දස අනුස්සතියට අනතුරු වැ දක්වන ලද මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණ අතුරෙන් මෛත්‍රී බ්‍රහ්ම විහරණ වඩනු කැමැති ආදිකම්මික යෝගීහු විසින් කුඩා මහත් පළිබෝධයෙන් දුරු වැ කර්‍මස්ථානය ගෙනැ භක්ත කෘත්‍යය නිමවා භක්ත මුර්ඡාව ද සන්සිඳුවා ගෙනැ විවේක ස්ථානයෙක පනවන ලද ආසනයෙහි සුවසේ හිඳැ පළමුකොට ද්වේෂයෙහි ආදීනව ද ක්‍ෂාන්තියෙහි ආනිසංස ද සිහිකළ යුතු. කුමක් හෙයින් ද මේ භාවනායෙන් කළ යුත්තේ ද්වේෂය දුරු කිරීම ය. ක්‍ෂාන්තිය ලැබැ ගැනීම ය. ආදීනව නුදුටු කිසිවක් දුරුකරන්නට හෝ ආනිසංස නුදුටු කිසිවක් ලැබැ ගන්නට බැරි ය. එ බැවින් “දුට්ඨො ඛො ආවුසො දොසෙන අභිභුතො පරියාදිනත චිත්තො පාණම්පි හන්ති”[1] යනාදීන් වදාළ සූත්‍රානුසාරයෙන් ද්වේෂයෙහි ආදීනව දැක්ක යුතු ය.
‘මහණෙනි! ද්වේෂයෙන් දූෂිත වූ, අභිභුත වූ හාත්පසින් අල්ලා ගන්නා ලද සිත ඇත්තා වූ පුද්ගලයා ප්‍රාණඝාත ද කරන්නේ ය’ යනු එහි අර්‍ථ යි.
“ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බාණංපරමංවදන්ති බුද්ධා”[2]
“ඛන්තීබලං බලාණිකං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”[3]
“ඛන්ත්‍යා භීය්‍යො න විජ්ජති”[4]
යනාදීන් වදාළ ධර්‍මානුසාරයෙන් ක්‍ෂාන්තියෙහි ආනිසංස දැක්ක යුතු ය. ‘ක්‍ෂාන්ති සංඛ්‍යාව තිතක්‍ෂාව - ඉවසීම පරම තපස ය, ‘ක්‍ෂාන්තිය බල කොටැ ඇති ක්‍ෂාන්තිය බල ඇණි කොටැ ඇති ඔහු මම බ්‍රාහ්මණයා යි කියමි’ ‘ක්‍ෂාන්තියට වඩා උසස් ගුණයෙක් නැත’ යනු එහි අර්‍ථ යි.
මෙසේ ආදීනව දැකැ ද්වේෂයෙන් සිත මුදනු සඳහා ද ආනිසංස දැකැ ක්‍ෂාන්තියෙහි සිත යොදනු සඳහා ද මෛත්‍රී භාවනාවට පටන් ගත යුතු ය. පටන් ගනුවන් විසින් පළමු කොටැ ම ‘මේ මේ පුද්ගලයන් කෙරෙහි මෛත්‍රී වැඩිය යුතු ය. මේ පුද්ගලයන් කෙරෙහි මෛත්‍රී නො වැඩිය යුතු ය’ යි පුද්ගල දෝෂ දැනගත යුතුයි.
අප්‍රිය, අතිප්‍රියසහාය, මධ්‍යස්ථ, වෛරී යන මේ සතර පුද්ගලයන් කෙරෙහි පළමු කොටැ මෛත්‍රී නො වැඩිය යුතු ය. ලිඞ්ග විසභාගයන් කෙරෙහි සීමා වශයෙන් මෛත්‍රී නො වැඩිය යුතුය. මළවුන් කෙරෙහි ද මෛත්‍රී නො වැඩිය යුතු යි.
කුමක් හෙයින් ද අප්‍රිය පුද්ගලයා ප්‍රිය තන්හි තබා ගන්නට යාමෙන් සිත පීඩා වන්නේ ය. අති ප්‍රිය සහායයා මධ්‍යස්ථ තන්හි තබා ගන්නට යාමෙන් එසේ ම සිත පීඩා වන්නේ ය. ඔහුට ස්වල්ප වූ ද දුකක් වූ විට හඬන්නට පවා සිදු වේ. මධ්‍යස්ථ පුද්ගලයා ගරු තන්හි ප්‍රිය තන්හි තබා ගන්නට යාමෙන් ද සිත පීඩා වන්නේ ය. වෛරී පුද්ගලයා හිසිවන්නා හා ම ක්‍රෝධය උපදින්නේ ය. එ බැවින් අප්‍රියාදි සතර දෙනා කෙරෙහි පළමු කොටැ මෛත්‍රී නො වැඩිය යුතු. ලිඞ්ග විසභාගයෝ නම් ස්ත්‍රීන්ට පුරුෂයෝ ය පුරුෂයන්ට ස්ත්‍රීහු ය. ඔවුන් කෙරෙහි සීමා වශයෙන් අසවලාට හෝ අසවලීට මෛත්‍රී කරන්නට යාමෙන් මෛත්‍රිය නො වැ වැඩෙන්නේ රාගය යි.
පෙර එක් ඇමති දරුවෙක් “ස්වාමීනි! කවුරුන් කෙරෙහි මෛත්‍රී වඩම් ද”යි කුලුපග භික්‍ෂුවක් විචාළේ ය. හේ “ප්‍රියවතකු කෙරෙහි වඩව”යි කීය. ඒ ඇමති දරුවාට සිය බිරිය ප්‍රිය ය. හේ ඇය කෙරෙහි මෛත්‍රී වඩන්නට යාමෙන් මුළු රැය ම භිත්ති යුද්ධය කෙළේ යි[5]* එ බැවින් ප්‍රිය පුද්ගලයා කෙරෙහි සීමා වශයෙන් පළමු කොටැ මෛත්‍රී නො වැඩිය යුතු.
මළවුන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් අර්පණා-උපචාර ලැබ ගත නො හැකි ය. එක් නවක භික්‍ෂූ නමෙක් ආචාර්‍ය්‍යයන් කෙරෙහි මෛත්‍රී වැඩුයේ ය. එහෙත් ඔහුගේ මෛත්‍රිය සඵල නො වෙයි. හේ මහ තෙරුන් කරා ගොස් “ස්වාමිනි! මට මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය මැනවින් ප්‍රගුණය. එහෙත් එයට සම වැදැ ගන්නට බැරි ය. කරුණු කිම දැ යි” විචාළේ ය. මහ තෙරුන් වහන්සේ “ඇවැත්නි! නිමිත්ත ජීවත් වැ ඇද්දැ යි පිරික්සවා”යි කී සේක. හේ පිරික්සනුය් ආචාර්‍ය්‍යයන් අපවත් වූ බැව් දැනැ අන් තැනෙක මෙත් වඩා අර්පණා ලද, එ බැවින් මළවුන් කෙරෙහි ද මෛත්‍රී නො වැඩිය යුතු.
මෛත්‍රී වඩන්නා විසින් සියල්ලට පළමු වැ “මම සුවපත්මි, නිදුක්මි” කියා හෝ “මම වෛර නැත්තේමි, ව්‍යාපාද නැත්තෙමි, උපද්‍රව නැත්තේමි. සුව සේ ආත්මය පරිහරණය කරමි” කියා හෝ පුන පුනා තමන් කෙරෙහි ම මෛත්‍රී වැඩිය යුතු. මෙහි ලා ප්‍රශ්නයෙකි. එසේ පළමු කොට තමා කෙරෙහි ම මෛත්‍රී වැඩිය යුතු නම් විභඞ්ගයෙහි “කථං ච භික්ඛවෙ, භික්ඛු මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. සෙය්‍යථාපි එකං පුග්ගලං පියං මනාපං දිස්වා මෙත්තාය ය්‍ය එවමෙව සබ්බසත්තෙසු මෙත්තාය ඵරති”[6] ‘මහණෙනි! භික්‍ෂු තෙමේ මෛත්‍රී සහගත සිතින් කෙසේ එක් දිගක් පතුරුවා වෙසේ ද ප්‍රිය මනාප එක් පුද්ගලයකු දැකැ මෙත් කරන්නා සේ සියලු සතුන් කෙරෙහි මෙත් පතුරුවන්නේ ය’යි ද පටිසම්භිදායෙහි “කතමෙහි පඤ්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්තා චෙතොවිමුත්ති භාවෙතබ්බා! සබ්බෙ සත්තා -පෙ- සබ්බෙපාණා -පෙ- සබ්බෙ භුතා -පෙ- සබ්බෙ පුග්ගලා -පෙ- සබ්බෙ අත්තභාව - පරියා පන්තා අවෙරාහොන්තු අබ්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු.”[7] ‘කවර පස් ආකාරයෙකින් අනොධිසො ඵරණ වශයෙන් මෛත්‍රී වැඩිය යුතු ද සියලු සත්‍වයෝ සියලු ප්‍රණීහු සියලු භුතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්මභාව පර්‍ය්‍යපන්නයෝ, අවෛර, අව්‍යාපාද, අනීඝවෙත්වා, සුව සේ ආත්ම පරිහරණය කෙරෙත්වා’යි යි ද, කරණීය මෙත්ත සූත්‍රයෙහි “සුඛීනො වා ඛෙමිනො හොන්තු සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”[8] සියලු සත්‍වයෝ සුඛිත වෙත්වා, ක්‍ෂෙමී වෙත්වා, සුවපත් වෙත්වා’ය යි ද, කුමක් හෙයින් සියලු සතුන් කෙරෙහි මෛත්‍රී වැඩිය යුතු ය යි වදාළ සේක් ද, එහි හා මෙහි නො වදාරන ලද්දේ නො වේ ද,
උත්තර මෙසේ ය:- සැබව එහි තමා කෙරෙහි මෛත්‍රී භාවනා වෙක් නො වදාරන ලද්දේ ය. එහෙත් එහි හා මෙහි හා විරෝධයෙක් ද නැත්තේ ය. කුමක් හෙයින් ද, එහි මෛත්‍රී භාවනා විධි දක්වන ලද්දේ අර්පණා වශයෙනි. මෙහි සාක්‍ෂ්‍ය වශයෙනි. අවුරුදු සියයක් දහසක් නමුදු “මම සුවපත්මි” යනාදි වශයෙන් තමා කෙරෙහි මෛත්‍රී වඩන්නහුට අර්පණා නො ලැබේ. එසේ වැඩීමෙන් ‘මම යම්සේ සුවපත් වනු කැමැත්තෙම් ද, දුකට පිළිකුල් කරම් ද, ජීවත්වනු කැමැත්තෙම් ද, නො මැරෙනු කැමැත්තෙම් ද එසේ අන්‍ය සත්ත්‍වයෝත් කැමැති වෙති’යි තමා සාක්‍ෂ්‍ය තන්හි තබා අනුන් කෙරෙහි හිත සුව කැමැති බව උපදින්නේ ය. භගවත් බුදුන් විසින් ද
“සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා
නෙවජ්ඣගා පියතර මත්තනා ක්වචි
එවං පියො පුථු අත්තා පරෙසං
තස්මා න හිංසෙ පරං අත්තකාමො”[9] යි.
