පඤ්චාභිඥාවන් ගේ ප්‍ර‍කීර්‍ණක කථාව

star_outline

මේ පඤ්චාභිඥාවන් අතුරින් චුතූපපාතඤාණ නමින් කී දිව්‍යචක්‍ෂුරභිඥානයට, අනාගතංසඤාණය ද, යථාකම්මුපග ඤාණය ද පිරිවර ව්. මේ ඤාණ දෙක හා ඉද්ධිවිධාදී අභිඥා පස දැයි සප්ත අභිඥා ඥාන කෙනෙක් මෙහි දක්වන ලදහ. ඔවුනගේ ආලම්බන විභාගයහි නුමුළාවීම පිණිස, සතර වැදෑරුම් ආලම්බන ත්‍රිකයෝ වදාළහු ද, දැන් ඒ ආලම්බනයන් කෙරෙහි සත්වැදෑරුම් අභිඥාවන් ගේ පැවැත්ම දැක්විය යුතු.

ආලම්බනත්‍රික සතර මෙසේ යි.

1. පරිත්තාරම්මන ත්‍රිකය

2. මග්ගාරම්මණ ත්‍රිකය

3. අතීතාරම්මණ ත්‍රිකය

4. අජ්ඣත්තාරම්මණ ත්‍රිකය යන මොහුයි

සප්තාභිඥාවන් අතුරින්

1 ඉද්‍ධිවිධ ඤාණය

(1) පරිත්තාලම්බනය

(2) මභග්ගතාලම්බනය

(3) අතීතාලම්බනය

(4) අනාගතාලම්බනය

(5) පච්චුප්පන්නාලම්බනය

(6) අජ්ඣත්තාලම්බනය

(7) බහිද්ධාලම්බනය යි සප්තාලම්බනයකැ පවතී.

ඒ මෙසේයි.

(1) යම් කලෙක කරජකාය ය පාදකධ්‍යාන නිශ්‍ර‍යකොට අදෘශ්‍යමාන කයින් යනු කැමැතිව පාදකධ්‍යාන චිත්තයා ගේ වශයන් මහද්ගත චිත්තයහි කය සමාරොපණය කෙරේ ද, එකල්හි “කායං පරිණාමෙති” ‘කය පිරිනමාය’ යි (ද්‍විතීයා විභක්තියෙන් වාව්‍ය වූ කය අරමුණු වේ යයි) කීයෙන් රූප කායයාගේ වර්‍ණයතනය ආලම්බන කොට පවත්නා හෙයින් පරිත්තාලම්බනික වේ.

(2) යම් කලෙක පාදකධ්‍යාන සිත රූපකාය නිශ්‍ර‍ය කොට ගෙන දෘශ්‍යමාන කයින් යනු කැමැති වැ (රූපකායයා ගේ වශයෙන්) පාදකධ්‍යාන චිත්තය රූපකායයෙහි මොනවට පිහිටුවා නම් එකල “චිත්තං පරිණාමෙති” යි (ද්‍විතීයා විභක්තියෙන් වාව්‍ය වූ) ධ්‍යාන චිත්තය අරමුණු කොට පවත්නා හෙයින් මහග්ගතාලම්බනික වේ.

(3) යම් කලෙක අතීත - නිරුද්ධ වූ ඒ පාදකධ්‍යාන චිත්තව මැ අරමුණු කෙරේ නම් එකල අතීතාලම්බනික වේ.

(4) සර්‍වඥශාරීරික ධාතු නිධානයෙහි අනාගත කාලය අධිට්ඨාන කළා වූ මහාකාශ්‍යපා දී ස්ථවිරවරුන් ගේ ඉද්ධිවිධ ඤාණය මෙන් අනාගත කාලය අරමුණු කොට පවතී.

මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මහා ධාතු නිධානය කරන සේක් අනාගතයෙහි දෙසිය අටළොස් (218) වැනි වස දක්වා මේ සුවඳ සදුන් කල්ක නො වියළේවා! මේ මල් නො මැලවේවා! මේ පහන් නො නිවේවා! යි ඉටූ සේක. සියල්ල එසේ වී.

