චේතෝ පරිය ඤාණ කථාවට අනතුරු වැ පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන කථාවට වාය පැමිණියේ වෙයි.
‘පූර්‍වෙ නිවාසය සිහි කෙරේනු යි’ හෝ ඔහු ගේ සිහි කිරීම හෝ පුබේබෙනිවාසානුස්මෘති නම. ඒ නිශ්‍රය කොට පැවැති ඥානය පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන නමි. පෙර ජාතීන්හි කාම රූපා‘රූප භවයන්හි පැවැති ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට සමර්‍ථ වූ ස්මෘතිය හා එක්වැ පැවැති ඥානය මෙහි අභිප්‍රේත යැ. මෙසේ සැකෙවින් දක්වන ලද්ද පදයක් පාසා විස්තර කරති.
පුබ්බෙනිවාසානුස්සති ඤාණය = පෙර විසූ කඳ පිළිවෙළ දක්නා ඤාණය පිණිස
විස්තර :- අතීත ජාතීන්හි ස්වසන්තානයෙහි පැවැත්තා වූ ද, ඉපද නිරුද්ධ වූ ද, ස්කන්ධය අරමුණු කිරීම් වශයෙන් ස්වවිඥාන ගෙධ්චර කිරීමෙනේ ජාති-ගෝත්‍ර-නාම-වර්‍ණාදීන් නුවණින් පිරිසිඳ ගන්නා ලද්දාහු ද, අතීත ජාතීන්හි බුද්ධාදි අන්‍යයන් ගේ ද නුවණින් පිරිසිඳිනා ලද්දාහු ද වෙති. ශිඛාප්‍රාප්තපූර්‍වෙනිවාස දැක්වීම සඳහා මේ කීහ.
ඒ පූර්‍වෙ නිවාසය සිහි කරන සතිය, පුබ්බෙනිවාසානුස්සති නම. ඒ සිහියෙන් යුත් ඤාණය, පුබ්බෙනිවාසානුස්සති ඤාණය යි. ඒ ඤාණයා ගේ අධිගමය පිණිස, (පැමිණීම පිණිස ය) යන අර්‍ථ යි.
අනෙක විහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති = නා නා භව - යොනි - ගති සත්ත්‍වාවාසාදි වශයෙන් අනේක ප්‍රකාර වූ ජාති ගෝත්‍රාදි ආකාරයෙන් විස්තර කරන ලද අනතුරු අතීත භවය ආදි කොට ඒ ඒ භවයෙහි පැවැති ස්කන්ධ පටිපාටි වශයෙන් හෝ චුති ප්‍රතිසන්ධි වශයෙන් හෝ පිළිවෙළින් නුවණින් අනුගමනය කොට සිහි කරයි.
පුබ්බෙ නිවාසය සිහි කරන්නෝ -
(1) තීර්‍ථකය
(2) ප්‍රකෘති ශ්‍රාවකය
(3) අසූ මහා ශ්‍රාවකය
(4) අග්‍රශ්‍රාවකය
(5) ප්‍රත්‍යෙක බුද්ධ ය.
(6) සම්‍යක් සම්බුද්ධ ය යි, සදෙනෙක් වෙති.
(1) මේ ශාසනයෙන් පිටත් කර්‍මවාදී-ක්‍රියාවාදී-තාපසාදීහු ය. ඔහු ඉකුත් සතලිස් කපක් කල් සිහි කෙරෙති. හේ ද ස්කන්ධ පටිපාටිය වසයෙන් ම ය. අන්‍ධයකු ගේ ගමන මෙනි. (සැරයටිය නැතිවැ අන්‍ධයාට ගිය නො හැක්කාක් මෙනි.) නාම-රූප පරිච්ඡේද ගත විදර්‍ශනා ඥානය නැති හෙයින් දුර්‍වල ප්‍රඥා ඇති හෙයිනි.
(2) ප්‍රකෘති ශ්‍රාවකයෝ කල්ප සියයක් දහසක් සිහි කෙරෙති. හේ ද ස්කන්ධ පිළිවෙළින් හෝ, චුති පටිසන්ධි පිළිවෙළිනි.
(3) අසූ මහා ශ්‍රාවකයෝ කල්ප ලක්‍ෂයක් චුති පටිසන්ධි ක්‍රමය අනුවැ සිහි කෙරෙති.
(4) දැගසවුවෝ ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති-පටිසන්‍ධි පිළිවෙළින් සිහි කෙරෙති. (එක සත්ත්‍වයකු ගේ මේ අත්බව්හි පටිසන්‍ධිය බලා, දෙ වන අත්බව්හි චුතිය ද, එහි ප්‍රතිසන්‍ධිය දැ යි මෙසේ පිළිවෙළිනි.
(5) පසේ බුදුවරයෝ දෙයාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති පටිසන්‍ධි වශයෙන් සිහි කෙරෙති.
විශේෂ :- මහා ශ්‍රාවක ද, අග්‍ර ශ්‍රාවක ද, ප්‍රත්‍යෙක බුද්ධ ද, අභිනීහාරය හා බෝධිසම්භාරය පුරණ කාලය එපමණ හෙයිනි.
(7) බුදුවරුන්ට වූ කලී ස්කන්ධ පටිපාටියක් හෝ, චුති පටිසන්‍ධි පටිපාටියක් හෝ, කාල නියමයක් හෝ නැති, එසේ මැ නොයෙක් කෝටි ගණන් කල්ප අතහැර යම් යම් තැනක් රිසියුණෝ නම් ඒ ඒ තැන ප්‍රකට වේ. පෙය්‍යාල මුඛයෙන් දෙසන පාළියක් සේ ය. එසේ බලන්නාහු ද, සිංහ ගතික වැ වාලවේධයෙහි සමර්‍ථ සරභඞ්ගාදි ධනුර්‍ධරයින් විදී හීය, අතර ගස්-වැල් ආදියෙකැ නො ගැටී, ඉලක්කය ම, විදපියන්නා සේ අතරතුර ජාතීන්හි නො ගැටී අභිමත ජාතියෙහි නුවණ හැපී සිටී. හේ ද කාල වශයෙන් ද අපරියන්ත යැ.
