සත්ත්‍වයින් ගේ චුති උත්පත්ති දනගන්නා ඤාණය දිව්‍ය චක්‍ෂුරභිඥානය යි. එය ඉපදවීම පිණිස පරිකර්‍ම ධ්‍යාන සිත අභිමුඛ කෙරේ. “සො දිබ්බෙන චක්ඛුනා” යනාදීන් එය විස්තර කෙරෙති.
සො = ඒ පරිකර්‍ම ධ්‍යාන සිත එළ වූ යෝගාවචර භික්‍ෂුතෙමේ.
දිබ්බේන = දෙවියන්ට කුශල කර්‍මානුභාවයෙන් නිපන් පිත්ත සෙම්හාදි පළිබෝධ රහිත උපක්ලේශයෙන් විනිර්මුක්ත හෙයින් දුරෙහි වූ රූපාලම්බනය පිළිගැනීමට සමර්‍ථ වූ දිව්‍යමය ප්‍රසාද චක්‍ෂුෂ වන්නා සේ, මේ වීර්‍ය්‍ය භාවනා බලයෙන් නිපන් ප්‍රඥා චක්‍ෂුෂ ද, ඒ දිව්‍ය චක්‍ෂුස මෙන් බැහැර වූ ද රූපාලම්බනය දැකීමෙහි සමර්‍ථ හෙයින් දිව්‍ය විහාර වශයෙන් ලබන ලද හෙයින් හේ දිව්‍ය විහාරය යි, කියන ලද චතුර්‍ථ ධ්‍යානයෙන් ලබන ලද හෙයින් හෝ, කසිණාලෝකානුග්‍රහයෙන් පැමිණිය යුතු බැවින් හෝ, පාදක ධ්‍යාන සඞ්ඛ්‍යාත දිව්‍ය විහාරය නිශ්‍රය කොට හටගත් බැවින් හෝ, දිව්‍ය විහාරයෙහි ඇතුළත් බැවින් හෝ දිව්‍ය නම් වේ. ආලෝක කසිණ භාවනාවෙන් පැමිණිය යුතු බැවින් තමා ගේ ඤාණාලෝකය පැතිරෙන බැවින් ද දිව්‍ය නම, භිත්ති ආදීන් පිටත වූ රූප බැලීමෙන් මහත් ගති ඇති බැවින් ද දිව්‍ය නමි.
මෙහි ශබ්ද ශාස්ත්‍රඥයෝ ‘දිවු ධාතුව විහාර - විජයෙච්ඡා-ව්‍යවහාර - පුති-ගති අර්‍ථයන්හි යෙදීම් වශයෙන් මෙම අභිඥාඥානයා ගේ දිව්‍ය චක්‍ෂුර්‍භාවය සිද්ධ කළහ. පෙර කී විස්තරයෙන් ඒ වැටහෙයි.)
චක්ඛුනා = රූප දැකීම් සාමර්‍ථ්‍යයෙන් ද, (එහෙත් මාංස චක්‍ෂුස මෙන් විඥානාධිස්ථිත වැ දක්නේ නොවේ.) මේ වූ කලි තෙමේ ම දර්‍ශන කෘත්‍යය කෙරෙන හෙයින් ද, ඇසක් වැනිනු යි චක්ඛු නමි.
විසුද්ධේන = චුති - උත්පත්ති දැකීම් වශයෙන් දිට්ඨි විසුද්ධියට හේතු බැවින් විසුද්ධ වූ.
විස්තර :- යමෙක් චුතිය පමණක් දක්නේ නම් හෙතෙම උච්ඡේද දිට්ඨියට වැටේ. යමෙක් චුතිය නො දැක උත්පත්ති මාත්‍රය දකී නම් හෙතෙම ‘නව සත්ත්‍ව ප්‍රාදුර්‍ශාවය වේය’යි දෘෂ්ටි ගනී. යමෙක් ‘මේ දෙක මැ දක්නේ නම් හෙතෙමේ ඒ උභය දෘෂ්ටීන්ම විනිර්මුක්ත වේ. ඔහුගේ ඒ දැක්ම දෘෂ්ටි විශුද්ධියට හේතු වේ. බුද්ධ පුත්‍රයෝ මේ දෙක මැ දකිති. එහෙයින් චුති උත්පත්ති දැකීමෙන් දිට්ඨි විශුද්ධි හේතුත්‍වයෙන් විසුද්ධි වේ යයි කීහ.
