කඨිනත්ථාර කාලය හා ආනිසංස කාලය

“කඨිනස්ස අත්ථාරමසො ජානිතබ්බොති. වස්සානස්ස පච්ඡිමො මාසො ජානිතබ්බො.” යනු පරිවාර පාළි හෙයින් වස්සාන සෘතුවේ අවසාන මාසය කඨිනත්ථාර කාලය සැටියට දත යුතුය. එනම්:- වප් මස අව-පෑළවියෙහි පටන් ඉල්මස පුර-පසළොස්වක දක්වා ඇති එකුන්තිස් දිනය යි. කඨිනාස්තරණ විනය කර්මයේ බලය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත සෘතුවේ අවසාන දිනය වූ, මැදින් මස පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා පවත්නේ ය. එතෙක් කඨිනය අතුළ භික්ෂූන්ට කියන ලද පඤ්චානිසංසය ඇත්තේ ය.

අධිෂ්ඨානය හෝ විකප්පනය නො කළ අතිරේක සිවුරු ඇත්තේ නම්, ඒ දිනයෙහි ඒවායේ අධිෂ්ඨානාදිය කරගත යුතු ය. කඨිනය අතුළ නො අතුළ සියලු භික්ෂූන්ට වස්සාන සෘතුවේ අවසාන මාසය වූ එකුන් තිස් දිනය චීවර කාලය ය. කඨිනය අතුළ භික්ෂූන්ට වප්මස අව-පෑළවියෙහි පටන් මැදින් මස පුර-පසළොස්වක දිනය දක්වා ඇති පස් මස ම චීවර කාලය වන්නේ ය. චීවර කාලයේ අතිරේක චීවරයන් තබා ගැනීමෙන් ඇවැත් නො වේ.