1. සුඛං සුපති = සුව සේ නිදා, ඇතැම් කෙනේක ඔබ- මොබ පෙරළෙමින් ‘සුර - සුරු’ ගාමින් දුකසේ නිදති. මේ යෝගී එසේ නො වැ සුවසේ නිදා-නිදන්නේත් සමවතකට සම වැදුණ සේ නිදයි.
2. සුඛං පටිබුජ්ඣති = සුවසේ පුබුදී, ඇතැම් කෙනෙක් තතනමින් හැඹෙමින් පෙරළෙමින් දුකසේ පුබුදිති. මේ යෝගී එසේ නො වැ පිපී ගෙනැ එන පියුමක් සේ නිර්විකාර වැ සුවසේ පුබුදි යි.
3. න පාපකං සුපිනං පස්සති = නපුරු සිහින නො දකී. සිහිනයක් දක්නේ නම් සෑ වඳනා පුදනා සේ බණ අසනා සේ යහපත් සිහිනයක් ම දක්නේ ය. තවද ඇතැම් කෙනෙක් සොරුන් විසින් පිරිවරන ලද සේ චණ්ඩ සතුන් විසින් ලුහුබඳන ලද සේ ප්‍රපාතයෙහි වැටුණවුන් සේ සිහින දකිති. මේ යෝගී එබඳු සිහින නො දකී.
4. මනුස්සානං පියො හොති = මිනිසුන්ට ප්‍රිය වෙයි. උරෙහි ලු මුතුහරක් සේ ද, හිස පැළඳි මල් මාලාවක් සේ ද, මිනිසුන්ට ප්‍රිය මනාප වෙයි.
5. අමනුස්සානං පියො හොති = විසාඛ තෙරණුවන් මෙන් අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. විසාඛ තෙරණුවෝ වනාහි පැළලුප් නුවර කෙළඹියාණ කෙනෙකි. එහි වසන ඔවුන් විසින් ‘ලක්දිව සෑ මලින් අලංකෘත ය කසාවතින් බබළා. සිය රිසි තැනෙක හිඳැ ගන්නට ද නිදන්නට ද හැකිය. සෘතු සප්පාය, සේනාසන සප්පාය, පුග්ගල සප්පාය, ධර්‍මශ්‍රවණ සප්පාය යන සියල්ල මෙහි සුලභ ය’යි අසන ලද්දේ ය. ඔහු සිය වස්තුව දූ දරුවනට පාවා දී එක් කහවණුවක් පමණක් රෙදි කොන ගැට ගසා ගෙනැ ගෙයින් නික්මැ නැව් තොටට අවුත් නැව එන තාක් මසක් කල් එහි රැඳී උන්හ. තුමූ වෙළඳාමෙහි දක්‍ෂ බැවින් එක දොරෙක බඩු ගෙනැ තව දොරෙක විකුණමින් එ තැනින් බඩු ගෙනැ තව තැනෙක විකුණමින් දැහැමි වෙළඳාමෙන් ම ඒ මස තුළ කහවණු දහසක් උපයා ගත්හ. ඔහු පිළිවෙළින් ලක්දිව් බැස මහා විහාරයට එළඹැ මහණුවම යැදියේ ය. භික්‍ෂූන් විසින් මහණ කරන පිණිස සීමාවට පමුණුවන ලදුවෝ ඒ දහස බැඳි පියල්ල එකවුරුතු අතුරෙන් බිම හෙළුහ. ‘මේ කිමෙක් දැ’යි ඇසූ කල ‘කහවණු දහසෙකැයි’ කියූහ. ‘පින්වත! පැවිදි වූ කල මිළ මුදල් විචාරණය කරන්නට නො පිළිවන. දැන් ම එයට කටයුතු දනුව’යි භික්‍ෂූහු කිවු ය. ඔහු “විසාඛයන් පැවිදිවන තැනට පැමිණියෝ හිස් අතින් නො යෙත්වා”යි කහවණු පොදිය සීමා මාලකයෙහි විසුරුවා පියා පැවිදි උපසපුව ලබා පස් වසක් නිස සමාදන් වැ වැසැ උභය මාතෘකා ප්‍රගුණ කොට පවරා තමන්ට සැප කමටහනක් ගෙනැ එක්-එක් වෙහෙරැ සිව්-සිව් මසැ සමවත් පුරමින් හැසුරුණෝ ය. එසේ හැසිරෙන උන්වහන්සේ එක්තරා රමණීය වන ලැහැබක් දැකැ ඊ රුක්මුලෙක සමවතට සමවැදැ සමවතින් නැගී ස්වකීය ගුණ ආවර්‍ජනයෙන් ලත් ප්‍රීති සෞමනස්‍යයෙන් මෙසේ උදන් ඇනූහ.
