බ්‍රහ්මෝත්තම වූ භගවත් බුදුන් වදාළ මේ සතර බ්‍රහ්ම විහාර මෙසේ දැනැ ඒ පිළිබඳ ප්‍රකීර්‍ණක කථා ද මතු දැක්වෙන පරිදි දත යුතු.
අර්‍ථ වශයෙන්
මෙත්තා = “මිජ්ජතීනි මෙත්තා-සිනියහතී ති අත්‍ථො” යම් ධර්‍මයක් සිත ස්නේහ කෙරේ ද ඒ මෛත්‍රියයි. (පැරකුම්බා සන්නයෙහි මේ මෙසේ විස්තර කෙරෙති. ‘සත්ත්‍වයන් කෙරෙහි ව්‍යාපජ්ජන විසින් රූක්‍ෂ බවට ප්‍රතිපක්‍ෂ වූ හිතකර ප්‍රවෘත්තිය ස්නේහ නම් වෙයි. තෘෂ්ණායන වශයෙන් ස්නේහය නො වෙයි. හෙ තෙමේ මෝහපූර්‍වඞ්ගම වූයේ ලෝභස්වරූප ය. මේ වනාහි අද්‍වෙෂ ස්වරූප වූයේ අලෝභසම්ප්‍රයුක්ත වෙයි දත යුතු’)
‘මිතෙත්වා භවා මිත්තස්සවා එසා පවත්ත තී පි මෙත්තා=මිත්‍රයා කෙරෙහි වූයේ නු යි හෝ මිත්‍රයාගේ මේ ප්‍රවෘත්තිය නු යි හෝ මෛත්‍රි ය (මිත්‍ර බව - මිත්‍ර ගුණය) මෛත්‍රිය යි සේ යි.
කරුණා = “පරදුක්ඛෙ සති සාධූනං හදය කම්පනං කරොතීති කරුණා.” මෙරමා දුක් ඇති කල්හි සාධුන්ගේ හෘදය කම්පනය කරන්නේ කරුණා ය. කම්පනය නම් මෙරමා දුක් දැකැ එය බැහැර කරනු කැමැත්තෙන් නො ඉවසීම් වශයෙන් සිතෙහි ඇත්වන අන්‍යථාත්‍වය යි. “කිණාති වා පරදුක්ඛං හිංසති විනාසෙතීනි කරුණා” = මෙරමා දුක කිණනය කරන්නේ විනාශ කරන්නේ හෝ කරුණා ය. “කිරයති වා දුක්ඛිතෙසු ඵරණවසෙන පසාරීයතීති කරුණා” දුක්කිතයන් කෙරෙහි පැතිරවීම් වශයෙන් කරණය කරන්නේ - ප්‍රසාරණය කරන්නේ හෝ කරුණා යි.
මුදිතා= “මොදන්ති තාය තං සමඞ්හිනො, සයංවා මොදති, මොදනමත්තමෙව වා මුදිතා” - යම් ධර්‍මයක් කරණ කොටැ ගෙන ඒ ධර්‍මයෙන් යුක්ත වූවෝ මෝදනය වෙත් ද-සතුටු වෙත් ද ඒ මුදිතා ය. තෙමේ හෝ මෝදනය වන්නේ - සතුටු වන්නේ මුදිතා ය. මෝදන මාත්‍රය - සතුටුවීම් මාත්‍රය හෝ මුදිතා ය. (කරණ කාරක, කර්‍තෘ කාරක, භාවකාරක වශයෙන් කළ විග්‍රහ යි.)
උපෙක්ඛා = “අවෙරා හොන්තූති ආදිව්‍යාපාරප්පහාණෙන මජ්ඣත්තභාවූපගමනෙන ච උපෙක්ඛතීති උපෙක්ඛා” අවෛර වෙත්වා යනාදි ව්‍යාපාර දුරු කිරීමෙන් ද, මධ්‍යස්ථභාවයට පැමිණීමෙන් ද උපේක්‍ෂා කරන්නේ උපේක්‍ෂාය.
ලක්‍ෂණ - රස පච්චුපට්ඨාන - පදට්ඨාන-සම්පත්ති, විපත්ති වශයෙන්
මෛත්‍රියෙහි ලක්‍ෂණය සත්ත්‍වයන් කෙරෙහි හිත ආකාරයෙන් පැවැත්ම ය. රසය සත්ත්‍වයන් කෙරෙහි සිත එළවීම ය. පච්චුපට්ඨානය වෛර දුරුකිරීම ය. පදට්ඨානය සත්ත්‍වයන් කෙරෙහි මනාපත්‍වයෙන් දැක්ම ය. සම්පත්තිය ව්‍යාපාද සංසිඳීමය. විපත්තිය සෙනහ උපැද්ම ය.
කරුණායෙහි ලක්‍ෂණය දුඃඛිත සත්ත්‍වයන් ගේ දුක් දුරු කරන ආකාරයෙන් පැවැත්ම ය. (දුක් දුරු වේවා නො වේවා ඒ කරුණු නොවේ.) රසය මෙරමා දුක් නො ඉවසීම ය. පච්චුපට්ඨානය අවිහිංසාව ය. පදට්ඨානය දුකින් පෙළුණුවුන්ගේ අසරණ බව දැක්ම ය. සම්පත්තිය විහිංසා සංසිඳවීම ය. විපත්තිය ශෝක උපැද්ම ය. (කරුණා මුඛයෙන් ශොකය වංචා කෙරේ.)
මුදිතායෙහි ලක්‍ෂණය ප්‍රමෝදය හෙවත් පරසම්පත්තියෙහි සතුටුවීම ය. රසය ඊර්‍ෂ්‍යා නොකිරීම ය. පච්චුපට්ඨානය පර සම්පත් අධිකුශලධර්‍ම, පන්‍ථසේනාසන යන මෙහි නො ඇලුම් නැති කිරීම ය. පදට්ඨානය සත්ත්‍වයන්ගේ සම්පත්ති දැක්ම ය. සම්පත්තිය අරතිසංසිඳවාලීම ය. විපත්තිය ගේහසිත පේම වශයෙන් හර්‍ෂ උපැද්ම ය.
