දිව්‍ය ශ්‍රෝත්‍රයට අනතුරු වැ චේතෝපරිය ඤාණය දක්වනු ලැබේ. චිත්තයේ සරාගාදි ස්වභාවය පිරිසිඳ දැනීම චේතෝපරිය යි. මෙහි පරිය ශබ්දය (“පරිපුබ්බ අය = ගතියං”යි) ගමනාර්‍ථ ‘අය’ ධාතුවෙන් සිද්ධ ය. ‘ගමනාර්‍ථ ධාතු’ අවබෝධාර්‍ථයෙහි ද, වැටෙන හෙයින් ‘පරිය’ ශබ්දයෙන් පිරිසිඳීම් මාත්‍රය පමණක් නො වැ ‘දැනීම’ ද කියැවේ. එසේ තමාගෙන් අන්‍ය සම්ත්‍වයන් ගේ සිතෙහි ස්වභාවය පිරිසිඳ දන්නා නුවණ මෙයින් අභිප්‍රේතයි.
විශේෂ :- ‘පර සත්තානං පර පුග්ගලානං’[1] යි පෙළෙහි වචන දෙකක් වුව ද, අදහස් එකෙක් මැයි. විනෙය ජනයන් ගේ අදහස් වශයෙන් හෝ, දේශනා විලාශ වශයෙන් හෝ ව්‍යඤ්ජනයන් ගේ නානාත්‍වය කරන ලදී. තමා ගේ සිතින් අන්‍යයන්ගේ සරාගාදි සිත් එබඳු ලක්‍ෂණ අනුවැ ඇති සේ පිරිසිඳ දැනීම මෙහි අර්‍ථයි. ඒ ලැබෙනුයේ මෙසේයි.
මේ චේතෝපරිය ඤාණය, දිව්‍යඤ්චක්‍ෂුරභිඥානය වශයෙන් සමෘද්ධ වේ. ඒ දිව්‍යඤ්චක්‍ෂුරභිඥානය මේ චේතෝපරිය ඤාණය ඉපදවීමට පරිකර්‍ම වේ. එහෙයින් චේතෝපරියඤාණය උපදවනු කැමැති, දිව්‍යඤ්චක්‍ෂුරහි ඥානලාභී භික්‍ෂුව විසින් කසිණා ලෝකය වඩා දිව ඇසින් මෙරමා හෘදය බැලිය යුතු යි. ඒ වූකලි යට කායගතාසතියෙහි දැක්වූ හෘදය මාංස පිණ්ඩයයැ. පිටතින් පියුම් කැකුළක සටහන් ඇති, ඇතුළත වැටකොලු කොස්සක් වැනි වූ එය ඇසුරු කොට මතු කියනු ලබන ලෙය පවතී. හෘදය වස්තුව ඒ ලෙය නිසා පවතී. චක්‍ෂුරාදි සෙසු වස්තු රූපයක් මෙනි.
දිව්‍යඤ්චක්‍ෂුරභිඥාන ලාභී යෝගාවචරයා විසින් ඒ හෘදය ඇසුරු කොට පවත්නා ලෙයෙහි වර්‍ණය බැලීමෙන් සරාගාදි සිත බැලිය යුතු වේ. ලෙයෙහි වර්‍ණය බැලීමෙන් අරූප වූ සිත කෙසේ බැලිය හැකි වේද සොමනස්සාදි සිත් පවත්නා අවස්ථාවෙහි ඒ චතු සමුට්ඨානික රුධිරයද, රත් පැහැවීම් ආදියට පැමිණෙන හෙයිනි.
ඒ එසේ මැයි:- සොම්නස් සිතක් පවත්නා කල ඒ ලෙය විලිකුන් නුග ඵලයක් සේ රතු වේ. දොම්නස් සිතක් පවත්නා කල විලිකුන් දඹ ඵලයක් සේ කලු වේ. උපේක්‍ෂා සිතක් පවත්නා පහන් තලතෙල් බඳු පැහැ වේ. එහෙයින් ඒ හේතුන් අනුව මේ සිත සොමනස්සින්‍ද්‍රිය සහගත යැ. මේ සිත උපෙක්ඛින්‍ද්‍රිය සහගත යැයි දැනගනී. මෙසේ අනුමාන වශයෙන් දිව්‍යඤ්චක්‍ෂුරභි ඥානයෙන් දැනගත් පසු නැවත නැවත නුවණ මෙහෙයා සෙවීමෙන් චේතෝපරිය ඤාණය ශක්තිමත් බවට පැමිණවිය යුතු.