‘සිතින් සියලු දිග් සොයා බැලුව ද ඒ කිසි දිගෙක තමහට වඩා ප්‍රියතරයෙක් නො ලැබෙන්නේ ය. ඔවුනොවුනට තම තමන්ගේ ශරීර වෙන වෙන ම ප්‍රිය ය. එබැවින් තමහට හිත කැමැත්තේ අනුනට හිංසා නො කරන්නේ ය’යි තමා සාක්‍ෂි භාවයේ තබා සතුන් කෙරෙහි මෙත් වැඩිය යුතු ය. යන මේ ක්‍රමය වදාරන ලද්දේ ම ය. එ බැවින් සාක්‍ෂි පිණිස පළමු කොටැ තමා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. ඉක්බිති සුවසේ මෙත් පවත්වනු පිණිස තමහට ප්‍රිය මනාප ගරු භාවනීය ආචාර්‍ය්‍යවරයෙක් හෝ ආචාර්‍ය්‍ය සමානයෙක් හෝ උපාධ්‍යායයෙක් හෝ උපාධ්‍යාය සමානයෙක් හෝ වේ නම් ඔහුගේ දාන ප්‍රිය වචනා දි වූ ප්‍රිය මනාප කාරණ ද, ශීලශ්‍රැතාදි වූ ගරු භාවනීය කාරණ ද සලකා “ඒ සත් පුරුෂයාණෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා” යනාදි ක්‍රමයෙන් මෙත් වැඩිය යුතු ය. මෙබන්දන් කෙරෙහි මෙත් වැඩීමෙන් එකාන්තයෙන් අර්පණා ලැබැ ගත හැකි ය.
මේ යෝගී විසින් එතෙකින් ම සතුටට නො පැමිණැ සීමා සමේභදය කරනු කැමැත්තෙන් ඉක්බිති අතිප්‍රිය මිත්‍රයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. අතිප්‍රිය මිත්‍රයා කෙරෙහි මෙත් වඩා ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වඩා ඉක්බිති වෛරී පුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. මේ එක් එක් කොට්ඨාසයෙහි සිත මෘදු කොටැ කර්‍මණ්‍ය කොටැ ඉක්බිති අනතුරු කොට්ඨාශයෙහි මෙත් වැඩිය යුතු බව දත යුතු. (“පළමු කොටැ ප්‍රිය ගරු ස්ථානයෙහි මෛත්‍රී භාවනාවට පැමිණැ වසී භාවයට පැමිණි සිත්හු කොට්ඨාසාන්තරයට පමුණුවනු පිණිස මෘදු කර්‍මණ්‍ය කොටැ තදන්තර වැ අති ප්‍රියයා කෙරෙහි මෙත් වැඩිය යුතු. අති ප්‍රියයා කෙරෙහි මෛත්‍රී භාවනාවට පැමිණැ වසී භාවයට පැමිණි සිත්හු කොට්ඨාසාන්තරයට පමුණුවන පිණිස මෘදු කර්‍මණ්‍ය කොටැ තදන්තරයෙහි මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වැඩිය යුතු මධ්‍යස්ථයා කෙරෙහි උදාසීනභාවය විෂ්කම්භනය කොටැ ප්‍රිය භාවය ද එළවා භාවනා කළ යුතු නැවත ඒ භාවනාව ද වසී භාවාපාදනයෙන් මෘදු කර්‍මණ්‍ය කොට තදන්තර වැ වෛරීන් කෙරෙහි වෛරී සංඥා විෂ්කම්භනය කොටැ මධ්‍යස්ථයට පමුණුවන මුඛයෙන් ප්‍රිය භාවය ද උපදවන්නහු විසින් භාවනා එළවිය යුතු” යනු සන්න යි.)
ඉදින් යමකුහට වෛරී පුද්ගලයෝ හෝ නැත්නම් තමා මහා පුරුෂ ජාතික බැවින් නර්‍ථ කරන්නහු කෙරෙහි දු වෛරී සංඥා හෝ නූපදී නම් ඔහු විසින් “දැන් මගේ භාවනාව මධ්‍යස්ථයා කෙරෙහි කර්‍මණ්‍ය විය. වෛරී පුද්ගලයා කෙරෙහි ඉතින් භාවනා එළවමි”යි ව්‍යාපාර නො කළ යුතු යි. යමකුට වෛරී පුද්ගලයෝ ඇත් නම් ඔහු සඳහා ය. වෛරී පුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතුය යි කියන ලද්දේ (මහාපුරුෂ ජාතිකයා චිරකාල පරිචයයෙන් සමෘද්ධ වූ ක්‍ෂාන්ති - මෛත්‍රී - කරුණාදි ගුණ සමන්විත බැවින් උදාර අදහස් ඇත්තේ ය. සියල්ල ඉවසන සුලු වූ හෙතෙමේ පරාපරාධය තණපතකට ද නො තකන්නේ ය.”
වෛරී පුද්ගලයා කෙරෙහි මෛත්‍රී එළවත් ම ඉදින් ඔහු විසින් කරන ලද අපරාද සිහි වීමෙන් ඔහු කෙරෙහි ක්‍රෝධ උපදී නම් එවිට පළමු කීවවුන් අතුරෙන්න යමකු කෙරෙහි මෛත්‍රී ධ්‍යාන ලබා එයින් නැඟී නැවත ඔහු කෙරෙහි මෛත්‍රී සිතීමෙන් ක්‍රෝධය දුරු කැරැ ගත යුතු යි. ඉදින් එසේත් ක්‍රෝධය නො සන්සිඳේ නම් කකචුපමොවාදා දි අනුසාරයෙන් ක්‍රෝධය දුරු කැරැ ගන්නට නැවත නැවත උත්සාහ කළ යුතු. ඔහු විසින් තමහට මෙසේ අවවාද කැරැගත යුතු යි.
‘කොළ! ක්‍රෝධ ශීලී පුද්ගලය! බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාළසේක් නො වේ ද,
(1) “උභතො දණ්ඩකෙන චෙපිභික්ඛවෙ කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්‍රාපි යො මනොපදොසෙය්‍ය න මෙ සො තෙන සාසනකරො”[10] යි.
(2) තස්සෙව තෙන පාපියො - යො කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුජ්ඣන්තො - ස ගාමං ජෙති දුජ්ජයං
උභින්නමත්‍ථ චරති - අත්තනො ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්‍වා යො සතො උපසම්මති”[11] යි.
(3) ‘සත්තිමෙ භික්ඛවෙ ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්‍වා පුරිසං වා. කතමෙ සත්ත?
ඉධ භික්ඛවෙ සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති ‘අහොච තයාං දුබ්බණ්ණො අස්සා‘ති තං කිස්ස හෙතු? න භික්ඛවෙ සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්‍දති. කොධනායං භික්ඛවෙ පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කිඤ්චාපි සො හොති සුනහාතො සුවිලිත්තො කප්පිත කෙස මස්සු ඔදාතවත්‍ථවසනො. අථඛො සො දුබ්බණ්ණොව හොති කොධාභිභූතො. අයං භික්ඛවෙ පඨමො ධම්මො සපත්ත කන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්‍ථි වා පුරිසං වා.