උපේක්‍ෂායෙහි ලක්‍ෂණය සත්ත්‍වයන් මධ්‍යස්ථාකාරයෙන් පැවැත්ම ය. රසය ප්‍රියාදි භේද ඇති සත්ත්‍වයන් කෙරෙහි සමභාවයෙන් දැක්ම ය. පච්චුපට්ඨානය ප්‍රතිඝ, අනුනය සංසිඳවීම ය පදට්ඨානය ‘සත්‍වයෝ කර්‍මස්වකයෝ ය. ඔව්හු කවරකුගේ රුචියෙන් සුඛිත හෝ වෙත් ද, දුකින් හෝ මිදෙත් ද, පැමිණි සැපතින් හෝ නො පිරිහෙත් දැ’යි මෙසේ කර්‍මස්වකතා දැක්ම ය. සම්පත්ති ප්‍රතිඝ-අනුනය සංසිඳවීම ය. විපත්තිය ගේහසිත වූ අඥාන උපේක්‍ෂාව උපැද්ම ය. (උපේක්‍ෂා සහගත මොහය අඥානොපෙක්‍ෂා නම)
සාධාරණ, ආනෙකිත ප්‍රයෝජන වශයෙන්
විදර්‍ශනා සුඛය හා භව සම්පත්තිය මේ සතර බ්‍රහ්මවිහාරයන්ගේ සාධාරණ ප්‍රයෝජනය යි. (‘මිහි දිට්ඨ ධම්මසුඛ විහාරො’ යනුදු සාධාරණ ප්‍රයෝජන වකතව්‍ය යි. ‘සුඛං සුපති’ යනාදි එකාදසානි සංසයෝ වනාහි යට ගෘහිත බැවින් මෙ තැන නො ගන්නා ලදහු යනු සන්නයි) ව්‍යාපාදාදිය දුරු කිරීම ආවේනික ප්‍රයෝජනය යි.
ඒ එසේ මැයි :- මෛත්‍රියෙහි ආවේනික ප්‍රයෝජනය ව්‍යාපාද දුරු කිරීම ය. කරුණායෙහි ආවේනික ප්‍රයෝජනය විහිංසා දුරු කිරීමය. මුදිතායෙහි ආවේනික ප්‍රයෝජනය අරති දුරු කිරීම ය. උපේක්‍ෂායෙහි ආවේනික ප්‍රයොජනය අරති රාගය දුරු කිරීම ය. (ආවේනික ප්‍රයෝජන නම් වෙන් වෙන් ප්‍රයොජන ය.)
වදාළේ මැ යි.
“නිස්සරණං හෙතං ආවුසො ව්‍යාපදස්ස යදිදං මෙත්තා චෙතො විමුත්ති, නිස්සරණං හෙතං ආවුසො විහෙසාය යදිදං කරුණා චෙතො විමුත්ති, නිස්සරණං හෙතං ආවුසො අරතියා යදිදං මුදිතා චෙතො විමුත්ති, නිස්සරණං හෙතං ආවුසො රාගස්ස යදිදං උපෙක්ඛා චෙතො විමුත්ති”[1] යි. අර්‍ථ සුබොධ යි.
ආසන්න - දුර සතුරු වශයෙන්
සතර බ්‍රහ්ම විහාර අතුරෙන් එක් එක් බ්‍රහ්ම විහරණයට ආසන්න සතුරා ය, දුර සතුරාය යි සතුරෝ දෙදෙනෙකි.
කිසියම් පුරුෂයකු හට ආසන්නයෙහි හැසිරෙන සතුරා මෙන් මෛත්‍රී බ්‍රහ්ම විහරණයට රාගය ආසන්න සතුරා ය. මෛත්‍රිය හා රාගය ගුණ දැක්මෙහි ලා සමාන බැවිනි. (‘එහි මෙත් තොමෝ දාන ප්‍රිය වචන ආදි ශීල-ශ්‍රැතාදි ගුණග්‍රහණ වශයෙන් පවත්තී, එහෙයින් ගුණදර්‍ශනයෙන් සභාග බැවින් මිත්‍රමුඛ සතුරකු මෙන් තුල්‍යාකාරයෙන් දර්‍ශනය කෙරේ’ යනු සන්න යි.) ඒ රාග සතුරා ස්වල්ප වූ ද සිහිමුළාවෙකින් මෛත්‍රිය දුරු කොටැ ඒ අරමුණ ගන්නට නිසි බැවින් ඒ රාග සතුරාගෙන් මෛත්‍රිය මනා කොටැ රැක ගත යුතු යි.
පුරුෂයාහට පර්‍වතාදි දුර්‍ග ඇසුරු කළ දුර සතුරා මෙන් මෛත්‍රී බ්‍රහ්ම විහරණයට ව්‍යාපාදය දුර සතුරා ය. මෛත්‍රිය හා ව්‍යාපාදය ස්වභාවයෙන් ම අසමාන බැවිනි. එහෙයිනි ව්‍යාපාදයෙන් බිය නො වැ මෛත්‍රී ද වැඩිය යුතු යි. මෛත්‍රී ද කරන්නේ ය. කෝප ද කරන්නේ ය යන මේ දෙක කිසි කලෙක එක තැන නො ලබන්නෙකි.
කරුණා බ්‍රහ්ම විහරණයට ගේහසිත දොම්නස ආසන්න සතුරා ය. විපත් දැකීම් වශයෙන් සමාන බැවිනි විහිංසාව දුර සතුරා ය. කරුණාව හා විහිංසාව ස්වභාවයෙන් අසමාන බැවිනි. එ හෙයින් විහිංසායෙන් බිය නො වැ කරුණා වැඩිය යුතු කරුණාත් කරන්නේ ය. අත් පා ආදියෙනුත් ගසන්නේ ය. යනු කිසිකලෙක එක තැන නො ලැබෙන්නකි. එහි ගේහසිත දොම්නස නම් කිම? “චක්ඛු විඤ්ඤෙය්‍යානං රූපානං ඉඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිසයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුස්සරතො, පුබ්බෙ වා පටිලද්ධපුබ්බා අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති දොමනස්සං, යං එවරූපං දොමනස්ස ඉදං වුච්තති ගෙහසිතං දොමනස්සං[2] යනාදීන් වදාළ බැවින් ‘ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම්‍ය වූ ලෝකාමිෂ ප්‍රතිසංයුක්ත වූ චක්‍ෂුර්විඥෙය්‍ය වූ රූප නො ලදින් ඒ නො ලද්දෙමි’යි සිහි කරන්නා හට ද පෙරදී ලැබැ නැති වැ ගිය රූප සිහි කරන්නා හටද, යම් දොම්නසෙක් උපදී නම් එය ගෙහසිත දොම්නසැයි දත යුතු. (ගෙහසිත දොම්නස නම් කාමගුණ නිශ්‍රිත දොම්නසයි.)