විස්තර :- මේ චේතෝපරිය ඤාණය උපදවනු කැමති යෝගාවචර තෙමේ රූපාවචර චතුර්‍ථ ධ්‍යානය උපදවා, එය ස්ථිර බවට පමුණුවා, දිව්‍යඤ්චක්‍ෂුර්ලාභී වැ ආලෝකය වඩා දිවැසින් මෙරමා ගේ හෘදය වස්තුව ඇසුරුකොට පවත්නා රුධිර වර්‍ණය බලා ඒ වර්‍ණය අනුවැ පෙර කී සේ ‘දැන් මොහු ගේ සිත සොම්නස් සහගත යැ, දැන් දොම්නස් සහගත යැ’ යනාදි ක්‍රමය ගැනීමෙන් ව්‍යවස්ථා කොට පාදක ධ්‍යානයට සමවැද එයින් නැඟී “මොහු ගේ සිත දනිමි. මොහු ගේ සිත දනිමි”යි මෙසේ පිරියම් කටයුතු. සිය දහස් වරකුදු මෙසේ බලන කල, ‘දැන් චේතෝපරිය ඤාණය උපදනේයැ යි කිය යුතු. ක්‍ෂණයෙහි එසේ උපදනා සිත අරමුණු කොට මනෝද්වාරාවජ්ජන සිතක් උපදී. එයට අනතුරු වැ පෙර කී සේ ජවන් පසක් හෝ සතරක් උපදී. එයින් පස්වැන්න හෝ, සතර වැන්න රූපාවචර චතුර්‍ථධ්‍යාන සිත යැ. ඒ සිත හා යෙදුණු ප්‍රඥා චෛතසිකය චේතෝපරිය ඤාණය නම් වේ.
ඒ අභිඥාලාභී යෝගාවචර තෙමේ මෙරමා ගේ සිත දැනගැනීම පිණිස පරිකර්‍ම කොට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනීමෙන් එය ප්‍රකට කෙරේ. එය නැවත නැවත සමවැදීමෙන් ශක්තිමත් වූ කල්හි, ක්‍රමයෙන් සූ පනස් කාමාවචර චිත්තය ද, සියලු රූපාවචර චිත්තය ද, අරූපාවචර චිත්තය ද, සරාගාදි ප්‍රභේදයෙන් දැන ගන්නේ ය.
තවද හෘදය වස්තුව රූපය බැලීමෙන් තොරව ද, සිතින් සිතට සංක්‍රමණය වන්නා සේ දැන ගන්නේ ය.
ප්‍රශ්නයෙකි:- අරූප භූමියෙහි මෙරමා සිත දැනගනු කැමති චේතෝපරියඤාණලාභී තෙමේ කවරකු ගේ හෘදය වස්තු රූපයක් බලා ද කවරකු ගේ ඉන්‍ද්‍රිය විකෘතියක් බලා ද
පිළිතුර :- එහි වස්තු රූප අවිද්‍යමාන හෙයින් කිසිවකු ගේ වස්තු රූපයක් නො බලයි. පෙර කී සේ හෘදය වස්තු රූපාදිය බැලීම සඳහා මෙහි උත්සාහ වැඩීම ආදිකර්මිකයා ගේ වශයෙන් කියන ලදී. එහෙත් කෘතාභිනිවේශ ඇති සෘද්ධිමත් තෙමේ, හෘදය වස්තු රූපය නො බැලුව ද, සිතින් සිතට සංක්‍රමනය වීම් වශයෙන් හෝ ආවර්‍ජනා බලයෙන් හෝ දොළොස් වැදැරුම් අරූපාවචර සිත ද බලන්නේ ය.
විශේෂ:- මෙහි පෘථග්ජන අභිඥාලාභීන් දැක් වූ හෙයින් ලෝකෝත්තර සිත මෙහි ලා නො දක්වන ලදි.
විස්තර:- “සරාගංවා චිත්තං” යනාදී වශයෙන් සොළොස් වැදෑරුම් සිත් (බලන්නේ ය.)