අතික්කන්තමානුසකෙන = මනුෂ්‍ය උපචාරය ඉක්ම රූප දක්නා සුළු නොහොත් මිනිසුන්ගේ මසැස පිළිබඳ දර්‍ශනෝපචාරය ඉක්ම සිටී. (මිනිස් ඇසින් නො දැක්ක හැකි සුඛුම රූපාදිය දක්නා හෙයිනි.)
චවමානෙ උප්පජ්ජමානෙ = (විශුද්ධි වූ මිනිස් ඇස පිළිබඳ විෂය ඉක්ම සිටීි දිව්‍යචක්‍ෂුර්ඥානයෙන්) චුතවන්නා වූ ද, උපදින්නා වූ ද,
සත්තෙ පස්සති = සත්ත්‍වයන් දකී
විශේෂ :- රූපයක් පිළිබඳ ස්ථිති වස්ථාව ආලම්බන ප්‍රත්‍යය වන හෙයින් ද, රූපයා ගේ චුති උත්පත්ති ක්‍ෂණයන් සියුම් බැවින් ද, ‘දිබ්බ චක්ඛු’ ඤාණයට අරමුණු නො වේ. චුතියට ආසන්න වූ ද, එකෙණෙහි උපන්නා වූ ද, සත්ත්‍වයෝ මෙයින් අදහස් කරන ලදහ.
හිනෙ = (මොහසම්ප්‍රයුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) ජාති - කුල - භොගාදීන් ගේ වශයෙන් නිහින වූ (ගර්‍හා කරන ලද, ලාතම කොට දක්නා ලද.)
පර්‍ණතෙ = (අමෝහ සම්ප්‍රයුක්ත කර්‍මයෙන් නිපන් සහේතුක ප්‍රතිසන්‍ධික හෙයින්) ප්‍රණීත වූ.
සුවණ්ණො = (අද්වේෂ සම්ප්‍රයුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) ඉෂ්ටවර්‍ණාදීන් යුතු වූ.
දුබ්බණ්ණෙ = (ද්වේෂ සම්ප්‍රයුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) අනිෂ්ට අකාන්ත අමනාප විරූප බැවින් යුතු වූ රූප ඇති.
සුගතෙ = සුගති ඇති. (අලෝභ සම්ප්‍රයුක්ත කර්‍මයෙන් නිපන් හෙයින්) දිළිදු ස්වල්ප ආහාර පාන ඇති.
දුග්ගතෙ = දුගති ඇති. (ලෝභ සම්ප්‍රයුක්ත අකුශල කර්‍මයෙන් නිපන් හෙයින්) දිළිදු වූ ස්වල්ප ආහාර පාන ඇති.
යථාකම්මූපගෙ = (තමා විසින් උපචිත පෙර කී සේ) කර්‍මානුරූප වැ නිපන්.
විශේෂ: පෙර කී “දිබ්බෙන චක්ඛුනා” යනාදි පදයන්ගෙන් දිබ්බ චක්ඛුඤාණ කෘත්‍යය කියන ලදී. මේ “යථා කම්මූපගෙ” යන පදයෙන් යථා කම්මූපග ඤාණ කෘත්‍යය කියන ලදී.
විස්තර:- ඒ ඤාණය උපදවනුයේ මෙසේ යි:- ඒ දිව්‍යචක්‍ෂුර් ඥානලාභී භික්‍ෂු තෙමේ නිරයාභිමුඛ කොට ධ්‍යානාලෝකය පතුරුවා නෙරයිකසත්ත්‍වයන් දිව්‍යඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ සේ දැක, ඒ සත්ත්‍වයන් ගේ නිරයෙහි උපන් කර්‍මය බැලීමට - දැනීමට කැමැත්තේ පාදක ධ්‍යානයට සමවැද ඉන් නැඟී ‘මේ සත්ත්‍වයා කවර නම් කර්‍මයක් කොට නිරයෙහි ඉපිද මේසා දුක් අනුභව කෙරේදැ’යි මෙනෙහි කරයි. අනතුරු වැ ‘මේ නම් කර්‍මයකැ’ යි කර්‍මාලම්බනික ඥානය උපදී.
