත්‍යය යැ. චෛතසික පීඩනය වැටහෙන ආකාරය යැ. හෘදය වස්තුව ආසන්න කාරණය යි.

උපෙක්ඛා වේදනාව මධ්‍යස්ථානුභවන ලක්‍ෂණය යැ. සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් නො පිනවන - නො මලවන (ස්වභාව) කෘත්‍යය යැ. ශාන්තභාවය වැටහෙන ආකාරය යැ. නිප්‍රීතික චිත්තය ආසන්න කාරණය යි.

මේ වේදනා ස්කන්ධයේ විස්තර කථාව යි.

  1. ම:නි: මූලපණ්ණාසක 296