තවද තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මරණය කණාමැදිරි එළියෙන් බැලීමක් මෙන් ද,
ප්‍රකෘති ශ්‍රාවකයන් ගේ පහන් එළියක් මෙන් ද,
මහා ශ්‍රාවකයන් ගේ ගිනි සුලක් මෙන් ද,
අග්‍ර ශ්‍රාවකයන් ගේ ඔසධී තාරක මෙන් ද,
පසේ බුදුවරයන් ගේ සඳ එළිය මෙන් ද,
සම්‍යක් සම්බුදුවරයන් ගේ මධ්‍යාහ්න සූර්‍ය්‍යයා මෙන් ද වැටහේ
තවද තීර්‍ථකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අන්‍ධයාගේ සැරයටි කොණ ගෙන යාම මෙන් ද,
ප්‍රකෘති ශ්‍රාවකයන් ගේ තනි ඒදණ්ඩෙහි යාමක් මෙන් ද,
මහා ශ්‍රාවකයන් ගේ පුවරු හෙයකින් යන්නාක් මෙන් ද,
අග්‍ර ශ්‍රාවකයන් ගේ ගැළක් යා හැකි හෙයක යන්නාක් මෙන් ද,
පසේ බුදුවරයන් ගේ පා මඟෙක යන්නාක් මෙන් ද,
බුදුවරයින් ගේ මහා ශකට මාර්‍ගයෙකැ යන්නාක් මෙන් ද වේ.
(එහෙත් මේ විෂයයෙහි ශ්‍රාවකයන් ගේ පූර්‍වෙනිවාසානුස්මෘතිය අදහස් කරන ලදී. එහෙයින් මැ ‘ස්කන්ධ පිළිවෙළින් හෝ, චුති පටිසන්‍ධි පිළිවෙළින් හෝ අනුක්‍රමයෙන් සිහිකෙරේ ය’යි කීහු.)
විස්තර :- මේ නුවණ ලබනු කැමැති ආදි කාර්මික භික්‍ෂුව පසු බත (පිණ්ඩපාතයෙන් වැළකී) රහසිගතවැ හුදෙකලා වැ එක් අරමුණෙක සිත පිහිටුවා පිළිවෙළින් රූපාවචර චතුර්‍ථධ්‍යානයන්ට සමවැද අනතුරු වැ අභිඥා පාදක චතුර්‍ථධ්‍යානයෙන් නැගී සියලු කටයුතු වලට පසුව වූ ඒ හිඳීම මෙනෙහි කළයුතු. එතැන් සිට පිළිවෙළින් අසුන් පැනවීම ය, සෙනසුනට පිවිසීම ය, පා සිවුරු තැන්පත් කිරීම ය, දන් වැළඳීමය, ගමින් පෙළා ඊම ය, පිඬු සිඟීම ය, පිඬු පිණිස ගමට යාමය, විහාරයෙන් නික්මීම ය, දාගැබ් මහ බෝ වැඳීම ය, පා දෙවීම ය, පාත්‍රය පිළිගැනීම ය, එයට පෙරටුව මුව දෙවීම තෙක් කළ දැ ද, උදෑසන කාලයෙහි කළ දැ ද, මැදියම කළ දැ ද, පෙරයම කළ දැ ද’යි මෙසේ ප්‍රතිලෝම හෙයින් සියල් රෑ - දාවල් කළ දැ මෙනෙහි කළ යුතු ය. ම් දැ පියවි සිත ද ප්‍රකට වේ. පරිකර්‍ම සමාධි චිත්තයට අතිශයින් ප්‍රකට වේ මැයි.
මෙහි ලා යම් කිසිවක් ප්‍රකට නො වේ නම් නැවත පාදක ධ්‍යානයට සමවැද එයින් නැඟී ආවර්‍ජනා කළ යුතු. මෙතෙකින් අන්‍ධකාර ස්ථානයක පහනක් දැල් වූ කලෙක මෙන් ප්‍රකට වේ. (කරය මුවහත් කරන කරගල මෙන් පාදක ධ්‍යානය ද, ස්මෘතිප්‍රඥාවන් තියුණු කෙරේ.)
මෙසේ ප්‍රතිලෝම වශයෙන් දෙවෛනි දවස ද, තුන් වැනි දවස ද, සතර වැනි දවස ද, පස් වැනි දවස ද, දස වැනි දවස ද, අඩ මසක් ද, මසක් ද, අවුරුද්දක් ද තෙක් කළ දෑ ආවර්‍ජනා කළ යුතු. එනයින් දස වසක් ද, විසි වසක් දැ යි මේ අත් බැව්හි තමා පිළිසිඳ තෙක් මෙනෙහි කළ යුතු නැවත මෙයට අනතුරු අත්බැව්හි චුතික්‍ෂණයෙහි පැවති නාම රූපයන් ආවර්‍ජනා කළ යුතු.