එසේ මැ උඩ දිව්‍යලෝකාභිමුඛ කොට ආලෝකය පතුරුවා නන්‍ද වන, මිශ්‍රක වන, ඵාරුසක වනාදීව්හි මහා සම්පත් අනුභව කරන සතුන් දකී. හෙද දිබ්බ චක්ඛු ඤාණ කෘත්‍යය මැයි. ‘මේ සත්ත්‍වයන් කිනම් කර්‍මයක් කොට මෙහි උපන්නවුන් මහත් සම්පත් අනුභව කෙරෙත්දැ’යි බලන්නාහට ‘මේනම් කර්‍මයකැ’යි කර්‍මාලම්බණික වැ ඥානය උපදී. මෙද යථාකම්මූපගඤාණය මැයි. මෙයට වෙන මැ පරිකර්‍ම නැති. එසේ මැ අනාගතංශ ඥානයට ද වෙන මැ පරිකර්‍ම නැත්.
විශේෂ:- මේ යථාකම්මූපගඤාණය හා අනාගතංස ඤාණය ද, දිබ්බචක්ඛු ඤාණය පාදක කොට ඇත්තහුට දිබ්බචක්ඛු ඤාණයෙන් මැ සමෘද්ධ වේ. යම් සත්ත්‍වයකු දැක නිපදවන ලද කර්‍මයකින් මතු උපදනා අත්බව බලනු කැමැති දිව්‍යඥාන ලාභී භික්‍ෂුව ඒ යථාකම්මූපගඤාණය මැ පාදක කොට අනාගතංශ ඥානය උපදවයි. මේ ඥාන ද්වය මැ ‘දිබ්බචක්ඛු ඤාණය’ ඇති කල්හි මැ ලැබෙයි. නැති කල නො ලැබේ.
කාය දුච්චරිතෙන = කයින් කරන ලද දුෂ්ට චරිතයෙන් හෝ කයින් උපන් ක්ලේශයෙන් දූෂණය වූ චරිතයෙන්.
විශේෂ :- මේ කාය ද්වාරය මෙහෙයා කාය විඤ්ඤත්ති වශයෙන් පැවැත්තාවූ අකුශල කාය කර්‍මය යැ. (වචී දුච්චරිතාදිය මෙසේ මැයි)
සමන්නාගතා = යම් සන්තානයෙකැ කරන ලදින් නො නැසී පැවැති (එහෙයින් මැ විපාක දීමට යෝග්‍ය බව පහවැ නො යාම හේතු කොට ‘සමන්නාගත’ නම් වේ.
අරියානං උපවාදකා = බුදු-පසේබුදු-බුදු සව්-ආර්‍ය්‍ය යනට (යටත් පිරිසෙයින් සෝවාන් ගිහියකුට පවා) අනර්‍ථ කාමීව පරිජීවතින් හෝ ඣානාදී ගුණ නැසීමෙන් හෝ උපවාද කරන්නාහු. ආක්‍රොශ ගර්‍හා කරන්නාහු.
‘නත්‍ථි එතෙසං සමණ ධම්මො අස්සමණා එතෙ”[1] යි මොවුන්ට මහණකම නැති මොහු අශ්‍රමණයෝයි, සීලයෙන් උපවාද බෙණෙනුයේ අන්තිම වස්තුවෙන් උපවාද බෙණේ.
‘නත්‍ථි එතෙසං ඣානංවා විමොක්ඛොවා මග්ගොවා ඵලංවා”1 යි මොවුන්ට ධ්‍යානයෙක් හෝ විමෝක්‍ෂයෙක් හෝ මාර්‍ගයෙක් හෝ, ඵලයෙක් හෝ නැතැයි’ උපවාද කරන්නේ ගුණ නැසීමෙන් උපවාද කරන්නේ වෙයි.