අස්සගුත්ත මහතෙරුන් වහන්සේ වත්තනිය සෙනස්නෙහි වැසි භික්‍ෂු සංඝයා වහන්සේ වියළි බත් වළඳනු දැක එහි වූ ජලය දිනපතා පෙරබත දීරස වේවා වි ඉටූ සේක. සියල්ල ගත් ජලය දීරස වී පසුබත ගත් ජලය පියවි දිය වී.

විශේෂ:- මේ දෙ තැන මැ ප්‍ර‍ත්‍යුත්පන්න සුගන්‍ධාදිය ගත ද අනාගත රූපය මැ අධිට්ඨාන චිත්තයට අරමුණු වූ හෙයින් අනාගතාලම්බනික වේ.

(5) රූපකායය පාදකධ්‍යාන චිත්ත නිශ්‍ර‍ය කොට අදෘශ්‍යමාන කායයෙන් යන කල්හි ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික වේ.

(පාදකධ්‍යාන චිත්තය ප්‍ර‍කෘතියෙන් මැ අදෘශ්‍යමානය, දෘශ්‍යමාන රූපකාය ය ඒ ධ්‍යාන චිත්තය නිශ්‍ර‍ය කොට ගත් කල්හි රූපකාය ද අදෘශ්‍යමාන වේ.)

(6) කාය වශයෙන් පාදකධ්‍යාන චිත්තය හෝ, පාදකධ්‍යාන චිත්ත වශයෙන් කය හෝ පිරිනමන කල්හි ද, තමා ගේ කුමාර රූපාදිය මවාපාන කල්හි ද, තමාගේ රූපකායය හෝ පාදකධ්‍යාන චිත්තය හෝ අරමුණු කරන හෙයින් අධ්‍යාත්මිකාලම්බනික වේ.

(7) බාහිර වූ ඇත් - අස් ආදීන් මවාපාන කල්හි බහිද්ධාලම්බනික වේ.

මෙසේ ඉද්ධිවිධඤාණය සප්තාලම්බනයෙකැ පැවැත්ම දත යුතු.

2 දිව්‍ය ශ්‍රොත්‍ර‍ ධාතු අභිඥාව

(1) පරිත්තාලම්බනය

(2) ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනය

(3) අධ්‍යාත්මාලම්බනය

(4) බහිද්ධාලම්බනය යි සිව් වැදෑරුම් වූ අරමුණුකැ පවතී.

ඒ මෙසේ යි.

(1) ඒ දිව්‍යාශ්‍රෝත්‍ර‍ ධාතු ඥානය ශබ්දය අරමුණු කෙරේ නම් සියලු ශබ්දය කාමාවචර හෙයින් පරිත්තාලම්බනික ය.

(2) විද්‍යාමාන වූ මැ ශබ්දය අරමුණු කරන හෙයින් ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික ය.

(3) ඒ දිව්‍ය ශ්‍රෝත්‍ර‍ ධාතු ඥානය තම කුක්‍ෂිගත ශබ්දය අරමුණු කොට පවත්නා කල්හි අධ්‍යාත්මාලම්බනික ය.

(4) අනුන් ගේ කථිත-හසිතාදි ශබ්ද අසන කල්හි බහිද්ධාලම්බනික ය. මෙසේ දිව්‍යශ්‍රොත්‍ර‍ ධාතු අභිඥාව සතරාකාර ආලම්බනයෙහි පවත්නා බව දත යුතු.

3 චේතොපරිය ඤාණය

(1) පරිත්තාලම්බනය

(2) මහද්ගතාලම්බනය

(3) අප්‍ර‍මාණාලම්බනය

(4) මාර්‍ගාලම්බනය

(5) අතිතාලම්බනය

(6) අනාගතාලම්බනය

(7) ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනය

(8) බහිද්ධාලම්බනය යි අට අරමුණෙක පවතී.

ඒ මෙසේ යි.

(1) මෙරමා ගේ කාමාවචර සිත් දැනගන්නා කල පරිත්තාලම්බනිකය.

(2) රූපාවචර - අරූපාවචර සිත් දැනගන්නා කල මහද්ගතාලම්බනික ය.

(3) මාර්‍ග-ඵලයන් දැනගන්නා කල අප්‍ර‍මාණාලම්බනික ය.