මේ අභිඥා විෂයෙහි පුරුදු කරන ලද ප්‍රඥා ඇති භික්‍ෂුව මුල් වාරයෙහි ම ප්‍රතිසන්‍ධි උගුළුවා චුතික්‍ෂණයෙහි පැවැති නාම රූප බැලීමට සමර්‍ථ වේ. එසේ පුරුදු නො කළහුට, “පූර්‍ව භවයෙහි පැවැති නාම රූප නිරවශේෂ වැ නිරුද්ධ විය. අනෙක් කර්‍මයකින් හටගත් නාම-රූප පහළ විය. එහෙයින් ඒ නාම-රූප නික්‍ෂේප ස්ථානය චතුරඞ්ගයෙන් හාත්පසින් වැසුණු ඝනාන්‍ධකාරය මෙන් අප්‍රකට විය”යි මෙසේ ප්‍රතිසන්‍ධිය උගුළුවා චුති අවස්ථාවෙහි පැවැති නාම-රූප දැකීමට අසමර්‍ථය’යි වීර්‍ය්‍යය බහා නොත තැබිය යුතු. ඒ පාදක ධ්‍යානයට නැවත නැවත සමවැද එයින් නැගී ඒ ස්ථානය ආවර්‍ජනා කළයුතු.
උපමාවෙකි :- යම්සේ ශක්තිමත් පුරුෂයෙක් කූටාගාර කර්ණිකාවක් සඳහා මහ රුකක් සිඳින්නේ, අතු පතර සිඳීමෙන් ම පොරොව මොට වූයේ නම් එපමණකින් පසුබට නො වැ කඹුරුහලට ගොස් පොරොව මුවහත් කර ගෙන නැවත අවුත් සිඳින්නේ, නැවත මොට වූයේ නම් නැවත ද මුවහත් කරවා සිඳින්නේ, පළමු සිඳි තැන් නැවත නො සිඳිය යුතු හෙයින් හා නො සිඳුතැන් ම සිඳිය යුතු වන හෙයින් ඒ මහා වෘක්‍ෂය නොබෝ කලකින් ම බිම හෙලන්නේ ද, එසේ මැ පාදක ධ්‍යානයෙන් නැගී පළමු වැ ආවර්‍ජනා කළ තැන් නැවත ආවර්‍ජනා නො කළ යුතු හෙයින් ප්‍රතිසන්‍ධිය මැ ආවර්‍ජනා කරන්නේ නොබෝ කලකින් මැ ප්‍රතිසන්‍ධිය උගුළුවා චුතික්‍ෂණයෙහි පැවැති නාම-රූපය මැ ආවර්‍ජනා කරන්නේ ය.
මෙහි උපමාන-උපමේය සංසන්‍දනය
පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය කූටාගාර කර්ණිකාව මෙනි. පූර්‍වභාගයෙහි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පැවැති නාම-රූප මහ රුක මෙනි. මේ බවෙහි ඒ හා සබඳ පිළිසිඳ අතු-පතර මෙනි. පරිකර්‍ම භාවනාව පොරෝ මුවහත මෙනි. පාදකධ්‍යානය කඹුරුහල මෙනි. අන්‍යවූ ද දරපළන්නෙක, කෙස්බහන්නෙක යන උපමාවන්ගෙන් ද මේ අර්‍ථය මැ ප්‍රකාශ කෙරේ.
පෙර කී සේ පශ්චිම නිසද්‍යයෙහි සිට ප්‍රතිසන්‍ධිය තෙක් පැවැති ඥානය පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය නො වේ. ඒ වූකලි පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයට පිරියම් පිණිස පැවැති සමාධිය හා සම්ප්‍රයුක්ත ඥානය වේ. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් අතීතාංශ ඥානය යි කියති. එය රූපාවචර අතීතාංශ ඥානය සඳහා නො යෙදේ. පරිකර්‍ම සමාධි ඥානය කාමාවචර හෙයිනි.
එහෙත් යම් කලෙක ඒ යෝගී භික්‍ෂුව ගේ ප්‍රතිසන්‍ධිය ඉක්ම චුති ක්‍ෂණයෛහි පැවැති නාම-රූප අරමුණු කොට මනොද්වාරා වර්ජන සිත උපදී ද එය නිරුද්ධ වූ පසු එය මැ අරමුණු කොට ජවන් සතරක් පසක් උපදී. ඔවුන්ගේ පූර්‍ව වූ පරිකර්‍මාදිය කාමාවචර සිත් ය. පශ්චිමය රූපාවචර අර්පණා වේ. ඒ සිත හා සමග උපදනා ඥානය ‘පුබ්බෙනිවාසානුස්සතිඤාණ’ නමි. ඒ ඤාණය සමඟ යෙදුණු සතිය කරණකොට අජේකවිධ වූ පූර්‍වෙනිවාස අනුස්මරණය කෙරේ.
“එක් ජාතියක් හෝ, දෙකක් හෝ තුනක් හෝ, ඒ ඒ ජාතීන් පිළිබඳ ස්කන්ධ සන්තතිය හෝ ජාති දහයක් හෝ නොයෙක් සංවට්ට කල්ප හො නොයෙක් විවට්ට කල්ප, ආකාර සහිත වූ, උදේදස සහිත වූ, අනේකප්‍රකාර වූ පූර්‍වෙනිවාසය සිහි කරයි.”
එක් ජාතියක් = එක කර්‍මයෙන් නිපන් පටිසන්‍ධිය මුල්කොට ඇති චුතිය අවසන් කොට ඇති එක භවයක් පිළිබඳ ස්කන්ධ සන්තතිය මෙහි ‘ජාති’ යයි අභිප්‍රේතයැ. සෙස්ස ද මෙසේ මැයි.
නොයෙක් සංවට්ට කල්ප = පිරිහෙන්නා වූ කපසංවට්ට නමි.
නොයෙක් විවට්ට කල්ප = වැඩෙන්නා වූ කප විවට්ට නමි.
කපක් පිළිබඳ සංවට්ට සතරෙකි.
සංවට්ටය
සංවට්ටඨායීය
විවට්ටය
විවට්ටඨායීය යි හෙද
ආපෝ සංවට්ටය
තෙජෝ සංවට්ටය,
වායෝ සංවට්ටය යි තුනෙකි.