පුන ච පරං භික්ඛවෙ සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති ‘අහොවතායං දුක්ඛං සයෙය්‍යා’ ති -පෙ-‘න පචුරත්‍ථො අස්සා‘ ති -පෙ- ‘න භොගවා අස්සා’ ති -පෙ- ‘න යසවා අස්සා’ ති -පෙ- ‘න මිත්තවා අස්සා ‘ති -පෙ- ‘න කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජෙය්‍යා ති. තං කිස්ස හෙතු, න භික්ඛවෙ සපත්තො සපත්තස්ස සුගති ගමනෙන නන්‍දති. කොධනායං භික්ඛවෙ පුරිසපුග්ගලො කොධාභිභුතො කොධපරෙතා කායෙන දුච්චරං චරති වාචාය දුච්චරං චරති. මනසා දුච්චරං චරති. සො කායෙන දුච්චරිතං චරිත්‍වා වාචාය දුච්චරිතං චරිත්‍වා මනසා දුච්චරිතං චරිත්‍වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති කොධාභිභූතො”[12] යි.
(4) “සෙය්‍යථාපි භික්ඛවෙ ඡවාලාතං උභතො පදිත්තං මජ්ඣෙ ගූථගතං නෙව ගාමෙ කට්ඨත්‍ථං ඵරති, න අරඤ්ඤෙ කට්ඨත්‍ථං ඵරති. තථූපමාහං භික්ඛවෙ ඉමං පුරිස පුග්ගලං වදාමි”[13]
‘ඉදින් තෝ දැන් කිපුණෙක් වන්නෙහි නම් බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය නොකරන්නෙක් වන්නෙහි ය. කිපුණහට පෙරළා කිපුණෙහි නම් ඒ කිපුණ පුද්ගලයාටත් වඩා තෝ පාපිෂ්ඨයෙක් වැ නො දිනිය හැකි සංග්‍රාමය නො දිනන්නෙහි ය. සපත්තකරණ ධර්‍ම තෙමේම තමා කෙරෙහි ඇති කැරැ ගන්නෙහි ය. සොහොන් පෙනෙල්ල බඳු ද වන්නෙහි ය.’
වදාළ පාලියෙහි අර්‍ථ මෙසේ ය.
(1) ‘මහණෙනි! ඉදින් දෙපස පොලු ලූ කියතෙකින් නපුරු වූ සොරු තම සිරුරු අවයව කපත් නම් එහිදී පවා යමෙක් සිත දූෂ්‍ය කැරැ ගත්තේ නම් හේ මාගේ ශාසනය කරන්නෙක් නො වන්නේ ය.’
(2) ‘යමෙක් කිපුණහුට පෙරළා කිපේ නම් හේ පළමු කිපුණහුටත් වඩා පාපිෂ්ඨයෙකි. කිපුණහුට පෙරළා නො කිපෙන්නේ නො දිනිය හැකි යුද්ධයක් දිනුයේ වන්නේ ය. අන්‍යයා කිපුණාදැකැ යමෙක් සිහි ඇති වැ ඉවසා නම් හේ තමහට ද අන් හට ද යන දෙපසට ම වැඩ සාධන්නේ ය.’
(3) ‘මහණෙනි! සතුරකු විසින් තම සතුරාට කරනු කැමති වූ මේ ධර්‍ම සතෙක් ක්‍රෝධ කරන සුලු ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ ඉබේ ම පැමිණෙන්නේ ය.’
කවර නම් ධර්ම සතෙක් ද
1. ‘මහණෙනි! හෝ! මේ දුර්‍වර්ණ වේ නම් මැනවැ’යි සතුරා සතුරා ගැනැ සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරා ගේ වර්‍ණ සම්පත්තිය නුරුස්නේ ය. මහණෙනි! ක්‍රෝධශීලි පුද්ගලයා ඉදින් දිය නා පියා සුවඳ විලවුන් ගල්වා හිස රැවුල් අන්දම තබා පිරිසිදු සුදු පිළි හැඳ සිටියේ නමුදු දුර්‍වණ මැ වන්නේ ය. මහණෙනි! ක්‍රෝධ ශීලී ස්ත්‍රිය කරා හෝ පුරුෂයා කරා හෝ පැමිණෙන මේ පළමු වන සපත්ත කරණ (සතුරු) ධර්‍මය යි.
2. ‘මහණෙනි! අහෝ! මේ දුකසේ වසන්නේ නම් මැනවැ’යි සතුරා, සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි1 සතුරා තම සතුරාගේ සුඛ වාසය නුරුස්නේ ය.
3. ‘මහණෙනි! අහෝ! මේ ධනවත් නොවන්නේ නම් මැනවැ”යි සතුරා සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, සතුරා නම් සතුරාට ධනවත් බව නුරුස්නේ ය.
4. ‘මහණෙනි! අහෝ! මේ උපභෝග පරිභෝග වස්තු ඇත්තෙක් නො වන්නේ නම් මැනවැ’යි සතුරා සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරාගේ උපභෝග පරිභෝග වස්තු ඇති බව නුරුස්නේ ය.
5. ‘මහණෙනි! අහෝ! මේ යස පිරිවර ඇත්තෙක් නො වන්නේ නම් මැනවැ’ යි සතුරා, සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරා හට යස පිරිවර ඇති බව නුරුස්නේ ය.
6. ‘මහණෙනි! අහෝ! මේ මිත්‍රයන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවැ”යි සතුරා, සතුරා ගැනැ සිතන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සතුරා තම සතුරාගේ මිත්‍රයන් ඇති බව නුරුස්නේ ය.
7. ‘මහණෙනි, අහෝ! මේ මරණින් මතු ස්වර්‍ගයෙහි නූපදනේ නම් මැනවැ”යි සතුරා සතුරා ගැන සිතන්නේ ය. කුමක් හෙයින් ද, සතුරා තම සතුරා ගේ ස්වර්‍ගෝත්පත්තිය නුරුස්නේ ය. මහණෙනි! ක්‍රෝධශීලී පුද්ගලයා කයින් වචනයෙන් සිතින් දුශ්චරිත කරන්නේ ය. කොටැ කා බුන් මරණින් මතු අපායෙහි උපදින්නේ ය.
(4) ‘මහණෙනි! දෙ කොන ගිනි ඇවිළ ගත් මැද අසුචි වැකුණු සොහොන් පෙනෙල්ල ගමේ දර වැඩක් හෝ කැලේ දර වැඩක් හෝ නො කරන්නේ ය. මහණෙනි! මේ ක්‍රෝධශීලී පුද්ගලයා ද එ බඳු යැ’යි කියමි. (මේ යට දැක්වුණු දේශනා පාළියේ අර්‍ථයි)
මෙසේ ගැටෙත් ම වෑයම් කරත් ම ඉදින් ක්‍රෝධය සන්සිඳේ නම් මැනව. නොසන්සිඳේ නම් ඔහුගේ ශාන්ත පිරිසිදු-ප්‍රසාදාවහ ගුණධර්‍ම ඇතහොත් ඒ සලකා සන්සිඳුවා ගත යුතු ය. ඇතැමකුගේ කාය සමාචාර ශාන්ත ය. වත් පිළිවෙත් කරන කල ඒ බව සියල්ලන්ට දැනගත හැකි ය. එහෙත් ඔහුගේ වාක්-මනස් සමාචාර අශාන්ත ය. අශාන්ත වූ ඒ වාක් - මනස් සමාචාර නො සිතා ශාන්ත වූ කායසමාචාර ම සිතිය යුතු ය. ඇතැමකු ගේ වාක් සමාචාර ශාන්ත ය. ඒ බව සියල්ලන් අතර ප්‍රසිද්ධ ය. හේ ස්වභාවයෙන් ම පිළිසඳර කථායෙහි දක්‍ෂ ය. මෘදු ප්‍රිය වචන ඇත්තේ ය. මෙරමා සතුටු කරන්නේ ය. නිතර මුහුණ ප්‍රීති සහගත ය. කිසිවකු එළඹි විට තෙමේම පළමු වැ කථා උපදවයි. පරිපූර්‍ණ පද ව්‍යඤ්ජනයෙන් මධුර ස්වර නඟා දහම් දෙසන්නේ ය. එහෙත් ඔහුගේ කාය මනස් සමාචාර අශාන්ත ය. ඒ අශාන්ත කායමනස් සමාචාර නො සිතා ශාන්ත වාක්-සමාචාර ම සිතිය යුතු ය. ඇතැමකුගේ මනස්සමාචාර ශාන්ත ය. ඒ බව ඔහුගේ සෑ වැඳුම් ආදියෙහි දී සියල්ලන්ට දැනැ ගත හැකි ය. නො සන්සුන් සිත් ඇතියකු සෑ හෝ බෝ හෝ තෙරුන් හෝ වඳනා කල සකස් වැ නො වඳින්නේ ය. බණ අසන කල වික්‍ෂිප්ත වැ හෝ නිදි කිරමින් හෝ ඉන්නේ ය. සන්සුන් සිත් ඇතියා වඳනා කල කල්පනා සහිත වැ සකසා වඳින්නේ ය. කන් නමා අරුත් සලකා අන්තර් ජනිත ප්‍රීතිය කයින් හෝ වචනයෙන් හෝ ප්‍රකාශ කරමින් අසන්නේ ය. එහෙත් ඔහු ගේ කාය - වාක් සමාචාර අශාන්ත ය. ඒ අශාන්ත කාය - වාක් සමාචාර නො සිතා ශාන්ත මනස්සමාචාරය ම සිතිය යුතු ය.
ඇතැමකුගේ මේ ත්‍රිවිධ සමාචාර ම අශාන්ත ය. එකකු දු ශාන්ත නැත එබන්දා කෙරෙහි ‘මේ අද මිනිස් වෙසින් හැසිරෙතත් ස්වල්ප දිනෙකින් අට මහ නිරා සොළොස් ඔසුපත් නිරා පුරන්නේ ය’යි කරුණා උපදවිය යුතු ය. කරුණාව නිසා ක්‍රෝධය සන්සිඳෙන්නේ ය.