විශේෂ :- ඔහු දැන හෝ, නො දැන හෝ උපවාද කළ කල ආර්යොපවාද කර්‍මය වේ. මෙය ආනන්තර්‍ය්‍ය සමාන වූ ස්වර්‍ගාවරණ වූ ද, මාර්‍ගාවරණ වූ ද, කර්‍මයෙකි. එහෙත් හේ සතෙකිච්ඡ ය. එයට මේ කථාවෙකි.
එක් ගමෙක එක් තෙර නමක් හා නවක නමක් පිඬු සිඟයි. ඔහු පළමු ගෙහි මැ උණු කැඳිත්තක් ලැබූහ. තෙරුන් ගේ බඩ රිදෙයි. මේ උණු කැඳිත්ත උණුවෙන් මැ බීවොත් ‘සප්පාය වේය’යි සිතා උළු අස්සක් පිණිස මිනිසුන් ගෙනවුත් දමා තුබූ කොටයක් මත හිඳ තෙරුන් වහන්සේ එය වැළඳූහ. ‘මේ ඉතා බඩසයින් පෙළුණු මහල්ලා අපට ලජ්ජා විය යුත්තක් කෙළේ ය’යි නවක භික්‍ෂුව කී. තෙරුන් වහන්සේ ගම පිඬු සැරැ විහාරයට ගොස් ඇවැත්නි! තට මේ සසුනෙහි පිහිටක් ඇද්දැ යි විචාළහ. එසේය සෝවාන්මි’යි කී. ‘එසේ නම් මතු මාර්‍ගයන් පිණිස උත්සාහ නො කරව. තා රහත් නමකට උපවාද කළහ’යි වදාළහ. හෙතෙමේ උන්වහන්සේ ක්‍ෂමා කරවී. එහෙයින් ඒ කර්‍මය බැහැර විය.
මෙසේ අන්‍යයෙක් හෝ ආර්යෝපවාද කළේ නම් ඔහු ගොස් තමා වැඩි මහලු නම් උක්කුටුකයෙන් හිඳ ‘මම ආයුෂ්මතුන්ට මේ මේ දෙය කීවෙමි’ ඒ මට ක්‍ෂමා කෙරේවා’යි ද, තමා නවක නම් වැඳ උක්කුටුකයෙන් හිඳ ඇඳිළි බැඳ ‘ස්වාමීනි! මම ඔබට මේ මේ දෙය කීවෙමි. ඒ මට ක්‍ෂමා කරනු මැනැවැ’යි ක්‍ෂමා කරවිය යුතු. අන් දිසාවක ගියේ නම් තමා ගොස් හෝ, සද්ධි විහාරිකයකු යවා හෝ ක්‍ෂමා කරවිය යුතු. යන්නට හෝ යැවීමට නො හැකි නම් ඒ විහාරයෙහි වැඩ සිටින නවක හෝ වැඩිමහලු වූ හෝ භික්‍ෂුව වෙත එළඹ පෙර කී සේ මම අසුවල් ආයුෂ්මතුන්ට හෝ ස්ථවිරයන් වහන්සේට මෙනම් දෑ කීවෙමි. ඒ ආයුෂ්මත් හෝ, ස්ථවිරයන් වහන්සේ මට ක්‍ෂමා කෙරෙත්වා’යි ක්‍ෂමා කරවිය යුතු. සම්මුඛයෙහි ක්‍ෂමා කළ නො හැකි නම් මෙසේ කළ යුතු. ඒ භික්‍ෂුව ආගිය අතක් නො දත හැක්කේ නම් (වසන තැනක් හෝ ආ ගිය තැනක් හෝ නො දනී නම්) එක් උගත් භික්‍ෂුවක් වෙත ගොස් ‘ස්වාමීනි! මම අසුවල් ආයුෂ්මතුන්ට මෙනම් මෙනම් දැයක් කීවෙමි. එය සිහිවත් මැ විපිළිසර උපද. එයට කුම් කෙරෙම්දැ යි විචාළ කල ඔබ නො බව මැනව. තෙරුන් ඔබට ක්‍ෂමා කරනු ඇත. සිත සනසව, කියා නම් ඔහු විසිනුදු ගිය දිසාවට වැඳ ‘ක්‍ෂමා කෙරෙත්වා’යි කිය යුතු.