සංවට්ට සීමා ද තුනෙකි. ගින්නෙන් නස්නා කල ආභස්සරයෙන් යට ද, ජලයෙන් නස්නා කල සුභකිණහයෙන් යට ද, වාතයෙන් නස්නා කල වෙහප්ඵලයෙන් යට ද නසී.
විස්තර:- ජාතික්‍ෂේත්‍රය, ආඥාක්‍ෂේත්‍රය, විෂයක්‍ෂේත්‍රයයි ද තුනෙක් වේ. තථාගතයන් වහන්සේ ගේ ජාත්‍යාදීන්හි කම්පා වන ප්‍රදේශය වූ දස දහසක් සක්වළ ජාති ක්‍ෂේත්‍රය යැ, රතන සූත්‍රාදීන් ගේ අනුභාවය පැතිරෙන තරම් ප්‍රදේශය වූ කෝටි ලක්‍ෂයක් සක්වල ආඥාක්‍ෂේත්‍රය යැ, බුද්ධඥාන විෂය වූ අනන්තාපරිමාණ සක්වළ විෂය ක්‍ෂේත්‍රය යි
මොවුනතුරෙන් කල්ප විනාශය වන කාල ආඥාක්‍ෂේත්‍රය මැ විනාශ වේ. ඒ සමග ජාති ක්‍ෂේත්‍රය ද, විනාශ වේ. ඒ ඇතුළත වන හෙයිනි. පිහිටන්නේ ද, එකවට මැ පිහිටා මැයි. විෂය ක්‍ෂේත්‍රය අනන්තාපරිමාණ ය. “තමා ශබ්දය පැතිරවීම්, රූප දැක්වීම් පිළිබඳ වැ යාවතාපන ආකඞ්ඛෙය්‍ය”[1] යි. “යම් පමණ කැමැත්තේ නම් එපමණ තන්හිය” යි වදාළ හෙයිනි.
විස්තර:- ගින්නෙන් කප නස්නා කල මුලදී මැ කල්ප විනාශක මහා වැසි වසී. හෙද කෙළ ලක්‍ෂයක් සක්වළට එකවට ය. මිනිස්සු තුටු පහටු වැ බීජ සියල්ල වපුරති. ශෂ්‍ය ගවයන් කන පමණ වැඩුණු පසු මේඝ ගර්‍ජනා විනා වැසි පොදකුදු නො වසී. එදා නැවතුණු වැසි නැවතුණේ මැ වේ.
“හොති ඛො සො භික්ඛ වෙ සමයො යං බහූනි වස්සසතානි, බහූනි වස්ස සහස්සානි, බහූනි වස්ස සත සහස්සානි දෙවො න වස්සති”[2] යි ‘බොහෝ අවුරුදු සිය-දහස්-ලක්‍ෂ ගණන් වැසි නොවස්නා කලෙක් වේය’ යි එයින් වදාළහ.
එකල වැස්සෙන් ජීවත් වන සත්ත්‍වයෝ කළුරිය කොට බඹලොව උපදිති. මල් පලයෙහි ඕජාවෙන් ජීවත් වන දෙවියෝ ද, බඹලොව උපදිති. මෙසේ දීර්‍ඝ කාලයක් ගතවත් ම ඒ ඒ තැන ජලය වියළී යයි. එකල මස් කැසුබු ආදීහු බඹලොව උපදිති. නිරි සතුන්ද මැරී බඹලොව උපදිත්.
(තිරිසන් සතුන් බඹලොව උපදනේ සත් වැනි සූර්‍ය්‍යයා පහළ වූ පසුවය යි ඇතැම් කෙනෙක් කියති.)
ප්‍රශ්නයෙකි:- ධ්‍යාන නැතිවැ බඹලොව යා නොහේ. මෙහි ඇතැම් කෙනෙක් දුර්භික්‍ෂයෙන් පීඩිත වැ මැරෙති. ඇතැම් කෙනෙක් ධ්‍යාන වැඩීමට අභව්‍ය නො වෙද්ද?
පිළිතුර:- දෙව්ලොව ඉපද එහිදී ලබන ධ්‍යාන වශයෙනි.
විස්තර:- එකල මින් හවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වේ’ යයි “ලොකබ්‍යුහ” නම් දෙවියෝ කෙස් මුදා විසුරුවා ගෙන හඬමින් අතින් කඳුළු පිසිමින් රතු වත් හැඳ ඉතා විරූප වෙස් දරා මිනිස් පියස හැසිරෙති.
මෙසේ ද කියත් “පින්වත්නි! මින් හවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වේ. මේ ලෝකය වැනැසේ. මහ මුහුද පවා වියළේ. මේ මහා පොළොව ද, මහා මේරු පර්‍වතය ද, දා වැනසේ. බඹ ලොව තෙක් සියල්ල වැනසේ.
පින්වත්නි! ‘මෙත් වඩව්, කරුණා-මුදිතා-උපේක්‍ෂා වඩව්, මව්-පිය උවටැන් කරව්, කුල දෙටුවන් පුදව්’ කියා ය යි.
මේ බස් අසා මිනිස්සු ද, බූමාටු දෙවියෝ ද, මොළොක් සිත් වැ මෙත් වැඩීම් ආදි පින්කම් කොට දෙව්ලොව උපදිති. එහිදී දිව බොජුන් වලඳා වායො කිසුණු පිරියම් කොට ධ්‍යාන උපදවති. අන්‍යයෝ අපරාපරිය වෙද්‍යා කර්‍මයෙන් දෙව්ලොව උපදිති. ‘අපරාපරිය කර්‍ම විරහිත සසර සැරිසරන සත්ත්‍වයෙක් නැති’ ඔහුද එසේ මැ එහි දී ධ්‍යාන උපදවා බඹලොව යති. වැසි නැවතී බොහෝ කලකගේ ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයෙක් උපදී. එකල රෑ දාවල් වෙනස නොපැනේ. එකක් උදා වූ කල එකක් බසී. ලෝකය සූර්‍ය්‍යාලෝකයෙන් නිරතුරු වෙයි.