ඇතමෙකු ගේ මේ ත්‍රිවිධ සමාචාර ම ශාන්ත ය. එයින් යමක් යමක් තමහට රිසිසේ නම් ඒ ඒ සලකා ක්‍රෝධය සන්සිඳුවා ගත යුතු ය. එබන්දා කෙරෙහි මෛත්‍රී වැඩීම දුෂ්කර නො වේ. මෙහි ලා අඞ්ගුත්තර පඤ්චක නිපාතයෙහි “පඤ්චිමෙ අවුසො ආඝාතපටිවිනයා යත්‍ථාභික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බා”[14] යනාදීන් වදාළ ආඝාතපටිවින සූත්‍රය විස්තර කළ යුතු යි.
මෙසේ වෑයම් කොටස් ඉදින් ක්‍රෝධය නො සන්සිඳේ නම් ඉක්බිති තමා ම මෙසේ අවවාද කැරැගත යුතු ය.
‘සතුරා ඔහු අයත් - තගෙ සිරුරෙ දුක් දෙන්නේ,
තෝ ඔහු අයත් නැති - සිතෙහි කිම දුක් දියටි වන්නේ!
හිතවත් මව් පිය - නෑ මිතුරන් හැරැ පියා
තමහට අහිතට වැටෙන - කෝ සතුරු නො හරනෙ කිම?
රකින හැම සිල් මුල් - කපා ලන කෝ සතුරා
ළෙලි ලා නලවන්නෙහි - තා වැනි ජඩයෙක් කවර?
ඔහු විසින් තා හට - නපුරක් කෙළෙ ය යි කිපෙහි
තෝ තමහට එබඳු - නපුරක් කරනු රිසියෙහි
තා රොස් කරන්නට - සතුරා ඒ නපුර කෙළෙ
රොස් වීමෙන් තමා - ඔහුගේ මන දොළ පුරනෙහි
කිපුමෙන් සතුරු හට - දුක් දිය හැකි වෙ නො හැකි වෙ
තෙමේ තමහට පළමු වැ - කෝ දුක් දී පෙළන්නේ
සතුරා කොවින් ඇඳ - අභිත මඟට වැටුණේ
තොද ඔහුට කිපීමෙන් - ඔහු අනුවැ යන්නේ වෙහි
යම් රොසෙකින් සතුරු - තා හට අවැඩ කෙළෙ නම්
ඒ රොස ම නසා ලව් - බලු මෙන් නො තැනැ නො වෙහෙස
යම් කඳෙකින් සතුරු - තා හට නපුරු කෙළෙ නම්
සැනෙකින් ඒ නැසී ගියෙ - දැන් කුමට රොස් කරනුයෙ
දුක් දෙන කෙනෙක් ඔහු - නැති වැ කා හට දුක් දෙති?
තෙමෙ ම දුකට හේතුවැ - කුමකට ඔහුට කිපෙනේ?
මෙසේ තම හට අවවාද කැරැ ගැන්මෙනුත් කෝපය නො සන්සිඳේ නම් ඉක්බිති තමා ගේ ද, සතුරා ගේ ද කර්‍මස්වකතාව සලකන්නේ මෙසේ ය:- ‘එම්බා! තෝ ඔහුට කිපී කුමක් කරන්නෙහි ද, තගේ මේ ද්වේෂ මූලක කර්‍මය තට ම අනර්‍ථ පිණිස වන්නේ නො වේ ද, තෝ කර්‍මය ස්වකීය කොටැ ඇත්තෙකි. කර්‍මය දායාද කොටැ ඇත්තෙකි. කර්‍මය උත්පත්තිස්ථාන කොටැ ඇත්තෙකි. කර්‍මය බන්‍ධු කොටැ ඇත්තෙකි, කර්‍මය පිළිසරණ කොටැ ඇත්තෙකි, තා කරන කර්‍මයට තෝ ම දායාද වන්නෙහි, තගේ මේ කර්‍මය සම්‍යක් සම්බෝධිය හෝ ප්‍රත්‍යෙක බෝධිය හෝ ශ්‍රාවක භූමිය හෝ බ්‍රහ්මභාවය හෝ ශක්‍ර භාවය හෝ චක්‍රවර්ති භාවය හෝ ප්‍රදේශ රාජ්‍යාදි අතුරෙන් කිසි සම්පත්තියක් හෝ සිද්ධ කැරැ දෙන්නට සමර්‍ථ ද නැත. වැළි කුමක් කර දෙන්නට සමර්‍ථ ද, සස්නෙන් චුත කොටැ පියා විඝාසාදාදි භාවය හෝ නරකාදි දුක් හෝ සිද්ධ කැරැ ගන්නට සමර්‍ථ ය. මේ ක්‍රෝධ කරන තෝ දෑතින් ගිනි අඟුරු හෝ අසුචි හෝ ගෙනැ අන්හට දමා ගසන්නකු වැන්න, පළමු කොටැ තමා ම පලහා ලන්නෙහි ය. දුගඳ කැරැ ලන්නෙහි ය. මෙසේ තමාගේ කර්‍මස්වකතාව සැලකිය යුතු ය. සලකා ඉක්බිති අන්‍යයාගේ කර්‍මස්වකතාව සැලකිය යුතු ය.
එ මෙසේ ය :- ‘හේ කිපී තට කුමක් කරන්නේ ද, ඔහුගේ කිපුම ඔහුටම ය අනර්‍ථ පිණිස වන්නේ , හෙ ද තා සේම කර්‍මස්වකය, කර්‍මදායාදය, කර්‍මයොනීය, කර්‍මබන්‍ධු ය, ඔහුගේ කර්‍මය ඔහුට බුදු - පසේ බුදු - බුදුසව් පදවි හෝ බ්‍රහ්ම - ශක්‍ර - චක්‍රවර්‍තති - ප්‍රදේශ රාජ්‍යාදි සම්පත් හෝ සිද්ධ කැරැ දෙන්නට සමර්‍ථ ද නැත. හුදෙක් ශාසනයෙන් බැහැරැ කොටැ පියා විඝාසාදාදි භාවය හෝ නරකාදි දුක් හෝ සිද්ධ කැරැ දෙන්නට ය සමර්‍ථ. තට මේ නපුර කරන හේ උඩු සුළඟට දූලි ගසාලන්නකු සේ තමාට ම දුක් පමුණුවා ගන්නේ ය. බුදුහු ද මේ වදාළෝ ය.
“යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස නිරඞ්ගනස්ස
තමෙච බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවාතං ච ඛිත්තො”[15]
‘යමෙක් තමහට හෝ අන්හට හෝ ද්වේෂ නො කරන නික්ලේශ, නිරපරාධ පුරුෂයකු හට ද්වේෂ කෙරේ නම් උඩු සුළඟට ලූ සියුම් දූවිල්ල සේ පාපය අඥාන වූ ඔහු කරා ම පෙරළා එන්නේ ය.’
මෙසේ කර්‍මස්වකතා සැලකීමෙනුදු නො සන්සිඳේ නම් ඉක්බිති ශාස්තෘන්වහ්නසේගේ පූර්‍ව චරිත ගුණ සැලකීමෙන්වත් සන්සිඳුවා ගත යුතු ය.
ඒ මෙසේ ය :- ‘එම්බා තාගේ ශාස්තෘන් වහන්සේ බුදු වන්නට පෙර බොධිසත්ත්‍ව වැ ම සියුරාසැකි කප් සුවහසක් මුළුල්ලෙහි පාරමී පුරන සේක් ඒ ඒ ජාතීන්හි දී වධකයන් කෙරෙහිත් සතුරන් කෙරෙහිත් සිත දූෂ්‍ය නො කළ සේක් නො වෙද්ද, බලව.
සීලව ජාතකයෙහි :- සිය දේවියට වරද කළ දුෂ්ට ඇමැතියා විසින් ගෙන්වා ලූ සතුරු රජා තුන්සිය යොදුන් රාජ්‍යය පැහැරැ ගනුත් ඒ වළකන්නට නැඟී ආ ඇමැතියනට ආයුධයක් අල්ලන්ට ද නුදුන් සේක. නො දී දහසක් ඇමැතියන් සමග අමුසොහොනේ කර වරක් බිම සිටුවා පස් ගසන ලද සේක් චිත්ත දූෂ්‍ය මාත්‍රයකුදු නො කොටැ කුණප කනු පිණිස පැමිණි සිවල් බල්ලන් ලවා පුරුෂොත්සාහයෙන් පස් බුරුල් කරවා ගෙනැ දිවි ලැබැ යක්ෂානුභාවයෙන් ස්වකීය සිරි යහප් ගබඩාවේ බැසැ සිරි යහනේ වැදැහොත් සතුරු රජා දැක කෝපයට නො පැමිණැ ඔවුනොවුන් දිවුට මිත්‍රත්‍වයේ පිහිටුවා මෙසේ කී සේක :-
“ආසිංසෙථෙව පුරිසො - න නිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො
පස්සාමි වොහං අත්තානං - යථා ඉච්ඡිං තථා අහුං” යි.