විශේෂ:- ‘පෘථග්ජන චේතෝපරිය ඤාණලාභී හට සෝවාන් පුද්ගලයාගේ මාර්‍ග-ඵලසිත් නො දත හැක්කේ ය.’ ‘සෝවාන් අභිඥාලාභී හට ශකෘදාගාමික මාර්‍ග ඵල සිත් නො දත හැක්කේ ය. යනාදි ක්‍ර‍මයෙන් රහතුන් ගේ මාර්‍ග ඵල චිත්තයන් දක්වා එළවියයුතු. රහතන් වහන්සේ සියලු ආර්‍ය්‍යයන් ගේ සිත් දැනගන්නා සේක. අන්‍ය වූ මත්තෙහි වූ ආර්‍ය්‍යයෝ හට ආර්‍ය්‍යයන් ගේ සිත් දන්නාහ. එසේ මැ සම සම වූ ආර්‍ය්‍යයෝ සම වූ ආර්‍ය්‍යයන් ගේ සිත් දන්නාහ. එසේ මැ සම සම වූ ආර්‍ය්‍යයෝ සම වූ ආර්‍ය්‍යයන් ගේ සිත්දන්නාහ.

(4) මාර්‍ග චිත්තය අරමුණු කරන කල්හි මාර්‍ගාලම්බනික ය.

(5) අතීතයෙහි සත් දවසක් ඇතුළත අනුන් ගේ සිත් දැනගන්නා කල අතීතාලම්බනික ය.

(6) අනාගතයෙහි සත් දවසක් ඇතුළත ඇතුළත සිත් දැනගන්නා කල අනාගතාලම්බනික ය.

(7) ප්‍ර‍ත්‍යුම්පන්නාලම්බන වන සැටි මෙසේ යි. ඒ වූ කලි

(අ) ඛණ පච්චුප්පන්නය

(ආ) සන්තති පච්චුප්පන්නය

(උ) අද්ධා පච්චුප්පන්නය යි ත්‍රිවිධ වේ.

(අ) උත්පාද - ස්ථිති - භඞ්ග යන ලක්‍ෂණත්‍ර‍යට පැමිණ ධර්‍මය ඛණපච්චුප්පන්න නමි.

(ඉ) රූපා රූපයෙන් ගේ වශයෙන් එක් සන්තති වාරයෙක හෝ ද්වි සන්තති වාරයෙක හෝ ඇතුළත් වූ ධර්‍මය සන්තති පච්චුප්පන්න නම් වේ.

ඒ මෙසේයි:- අන්‍ධකාරයෙහි සිට ආලෝකයට ගියහුට රූප ප්‍ර‍කට වේ. යම්තාක් ඒ ප්‍ර‍කට වේ ද, ඒ අතර සන්තති වාර එකක් දෙකක් දතයුතු. ආලෝකයෙහි සිට අන්‍ධකාරයට ගියහුට ද, රූපාලම්බනය ප්‍ර‍කට නො වේ. එය ප්‍ර‍කටවන අතර සන්තති වාර එකක් දෙකක් වේ. දුර සිට රදනවුන්හේ රෙදිගසන හස්ත විකාරය ද, බෙර-ගෙඩි වයන හස්ත විකාරය ද, දැනීම හා ශබ්ද ඇසීම සතර සන්තති එකෙක් දෙකෙක් වේ. මේ මධ්‍යම භාණක මතය යි.

විශේෂ :- සංයුත්තභාණකයෝ රූප සන්තති, අරූප සන්තති යැයි සන්තති දෙකෙකැ යි කියා එයට මෙසේ නිදසුන් දක්වති.

දියෙහි බැස ගියහුට ඉවුර සමීපයෙහි ඇක්මුණු ජලරේඛාව යම්තාක් වේලාවකින් නො පැහැදේ ද මේ අතරතුර කාලය රූප සන්තතියෙක් වේ. තවද දීර්‍ඝ මාර්‍ගයහි අවුත් සෙවණට පිවිසියහු ගේ ශරීරයෙහි උණුසුම යම්තාක් නො සන්සිඳේ ද අව්වේ සිට අවුත් ගබඩාවට පිවිසියහු ගේ අඳුරු බව යම්තාක් පහනොවේ ද ඇතුළුගබ කමටහන් වඩා දහවල් කවුළුව හැර පිටත බලන්නහුගේ ඇස්හි චඤ්චල බව යම්තාක් නො සන්සිඳේ ද මේ අතර කාලය රූප සන්තති නම. දෙතුන් (කාමාවචර) ජවන වාර අරූප සන්තති නමැ”යි කියා මේ දෙක මැ සන්තතිපච්චුප්පන්නයැ යි කියත්.