විශේෂ:- ප්‍රකෘති සූර්‍ය්‍ය මණ්ඩලයෙහි සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයා ඇතත්, දෙවෙනි කල්ප විනාශය සූර්‍ය්‍ය මණ්ඩලයෙහි හේ නැති. එසේම පියවි හිරු පවත්නා කල වලාහක-දුම්-සිළු ඇතත් දෙවෙනි හිරු උදා වූ කල හේ ද නැති වේ. අහස ආදාස මණ්ඩලයක් සේ නිර්‍මල වේ. පස් මහා ගංගාවන් හැර, සෙසු ගංගා, ඇළ, දොළ වියළේ. ඉන් බොහෝ කලක ගේ ඇවෑමෙන් තුන් වැනි හිරෙක් උදා වේ. එකල පස් මහා ගඟ වියළේ. එයින් බොහෝ කලක ගේ ඇවෑමෙන් සිවු වැනි හිරෙක් පහළ වේ. එකල හිමවත මහා ගංගාව හටගන්නා සීහප්‍රපාතය, හංසප්‍රපාතය, කර්‍ණමුණ්ඩකය, රථකාරය, අනවතප්තය, ඡද්දන්තය, කුණාලය යන සප්ත මහා විල් වියළේ.
ඉන් බොහෝ කලෙකින් පස්වැනි හිරෙක් උදා වේ. එකල පිළිවෙළින් මහා සාගරයෙහි සුළැඟිල්ල තෙමන පමණ වූ ද ජලය ඉතිරි නොව වියළේ. ඉන් බොහෝ කලෙකින් සවැනි හිරෙක් පහළ වේ. එකල සියලු කෝටි ලක්‍ෂයක් සක්වළ වියළන දුමින් එකට පිරී ගනී. ඉනුදු බොහෝ කලෙකින් සත්වැනි හිරෙක් පහළ වේ. එකල සියලු කෝටි ලක්‍ෂයක් සක්වළ එක මැ ගිනි ජාලාවක් වේ. සියක් යොදුන් පමණ මහත් ගිරි කුළු පැලී අහසෙහි දා විනාශ වේ. එහි ගිනි ජාලාව චාතුර්‍මහාරාජිනක දිව්‍ය ලෝකය තෙක් පැතිරේ. එහි රන් - රිදී - මැණික් - විමන් දවා තව්තිසා දෙව් ලොව තෙක් පැතිරේ. මේ ක්‍රමයෙන් සදිව්‍ය ලෝකයන් දවා ප්‍රථමධ්‍යාන භුමිය තෙක් පැතිරේ. එහි ද බ්‍රහ්මතල තුන දවා ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි හැපී සිටී. ඒ ගිනි ජාලාව අණුවක් පමණ වූ ද, ද්‍රව්‍යයක් පවත්නා තුරු නො නිවේ. සියලු ද්‍රව්‍ය අවසන් වූ කල ගිතෙල් දැ තැන මෙන් අලු ද ඉතිරි නො කොට නිවී යයි. යට අහස හා උඩ අහස එක් වැ මහාන්‍ධකාර වේ. අනතුරු දීර්‍ඝ කාලයක ගේ ඇවෑමෙන් මහා මේඝයක් නැගී පළමුව සියුම් පොද වැසි වසී. පිළිවෙළින් නෙලුම් දඬු - සැරයටි - මොහොල් - තල් කඳ පමණ වැසි ධාරා වැස කෙළ ලක්‍ෂයක් සක්වළ සියලු දා ගිය තැන් පිරී යයි. ඒ ජලය උඩ යට සරස වාතය නැගී ඝන කොට නො විසිරෙන සේ පිඬු කරයි. පියුම් පතෙක දියත්තක් මෙනි. ඒ මහත් ජලස්කන්‍ධය අතර වාතය ගමන් කළ හැකි සේ විවර දෙමින් ඝන කොට වට කරයි. මෙසේ ක්‍රමයෙන් ඝන වීමෙන් යටට බසී. එසේ ක්‍රමයෙන් බසිත් බසිත් මැ පෙර බඹලොව තුබූ තන්හි බඹ ලොව ද, මතුයෙහි යාම දෙව් ලොව තෙක් සතර කාමාවචර දෙව් ලොව පැවැති තන්හි දෙව් ලොව ද පහළ වේ. චාතුර්‍මහාරාජික, තාවතිංස, දිව්‍යලෝක දෙක පොළොව හා සම්බන්‍ධ හෙයින් එකල පහළ නො වේ. පෙර පොළොව පැවැති තැනට බට කල්හි බලවත් වාතය හට ගනී. ඒ වාතය ධර්‍මකරකයෙහි සිදුර වැසූ කල ඇතුළත රඳන ජලය මෙන් නිරුත්සාහයෙන් පවතී.