‘පිරිමියෙක් නම් අභිමතාර්‍ථ සිද්ධිය ආශංසා කරන්නේ මය. නුවණැත්තේ නම් (මෙසේ දුකට පැමිණි පසු සුවයෙක් කොයින් වේ දැ යි) නො කළකිරෙන්නේ ම ය. යම් ආකාරයෙකින් කිසිවකුහට පීඩා නො කොටැ රජයෙහි පිහිටුවීමට මම් කැමැති විම් ද ඒ ආකාරයෙන් ම මම් දකිමි’ යනු අර්‍ථ යි.
ක්‍ෂාන්තිවාදී ජාතකයෙහි :- නුවණ නැති කසී රජ ‘මහණ තෝ කිනම් වාදී දැ’යි පුළුවුත් කල ‘මම ක්‍ෂාන්ති වාදිමි’යි කී කල කටු සැමිටියෙන් තළා අත් - පා කපතුදු කෝප මාත්‍රයක් නො කළ සේක.
මහලු තවුසෙක් වැ එසේ කෙළේ ය. යනු ආශ්චර්‍ය්‍යයෙක් ද, චුල්ලධම්මපාල ජාතකයෙහි - උඩු බැලිවැ හෝනා ළදරුවා ද
‘මුළු පොළොවට හිමි
දහම්පල් කුමරුගෙ මේ
සඳුනලෙව් අත් සිඳැ ලති
මා පණ නැසෙයි නිරිඳුනි’යි
කියමින් සිය මෑණියන් වලපිද් දී, මහාප්‍රතාප නම් පිය නිරිඳුන් හුණ කිළිල් සේ සිය අත් පා සිඳ ලවද්දී, එතෙකිනුදු සතුටු මඳ වැ ‘මුගේ හිස සිඳුව’යි අණ දුන් කල ‘ධර්‍මපාලය! දැන් ය තගේ සිත නිගන්නට කල. එම්බා! හිස සිඳින්නට අණ ලූ පියාණන් කෙරෙහි ද, හිස සිඳිනා වධකයා කෙරෙහි ද, වලප්නා මෑණියන් කෙරෙහි ද, තා කෙරෙහි ද, සමසිත් වඩව’යි දැඩි වැ ඉටා ගෙනැ දූෂිත මාත්‍රයකුදු නො කළ සේක.
මනුෂ්‍ය වැ සිට මෙසේ කෙළේ ය යනු ආශ්චර්‍ය්‍යයෙක් ද, තිරිසන් කල ඡද්දන්ත නම් ඇත් රජ වැ විස පෙවූ ශරයෙන් නැබ විදුතුදු ඒසා අනර්‍ථකාරි වැදි කෙරෙහි ද චිත්ත දූෂ්‍ය නොකළ සේක.
කීයේ මැයි.
විස පෙවු හියෙන් විදුනා ලද සඳත් ඇ තා
මඳකුදු නො කිපි විදි වැදිගෙන් මෙ පිළිවි තා
‘කුමකට මිතුර විදියෙ ද, මට මෙ ලෙස මෙ තා
කවුරුන් දුන් ද මෙ නියෝ තට කුමක් ප තා
යි ඇසූ කල ‘හිමි! කසී රජ මෙහෙසී විසින් ඔබ දළ සඳහා එවන ලද්දෙමි’යි කී කල ඔහු ගේ මනදොළ පුරමින් සවනක් රස් විහිදෙන - දිලි දිලී බබලන සිය දළ කපා දුන් සේක.
කපි ජාතකයෙහි :- වඳුරු රජ වැ තමන් විසින් ම පර්‍වත ප්‍රපාතයෙන් නඟාලු පුරුෂයා
‘වෙන වනමුවන් සෙ - මෙද මිනිසුන්ගෙ බොජුන ය,
සයින් පෙළෙමි මෙ වඳුරු - මරා කෑයෙ නම් සොඳුරු,
මුගෙ මසින් අසිත වැ - සෙසු මස් සම්බලට ගෙනැ
කතර එතර කරමි මම - ඒ මට මං උචාරණ’
යි සිතා ගලින් ඇනැ හිස පැළු කල කඳුළු පිරුණු ඇසින් ඔහු දසා බලා
‘පින්වත! ඔබ මගේ - හිමි වැද මට කෙළෙ මෙසේ
කළ යුතු වූයෙ දිගා ! - අනුන් මෙයින් වැලකුම ය’
යි කියා ඔහු කෙරෙහි සිත දූෂ්‍ය නො කොටැ තමන්ගේ ද දුක නො සලකා ඔහු ක්‍ෂෙම භූමියට පැමිණ වූ සේක.
භූරිදත්ත ජාතකයෙහි :- භූරිදත්ත නම් නා රජ වැ පෙහෙවස් ඉටා තුඹස මත හෝනා කල කප් ගිනි බඳු ඔසුයෙන් මුළු සිරුර ඉසිතුදු පේළායෙහි ලා මුළු දඹදිව කෙළවතුදු ඒ ආලම්බන නම් බමුණා කෙරෙහි චිත්ත දූෂ්‍ය මාත්‍රයකුදු නො කළ සේක.
කීයේ මැ යි :-
‘පේළායෙහි ලතුදු - අතින් මුළු ඇඟ මඩුතුදු
සිල් කැඩෙති යන බියෙන් - අලමුනු කෙරෙහි නොකිපෙම්’යි
චමේපය්‍ය ජාතකයෙහි :- චමේපය්‍ය නම් නා රජ වැ අභිතුණ්ඩිකයා විසින් පෙළනු ලබන සේක් ස්වල්ප වූ ද චිත්ත දූෂ්‍යයකට නො පැමිණි සේක.
කීයේ මැ යි :-
‘එදා ද මා පෙහෙ වැ - සිල් රක්නා කල තොසින්
අහිතුංඩික මා ගෙනැ - රජ මැදුර මැද කෙළවා
නිල්-රන්-රතු-සුදු-මඳෙට ඈයම් පැහැයක්
හේ රිසි වූ යෙ ද එසේ - වන්නෙමි ඔහු සිතූ ලෙසට
මම කිපියෙම් නම් - ගොඩ දිය, දිය ගොඩ කරම්
මෙ මුළු පොළොව සැණෙකින් - හලු කැරැලමි තෙදෙන් මගෙ
එසේ කෙළෙ නම් මම - සීලයෙන් පිරිහෙන්නේ
සීලයෙන් පිරිහුණු කල - බුදු බව නොම ලැබෙන්නේ’
සඞ්ඛපාල ජාතකයෙහි - සඞ්ඛපාල නම් නා රජ වැ තියුණු තෙබින් අට තැනෙක විදැ පියා විදැ පූ මුඛයෙහි කටු සහිත වේවැල් බලා ලා නැහැය විදැ තද රැහැනක් දමා ලා භෝජ පුතුන් සොළොස් දෙනා කද බැඳ ගෙනැ යන කල්හි බර වැඩි බැවින් සිරුර පොළොමේ ගැටෙත් ගැටෙත් තද වේදනා ඇති කල්හි කිපී බැලූ පමණෙකින් ඒ සියල්ලන් අළු කැරැ ලන්ට පොහොසත් වුව ද ඇස දල්වා බලා ද්වේෂ මාත්‍රයනකුදු නො කළ සේක. කීයේ මැ යි:-
‘තුදුස් පසළොස් වක - පෙහෙවස් වසමි නිරතුරු
වැදි පුත්හු සොළොස් දෙන - රැහැන් මල ගෙනැ ආවෝ
නැහැය විදා ලා මගෙ - රැහැන ලා ඇරැ ගෙනැ ගියො
ඒ සා දුක් මම ඉවසම් - ඉටා ගත් සිල් නො නසම්
මෙතෙක් ද මාතුපෝසක ජාතකයෙහි තව ද නොයෙක් අසිරිමත් දේ කළ සේක. දැන් සර්‍වඥතාඥානයට පැමිණර දෙවියන් සහිත ලෝකයෙහි කිසිවකු හා අසමාන ක්‍ෂාන්ති ගුණ ඇති ඒ භගවත් ශාස්තෘන් වහන්සේ අදහන තා විසින් ක්‍රෝධ සිතක් ඉපදවීම ඉතා ම අයුතු ය, නුසුදුසු ය.
මෙසේ ශාස්තෘන් වහන්සේ ගේ පූර්‍ව චරිත ගුණ සිහි කරතුදු බොහෝ කලක් කෙලෙසුනට දාස වූ ඔහුගේ ක්‍රෝධය නො සන්සිඳේ නම් ඉක්බිති අනමතග්ගිය සූත්‍ර සිහි කළ යුතු.
ඒ මෙසේ ය:-
“න සො භික්ඛවෙ සත්තො සුලභරූපො යො න මාතා භුතපුබ්බො-යො න පිතා භුතපුබ්බො - යො න භාත-යො න භගිනි යො න පුත්තො-යො න ධීතා භුතපුබ්බො”[16] ‘මහණෙනි! පෙර මව්පියන් නො වූ, සහෝදර සහෝදරී නො වූ පුත්‍ර දුහිතෘ නො වූ සත්ත්‍වයෙක් ලැබැ ගත හැකි නොවේ’ ය යි බුදුහු වදාළහ. එ බැවින් මේ පෙර මට මවු වැ දස මසක් කුසින් උසුලා මළ මූ සෙම්-සොටු ඈ සඳුන් සේ නො පිළිකුල් වැ පහ කරමින් ළෙහි ලා නටමින් ඇකයෙන් වඩා ගෙනැ පෝෂණය කෙළේ ය. පිය වැ අජපථ සංකුපථාදියෙහි ගොස් වෙළඳාම් කරමින්, මා නිසා දිවි ද නො තකා යුද බිම් වැදැ යුද කරෙමින්, නැවින් මුහුදු යමින්, තව ද නොයෙක් සිය ගණන් දුෂ්කර ක්‍රියා කරමින් ‘පුතු රැක ගනිමි’යි නොයෙක් උපායයෙන් ධන රැස් කෙරෙමින් මා පෝෂණය කෙළේ ය. සහෝදර-සහෝදරී වැ පුත්‍ර දුහිතෘ වැ මේ සැටියෙන් උපකාර කෙළේ ය. ඔහු කෙරෙහි සිත දූෂ්‍ය කැරැ ගැන්ම නුසුදුසු ය යි සිතා ක්‍රෝධ සංසිඳුවා ගත යුතු.