මුදිතා බ්‍රහ්ම විහරණයට ගේහසිත සොම්නස ආසන්න සතුරා ය. සම්පත් දැකීම් වශයෙන් සමාන බැවිනි අරතිය දුර සතුරා ය. ස්වභාවයෙන් අසමාන බැවිනි. (භොගාදි සම්පත්තීන් ප්‍රමුදිත සත්ත්‍වයන් කෙරෙහි මොදනාකාර ප්‍රමුදිත ස්වභාවයට ඔවුන් කෙරෙහි අනහිරතාකාර අරති ස්වභාවය විසභාග බැවින්, යනු සන්න යි) එ බැවින් ඒ අරතියෙන් බිය නො වැ මුදිතා වැඩිය යුතු. ප්‍රමුදිතත් වන්නේ ය, ප්‍රාන්ත සයනාසන අධි කුශල ධර්‍ම යන මෙහි උකටළීත් වන්නේ ය, යනු කිසිකලෙක එක තැන නො ලැබෙන්නකි. ගේහසිත සොම්නස නම් කිම? “චක්ඛු විඤෙඤය්‍යානං රූපානං ඉඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිසපටිස යුත්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස්සතො, පුබ්බෙ වා පටිලද්ද්‍ධපුබ්බා අතීතං නිරුද්‍ධං විපරිණ්තං සමනුස්සරතො උප්පජ්ජති සොමනස්සං, යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති ගේහසිතං සොමනස්සං”[3] යනාදීන් වදාළ බැවින් ‘ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනොරම්‍ය වූ ලෝකාමිෂ ප්‍රතිසංයුක්ත වූ චක්‍ෂුර්විඥෙය්‍ය වූ රූප ලැබැ එය ලදිමි’යි සලකන්නා හට ද පෙර ලැබැ නැති වැ ගිය රූප සිහි කරන්නා හටද, යම් සොම්නසෙක් උපදී නම් එය ගෙහසිත සොම්නසැයි දත යුතු. (ගෙහසිත සොම්නස නම් පස්කම් ගුණ ඇසුරු කළ සොම්නස ය)
උපේක්‍ෂා බ්‍රහ්ම විහාරයට වනාහි ගේහසිත අඥාන උපේක්‍ෂාව ආසන්න සතුරා ය. දෝෂ ගුණ අවිචාරණ වශයෙන් සමාන බැවිනි. (යම් සේ බ්‍රහ්ම විහාරෝපෙක්‍ෂා තොමෝ මෛත්‍රී ආදින් මෙන් සත්ත්‍වයන් කෙරෙහි හිතෝපසංහාරවශයෙන් ගුණ දෝෂ විචාරණය නො කරන්නී හුදකේ අද්ධ්‍යුපෙක්‍ෂණ වශයෙන් පවතී ද, එසේ ම අඥානෝපේක්‍ෂාව ද සත්ත්‍වයන් කෙරෙහි විද්‍යාමාන ගුණ-දෝෂ නො විචාරන්නී හුදෙක් අද්ධ්‍යුපේක්‍ෂණ වශයෙන් පවතී’ යනු සන්න යි.) රාගය හා ප්‍රතිඝය දුර සතුරා ය. ස්වභාවයෙන් අසමාන බැවිනි. එබැවින් රාගයෙන් හා පටිඝයෙන් බිය නොවැ උපේක්‍ෂා වැඩිය යුතු. ‘උපේක්‍ෂා ද කරන්නේ ය. රාග - ප්‍රතිඝ ද කරන්නේ ය’ යනු කිසි කලෙක එක් තැන් නො ලැබෙන්නෙකි. ගේහසිත උපේක්‍ෂා නම් කිම? “චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූලභස්ස පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස ආනාදීනව දස්සාවිනො අසසුතවතො පුථුජජනසස යා එවරූපා උපෙක්ඛා රූපං සා නාතිවතති. තසමා සා උපෙකඛා ගෙහසිතානි වුචචති”[4] යනාදීන් වදාළ බැවින් ‘බාල වූ මූඪ වූ පුථුජ්ජන වූ අනොධිජින වූ අවිපාකජින වූ අනාදීනව දර්හී වූ අශ්‍රැතවත් පෘථග්ජනයාහට ඇසින් රූප දැක්මෙන් උපේක්‍ෂා උපදින්නේ ය. ඒ උපේක්‍ෂාව රූප සමතීක්‍රමණයට කාරණ නො වන්නේ ය. එහෙයින් ඒ ගේහසිත උපේක්‍ෂායයි කියනු ලැබේ. (කෙලෙසුන් ඉක්ම නො පැවැත්ත හෙයින් ගේහසිතය යි කියනු ලැබේ. යනු සන්න යි.) අනෝධිජිත නම් ක්ලේශ අවධින් මාර්‍ග අවධි වශයෙන් නො දිනුයේ ය. අනාර්‍ය්‍යය යි සේ යි. අවිපාකජින නම් සිනලතම භවාදීන් මතුයෙහි පවත්නා විපාක සන්තතිය නො දිනුයේ යි. නැවත පූථුජ්ජනය යි කීයේ අන්‍ධ පුථුජ්ජනයා ගනු සඳහා ය.
ආදි - මධ්‍ය - අවශාන වශයෙන්
මේ සතර බ්‍රහ්ම විහාරයන්ට ම කත්තුකම්‍යතා ඡන්‍දය ආදි වි. (සත්ත්‍වයන් කෙරෙහි හිතෙතෂි භාවය දුක් පහ කරනු කැමති බවය යනාදියෙන් අනවද්‍ය ප්‍රාර්‍ථනා වශයෙන් පවත්නා හෙයින් කත්තු කම්‍යතා ඡන්‍දය ආදිය යි කීහු උපේක්‍ෂො බ්‍රහ්ම විහාරය ද සත්ත්‍වයන් කෙරෙහි අනිරාකෘත ඡන්‍ද ඇත්තේ ම වෙයි. එහි අව්‍යාවෘත බව ම අවිරුද්ධ ප්‍රතිපත්තිනු යි ස්වකෘත්‍යයෙහි නියුක්ත පුතු කෙරෙහි මව මෙවන් අධ්‍යුපෙක්‍ෂණාකාරයෙන් පවතී යනු සන්න යි.)
නිවරණාදිය මැඩැ පැවැත්වීම මධ්‍යය යි. අර්පණාව අවසාන ය යි.
