‘ඉද්ධිවිධ නිර්දේශයට අනතුරුවැ අභිඥා උපදවන ක්‍රමය දැක්වීම් වශයෙන් අභිඤ්ඤා පාළිය දක්වන ලදී. එහි ද ත්‍රිවිධ අභිඥා අතුරෙන් (එහි දක්වන ලද පරිදි) දිබ්බසොත ධාතුව පිළිබඳ දේශනා ක්‍රමය ප්‍රථම කොට වදාරන ලදි.
ඒ මෙසේ ය.
“සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසකාය උභොසද්දෙ සූණාති, යෙ දුරෙ සන්තිකෙචාති.”[1] ‘ඒ යොගාවචර භික්‍ෂුතෙමේ පෙර කී සේ සිත චතුර්‍ථධ්‍යාන සමාධීන් සමාධිමත් වූ කල්හි, -පෙ- පිරිසිදු වූ, මිනිස් කන්හි ශබ්ද ඇසීමේ ශක්තිය ඉක්ම සිටී, ‘දෙවියන් ගේ සෝතය වැනි හෙයින් දිබ්බසොතය’යි කියන ලද නුවණින් දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද, උභය ශබ්දයන් අසා” යයි වදාරන ලදි. (මෙහි පෙර කී අර්‍ථයන් හැර, විශෙෂ ස්ථාන මැ විස්තර කරනු ලැබේ) එහි පදයක් පාසා විස්තර මෙසේයි.
දිබ්බාය සොතධාතුයා = දෙව්ලොව වූවෝ දිව්‍යයෝ ය. ඒ දෙවියන් හට, ශ්‍රද්ධා බහුල භාවය, පරිශුද්ධ දෘෂ්ටිය, ආනිසංස ඇදහීම ය, යනාදි මනාව පැවති පුණ්‍යකර්‍මයෙන් නිපන් හෙයින් ද, ඉතා දුරෙහි වූ ද, ඉතා සියුම් වූ ද, ශබ්ද ඇසීමට පවා සමර්‍ථ පසාද සොතධාතුව වෙයි.
එසේ මැ මේ යෝගි භික්‍ෂුව ගේ වීර්‍ය්‍යාරම්භ වශයෙන් අභිමතාර්ථ සිද්ධිය කන හෙයින් වීර්‍ය්‍ය භාවනා නම් වූ කුශල භාවනාවෙනේ නොහොත් ප්‍රධාන සංස්කාර සඞ්ඛ්‍යාත ඉද්ධිපාද භාවනාවෙන් නිපන් ප්‍රඥාමය වූ උපක්ලේශ විනිර්මුක්ත හෙයින් දුරයෙහි ද, සියුම් වූ ද, ආලම්බන පිළිගැනීමෙහි සමර්‍ථ හෙයින් දිව්‍ය ශ්‍රෝතය වැනි වූයේ හෝ, දිව්‍ය විහාර සඞ්ඛ්‍යාත රූපාවචර සතර ධ්‍යානයට අන්තර්‍ගත වූ චතුර්‍ථධ්‍යානය නිසා ලබන ලද හෙයින් ද, දිව්‍යනම් වූ තතු සේ ශබ්ද ස්වභාවය අවබෝධ කරන හෙයින් සෝත නම් වූ ද, ආත්මාදීන් ශුන්‍ය හෙයින්, හා ස්වලක්‍ෂණය දරන හෙයින් ද, ධාතු නම් වූ හෝ හුදෙක් ඇසීම් මාත්‍රය කරන හෙයින් ශ්‍රෝතය වැනි හෙයින් ශ්‍රෝත්‍ර ධාතු නම් වූ දිව්‍ය ඥානයෙන් (වැලි කෙබඳු දැ යි දක්වනු වස් මෙම වදාළහ.)