එසේත් සිත නො නිවේ නම් මෙත්තානිසංස සිහි කළ යුතු ය. ඒ මෙසේ ය:- එම්බා! බුදුන් විසින් “මෙත්තාය භික්ඛවෙ වෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්‍ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමෙ එකාදස? සුඛං සුපති, සුඛංපටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියොහොති, අමනුස්සානං පියොහොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගිවා විසංවා සත්‍ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මුළෙහා කාලං කරොති, උත්තරිං අප්පටි විජ්ඣන්තො බ්‍රහ්මලොකූපගොහොති”[17] යි මෛත්‍රියෙහි අනුසස් වදාළේ නො වේ ද, ඉදින් තෝ සිත නො සන්සිඳුවා ගන්නෙහි නම් මේ අනුසස් වලින් බැහැර වන්නෙහි ය.
මෙසේ මෙත්තානිසංස සිහි කොටත් සිත නො නිවේ නම් ධාතු විනිර්භෝගය කට යුතු ය. ඒ මෙසේ ය:- ‘එම්බා! තෝ ඔහුට කිපෙමි’යි කියා කුමකට කිපෙන්නෙහි ද, කිම කෙසට කිපෙන්නෙහි ද, නැත ලොමට කිපෙන්නෙහි ද, නියට කිපෙන්නෙහි ද, -පෙ- මූත්‍රයට කිපෙන්නෙහි ද, එසේත් නො වේ නම් ඒ කෙස් ආදියෙහි පවත්නා පෘථුවිධාතුවට කිපෙන්නෙහිද, අබ්ධාතුවට කිපෙන්නෙහි ද, තේජෝ ධාතුවට කිපෙන්නෙහි ද, වායු ධාතුවට කිපෙන්නෙහි ද ස්කන්‍ධ පස ද, ආයතන දොලොස ද, ධාතු අටලොස ද නිසා පවත්නා හට මේ නම් ඇත්තෙකැයි කියති. කිම? තෝ එයින් රූපස්කන්‍ධයට කිපෙන්නෙහි ද, නැතහොත් වේදනා ස්කන්‍ධයට කිපෙන්නෙහි ද, සංඥා - සංස්කාර - විඥාන ස්කන්‍ධයට කිපෙන්නෙහි ද, කිම තෝ චක්ඛායතනයට කිපෙන්නෙහිද, -පෙ- ධම්මායතනයට කිපෙන්නෙහි ද, කිම තෝ චක්ඛු ධාතුවට කිපෙන්නෙහි ද, -පෙ- මනො ධාතුවට - ධම්ම ධාතුවට - මනොවිඤ්ඤාණ ධාතුවට කිපෙන්නෙහි ද, මෙසේ ධාතු විනිර්‍භොගය කරත් හිදි අගැ අබ සේ අහසැ සිත්තම සේ ක්‍රෝධයට ප්‍රතිෂ්ඨා ස්ථානයෙක් නො වන්නේ ය.
ධාතු විනිර්‍භොගය කරන්නට බැරි අය විසින් දාන සංවිභාගය කටයුතු. තමාසතු දේ ඔහුට දිය යුතු. ඔහු සතු දේ තමා ගත යුතු. ඉදින් ඔහුගේ ආජීවය අපිරිසිදු නම් ඔහු අයත් පිරිකර පරිභෝගයට නුසුදුසු යයි සිතේ නම් තමා සතු දේ ම ඔහුට දිය යුතු. එසේ කරත් ඒකාන්තයෙන් ඔහු කෙරෙහි පැවති ක්‍රෝධය සන්සිඳෙන්නේ ය. ඔහුගේ ද ජාත්‍යන්තයේ පටන් පැවත එන ක්‍රෝධයක් වුවද එකෙණෙහි ම සන්සිඳෙන්නේ ය.
‘පෙර සිතුල්පව් වෙහෙර පිණ්ඩපාතික ස්ථවිර කෙනෙක් වූහ. අන්‍ය ස්ථවිර කෙනෙකුන් විසින් ඔහු තුන් වරක් සෙනසුනින් නෙරපන ලදහ. ඔහු කහවනු අටක් වටිනා පාත්‍රයක් ගෙනවුත් ‘ස්වාමීනි! මෙය මගේ මෑණියන් විසින් මට දෙන ලද්දේ ය. ධාර්‍මමික ලාභයෙකි. මෑණියන්ට පින් පිණිස මේ ගත මැනවැ’යි කියා ඒ අර ස්ථවිරයන්ට දුන්හ. ඔවුන්ගේ ක්‍රෝධය එයින් සන්සිඳිණි. දීමෙහි ආනුභාව මහති.
වදාළේ මැ යි.
“අදන්තදමනං දානං - දානං සබ්බත්‍ථ සාධකං
දානෙන පියවාචාය - උන්නමන්ති නමන්ති ච”යි.
‘දානය නො දැමුණුවන් දමනය කරන්නේ ය. සියලු අර්‍ථ සිද්ධ කරන්නේ ය. දානයෙන් ද ප්‍රිය වචනයෙන් ද දායකයෝ උසස් වෙති. ප්‍රතිග්‍රාහකයෝ යටත් වෙති.
මෙසේ ක්‍රෝධය සන්සිඳෙත් ප්‍රිය-අතිප්‍රිය-සහාය-මධ්‍යස්ථයන් කෙරෙහි මෙන් ඒ වෛරී පුද්ගලයා කෙරෙහි ද සිත මෛත්‍රී වශයෙන් පවතී. එවිට ඔහු පුන පුනා මෙත් කොටැ සීමාසම්භේදය කළ යුතු තමා කෙරෙහි ද ප්‍රියයා කෙරෙහි ද, මධ්‍යස්ථයා කෙරෙහි ද සමත සිත් ඉපදවීම සීමාසම්භේදය යි.
එහි ලක්‍ෂණ මෙසේ ය:- තෙමේ ය, ප්‍රියයා ය, මධ්‍යස්ථයා ය, සතුරා ය යන සිව් දෙන එක් තැනෙක වසති සොර මුළෙක් එහි අවුත් ‘මෙයින් එකකු අපට දෙව’ යි මෛත්‍රී භාවකයාගෙන් ඉල්ලති. ‘කුමට දැ’ යි ඇසූ කල ‘මරා ගෙල ලේ ගෙනැ බිල්ලට දීමට යයි කියති. එවිට ඔහු අසවලා ගෙන යෙත්වා’ යි සිතුණේ නම් සීමාසම්භේදය කෙළේ නො වේ ‘මා ගෙනැ යෙත්වා මෙවුන් ගෙනැ නො යෙත්වා’ යි සිතුණේ නම් එවිට ද සීමාසම්භේදය කෙළේ නො වේ. කුම් හෙයින් ද ‘යමකු ගෙනැ යෙත්වා’යි සිතුණේ නම් ඔහු කෙරෙහි අහිතෙසී ය. සෙස්සන් කෙහි හිතේසී ය. ඉදින් සතර දෙනා කෙරෙහි ම සම සත් නම් එවිට සීමාසම්භේදය කෙළේ වේ.
කීයේ මැ යි පෞරාණිකයන් විසින්-
“අත්තනි හිත මජ්ඣත්තෙ - අහිතෙ ච චතුබ්බිධෙ
යදාපස්සති නානාත්තං - හිතචිත්තො ච පාණිනං
න නිකාමලාභී මෙත්තාය - කුසලීති පවුච්චති.
යදා චතස්සො සීමායො - සමහින්තා හොන්ති භික්ඛනො
සමං ඵරති මෙත්තාය - සබ්බං ලොකං සදෙවකං
මහාවිසෙසො පුරිමෙන - යස්ස සීමා න ඤායති”යි.
‘යමෙක් යම් කලෙක තෙමේ ය, හිතවතා ය, මැදහත් වූයේ ය, සතුරා ය යන සතර දෙනා කෙරෙහි ‘මේ මම ය, මේ හිතවත් ය’ යනාදි වශයෙන් වෙසෙස දක්නේ ද, හේ එකල සත්ත්‍වයන් කෙරෙහි සිත් ඇත්තෙකැ’යි කිය යුතු ය. නියම මෛත්‍රී ලාභියෙක සාතිශය කුසල් ඇතියෙකැයි නො කිය යුතු ය.
යම් කලෙක ඔහු විසින් යථෝක්ත සතර සීමා බිඳින ලද ද, එකල හේ දෙවියන් සහිත ලෝකයෙහි සමසේ මෙත් පතුරු වන්නේ ය. යමෙකුට මේ මමය මේ හිතවත් ය යනාදි වශයෙන් සීමා නො හැඟේ ද හේ පූර්‍වයාට වඩා මහත් භාවනා විශේෂ ඇත්තෙක් වන්නේ ය, යනු අර්‍ථ යි.
