පච්චුද්ධාරය හා අධිට්ඨානය

මේ කරුණු දෙක ද කඨිනය අතුරන භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන් දැනගත යුතු ය. මේ කඨින කථාවෙහි අදහස් කරන පච්චුද්ධාරය පරිවාරයෙහි දැක්වෙන්නේ ‘පච්චුද්ධාරො තීහි ධම්මෙහි සඞ්ගහිතො. සඞ්ඝාටියා උත්තරාසඞ්ගෙන අන්තරවාසකෙන’ යි සඞ්ඝාටි-උත්තරාසඞ්ග-අන්තරවාසක යන තුන් සිවුර පිළිබඳ වූ පච්චුද්ධාරය ය කියා ය.

මෙකල තිචීවරාධිට්ඨානයෙන් සිවුරු ඉටාගෙන පරිහරණය කරන භික්ෂූහු අල්ප වෙති. බොහෝ භික්ෂූහු පහසුව සඳහා පරික්ඛාරචෝළ වශයෙන් සිවුරු ඉටාගෙන පරිභෝග කෙරෙති. එසේ පරිභෝග කරන භික්ෂුවට කඨින චීවරය ඉටා ගැනීමට පෙර, පච්චුද්ධාරයක් කරන්නට සඞ්ඝාටියක් හෝ උත්තරාසඞ්ගයක් හෝ අන්තරවාසකයක් හෝ නැත. පරික්ඛාරචෝළ වශයෙන් ඉටා ගත් සිවුරු පච්චුද්ධරණය කිරීම මේ කාරණයට ප්‍රමාණ නොවේ. එසේ ඇති කල්හි කඨිනය අතුළ හැකිවීමට භික්ෂුව විසින් කළ යුත්තේ කුමක් ද යන බව විනයාලඞ්කාර ටීකාවේ දැක්වෙන්නේ මෙසේ ය:-

තිචීවරාධිට්ඨානස්ස දුප්පරිහාරියත්තා සබ්බදා ධාරෙතුං අසක්කොන්තො හුත්වා පරික්ඛාරවොළවසෙන ධාරෙන්තො’පි තං පච්චුද්ධාරිත්වා ආසන්නෙ කාලෙ තිචීවරාධිට්ඨානෙන අධිට්ඨහන්තො’ පි කඨිනං අත්ථරිතුං ලභති යෙව.

‘සෑම කල්හි තිචීවරාධිට්ඨානයෙන් ඉටා සිවුරු පරිහරණය අපහසු බැවින් පරික්ඛාරචෝළ වශයෙන් ඉටා සිවුරු පරිභෝග කරන භික්ෂුව ද පරික්ඛාර චෝළ වශයෙන් ඉටාගෙන පරිහරණය කරන සිවුරු පච්චුද්ධරණය කොට, කඨිනය ඇතිරීමට සමීපකාලයේදී තිචීවරාධිට්ඨාන විධියෙන් අධිෂ්ඨාන කරගත් කල්හි කඨිනය ඇතිරීමට සුදුසු වේය.’ යනු එහි අදහසයි.

එබැවින් පරික්ඛාරචෝළ අධිට්ඨානයෙන් සිවුරු, ඉටා පරිභෝග කරන භික්ෂුවකට කඨින චීවරයක් ගන්නට සිදුවුවහොත්, ඒ භික්ෂුව විසින් තමා පරික්ඛාරචෝළ වශයෙන් පරිභෝග කරන සිවුරුවලින්, දෙපොට සිවුරක් හා තනිපොට සිවුරක් ද අඳනයක් ද ගෙන “ඉමානි චීවරානි පරික්ඛාරචොළානි පච්චුද්ධාරාමි” යි කියා ඒවා පච්චුද්ධරණය කොට, නැවත ඒවා තිචීවරාධිට්ඨාන විධියෙන් එකින් එක ඉටාගෙන ඒ තුන් සිවුරෙන් එකක් පච්චුද්ධරණය කොට එය වෙනුවට කඨින චීවරය ඉටා කඨිනය ඇතිරීම කළ යුතුය. පච්චුද්ධාර - අධිෂ්ඨාන කර්ම දෙක සම්පූර්ණ වන්නේ එසේ කළ කල්හිය.