කරුණා බ්‍රහ්ම විහරණය වඩනු කැමති යෝගියන් විසින් කරුණා රහිත බව්හි ආදීනව හා කරුණා සහිත බව්හි ආනිසංස හා සලකා භාවනාවට පටන් ගත යුතු. පටන් ගන්නා විසිනුදු පළමු කොටැ ප්‍රිය පුද්ගලාදීන් කෙරෙහි කරුණා නො වැඩිය යුතු. කුමක් හෙයින් ද, ප්‍රියයා ප්‍රිය තන්හි ම ද, අතිප්‍රිය යහළුවා අති ප්‍රිය යහළු තන්හි ම ද, මධ්‍යස්ථයා මධ්‍යස්ථ තන්හි ම ද, අප්‍රියයා අප්‍රිය තන්හි ම ද, වෛරියා වෛරී තන්හි ම ද පිහිටන බැවින් ලිඞ්ග විසභාගයන් කෙරෙහි ද, කලුරිය කළවුන් කෙරෙහි ද එසේ ම කරුණා නො වැඩිය යුතු යි. අක්‍ෂේත්‍ර බැවිනි.
“කථඤ්ච භික්ඛවෙ භික්ඛු කරුණා සහගතෙන චෙතසා එකං දිස්වා ඵරිත්‍වා විහරති. සෙය්‍යථාපි නාම එකං පුග්ගලං දුග්ගතං දුරූපෙතං දිස්වා කරුණායෙය්‍ය එවමෙව සබ්බෙ සත්තෙ කරුණාය ඵරති”[1] යි විභඞ්ගයෙහි වදාළ බැවින් හැමට පළමු වැ ම කරුණා කළ යුතු ආකාර ඇති ඉතා දුක්පත් - දිළිඳු - සිඳ ලූ අත් පා ඇති වැ කබලක් පෙරටුයෙහි තබාගෙන අම්බලමෙක වැදැ හොත්-අතින් පයින් පණු කැලන් කා හැළෙන - එහෙයින් ම බැගෑ හඬින් හඬන - පව්කාර බැගෑ මිනිසකු දැකැ ‘අහෝ! මේ මිනිසා දුකට පැමිණියේ ය මොහු මේ දුකින් මුදා ගන්නෙම් ඉතා යෙහෙකැයි කරුණා වැඩිය යුතු.
ඉදින් එවැන්නකු නො ලද්දේ නම් සුව විඳින්නා වූ ද පව්කාර පුද්ගලයකු වධ්‍යයකු හා සම කොටැ සිතා කරුණා කළ යුතු. කෙසේ ද, බඩු සහිත සොරකු අසු වූ විට රජ ‘මොහු මරව’යි නියෝග කරයි. රජුගෙන් නියෝග ලත් පුරුෂයෝ ඔහු බැඳැ ගෙනැ සන්‍ධියෙහි - සන්‍ධියෙහි සිය ගණන් පහර දෙමින් වධ ස්ථානයට ගෙන යති. ඔහු දුටු මනුෂ්‍යයෝ කන-බොන දැය ද මල්-ගඳ විලවුන් ද, බුලත් ද ඔහුට දෙති. හේ ඒ දුන් දේ කමින්-බොමින් සුව ඇත්තකු සේ භෝග ඇත්තකු සේ ගමන් කරයි. එහෙත් කිසිකෙනෙක් මේ සුව ඇත්තෙකු මේ භෝග ඇත්තෙකැයි නො සිතති. ‘ඒකාන්තයෙන් මේ දීනයා දැන් මරණයට පැමිණේ. මොනු නගන පියෙන් පියට මොහුට මරණය ළඟා වන්නේය’යි මිනිස්සු ඔහු කෙරෙහි කරුණා කරති. එසේ ම කරුණාකමට හන් ගත් යෝගියා විසින් සුව ඇත්තා වූ ද පුද්ගලයා කෙරෙහි කරුණා වැඩිය යුතු. කෙසේ ද, මේ දීනයා දැ සුවසේ සැදී පැහැදී පස් කම් සුව වළඳතත් තුන්දොරින් එකෙකිනුදු කළ කුසලයක් නැති බැවින් මේ මතු අපායෙහි අනල්ප දුක් දොම්නස් විඳී යයි’ මෙසේ ඔහු කෙරෙහි කරුණා වඩා ඉක්බිති එ ක්‍රමයෙන් ම ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද, ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි ද, ඉක්බිති වෛරියා කෙරෙහි ද, ක්‍රමයෙන් කරුණා වැඩිය යුතු. ඉදින් පෙර කී සේ වෛරියා කෙරෙහි ක්‍රෝධ උපදී නම් මෛත්‍රියෙන් ඒ සන්සිඳුවා ගත යුතු ය.
ඉදින් කළ කුසල් ඇත්තෙක් නම් ඥාති-රෝග-භෝග-ව්‍යසනාදීන් අතුරෙන් කිසිවකින් යුක්ත ය යි දැක හෝ අසා හෝ එසේත් නැත් නම් ‘සසර දුක් නො ඉක්ම වූ බැවින් ඒකාන්තයෙන් දුඃඛිතම ය’ යි සර්‍වකාරයෙන් ම කරුණා කොටැ යට කියූ පරිදි තෙමේ ය, ප්‍රිය පුද්ගලය, මධ්‍යස්ථය, වෛරීය යන සිව් දෙනා කෙරෙහි සීමාසම්භේදය කොටැ ඒ නිමිත්ත ම සෙව්මින් බලමින් බිහිලී කෙරෙමින් මෛත්‍රියට කී සේ ත්‍රික-චතුෂ්ක ධ්‍යාන වශයෙන් අර්පණා ලැබිය යුතු.
අඞ්ගුත්තර අටුවායෙහි වනාහි පළමුකොට වෛරී පුද්ගලයා කෙරෙහි කරුණා කළ යුතු බව ද, ඔහු කෙරෙහි සිත මෘදු කොටැ ඉක්බිති දුක්පතා කෙරෙහි ද, ඉක්බිති ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද, ඉක්බිති තමා කෙරෙහි ද කරුණා කළ යුතු බව කියන ලද්දේ ය. ඒ මෙහි දැක්වූ “දුග්ගතං දුරූපෙතං” යනාදි පාළි නයහා සම නො වන බැවින් මෙහි කියූ සේ භාවනා කොට සීම්සමේභේදයෙන් අර්පණා වැඩිය යුතු.
මින් මතු ලැබිය යුතු පංචවිධ අනෝධිසො ඵරණ දසවිධ දිසා ඵරණ විකුබ්බන ද “සුඛං සුපති” යනාදි ආනිසංස ද යට මෛත්‍රියට කී පරිදි මය යි දත යුතු.
කරුණා භාවනායෙහි විස්තර කථාවයි.
-
වි:ප: අප්පමඤ්ඤා වි: 206 ↑