මෙසේ සීමාසම්භේදය ලබත් ම ඒ යෝගී නිමිත්ත ද උපචාර ද ලැබුයේ වේ. (‘මිහි වනාහි කිසුණු කමටහන් ආදියෙහි මෙන් උද්ග්‍රහ නිමිති වත්, ප්‍රතිභාග නිමිති වත් වැටහෙන්නේ නො වේ. ඒ සීමාසම්භේදය නිමිත් ලද කල භාවනාව සාතිසය වන බැවින් නීවරණයෝ ද විෂ්කම්භිත වෙති. කෙලෙස්හු ද සන්සිඳෙන ලද්දාහු වෙති. උපචාර සමාධින් සිත් ද සමාහිත වෙයි’ යනු සන්නයි.) සීමාසම්භේදය ලත් කල ඒ නිමිත්තම සෙවුණේ වඩන්නේ බිහිලි කරන්නේ නිරායාසයෙන් පඨවිකසිණයෙහි කී පරිදි අර්පණාවට පැමිණෙන්නේ ය’ මෙ තෙකින් ඒ යෝගී පඤ්චාඞ්ග විප්‍රහීණ, පඤ්චාඞ්ග සමන්විත, ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත මෛත්‍රී සහගත ප්‍රථම ධ්‍යානය ලැබුයේ වේ. ලැබැ ඒ නිමිත්ත ම සෙව්මින් වඩමින් බිහිලි කරමින් පිළිවෙළින් චතුස්කනය පරිදි ද්විතීය - තෘතීය ධ්‍යානයන්ට ද, පඤ්චකනය පරිදි ද්විතීය - තෘතීය - චතුර්‍ථ ධ්‍යානයන්ට ද පැමිණෙන්නේ ය. ප්‍රථම ධ්‍යානාදීන් අතුරෙන් කිසියම් ධ්‍යානයෙක සිටැ “මෛත්‍රී සිතින් එක් දිශාවක් පතුරුවා වසන්නේ ය. එසේම දෙවන - තෙවන - සතර වන දිශා ද උඩ යට සිරස ද සියලු තන්හි සර්වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපජ්ජ වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වසන්නේ ය” මේ විකුබ්බණය ලැබෙන්නේ ප්‍රථම ධ්‍යානාදි වශයෙන් අර්පණාප්‍රාප්තයට ම ය. විකුබ්බණ නම් මෙහි දැක්වූ ඔධිසො - අනොධිසො මෙත් පැතිරවීම ය.
එහි විස්තරය මෙසේ ය.
මෛත්‍රී සහගත සිතින් = මෛත්‍රියෙන් යුක්ත වූ සිතින්
එක් දිශාවක් = එක් දිශාවෙක පළමු අරමුණු කළ සත්ත්‍වයා පටන් ඒ දිශාවෙහි ඇතුළත් සත්ත්‍වයන් (“තත්‍රස්ථායෙහි තදුපචාරයෙන් ඒ ඒ දික්හි සිටි සත්හු යනු සන්නයි.)
පතුරුවා = අරමුණු කොටැ
වසන්නේ ය = බ්‍රහ්ම විහාරාධිෂඨික ඉරියව් පවත්නේ ය. මෛත්‍රී ධ්‍යානයට සම වැදැ ඉරියව් පවත්නේ ය යි සේ යි.
එසේ දෙවන - තෙවන - සතරවන දිශා ද = නැගෙනහිර ආදීන් අතුරෙන් යම් එක් දිශාවෙක යම් සේ පතුරුවා වසන්නේ ද, එසේ ඊට ඉක්බිති දෙවන දිශා ආදියෙහි ද පතුරුවා වසන්නේ ය.
උඩ ද = මෙයින් දෙව්ලොව, යම් කිසි තැකෙ හෝ තමහට මතුයෙහි සත්ත්‍වයන් ගත්හු.
යට ද = මෙයින් නිරය නාගභවනාදි තමහට යට දිග සත්ත්‍වයන් ගත්හ.
සරස ද = මෙයින් අනුදිශා ගත්හ. මෙසේ අස්මඬුල්ලෙහි අසුමෙන් සියලු දිශාවන්හි මෛත්‍රී සහගත සිත පතුරුවන්නේ ය. මෙසේ එක් එක් දිශා ගැන්මෙන් ඔධිසොඵරණ මෛත්‍රිය දක්වන ලදී. ඔධිසොඵරණ නම් සීමා වෙන් කොටැ පැතිරවීම ය.
සියලු තන්හි සර්වාත්මතායෙන් සර්‍වවත් ලෝකය විපුල වූ මහත් වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපජ්ජ වූ මෛත්‍රී සහගත සිතින් පතුරා වසන්නේ ය = මෙයින් අනොධිසො ඵරණ මෛත්‍රිය දක්වන ලදී. එහි දු ‘සියලු තන්හි’ යන්නෙන් එක් දෙශ වශයෙන් ද ‘සර්‍වාත්මතායෙන්’ යන්නෙන් සත්ත්‍ව වශයෙන් ද අනොධිසොඵරණය දක්වන ලදැ යි දත යුතු. අනොධිසොඵරණ නම් සීමා රහිත වැ පැතිරවීම යි එහි
සර්‍වාත්මතායෙන් යනු ‘මේ ස්වකීය ය මේ පරකීය ය’ යන භෙද නැති වැ හීන-මධ්‍යම උත්කෘෂ්ඨ වූ ද, මිත්‍ර-වෛරී-මධ්‍යස්ථ වූ ද, සියලු සතුන් කෙරෙහි තමා හා සමත්‍වයෙන් යන අර්‍ථ යි. නොහොත් මුළු හිතින් - මඳකුදු බැහැර නො ගිය සියලු චිත්ත භාගයෙන් යන අර්‍ථ යි.
සර්‍වවත් ලෝකය = සියලු සත්ත්‍වයන් ඇති ලෝකය
විපුල වූ = ඵරණ වශයෙන් හෙවත් පැතිරවීම වශයෙන් විපුල වූ
මහද්ගත වූ = භූමි වශයෙන් මේ මහද්ගත යි.
අප්‍රමාණ වූ = ප්‍රගුණ වශයෙන් ද, අප්‍රමාණ සත්ත්‍වයන් අරමුණු කිරීම් වශයෙන් ද අප්‍රමාණ වූ
අවෛර වූ = ව්‍යාපාද නමැති සතුරා දුරු කිරීම් වශයෙන් අවෛර වූ
අව්‍යාපජ්ජ වූ = දොම්නස් ප්‍රහාණය කරන හෙයින් අව්‍යාපජ්ජ වූ නිදුක් වූ ය යි සේයි. (සිත්හු ව්‍යාපත්ති වශයෙන් හනනය කරන හෙයින් දොම්නස් ව්‍යාපජ්ජ නම් වේ යනු සන්න යි.)
‘මෛත්‍රී සහගත සිතින්’යි නැවත කීයේ ‘විපුල වූ’ යනාදි පර්‍ය්‍යාය විශේෂණ ගත් හෙයිනි, නොහොත් ඔධිසොඵරණයෙහි මෙන් ‘එසේ’ යන පදයක් නො ගත් හෙයිනි. නිගමන වශයෙන් හෝ කියන ලදැ යි දත යුතු. (නිගමන නම් අවශාන නිශ්චය යි.)
මෙහි මෙන් ම පටිසම්භිදායෙහි දැක්වුණු විකුබ්බණාව ද ලැබෙන්නේ අර්පණා ප්‍රාප්තයාට ම ය. පටිසම්භිදායෙහි පස් ආකාරයෙකින් අනෝධිසොඵරණ මෙත්තා චේතෝ විමුත්තිය ද, සත් ආකාරයෙකින් ඔධිසොඵරණ මෙත්තා චේතෝ විමුත්තිය ද, දශ ආකාරයෙකින් දිසා ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය ද, දක්වන ලද්දේ ය. එයින්
පඤ්චවිධ අනෝධිසො ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය මෙසේ ය.
1. සියලු සත්ත්‍වයෝ අවෛර වෙත්වා අව්‍යාපජ්ජ වෙත්වා අනීඝ වෙත්වා සුව සේ ආත්ම පරිහරණය කරත්වා.
2. සියලු ප්‍රාණීහු -පෙ-
3. සියලු භූතයෝ -පෙ-
4. සියලු පුද්ගලයෝ -පෙ-
5. සියලු ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ -පෙ- සුව සේ ආත්ම පරිහරණය කරත්වා.
මෙහි සියලු යන්නෙන් එකකු දු සේස නො කොටැ ගැන්ම කීය.
සත්ත්‍වයෝ නම් = රූපාදි ස්කන්‍ධයන්හි ඡන්‍දරාග වශයෙන් සක්තයෝ ය විසක්තයෝ ය. ඇළුණෝ යයි සේ යි. “රූපෙ ඛො රාධ යො ඡන්‍දො - යො රාගො- යා නන්‍දි-යා තණ්හා තත්‍ර සත්තො සඤ්ඤාය -පෙ- සංඛාරෙසු -පෙ- විඤ්ඤාණෙසු - වුච්චති”[18] යනුවෙන් බුදුහු ද මේ වදාළෝ ය. අර්‍ථ සුගම යි. එසේ නම් රහත්හු මෙහි ලා නො ගැනෙත් ද, හුණ පතුරින් කළ වීජනියෙහි ද තල්වැටය යන ව්‍යවහාරය සේ රූඪි වශයෙන් රහත්හු ද ගැනෙති. ව්‍යාකරණකාරයෝ යට කියූ සේ අර්ථ විචාරණ නො කොටැ සත්ත්‍ව යනු අව්‍යුත්පන්න නාම මාත්‍ර - යෙකැයි කියති. අර්ථ විචාරණය කරන්නෝ සත්ත්‍ව ගුණයෝගයෙන් සත්ත්‍වයයි කියත්. සත්ත්‍ව ගුණ නම් බුද්ධි-වීර්‍ය්‍ය-තේජස් ය.