(උ) ප්‍ර‍තිසන්‍ධි - චුති දෙකින් පිරිසිඳිනා ලද එක භවයක් ඇතුළත වූ නාම-රූප ධර්‍ම සමූහය අද්ධා පච්චුප්පන්න ය.

එයින් වදාළහ.

“යොචාවුසො මනො යෙච ධම්මා උභයම්පෙතං පච්චුප්පන්නං තස්මිං පච්චුප්පන්නෙ ඡන්‍දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්‍දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්‍දති. තදභිනන්‍දත්තො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරතීති”[1]

‘ඇවැත්නි! සම්ප්‍ර‍යුක්ත ධර්‍ම සහිත යම් සිතෙක් වේ ද, යම් ආලම්බන කෙනෙක් වෙද්ද, නොහොත් මනායතනයක් හා වේදනාදි නාමස්කන්‍ධ වෙද්ද, ඒ මනායතන-ධර්‍මායතන දෙකමැ අද්ධාපච්චුපන්නයෙහි ඇතුළත් වේ. ඒ අද්ධාපච්චුප්පන්නයෙහ නිකන්ති විඤ්ඤාණය ඡන්‍ද රාගයෙන් ප්‍ර‍තිබද්ධ වූයේ වේ. ඒ නිකන්ති විඤ්ඤාණය ඡන්‍ද රාගයෙන් ප්‍ර‍තිබද්ධ බැවින් ඒ ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයෙහි තෘෂ්ණා-දෘෂ්ටි අභිනන්‍දන වශයෙන් ඇලෙන්නේ වේ. ඒ ප්‍ර‍ත්‍යුත්පන්න ධර්‍මයෛහි ඇලෙන්නා වූ සත්ත්‍ව තෙමේ ඒ ධර්‍මයන්හි ඇකිලෙන්නේ වෙයි. (මොවුන් අතුරින් මෙහි සන්තති පච්චුප්පන්නය අටුවාවන්හි ආයේ ය.)

විශේෂ :- මෙහි ද්වාදශායතනය ප්‍ර‍ත්‍යුත්පන්නය යි ගත් හෙයින් ඒ ද්වාදශායතනයහි පැවැති ඡන්‍දරාගය, ‘අද්ධාපච්චුප්පන්නාලම්බනය, ඛණ පච්චුප්පන්නාලම්බන නොවේ යයි දක්වනු පිණිස මේ සූත්‍ර‍ය දැක් වී.

තවද, විදර්‍ශනා චිත්තය ඛණපච්චුප්පන්නය, විදර්‍ශනා කටයුතු ධර්‍මයෝ අද්ධා පච්චුප්පන්නයහ යි ගත යුතුය. අන් පරිද්දෙකින් වේ නම් විදර්‍ශනා නො ලැබෙන්නේ ය.

අද්ධා පච්චුප්පන්නය සූත්‍රයෙහි ආයේ ය. ඛණ පච්චුප්පන්නය පෙළෙහි ආයේ ය’ යි නො කියන ලද්දේ ඒ වශයෙන් අරමුණු කිරීම අටුවාහි නො ආ හෙයිනි.

මතභේද:- ‘මේ තුන් වැදෑරුම් ප්‍ර‍ත්‍යුත්පන්නයන් අතුරින් ඛණ පච්චුප්පන්න චිත්තය, චේතෝපරියඤාණයට අරමුණු වේ ය යි’ අභයගිරිවාසී ආචාර්‍ය්‍යවරයෝ කියති.

