කඨිනත්ථාරය ලබන නො ලබන භික්ෂූහු

star_outline

“කඨිනත්ථාරං කෙ ලභන්ති? කෙ න ලභන්ති? ගණනවසෙන තාව පච්ඡිමකොටියා පඤ්චජනා ලභන්ති. උද්ධං සතසහස්සම්පි පඤ්චන්නං හෙට්ඨා න ලභන්ති. වුත්ථවස්සවසෙන පුරිමිකාය වස්සං උපගන්ත්වා පඨමපවාරණාය පවාරිතා ලභන්ති. ජින්නවස්සා වා පච්ඡිමිකාය උපගතා වා න ලභන්ති.”

යනුවෙන් විනය අටුවාවෙහි දැක්වෙන පරිදි කඨිනාස්තරණ විනය කර්මය සිදු කිරීමට යටත් පිරිසෙයින් භික්ෂූන් වහන්සේලා පස් නමක් සිටිය යුතු ය. කඨිනය අතුරන්නේ එක් භික්ෂුවක් විසිනි. එය කළ හැක්කේ සඞ්ඝයා විසින් භික්ෂුවකට දෙන ලද සිවුරකිනි. ඒ නිසා සිවුරු දීමට එය පිළිගන්නා භික්ෂුව හැර තවත් සතර නමක් සිටිය යුතු ය. කඨිනයක් ඇතිරිය හැකි වීමට යටත් පිරිසෙයින් භික්ෂූන් පස්නමක් සිටිය යුත්තේ එහෙයිනි. කඨිනය අතුළ හැක්කේ පෙර වස් වැස ප්‍රථම පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවට පමණෙකි. කඨින වස්ත්‍රය පැවරීමට කවර භික්ෂුවකට වුවද සහාය විය හැකි ය. කඨිනානිසංසය ලබන්නේ ද පෙරවස් වැස පවාරණය කළ භික්ෂූහුම ය. සෙස්සෝ නො ලබති. එක් විහාරයක අතුළ කඨිනයේ අනුසස් අන්‍ය විහාරයක වස් වැස පවාරණය කළ භික්ෂූහු ද නො ලබති. යම් කිසි තැනක පෙරවස් වැස පවාරණය කළ එක් භික්ෂුවකුදු වේ නම්, අන්‍ය භික්ෂූන්ගේ සහාය ලබා ඒ භික්ෂුවට එතැන කඨිනය අතුළ හැකි ය.