ප්‍රඥප්ති ධර්‍ම වශයෙන්, අරමුණු වැඩීම් වශයෙන්
මේ සතර බ්‍රහ්ම විහාරයන්ට එක සත්ත්‍වයෙක් හෝ බොහෝ සත්ත්‍ව යෝ හෝ අරමුණු වෙති. (ප්‍රඥප්ති ධර්‍ම වශයෙන් යි කීයේ සත්ත්‍වයන් ගන්නා බැවිනි.) උපචාරයෙහි දී හෝ අර්පණාවට පැමිණි කල හෝ අරමුණු වැඩෙන්නේ ය. වැඩෙන ක්‍රමය මෙසේ ය. දක්‍ෂ ගොවියා තමා සෑ යුතු තැන පිරිසිඳැ ගෙනැ සානා සේ මේ යෝගී ද පළමු කොටැ එක් ආවාසයන් පිරිසිඳ එහි වසන සත්ත්‍වයන් කෙරෙහි “මේ ආවාසයෙහි සත්ත්‍වයෝ අවෛර වෙත්වා” යනාදීන් මෙත් වඩන්නේ ය. එහි සිත මෘදු කොටැ කර්‍මණ්‍ය කොටැ ඉක්බිති ආවාස දෙකක් පිරි සිඳින්නේ ය. මෙසේ පිළිවෙළින් ආවාස තුනක් ද, සතරක් ද, පසක් ද, සයක් ද, සතක් ද, අටක් ද, නවයක් ද, දසයක් ද, එකවීථියක් ද, ගම් අඩක් ද, මුළු ගමක් ද, දනව්වක් ද, රාජ්‍යයක් ද, එක් දිසාවක් ද, එක් සක්වළක් තාක් ද, එයින් මතු ද පිරිසිඳැ එහි සතුන් කෙරෙහි මෙත් වඩන්නේ ය. මෙත සේ ම කරුණාදිය ද වඩන්නේ ය. මේ අරමුණු වඩන ක්‍රමය යි.
නිස්සන්‍ද ඵල වශයෙන්
කසිණයන්ගේ නිස්සන්‍ද ඵලය අරූපධ්‍යාන යි. රූපධ්‍යාන සමාධීන්ගේ ද යට තුන් අරූපධ්‍යාන සමාධීන්ගේ ද නිස්සන්‍ද ඵලය නේවසඤ්ඤා නාසඤ්ඤායතනය යි. විදර්‍ශනායෙහි නිස්සන්‍ද ඵලය ඵල සමාපත්ති යි. සමථ-විදර්‍ශනායෙහි නිස්සන්‍ද ඵලය නිරෝධ සමාපත්තිය යි. එසේ ම මෙත්තා - කරුණා - මුදිතා යන බ්‍රහ්ම විහාර තුනෙහි නිස්සන්‍දඵලය උපේක්ඛා බ්‍රහ්ම විහාරය යි. ටැම් නූස්සා තුලාසංඝාට නොදී නිකම් අහස කුළු ගොනැස් නංවන්නට බැරියා සේ ප්‍රථම තුන් ධ්‍යාන නො වඩා සතර වන ධ්‍යානය වඩන්නට බැරි ය.
ප්‍රශ්න
1. කුමක් හෙයින් මේ සතර බ්‍රහ්ම විහාර යි කියනු ලැබේ ද
2. මේ ගණන් වශයෙන් සතරෙක් ම වූයේ කිම
3. මෙහි මේ ක්‍රමය කිමෙක් ද
4. කුමක් හෙයින් අභිධර්‍මයෙහි දී මෙයට අප්පමඤ්ඤාය යි කියනු ලැබේ ද
1. ශ්‍රේෂ්ඨය, නිර්දෝෂය යන අර්‍ථයෙන් මේ සතරට බ්‍රහ්ම විහාරය යි කියනු ලැබේ. (සත්ත්‍වයන් කෙරෙහි යහපත් ප්‍රතිපත්තියක් බැවින් මේ විහාර සතර ශ්‍රෙෂ්ඨ යි. සෙසු කමටහන් හු ආත්ම හිත ප්‍රතිපත්ති මාත්‍රය හ. මෙහු වනාහි ‘සබ්බෙ සත්තා සුඛිතා හොන්තු’ යනාදීන් පරහිතප්‍රතිපත්තිහු ය. යනු සන්න යි.)
බ්‍රහ්මයෝ විනීවරණ බැවින් නිර්දෝෂ සිත් ඇති වැ වෙසෙති. මේ සතරින් යුක්ත යෝගීහු ද බ්‍රහ්මයන් මෙන් නිර්දෝෂ සිත් ඇති වැ වෙසෙති. එ බැවින් මේ නිර්දෝෂ යි. මෙහි බ්‍රහ්ම ශබ්දයෙන් බඹලොව බ්‍රහ්මයෝ ද, මහාබොධිසත්ත්‍වයෝ ද ගැනෙත්.
2. මේ ගණන් වශයෙන් සතරක් ම වූයේ කිම
2. ‘විසුද්ධි මග්ගාදිවසා චතස්සො’ විශුද්ධි මාර්‍ගාදීන්ගේ වශයෙන් මේ සතරෙක් වූයේ ය. ආදි ශබ්දයෙන් මනසකාර ගන්නේ යි. මේ සතර අතුරෙන් මෛත්‍රිය ව්‍යාපාද බහුලයා හට ද කරුණාව විහිංසා බහුලයා හට ද, මුදිතාව අරති බහුලයා හට ද, උපේක්‍ෂාව රාග බහුලයා හට ද විශුද්ධිමාර්‍ග යි (ව්‍යාපාද සංකේලශාදීන් කෙරෙන් විශුද්ධියට උපාය වූයේ විශුද්ධිමාර්‍ග නම් යනු සන්න යි) එ බැවින් මේ විශුද්ධිමාර්‍ග වශයෙන් සතර වූයේ ය.
හිත එළවීම ය, අහිත දුරු කිරීම ය, සම්පත්තියෙහි සතුටුවීමය, උපේක්‍ෂා වීම යයි සත්ත්‍වයන් කෙරෙහි මනස්කාරය සතර ආකාර වේ. මව වනාහි ළදරු, ගිලන්, තරුණ, සිය කිසෙහි යෙදුණු යන සිව් පුතුන් අතුරෙන් ළදරු පුතු හට අභිවෘද්ධිය කැමති වෙයි. තරුණ පුතු හට ඒ තරුණ සැපතින් යුතු වැ චිරස්ථිතිය කැමති වෙයි. සිය කිසෙහි යෙදුණු පුතුහට කිසි දෙයෙක නො යෙදී මධ්‍යස්ථ වනු කැමති වෙයි. එසේ ම සතර බ්‍රහ්ම විහාර වඩන යෝගී විසින් සියලු සතුන් කෙරෙහි මෛත්‍රී කළ යුතු ය කරුණා කළ යුතු ය. මුදිතා කළ යුතු ය. උපේක්‍ෂා කළයුතු යි. එබැවින් මෙය මනස්කාර වශයෙන් ද සතර ආකාර විය.