ප්‍රාණීහු නම් = ජීවත් වන්නෝ ය. ජීවත් වීම නම් ආශ්වාස ප්‍රශ්වාසයෙන් යුක්ත බව ය.
භූතයෝ නම් = කර්‍ම-ක්ලේශ දෙකින් උපන්නෝ ය.
පුද්ගලයෝ නම් = නිරයට යන්නෝ ය. ‘පුංවුච්චති නිරයො තසමිංගලන්තී ති -පුග්ගලා’. ‘පු’ යි නිරය කියනු ලැබේ. එහි ගලන්නෝ - යන්නෝ පුද්ගලයෝ ය.
ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ = යන මෙහි ආත්මභාව නම් ශරීර යි හෙවත් ස්කන්‍ධ පඤ්චක යි. පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වුවද සම්මුති වසයෙන් විද්‍යාමාන බැවින් ඒ ආත්ම භාවයෙහි ඇතුළත් වූවෝ ආත්මභාව පර්‍ය්‍යාපන්නයෝ ය.
සත්ත්‍ව යන වචනය සේ ම සෙස්ස ද රූඪි වසයෙන් සලකා මේ සියලු වචන සියලු සත්ත්‍වයනට පර්‍ය්‍යාය වචන යයි දතයුතු. තව ද ජන්තු-ජීව ආදි අන්‍ය පර්‍ය්‍යාය වචන ඇත ද ප්‍රකට වශයෙන් පවත්නා මේ පස ම ගෙනැ පස් ආකාරයෙකින් අනොධිසොඵරණ මෙත්තා චේතෝවිමුත්තිය දක්වන ලදී. ඉදින් යමෙක් සත්ත්‍ව-ප්‍රාණ යනාදියෙහි වචන මාත්‍ර වශයෙන් නොවැ අර්ථ වශයෙන් ද වෙනස ගන්නට කැමති නම් ඔහුට අනොධිසො ඵරණය නො ලැබෙන බව දත යුතු. එහෙයින් එසේ වෙනස් අර්ථ නො ගෙනැ මේ දැක්වුණු පස් ආකාරයෙන් ඒකක වසයෙන් අනොධිසො මෛත්‍රිය පැතිරවිය යුතු.
මෙහි දු ‘සියලු සත්ත්‍වයෝ අවෛර වෙත්වා’ යනු එක් අර්පණාවෙක. ‘අබ්‍යාපජ්ජවෙත්වා’ යනු එක් අර්පණාවෙක. (අබ්‍යාපජ්ජ නම් ව්‍යාබාධ රහිත බව යිත) ‘අනීඝ වෙත්වා’ යනු එක් අර්පණාවෙක. සුව සේ ආත්මපරිහරණය කෙරෙත්වා’ යනු එක් අර්පණාවෙක. එබැවින් මේ පද අතුරෙන් යම් යම් පදයෙක් තමහට ප්‍රකට වේ ද, ඒ ඒ පද ගෙනැ මෛත්‍රී පැතිරවිය යුතු. මේ පස් ආකාරයෙහි අර්පණා සතර වශයෙන් අනොධිසො ඵරණයෙහි අර්පණා විස්සෙකැයි දත යුතු.
සප්තවිධ ඔධිසො ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය මෙසේ ය.
1. සියලු ස්ත්‍රීහු අවෛර වෙත්වා. අබ්‍යාපජ්ජ වෙත්වා. අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.
2. සියලු පුරුෂයෝ -පෙ-
3. සියලු ආර්‍ය්‍යයෝ -පෙ-
4. සියලු අනාර්‍ය්‍යයෝ -පෙ-
5. සියලු දෙවියෝ -පෙ-
6. සියලු මනුෂ්‍යයෝ -පෙ-
7. සියලු විනිපාතිකයෝ අවෛර වෙත්වා. අබ්‍යාපජ්ජ වෙත්වා. අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.
මේ ඔධිසො ඵරණ පිළිබඳ සත් ආකාරයෙහි සතර සතර වසයෙන් අර්පණා අට විස්සෙකි. මෙහි ස්ත්‍රීහු ය පුරුෂයෝ ය යනු ලිඞ්ග වශයෙන් කියන ලදී. ආර්‍ය්‍යයෝ ය අනාර්‍ය්‍යයෝ ය යනු ආර්‍ය්‍ය-පෘථග්ජන වශයෙන් කියන ලදී. දෙවියෝ ය මනුෂ්‍යයෝ ය යනු උත්පත්ති වශයෙන් කියන ලදී.
දශවිධ දිසා ඵරණ මෙත්තා චේතෝ විමුත්තිය මෙසේය.
1. පෙරදිග සියලු සත්ත්‍වයෝ අවෛර වෙත්වා. අබ්‍යාපජ්ජ වෙත්වා. අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.
2. පෑළදිග සියලු සත්ත්‍වයෝ -පෙ-
3. උතුරු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
4. දකුණු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
5. පෙර අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
6. පෑළ අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
7. උතුරු අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
8. දකුණු අනු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
9. යට දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
10. උඩු දිග සියලු සත්ත්‍වයෝ -පෙ-
පෙරදිග සියලු ප්‍රාණීහු -පෙ- සියලු භූතයෝ -පෙ- සියලු පුද්ගලයෝ -පෙ- සියලු ආත්මභාව පර්‍ය්‍යපන්නයෝ -පෙ- පෑළ දිග ආදිය ද මෙසේ ම ගන්නේ ය.
පෙරදිග සියලු ස්ත්‍රීහු ‘සියලු පුරුෂයෝ’ ‘සියලු ආර්‍ය්‍යයෝ’ ‘සියලු අනාර්‍ය්‍යයෝ’ ‘සියලු දෙවියෝ’ ‘සියලු මනුෂ්‍යයෝ’ ‘සියලු විනිපාතිකයෝ’
පෑළ දිග -පෙ-
උතුරු දිග -පෙ-
දකුණු දිග -පෙ-
පෙර අනු දිග -පෙ-
පෑළ අනු දිග -පෙ-
උතුරු අනු දිග -පෙ-
දකුණු අනු දිග -පෙ-
යට දිග -පෙ-
උඩ දිග සියලු ස්ත්‍රීහු -පෙ- අවෛර වෙත්වා අබ්‍යාපජ්ඣ වෙත්වා අනීඝ වෙත්වා සුවසේ ආත්ම පරිහරණය කෙරෙත්වා.
මේ දිසා ඵරණ මෛත්‍රියෙහි ‘පෙරදිග සියලු සත්ත්‍වයෝ’ යනාදි නයින් එක් එක් දිසාවෙක විසි-විසි කොටැ දෙසියයක් ද ‘පෙර දිග සියලු ස්ත්‍රීහු’ යනාදි නයින් එක් එක් දිසාවක් අටවිස්ස බැගින් කොටැ දෙසිය අසූයෙක් දැ යි සාරසිය අසූවෙක් අර්පණා වෙයි. පටිසම්භිදායෙහි දැක්වූ සියලු අර්පණා පන්සිය අට විස්සෙකි.
මේ කී අර්පණා අතුරෙන් යම් කිසිවක මෙත්තා චේතෝ විමුත්ති වඩන යෝගී ‘සුඛං සුපති’ යනාදීන් දක්වන ලද එකොලොස් ආනිසංස ලබන්නේ ය.
-
අ:නි: තිකනිපාත 132 ↑
-
දී:නි: මහාවග්ග 31 ↑
-
ධ:ප: බ්‍රාහ්මණ ව: 36 ↑
-
සං:නි: 382 ↑
-
* මෙය සන්නයෙහි මෙසේ විස්තර කරයි.“ඇමති පුත් තෙමේ සිල් පිහිටා පිහිත වූ දොර ඇති ගර්‍භයෙහි යහන් පිට හිඳැ මෛත්‍රී වඩනුයේ මෛත්‍රී මුඛයෙන් උපන් රාගයෙන් කණ වූයේ භාර්‍ය්‍යාව සමීපයට යනු කැමැත්තේ දොර නො දැක භිත්තිය බිඳැ ගෙනැ ගනු කැමැති වැ භිත්තිය පහළයැයි දත යුතු.” ↑
-
වි:ප: අප්පමඤ්ඤා වි: 206 ↑
-
පටි:ම. මෙත්තා කථා 316 ↑
-
බු:ප: 8 ↑
-
ස:නි: කොසල සං: 46 ↑
-
ම:නි: මූලපණ්ණාසක 142 ↑
-
ස:නි: සක්කුස 140 ↑
-
අ:නි: සත්තකනි 674 ↑
-
අ:නි: චතුක්කනි 249 ↑
-
අ:නි: පඤ්චකනි 475 ↑
-
ධ:ප: පාපවග්ග 12 ↑
-
ස:නි: අනමතග්ග සං: 266 ↑
-
අ:නි: එකාදසමනි 1103 ↑
-
සං:නි: රාධසංයුත්ත 478 ↑