උපේක්‍ෂා බ්‍රහ්මවිහාරය වඩනු කැමැති යෝගී පළමු මෛත්‍රී - කරුණා - මුදිතා යන තුන් තන්හි ලත් ත්‍රික හෝ චතුෂ්ක ධ්‍යාන ඇතියකු විය යුතු ය. එසේ ත්‍රික හෝ චතුෂ්ක ධ්‍යාන ලත් ඔහු විසින් ප්‍රගුණ වූ තෘතීය හෝ චතුර්‍ථ ධ්‍යානයෙන් නැඟී “සියලු සත්ත්‍වයෝ සුවපත් වෙත්වා” යි කරනු ලබන මෛත්‍රිය සතුන් කෙරෙහි මමත්‍ව වශයෙන් පවත්නා මෙනෙහි කිරීමක් බැවින් ද, කරුණාව දොම්නසට ආසන්න බැවින් ද මුදිතාව සොම්නස බැවින් ද, ඖදාරික හෙයින් එහි ආදීනව හා උපේක්‍ෂාව ශාන්ත බැවින් එහි ආනිසංස හා සලකා යම් ප්‍රකෘති මධ්‍යස්ථ පුද්ගලයෙක් වේ නම් ඔහු කෙරෙහි උපේක්‍ෂා කිරීම් වශයෙන් භාවනා වැඩිය යුතු. (“මේ සත්ත්‍ව තෙමේ තමා කළ කම් විසින් පරලොවින් අය. දැනුදු පරලොවට යෙයි. තෝ ද කළ කම් විසින් ම පරලොවින් අය පරලොවට යෙයි ඕ හට තාගේ ප්‍රයෝගයෙන් සුවයක් එළවන්නට වත් දුකක් පහ කරන්නට වත් නො පිළිවන. මෛත්‍රී-කරුණාදි විසින් සතුන් කෙරෙහි මමත්‍වය කිරීම හුදෙක් චිත්තයා ගේ අනෘජු කර්‍මය වේ. සර්‍ව සත්ත්‍වයන් කෙරෙහි මැදහත් බව සියලු ආර්‍ය්‍යයන් විසින් ගත් මාර්‍ගයැ-අවිරුද්ධ ප්‍රතිපත්තිය යි මෙසේ ප්‍රතිපක්‍ෂ ජුගුප්සා මුඛයෙන් මැදහත් බවෙහි වූ ගෞරව-බහුමාන-ආදර ඇත්තහු විසින් උපේක්‍ෂා තොමෝ උපදවිය යුතු ය යි සේ යි. මෙසේ සුවිශේෂ කොටැ උපේක්‍ෂා එළවා පිළිපදනාහු හට පියොවින් ම උදාසීන බැවින් සාතිශයයෙන් ම උහු කෙරෙහි මැදහත් බව වෙයි. භාවනා බලයෙන් නීවරණයෝ විෂ්කම්භිත වෙති. කිලෙස්හු සන්සිඳෙතියි දත යුතු යි” යනු සන්න යි)
ඉක්බිති ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි ද උපේක්‍ෂා වැඩිය යුතු.
“කථඤ්ච භික්ඛවෙ භික්ඛු උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාරති. සෙය්‍යථාපි නාම එකං පුග්ගලං නෙව මනාපං න අමනාපං දිස්වා උපෙක්ඛකො අස්ස එවමෙව සබ්බෙ සත්තෙ උපෙක්ඛාය ඵරති”[1] යි විභඞ්ගයෙහි වදාළ බැවින් යට කියූ සේ මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහි උපේක්‍ෂා උපදවා ඉක්බිති ප්‍රිය පුද්ගලයා, සොණ්ඩසහාය, වෛරී, තමා යන සියල්ලන් කෙරෙහි මධ්‍යස්ථ වශයෙන් සීමසම්භෙද කොටැ ඒ නිමිත්ත ම සෙවිය යුතු බැලිය යුතු. බිහිලි කළ යුතු එසේ කරත්-කරත් පඨවි කසිණයෙහි කියූ සේ චතුර්ථ ධ්‍යානය ලැබෙන්නේ ය. මෙහි ලා ප්‍රශ්නයෙකි. පඨවි කසිණාදියෙන් තෘතීය ධ්‍යානය උපදවා ගත්ත හුට මෙහි චතුර්ථධ්‍යානය උපදවා ගත හැකි ද, නො හැකි ය.
කුමක් හෙයින් ද, අරමුණ සභාග නොවන හෙයිනි.
මෛත්‍රී ආදියෙහි තෘතීය ධ්‍යානය උපදවා ගත්තහුට ම අරමුණු සභාග බැවින් චතුර්ථ ධ්‍යානය ලැබෙන්නේ ය.
ඉන් ඔබ්බෙහි ලැබිය යුතු විකුබ්බණ ද, ආනිසංස ද මෛත්‍රියට කී පරිදි ම ය යි දතයුතු.
උපේක්‍ෂා භාවනායෙහි විස්තර කථාව නිමියේ ය.
-
වි:ප: අප්පමඤ්ඤා වි: 208 ↑