3. මෙහි මේ ක්‍රමය කිමෙක් ද
3. “හිතාදි ආකාරවසා පනායං කමො” හිතාදි ආකාර වසයෙනි මේ ක්‍රමය
මේ සතර බ්‍රහ්ම විහාර වඩනු කැමැති යෝගීහු විසින් පළමු කොටැ සත්ත්‍වයන් කෙරෙහි හිතාකාර ප්‍රවෘත්ති වශයෙන් පිළිපැදිය යුතු. මෛත්‍රිය හිතාකාර ප්‍රවෘත්තිය ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. ඉක්බිති එසේ හිතවත් බව පැතූ සත්ත්‍වයන් දුකින් පෙළෙන බැව් දැක හෝ අසා හෝ සිතා හෝ දුක් දුරු කිරීම් ආකාරයෙන් පිළිපැදිය යුතු ය. කරුණාව දුක් දුරු කිරීම් ආකාරය ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. ඉක්බිති එසේ හිත පැතූ දුකින් දුරු කොටැ ගත් ඒ සත්ත්‍වයන් සැපසේ සිටිනු දැකැ එහි සතුටු වීම් වශයෙන් පිළිපැදිය යුතු මුදිතාව ප්‍රමෝදය ලක්‍ෂණ කොට ඇත්තේ ය.
ඉක්බිති එයින් මතු කළ යුතු නැති බැවින් ඔවුන් කෙරෙහි මධ්‍යස්ථ වැ පිළිපැදිය යුතු උපේක්‍ෂාව මධ්‍යස්ථාකාර ප්‍රවෘත්තිය ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. මෙසේ හිතාදි ආකාර වශයෙන් පළමු කොටැ මෛත්‍රිය ද, ඉක්බිති කරුණාව ද, ඉක්බිති මුදිතාව ද, ඉක්බිති උපේක්‍ෂාව ද, දක්වන ලද්දේ ය. මේ ක්‍රමය යි.
4. කුමක් හෙයින් අභිධර්‍මයෙහි දී මෙයට අප්පමඤ්ඤාය යි කියනු ලැබේ ද
4. “පවත්තන්ති ච අප්පමාණො තා ගොචරෙ යන තදප්පමඤ්ඤා” මේ සියලු බ්‍රහ්ම විහරණ අප්‍රමාණ අරමුණෙහි පවතී. අප්‍රමාණ සත්ත්‍වයෝ මෙයට අරමුණු වෙති. උද්ධුමාතකාදි අසුභයෙහි ඒ ඒ ඉදිමී ගිය තැන් අරමුණු කරන්නා සේ එක සත්ත්‍වයකුගේ වත් මෙතෙක් පෙදෙසෙහි මෛත්‍රි වැඩිය යුතුය යි ප්‍රමාණ කොට නො ගෙනැ මුළු සත්ත්‍වයා කෙරෙහි පැතිරවීම වශයෙන් වැඩිය යුතුය. එහෙයින් මෙයට අභිධර්‍මයෙහි දී අප්පමඤ්ඤාය යි කියන ලදී.
යට දැක්වුණු ප්‍රශ්න සතරටම උත්තර මේ ගාථායෙන් ප්‍රකාශ වේ.
“විසුද්ධි මග්ගදිවසා චතස්සො
හිතාදි ආකාරවසා පනායං
කමො පවත්තන්ති ච අප්පමාණො
තං ගොචරෙ යෙන තදප්පමඤ්ඤා”
අර්‍ථ යට කියන ලදී.
ධ්‍යාන වශයෙන්
මෙසේ අප්‍රමාණ සත්ත්‍වයන් අරමුණු කොටැ ඇති බැවින් එක ලක්‍ෂණ වූ ද මේ සතර බ්‍රහ්මවිහරණ අතුරෙන් මෙත්තා-කරුණා-මුදිතා යන තුන චතුෂ්කනය වශයෙන් ත්‍රිකධ්‍යානික ය. පංචකනය වශයෙන් චතුෂ්ක ධ්‍යානික ය. කුමක් හෙයින් ද, සොමනස්සය හා නො වෙන් හෙයිනි. කුමක් හෙයින් මේ තුන සොමනස්සය හා නො වෙත් ද, සොමනස්සයෙන් උපදනා ව්‍යාපාද - විහිසං-අරතීන් ගේ නිස්සරණ හෙයිනි. කාමාදීන්ට නිස්සරණ වූ නෙක්ඛම්මාදීන් මෙන් දොම්නස් සැපියුතු ව්‍යාපාදාදීන්ට නිස්සරණ වූ මෙත් ආදීහු සොම්නස් සහ ගියා වෙති යන අර්‍ථ යි. නිස්සරණ ග්‍රහණයෙන් ම පූර්‍වභාග වූ මෙත්තාදීන් ගේ උපේක්‍ෂා සමප්‍රයොගය ද අනුඥාත යයි දත යුතු. එහෙයින් ම ඇදුරෝ අටවිසි සිතෙක්හි කරුණා-මුදිතාවන් ගේ ප්‍රවෘත්තිය පසසති යි දත යුතු’ යනු සන්නයි.)
උපේක්‍ෂාව වනාහි අවශේෂ ඒකධ්‍යානික ම ය. කුමක් හෙයින් ද, උපේක්‍ෂාව වේදනාව හා සම්ප්‍රයුක්ත හෙයිනි.
ඒ එසේ මැ යි :-සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්නා බ්‍රහ්ම විහාරොපේක්‍ෂාව උපේක්‍ෂා වේදනාව නැති වැ නො පවත්නේ ය.
විචාරණයෙකි.
භගවත් බුදුන් විසින් අඞේගාත්තර අෂ්ටක නිපාතයෙහි දී “තතො ත්‍වං භික්ඛු ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්‍යාසි, අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්‍යාසි, අවිතක්කම්පි අවිචාරං භාවෙය්‍යාසි. සප්පීතිකම්පි භාවෙය්‍යාසි. නිප්පීතිසහගතම්පි භාවෙය්‍යාසි, සාතසහගතම්පි භාවෙය්‍යාසි, උපෙක්ඛාසහගතම්පි භාවෙය්‍යාසි”[5] යි ධ්‍යාන සතර-සතර බ්‍රහ්ම විහාරයෙහි ලා අවිශේෂයෙන් වදාරන ලද්දේ ය. එහෙයින් සතර බ්‍රහ්මවිහරණ ම චතුෂ්ක-පංචක ධ්‍යානිකය යි යමෙක් කියා නම් ඔහුට ‘එසේ නො කියව’ යි කිය යුතු. ඉදින් එසේ කියා නම් කායානුපස්සනාදිය චතුෂ්ක පංචක ධ්‍යානිකය යි කියන්නට සිදු වේ. වේදනානුපස්සනාදියෙහි ප්‍රථමධ්‍යානය පවා නැති කල ද්ද්‍විතීයද්‍ධ්‍යානාදිය කොයින් ලැබේ ද, එහෙයින් ව්‍යඤ්ජනච්ඡායා මාත්‍රය ගෙනැ භගවත් බුදුන් හට අබ්භාවික්ඛනය නො කළ යුතු. බුද්ධවචනය ගැඹුරු ය. ආචාර්‍ය්‍යයන් ඇසුරු කොට අධිප්‍රාය වශයෙන් ගත යුතු ය. මේ එහි අධිප්‍රාය යි.