‘උපසපුව ලද තැන් - පටන් මෙතැනට එන තෙක්
මා කළ කිසි වරද නැති - නිදුක! තට විය වාසිය’
ඔහු සිතුල්පව් වෙහෙර යන්නෝ දෙමං සන්‍ධියකට පැමිණැ ‘මග මේ දො හෝ මේ දො හෝ’යි සිතමින් සිටියහ. පව්වෙහි වසන දෙවියා අතදිගු කොටැ ‘හිමි මේ මග ය’යි දැක්වීය. ඔහු ඒ මඟින් සිතුල්පව් ගොස් සිවු මසක් ඊ වැසැ ‘සෙට උදෑසනක් සේ මින් බැහැර යෙමි’යි සිතා නිදි ගත්හ. සක්මන් කෙළවරැ මිණිල රුක වුසූ දෙවියා හිණිපෙත මත්තෙහි හිඳැ හඬන්නට වන. තෙරණුවෝ ‘මේ කවරෙක් දැ’යි ඇසූ හ. ‘හිමි මම මිණිලයා’යි කීය. කුමට හඬන්නේ දැ’යි විචාළ කල ඔබ ගමන් නිසාය’යි කීය. මා මෙහි වසන්නා තොපට කවර ගුණ දැ යි ඇසූ කල ‘හිමි! ඔබ මෙහි වසත් අමනුෂ්‍යයෝ ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රී ලබති. දන් ඉතින් ඔබ ගිය කලැ ඔවුහු කලහ කෙරෙති නපුරු බස් බෙණෙති’යි කීය. ඒ අසා තෙරණුවෝ ‘ඉදින් මා මෙහි විසීමෙන් තොපට පහසු විසුමෙක් වේ නම් ඒ මැනවැ’යි කියා තව සිවු මසක් එහි වැසැ යන්නට සැරසුණාහ. මිණිලයා නැවත ද හැඬුයේ ය. මේ නියායෙන් විසාඛ තෙරණුවෝ සිතුල්පව් වෙහෙර මැ වැසැ එහි ම පිරිනිවියහ. මෙසේ මෙත් වඩන යෝගී අමනුෂ්‍යයනට ප්‍රිය වන්නේ ය.
6. දේවතා රක්ඛන්ති = මෑණි කෙනෙක් පුතකු රක්නා මෙන් දෙවියෝ ඔහු රකිත්.
7. නාස්ස අග්ගි වා විසං වා සත්‍ථං වා කමති = මෙත් වඩන යෝගීහුගේ සිරුරෙහි උත්තරා උපාසිකාවගේ සිරුරෙහි මෙන් ගිනි නො ගනී. සංයුත්ත භාණක චුල්ලසීව තෙරුන්ට මෙන් විස නො කැවේ. සංකිච්ච සාමණේරයන්ට මෙන් සැත් නො වදී. මෙහි ලා ධේනු වස්තුව ද කිය යුතු.
එක් ගව දෙනක් වසුට කිරි දෙමින් සිටියා ය. වැද්දෙක් ඇය දැකැ විදිමි යි සිතා, අතින් සරහා පියා අග මිට ඇති තෙබින් ඇන්නේ ය. තෙබ දෙනගේ සිරුරේ වැදැ තල් කොළයක් මෙන් වකුටු විය. ඒ කලි උපචාර බලයෙකින් වූ යේ නො වේ. අර්පණා බලයෙකින් වූයේ නො වේ. හුදෙක් වසු කෙරෙහි පැවැති දැඩි ප්‍රිය සිත් බලයෙන් වූයේ ය. මෛත්‍රිය මේ සා මහානුභාව ඇතැයි දත යුතු.
8. තුවටං චිත්තං සමාධියෙති = මෙත් වඩන්නහුගේ සිත වහා සමාහිත වේ. එහි ලැසි බවෙක් නම් නොවේ.
9. මුඛවණ්ණො විප්පසීදති = නැට්ටෙන් ගිලිහුණු තල් ගෙඩියක් සේ ඔහුගේ මුහුණ ඉතා පහන් වේ.
10. අසම්මුළෙහා කාලං කරොති = මෙත් වඩන්නහුට සිහි මුළා වැ වන මරණයෙක් නැති. නුමුළා වැ මැ නිදි ගත්තා සේ කලුරිය කෙරේ.
11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගො හොති = ඉදින් රහත් වැ ගන්නට නො හැකි වී නම් නිදා පිබිදිය සේ ගොස් බඹ ලොව උපදින්නේ ය.
මෛත්‍රී භාවනායෙහි විස්තර කථාව නිමියේ යි.