මිහිරි ජලය ක්‍රමයෙන් ක්‍ෂය වෙමින් මතු පිට රස පඨවිය උපදවයි. එය වර්‍ණයෙන් ද, ගන්‍ධයෙන් ද යුක්ත වේ. නිරූදක ක්‍ෂීරපායාසයෙහි මතු පිට තෙල් පටලය මෙනි. එකල ආභස්සර බඹ ලොවින් චුත වන බ්‍රහ්මයෝ එහි උපදිති. ඔහු තමා ගේ ශරීරාලෝකයෙන් ආලෝක කෙරෙමින් අහසෙහි හැසිරෙති. උපාචාර ධ්‍යාන බලයෙන් එසේ හැසිරෙන ඔව්හු අග්ගඤ්ඤ සූත්‍රයේ[3] කී සේ රස පොළොව ආස්වාදනය කොට රස තෘෂ්ණාවෙන් මඩිනා ලද්දාහු අන් සතු දෙය පැහැර ගෙන අනුභව කිරීමට උපක්‍රම කෙරෙති. ඉන් ඔවුන් ගේ ශරීරාලෝකය අතුරුදහන් වැ අන්‍ධකාරය වේ. බියට පැමිණි ඔවුන් සනසා පිරිපුන් පනස් යොදුන් ඇති සූර්‍ය්‍ය මණ්ඩල පහල වේ. ඔහු ඒ දැක ‘එළිය ලදුම්හ’ යි තුටු පහටු වැ භය වූ අය සනසා ‘සූර බව් උපදමින් පහළ වූයේය’යි ‘සූර්‍ය්‍ය’ යැයි නම් කෙරෙති. සූර්‍ය්‍යයා දහවල් පැවතී අස්තයට ගිය ඉක්බිති ‘ලැබූ ආලෝකය දැන් නටුයේය’යි භය වූවාහු ‘අනෙක් ආලෝකයක් ලදමෝ නම් මැනවැ’යි සිතත්ම ඔවුන් ගේ සිත දැනමෙන් එකුන් පනස් යොදුන් සඳමඬල පහළ වෙයි. ඒ දැක බොහෝ සෙයින් තුටු පහටු වූ ඔව්හු ඒ අරුත සලකා ‘චන්‍ද්‍ර’ නම් කෙරෙති.
මෙසේ සඳ-හිරු පහළ වූ පසු නැකැත් තරු පහළ වේ. එතැන් පටන් රෑ-දාවල් පැනෙයි. අනුක්‍රමයෙන් මාස -අර්‍ධමාස - සෘතු - සංවත්සරයෝ පහළ වෙති. සඳ - හිරු උපන් දා මැ මහමෙර, සක්වළගල, හිමවත් පව් පහළ වේ. ඔහු ද, ක්‍රමයෙන් මැදින් මස පසළොස්වක් දා පහළ වෙත්. පැසෙන තණ පතක එක පැහැර බුබුළු නැගී ඇතැම් පෙදෙස් ථූපයන් සේ උස්ව ද, ඇතැම් පෙදෙස් ආවාටව ද, ඇතැම් පෙදෙස් සමව ද, පැසෙන්නාක් මෙනි මෙසේ ථූප මෙන් වූ තැන් පර්‍වත වේ. ප්‍රපාත මෙන් වූ තැන් සමුද්‍ර වේ. සමතැන් ද්වීප වේ.
රස පොළොව වළඳනා ඒ සත්ත්‍වයන් අතුරින් ඇතැම් කෙනෙක් වර්‍ණවත් වූවෝ දුර්‍වණ වූවන් හෙළා දකිති ඔවුන් ගේ ඒ මානය හේතු කොටගෙන රස පොළොව අතුරුදහන් වේ. භුමිපප්පටක පහළ වේ. ඒ නයින් භේද අතුරුදහන් වේ. බදාලතා නම් ලතා විශේෂයක් පහළ වේ. එසේ මැ භේ ද අතුරුදහන් වේ. (ස්වයංපාක) දරින් නො පිසිය යුතු කුඩු නැති පිරිසිදු හැල් පහළ වේ. අනතුරු වැ බඳුන් පහළ වේ. ඔහු ඒ සහල් බඳුන් හි බහා ගල් මත තබති. ගිනි තමා ම නැගී එය පිසයි. දෑසමන් කැකුළු සේ සුදු වූ ඒ බතට සූප ව්‍යඤ්ජනයෙන් කම් නැති. රිසියෙන තාක් රස ඉන් ලැබේ. ඒ රළු ආහාර බුදිනා ඔවුනට මළ-මුත්‍ර හට ගනී. අනතුරුව ඒවා නික්මෙන ද්වාර පහළ වේ. පිරිමිනට පුරුෂ භාවය ද, ස්ත්‍රීනට ස්ත්‍රී භාවය ද වේ. ඔවුනොවුන් බැලීමෙන් කාම තෘෂ්ණා හටගැනීමෙන් මෙවුන්දම් සෙව්ති. ඉක්බිති නුවණැත්තෝ ඔවුන් ගරහත්. ඒ සඳහා ආවරණ ස්ථාන කෙරෙත්. ගෙහි වසන්නාහු අලස බැව් කිහිප දිනකට යැපෙන සහල් රැස් කොට තබති. අනතුරු වැ කුඩු - පොතු හටගනී. පෙර සේ කපා ගත් තන්හි ශස්‍ය හට නො ගනී. රැස් වැ සුසුම් හෙලමින් මෙසේ සාකච්ඡා කෙරෙත්.