කවර හෙයින් ද යත් :- සෘද්ධිමත්හු ගේ ද, මෙරමා ගේ ද ඒකක්‍ෂණයෙහි සිත උපදනා හෙයිනැ යි කියත්. මේ එයට සාධකයෙකි. “මල් මිටක් ගෙන අහසට දැමූ කල එයින් එක් මල් නටුවක් අනෙක් මල් නටුවක මුහුණට මුහුණ ලා වැටෙන්නාක් මෙනි. ‘මෙරමා සිත් දැන ගනිමි යි’ රාශි වශයෙන් මහා ජනයාගේ සිත් ආවර්‍ජනා කරන කල්හි අවශ්‍යයෙන් එක්තරා කෙනෙකුන්ගේ සිතක් සෘද්ධිමත්හු ගේ සිතකින් උත්පාදක්‍ෂණයෙහි හෝ, ස්ථිති ක්‍ෂණයෙහි හෝ භඞ්ග ක්‍ෂණයෙහි හෝ දැනගන්නේ ය”යි කියා යි.

මේ වූ කලි ‘හවුරුදු සියයක් මුළුල්ලෙහි හෝ දහසක් මුළුල්ලෙහි හෝ ආවර්‍ජනා කරන්නහුගේ යම් සිතකින් ආවර්‍ජනා කෙරේ ද, යම් සිතකින් දැනගන්නේ ද ඒ දෙ සිතේ එක්වැ පැවැත්මක් නැති හෙයින් හා ආවර්‍ජනා ජවනයන් ගේ මාර්‍ග ඵල වීථියෙන් අන්‍ය වූ නො කැමති විය යුතු ස්ථානයෙක්හි නානාලම්බන අභාවප්‍රාප්ති දෝෂය ඇති බැවින් ද නොයෙදේ යයි, (අභයගිරි වාසීන්ගේ) වාදය අටුවාවන්හි ප්‍ර‍තික්‍ෂිත යි.

එසේ වන්නා චේතෝපරිය ඤාණය කෙසේ පච්චුප්පන්නාලම්බනික වේ ද යත් :- චේතෝපරිය ඤාණයට සන්තති පච්චුප්පන්නය හා අද්ධා පච්චුප්පන්නය ද යන දෙක මැ අරමුණු වන්නේ යයි දත යුතු.

ඒ දෙවැදෑරුම් ආලම්බනයන් අතුරින් වර්‍තමාන ජවන වීථියෙන් අතීත-අනාගත වශයෙන් දෙතුන් ජවන වීථි ප්‍ර‍මාණ කාලයෙහි මෙරමා හට යම් සිතෙක් පහළවේද, ඒ සියලු සිත සන්තතිපච්චුප්පන්න නමි.

අද්ධා පච්චුප්පන්නය වනාහි ජවන වාරයෙන් ප්‍ර‍කාශ කටයුතුයැ යි සංයුත්ත අටුවාහි කී වචනය මොනවට කියන ලද්දේ මැ යි. (ජවන වාරයාගේ අඬා පච්චුප්පන්නය භාවය ප්‍ර‍කාශ කිරීම මුඛයෙන් සෘද්ධි චිත්තය පවත්නා ආකාරය දක්වයි.) සෘද්ධිමත් තෙමේ මෙරමා සිත දැනගනු කැමැති ව ආවර්‍ජනා කෙරේ ද, ඒ ආවර්‍ජන චිත්තය බණ පච්චුප්පන්නය අරමුණු කොට ඒ (අරමුණු කළ) සිත හා නිරුද්ධ වේ. ඉන්පසු ජවන සතරෙක් පසෙක් දිවේ. ඔවුනතුරින් අන්තිම ජවනය සෘද්ධි නම් වේ. සෙසු ජවනයෝ කාමාවචරයෝ ය. ඒ සියලු ජවනයන්ට (නිරුද්ධ වූ ආවර්‍ජනයන්ට) අරමුණු වූ ඒ මෙරමා ගේ චිත්තය මැ අරමුණු වේ. ඒ ආවර්‍ජන ජවනයෝ නානාලම්බනික නොවෙත්. කාල වශයෙන් ප්‍ර‍ත්‍යුත්පන්නාලම්බනික හෙයිනි. එකාලම්බනික වූ ද සෘද්ධි චිත්තයම මෙරමා ගේ සිත පිරිසිඳ දන්නේ මැයි.

සෘද්ධි චිත්තයෙන් අන්‍ය වූ ආවර්‍ජන-පරිකර්‍ම චිත්තයෝ නො දනිති. චක්‍ෂුර්ද්වාර වීථියෙහි චක්‍ෂුර් විඥාන චිත්තය මැ රූප දක්නේ ය. අන්‍ය වූ පඤ්චද්‍වාරාවජ්ජන - සම්පටිච්ඡන සන්තීරණ වොත්‍ථපන සිත් රූප නො දක්නාක් මෙනි.