හේ පිරිනිවියේ නම් පිරිනිවි ඇඳ තුබූ තැනට හෝ සොහොන වෙත ගොස් හෝ ක්‍ෂමා කරවිය යුතු. මෙසේ කළ කල ස්වර්‍ගාවරණ හෝ මාර්‍ගාවරණ නො වේ. කර්‍මය සංසිඳේ.
මිච්ඡාදිට්ඨිකා = තුමූ විපරීත දෘෂ්ටික වූවෝ.
මිච්ඡාදිට්ඨිකම්මසමාදානා = (විපරීත දෘෂ්ටි වශයෙන් සමාදන් වූ නානා විධ කර්‍ම ඇත්තෝ) මිත්‍යාදෘෂ්ටික වූ කාය කර්‍මාදීන්හි අන්‍යයන් ද සමාදන් කරවන්නාහු ද.
විශේෂ:- මේ ආර්යොපවාදය වාග් දුශ්චරිත ග්‍රහණයෙහි ද, මිථ්‍යා දෘෂ්ටිය මනෝ දුශ්චරිත ග්‍රහණයෙහි ද, සංගෘහීත වූව ද, නැවත කීම මහා සාවද්‍ය බව දැක්වීම පිණිස ය.
ආර්යොපවාදය පඤ්චානන්තර්‍ය්‍යය මෙන් මහා සාවද්‍ය ය. එයින් වදාළහ.
“සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීල සම්පන්නො සමාධි සම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙවධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය. එවං සමපදමිදං සාරිපුත්ත වදාමි. තං වාචා අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජිත්‍වා යථාහතං නික්ඛිත්තො එවං නීරයෙ”[2]
‘ශාරිපුත්‍රය! (මුහුකුරා ගිය ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය ඇති) සම්පූර්‍ණ සිල් ඇති, සම්පූර්‍ණ සමාධි ඇති, සම්පූර්‍ණ මාර්‍ග ඥාන ඇති භික්‍ෂුව අර්‍හත් ඵලයට පැමිණෙන්නා සේ (ඒ ආර්යොපවාදක තෙමේ) ඒ වචනය ද, ඒ චිත්තයට ද, (මිථ්‍යා දෘෂ්ටිකයා) ඒ දෘෂ්ටිය ද බැහැර නො කොට ගෙනවුත් බහාලන ලද්දකු මෙන් නරකයෙහි උපදී.
තවද මිථ්‍යාදෘෂ්ටියට වඩා මහා සාවද්‍ය වූ අනිකක් නැත්තේ ය. එයින් වදාළහ.
“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහා සාවජ්ජතරං යථඉදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි පරමාති භික්ඛවෙ වජ්ජාති”[3]
“මහණෙනි! මිථ්‍යාදෘෂ්ටිය යම් පමණ මහා සාවද්‍ය ද එබඳු වූ අන්‍ය එක මැ ධර්‍මයකුදු නො දකිමි. මහණෙනි! අවද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ.
කායස්සභෙදා = උපාදානස්කන්ධ භේදයෙන්
පරම්මරණා = (මරණින් මතු උපන් ස්කන්ධ ලාභයෙන් හෝ ජීවිතින්‍ද්‍රියයා ගේ උපච්ඡේදයෙන්) චුති සිතින් මත්තෙහි.
අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පන්තා = (මේ සියල්ල නිරය පර්‍ය්‍යාය වචන ය) අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහ වූ දුකට ගති වූ, විවස වැ පතිත වන්නා වූ; (ආසවාද නම්වූ අය නැති හෙයින් නොහොත් ස්වර්‍ග-මොක්‍ෂයට හේතු වූ ප්‍රත්‍යය සම්මත අය යෙන් පහ වූ බැවින් නොහොත් සැපයන් ගේ හට ගැනීමක් නැති හෙයින්) නිරය නම් වූ, දෝස බහුලත්‍වයෙන් දුෂ්ට වූ කර්‍මයෙන් උපන් ගති ඇති හෙයින් දුග්ගති නම් වූ. මෙහි බිඳෙන අඞ්ග ප්‍රත්‍යඞ්ග ඇතිවැ විනාශ වෙමින් වැටෙත්නුයි’ විනිපාත නම් වූ නිරයෙහි උපන්නාහු ය.)
විශේෂ :- මෙහි අපාය ගැනීමෙන් තිරිසන් යෝනිය ගැනේ. එය සුගතියෙන් වෙන් වූ හෙයින් අපාය ය. (මහේශාක්‍ය නාගරාජාදීන් ගේ උත්පත්තිය ඇති හෙයින් දුග්ගති නො වේ) දුග්ගති ග්‍රහණයෙන් ප්‍රේත ලෝකය ගැනේ. එය සුගතියෙන් පහවූ හෙයින් ද, දුකට ගති වූ හෙයින් ද, අපාය දුග්ගති ද වේ. විනිපාත ග්‍රහණයෙන් අසුරකාය ය ගැනේ. එය එකී අර්‍ථයෙන් අපාය ද දුග්ගතිය ද සියලු සම්පත්තීන් පහ වූ හෙයින් විනිපාත ද වේ. නීරස ග්‍රහණයෙන් අවීචිය තෙක් සියලු අපාය ගැනේ. (මෙයට ප්‍රතිපක්‍ෂ වශයෙන් සොභන පක්‍ෂය දත යුතුයි)
සුගතිං සග්ගං ලොකං උප්පන්තා = සැපයට ගති වූ සුවයෙන් අග්‍ර වූ ලෝකයෙහි උපන්නාහු ය.
විශේෂ :- මෙහි සුගති ග්‍රහණයෙන් මනුෂ්‍යයෝ ද, සග්ග ග්‍රහණයෙන් දෙවියෝ ද ගැනෙති. සුන්දර ගති ඇති හෙයින් සුගති ද, රූපාදීන් මනාව අග්‍ර හෙයින් ස්වර්‍ග ද වේ. මේ සියල්ල ලුජ්ජන පලුජ්ජන අර්‍ථයෙන් ලෝක නම.
විස්තර :- මෙසේ දිවැසින් බලනු කැමැති ආදිකර්මික කුල පුත්‍රයා අට කසිණයන් අතුරින් යම් කිසි කසිණයක් අරමුණු කොට අභිඥාපාදක ධ්‍යානය උපදවා යට කී සේ (තුදුස් ආකාරයෙන් සිත දමනය කොට අඞ්ග අටකින් සම්පූර්‍ණ කිරීමෙන් භූමි-පාද-පද-මූල සම්පාදනය කිරීම් වශයෙන්) සර්‍වප්‍රකාරයෙන් දිව නුවණට සිත මෙහෙයීමට සුදුසු කොට තේජෝ කසිණ - ඔදාත කසිණ - ආලෝක කසිණ යන තුනින් එකක් දිව්‍යචක්‍ෂුරභි ඥානයට ආසන්න කළ යුතු.
එකී කසිණයෙක්හි උපචාර ධ්‍යානය පුහුණු කොට අරමුණ ද වැඩිය යුතු. එහෙත් එසේ වැඩූ කසිණාලම්බනයෙහි ධ්‍යාන වශයෙන් අර්පණා නො ඉපදවිය යුතු.
කවර හෙයින් ද යත් :- පරිකර්‍ම නො කළහුට අභිඥා වශයෙන් අර්පණා නූපදනේ ය. අර්පණා උපදවන්නේ නම් පාදක ධ්‍යාන හෝ අරමුණු වන්නේ ය. ඒ කසිණාලම්බනය පරිකර්‍මයට නිශ්‍රය නො වන්නේ ය. නිශ්‍රය නො වන කල රූප දර්‍ශනය නොවේ.