“පින්වත්නි! සත්ත්‍වයන් අතර පවිටු ගති පහළ වී අපි පෙර මනෝමය සෘද්ධි ඇත්තේ වූම්හ.” යනාදි ලෙසිනි. (විස්තර අග්ගඤ්ඤ සූත්‍රයෙන්[4] දන්නේයි.) අනතුරු වැ හැල් කෙත් බෙදා මායිම් තබති. එකල එකෙක් අනෙකා අයත් කොටසින් නො දී ගත්තෙක් දෙවරක් පරිභව බැණ තුන්වැනි වාරයෙහි අත්-පා-කැට-කැබලිත්තෙන් ගැසී. මෙසේ සොරකම්-අවමන්-බොරු-දඬු ගැනීම්-ආදීය උපන් පසු රැස් වැ ‘තර්‍ජනය කළ යුත්තන්ට තර්‍ජනය කළ හැකි, ගර්‍හා කළ යුත්තන්ට ගර්‍හා කළ හැකි, රටින් නෙරිය යුත්තන් නෙරිය හැකි, යම්කිසි සත්ත්‍වයකු සම්මත කෙරෙමුය’යි ද ඒ සඳහා ‘මේ හැල් කොටස දෙමු’යි ද, කතිකා කොට එකල ඔවුනතුරෙහි සියල්ලට වඩා මනා රූ ඇති, දැකුම්කළු මහේශාක්‍ය නුවණැති සංග්‍රහ-නිග්‍රහ කිරීමෙහි සහත් වැ සිටි බෝධි සත්ත්‍වයන් වෙත එළඹ යාඥා කොට එසේ සම්මත කළහ. එසේ මහජන සම්මත වූ හෙයින් හෙතෙමේ ‘මහාසම්මත’ නම් ද, ක්‍ෂේත්‍රාධිපති හෙයින් ‘ක්‍ෂත්‍රිය’ නම් ද, දැහැමෙන් සෙමෙන් ජනයා රඤ්ජනය කළ හෙයින් රජ නම් ද වී. මෙසේ නාම ත්‍රයයෙකින් ප්‍රකට විය. මෙසේ ක්‍ෂත්‍රිය මණ්ඩලය පිහිටි පසු, පිළිවෙළින් බ්‍රාහ්මණාදි වර්‍ණයෝ පිහිටියාහු ය.
මෙසේ කල්ප විනාශ මේඝයේ පටන් ජ්වාලොපචේඡදය දක්වා මේ සංව්ට්ට අසඞ්ඛෙය්‍ය යැ.
කල්ප විනාශක ජ්වාලොපචේඡදයේ සිට සම්පත්ති මහා මේඝය තෙක් සංවට්ටඨායී නම් දෙවෙනි අසඞ්ඛෙය්‍ය යැ. සම්පත්ති මහා මේඝයේ පටන් සඳ-හිරු පහළවීම් තෙක් විවට්ට නම් තුන් වැනි අසඞ්ඛෙය්‍ය යැ සඳ-හිරු පහළවීමේ සිට නැවත කල්ප විනාශක මහා මේඝය තෙක් විවට්ටඨායී නම් සිවු වැනි අසඞ්ඛෙය්‍ය යැ. මේ සතර අසඞ්ඛෙය්‍යය මහා කල්පයෙකි. මේ වූ කලි ගින්නෙන් නැසී හටගන්නා පරිදි ය.
ජලයෙන් කල්ප විනාශය වන අයුරු:- යම් කලෙක කල්ප ජලයෙන් විනාශ වේ නම් එකල පළමුව මැ කල්ප විනාශක මහා මේඝය වසී.
මේය වෙනස:- ගින්නෙන් නසනා කල දෙවෙනි හිර නගින්නා සේ මෙහි කල්ප විනාශක කාරම් ජල වැසි වසී. මුලදී සියුම් සියුම් වැසි වැස පසුව පිළිවෙළින් මහා වැසි ධාරාවෝ කෙළ ලක්‍ෂයක් සක්වළ පුරා වසිති. ඒ කාරම් දියවට පෘථිවි, පර්‍වතාදිය විලීන වෙයි. ජලය හාත්පසින් සුළඟ දරයි. පොළවේ සිට දුතියජ්ඣාන භූමිය තෙක් ජලය පිරෙයි. එහි තුන් තලය දිය වේ. සුභකිණ්ගක බඹලොව හැපී සිටී.
විශේෂ :- මේ වූ කලි උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් තතියජ්ඣානපරිත්ත තලය වූ පරිත්ත සුභයෙහි හැපී සිටී. යට ආභස්සරයෙහි හැපී සිටිති යි කී තැන ද පරිත්තාභයෙහි හැපී සිටිත හැකි ය. උත්කෘෂ්ට වශයෙන් මෙසේ කියන ලදී. මෙසේ ස්වල්ප වූ ද ද්‍රව්‍යයක් පවත්නා තාක් ජලය නො සිඳේ. සියල්ල දිය වූ පසු ජලය වියළී යයි. ඉක්බිත් මතු අජටාකාශය එකට හැපී ඝනාන්‍ධකාරයෙන් පිරී ගනී. සෙස්ස පෙර සේ මැයි.
මෙහි සුභකිණ්හක බ්‍රහ්ම ලෝකයෙන් ද, චුත වැ ආභස්සර බඹලොව උපදිති. මෙසේ කල්ප විනාශක මේඝයේ සිට කාරම් ජලය සිඳෙන තාක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. එතැන් සිට සමපත්තිකර මහා මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. එතැන් සිට සම්පත්තිකර මහා මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. සෙස්ස පෙර සේ මැයි. මෙසේ ජලයෙන් විනාශය ද, හටගැනීම ද වේ.
වාතයෙන් කල්ප විනාශය වන පරිදි:- වාතයෙන් විනාශ වන කල ද ‘පළමුවෙන් කල්ප විනාශක මහා වැස්සෙක් වසී, යනාදි පෙර කී සේ විස්තර කළ යුතු.
විශේෂ:- පෙර දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වූ සේ මෙහිදී කල්ප විනාශය පිණිස වාතය හටගනී. එය පළමුවෙන් මහා ධූලි නංවයි. අනතුරු වැ සියුම් ධූලි ය, සියුම් වැලි ය, මහා වැලි ය, කැට ගල් ය ගල් ය, යනාදිය ද නඟයි. කුළු ගේ පා පර්‍වත ද, විසම තන්හි වූ මහා රුක් ද, උඩට නඟයි. ඒවා පොළොවෙන් උඩ නැංගාහු නැවත බිම නො වැටෙති. එහි මැ සුණු විසුණු වී අභාවයට යෙත්.