මෙසේ මේ චේතෝපරිය ඤාණය:- සන්තති පච්චුප්පන්නයා ගේ ද, අද්ධා පච්චුප්පන්නයාගේ ද, වශයෙන් පච්චුප්පන්නා ලම්බනික වේ. සන්තති පච්චුප්පන්නය ද, අද්ධා පච්චුප්පන්නයෙහි වැටෙන හෙයින් මැ ඒ චේතෝපරිය ඤාණය අද්ධා පච්චුප්පන්න වශයෙන් මැ පච්චුප්පන්නාලම්බනික වේ යයි දත යුතු.

(8) එසේ මැ මෙරමා ගේ චිත්තය ආලම්බන කොට ඇති හෙයින් බහිද්ධාලම්බනික වේ.

මෙසේ චේතෝපරියඤාණය අට වැදෑරුම් අරමුණෙකැ පවත්නා බව දත යුතු.

4. පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය ද පරිත්තාලම්බනාදි වශයෙන් ආලම්බන අටෙක පවතී.

කෙසේද යත් :-

(1) ඒ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය කාමාවචර ස්කන්ධයන් සිහි කරන කාලයෙහි පරිත්තාලම්බනික යැ.

(2) රූපාවචර - අරූපාවචර ධ්‍යාන සිහි කරන කල්හි මහද්ගතාලම්බනික යැ.

(3) අතීත භවයෙහි තමා විසින් හෝ මෙරමා විසින් වඩනා ලද මාර්‍ග හා ප්‍ර‍ත්‍යක්‍ෂ කරන ලද ඵල සිහිකරන කල්හි අප්පමාණාලම්බනික යැ.

(4) වඩනා ලද මාර්‍ගය මැ සිහි කරන කල්හි මාර්‍ගලම්බනික යැ.

(5) නියමයෙන් මැ මේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අතීතාලම්බනික මැ වේ.

ඔවුනතුරෙන් හුදෙක් චේතෝපරියඤාණය-යථාකම්මූපගඤාණය යන දෙදෙන අතීතාලම්බන වන්නාහ. එතෙකුදු වුවත් ඔවුනතුරින් චේතෝපරියඤාණයට අතීතයෙහි සත් දවසක් තුළ ඉක්ම ගිය චිත්තය ම අරමුණු වේ. (එය එයින් අන්‍ය වූ සිතක් හෝ, ස්කන්‍ධප්‍ර‍තිබද්ධ නාම-ගෝත්‍රාදියක් හෝ නො දනී.)

මාර්‍ගය හා සම්ප්‍ර‍යුක්ත චිත්තය අරමුණු කොට ඇති හෙයින් පර්‍ය්‍යාය වශයෙන් මාර්‍ගාලම්බනික යැ යි කියන ලදී. යථාකම්මූපග ඤාණයට ද, අතීත කුසලා‘කුසල චෙතනාව මැ අරමුණු වේ.

විශේෂ :- පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයට අතීත ස්කන්‍ධයන් ද, ස්කන්ධප්‍ර‍තිබද්ධ වූ නාමාගෝත්‍රාදිය ද, යන මොවුන් අතුරින් අරමුණු නො වන කිසි ධර්‍මයෙක් නැත්තේ ය.

ඒ එසේ මැයි.

පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අතීත වූ ස්කන්‍ධය, ස්කන්‍ධප්‍ර‍තිබද්ධ නාම ගෝත්‍රාදියෙහි, නිර්‍වාණය සහිත සියලු ධර්‍ම විෂයෙහි සර්‍වඥතාඥානයා ගේ ස්වභාවය ඇත්තේ ය. මේ මෙහි අටුවා නය යි.[2]

“කුසලාබන්‍ධා ඉද්ධිවිධ ඤාණස්ස චේතෝපරිය ඤාණස්ස යථාකම්මූපග ඤාණස්ස අනාගතංස ඤාණස්ස ආරම්මණ පච්චයෙන පච්චයො”[3]

‘කුශලස්කන්‍ධ ඉද්‍ධිවිධඤාණය, චේතෝපරියඤාණය, පුබ්බෙනිවාසානුස්සතිඤාණය, යථාකම්මූපගඤාණය, අනාගතංසඤාණය යන මොවුන්ට ආලම්බන ප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය වෙති” යි වදාළ හෙයින් සතර නාම ස්කන්ධයෝම චේතෝපරිය ඤාණයට හා යථාකම්මූපගඤාණයට අරමුණු වෙති.