මේ තුන් කසිණයන් අතුරින් ආලෝක කසිණය ශ්‍රේෂ්ඨතරය. එහෙයින් එය හෝ, අනෙක් දෙකින් එකක් හෝ යට කසිණ නිර්‍දෙශයෙහි කී පරිදි උපචාර ධ්‍යාන වශයෙන් උපදවා (උපචාර ධ්‍යානය සමග ප්‍රතිභාග නිමිත්ත උපදනා හෙයිනි.) ඒ උපචාර භූමියෙහි මැ සිට ප්‍රතිභාග නිමිත්ත වැඩිය යුතු. (විස්තර යට කසිණ නිර්‍දෙශයෙහි[4] කී සෙයින් දත යුතු.)
කසිණ ප්‍රතිභාග නිමිත්ත වඩන ලද ප්‍රදේශයෙහි වූ රූපාලම්බනය මැ දැක්ක යුතු ය. ඉන් පිටත වූ රූපාලම්බන නොදැක්ක යුතු. එසේ පිටත වූ රූපාලම්බනය දක්නහු ගේ පරිකර්‍ම වාරය ඉක්මෙන හෙයිනි. එසේ (පරිකර්‍ම වාරය) ඉක්මීමෙන් කසිණාලෝකය අතුරුදහන් වේ. ඒ (ආලෝකය) අතුරුදහන් වූ කල්හි රූපාලම්බනය ද නො පැනෙයි. අනතුරු වැ ඒ ධ්‍යානලාභීහු විසින් නැවත නැවත පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ආලෝකය පැතිර වියයුතු. මෙසේ අනුක්‍රමයෙන් කසිණාලෝකය ශක්තිමත් වේ. එකල්හි යම් පමණ ප්‍රදේශයක ‘කසිණාලෝකය පැතිරේවා’යි (යම් පමණ ප්‍රදේශයක්) පිරිසිඳින ලද්දේ නම් ඒ ප්‍රදේශයෙහි කසිණාලෝකය සිටිනේ මැ ය. දවසක් මුළුල්ලෙහි වුව ද එහි මැ හිඳ බලන්නහුට රූපාලම්බනය දැක්ම වන්නෙ ්ය.
නිදර්‍ශන :- මෙයට රෑ ගිනි සුළක් ගෙන මගට පිළිපන් මිනිසෙක් නිදර්‍ශන වේ. ‘එක් මිනිසෙක් ගිනි සුළක් ගෙන රෑ මගට පිළිපන්නේ ය. ඒ ගිනි සුළ නිවුණු කල්හි මාර්‍ගයෙහි සම විසම තැන් නො පැනේ. ඔහු ඒ ගිනි සුළ බිම ගසා නවැත ද දල්වා පෙරට ද වඩා එළිය වූයෙන් නැවත ද යන්නේ එය නැවත නැවත නිවි කල නැවත නැවත ද දල්වද්දී සූර්‍ශ්‍යයා උදාවූයෙන් එයින් කර්‍ම නැති හෙයින් එය හැර දමා දවස මැ ගියේ ය.
සංසන්‍දනය :- පරිකර්‍ම කළ කල කසිණාලෝකය ගිනි හුළු එළිය මෙන් ද, රූප දක්නා කල පරිකර්‍ම ධ්‍යාන වාරය ඉක්මීමෙන් කසිණාලෝකය අතුරුදහන් වීමෙන් රූප නො දැකීම ගිනිසුළ නිවීමෙන් සම-විසම නො දැකීම මෙන් ද නැවත නැවත පාදක ධ්‍යානයට සමවැදීම ගිනිසුළ බිම ගැසීම මෙන් ද, නැවත පිරියම් කරන කල පෙරට ද වඩා කසිණාලෝකය පැතිරීම ගිනිසුළ පෙරට වඩා ආලෝක වීම මෙන් ද පිරිසිඳ පමණ තන්හි කසිණාලොකය දැඩිවැ පැතිරී සිටීම සූර්‍ය්‍යයා ගේ උදාවීම මෙන් ද, ඒ දැඩි වූ ආලෝකයෙන් දවසකුදු රූප දැකීම, ගිනිසුළ හැරපියා සූර්‍ය්‍යාලෝකයෙන් දහවල් කාලයෙහි යාම මෙන් ද දත යුතු.