විසුද්ධාය= (ශබ්දයාගේ සන්නිඨානයට පැමිණීම් වශයෙන් ද, ඥානයා ගේ උපක්ලේශ විනිර්මුක්ත හෙයින් ද,) පිරිසිදු වූ,
අතික්කන්තමානුසකාය = (ශබ්ද ඇසීමෙහි ලා මිනිසුන් විසින් ස්වභාවයෙන් ලබන විෂය ප්‍රමාණය ඉක්ම, දෙවියන් ගේ කථා ශබ්දය ඇසීමෙහි දී දෙවියන් ගේ ශ්‍රෝතයට විෂය වූ ප්‍රමාණයෙහි පවත්නා හෙයින්) මනුෂ්‍ය විෂය ඉක්මවා සිටියා වූ (යම් ඥාන ශ්‍රොත්‍රකින්)
උභො සදේද සුණාති = දෙව් මිනිස් දෙ පසෙහි වූ ශබ්දයන් අසයි. (මෙහි වූ කලී ඒක දෙශයක් කියන ලදී. එය නිරවශේෂයෙන් දක්වනුවෝ,)
යෙ දූරෙ සන්තිකෙවා = අන්‍ය චක්‍රවාටාදි බැහැර තන්හි හෝ, යටත්පිරිසෙන් තම සිරුර පිළිබඳ වූ ද, උකුණු-මකුණු ආදීන් ගේ ද, යම් ශබ්දයක් වේ ද (මේ සියලු සවිඥානක අවිඥානක ශබ්ද ගැනීම සඳහා කියන ලදී.)
එය ඉපදිය යුතු පරිදි මෙසේයි:- ඒ යෝගී භික්‍ෂුව අභිඥා පාදක චතුර්‍ථධ්‍යානයට සමවැදී එයින් නැගී, පරිකර්‍ම වශයෙන් හටගත් සමාධි සිතින් පළමු කොට ප්‍රකෘති ශ්‍රොත්‍ර‍්‍රප්‍රසාදයට විෂය වූ අරණ්‍යාදි බැහැර තන්හි වූ සිංහාදීන් ගේ ඖදාරික ශබ්දය ආවර්‍ජනා කළ යුතුයි. මේ සියල්ලම ඖදාරික ශබ්දය ගැනීම සඳහා ය. (තුන් යොදුනක් ද බැහැර වූ ඝොර සිංහ නාදය ඇසෙතැයි කියති.)
මෙසේ ක්‍රමයෙන් ළං ළං වැ අවුත් විහාරයෙහි ගෙඩිය ගසන ශබ්දය, බෙර - සක් ශබ්ද පිළිවෙළින් අවුත් භික්‍ෂු සාමණෙරයන් ගේ වේගවත් වූ සජ්ඣායන ශබ්දය, “කිම ස්වාමීනි! කිම ඇවැත්නි! යනාදි ප්‍රකෘතියෙන් කථා කරන ශබ්දය, පක්‍ෂි-වාත-පාද යනාදියෙහි ශබ්දය, අව්වෙහි වියලෙන තල්පත් වල ශබ්දය, කුරු-කුහුඹු ආදීන් ගේ ශබ්දය දැයි මෙසේ සියලු ශබ්දය ආවර්‍ජනා කටයුතු ය.
එසේ මැ දිශා සම්බන්‍ධයෙහි ශබ්ද මෙනෙහි කරන පරිදි දක්වති.
පූර්‍ව දිශාවෙහි වූ (දිව්‍ය ශ්‍රෝතය ඉපදවීමට හේතු වූ) ශබ්දය ද, පශ්චිම - උත්තර - දක්‍ෂිණ-හෙට්ඨිම-උපරිම දිශාවන්හි වූ ශබ්ද ද, නිරිත-ඊසාන-වයඹ-ගිනිකාණ යන අනුදිශාවන්හි වූ ශබ්ද ද මෙනෙහි කටයුතු ය. මෙසේ මෙනෙහි කරන යෝගියා හට ඒ ශබ්ද ප්‍රකෘති සිතට ප්‍රකට වෙයි. පරිකර්‍ම සමාධි සිතට වූ කලි අතිශයින් ප්‍රකට වේ මැයි.