‘භගවත් බුදුනි! මම් බුදුන් ගේ යම් ධර්‍මයක් අසා හුදෙකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති වැ වාසය කරම් ද එබඳු ධර්‍මයක් මට සැකෙවින් වදාළ මැනවැ’යි එක් භික්‍ෂුනමෙක් ධර්‍මදේශනාව පිණිස බුදුන් අයැදියේ ය. ඒ භික්‍ෂු පෙරත් බුදුන්ගේ ධර්‍මය අසා ඊම රැඳේ. මහණුවම් කරන්නට කොහිත් නො යේ. එහෙයින් ඔහුට භගවත් බුදුහු ‘එසේ යැ මෝඝපුරුෂය ඇතැම් කෙනෙක් මට ධර්‍ම දේශනා පිණිස අයදිති. ධර්‍මය දෙසූ කල මා ම ලුහුබැඳිය යුතු කොටැ සිතති’යි නින්දා වදාරා යළි රහත් බවට හේතු සම්පත් ඇති ඒ භික්‍ෂු හට අවවාද කරන සේක් මෙසේ වදාළ සේක.
“තස්මාතිහ තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං අජ්ඣත්තං මෙ චිත්තං ඨිතං භවිස්සති, සුසණ්ඨිතං නචුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය ඨස්සන්ති ති එවංගි තෙ භික්ඛු සික්ඛිතබ්බං”[6] යි. මහණ! එසේ නම් තා විසින් මෙසේ හික්මිය යුතු. මගේ සිත අධ්‍යාත්මයෙහි ම ස්ථිත-සූස්ථිත වන්නේ ය. උපන් ලාමක අකුශල ධර්‍ම සිත අල්වා නො ගෙනැ සිටින්නේ ය. මහණ! තා විසින් මෙසේ හික්මිය යුතු’ යනු එහි අර්‍ථ යි. මේ අවවාදයෙන් ඒ භික්‍ෂුහට නියකජ්ඣත්ත වසයෙන් චිත්තෙතග්‍රතාමාත්‍ර වූ මූල සමාධිය වදාරන ලද්දේ ය. ඉක්බිති මේ මූල සමාධියෙන් ම සෑහීමට නො පැමිණැ ඒ සමාධිය මෙසේ මතු වැඩිය යුතු ය යි දක්වන්නට “යතො ඛො තෙ භික්ඛු අජ්ඣත්තං චිත්තං ඨිතං හොති සුසණ්ඨිතං. නචුප්පන්තා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය. තිට්ඨන්ති. තතො තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං මෙත්තා මෙ චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලිකතා යානීකතා වත්‍ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්‍ධා ත. එවං හි තෙ භික්ඛු සික්ඛිතබ්බං”1 යි මෛත්‍රී වශයෙන් භාවනාව වදාරන ලද්දේ ය. වදාරා යළි “යතො ඛො තෙ භික්ඛු අයං සමාදි එවං භාවිතො හොති බහුලීකතො තතො ත්‍වං භික්ඛු ඉමං සමාදිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්‍යාසි -පෙ- උපෙක්ඛා සහගතම්පි භාවෙය්‍යාසි”1 යි වදාරන ලද්දේ ය.
එහි අදහස මෙසේ ය:- ‘මහණ! යම් කලෙක තා විසින් මේ මූල සමාධිය මෙසේ මෛත්‍රී වශයෙන් වඩන ලද්දේ ද, එකල තෝ එ පමණෙකින් සතුටට නො පැමිණැ මේ මූල සමාධිය සෙසු පඨවි කසිණාදි අරමුණුවල චතුෂ්ක - පඤ්චකධ්‍යානයන්ට පමුණුවමින් සවිතර්‍ක - සවිකාරාදි වශයෙන් වඩව’යි වදාරා යළි කරුණාදි සෙසු බ්‍රහ්ම විහාර පූර්‍වඞ්ගම වූ භාවනාව අන්‍ය අරමුණුවල චතුෂ්ක පඤ්චධ්‍යාන වශයෙන් වඩව’යි වදාරන්නට “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො, තතො තෙ භික්ඛු එවම්පි සික්ඛිතබ්බං කරුණා චෙතො විමුත්තී” යනාදීන් වදාළේ ය.
මෙසේ මෛත්‍ර‍්‍යාදි පූර්‍වඞ්ගම වූ භාවනාව චතුෂ්ක-පඤ්චක ධ්‍යාන වශයෙන් වදාරා යළි කායානුපස්සනාදි පූර්‍වඞ්ගම වූ භාවනාව දක්වන්නට “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො. තතො තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං කායෙ කායානුපස්සී විහරිස්සාමි” යනාදීන් වදාළේ ය. වදාරා “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො භවිස්සති සුභාවිතො, තතො ත්‍වං භික්ඛු යෙන යෙනෙව ගච්ඡසි ඵාසුඤ්ඤෙච ගච්ඡසි, යත්‍ථ යත්‍ථෙව ඨස්සසි ඵාසුඤ්ඤෙච ඵස්සසි, යත්‍ථ යත්‍ථෙව නිසීදිස්සසි ඵාසුඤ්ඤෙච නිසිදිස්සසි, යත්‍ථ යත්‍ථෙච සෙය්‍යං කප්පෙසි ඵාසුඤ්ඤෙච සෙය්‍යං කප්පෙසි”[7] යි අර්‍හත් නිකුටයෙන් දේශනාව නිමකළ සේක. එහෙයින් මෛත්‍රී ආදිය ත්‍රික චතුෂ්ක ධ්‍යානික ය. උපේක්‍ෂාව සෙසු එකධ්‍යානික ම ය යි දත යුතු. අභිධර්‍මයෙහි ද මෙය මෙසේ ම දක්වන ලදි. (පාලියෙහි අර්‍ථ සුගම හෙයින් නො දැක්විණි. මෙත්තා - කරුණා - මුදිතා චතුෂ්කනය වශයෙන් ත්‍රික ධ්‍යානික ය. පඤ්චක නය වශයෙන් චතුෂ්ක ධ්‍යානික ය. උපේක්‍ෂාව චතුෂ්ක නය වශයෙන් චතුර්‍ථ ධ්‍යානික ය. පඤ්චක නය වශයෙන් පඤ්චම ධ්‍යානික ය. අංගුත්තර අට්ඨක නිපාතයෙහි සූත්‍රය වරදවා තේරුම් ගෙන මෙය වෙනස් කැරැ නො ගත යුතු යයි කී සේ යි.)