අනතුරු වැ පිළිවෙළින් යට මහා පොළවින් වාතය නැඟී පොළොව පෙරළා මුල් උඩට නඟා අහසෙහි බහයි. සියක් යොදුන් පමණ වූ ද, දෙ සියක් - තුන් සියක් - සාර පන් සියක් යොදුන් පමණ වූ ද, පොළෝ කොටස් සිඳ වාත වේගයෙන් අහසෙහි බහාලන ලද්දාහු එහි ම සුණු විසුණු වී වැනසෙති. සක්වළ පව්ව ද, මහමෙර පව්ව ද, වාතයෙන් ඔසවා අහසෙහි ලන ලදු වැ, ඒවා එකින් එක හැපී සුණු විසුණු වැ වැනසෙති. මෙසේ භූම්‍යස්ථ ආකාශස්ථ විමානයන් ද, විනාශ කෙරෙමින්, ෂට් කාමාවචර දිව්‍ය ලෝකයන් වනසා කෙළ ලක්‍ෂයක් සක්වළ ගල්, සක්වළ ගල් හා ද; හිමවත් පව්, හිමවත් පව් හා ද; මහාමේරු, මහාමේරු හා ද; (ඔවුනොවුන් එක් වැ) හැපී සුණු විසුණු වැ විනාශ වේ. පොළොව සිට තතියජ්ඣාන භූමිය තෙක් වාතයෙන් වැනසේ. එහි බඹ ලෝ තුන නසා වෙහප්ඵලයෙහි හැපී සිටී. මෙසේ සියලු දෙය නසා වාතය ද නැසේ. උඩ යට අජටාකාසය එක් වැ මහාන්‍ධකාර වේ. සේසස පෙර කී සේ මැයි
විශේෂ :- මෙහි දී සුභකිණ්හකයෙන් ද සැව බ්‍රහ්මයෝ වෙහප්ඵලයෙහි උපදිති. කල්ප විනාශක මේඝයේ සිට, කල්ප විනාශය වාතය නැවතීම තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. වාතය නැවතීමේ සිට සමපත්තිකර මේඝය තෙක් එක් අසඞ්ඛෙය්‍යයෙකි. මේ සතර අසඞ්ඛෙය්‍යයෙක් එක් මහා කල්පයෙකි. මේ වාතයෙන් ලොව නස්නා පරිදි හා පිහිටන පරිදි යි.
‘සත්ත්‍ව ලෝක මෙන් අවකාශ ලෝකය ද වැනැසීමේ හේතුවක් ඇත මැනවැ යි සලකා ලෝකය මෙසේ වැනසෙන්නේ කවර හෙයින් දැ යි, විචාරන්නවුනට, අකුසල මූල හේතුවෙන් යැ’යි පිළිතුරු දිය යුතු.
ඒ එසේ මැයි:- අකුසල මූලයන් උත්සන්න වූ කල මෙසේ ලොව වැනැසේ. හේ ද රාගය අධික වූ කල ගින්නෙන් ද, ද්වේෂය අධික වුව ගින්නෙන් ද නැසෙතැයි ද යෙති. මෝහය අධික වුව වාතයෙන් වැනැසේ.
මෙසේ වැනැසෙන්නේ ද පිළිවෙළින් සත් වරක් ගින්නෙන් නට කල ජලයෙන් අට වැනි වර වැනැසේ. නැවත ගින්නෙන් සත් වරකැ යි මෙසේ ජලයෙන් අට වැනි - අට වැනි වරයැ යි (ගින්නෙන් ස පණස් වරෙක, ජලයෙන් සත් වරෙකැ යි) තෙ සැට වරක් පිරුණු පසු, සැට සතර වැනි වාරය වාතයෙන් වැනැසේ. පෙර කී සේ පූර්‍වෙනිවාසය සිහි කරන්නා වූ ද කල්පයන් සිහි කරන භික්‍ෂුව මෙසේ නොයෙක් සංවට්ට කල්ප ද, විවට්ට කල්ප ද, සංවට්ට-විවට්ට කල්ප ද සිහි කරයි.
ඒ මෙසේ යි:- ‘අසුවල් සංවට්ට කල්පයෙහි මම අසුවල් භවයෙකි, අසුවල් යෝනියෙහි හෝ, ගතියෙහි හෝ විඥාන ස්ථිතියෙහි හෝ, සත්ත්‍වාවාසයෙහි හෝ, සත්ත්‍ව නිකායයෙහි හෝ උපන්මි, මෙ නම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. නාම ගෝත්‍රාදිය මෙන් මැ, වර්‍ණ සම්පත් - රූක්‍ස - ප්‍රණීත - ජීවිකාව හෝ සැප දුක් බහුල බව හෝ, අල්පායුෂ්ක - දීර්‍ඝායුෂ්ක බව හෝ සිහිකරනු කැමැත්තේ එය ද සිහි කරයි. ‘ඒ මම එයින් චුත වැ නැවත නැවත අසුවල් අසුවල් තැන උපන්මි’යි කියා ය.
මෙ මැ කීහ “එවං නාමෙ එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛ දුක්ඛ පටිසංවෙදි - සො - තතොවුතො ඉධූපපන්තොති”[5]
මෙසේ එකිනෙක භවයෙන් භවය වර්‍ණාදි ආකාර වශයෙන් ද, නාම-ගෝත්‍රාදි උද්දේශ වශයෙන් නානාවිධ වූ පූර්‍වෙනිවාසය සිහි කෙරේ.
පූර්‍වෙනිවාසානුස්මෘතිඥාන කථාව සමාප්තයි.