ඒ යෝගාවචරයා ගේ මැ ඇසට හමු නො වූ කුස තුළ වූ රූපය ද, හෘදය වස්තු ඇසුරු කොට පවත්නා රූපය ද, පොළොව යට භාගයෙහි වූ ද, භිත්ති පවුරු ආදියෙන් මුවා වූ ද, සක්වළින් බැහැර වූ ද, මෙකී රූපයන් යම් කලෙක නුවණැසට හමුවේ ද, මසැසින් දක්නාක් මෙන් ප්‍රකට වැ දක්නේ වේ ද, එකල දිවැස උපන්නේය යි දත යුතු.
මේ රූපයන් අරමුණු කොට පවත්නා සිත් අතුරින් ඒ දිව්‍යචක්‍ෂුරභිඥානය මැ චක්‍ෂුර් විඥානය ප්‍රකෘති රූපය මනා කොට දක්නා මෙන් රූපාලම්බනය දැකීමට සමර්‍ථ වේ. එයට පූර්‍ව භාගයෙහි පැවැති පරිකර්‍ම සිත් රූපාලම්බනය ප්‍රකට කොට බැලීමට සමර්‍ථ නො වේ. චක්‍ෂුර්විඥාන සිතට පූර්‍වයෙහි පවත්නා පඤ්චද්‍වාරාවජ්ජන සිත හා පසු වැ උපදනා සමපටිච්ඡන සන්තිරණ සිත් මෙනි.
විශේෂ:- එකී සිත් රූපාලම්බනය අරමුණු කොට පැවැත්තේ නමුදු එය තතු සේ දැකීම සමර්‍ථ නො වේ.
(තවද ඒ දිව්‍යචක්‍ෂුරභිඥානය පෘථග්ජනයා අන්තායක වේ. හෙතෙමේ යම් යම් තැන් ‘ආලෝක වේවා’යි අධිෂ්ඨාන කෙළේ නම් ඒ ඒ පෘථිවි-සමුද්‍ර-පර්‍වතාදිය විනිවිද එකාලෝක වේ. එකල යක්‍ෂ-රාක්‍ෂසාදි රූප දර්‍ශනයෙන්න භය ඉපිද චිත්ත වික්‍ෂේපයට පැමිණ ධ්‍යානයෙන් පිරිහී උමතු බවට ද පැමිණිය හැකි හෙයිනි. එහෙයින් ‘මා විසින් දිවැස් ලබන ලදැ’යි තෘප්තියට නො පැමිණ විදර්‍ශනා වඩා සත්‍යප්‍රතිවෙධ කිරීමෙහි උත්සාහවත් විය යුතු.)
දිව්‍යචක්‍ෂුභිඥානය උපදින්නේ මෙසේයි:- ‘යට කී පරිදි එකී රූපාලම්බනය අරමුණු කොට මනොද්‍වාරාවජ්ජන සිත ඉපිද නිරුද්ධ වූ කල, එය මැ අරමුණු කොට ජවන් සතරක්- පහක් උපදී’ යනාදි සියල්ල පෙර කී සේ ය. මෙහිදු පූර්‍වයෙහි කී ආවර්‍ජන චිත්තයෝ සවිතර්‍ක - සවිචාරයට, කාමාවචරයහ. අවසානයෙහි වූ රූපාලම්බනය දැකීම සිද්ධ කරන චිත්තය රූපාවචර චතුර්‍ථධ්‍යානික යැ. ඒ හා එක්වැ යෙදුණාවූ ඥානය චුතුපපාතඥානයයි ද, දිව්‍යචක්‍ෂුරභිඥානයයි ද, කියනු ලැබේ.
මෙතෙකින් චුතුපපාත ඤාණ කථාව නිමි.