ශුභ පරමාදි වශයෙන්
මෙසේ ත්‍රික-චතුෂ්ක ධ්‍යාන වශයෙන් ද, සෙසු ඒක ධ්‍යාන වශයෙන් ද යන දෙයාකාරයෙකින් බෙදී සිටි මේ සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ ශුභ පරමාදි වශයෙන් අන්‍යෝන්‍ය විසදෘශ වූ අනුභාව විශේෂය දතයුතු. හලිද්දිවසන සූත්‍රයෙහි දී මේ සතර ශුභපරමාදි වශයෙන් විශේෂ කොටැ වදාළේ ය.
ඒ මෙසේ ය:-
“සුභපරමාහං භික්ඛවෙ මෙත්තා චෙතොවිමුත්ති වදාමි. ආකාසානඤ්චායතනපරමාහං භික්ඛවෙ කරුණා චෙතො විමුත්තිං වදාමි. විඤ්ඤාණඤ්චායතන පරමාහං භික්ඛවෙ මුදිතා චෙතොවිමුත්ති වදාමි. ආකිඤ්චඤ්ඤායතන පරමාහං භික්ඛවෙ උපෙක්ඛා චෙතොවිමුත්ති වදාමි”[8] ‘මහණෙනි! මෛත්‍රි චේතෝ විමුක්තිය ශුභ විමොක්‍ෂය පරම කොටැ ඇතැයි කියමි. කරුණා චේතෝ විමුක්තිය ආකාසානඤ්චායතනය පරම කොටැ ඇතැයි කියමි. මුදිතා චේතෝ විමුක්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොටැ ඇතැයි කියමි. උපේක්‍ෂා චේතෝ විමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය පරම කොටැ ඇතැයි කියමි, යනු එහි අර්‍ථ යි.
කුමක් හෙයින් මේ මෙසේ වදාළේ ද, මෛත්‍රී ආදි සතර ශුභවිමොක්‍ෂාදි සතරට උපනිශ්‍රය වන හෙයිනි.
ඒ එසේ මැ යි:
මෛත්‍රී විහාරි පුද්ගලයා හට සත්ත්‍වයෝ පිළිකුල් නො වෙති. සත්ත්‍වයන් කෙරෙහි පිළිකුල් නැති පුරුද්දෙන් ස්වභාවයෙන් පිළිකුල් නුවූ නීලාදි පිරිසිදු වර්‍ණයෙහි දු සිත මෙහෙයන විට අනායාසයෙන් ම සිත එහි වැදැ ගෙන සිටී. එබැවින් මෛත්‍රිය ශුභ විමෝක්‍ෂයට උපනිශ්‍රය වේ. එයින් මතු කිසි විමෝක්‍ෂයකට උපනිශ්‍රය නො වේ. එහෙයින් මෛත්‍රිය ශුභ පරම යයි වදාළේ ය. මෙහි ශුභ ශබ්දය “සුභංත්‍වෙව අධිමුත්තො හොති”යි මෙසේ කියන ලද ශුභ විමෝක්‍ෂය සඳහා උත්තර පද ලෝපයෙන් කියන ලද, පරම ශබ්ද උත්තමාර්‍ථ යි’ යනු සන්න යි)
කරුණා විහාරී පුද්ගලයා හට සත්ත්‍වයන් කෙරෙහි වැටෙන දඬු පහට ආදි රූප නිමිති දුක් දකින විට කරුණාව උපදින බැවින් රූපයෙහි ආදිනව ප්‍රකට වෙයි. රූපයෙහි ආදීනව ප්‍රකට බැවින් පඨවි කසිණාදීන් අතුරෙන් කිසිවක් උගුලා රූප රහිත ආකාශයෙහි සිත මෙහෙයන කල සිත අනායාසයෙන් ම එහි වැදගෙනැ සිටී. මෙසේ කරුණාව ආකාසානඤ්චායතනයට උපනිශ්‍රය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍රය නො වේ. එහෙයින් කරුණාව ආකාසානඤ්චායතනය පරම කොටැ ඇතැයි වදාළේ ය.
මුදිතා විහාරි පුද්ගලයා හට භෝග සම්පත් ආදි ඒ ඒ ප්‍රමෝද්‍ය කාරණයෙන් සත්ත්‍වයන්ට උපන් ප්‍රමෝද්‍ය විඥානය දක්නා කල මුදිතාව උපදින බැවින් විඥාන ග්‍රහණයෙහි පුරුදු කරන ලද සිත ඇතිවන්නේ ය. ඉක්බිති අනුක්‍රමයෙන් ලැබැගත් ආකාසානඤ්චායතනය ඉක්මැ ආකාශ නිමිත්ත ගෝචර කොටැ ඇති විඥානයෙහි වැදැගෙනැ සිටී. මෙසේ මුදිතාව විඤ්ඤාණඤ්චායතනයට උපනිශ්‍රය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍රය නොවේ. එහෙයින් මුදිතාව විඤ්ඤාණඤ්චායතනය පරම කොටැ ඇතැයි වදාළේ ය.
උපේක්‍ෂාවිහාරී පුද්ගලයා හට සත්ත්‍වයෝ සුවපත් වෙත්වා කියා හෝ දුකින් මිදෙත්වා කියා හෝ පැමිණි සැපයෙන් නො ගිලිහෙත් වා කියා හෝ අභොග නැති බැවින් සුඛ-දුක්ඛාදි පරමාර්‍ථ ග්‍රහණයට විමුඛ හෙයින් අවිද්‍යමාන ප්‍රඥප්ති ගැන්මෙහි දක්‍ෂ වූ සිත ඇති වේ. පරමාර්‍ථ ග්‍රහණයෙන් විමුඛභාවය පුරුදු කළ පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන ප්‍රඥප්තිය ගැනීමෙහි සිත් ඇති ඔහුට අනුක්‍රමයෙන් ලැබ ගත් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ස්වභාවයෙන් අවිද්‍යමාන වූ පරමාර්‍ථ වූ විඥානයාගේ අභාවයෙහි සිත මෙහෙයන කල ඔහු ගේ ඒ සිත අනායාසයෙන් ම ආකිඤ්චඤ්ඤායතනයෙහි වැදැගෙනැ සිටි යි. මෙසේ උපේක්‍ෂාව ආකිඤ්චඤ්ඤායතනයට උපනිශ්‍රය වේ. එයින් මතු කිසිවකට උපනිශ්‍රය නොවේ. එබැවින් උපෙක්‍ෂාව ආකිඤ්චඤ්ඤායතනය පරම කොටැ වදාළේ ය.