ඔවුනතුරිනුදු යථාකම්මූපගඤාණයට කුශලා කුශල ස්කන්‍ධයෝ මැ අරමුණු වෙති.

(6) තමා ගේ අතීත වූ ස්කන්‍ධ සිහි කරන කල මේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය ආධ්‍යාත්මාලම්බනික යැ.

(7) මෙරමා ස්කන්ධයන් සිහිකරන කල බහිද්ධාලම්බනික යැ.

(8) ‘අතීතයෙහි විපස්සී භාග්‍යවතුන් වහන්සේ වූ සේක. උන්වහන්සේ ගේ මෑණියෝ ‘බන්‍ධුමතී’ නමු. පියාණෝ ‘බන්‍ධුමා’ නම්හ යි යනාදීන් නාම-ගෝත්‍ර‍ පෘථිවි නිමිත්තාදිය සිහිකරන කල නවක්තව්‍යාලම්බනික යැ.

මෙහි නාම-ගෝත්‍ර‍ යැ යි කියන ලද්දේ ස්කන්‍ධ ප්‍ර‍තිබද්ධ සම්මුතියෙන් සිද්ධ ශබ්දාර්‍ථ ය යි. ශබ්දය නාම - ගෝත්‍ර‍ යැ යි නො ගත යුතු. බ්‍යඤ්ජන සඞ්ඛ්‍යාත ශබ්දය ශබ්දායතන සංගෘහීත වන බැවින් කාමාවචර ධර්‍මයක් වේ. එහෙයින් “නිරුත්ති පටිසම්භිදාපරිත්තාලම්බන” ති[4] ‘නිරුත්ති පටිසම්භිදාව කාමාවචරාලම්බන වේ’ යැ යි වදාළහ. නාම - ගෝත්‍ර‍ය නම් සම්මුතියෙන් සිද්ධ ශබ්දාර්‍ථයැ යි යන විනිශ්චය වනාහි අපගේ අත්තනෝමතිය, යි. මෙසේ පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය අරමුණු අටෙකැ පැවැත්ම වේ.

5. දිබ්බචක්ඛු ඤාණය:- පරිත්ත-පච්චුප්පන්න-අජ්ඣත්ත-බාහිරආලම්බන වශයෙන් සිව් වැදෑරුම් ආලම්බනයෙහි පවත්නේ ය.

කෙසේ ද යත්:-

(1) ඒ දිව්‍යචක්‍ෂුරභි ඥානය, රූප අරමුණු කරන කල (රූපය කාමාවචර හෙයින්) කාමාවචරාලම්බනික යැ.

(2) විද්‍යාමාන වූ මැ රූපාලම්බනාදියක් පවත්නා හෙයින් පච්චුප්පන්නාලම්බනික යැ.

(3) තමා කුක්‍ෂිගත රූපාලම්බනාදියක් අරමුණු කල අජ්ඣත්තාලම්බනික යැ.

(4) මෙරමා ගේ රූපායතනාදියක් අරමුණු කරන කල්හි බහිද්ධාලම්බනික යැ. මෙසේ දිව්‍යචක්‍ෂුරභිඥානය සතර අරමුණෙකැ පවත්නේ ය.

6. අනාගතංසඤාණය:- පරිත්ත - මහග්ගත - අප්පමාණ - මග්ග-අනාගත-අජ්ඣත්ත-බහිද්ධා-නවත්තබ්බ වශයෙන් අට අරමුණෙකැ පවතී.

(1) මෙතෙමේ අනාගත ආත්මයෙහි කාමාවචර භූමියෙහි උපදනේ ය’යි දැනගන්නා කළ පරිත්තාලම්බනික යැ.

(2) මතු රූපා‘රූප භූමීන්හි උපදනේ යැ’යි දැනගන්නා කල මහග්ගතාලම්බනික යැ.