මෙසේ ශබ්ද නිමිත්ත මෙනෙහි කරන්නා හට ‘දැන් දැන් දිව්‍ය ශ්‍රෝත්‍රය උපදනේ ය’යි කිය යුතු මොහොතෙහි කරන ලද යම් කිසි ශබ්දයක් අරමුණු කොට මනෝද්වාරාවර්‍ජන සිතක් ඉපිද නිරුද්ධ වූ කල තික්ඛපඤ්ඤ-මන්‍දපඤ්ඤයන් ගේ වශයෙන් උපදනා ජවනයන් අතුරෙන් පූර්‍ව වැ උපදනා උපචාර, අනුලෝම, ගොත්‍රභු යන කාමාවචර ජවන තුනට) අනතුරු වැ, සතර වනුවැ හෝ (මන්‍දපඤ්ඤයා ගේ වශයෙන් පරිකර්‍ම, උපචාර, අනුලොම, ගෝත්‍රභූ යන කාමාවචර ජවන සතරට) අනතුරු වැ, පස්වනුව හෝ රූපාවචර චතුර්‍ථධ්‍යාන අර්පණා චිත්තය උපදී. ඒ සිතෙහි උපදනා ඤාණය දිව්‍ය ශ්‍රෝත්‍රධාතු නමැයි දතයුතු.
විස්තර :- එය ස්ථිඑ වැ පවත්නා සේ කරනුයේ පාදක ධ්‍යානයට අරමුණු වූ කසිණ නිමිත්ත ‘මෙතෙක් තැන පැතිරේව’යි මෙනෙහි කරයි. එයට සමවදනහු ගේ කසිණ නිමිත්ත එතෙක් තැන පැතිරේ එකල ඒ යෝගී තෙම පාදක ධ්‍යානයෙන් නැගී එහි වූ ශබ්දය ආවර්‍ජනා කෙරේ. මෙතෙක් තැන ශබ්දය අසමි’යි එක් අගුල් තැන් පිරිසිඳ වැඩිය යුතු. අනතුරුවැ දැඟුල්-සතරගුල්-අටගුල්-වියත්-රියන් ඇතුළු ගප්-නිසවත්-පහය-පිරිවෙන්-සඟරම්-ගොදුරුගම්-දනවු ආදි වශයෙන් ක්‍රමයෙන් සක්වළ තෙක් ද, එයින් පිටත ද, පිරිසිඳ වැඩිය යුතු. මෙසේ ලැබූ අභිඥා ඇති යෝගී තෙමේ පාදකධ්‍යානා ලම්බනයෙන් සම්මර්‍ශනය කරන ලදු වැ ශරීරය ඇතුළත වූ, ශබ්ද ද, නැවත පාදක ධ්‍යානයට සම නො වැදී (අභිඥා ඥානයෙන්) දිව්‍යශ්‍රොත්‍රඥානයෙන් අසාම ය.
මෙසේ අසන්නේ ද, බඹ ලොව තෙක් භෙරි-පණවාදි ශබ්දයෙන් ඒක කෝලාවහල වූයේ ද, වෙන වෙනෙ වස්තු වශයෛන් ඒ ශබ්දයක් අරභයා උපන් මනොරාවජ්ජන චිත්තයට අනතුරු වැ ජවන සතරක් හෝ පහක් හෝ උපදී. ඉන් අසාන ජවනය මේ ඉද්‍ධිවිද්‍ධ චිත්තය ය.
බේදා අසනු කැමැති වූයේ නම් ඒ එක එක ශබ්දයක් පාසා නැවත නැවත පාදක ධ්‍යානයට සමවැදිය යුතු. ‘මේ බෙර හඬය’යි නියම වශයෙන් පිරිසිඳිත හැකිවේ මැයි.
දිබ්බසෝත ධාතුකථාව සමාප්ත යි.
-
දී:නි: සීලක්ඛන්‍ධ ව: 61 පිට ↑