දානාදී සියලු කල්‍යණ ධර්‍ම පිරීම් වශයෙන්
යට කියූ පරිදි සුභ පරමාදි වශයෙන් මේ සතර බ්‍රහ්ම විහරණයන් ගේ අනුභාව දැනැ ඉක්බිති ඒ සතර දානාදි සියලු කල්‍යාණ ධර්‍ම පුරාලන බව දත යුතු.
ඒ එසේ මැ යි:-
සතුන් කෙරෙහි හිත අදහස් ඇති බැවින් ද, සතුන් ගේ දුක් නො ඉවසන බැවින් ද, සතුන්ගේ සම්පත් පිළිබඳ චිරස්ථිතිය කැමැති බැවින් ද, සතුන් කෙරෙහි පක්‍ෂපාත නැති බැවින් ද, යන සතර කාරණයෙන් සියලු සතුන් කෙරෙහි සම සිත් ඇති මහා සත්‍වයෝ ‘මොහුට දිය යුතු ය. මොහුට නො දිය යුතුය’ වන වෙනසක් නො සිතා සියලු සතුන් හට සුව නිදන් කොට ඇති දන් දෙති. ඒ සතුන්ගේ පීඩා වළකන්නාහු සිල් සමාදන් වෙති. සිල් පුරනු සඳහා නෛෂ්ක්‍රම්‍යය පුරති සතුන් ගේ හිත - අහිත දෙක්හි නුමුළා වනු පිණිස ප්‍රඥාව පිරිසිදු කෙරෙති. සතුන්ට හිත සුව පිණිස නිතර වීර්‍ය්‍ය වඩති. උතුම් වීර්‍ය්‍ය වශයෙන් ධීර භාවයට පැමිණැ ද සතුන්ගේ නානාවිධ අපරාධ ඉවසති. මේ තොපට දෙමු. මේ තොපට කරමු’යි කළ පිළිණ විසංවාද නො කෙරෙති. සතුන් කෙරෙහි අචල මෛත්‍රියෙන් පූර්‍වකාරීහු වෙති. උපකාර කොටැ ප්‍රත්‍යුපකාර නො පතති. මෙසේ මේ දස පාරමීන් පුරා දශ බල, චතුර් වෛශාරද්‍ය, ෂට් අසාධාරණඥාන අෂ්ටාරස බුද්ධධර්‍ම යන ප්‍රභෙද ඇති සියලු කල්‍යාණ ධර්‍ම පරිපූර්‍ණ කරන බව දත යුතු.
“ඨානාඨානං විපාකඤ්ච - මග්ගං සබ්බත්‍ථගාමිනං
අනෙකධාතුයො ලොකෙ - අධිමුත්තිඤ්ච පාණිනං
ජානාති ඉන්‍ද්‍රියානඤ්ච - පරොපරියතං මුනී
ඣානාදි සංකිලෙසාදි - ඤාණං විජ්ජාත්තයං තථා මේය දස බල නම්.
“වෙසාරජ්ජානි චත්තාරි - බඬත්තෙ ආසවක්ඛායෙ
අන්තරායෙ ව නීයානෙ - යෙහි බුද්‍ධො විසාරදො” මේය චතුවෛශාරද්‍ය නම්
ඉන්‍ද්‍රිය පරොපරියත්ත ඤාණය
ආසයානුසය ඤාණය
යමක පාටිභීර ඤාණය
මහා කරුණා සමාපත්ති ඤාණය
සබ්බඤ්ඤුත ඤාණය
අනාවරණ ඤාණය
මේය ෂඩ් අසාධාරණ ඥාන නම්.
“තිඤාණමද්ධසු අනාගතාදිසු - තිකම්මඤාණං විගතං විසුඬං
අහානි ඡන්‍දස්ස ච දෙසනාය - සමාධි පග්ගාහ විමුත්ති ධීනං
දවා රවා අප්ඵුතමෙව නත්‍ථි - වෙගායිතව්‍යාවටචිත්තතා ච
නෙවත්‍ථි තස්සප්පටිඝංවුපෙක්ඛා - තෙ හොන්ති අට්ඨාරස බුද්ධධම්මා”
“අතීතෙ බුද්‍ධස්ස භගවතො අප්පටිහතං ඤාණං” යනාදි තුන් කල්හි නො පැකිළැ පවත්නා තුන් නුවණ තුන් බුද්ධ ධර්‍ම වෙයි. “ඉමෙහි තීහි ධම්මෙහි සමන්නාගතස්ස බුද්‍ධස්ස භගවතො සබ්බං කායකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්තිකං”[9] යනාදි නුවණ අනු වැ වැටෙන තුන් කර්‍මය තුන් බුද්ධ ධර්‍මය වේ. “ඉමෙහි ජහි ධම්මෙහි-සමන්තා-ගතස්ස බුද්ධස්ස භගවතො නත්‍ථි ඡන්‍දස්ස හානි නත්‍ථි ධම්ම දෙසනාය හානි, නත්‍ථි පඤ්ඤාය හාති” යනු ෂට් බුද්ධ ධර්‍මවෙයි. මේ ෂට් බුද්ධ ධර්‍මයෙන් සමන්විත වූ සර්‍වඥයන් වහන්සේට කෙළනා සේ ක්‍රියාවෙක් නැති. සහසා කරන ක්‍රියාවෙක් නැති ඥානයෙන් අපෘෂටයෙක් නැති. වෙලෙවි ක්‍රියාවෙක් නැති. නිරත්‍ථක සිත් හසරෙක් නැති. අඥානෝපේක්‍ෂා නැත්” මොහු ෂට් බුද්ධ ධර්‍ම වෙත්. මොහු හැම එක් වැ අටලොස් බුද්ධ ධර්‍ම ය යි කියනු ලැබෙත්” යනු සන්නයි.)
හුදී ජන පහන් පිණිස කළ විශුද්‍ධි මාර්‍ගයෙහි සමාධි
භාවනාධිකාරයට ඇතුළත් බ්‍රහ්ම විහාර නිර්‍දෙශ නම්
නව වන පරිච්ඡේද යි.