(3) මාර්‍ගය වඩන්නේ ය ඵලය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නේ යැ’යි දැනගන්නා කල අප්පමාණාලම්බනික යැ.

(4) ‘මාර්‍ගය වඩන්නේ’ යි දැනගන්නා කල මාර්‍ගාලම්බනික යැ.

(5) ඒ අනාගතාංශ ඥානය එකාන්තයෙන් මැ අනාගතාලම්බනික යැ.

විශේෂ:- මොවුනතුරින් හුදෙක් චේතෝපරියඤාණය ද අනාගතාලම්බනික යි. එතෙකුදු වුවත් එයට අනාගතයෙහි සත් දවස් ඇතුළත පවත්නා චිත්තය මැ අරමුණු වේ. හෙද ඒ සිතින් අන්‍ය වූ රූපස්කන්‍ධ හෝ ස්කන්‍ධ ප්‍ර‍තිබද්ධ නාම-ගොත්‍රාදිය හෝ නො දන්නේ ය. අනාගතංශ ඥානයට පූර්‍වෙනිවාසානුස්මෘති ඥානයෙහි කී සෙයින් අරමුණු නො වන්නා වූ අනාගත කාලික ධර්‍මයෙක් නම් නැති.

(6) ‘මම අනාගතයෙහි අසුවල් තැන උපදිනෙමි’යි දැන ගන්නා කල අධ්‍යාත්මාලම්බනික යැ.

(7) ‘අසුවල් සත්ත්‍ව තෙමේ අනාගත භවයෙහි අසුවල් තැන උපදන්නේය’ යි දැනගන්නා කල බහිද්ධාලම්බනික යැ.

(8) අනාගතයෙහි මෙතේ බුදුහු උපදනාහ උන්වහන්සේ ගේ පිය තෙමේ “සුබ්‍ර‍හ්ම” නම් බ්‍රාහ්මණ යැ. මවු තොමෝ “බ්‍ර‍හ්මවතී” නම් බැමිණිය යැ. යනාදීන් නාම - ගෝත්‍රාදීන් දැනගන්නා කල පූර්‍වෙනිවාස ඥානයෙහි කී සෙයින් නවත්තබ්බාලම්බනික යැ.

මෙසේ අනාගතංසඤාණය අට වැදෑරුම් වේ.

7. යථාකම්මූපග ඤාණය:- පරිත්ත - මහග්ගත - අතීත - අජ්ඣත්ත - බහිද්ධා - ආලම්බන වශයෙන් අරමුණු පසෙක පවතී.

ඒ මෙසේ යි.

(1) කාමාවචර කර්‍ම දැනගන්නා කල පරිත්තාලම්බනික යැ.

(2) රූප‘රූප කර්‍ම දැනගන්නා කල මහග්ගතාලම්බනික යැ.

(3) අතීත කුශලාකුශල කර්‍ම දැනගන්නා කල අතීතාලම්බනික යැ.

(4) තමාගේ කර්‍ම දැනගන්නා කල ආධ්‍යාත්මාලම්බනික යැ.

(5) මෙරමා ගේ කර්‍ම දැනගන්නා කල බහිද්ධාලම්බනික යැ.

මෙසේ යථාකම්මූපග ඤාණයා ගේ පස් තැනෙකැ පැවැත්ම දත යුතු.

මෙහි අධ්‍යාත්මාලම්බන - බාහිරාලම්බන යැ යි කීයේ, ‘ඇතැම් කලෙක අධ්‍යාත්මාලම්බන දැනගැනීමේදී අධ්‍යාත්මයෙහි ද, ඇතැම් කලෙක බාහිරාලම්බන දැනගැනීමේදී බහිද්ධාලම්බනයෙහි ද වේ යැ’යි දැනගැනීම සඳහා යැ.

මෙතෙකින් සාධු ජනයා ගේ ප්‍රමෝදය පිණිස කළ

‘විශුද්‍ධි මාර්‍ගයෙහි’ අභිඥා නිර්දේශ නම්

තෙළෙස් වන පරිච්ඡේදය නිමි.

  1. ම:නි: උපරිපණ්ණාසක 208

  2. අත්‍ථසාලිනී අඨකථා 347

  3. ප:පකරණ පඤ්හවාර 92 පිට

  4. වි:ප: පටිසම්භිදා වි: 230 පිට