මුදිතා බ්‍රහ්ව විහාරය වඩනු කැමති යෝගීහු විසින් පළමු කොටැ ඒ මුදිතාව ප්‍රියයා කෙරෙහි හෝ මධ්‍යස්ථයා කෙරෙහි හෝ වෛරියා කෙරෙහි හෝ නො වැඩිය යුතු ය. ප්‍රියයා ප්‍රිය වූ පමණින් ම මුදිතාවට කරුණු නො වේ. මධ්‍යස්ථ වෛරීන් ගැනැ කියනු ම කවරේ ද, එසේ ම ලිඞ්ග විසභාගයෝ ද, කාලක්‍රියා කොළෝ ද මෙයට ක්‍ෂේත්‍ර නො වෙති. අටුවායෙහි වනාහි සොණ්ඩ සහාය ය යි කියන ලද අතිප්‍රිය යහළුවා ම මුදිතාවට කාරණ වේ. ඒ අතිප්‍රිය යහළුවා මුදිත මුදිත ම වේ. පළමු කොට සිනා සී පසුව කථාවට පටන් ගනී. එහෙයින් ඔහු කෙරෙහි ම පළමු කොටැ මුදිතා වැඩිය යුතු. සුඛිත-මුදිත වූ ප්‍රිය පුද්ගලයකු දැකැ හෝ අසා හෝ ‘මේ පුද්ගලයා ඒකාන්තයෙන් මුදිත ය. අහෝ ඉතා යෙහෙකැ’යි ඔහු කෙරෙහි හෝ මුදිතා වැඩිය යුතු. විභඞ්ගයෙහි “කථඤ්ච භික්ඛවෙ භික්ඛු මුදිතා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති සෙය්‍යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මුදිතො අස්ස එවමෙව සබ්බෙ සතෙත මුදිතාය ඵරති”[1] යි වදාළේ මේ දෙවනු කී ප්‍රිය පුද්ගලයා සඳහා ය.
ඉදින් ඒ අතිප්‍රිය යහළුවා හෝ ප්‍රිය පුද්ගලයා හෝ අතීතයෙහි සුඛිත වුව ද දැන් දුක්ඛිත නම් දුරූපෙත නම් ඔහුගේ අතීත සුඛිත භාවය ම සලකා ‘මේ අතීතයෙහි මහා භෝග ඇත්තෙක් විය. මහා පරිවාර ඇත්තෙක් විය. නිති ප්‍රමුදිතයෙක් වි’ ය යි ඔහුගේ අතීත මුදිතාකාරය සලකා මුදිතා වැඩිය යුතු.
ඉදින් හේ අනාගතයෙහි ද ප්‍රමුදිත නො වී නම් අනාගතයෙහි වන ප්‍රමුදිත තත්‍වය සලකා ‘මේ අනාගතයෙහි සමපත් ලැබැ ඇතුන්-අසුන් පිට නැඟී රන්සිවිගෙහි නැඟී ඇවිදින්නෝය’යි අනාගත මුදිතාකාරය සලකා මුදිතා වැඩිය යුතු.
මෙසේ ප්‍රිය පුද්ලයා කෙරෙහි මුදිතා වඩා ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි ද, ඉක්බිති වෛරියා කෙරෙහි ද මුදිතා වැඩිය යුතු. අර්පණා උපදවිය යුතු. ඉදින් වෛරියා කෙරෙහි ද ක්‍රෝධ උපදින්නේ නම් පෙර කී සේ මෙත් වඩා සිත සන්සිඳුවා ගත යුතු.
මෙසේ මේ තුන් දෙනා කෙරෙහි ද, තමා කෙරෙහි ද සම සිත් උපදවා සීමාසම්භේද කොටැ ඒ නිමිත්ත ම සෙව්මින් බිහිලි කෙරෙමින් මෛත්‍රියෙහි කී සේ ත්‍රික-චතුෂ්ක ධ්‍යාන වශයෙන් අර්පණා ලැබ ගත යුතු. එයින් මතු ලැබිය යුතු පඤ්චවිධ අනොධිසොඵරණ, සප්තවිධ ඔධිසො ඵරණ, දසවිධ දිසා ඵරණ යන විකුබ්බණ ද ‘සුඛං සුපති’ යනාදි ආනිසංස ද මෛත්‍රී භාවනාවෙහි කී පරිදි ම ය යි දත යුතු.
මුදිතා භාවනායෙහි විස්තර කථාව නිමියේ ය.
-
වි:ප: අප්පමඤ්ඤා වි: 208 ↑