(1) සරාගංවා චිත්තං = අට වැදෑරුම් ලෝභ සහගත සිත. (8)
(2) වීතරාංග චිත්තං = අන්‍ය වූ චතුර්භුමික කුසල අව්‍යාකෘත සිත් එක් අසූව 81 (දෝමනස්ස සිත් දෙක හා, මෝ මූහ සිත් දෙක මෙහි නො ගැනෙතැ යි යෙත්. ඇතැම් ආවාර්‍ය්‍ය කෙනෙක් එය ද යෙදෙතැයි ද යෙති.)
(3) සදෝසං චිත්තං = දෝස මූලික දෙ සිත (2)
(4) වීත දොසං චිත්තං = සෙසු කුසල අව්‍යාකෘත සත් අසූ සිත් (87) මෙහි ද සෙසු දස අකුසල් නො යෙදෙතැයි ද යෙති.)
(5) සමෝහං චිත්තං = මෝමූහ සිත දෙක හෝ දෙළොස් අකුසල් සිත් (12) මෝහය සියලු අකුසල්හි යෙදෙන බැවිනි.
(6) වීත මොහං චිත්තං = සෙසු කුසල, අව්‍යාකෘත සත් සැත්තෑ සිත්. (77)
(7) ස ඛිත්තං චිත්තං = ථීන - මිද්ධ සහගත වූ සසඞ්ඛාරික අකුසල් සිත් පස (5) (අරමුණෙහි හැකිලෙන බැවිනි.)
(8) වික්ඛිත්තං චිත්තං = උද්ධච්ච සම්පයුත්ත අකුසල චිත්තය උද්ධච්චය දොළොස් අකුසල සිත්හිමැ යෙදෙන හෙයින් අකුසල සිත් දොළොසම හෝ මෙහි යෙදේ.
(9) මහග්ගතං චිත්තං = රූපාවචර - අරූපාවචර සිත් සත් විස්ස (27)
(10) අමහග්ගතං චිත්තං = අන්‍ය වූ සියලු දෙ සැට සිත් (62)
(11) සඋත්තරං චිත්තං = සියලු ත්‍රෛභූමික සිත් එක් අසූව (81)
(12) අනුත්තරං චිත්තං = ලෝකෝත්තර සිත් අට (8)
(13) සමාහිතං චිත්තං = උපචා සමාධියට හෝ, අර්පණා සමාධියට පැමිණි සිත්
(14) අසමාහිතං වා චිත්තං = එසේ සමාධියට නො පැමිණි සිත්
(15) විමුත්තං චිත්තං = තදඞ්ග විමුක්ති වශයෙන් කාමාවචර කුසල් සිත් ද, වික්ඛම්හන විමුක්ති හෙයින් රූපාවචර, අරූපාවචර චිත්තය ද, සමුච්ඡේද විමුක්ති හෙයින් මාර්‍ග චිත්තයද පටිප්පස්සද්ධි විමුක්ති හෙයින් ඵල චිත්තය ද, නිස්සරණ විමුක්ති හෙයින් මාර්‍ග-ඵල සිත් දෙ කොටස ම ද විමුක්ත සිත් නම්
(16) අවිමුත්තං චිත්තං = මෙකී පඤ්චවිධ (5) විමුක්ති වශයෙන් කෙලෙසුන් කෙරෙන් නො මිදුණු සිත් ද, (මෙසේ සොළොස් ආකාරයෙන් පැවැති සිත් ඒ ඒ ආකාරයෙන් දැන ගන්නේ ය.)
විශේෂ:- පෘථග්ජන අභිඥා ලාභීන් සඳහා කියන ලදැ යි කිව ද, මෙහි වීතරාග, වීතදෝස, වීතමෝහ අනුත්තර යන නම් වලින් ලොකොත්තර සිත ද ගැනෙන හෙයින් මතු මතු ආර්‍ය්‍යයන් ගේ හා සමාන ආර්‍ය්‍යයන් ගේ ද, ලෝකෝත්තර සිත් දැන ගැනීම වශයෙන් මෙ කී බැව් සැලකුව මනා ය.
චේතෝ පරිය ඤාණ කථාව සමාප්ත යි.
-
පටි:ම: ඤාණ කථා 109 පිට බුරුම ↑